Divaina - ඔය ව්‍යවස්ථාදායක සභාව පක්ෂග‍්‍රාහී කුණු ගඳ ගහන ආයතනයක්... සුහද කියූ දේ හරියට හරි....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

- ආචාර්ය විජයදාස රාජපක්ෂ
 

wijedasa

සාකච්ඡුා කළේ
බුලිත ප‍්‍රදීප් කුමාර


පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ සාමාන්‍යයෙන් රටේ පිළිගැනෙන්නේ පැත්ත ගියත් ඇත්ත කතා කරන දේශපාලකයකු ලෙස ය. වර්තමාන යහපාලන ආණ්ඩුව පටන් ගත් වෙලේ එහි ප‍්‍රධාන පෙළේ නියමුවෙකුව සිටියත් පසුකාලීනව ඔහු එම වගකීම්වලින් මිදී ස්වාධීන වූයේ වරද දුටු තැන ඊට එරෙහි වන හා නිතරම ඇත්ත කතා කරන ගුණය නිසා යැයි කීවොත් නිවැරදිය. යහපාලන ආණ්ඩුවේ සැලකිය යුතු කාලයක් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළ විජයදාස රාජපක්ෂ අධිකරණ ක්ෂේත‍්‍රයේ ස්වාධීනත්වය රැක ගන්නට ද ලොකු සටනක් කළේය. වර්තමානයේ අධිකරණ ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් රටේ පැතිර තිබෙන මති මතාන්තර ගැන අප ඔහුගෙන් විමසන්නට කල්පනා කළේ ඒ සම්බන්ධයෙන් ඔහු දරන ස්වාධීන හා නිවැරදි ස්ථාවරය නිසාය.


ප‍්‍රශ්නය - ඔබත් සෑහෙන කාලයක් වර්තමාන යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමැතිවරයා ව කටයුතු කළ කෙනෙක්. නමුත් ප‍්‍රශ්නයක් තියෙනවා මේ ආණ්ඩුව පටන් ගත් කාලයේ සිටම අධිකරණයේ කටයුතුවලට ආණ්ඩුවේ ප‍්‍රබල දේශපාලනඥයෝ ඇඟිලි ගැසූ බවට. මේ බව පහුගිය දවස්වල ක්ෂේත‍්‍රයේ හිටපු සොලිස්ටර් ජනරාල්වරු දෙදෙනෙක්ම කරන ලද ප‍්‍රකාශයන් ප‍්‍රසිද්ධ වී තිබෙනවා... ඇත්තටම ඒ එහෙම දෙයක් වුණාද..?

පිළිතුර - මට මේකට උත්තර දෙකක් තිබෙනවා. එකක් තමයි... ඒගොල්ලෝ මේ දැන්නේ එව්ව ගැන කතා කරන්නේ. හැබැයි මම කතා කරේ අවුරුදු 4කට කලින් ඒක සිද්ධ වෙච්ච දවස්වලමයි. මම ඒ වැරදිවලට එරෙහිව එදා කතා කළා වගේම විරුද්ධත් වුණා. අනිත් එක තමයි මම ඇමැතිවරයාව ඉන්න කාලයේ නීතිපති දෙපාර්තමේන්තුවේත් අධිකරණ ක්ෂේත‍්‍රයේත් ගෞරවය හා ස්වාධීනත්වය රැක ගන්න ලොකු සටනක් කළා. මට පුළුවන් වුණා ඒ ස්වාධීනත්වය රැක ගන්න. ඒකෙ ප‍්‍රතිඵලයක් විදිහට තමයි බැඳුම්කර වංචාවේ සුලමුල හෙළි කරලා එළියට ගන්න නීතිපතිවරයාට පුළුවන් වෙන්නේ.

සොලිස්ටර් ජනරාල්වරු හැටියට ඔය දෙන්නම මේ කතා කරන්නේ ඇවන්ගාඞ් සිද්ධිය ගැනනේ. මම ඇවන්ගාඞ් සභාපතිගෙවත් ගෝඨාභයගේවත් නඩුවලට පෙනී ඉඳලත් නෑ. එහෙම ගනුදෙනු නෑ. හැබැයි දෙදෙනාම මාත් එක්ක මිත‍්‍රයි. හැබැයි ඔය කියන වකවානුවේ මහින්ද ආණ්ඩුවේ ඉඳලා මෛත‍්‍රීගේ ආණ්ඩුවට ආපු ඇමැතිවරු දෙන්නෙක් ඒ ගොල්ලන්ගේ කොළඹ හතේ නිල නිවසේ ඉඳල නීතිඥයෝ ගෙන්නගෙන ගෝඨාභය ඇතුළු 8 දෙනෙක් අත්අඩංගුවට ගන්න ඕන කියලා කෙටුම්පතක් හදලා ඒකට එවකට නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් හිටපු වසන්ත නවරත්න බණ්ඩාර ගේ අත්සනක් ලබාගත්තා නීතිපතිගේ වත්

සොලිස්ටර් ජෙනරාල්ගේ වත් අනුදැනුමකින් තොරව. ඒ හැරුණාම නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය මට හැකි උපරිමයෙන් ආරක්ෂා කරන්න මම පියවර ගත්තා. මගේ යුතුකම් මම කළා.

ප‍්‍රශ්නය - ඒ කරුණු දෙක පරස්පරයිනේ. එක තැනක ඔබ කියනවා උපරිමයෙන් ස්වාධීනත්වය රැක ගත්තා කියලා. තවත තැනක කියනවා එහෙම වෙන්කොට විරුද්ධ වුණා කියලා....

පිළිතුර - ඇයි ඒ පරස්පර... මම කිව්වේ මට හැකි උපරිමයෙන් ස්වාධීනත්වය ආරක්ෂා කරන්න මං පියවර ගත්තා කියල විතර යි. ඒ මගේ විෂය පථය තුළ. ඊට එහා ගිහිල්ලා ක‍්‍රියා කරන්න මම අගමැතිවත් ජනාධිපතිවත් නෙවෙයි නේ.

ප‍්‍රශ්නය - ප‍්‍රශ්නය වුණේ නීතිපති දෙපාර්තමේන්තුවට ඉහළින් ඒ දිනවල දින සීයේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන්නට පත් කරගෙන තිබුණු ‘‘ජාතික විධායක සභාව” නම් මණ්ඩලයත් ‘‘දූෂණ විරෝධී ලේකම් කාර්යාලය” නමින් තිබූ ආයතනයක් තුළ ගුරු වෙලා හිටපු දේශපාලනඥයෝ කීපදෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුවට බලහත්කාරයෙන් උපදෙස් දෙන්න පටන් ගත්ත නේද. අමාත්‍ය රාජිත සේනාරත්න, චම්පික රණවක, අනුර කුමාර දිසානායක මේ දවස්වල මේවා ගැන කතා කරපු ආකාරය අපිට මතකයි?

පිළිතුර - මෙහෙමයි... විවිධ තැන්වලදී ඕවා ගැන කතා වුණා. ඔය නම් කියපු අයයි තවත් පිරිසකුයි ඔය හැම තැනකම හිටියා. ඔය ගෝඨාභයගේ ප‍්‍රශ්නේ, නිශ්ශංක

සේනාධිපතිගේ ප‍්‍රශ්නය ආපු වෙලාවේ මට අදාළ නැති දේවල්වලට උත්තර දෙන්න මම ගියේ නෑ. නමුත් ජනාධිපතිතුමා මේ ගැන කැබිනට් මණ්ඩලයේදී විමසන කොට මම ඒකෙ නීතිමය තත්ත්වය කිව්වා. ඒ මොකද මට වඩා නීතිය පිළිබඳ දැනුවත් කෙනෙක් ඒ වෙලාවේ එතන හිටියේ නැති හින්දා... අගමැති තුමා හිටියා.

මම පැහැදිලි කළා ගෝඨාභය අත්අඩංගුවට ගන්න මේ කිසිම දෙයක් සම්බන්ධයෙන් නීතිමය ප‍්‍රතිපාදන නෑ කියලා. ගෝඨාභයව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරන් නඩු දාන්න බැහැ. ගිනි අවි ආඥා පනත යටතේ අත්අඩංගුවට අරන් නඩු දාන්න බෑ. පුපුරන ද්‍රව්‍ය පනත යටතේ අත්අඩංගුවට අරගෙන නඩු දාන්න බෑ. මම ඒකෙ නීතිමය තත්ත්වය විස්තර කළා. ඔය කතාවම කැබිනට් එකෙත් කිව්වා, පාර්ලිමේන්තුවෙත් කිව්වා, මාධ්‍යවලටත් කිව්වා. එච්චරයි. මම කොතැනකවත් කිව්වෙ නෑනෙ ගෝඨාභය වරදක් කරල තියෙනවනං අත්අඩංගුවට ගන්න එපා කියලා. සේනාධිපති වරදක් කරලා තියනවා නං අත්අඩංගුවට ගන්න එපා කියලා මම කියල නැහැනේ. මම කිව්වෙ කරපු වැරදිවලට අල්ලන්න. හැබැයි බොරු වැරදිවලට අල්ලන්න එපා... අනිත් එක ගෝඨාභය කියන්නේ කවුද... තිස් අවුරුද්දක් මේ රටේ තිබිච්ච යුද්ධය නිමා කරන්න මූලිකත්වය අරන් වැඩ කරපු නිලධාරියා. ප‍්‍රභාකරන් කියන ත‍්‍රස්තවාදියාව ඔය කිසිම පනතක් යටතේ එක පැයකටත් අත්අඩංගුවට ගන්න බැරි වුණා. යුද්ධය නිම කරපු නිලධාරියෙක්ව ගන්න යනවා.

අනිත් කාරණාව තමයි ඇවන්ගාඞ් එක සම්බන්ධයෙන් මේ තීන්දුව ගනිපු ගෝඨාභයව අත්අඩංගුවට ගන්නවා නම් ඒ වෙලාවේ ආරක්ෂක මණ්ඩලයේ හිටපු අනිත් අයත් ගන්න එපාය. මහින්ද රාජපක්ෂත් ගන්න ඕන. අර ෆොන්සේකා මහත්තයාවත් ගන්න එපාය. එයත් ඒ ආරක්ෂක මණ්ඩලයේමනේ. මම ඔය කතාව පැහැදිලි කළා. දේශපාලන වෛරය මත තීන්දු තීරණ ගන්න එක මම අනුමත කරන්නේ නැහැ. මටත්

මහින්දගේ ආණ්ඩුවත් එක්ක ප‍්‍රශ්න තිබුණා... මටත් කරදර වුණා... එහෙමෙයි කියල නීතියට පිටින් ගිහිල්ලා අනවශ්‍ය වැඩ කරන්න මම උපදෙස් දුන්නේ නෑ...

ප‍්‍රශ්නය - ඔබතුමා අධිකරණ අමාත්‍යවරයාව ඉඳිද්දි ජාතික විධායක සභාව හා දූෂණ විරෝධී ලේකම් කාර්යාලය තුළ රැස්වුණු සමහර දේශපාලනඥයෝ බරපතළ විදිහට ඔබට විවේචන ගෙන ආවා...?

පිළිතුර - නෑ... කිසිම විවේචනයක් ගෙනාවේ නැහැ. මට චෝදනා කළේ ගෝඨාභයලාව බේරගන්න මම කතා කරන්නේ මම ඒගොල්ලන්ගෙන් ප‍්‍රයෝජන අරන් තියෙන නිසා කියලයි. ඒ චෝදනාව මට අදාළ නෑ. ඒ මොකද මම ඔය මිනිස්සුන්ගෙන් සත පහක උදව්වක් අරගෙන නැහැ. ඔය මිනිස්සු තමයි නිශ්ශංක සේනාධිපතිගේ විවිධ දුෂ්කරතා කිය කිය එක එක වතාවල්වල මුදල් ඉල්ලලා අරගෙන තිබුණේ... මම ඕන්නං විස්තර කියන්නං ඕගොල්ලා ලියනවනං. මොකද මේවා බය නැතුව ලියන්න පුළුවන් කරුණු. නිශ්ශංක සේනාධිපති කප්පම් හැටියට නෙවෙයි මේවා දීලා තියෙන්නේ... බැංකු ක‍්‍රියාදාමවලට අනුව වවුචරවලට අත්සන් කරගෙන තමයි දීල තියෙන්නේ... ඒක නිසා නඩු දැම්මට බය වෙන්න දෙයක් නෑ... අල්ලස් හෝ දූෂණ කොමිසමටත් නිශ්ශංක මේවා කියලා තියෙන්නේ. අද ඔය ‘දමල දුවන්න හිතෙන රටක්’ ගැන කතා කරන ඇමැති නිශ්ශංක ගෙන් ලක්ෂ 35 ක් අරන් තියෙනවා. ඒක මදි කියලා තමයි ලෙඬේ අදින්න පටන් ගත්තේ. අනිත් එක්කෙනා අර ඇමැති දොස්තර. එයා ගනිපු ගාණ ලක්ෂ 200යි... ආරක්ෂාව ගැන දන්නවයි කියන මහදැනමුත්තා ලක්ෂ 350ක් අරන් තියනවා. මදි කියලා තමයි වලිය. ඊළඟට කෑගහන්නේ අර ජනතා විමුක්ති පෙරමුණේ මිනිස්සුනේ. සෝමවංශ අමරසිංහ නායකයා වෙලා ඉන්න කාලේ ඒ පක්ෂය හොඳ පක්ෂයක්. ඊට පස්සේ විනාශ වෙලාම ගියා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ පවුලේ අය මාව හමුවෙන්න ආවා... දැන් ඔය ඉන්න නායකයෝ රෝහණ විජේවීරගේ නම විකුණ විකුණ සල්ලි හොයාගෙන ජීවත් වුණාට විජේවීරගේ පවුලේ උදවිය වෙනුවෙන් සත පහක දෙයක් කරලා නෑ... ඒ මැතිනිය මට කිව්වා නිශ්ශංක සේනාධිපති මාස්පතා දෙන මුදලින් තමයි ජීවත් වෙන්නේ කියලා. එයා මිලියන 14 වියදම් කරලා අරගෙන දීපු ගෙයි තමයි තවම ඉන්නේ. එතකොට ඔය පුතා ඉන්නවානේ... ඒ දරුවා ඉගෙනගන්න රුසියාවට යවලා සියලූ වියදම් බලාගත්තේ නිශ්ශංක සේනාධිපති... හරි නං ඒගොල්ල තමන්ගෙ නායකයා වෙනුවෙන් කරපු දේවල් ගැන කලගුණ සලකන්න ඕන... තව දේවල් තියෙනවා කියන්න... ඔය නායකයො මේ ගෙදරට ඇවිල්ලා ඔය පුටුවේ වාඩි වෙලා කියපු දේවල්. අවශ්‍ය වුණොත් මම කියන්නම්. දැන් මම ඒ ගැන කියන්නේ නෑ.

ප‍්‍රශ්නය - හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහත්මයා පහුගියදා කරපු හෙළිදරව් ගැන ඔබතුමා මොකද කියන්නේ..?

පිළිතුර - මොනවා කියන්නද... එතුමාට විශාල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. එතුමා වෙනුවෙන් මම විතරයි හඬ නැගුවේ... ඔය ව්‍යවස්ථාදායක සභාව කියන එකනේ ඕවා කළේ... මම දැන් අවුරුදු එකහමාරක් තිස්සේ කියනවා ඒකෙන් ඇති වැඩක් නැහැ... ඕක අහෝසි කරන්න ඕන කියලා. ඒක හරිම පක්ෂග‍්‍රාහී කුණු ගඳ ගහන ආයතනයක්.

ප‍්‍රශ්නය - හිටපු අධිකරණය ඇමැතිතුමනි.... කවුද ඔය ආයතනය පත් කළේ..?

පිළිතුර - 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නේ එන්නේ... අගමැති හිටියා.

කථානායක හිටියා. බහුතරයක් හිටියේ ජේවීපී එකෙයි ටී.එන්.ඒ. එකෙයි අය. ඊළඟට චම්පික රණවකයි මමයි හිටියා. ඔතනින් කරපු සමහර පත් කිරීම්වලට මම දැඩි විරෝධය ප‍්‍රකාශ කළා. සුහද ගම්ලත්ට ඔය තනතුර නොදී සිටීම වැරදි වැඩක් බව මම කිව්වා. ඊළඟට පොලිස්පති පත් කිරීමේදී මම දැඩි සේ විරුද්ධ වුණා. ඕගොල්ලන්ට වගකියන්න වෙයි කවදා හරි මේ වගේ වගකීම්ක් නැති මිනිහෙකුට පොලිස්පතිකම දීම ගැන කියලා මම අභියෝග කළා. මමයි ජෝන් සෙනෙවිරත්නයි විරුද්ධ වුණා. සිවිල් සංවිධානවලින් ආපු තුන්දෙනා බකංනිලාගෙන හිටියා. වෛරය මුල් කරගෙන තීන්දු තීරණ ගන්න කට්ටිය තීන්දු ගත්තා. එහෙමයි ඒ පත්වීම් වුණේ. ව්‍යවස්ථාදායක සභාවෙන් මේ රටට වුණ සේවයක් නෑ...

ප‍්‍රශ්නය - මේ වගේ ප‍්‍රශ්නවලදී අනිත් කිසිම කෙනෙකුට තිබුණෙ නැති වැටහීමක් ඔබට විතරක් තිබුණෙ කොහොමද කියලා කවුරු හරි ඇහුවොත්...?

පිළිතුර - නීති ක්ෂේත‍්‍රයේ දීර්ඝකාලීන පළපුරුද්ද... වෙන මොනවද. උසාවිවල වැඩ කරලා, පොලිසියත් එක්ක ගැටිලා, නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩවල අත්දැකීම් අරන් දේශපාලන කරළියේ දීර්ඝකාලීනව අත්දැකීම් අරන් වියපත් වෙච්ච මිනිහෙක්... මට පුළුවන් හොඳ නරක වෙන් කරලා හඳුනා ගන්න... මම වැරදි තැන කවදාවත් හිටගෙන නෑ. රජය තුළ කටයුතු කිරීමේදී නායකයෝ වැරදි තීන්දුවක් ගන්නවා නම් අනිත් අය ඒක අනුමත කරද්දී තනියෙන් වුණත් විරුද්ධව හඬ නගන්න හොඳ කොඳු නාරටියක් මට තිබුණා. අර්ජුන ඇලෝසියස් කියන ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් නොවන කෙනෙක්ව ගෙනල්ලා මහ බැංකුවේ අධිපති කරන්න හදද්දි මුළු කැබිනට් එකෙන්ම ඒකට විරුද්ධ වුණේ මම විතරයි. අගමැතිතුමා ඒ වෙලාවේ මහා විශාල අඬෝවැඩියාවක් කළා ජනාධිපතිතුමාට අර්ජුන් ඇලෝසියස් නැතුව රට ගෙනියන්න බෑ කියල... ඔය ගෙනිහින් තියෙන්නේ... අයි.එස්. ත‍්‍රස්තවාදීන් මේ රටට පහර දෙනවා කියලා මීට මාස තිහකට කලින්නෙ මා පාර්ලිමේන්තුවට කිව්වේ. ඒක කිව්වා විතරයි මුන් එකතුවෙලා මට ගහන්න පටන් ගත්තා මිසක් ඇහුවද මං කියපු දේ...

ප‍්‍රශ්නය - මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ලොකු ලොකු වැරදි වුණා කියලා අද පොදු පිළිගැනීමක් තියෙනවා. ඒ වැරදි හොයන්න හා දඬුවම් කරන්න ආපු ආණ්ඩුව පුද්ගලිකව පුද්ගලයන්ගෙන් පළිගන්න පටන් ගත්ත නිසා ඇත්තටම සිද්ධ වෙච්ච වැරදි යට ගිහින් අපරාධකරුවන් ගැලවුණා කියලයි සමහර විශ්ලේෂකයන් කියන්නේ..? ඔබ මේ ගැන මොනවද හිතන්නේ...?

පිළිතුර - ඔබේ ප‍්‍රකාශය සම්පූර්ණ නෑ... නිවැරදි හොයන්න ආපු සමහර අය ඊට වඩා දෙතුන් ගුණයක් ඉදිරියට ගිය වැරදි කරන්න පටන් ගත්ත එකයි වුණේ... තමන් හොරකම් කර කර කොහොමද අනුන්ගේ හොරකම් අල්ලන්න යන්නේ... ඒකයි හුඟක් අයට වුණේ.

මහින්ද ආණ්ඩුවට තිබිච්ච බරපතළ චෝදනා එකක්වත් ගත්තෙ නෑ.... ඒ වෙනුවට සිල්ලර චෝදනා ටිකක් විතරක් අරගෙන මාධ්‍ය සංදර්ශන තිබ්බා... බරපතළ වැරදි යටපත් වුණා....

ප‍්‍රශ්නය - මොනවද ඒ යටපත් වුණ බරපතළ වැරදි කියලා කවුරුහරි ඇහුවොත් මොකද කියන්නේ..?

පිළිතුර - මැතිවරණයක් අත ළඟ එද්දී ඒ සම්බන්ධයෙන් කතා කරල යම් යම් පාර්ශ්වවලට අගතියක් අත්පත් කරල දෙන්න මම කැමති නැහැ... මොකද මං නීතිඥයෙක්... අපි සදාචාරය ගරු කරන්න එපායැ. අනිත් එක තමයි මේ ආණ්ඩුවේ මිනිස්සු කරපු දූෂණ ටික ලබන ආණ්ඩුවෙන් එළියට ඇදලා දඬුවම් දෙයි කියලා විශ්වාස කරන්නත් එපා.... ඒක වෙන්නෙත් නෑ... ඒ මොකද මේගොල්ල ඒ ගොල්ලන්ගේ බරපතළ වැරදි ටික එළියට ඇද්දෙත් නැහැනේ...

ප‍්‍රශ්නය - යහපාලන ආණ්ඩුව බලයට පත්වෙච්ච දා ඉඳලම මෙහි සිටි බලවත් අයට රාජපක්ෂ පවුල් ලොකු ප‍්‍රශ්නයක් වෙලා තිබුණා. රාජපක්ෂ පවුල කවදා හෝ යළිත් වතාවක් අභියෝගයක් වෙන එක නවත්තන්න මේ ආණ්ඩුව ඇතුළේ යම් වැඩපිළිවෙළක් තිබුණා කියලා කිව්වොත්..?

පිළිතුර - එහෙම ප‍්‍රශ්නයක් තිබුණා... අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහත්මයාගේ ඉඳලා බොහෝ දෙනෙකුට රාජපක්ෂ පවුල යටපත් කරලා දාන්න ඕන කියන උවමනාව තිබුණු බව මම දන්නවා... රනිල්ගේ පැත්තෙන් විතරක් නෙවෙයි... රනිල්ට විරුද්ධව චණ්ඩි වෙලා දඟලපු කට්ටියත් ඉන්නවනේ... ඒගොල්ලන්ගෙත් මතය වෙලා තිබුණනේ රාජපක්ෂ පවුලේ අය කවදා හරි අභියෝගයක් වේවි කියන එක තමයි... ඒක පාලනයක කරන්න දෙගොල්ලම එකතු වෙලා වැඩ කළා.

ප‍්‍රශ්නය - චණ්ඩි වෙලා දඟලපු අය කියමින් ඔබ අදහස් කළේ අනුර කුමාරලා, චම්පිකලා, රාජිතලා ෆොන්සේකලා වගේ අය ගැන ද... එහෙම නැත්නම් සජිත් වටා ඉන්න අය ගැනද...?

පිළිතුර - ඔය නම් කියපු ඔක්කොම ඇතුළත්... තවත් අය ඉන්නවා... දැන් ඔය හදාගෙන යන්නේ ඉන්න හිතෙන රටක්... ඒ උනාට දැන් තියෙන්නෙ දමලා දුවන්න හිතෙන රටක්. එකතුවෙලා මේක විනාශම කරලා දැම්මා. නිකම්ම නිකංම කාලය ගත කරලා අවුරුදු පහක් ගියාට පස්සේ තමයි ඒගොල්ලන්ට හිතුනේ ඉන්න හිතෙන රටක් හදන්න... ඕකට ප‍්‍රචාරක වියදම් විතරක් දැන් ගිහින් තියනවා මහජන මුදල් කෝටි සියයකට වැඩියෙන්...

ප‍්‍රශ්නය - ඉදිරියේදී ජනාධිපතිවරණයක් එනවා. බලවත් පාර්ශ්ව කීපයක් තරග වදිනවා. මේ තරගයේදී අපේක්ෂකයන් අතර සටන මේ තරම් උණුසුම් වෙන්න බලපාල තියෙන්නේ ලෝක බලවතුන් මේ සම්බන්ධයෙන් දක්වන උනන්දුව හා ඇඟිලි ගැසීම කියලත් සමහරු පෙන්වා දෙනවා.... අපේ දේශපාලනය සම්බන්ධයෙන් විදේශීය මැදිහත්වීම් හා ඇඟිලි ගැසීම් තියෙනවා කියන එක ඔබ පිළිගන්නවද..?

පිළිතුර - ඔව්. ඉතින් පේන්නම තියනවානේ. ඉස්සරවෙලා හම්බන්තොට වරාය හදන්න ඇස්තමේන්තු කරලා තිබුණේ ඩොලර් මිලියන 390 යි. ඊට පස්සේ චීනය මේකට බැහැලා මේ ගනුදෙනුව රට ඇතුළට අරගෙන ගොඩබිම් හාරලා අපේ රට ණය උගුලක හිර කරල වටිනාකම ඩොලර් මිලියන 1200 දක්වා අරන් ගියා. ඊට පස්සේ දිගින් දිගටම අපිට වැඩවලට අසාමාන්‍ය ලෙස ණය දෙන්න පටන් ගත්තා. අපේ අයත් ණය අරගෙන අරගෙන ව්‍යාපෘති පටන් ගත්තා. මුළු රටම ණය උගුලක හිර වුණේ ඒකයි. මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු 11 කට ගත්ත ණය වගේ 70%ක් මේ ආණ්ඩුව අවුරුදු හතරකට අරන් තියෙනවා.. අද අපි මේ රටට ණය දෙන ලෝක බලවතුන්ගේ හිරකාරයෝ... ඒකයි මුළු ලෝකයම මේ රටේ දේශපාලන කටයුතුවලට මේ තරම් උනන්දු. එක පැත්තකින් අපිව චීනය විසින් හිර කරලා තියෙන අතර අනිත් පැත්තෙන් ඇමරිකාව ප‍්‍රමුඛ ආර්ථික බලවතුන් ගොදුරු කරගන්න බලාගෙන ඉන්නවා.... ඒක තමයි ඒ ගොල්ල ‘‘සෝෆා, ඇක්සා, මිලේනියම්” වැනි විවිධ ගිවිසුම් ගහගෙන මේ ආණ්ඩුවට කිට්ටු වුණේ. දැන් අපි ලෝක බලවත් කඳවුරු දෙකක හිරකාරයෙක් හැටියටයි ඉන්නේ... මේ දෙගොල්ල වෙන් වෙන් වශයෙන් රටේ අනාගතය තම තමන්ට වාසි විදිහට කාටද පවරන්නේ කියන ප‍්‍රශ්නයට උත්තර හොයමින් බලා ඉන්නවා... ඕකයි තත්ත්වේ.

ප‍්‍රශ්නය - මේ රටේ සිවිල් සංවිධාන කියලා ආයතන රැසක් තියනවා... අද හුඟක් දෙනෙක් ඒ ගැන කතා කරනවා... සමහරු නම් කියන්නේ මහජනතාව වෙනුවෙන් ඔවුන් විශාල සමාජ දැනුවත් කිරීම් හා සමාජ කාර්යභාරයක යෙදී ඉන්නවා කියලායි. ඔබ මොනවද ඔවුන් ගැන හිතන්නේ...?

පිළිතුර - මට නම් හිතන්න දෙයක් නෑ... අපේ රටේ සිවිල් සංවිධාන කියන පුළුල් අර්ථයෙන් ගත්තහම හැඟවෙන විදියේ සංවිධාන කිසිවක් නෑ... මේ තියෙන්නෙ විදේශ රටවල ඩොලර් අපේක්ෂාවෙන් මෙහි රස්සාව කරන කණ්ඩායමකගේ එකමුතුවෙන් හැදිච්ච සංවිධාන කීපයක් විතරයි... මම ඒ අයට කියන්නේ ඩොලර් වලින් යැපෙන යාචකයෝ කියලයි...

ප‍්‍රශ්නය - මට දැන් අවසාන වශයෙන් කියන්න විජයදාස රාජපක්ෂ කියන දේශපාලනඥයාගේ භූමිකාව මොකක්ද අද මේ තියෙන සමාජ දේශපාලන ආර්ථික පරිසරය තුළ?

පිළිතුර - මම හිතන්නේ මගේ දේශපාලන භූමිකාව මම දැන් කරලා ඉවරයි. අවුරුදු 42 ක් දේශපාලනය කළා. අවුරුදු 16ක් පාර්ලිමේන්තුවේ කටයුතු කළා. ඇමැති ධුර හතක් දැරුවා. සතුටෙන් හා නිවැරදිව ධුරයේ වගකීම් කරන්න පුළුවන් කාලේ කළා. බැරි උනාම අපහසු වුණාම හෘද සාක්ෂියට අනුව කටයුතු කරමින් ඇමැතිකම් භාර දීලා එළියට ආවා.... ඕනම සේවාවක ඕනම වෘත්තියක වැඩ කළ යුතු කාලය වගේම විවේක ගත යුතු කාලය කියලත් වකවානුවක් තියෙනවා. මම හිතනවා මම වැඩ කළ යුතු කාලය ඉවරයි... දැන් මම විශ‍්‍රාම ගත යුතු කාලය ඇවිත් කියල තමයි මට හිතෙන්නෙ.


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles