Divaina - අපේ අලූත්ම බ‍්‍රෑන්ඞ් එක AKD - වෛද්‍ය නලින්ද ජයතිස්ස

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 akd
ජාතික ජන බලවේගය ඉදිරිපත්කර ඇති අපේක්‍ෂකයා අනෙකුත් අපේක්‍ෂකයන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන් හා ඉහළින් ඇති අපේක්‍ෂකයකු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
 
 පහතින් පෙළ ගැසෙන්නේ ඒ මහතා සමග පවතින දේශපාලන තත්ත්වය හා තවත් කාරණා කිහිපයක් පිළිබඳව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ කළ සාකච්ඡාවයි.
 
 
 
 
 ප‍්‍රශ්නය - ජාතික ජන බලවේගය ඒ.කේ.ඞී (AKD) කියලා අලූත් බ‍්‍රෑන්ඞ් එකක් හඳුන්වාදී තිබෙනවා.
 
 පිළිතුර- ඔව්. ඒ.කේ.ඞී කියන්නෙ අලූත් බ‍්‍රෑන්ඞ් එකක් විතරක් නෙමෙයි පිරිසිදු දක්‍ෂ රටට ඕන බ‍්‍රෑන්ඞ් එකක්.
 
 ප‍්‍රශ්නය - ඒ කේ ඞී බ‍්‍රෑන්ඞ් එක මාකර්ට් කරන්න ලේසි වෙන එකක් නැහැ නේද?
 
 පිළිතුර - කිසි බැරිකමක් නැහැ. ඒ කේ ඞී ලේසියෙන්ම මාර්කට් කරන්න පුළුවන්. මම එහෙම කියන්නේ ඇයි. අනුර කුමාර දිසානායක (ඒ.කේ.ඞී) අනිත් සෑම අපේක්‍ෂකයකුටම වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් සහ ඉහළින් සිටින අපේක්‍ෂකයායි.
 
 ඔහු වංචා දූෂණයෙන් තොර කෙනෙක්. ඔහුට කිසිම උසාවියක ඇහෙන නඩුවක් නැහැ. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සහ සිටි කෙනෙක්. ඔහු කෘෂිකර්ම ඉඩම් පශු සම්පත් වාරිමාර්ග ඉඩම් වැනි දැවැන්ත අමාත්‍යාංශයක් භාර ගෙන එය කටයුතු සාර්ථකව කළ කෙනෙක්. වසර 20 ක පාර්ලිමේන්තු දේශපාලනයේ අත්දැකීම් ඇති අයෙක්. ඔහු ප‍්‍රතිපත්ති ගරුක විනයක් ඇති පක්‍ෂයක නායකයා. මේ සියලූ කරුණු කාරණා බැලූවහම මම කලින් කිව්වා වගේ ඔහු අනිත් අපේක්‍ෂකයන්ට වඩා ගව් ගණනාවක් ඉහළින් හා ඉදිරියෙන් සිටින කෙනෙක්. ඒ. කේ. ඞී. සන්නාමයට ගහන්න කිසිදු අපේක්‍ෂකයකුට හැකියාවක් නැහැ.
 
 ප‍්‍රශ්නයක් - නමුත් අනෙකුත් අපේක්‍ෂකයන් ප‍්‍රබල දේශපාලන පක්‍ෂවලින්් විශාල ජන ප‍්‍රසාදයක් ඇතිව තරගයට අවතීර්ණ වන්නේ. ඒ අනුව ඔබේ අදහස පිළිබඳ ගැටලූවක් මතු වෙනවා නොවේද?
 
 පිළිතුර - නැහැ. කිසිදු ගැටලූවක් නැහැ. දැනට ප‍්‍රකාශයට පත් කර ඇති අපේක්‍ෂකයා වන්නේ පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා. ඔහු තමයි රාජපක්‍ෂ කඳවුරේ සිටින හැම පැත්තෙන්ම චෝදනාවට ලක්ව ඇති, ලක්විය හැකි පුද්ගලයා. එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා කවුරුන්ද යන්න අපි දන්නේ නැහැ. නමුත් ඔහු එන්නේ පක්‍ෂයේ කොටසකගේ සහයෝගය නොමැතිවයි. එසේ ආව පුද්ගලාටත් මහ බැංකු වංචාව, ආර්ථික අර්බුදය, පොරොන්දු කඩකිරීම, පවතින දූෂිත පාලනය ගැන වගකියන්න වෙනවා. ඒ අනුව දෙපැත්තෙන්ම එන කොයි කාටත් වඩා ඉහළින් තැබිය හැකි අපේක්‍ෂකයා තමයි. ඒ. කේ. ඞී. කියලා කියන්නේ.
 
 ප‍්‍රශ්නය - සහෝදරයා ඔබ කියන්නේ අනුර කුමාර දිසානායක රටට සුදුසුම පුද්ගලයා කියලයි.
 
 පිළිතුර - ඔව්. පැහැදිලිවම.. ඔහු රටට සුදුසු වෙන්නේ ඇයි කියල මම කියන්නම්. දැනට ඉදිරිපත්ව ඇති අපේක්‍ෂකයන් අතරින් වඩා උගත්ම අපේක්‍ෂකයා ඔහුයි. කැකිරාවේ මධ්‍ය මහා විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ගත් කෙනෙක් ඔහු. එසේම ඔහු ඉදිරිපත්ව ඇති අපේක්‍ෂකයන් අතරින් තරුණම පුද්ගලයායි. එසේම ඔවුන් අතරින් දේශපාලන අත්දැකීම් වැඩිම කෙනා ඔහුයි. චෝදනාවක් නැතිව අමාත්‍යාංශයක් මෙහෙය වූයේ ඔහුයි. ජවිපෙට නායකත්වය දෙන්නේ ඔහුයි. මේ සියල්ල ගත්පසු මේ බ‍්‍රෑන්ඞ් එකට ගහන්න තියා හිතන්නවත් කෙනෙක් නැහැ.
 
 ප‍්‍රශ්නය - සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා පසුගියදා අප සහෝදර පුවත්පත වන ‘දිවයින’ ට ලබාදුන් සාකච්ඡාවේදී සඳහන් කළේ අප රටේ ඉන්නේ දේශපාලන වහලූන් බවයි. එවැනි තත්ත්වයක් තුළ අනුර කුමාර සහෝදරයාට ජයග‍්‍රහනයක් කරා යා හැකිද?
 
 පිළිතුර - අප රටේ පමණක් නොව දකුණු ආසියාවේ ජනතාව සාම්ප‍්‍රදායික දේශපාලන පක්‍ෂවලට ඇලිලා ගැලිලා හිටිය කාලයක් තිබුණා. දැන් එය යම්තාක් දුරකට ශීඝ‍්‍රයෙන් වෙනස් වෙමින් තිබෙනවා. උදාහරණයක් වශයෙන් අප රටේ පාවෙන ඡුන්දදායකයන් සියයට 40 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ වගේම එජාප ඔඩොක්කුවේ තිබූ දෙමළ, මුස්ලිම් හා වතු ඡුන්ද වෙනත් තීන්දුවක් ගැනීම සඳහා සාකච්ඡාවට එළැඹ තිබෙනවා. දැන් තිබෙන්නේ 1977-2010 තිබූ රට නෙමෙයි. වෙනස්වන ජනතාවට නායකත්වය දෙන ව්‍යාපාරයක් අප හදා තිබෙනවා. ජනතාවට පමණක් බැනලා වැඩක් නැහැ. වෙනස් වන ජනතාව වෙත වැඩපිළිවෙළක් අප ඉදිරිපත් කර තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - ජාතික ජන බලවේගය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදකින්නේ කවදාද?
 
 පිළිතුර- එය මේ වනවිට සම්පාදනය කරමින් යනවා. ඔක්තෝබර් දෙවන සතියේ එය අප සමාජගත කරනවා.
 
 ප‍්‍රශ්නය - ජනාධිපති අපේක්‍ෂකයන් මෙන්ම බොහෝ දෙනෙක් රටේ ආරක්‍ෂාව ගැන කතා වෙනවා. ඇත්තටම රටේ ආරක්‍ෂාවේ අර්බුදයට වඩා ආර්ථික අර්බුදය ප‍්‍රශ්නයක් වෙලා නොවේද?
 
 පිළිතුර - රටේ ප‍්‍රමුඛතම ප‍්‍රශ්නය ආර්ථික ප‍්‍රශ්නයයි. ආර්ථිකයේ දුබලතා නිසයි ආර්ථිකය බිඳ වැටිලා තිබෙන්නේ. ජාතීන් රැසක් ජීවත්වන රටක ජාතික ආරක්‍ෂාවේ පදනම ජාතික සමගියයි. ජාතික සමගිය බිඳවැටීමේදී ආර්ථිකය බිඳ වැටෙනවා. ඒ වගේම ආර්ථික පදනම බිඳවැටුණම ලෝකයේ වෙනත් රටවලට අප රටට මැදිහත් වෙන්න ඇඟිලි ගහන්න ඉඩ ලැබෙනවා. ආර්ථික පදනම ශක්තිමත් කර තැබීම ජාතික ආරක්‍ෂාව පැත්තෙන් වැදගත්. ජාතික ජන බලවේගය කල්පනා කරන්නේ ජාතික ආර්ථිකය ගොඩගැනීම සමාජ සාධාරණත්වය ගොඩගැනීම ජාතීන් අතර සමගිය ඇති කිරීම සහ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමයි.
 
 එක දෙයක් මෙහිදී කියන්න ඕනෑ. සමහර පුද්ගලයන් ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කර ඇති ප‍්‍රකාශ තිබෙන අනතුරට වඩා බරපතළයි. ඔවුන් හදන්නේ ජනතාව තුළ භියක් ඇති කර තමන් එතැනට සුදුසු බව පෙන්වන්නයි. ඉතිහාසයේ අසමත් වූ අය ආරක්‍ෂාව නමැති නූල් පොටේ එල්ලී ගොඩයන්න හදනවා. රටක් කියන්නේ සිකයුරිටි ෆර්ම් එකක් නොවන නිසා රටක් පාලනයේදී සියලූම ක්‍ෂේත‍්‍ර පිළිබඳ අවබෝධයක් ගැන පුරවැසියාගේ නිදහස පිළිබඳවත් සලකන පාලනයක් තමයි ඕන කරන්නේ.
 
 ප‍්‍රශ්න - ජවිපෙ පාර්ලිමේන්තු සාමාජිකයන් පිළිිබඳ වැඩි කතාබහක් සමාජය තුළ නිර්මාණය වෙලා. ඒ වංචා දූෂණ සෙවීම කියන කාරණය සම්බන්ධයෙන්. කෝප් කමිටුවේදී හඳුන්නෙත්ති සහෝදරයාගේ කාර්යභාරය ගැන ජනතාව ප‍්‍රශංසා මුඛයෙන් කතා කරනවා.
 
 පිළිතුර - ජවිපෙ කෝප් හි සභාපති ධුරය භාරගෙන වසර 4 කට වැඩි කාලයක් ගත වෙනවා. මාධ්‍යවලට විවෘත වෙන්න කලින් සිට අපි අපේ වැඩ කොටස ඉතා හොඳින් ඉටු කළා. අපට වංචා, දූෂණ හෙළි කිරීම සහ ඊට සම්බන්ධ නිලධාරීන්ට දේශපාලනඥයන්ට සෘජුව ඇඟිල්ල දික්කරන්න පුළුවන් වී ඇත්තේ අපි එවැනි කිසිදු වංචාවකට, දූෂණයකට පක්‍ෂයක් ලෙස හෝ පුද්ගලයකු ලෙස සම්බන්ධ නොවී තිබීමයි.
 
 මීට පෙර සභාපතිවරුන්ට මෙතරම් හොඳින් කෝප් කමිටුවේ කටයුතු මෙහෙයවන්න බැරිවුණේ ඔවුන් බොහෝ දෙනෙක් විවිධ වංචා දූෂණවලට යම්කිසි හවුල්කාරිත්වයක් තිබීමයි. එසේ නැතිනම් ඔවුන් නියෝජනය කරන පක්‍ෂය හෝ පෙරමුණ දූෂකයන් ආරක්‍ෂා කිරීමයි. අපට එහෙම ප‍්‍රශ්නයක් නැහැ. කෝප් කමිටුවේදී ජවිපේ කාර්යය භාරය මෙතරම් හොඳයි නම් අපි කියන්නේ අපට කෝප් එක වගේ රටත් භාර දෙන්න කියලයි. එවිට අපි මුළු රටම සුද්ද කර දෙන්නම්. ඔබ ගෙවන අන්තිම බදු රුපියල දක්වාම වග කියන රටක් අපි හදනවා.
 
 ප‍්‍රශ්නය - කොප් කමිටුව ගැන මතක් කරද්දී මට මතක් වුණේ ඔබත් කෝපා (රාජ්‍ය ගිණුම් කරන සභාව) හිදී වංචා දූෂණ ගැන හෙළිදරව් කිරීම්
 
 ගණනාවක් සිදු කළා. විශේෂයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වංචා, දූෂණ ගැන ඔබ දිගින් දිගටම ප‍්‍රශ්න කරනවා මෙන්ම හෙළිකරනවා අපි දැක්කා. මොකද එතැන වෙලා තිබෙන්නේ.
 
 පිළිතුර - මේ දෙපාර්තමේන්තුව රටේ ආර්ථිකයට මෙන්ම රටේ ආරක්‍ෂාවට ඉතා වැදගත් ආයතනයක්. ඒ නිසා එය රජය යටතේ පවත්වා ගැනීම තමයි සාමාන්‍යයෙන් සිදු කරන්නේ. නමුත් මේ වනකොට එම ආයතනය අප රටේ අතිශය දූෂිත ආයතනයක් පමණක් නොව එහි බොහෝ ක්‍ෂේත‍්‍ර පුද්ගලික අංශයට පවරා තිබෙනවා. එම දෙපාර්තමේන්තුව රාජ්‍ය භාණ්ඩාගාරයට වාර්ෂිකව රුපියල් කෝටි දාහතකට ආසන්න ප‍්‍රමාණයක් ආදායම් වශයෙන් ගෙවනවා. නමුත් එය ඊට වඩා රජයට මුදල් ලබාදිය හැකි ආයතනයක්... වාර්තා වී ඇති ආකාරයට ලියාපදිංචි නොකළ වාහන පනස්දහසක් පමණ තිබෙනවා. හොරට ලියාපදිංචි කළ වාහන දහස් ගණනක් මේ රටේ තිබෙනවා.
 
 මේ සියල්ල පාලනය කරන්නෙ මෝටර් රථ දෙපාර්තමේන්තුවයි. එහි නිලධාරීන්, ඇමැතිවරුන් සහ පාතාලය සමන්විත අන්ත දුශීත වළල්ලක් මගින් තමයි මෙහි කටයුතු මෙහෙයවන්නේ. උදාහරණයක් ලෙස රියැදුරු බලපත‍්‍රය ලබා ගැනීම වෙනුවෙන් එහි හිමිකරු රුපියල් එක්දහස් හත්සියයක් ගෙවනවා. ඉන් රජයට යන්නේ රුපියල් තුන්සිය හැටයි. ඉතුරු රුපියල් එක්දහස් තුන්සිය හතළිහම යන්නේ පුද්ගලික සමාගමකට. 2009 දී මෙම දෙපාර්තමේන්තුව ඉහත කී සමාගම සමග ගිවිසුම් ගත වුණේ වසර පහක් සඳහා යි. ඒ වසර පහ තුළ නව රියැදුරු බලපත‍්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය කරන පරිගණක ඇතුළු උපකරණ රජයට භාරදෙන්න ඕනෑ. ඒ සදහා නිලධාරීන් පුහුණු කළ යුතු වෙනවා. නමුත් ඒ සමාගම ඒ කිසිවක් නොකර කොන්ත‍්‍රත් කාලය අවසන් වූ පසුත් වසරින් වසර කොන්ත‍්‍රාත් පදනම මත රියැදුරු බලපත‍්‍ර මුද්‍රණය කිරීම කරගෙන යනවා.
 
 ප‍්‍රශ්නය - ඇතුලේ උදව් ගැනීම එසේ පෞද්ගලික සමාගමට කළ හැකි නැහැ නොවේද?
 
 පිළිතුර - ඔව්.. එයට උදව් කරන්නේ ඇමැතිවරුන් හා ඇතුලේ නිලධාරීන්. මොකද රියැදුරු බලපත‍්‍ර මුද්‍රණයෙන් එම සමාගමට මාසිකව රුපියල් කෝටි 10 ක ආදායමක් හිමි වෙනවා. රියැදුරු බලපත‍්‍රයේ ප්ලාස්ටික් කෑල්ලට රුපියල් එක්දහස් තුන්සිය හතළිහක් එම සමාගමට ලබාදීම කිසිසේත් සාධාරණ නැහැ. එසේම වසර 4 කින් නැවත රියැදුරු බලපත‍්‍රය අලූත් කිරීමේදී කිසිදු සහනයක් සලසන්නේ නැතිව නැවතත් රුපියල් එක්දහස් හත්සියක් ගන්නවා. මේ ජනතා මුදල් හූරා කෑමක්. නමුත් රජය මෙයට ඉඩදී බලා ඉන්නවා. නිලධාරීන් ඊට උඩගෙඩි දෙනවා. අපි මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කර පාර්ලිමේන්තුවට වාර්තා ලබා දීමට කටයුතු කරනවා. ඊ-මොනටරින්, නම්බර් ප්ලේට්, ව්‍යාපෘතිය, රියැදුරු බලපත‍්‍ර ලබාදීමේ විභාගය ආදී ක්‍ෂේත‍්‍ර ගණනාවක වංචා දූෂණ අපි හඳුනා ගෙන තියෙනවා.
 
 ප‍්‍රශ්නය - මෙය රාජ්‍ය මුදල් අව භාවිතයක් නොවේද?
 
 පිළිතුර - පැහැදිලිවම. භාණ්ඩාගාරයට යන්න ඕන මුදල් සමාගමක් ගන්නවා. මේ සමාගම කරන වැඬේ වසර පහකින් පසු රජයට පැවරුවා නම් රුපියල් එක්දහස් හත්සියයම යන්නේ රජයටයි. පහේ ශිෂ්‍යත්වය ලියන රටේ සෑම දරුවකුටම එවැනි මුදලකින් මාසිකව රුපියල් දහසක ශිෂ්‍යත්වයක් ලබා දෙන්න පුළුවන්. පසුගිය වසර 10 තුළ මෙම සමාගම රුපියල් කෝටි දාහක තරම් ආදායමක් උපයා ගෙන තිබෙනවා. මේ වංචාවට සම්බන්ධ සියලූදෙනාට නීති කි‍්‍රයා මාර්ග ගන්න අප බලාපොරොත්තු වෙනවා.
 
 ප‍්‍රශ්නය - කෝපා මීට පෙර අදාළ දෙපාර්තමේන්තුවට නිර්දේශ ගණනාවක් කි‍්‍රයාත්මක කිරීම කිරීම සඳහා ඉදිරිපත් කර තිබුණා. එම නිර්දේශය මෙම දෙපාර්තමේන්තුව කි‍්‍රයාත්මක කරන්නේ නැතිද?
 
 පිළිතුර - ඔව්. පාර්ලිමේන්තුවේ පොරොන්දු වෙලා ගියාට එම නිර්දේශ කි‍්‍රයාත්මක කර නැහැ. මේ ඉන්න කොමසාරිස් ජනරාල්වරයා සිට බොහෝ අයට වංචා දූෂණ චෝදනා තිබෙනවා. ඒ සඳශා විමර්ශන කි‍්‍රයාත්මකයි. නමුත් එහි ඉන්න ඉහළම නිලධාරීන් කිහිපදෙනා පත්වෙන ඇමැතිවරයා අල්ලා ගෙන තමයි මේ දූෂණ කරන්නේ. ඇමැතිවරයාත් කුට්ටිය ලැබුණු පසු කට වහගෙන ඉන්නවා. එන ඕනෑම ඇමැතිවරයෙක් මේ දූෂිත වළල්ලේ ගොඳුරක් බවට පත් කර ගැනීමට මේ නිලධාරීන් සහ එයට සේවා සපයන පුද්ගලික සමාගම් කටයුතු කරනවා.
 
 ප‍්‍රශ්නය - මේ වංචා මැඬීමට කෙටි කාලීන විසඳුමක් නැතිද?
 
 පිළිතුර - කෝප් හා කෝපා එකට තීන්දු හා නිර්දේශ දෙන්න පුළුවන්. නමුත් අදාළ ඇමැතිවරයා තමයි තමා යටතේ ඇති ආයතනවල එය කි‍්‍රයාත්මක කළ යුත්තේ. ‘වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව’ වගේ ඇමැතිවරයා දූෂිත වළල්ලේ කොටස්කරුවෙක් නම් මේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම අපට බලාපොරොත්තු වෙන්න බැහැ.
 
 
 සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles