Divaina - නාමල්ගේ කසාදය, ගෝඨාගේ නඩුව සහ රනිල් - සජිත් හබය අස්සේ ගෙවුණු සතිය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 poli
 
 බුලිත ප‍්‍රදීප් කුමාර
 
නීත්‍යනුකූලව මේ රටේ ජනාධිපතිවරණයක් කැඳවිය හැකි පරිසරය දැන් උදා වී අවසන්ය. ජනාධිපතිවරණයකට මේ රටේ ප‍්‍රධාන පක්ෂ කිහිපයක් ද දැන් සූදානම්ය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කල්තියාම සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරනු ලැබුවේය. ඒ හා සමගාමීව ජනතාව විමුක්ති පෙරමුණද එහි නායක අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළේය. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හා එක්සත් ජාතික පක්ෂයට තවමත් ජනාධිපති අපේක්ෂකයන් නම් කර ගත නොහැකි ප‍්‍රශ්න ගණනාවකි...
 
 එක්සත් ජාතික පක්ෂය මේ සඳහා අභ්‍යන්තර ගැටලූවක හා අර්බුදයක ගිලී විසඳුම් සොයමින් සිටියි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද මේ ගැන හරි උත්තරයක් නොමැතිව තවමත් සාකච්ඡා කරමින්ය. තත්ත්වය මෙසේ තිබියදී අපේ රටේදී දේශපාලන කරළිය බෙහෙවින් උණුසුම් වන්නට පටන් ගෙන තිබුණේ මෙකී පක්ෂ අභ්‍යන්තරයේ ඇති ක‍්‍රියාකාරකම් වූ එන්න එන්නම වේගවත් වීමත් සමඟය.
 
 එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස ඉදිරිපත් කරන්නට පක්ෂයේ පසුපෙළ කොටස් කෙතරම් උත්සාහ කරත් පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ හා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ අනුමැතිය හා ආශිර්වාදය නොමැතිවීමෙන් විසඳුමක් නැති ප‍්‍රශ්නයක් බවට පත් විය. ජනාධිපතිවරණ ඡුන්ද සටන සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් වනවාද නැද්ද යන්න මීට පෙර ස්ථිරවම ප‍්‍රකාශ නොකළ නිසා පක්ෂය අභ්‍යන්තරයේ තරුණ කොටස් ඒ සඳහා තෝරා ගත්තේ සජිත්වය. නමුත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ අනුමැතියක් ඊට ලැබුණේ නැත. පක්ෂයට උදවු කරන ජාතික හා අන්තර්ජාතික බලවේග වලත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේත් තෝරාගැනීම වූයේ ඒ සඳහා රනිල් ඉදිරිපත් විය යුතු බවය... මෙම නිසා අභ්‍යන්තර ගැටුම් හා ආරවුල් එන්න එන්නම උග‍්‍ර අතට පත් විය. පසුගිය සතියේත් ඒ ගැටුම එලෙසම ඉදිරියට ඇදී ගියා මිස විසඳුමකට පැමිණෙන බවක් පෙනුනේ නැත.
 
 එක්සත් ජාතික පක්ෂයේ ගැටුම් දිගින් දිගින් දිගටම ඉදිරියට ඇදී යන අතර, ගෝඨාභය ජනාධිපති කරවන්නට වෙහෙසෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක‍්‍රියාකාරිකයෝ සිය සටන ඉතා සැලසුම් සහගතව ඉදිරියට ගෙනයන ආකාරය පසුගිය සතියේ අපට දැක බලා ගත හැකි විය.
 
 මෙම සියලූ මෙහෙයුම් භාරව ක‍්‍රියා කළ නායකයා වූයේ බැසිල් රාජපක්ෂයි... විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ සියලූ කටයුතු බැසිල් රාජපක්ෂ වෙත භාර කර තිබීම නිසා ඔහුට එම කටයුත්ත වඩාත් සංවිධානගතව හා වඩාත් විධිමත්ව කර ගෙන යෑමට හොඳ පසුබිමක් සැකසී තිබිණි. බැසිල් ඒ සඳහා සැලසුම් සකස් කර සංවිධානගත ව්‍යූහය රටපුරා එලන ලද්දේ අද ඊයේ, හදිස්සියේ නොවන බව පැහැදිලිවම ඒ සැලසුම් දෙස විමසිලිමත්ව බලන අයෙකුට ඉතා මැනවින් අවබෝධ වන්නක් විය.
 
 බැසිල් රාජපක්ෂට දකුණු ප‍්‍රදේශවල සිංහල ජනතාවගේ ඡුන්ද සම්බන්ධයෙන් ලොකු ගැටලූවක් නොවීය. එනමුත් දෙමළ ජාතික සන්ධානය ප‍්‍රමුඛ දෙමළ ප‍්‍රජාවේත් මුස්ලිම් ජන කොටස්වලත් සහයෝගය ලබා ලබාගැනීම සම්බන්ධයෙන් විසඳාගැනීමට ඔහුට මූලික සැක සංකා කිහිපයක් විය. කෙසේ වෙතත් ඔහු ඒ ගැන කල්තියාම අවබෝධ කරගෙන ඒ සඳහා උපායමාර්ග සකස් කිරීම් තුළ දෙමළ මුස්ලිම් ජන කොටස් සමඟ ගනුදෙනු කිරීම වඩාත් පහසු විය. උතුරේ හා නැගෙනහිර ප‍්‍රශ්නය එම ප‍්‍රදේශවල ජීවත්වන තම නියෝජිතයන්ට පමණක් භාර නොදී දකුණේ සිංහල ජනතාව හා නායකයෝ උතුරු නැගෙනහිරට ගොස් ජනතාව අතරට වී සාකච්ඡා කරමින් ඔවුන්ව දැනුවත් කරමින් මෙම අභියෝගය ජය ගත යුතුය යන ස්ථාවරයේ බැසිල් දැඩිව සිටියේය. මේ නිසා ඔහු නිතරම සැලසුම් සකස් කළේ දකුණේ ඉතා දක්ෂ සංවිධායකයන් හා නායකයන් උතුරට හා නැගෙනහිරට යැවීමටය. ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ උතුරු පළාතේ දේශපාලන ප‍්‍රවර්ධන කටයුතු සඳහා පසුගිය සතියේත් කණ්ඩායම් කිහිපයක් කොළඹින් පිටත්ව ගියේ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය.
 
 මේ අතරතුර එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය විසඳා ගැනීම සඳහා සජිත් පිල හා රනිල් පිල අතර තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පසුගිය සතියේත් කොළඹදී පැවැත්විණි.
 
 රනිල්ගේ මෙහෙවර ගැන
 කිරිඇල්ලගෙන් විග‍්‍රහයක්...

 
 poli2අගමැති රනිල් වික‍්‍රමසිංහ පසුගිය සතියේ ගතවූ අවරුදු 5 ඇතුළත රටේ සිදුවූ සංවර්ධන කටයුතු ගැන තැන් කිහිපයකදීම මහත් අභිමානයෙන් යුතුව කතා කළේය. කොළඹ සංවර්ධනය සඳහා ඉදිවන නව ප‍්‍රවාහන සංවර්ධන ව්‍යාපෘති ගැන ඔහු කරුණු කීවේය. පෑලියගොඩ සිට බත්තරමුල්ල දක්වා කණු මතින් ඉදිවන මහා මාර්ගය, වරාය දක්වා ඉදිවන කණුමත මහා මාර්ගය, මෙන්ම කොළඹ සිට මාලබේ දක්වා කණු මතින් දිවෙන දුම්රිය මාර්ගය ගැන විස්තර කියමින් පෙන්වා දුන්නේ ඉදිරි වර්ෂ කීපය තුළ මෙම සංවර්ධන කටයුතු වල මහිමය රටේ ජනතාවට දකින්නට හා විඳින්නට ඉඩකඩ සැලසෙන බවයි.
 
 ලංකාවට අධිවේගී මාර්ග සංස්කෘතිය ගැන කරුණු පෙන්වා දෙමින් මුලින්ම ඒ සංකල්පය මේ රටේ ඇති කළේ එක්සත් ජාතික පක්ෂය විසින් බව රනිල් පෙන්වා දුන්නේ ගාලූ අධිවේගී මාර්ගය සාක්ෂියට ගනිමිනි. එජාපය විසින් පටන් ගත් ව්‍යාපෘති පසුකලෙකදී රාජපක්ෂ ආණ්ඩු විසින් අත්පත්කරගෙන අවසන් කළ බව ඔහු කීවේය.
 
 පසුගිය බ‍්‍රහස්පතින්දා කොළඹ මෙන්ම ලංකාවේ බොහෝ ප‍්‍රදේශ වලට වැහිබර කාලගුණයක් සහිත දිනයක් විය. එහෙත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ එදින මන්නාරම් ප‍්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් පටන් ගැනීම සඳහා එහි යෑමට සූදානම්ව සිටියේය. ඊට පෙර අරලියගහ මන්දිරයට පැමිණි අගමැති රනිල් සතියේ දේශපාලන කටයුතු ගැන හිතවත් දේශපාලනඥයන් පිරිසක් සමග සාකච්ඡාවක නිරත වූයේ මෙසේය..
 
 අද නාමල් රාජපක්ෂගේ වෙඩින් එකනේ... අගමැතිතුමා යන්නේ නැද්ද ඒකට... නවීන් ඇසුවේය.
 
 මට අර ගල්කිස්සේ තියෙන උත්සවයටනේ කියලා තියෙන්නේ... ඒත් මට ඒකට යන්න වෙන්නේ නෑ... හකීම් ඇමැතිතුමාගේ දුව විවාහ වෙනවානේ... කොහොම හරි මම ඒකට සහභාගි වෙන්න ඕන...
 
 ඔබතුමායි සජිතුයි අතර පැවැත්වූ සාකච්ඡාව ගැන සමහර මාධ්‍යවල යන්නේ එක කතාවක්... සමාජ මාධ්‍ය වල තවත් නොයෙකුත් කතා ප‍්‍රචාරය වෙනවා.... ඔබතුමා අපට කියන්නකො, ඇත්තටම එතන මොකද වුණේ කියලා. ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේය.
 
 ඇත්තටම ඒ සාකච්ඡාව සුහද එකක්... ඒත් ඒකට සමහර අය ඇවිත් තිබුණේ අනවසරයෙන්... ඒකත් මට ප‍්‍රශ්නයක් නෑ කියමුකෝ... අනිත් එක තමයි එතෙන්ට එන්න කලින් ඒ ගොල්ල මංගලගෙ ගෙදරට ගිහිල්ලා සාකච්ඡා කරලා ප්ලෑන් කරලා ලොකු සැලැස්මක් ඇතුවයි ඇවිල්ල තිබුණේ... ඒකත් මට ප‍්‍රශ්නයක් නෑ. ඒ වුණාට මම ඇහුවා අපේක්ෂකත්වය ලැබුනොත් කොහොමද ඕගොල්ලෝ සජිත්ව දිනවන්නේ කියලා. ඒකට එයාලට උත්තරයක් නෑ. කබීර් හෂීම් ඔච්චර දඟලන නිසා මම එයාගෙනුත් ඇහුවා.... උත්තර නෑ... මම කිව්වා දෙමළ ජාතික සන්ධානයේ සහ මුස්ලිම් බලවේග වල සහයෝගය නැතිව ජනාධිපතිවරණයක් දිනන්න බෑ කියලා. ඒක නම් පිළිගත්තා. මම කිව්වා තනියෙන් අපිට මේ ගැන තීන්දු කරන්න
 
 බෑ... අනිත් පක්ෂත් එක්කත් කතා කරලා මේ ගැන තීන්දුවක් ගමු කියලා. සාකච්ඡාව ඉතාම වැදගත්... ඒ වුණාට කල්ලියක් එක්ක ඇවිල්ලා මෙතන කච කච ගාන්න ගත්තම වැදගත් කිසි දෙයක් කතා කරගන්න බැහැ... අගමැති රනිල් කිව්වෙ නොමනාපයෙනි.
 
 අපිටනම් ආරංචි වුණේ මලික් සමරවික‍්‍රමයි ඔබතුමායි ඒ සාකච්ඡාවේදී හොඳටම ඇරගත්ත කියලයි... මලික් ඔබතුමාගේ හොඳම යාළුවා නේද..? උපාලි පියසෝම ඇසුවේය.
 
 රණ්ඩු වෙලා ප‍්‍රශ්න විසඳගන්න එක මගේ ක‍්‍රමය නෙවෙයි කියල ඔයාලා දන්නවනේ.... රනිල් අහක බලාගෙන කීවේය.
 
 සජිත් ජනාධිපති වුණොත් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකත්වය එයාට අයිති වෙනවා. ව්‍යවස්ථාව වෙනස් කරලා පක්ෂ නායකත්වයයි අග‍්‍රාමාත්‍ය අපේක්ෂකත්වයයි දෙකම ඔබතුමාට ලැබෙන විදියට ක‍්‍රමවේදයක් හදමු කියලා ඒ පැත්තෙන් යෝජනාවක් ගෙනාවලූ නේද? අපි නම් හිතන්නේ ඒක නරක නෑ.... චමින්ද විජේසිරි හා හේෂා විතානගේ කීහ.
 
 අන්න ඒකට උත්තරේ කිරිඇල්ල ඇමැතිතුමා ළඟ තියෙනවා... අහගන්න... රනිල් කීවේය.
 
 ජනාධිපති වුණත් එයාට පක්ෂ නායකත්වය ලැබෙන්නේ නැහැ කියලා පක්ෂයේ ව්‍යවස්ථාවට වගන්තියක් එකතු වුණේ 1994 දී. එදා ලොකු ව්‍යසනයක් වෙන්න ගියා. එතකොට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තිබුණේ මැතිනිය අතේ. චන්ද්‍රිකා ලෑස්තිවුණා එදා ජනාධිපති හැටියට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අරගෙන අපේ පක්ෂ නායකත්වය කොල්ල කන්න. ඒ වෙලාවෙ විපක්ෂ නායක හිටපු අපේ වර්තමාන අගමැතිතුමා තමයි පක්ෂ ව්‍යවස්ථාවට අලූත් වගන්තියක් එකතු කරලා එදා එක්සත් ජාතික පක්ෂය කියන එක රැකගත්තේ.... එහෙම නොවුණානම්....? කිරිඇල්ල අතීත විස්තරයක් කීවේ එසේය...
 
 දිනේෂ් වීරක්කොඩි ද අගමැති රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය රැක ගන්නට අතීතයේ කළ කී දෑ ගැන හොඳ විවරණයක් කළේය.
 
 එය අසා සිටි නවීන් දිසානායක දිනේෂ්ව සජිත් සමඟ කළ සාකච්ඡාවට එක් කරගන්නට අගමැති රනිල් ගත් තීන්දුව ගැන තම සතුට පළ කළේය...
 
 දිනේෂ්ට දේශපාලනය ගැනයි මේ රටේ ආර්ථිකය ගැනයි අපේ පක්ෂයේ ගැනයි හොඳ දැක්මක් අවබෝධයක් හා දැනුමක් තියෙනවා.. අනිත් එක දිනේෂ් එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් මිස කාගෙවත් පිලකට අයිති කෙනෙක් නෙවෙයි... එයාගෙ මධ්‍යස්ථ මතවාදය නිසයි මම එයාට ගරු කරන්නේ... සජිත් වුණත් දිනේෂ්ට කැමති එයා කෙළින් ඇත්ත කතා කරන නිසයි...
 
 සජිත් හොඳ කැම්පේනර් කෙනෙක් විත්තිය අමතක කරන්න එපා... අපේ කැම්පේන් එකට එයා අවශ්‍යයි... දැන් මේ ගැටුම් අවසන් කරලා අපි එකතුවෙලා ගමනක් ගියොත් විතරයි දිනන්න පුළුවන් වෙන්නේ.. .. දිනේෂ් පළකළ අදහස් ගැන කවුරුත් සතුට පළ කළහ.
 
 ඉන් පසුව මැති ඇමැතිවරු කවුරුත් අගමැතිවරයා හා කතා කරන්නට පටන් ගත්තේ ජනාධිපතිවරයා විසින් ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීමේ සිද්ධිය ගැනය. ආශු මාරසිංහ පෙන්වා දුන්නේ පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා කරන ලද පහත් ක‍්‍රියාවටත් වඩා පහත් ක‍්‍රියාවක් ලෙස මෙම සිද්ධිය හැඳින්වූවාට වරදක් නැතිි බවයි.
 
 කබීර් ඇමැතිතුමයි ඔබතුමායි දැන් පෙට්‍රෝලියම් එක සම්බන්ධයෙන් ලොකු කඹ ඇදිල්ලක ඉන්නවා කියලා රටට නරක පණිවිඩයක් ගිහින් තියෙනවා. ඒක ඒ තරම් හොඳ නැහැ.... උපාලි පියසෝම පෙන්වා දුන්නේය.
 
 කඹ ඇදිල්ලක් නෑ... ඒ ඇමැතිකම මම කබීර්ට දුන්නේ තාවකාලිකව. මම මේ මෑතකදී ඒ ඇමැතිකම මට අවශ්‍යයි කියලා ජනාධිපතිතුමාට දැන්වීමක් කළා... ඊට පස්සේ මට ආරංචියි තවත් පස්දෙනෙක් ගිහිල්ලා ජනාධිපතිතුමාට කියලා තියෙනවා ඒ ඇමැතිකම මට දෙන්න එපා කියලා. ජනාධිපතිතුමා මටයි කබීර්ටයි එන්න කිව්වා මේ ප‍්‍රශ්නය ගැන සාකච්ඡා කරලා විසඳුමකට එන්න. කබීර් ඒ වෙලාවෙ මගහැරියා....
 
 මේ අදහස් දැක්වීමෙන් පසුව අගමැතිවරයා එතනින් පිටව ගියේ එදිනට යෙදී තිබුණු වැඩ රාජකාරි වල වැදගත්කම නිසාය.... රනිල්ට එදින ගමන් රාශියක්ම යෙදී තිබිණි.
 
 රූපවාහිනිය පවර ගන්න
 හේතුව මෙන්ම මේකලූ...

 
 පසුගිය සතියේ රටේ තිබූ අර්බුද අතර රූපවාහිනි සංස්ථාවේ අර්බුදය ද බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ උණුසුම් මාතෘකාවක් විය. ජනාධිපතිවරයා විසින් රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා
 
 ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ දැඩි විවේචන මතුවිය. ජනාධිපතිවරයා මෙම ආයතනය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගත්තේ විශේෂ හේතුවක් නිසාය....
 
 රූපවාහිනි සංස්ථාව තුළ කලක පටන් ලොකු ලොකු ගැටලූ රාශියක් තිබිණි. පසුගිය සඳුදා කොළඹ කේම්බි‍්‍රජ් ටෙරසය කාර්යාලයේ පැවැති පූර්ව කැබිනට් මණ්ඩලය රැස්වීමේදී මේ ගැන ලොකු සාකච්ඡාවක් අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.
 
 රූපවාහිනී සංස්ථාව සාමාන්‍යයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ විෂය පථය යටතට වැටෙන ආයතනයකි. පසුගිය කාලයේ දිගින් දිගටම රූපවාහිනියට පාඩු ලැබීම් නිසා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන එහි පරිපාලන කටයුතු විධිමත් කිරීමට උත්සාහයන් කීපයක් ම දරනු ලැබීය. සභාපතිවරු කීප දෙනෙක්ම පත්කර යවනු ලැබුවත් හිටපු සභාපතිනිය වූ ඉනෝකා සත්‍යාංගනී එම ධුරයෙන් ඉවත් නොවීම ඔහුට මහත් ගැටලූවක් විය.
 
 අවසානයේ රුවන් විජේවර්ධන කැලූම් පාලිත මහීරත්න නම් ප‍්‍රකට මාධ්‍යවේදියා රූපවාහිනියේ සභාපති ලෙස පත් කරනු ලැබීය. එහෙත් හිටපු සභාපතිනිය වන ඉනෝකා සත්‍යංගනී ඇයගේ බලය පාවිච්චි කර ආරක්ෂක අංශ යොදවා කැළුම් පාලිත ඇතුළට එන ගමන වළක්වාලූවා ය.
 
 ඉනෝකා සත්‍යාංගනී වැඩ කරන්නේ ජනාධිපතිතුමාගේ හයිය අතට අරගෙන... ඒක වැරදියි... මමයි ජනමාධ්‍ය ඇමැති... මම එයාව ඉවත් කරල තමයි අලූත් සභාපතිවරයෙක් පත් කළේ... එයා තාම එතන වැඩ කරමින් ආයතනයේ වැඩ කටයුතු අවුල් කරනවා.... රුවන් විජේවර්ධන මතු වී තිබෙන අර්බුදය පැහැදිලි කළේය...
 
 හරි... . අපි එහෙනම් මෙහෙම කරමු... ඉනෝකා කියන්නේ මංගල සමරවීරගේ කෙනෙක්. එයාව පත්කළේ මංගල ඉන්න කාලේ. එහෙම නම් අපි මංගලට කියමු ඉනෝකාට මේ තනතුරෙන් අයින් වෙන්න කියන්න කියලා.... ඇමැතිවරයෙක් යෝජනා කළේය.
 
 මම පත් කරා තමයි. හැබැයි එයා දැන් මම කියන දෙයක්වත් අහන්නේ නෑ... සම්පූර්ණයෙන්ම ජනාධිපතිතුමා එක්ක විතරයි ගනුදෙනු කරන්නෙ. මංගල ඇඟ බේරා ගත්තේය.
 
 ඕකට තියෙන්නේ එකම එක විසඳුමයි... අපි ඊළඟ සභාපතිවරයා පත් කරමු. එයාව වැඩ බාර ගන්න තනියෙන් නොයවා අපි ඇමැතිවරු කට්ටියත් එක්කම එතනට අරන් යමු. අරං ගිහිල්ලා අපි ඉස්සරහා එයාට තනතුරේ වැඩ බාර ගන්න කියමු... ඉනෝකාට තියා කාටවත් බැහැ දැන් ඒකට විරුද්ධ වෙන්න. වෙනත් සභාපතිවරයෙක් වැඩ භාර ගත්තට පස්සේ ඉනෝකාගේ බලය එතනින් ඉවරයි. රාජිත අලූත් යෝජනාවක් කරමින් විසඳුමක් දුන්නේ ය... ඒ අනුව එම ප‍්‍රශ්නය එයාකාරයෙන් විසඳාගන්නට මැති ඇමැතිවරු කතාබහ කර ගත්හ.
 
 කැබිනට් සාකච්ඡාව අවසන් වූ පසු එතැන සිටි යම් අයෙකු එම ආරංචිය ජනාධිපතිවරයාගේ කනේ තැබුවේය. එම ආරංචිය නිසා ජනාධිපති කලබල විය.
 
 රාජිතටත් ලොකු ඇරියස් එකක් තියෙනවා රූපවාහිනි සංස්ථාව එක්ක. මේගොල්ල මේ විදිහට රූපවාහිනියට බලාත්කාරකම් කරන්න ගියොත් එතන වැඩ කරන එව්වොත් නිකං අරින් එකක් නෑ අන්තිමේ අර මර්වින් සිල්වා ගියා වගේ ලොකු කලබැගෑනියකින් තමයි ප‍්‍රශ්නෙ කෙළවර වෙන්නේ... ඊට කලින් මේ ගැන මොකක් හරි කරන්න ඕන.... ජනාධිපති එතැන සිටි කීප දෙනෙකුටම ඇසෙන්නට එසේ කීවේය.
 
 රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගන්නට අදාළ ගැසට් පත‍්‍රය නිකුත් කරනු ලැබුවේ එදින රාත‍්‍රියේ ය... ඊට හේතුව වූයේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු එදා එසේ ඇති කරගන්නා ලද සම්මුතිය බව පැහැදිලි විය.
 
 ඇමැති වජිරගේ යෝජනාවට
 ජනාධිපතිගෙන් පොල්ලක්...

 
poli3සුපුරුදු පරිදි අඟහරුවාදා උදේ පාන්දරම ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම ද ආරම්භ විය. එහිදී විශේෂ කරුණු කීපයක් සාකච්ඡාවට ගැනුණු අතර වජිර අබේවර්ධන ගෙනා පත‍්‍රිකාවක් සම්බන්ධයෙන් ගැටලූවක් මතු විය.
 
 ඇමැතිවරයා මෙම යෝජනාව කර තිබුණේ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවල හා ආසන සංවර්ධන කමිටුවල වැඩ කරන මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් වෙනම දීමනාවක් සඳහා ලක්ෂ දෙක බැගින් මුදලක් අනුමත කිරීම සම්බන්ධයෙනි....
 
 ‘මේවා මීට කලිනුත් ගෙවලා තියෙනවා... පහුගිය කාලේ ඒවා අත්හිටෙව්වා. අපි යෝජනා කරන්නේ ඒගොල්ලන්ගෙන් හරියට වැඩ ගන්න නම් ඒව වගේ දීමනාවක් ගෙවන්නයි...
 
 ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මෙයට එකහෙළාම විරුද්ධ විය... ඔහු කීවේ තමන් ළඟ මේ වන විට වෘත්තීය සමිති 52 කින් ඉදිරිපත් කරන ලද වෘත්තීයවේදීන් 12,000 කගේ පඩි වැඩිවීම පිළිබඳව ප‍්‍රශ්නයක් ඇති බවය. යම් හෙයකින් දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවල මන්ත‍්‍රීවරුන්ට මෙම දීමනාව ගෙවන්නට එකඟ වුවහොත් නිසැකවම වෘත්තීයවේදීන්ගේ වැටුප් වැඩිවීමට ද අනුමැතිය පළ කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය...
 
 ජනාධිපතිතුමනි... මම යෝජනා කළේ මේ දීමනාව ගෙවීම අලූතෙන් කරන්න කියලා නෙවෙයි... ඉස්සර දීලා පස්සේ නවත්තලා තිබුණ දෙයක් නැවත දෙන්න කියලයි කියන්නේ... ඒක අසාධාරණ නෑ. නමුත් වෘත්තීයවේදීන් සම්බන්ධයෙන් තියෙන ප‍්‍රශ්නය නම් අසාධාරණයි. ඒගොල්ලන්ගෙ පඩි වැඩිවීමක් වෙලා ඉවරයි. අපේ ආණ්ඩුව ඇවිල්ලා 60,000 ට තිබුණු පඩි දීමනාව 120,000 දක්වා දෙගුණයකින් වැඩි කළා. දැන් ඒ ගොල්ල මොකටද අලූතෙන් ආයිත් සල්ලි ඉල්ලන්න පටන් ගන්නෙ... වජිර තර්ක කළේය.
 
 ඔය ප‍්‍රශ්න එන්නේ වැටුප් වැඩි කිරීම්වල කිසිම ප‍්‍රමිතියක් නැති නිසා... මුල් වතාවේ ඔඩිටර් ජනරාල්ලගෙයි මැජෙස්ටේ‍්‍රට්ලගෙයි පරිපාලන සේවයේයි වැටුප් වැඩි කරපු නිසා රාජ්‍ය සේවය ඇතුළේම ඒ හා සමාන අනෙකුත් පන්තිවල නිලධාරීන්ගේ වැටුපත් එක්ක ලොකු විෂමතාවක් ඇතිවුණා. ඒ වැටුප් විෂමතාවය නැති කරන්න කියලයි ඒගොල්ලො කියන්නෙ... එහෙම වෙලා තියෙන්නේ මේවා ක‍්‍රමවත්ව කරලා නැති හින්දා... චම්පික රණවක පැහැදිලි කළේය.
 
 ඔයගොල්ලන්ගෙ ඔය කතා ඕන එකක් වෙද්දෙන්... භාණ්ඩාගාරයෙන් වැටුප් වැඩි කිරීම්වලට සල්ලි නම් ඉල්ලන්න එපා.... ඕවට දෙන්න භාණ්ඩාගාරයෙ සල්ලි නෑ... ඔය දොළොස්දාහක් ගේ පඩි ප‍්‍රශ්නේ ඉවර කරන්න නම් අවුරුද්දකට ඕන වෙනවා රුපියල් මිලියන 5800 ක්.
 
 කොහොමද අපි ඕකට සල්ලි හොයන්නේ.... මංගල සමරවීර පෙන්වා දුන්නේය.
 
 ඒ වැටුප් වැඩිවීම කරන්න බැරිනම් මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීමත් කරන්න දෙන්න බෑ... ඒකටත් සල්ලි නෑනෙ.... ජනාධිපති කීවේය.
 
 මේ අතර වජිර අබේවර්ධන තවත් යෝජනාවක් ගෙනාවේය... යෝජනාව වූයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා තීරුබදු රහිත බලපත‍්‍ර ලබාදීම සඳහාය.
 
 ඒ පළාත් සභා මන්ත‍්‍රීවරු දැන් නැහැ... පළාත් සභා ඇත්තෙත් නෑ... මොකටද දැන් ඒ ගොල්ලන්ට පර්මිට් එකක් දෙන්නෙ.... ජනාධිපති තර්ක කළේය.
 
 එහෙත් වජිර අබේවර්ධන ප‍්‍රශ්නය අත්හැරියේ නැත. ඔහු දිගින් දිගටම තර්ක කළේ එම මන්ත‍්‍රීවරු අවසාන කාලයේ පළාත් සභාවේ කටයුතු කළ බැවින් ඔවුන්ට තීරුබදු රහිත වාහන බලපත‍්‍රය හිමි බවය. එය ලබාදීම රජයේ වගකීමක් බව වජිර පෙන්වා දුන්නේය. වජිර මේ සඳහා තර්කයක් ඉදිරිපත් කළේය. මෙම කණ්ඩායමේ හිටපු මන්ත‍්‍රීවරුන් දෙදෙනකු වෙන ජයසිරි නානායක්කාර හා සුනිල් සේනානායක වාහන බලපත‍්‍ර දී ඇති බැවින් අනෙකුත් අයට නොදීම තුළ නීතිමය මානව හිමිකම් ප‍්‍රශ්නයක් පවා ආණ්ඩුවට ඇති විය හැකි බව වජිර පෙන්වා දුන්නේය.
 
 එහෙත් මෙතන සිද්ධ වී ඇති දේ කුමක්ද කියා ඇමැතිවරු දැන සිටියහ... බොහෝ පළාත් සභා මන්ත‍්‍රීවරු මේ වන විටත් යම් යම් වාහන සේල්කරුවන්ට තමන් බලපත‍්‍රය ලබා දෙන බව පවසා අත්තිකාරම් මුදල් පවා ගෙන ඇති බව ඔවුහු දැන් සිටියහ... දැන් දැන් එම ණය පියවා ගැනීමට මෙම පළාත් සභා මන්ත‍්‍රීවරු ආණ්ඩුවෙන් වාහන බලපත‍්‍ර ඉල්ලමින් ලොකු සටනක නිරතව සිටියහ... මේ බව ජනාධිපතිවරයා දැන සිටියේය... කෙසේ වෙතත් රවි කරුණානායකගේ කාලයේ ඉහත කී මන්ත‍්‍රීවරුන් දෙදෙනාට පමණක් වාහන බලපත‍්‍ර ලබාදී තිබුණේ ද දෙපිරිස අතර විෂමතාවයක් පෙන්වා නඩු නිමිත්තක් ඇතිකර ගැනීමේ පහසුව සඳහා යැයි රාවයක් ද මේ වන විට පැතිර ගොස් තිබිණි... කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඊට එකඟ වූයේ නැත. මුදල් ඇමැති මංගල සමරවීර ද ඒ සඳහා
 
 භාණ්ඩාගාරයේ මුදල් නැති බව කියමින් ප‍්‍රශ්නයට උත්තරයක් නො දීමට උත්සහ කළේය.. රටේ මහජන මුදල් මේ ආකාරයෙන් යොදවන්නට ක‍්‍රමවේද සකස් කර ඒවා ක‍්‍රියාත්මක කරන්නට ක‍්‍රමවේද සෑදීම සම්බන්ධයෙන් බොහෝ ඇමැතිවරුන් මැසිවිලි නගන්නට පටන් ගත්හ. චම්පික රණවක ද මේ ගැන ඉතා සංවේදීව කතා කළේ මහජන මුදල් මේ අයුරින් පිල්ලි ගැසීමට පවා අවස්ථාව උදා කර දිය යුතු නැති බව පෙන්වා දෙමිනි...
 
 මේ වැඩෙන් වාසියක් තියෙන්නේ කොහෙවත් ඉන්න සේල්කාරයකුට මිසක් රටේ ජනතාවටවත් අර මන්ත‍්‍රීවරයාටවත් නෙවෙයි.... ඇමැතිවරයෙක් කීවේය... කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන්නට අවශ්‍ය බව ජනාධිපතිවරයා කීවේය.
 
 ගෝඨාභය - සේනාධිපති
 එක් නඩුවකින් නිදහස්...

 
බ‍්‍රහස්පතින්දා කාර්යබහුල දිනයක් විය. එක් අතකින් දේශපාලන ලෝකයේ ජනප‍්‍රිය තරුණ නායකයකු වූ නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය පැවැති බැවින් ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් බොහෝ දේශපාලනඥයෝ කාර්ය බහුලව සිටීම විශේෂත්වයකි. ඔහුගේ විවාහ මංගල්‍යයේ මූලික වැඩ කටයුතු කොළඹ ගංගාරාම විහාරස්ථානයේදීත් ගල්කිස්ස හෝටලයේ දීත් සිදු කෙරුණු අතර ඉතිරි වැඩ කටයුතු සියල්ල කෙරුණේ තංගල්ල වීරකැටිය කාල්ටන් උද්‍යානයේ දී ය... සියලූ චාරිත‍්‍ර වාරිත‍්‍ර කොළඹදී ඉටු කළ නාමල් ඔහුගේ මනාලියත් සමග හවස මැදමුලනට ගියේ විවාහ මංගල්‍යයේ ආරාධිත අමුත්තන්ට සියලූ සංග‍්‍රහ කටයුතු සූදානම් කර තිබුණේ එහි බැවිනි.
 
 විවාහ මංගල උත්සවය හවස හතේ සිට ම උද්‍යානයේ පැවති අතර හිතවතුන් ඥාතීන් හා මන්ත‍්‍රීවරුන් අති විශාල පිරිසකට ඒ සඳහා ආරාධනය කර තිබීම විශේෂත්වයක් විය.
 
 විපක්ෂයේ බොහෝ දෙනකුට උදේ වරුවේ මෙම වැඩකටයුතු සඳහා සහභාගී වීමට නොහැකි වූයේ එදින ද නඩු දිනයක් ව පැවති බැවිනි. ගෝඨාභයට හා ඇවන්ගාඞ් සභාපති ඇතුළු කීප දෙනෙකුට එරෙහිව කොළඹ අභියාචනාධිකරණයේ විනිශ්චය සඳහා ගෙන තිබූ අභියාචනාධිකරණ පෙත්සම විමර්ශනය කිරීම එදිනට යෙදී තිබිණි.
 
 මෙය වූ කලී ගෝඨාභයට හා ඇවන්ගාඞ් ආයතනයේ එම ගනුදෙනුවට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ පළමු නඩුවයි. එම නඩුව සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් නොමැති බව කියමින් ගෝඨාභය ඇතුළු පිරිස් විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබ තිබිණි. කලක පටන් විභාගයට ගත් මෙම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය අවසානයේ දී කියා සිටියේ මෙම නඩු නිමිත්ත තාක්ෂණික දෝෂ ඇති බැවින් තවදුරටත් පවත්වාගෙන යෑම නොහැකි බවකි... එබැවින් ගෝඨාභය රාජපක්ෂට, ඇවන්ගාඞ් අධිපති නිශ්ශංක සේනාධිපතිට, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් සෝමතිලක දිසානායකට අද්මිරාල් ජයනාත් කොළඹගේට අද්මිරාල් ජයන්ත පෙරේරාට විශ‍්‍රාමික යුද හමුදා නිලධාරීන් වන ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දුට ජෙනරාල් කේ. ඞී. එගොඩවෙල ට තිබුණු චෝදනා පදනම් වූ විරහිත ඒවා විය. අභියාචනාධිකරණය ඔවුන් නිදොස් කොට නිදහස් කරන්නට තීරණය කර තිබීම ද බ‍්‍රහස්පතින්දා සිදු වූ විශේෂ සිද්ධියක් ලෙස රටේ සැලකිල්ලට ගැණුනු කාරණාවක් විය.
 
 හිමිවරුන්ට පහරදීම
 කථානායකගේ අවධානයට...

 
poli4උණුසුම් දේශපාලන කරළියේ කථා බහට ලක් වන ප‍්‍රධාන නම් කිහිපය අතර සිටිය ද ගෙවුණු සතියේ ඒ සියල්ලටම වඩා කථානායකවරයාගේ අවධානය යොමු වූයේ හොරොව්පතානේ ශ‍්‍රී ස්වර්ණතිලකාරාම පිරිවෙන් විහාරස්ථානයේ සාමනේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය පිළිබඳවය.
 
 මෙම සිද්ධියෙන් අතිශයින් කම්පනයට පත් වූ කථානායකවරයා පොලිස්පති ඇතුළු නිලධාරීන් අමතා පැවසූවේ ”මෙය හුදෙක් සාමනේර හිමිවරුන්ට කළ පහරදීමක් පමණක් නොව වසර දස දහස් ගණනාවක් පුරා මාතෘ භුමියේ ආගමික ශික්ෂණය පමණක් නොව සමස්ත සංස්කෘතිය සභ්‍යත්වය, ජාතික චින්තනය ගොඩනැගු පදනමටම කළ පහරදීමක් බවයි.” සිද්ධියට අදාළව ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ඔවුන්ට දැනුම්දුන් හෙතෙම මේ පිළිබඳව ගනු ලබන පියවර ගැන තමා පුද්ගලිකවම නිරතුරු අවධානයෙන් සිටින බවද අදාළ පොලිස් නිලධාරීන් වෙත දැන්වීය.
 
 ගෙවීගිය සතියේ කථානායකවරයා පිළිබඳව වඩාත් කතා බහට ලක් වූයේ සිවිල් සංවිධාන 40 කට ආසන්න ප‍්‍රමාණයක ප‍්‍රධානීන් කථානායක නිල නිවසට පැමිණ ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙස කළ ඉල්ලීමත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය සිසිර පින්නවල මහතා ඇතුළු මහාචාර්යවරු පිරිසක් සිය සමීක්ෂණයක තතු පහදමින් කථානායකවරයා මධ්‍යස්ථ ජනතාව හා සුළු පක්ෂවල සහය වැඩියෙන්ම දිනාගත හැකි අපේක්ෂකයා ලෙස ජනපතිවරණය ජයග‍්‍රහණය කිරීමේ වැඩිම සම්භාවිතාවක් පවතින බව අනාවරණය කිරීමත් සමඟය.
 
 සිවිල් සංවිධාන නියෝජිතයෝ මෙහිදී තියුණු කරුණු ගණනාවක් පෙන්වා දුන්හ. අති ධාවනකාරී තීන්දු තීරණ ගැනීම මඟින් මෙම කිසිදු ප‍්‍රශ්නයක් විසදීමට නොහැකි බව පෙන්වා දුන් ඔවුහු ඒ සඳහා සංයමයෙන් හා අධිෂ්ඨානශීලීව ක‍්‍රියා කරන පරිණත නායකත්වයක් අවශ්‍ය බව අවධාරණය කළහ.
 
 දූෂිත දේශපාලන අරමුණු රහිතව රටට අත්‍යවශ්‍ය දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදු කර මාතෘ භූමිය ශිෂ්ට සම්පන්න මාවතකට ගෙන ආ හැකි විශ්වාසනීය පුද්ගලයා කරු ජයසූරිය මහතා බව සිවිල් සංවිධාන නියෝජිතයෝ වැඩිදුරටත් පැවසූහ.
 
 අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන් ගොඩනැගු සාධාරණ සමාජයක් සඳහා වූ බලවේගය ඇතුළු සියලූ පුරවැසි ව්‍යාපාර එම අරමුණු වෙනුවෙන් තවදුරටත් අඛණ්ඩව පෙනී සිටින බව සඳහන් කළ ඔවුහු කරු ජයසූරිය මහතා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් සිය උපරිම ශක්තියෙන් ඒ සඳහා දායක වන බවද කියා සිටියහ.
 
 එහිදී, කිසිදු පක්ෂයක සාමාජිකයන් නොවන ලක්ෂ 30කට ආසන්න මධ්‍යස්ථ ජනතාවගේ මෙන්ම සුළුජන කොටස්වල ද සහය දිනාගත හැකි, ක්ෂේත‍්‍ර ගණනාවක පලපුරුද්ද හා රාජ්‍යතාන්ත‍්‍රික සබඳකම්වලින් සපිරි නායකයකු ලෙස කරු ජයසූරිය මහතා කෙරෙහි තමන් තුළ දැඩි විශ්වාසයක් පවතින බවද සඳහන් කළ ඔවුහු ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී සියලූ බලවේග ඒකරාශී කර නැගී එන පැසිස්ට්වාදී තර්ජනයට මුහුණ දීම සඳහානායකත්වය ගන්නා ලෙස ඉල්ලා සිටියහ.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles