Divaina - සුහදගේ සහ දිල්රුක්‍ෂිගේ ප‍්‍රකාශවලින් පේන්නේ නීතිය අතට ගත්තේ කවුද කියන එකයි - මහාචාර්ය ජී. එල්. පීරිස්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 gl
සාකච්ඡුා කළේ
 මනෝජ් අබයදීර 

 
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම එළඹෙන සතියේ අවසන් වීමට නියමිතව ඇත. දේශපාලන පිටියේ උණුසුම එන්න එන්නම වැඩිවෙන මොහොතේ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයේ කතිකාවත කෙබඳුද...? ඒ පිළිබඳව දිවයින ඉරිදා සංග‍්‍රහය සමග සාකච්ඡුාවට සහභාගි වූයේ එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාය.
 
 ප‍්‍රශ්නය - තවම ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිටින්නේ, පළාත් පාලන මැතිවරණයෙන් ලද අත්දැකීම සමගයි.
 
 ඔබගේ අපේක්ෂකයා, සම්ප‍්‍රදායික දේශපාලන චරිතයක් ද නොවෙන නිසා, ඉදිරි ජනාධිපතිවරණය අභියෝගාත්මක නොවේද...?
 
 පිළිතුර - ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙම අපේක්ෂකත්වය ප‍්‍රදානය කළේ, මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්. ඒ සඳහා පක්ෂ ගණනාවක, නායකයන් ගණනාවක් සමග සාකච්ඡුා කළා. අපි අපේ අපේක්ෂකයා නම් කිරීමෙන් පසු රටේ විවිධ ප‍්‍රදේශවලට ගියා. ඒ හැම පළාතකම, සෑම ජන කොටසකටම පවතින යහපාලන ආණ්ඩුව පිළිබඳව දැඩි කලකිරීමක් තිබෙනවා. ව්‍යාපාරික. කෘෂිකාර්මික, වෘත්තිකයන්, ගුරුවරුන් ආදී සියලූදෙනා මේ ආණ්ඩුව පිළිබඳව කලකිරීමෙන් සිටිනවා. ඒ සෑම දෙනාම පාහේ පවසන්නේ, මේක ආණ්ඩුවක් නොවන බවයි. මේ රටේ ආණ්ඩුවක් නැති බව ජනතාවට හොඳින් වැටහෙනවා.
 
 ඒ සමග රටපුරා සෑම කේෂ්ත‍්‍රයකම පවතින වර්ජන දෙස බලන්න. දුම්රිය, ගුරුවරු, විශ්වවිද්‍යාලය අනධ්‍යන සේවක, රණවිරුවන් ආදී සියලූදෙනා වර්ජන සහ උද්ඝෝෂණවල නිරත වෙනවා. මේ වර්ජන රැල්ලෙන් පෙනී යන්නේ රටේ මූලික ප‍්‍රශ්න පවා විසඳීමට රජය පියවරක් නොගන්නා බවයි. දහනව වෙනි සංශෝධනය යටතේ නිර්මාණය වූ බල කේන්ද්‍ර දෙක, පසුගිය වසර හතරහමාර පුරා එකිනෙකා සමග ගැටෙනවා විනා රටට ලබාදුන් කිසිවක් නැහැ. සම්පූර්ණ රාජ්‍ය යාන්ත‍්‍රණයම කඩා වැටිලා, රටේ කිසිදු දෙයක් වෙන්නේ නැති, අරාජික තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා.
 
 මේක ජනාධිපතිවරණයක්... ජනතාවට මේ සියල්ල එක දවසකින් වෙනස් කරන්න පුළුවන් හැකියාව ජනාධිපතිවරණයකදී ලැබෙනවා. ඒ සඳහා රටට තිබෙන්නේ එක බලාපොරොත්තුවයි. ඒ නිසා අත්දැකීම් සහිත නව නායකත්වයක් රටට අවශ්‍ය වී තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - අත්දැකීම් සහිත නව නායකත්ව කිහිපයක්ම මෙම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අතරින් ඔබේ පක්ෂයේ අපේක්ෂකයා ප‍්‍රමුඛ වන්නේ කොහොමද...?
 
 පිළිතුර - අපි පළමුවෙන්ම බැලිය යුත්තේ ‘රට බලාපොරොත්තු වෙන්නේ කුමක්ද...?’ කියන එකයි. එය යුගයෙන් යුගයට වෙනස් වෙනවා. ඒ සමගම, නිකරුනේ කතා කරන අය පමණක් අපිට දැන් අවශ්‍ය නැහැ. වැඩ කරපු ඉතිහාසයක් තියෙන කෙනෙක් රටට අවශ්‍ය වෙනවා. හිස් පොරොන්දු වෙනුවට වැඩ කරලා පෙන්වපු කෙනෙක් රටට ඕනේ. යම් ඉලක්කයක් හඳුනාගෙන, ඒ සඳහා ක‍්‍රියාමාර්ගයක් සහිත නායකයෙක් අද රටට අවශ්‍යයි.
 
 රටේ පවතින ගැටලූ සම්බන්ධව විග‍්‍රහ කරන විට, මේ රටට පළමුව අවශ්‍ය වී තිබෙන්නේ විනය බව පැහැදිලියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ වගකීම් සුදුසු පුද්ගලයන්ට පවරා දී, එය අඛණ්ඩව අධීක්ෂණය කරන නායකයෙක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කොළඹ නගරය සංවර්ධනය කරන ලද ආකාරය ඔබ දන්නවා. ඒ සඳහා සැලසුම් සකස් කර, එම කටයුතු ඔහු දිගින් දිගටම අධීක්ෂණය කළා. සමහර දිනවල රාත‍්‍රී එකොළහට පමණ ඔහු එම කටයුතු සොයා බැලීම සඳහා අදාළ ස්ථානවලට යනවා. යුද ජයග‍්‍රහණය සඳහා ඔහු දුන් නායකත්වය රටම දන්නවා.
 
 ප‍්‍රශ්නය - ජාතික ආරක්ෂාව මුල් කරගත් අපේක්ෂකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හඳුන්වා දෙන්න පුළුවන්. ඇතිවී තිබෙන ජාතික ආරක්ෂාවේ ව්‍යාකූලත්වය සඳහා ඔහුගේ කාර්යභාරය සමග සුළු ජනවර්ග මර්දනය පිළිබඳව සඳහන් වෙනවා...
 
 පිළිතුර - දැන් තිබෙන්නේ අනාරක්ෂිත රටක්... 2009 වසරේ මැයි මාසයේ මේ රටේ යුද්ධය නතර වුණා. නමුත් එම තත්ත්වය වසර හතරක් පවත්වාගෙන යෑමේ හැකියාවක් මේ ආණ්ඩුවට තිබුණේ නැහැ. පැය දෙකක් ඇතුළත රටේ බෝම්බ අටක් පිපිරුණා. ත‍්‍රස්තවාදීන් විසින් අවම වශයෙන් වසර දෙකක් තිස්සේ කරන ලද සැලසුමක් එදා රටට ව්‍යසනයක් ඇති කළා. මේ පිළිබඳව සියලූ දත්තයන් ආණ්ඩුව දැනගෙන හිටියා. ඒ සියලූ දේ දැනගත්තේ විදේශ බුද්ධි අංශ මාර්ගයෙන්... එසේ තිබියදී මේ රජය එම ප‍්‍රහාරය වළක්වන්න කිසිවක් කළේ නැහැ. ඒ සඳහා හේතු තිබුණා. රටේ ප‍්‍රධානම ආරක්ෂක සාකච්ඡුාව වන ආරක්ෂක මණ්ඩලය මාස දෙකක් තිස්සේ රැස් වුණේ නැහැ. සංහිඳියාව පිළිබඳව වැරදි අර්ථකතනයක් ලබාදීම අනිත් කාරණය. බුද්ධි අංශ සංහිඳියාවට බාධාවක් කියන මතයේ රජය හිටියා. එම වැරදි තීන්දුව නිසා, රටේ බුද්ධි අංශ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කළා. බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඔවුන් තුළ තිබුණු චිත්ත ධෛර්යය සම්පූර්ණයෙන්ම නැති වුණා. එකිනෙකා අතර සම්බන්ධය සම්පූර්ණ වශයෙන් බිඳ වැටුණා. රට තුළ බුද්ධි අංශ සම්පූර්ණ දුර්වල කර දමා තිබුණ, නිසා අපේ බුද්ධි අංශ සිටියේ සම්පූර්ණයෙන්ම සිටියේ ඇද වැටිලා. එම සමස්ත වටපිටාව තුළ රටට ලැබුණේ අදහාගත නොහැකි වටපිටාවක්...
 
 මේ විනාශ කර දමන ලද්දේ, ගෝඨාභය රාජපක්ෂ විසින් ඇතිකර තිබූ, විධිමත් ආරක්ෂක යාන්ත‍්‍රණය. එම ආරක්ෂක යාන්ත‍්‍රණය සකසා තිබුණේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්. ජාතික ආරක්ෂාව ඇති කිරීම කියන්නේ එක් ජන වර්ගයක් සඳහා යොදවන මැඬපැවැත්වීමක් නොවේ. ආරක්ෂාව කියන්නේ මේ රටේ කාටත් පොදු දෙයක්. ත‍්‍රස්තවාදය කිසිදු ජාතියකට ගෞරවයක් නොවෙයි. ඒ නිසා සෑම ජාතියක්ම ත‍්‍රස්තවාදය ප‍්‍රතික්ෂේප කරනවා. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් මේ රටේ බහුතර මුස්ලිම් ජනතාව එකඟත්වයක් නැහැ. එය අන්තවාදී සුළු කොටසකගේ වැඩක්... එයින් රටේ අනෙකුත් මුස්ලිම් ජනතාවට අනාරක්ෂාවක් ඇතිවෙනවා. එම පොදු, බහුතර මුස්ලිම් ජනතාවට බියෙන් සැකෙන් තොර රටක් උදා කළ හැක්කේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙන් පමණයි. සුළු ජාතීන් කාටත් අද බයක් ඇතිවී තිබෙනවා. එයට හේතුව වන්නේ රජය තමන්ගේ මූලික කර්තව්‍යය ඉෂ්ට නොකිරීමයි. ආණ්ඩුවේ ප‍්‍රධාන වගකීම ආරක්ෂාව සැපයීම. එම කර්තව්‍යය අනතුරේ හෙළීම නිසා අද රටේ සියලූ ජනකොටස් සිටින්නේ බියෙන්... ජාතික ආරක්ෂාව තහවුරු කිරීම තුළ සියලූදෙනාට බියෙන් සැකෙන් තොර, සම ගෞරවයෙන් සිටිය හැකි රටක් නිර්මාණය වෙනවා.
 
 ප‍්‍රශ්නය - මේ සාකච්ඡුාව සිදු කරන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව සිදුකරගෙන යෑමට හැකියාවක් තිබෙනවාද...?
 
 පිළිතුර - මේ පීඩනය දිගටම මේ ආණ්ඩුව විසින් එල්ල කළා. බලන්න කෙතරම් පීඩනයක් ද කියලා.... නඩු නැති සතියක් නැහැ. මැතිවරණ ව්‍යාපාරය අතරෙත් නඩු පවරනවා. මේ යහපාලන ආණ්ඩුව රටට කරන ලද ලොකුම හානිය වන්නේ රාජ්‍ය යාන්ත‍්‍රණය සහ සමහර ආයතනහි ගෞරවය විනාශ කිරීමයි. ආණ්ඩුව පටන් ගත්ත දා සිට තිබුණු එකම රාජකාරිය වූයේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම... මැතිවරණ පවා නොපවත්වමින් සිය විරුද්ධවාදීන් දඩයම ඔවුන් සිදුකරගෙන ගියා... මැතිවරණ පරදිනවට තිබෙන බය නිසා, ඡුන්ද කල්දමමින්, ප‍්‍රතිවාදීන් දඩයම ඔවුන් විසින් තවත් වේගවත් කළා. තව සතියකින් පවත්වන ඇල්පිටිය ඡුන්දය දිනන බවට මේ යහපාලනයේ කාට හෝ කියන්න පුළුවන්ද...? බැහැ... ඔවුන් හොඳටම දන්නවා ඒක පරදින බව. තමන්ට එදිරිව එන දේශපාලන චරිත කරලියෙන් ඉවත් කිරීම සඳහා මේ ආණ්ඩුව නොකරන දෙයක් නැහැ. නාම යෝජනාව අවලංගු කරලා, තමන්ට මැතිවරණයේදී මුහුණ දිය නොහැකි අපේක්ෂකයා අසීරුතාවකට පත් කිරීම තමයි මේ අයගේ අරමුණ.
 
 ගෝඨාභය රාජපක්ෂ සමග සටන් කළ යුත්තේ දේශපාලනිකවයි. ඒ සඳහා වෙන ක‍්‍රියාමාර්ගයක් තෝරනවා කියන්නෙම, ඒ පිරිස පරාජය භාර ගත්තා කියන එක... ව්‍යාජ නීති තර්ක මාර්ගයෙන් අද එලියට පැමිණ තිබෙන්නේ, තමන් පරාජය වන බවට ඔවුන් වෙත ඇති සහතිකයයි.
 
 ප‍්‍රශ්නය - හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා විසින් ප‍්‍රකාශ කර තිබූ පරිදි යහපාලන ආණ්ඩුව විසින් ඉතා සැලසුම් සහගත ආකාරයෙන් නඩු පැවරීමෙන් දේශපාලන පළිගැනීම් කර තිබෙනවා... ඔබගේ අපේක්ෂකයා බලයට පත්වුවහොත් මෙම ක‍්‍රියාදාමය අනෙක් පිරිසට දියත් නොවන බව කිව හැකිද..?
 
 පිළිතුර - ඔව්.. සුහද ගම්ලත් මහතාගේ සාකච්ඡුාව සහ දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ හඬපටය අනුව මේ රටේ නීතිය අතට ගෙන ඇත්තේ කවුද යන්න පැහැදිලියි... රටේ සොලිසිටර් ජනරාල්ට නියෝග දෙන ආකාරය පැහැදිලිව පෙන්වා දුන්නා. ඒ සියල්ල සඳහා මුල් වුණේ යුක්තිය ඉටුකිරීමට තිබූ අවශ්‍යතාව නිසා නොවන බව කිව හැකියි... ගෝඨාභය කියන්නේ දරදඬු පුද්ගලයෙක් නොවේ. හැබැයි, අලසකම, දූෂණය, වංචාව, ආකාරයක්ෂමතාව ඔහු සතුව නැහැ... ඔහු සතු මෙම ශක්තිය අද රටේ ජනතාව පක්ෂ පාට නැතුව පිළිගෙන තිබෙනවා. ඔහුට ඇත්තේ රට සඳහා න්‍යාය පත‍්‍රයක් මිස මේ ආණ්ඩුවට මෙන් පළිගැනීමේ න්‍යායය පත‍්‍රයක් නෙමෙයි.
 
 ප‍්‍රශ්නය - ශ‍්‍රීලනිපය සහ පොහොට්ටුව අතර සාකච්ඡුා තවම නිමාවී නැහැ. ඔබ පක්ෂයට ශ‍්‍රීලනිපයේ සහයෝගයවත් දිනා ගන්න තවම බැරි වෙලා තියෙනවා. එසේ තිබියදී පොහොට්ටුවේ ජයග‍්‍රහණය සහතික කරන්නේ කොහොමද...?
 
 පිළිතුර - අප ඒකාබද්ධ විපක්ෂය ලෙස ඉතා තියුණු බලවේගයක් ගොඩනගා ගත්තා. ඒ ගමන දැන් අපි ඉදිරියට ඇවිත් තිබෙනවා. මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යනවාද, නැතිනම් එජාප විරෝධී බලවේග ඒකරාශි කර ගනිමින් මෙම තත්ත්වයෙන් රට ගොඩ ගන්නවද... යන ප‍්‍රශ්නය දැන් අප හමුවේ තිබෙනවා. අපි ඒ සඳහා ඕනෑම කැපවීමක් කරනවා. සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා කියන්නේ පැවති රජයේ ප‍්‍රබල ඇමැතිවරයෙක්... එජාපයේ නියෝජ්‍ය නායකතුමා... මේ රජය කරපු හැමදේකම වගකීම, සාමුහික වගකීම යටතේ ඔහුට තිබෙනවා. එම අපේක්ෂකයාට විරුද්ධව අපි සියලූදෙනා එකතු වෙනවා. එහි අවසාන අදියරට දැන් පැමිණ සිටිනවා.
 
 ප‍්‍රශ්නය - නමුත් ඡුන්ද සලකුණ පිළිබද ප‍්‍රශ්නය තවම ඉතිරිවී තිබෙනවා...
 
 පිළිතුර - ඡුන්ද ලකුණ, ආසන සංවිධායක ප‍්‍රශ්න ආදිය බලපාන්නේ මහ මැතිවරණයකදී... ඒවා ජනාධිපතිවරණයකදී වැදගත් දේවල් නෙමෙයි... පොහොට්ටුව කියන්නේ මේ රටේ ජන මනසේ තැන්පත් වූ විශාල දේශපාලනික සම්පතක්... මම පොහොට්ටුවේ කියන එකයි, ජනතාව කියන්නේ. පොහොට්ටුව සහ මහින්ද රාජපක්ෂ මහතා අතර දැඩි සම්බන්ධයක් තිබෙනවා. එවැනි වටිනා දෙයක් ජනාධිපතිවරණයකදී අපි විසි කර දමන්නේ ඇයි...? මෙහිදී වැදගත් රටට අවශ්‍ය වෙනස ලබා දෙනවාද, නැද්ද කියන එක මිසක් වෙන වාද බේද නෙමෙයි...
 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles