Divaina - ඇල්පිටිය ඡුන්දය කල්දාන්න බලපෑම් ආවාද...? මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය පිළිතුරු දෙයි...!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 meko
 
 
 * පළාත් සභා මැතිවරණය කවදාද...?
 
 * ජනාධිපතිවරණය කල්යනවාද...?
 
 * රත්නජීවන් හූල් ඡුන්දයට විරැද්ධද...?
 
 
මේ සති අන්තයේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට සම්මුඛ සාකච්ඡාව ලබා ගන්නවා නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාය. ඒ අධිකරණ නියෝගයකට අනුව ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා
මැතිවරණය ඔක්තෝබර් 11 වන දින පැවැත්වීමට තීරණය කිරීමත්, ජනාධිපතිවරණය පවත්වන දිනය දිනෙන් දින ළං වෙමින් පැවතීමත් නිසාය.
 
 එම හේතු සාධකයන් නිසා අප පසුගිය දින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීමට ඒ මහතාගේ නිල නිවසට ගියෙමු. අප එම නිවසට පිවිසුණු මොහොතේ සිට දැක ගැනීමට ලැබුණේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දුරකථන ඇමතුම්වලට මැදි වී සිටින අයුරුය. එම ඇමතුම්වලට දන්වන ප‍්‍රතිචාර අනුව අපට පෙනී ගියේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද ඉහළ පෙළේ නායකයන්ගෙන්ම මෙන්ම එම මහතාගේ ප‍්‍රදේශය වන අම්බලන්ගොඩින් සහ රටේ විවිධ ප‍්‍රදේශවල විවිධ තරාතිරමේ පුද්ගලයන් එම ඇමතුම් ලබාදුන් බවයි. අපට පෙනී ගිය ආකාරයට ඒ සියලූ දෙනාම විමසා සිටියේ ඇල්පිටිය ඡුන්දය සහ ජනාධිපතිවරණය පිළිබඳවය.
 
 එම ඇමතුම් අතර තුළ බොහෝ වෙලාවක් ලබා ගනිමින් අප විමසා සිටියේ ද ඒ පිළිබඳවය. පහත පළ වන්නේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ඒ පිළිබඳව අපගේ පාඨකයන් වෙත ලබාදුන් පිළිතුරුය.
 
 
 
 ප‍්‍රශ්නය - පළාත් සභා මැතිවරණය හෝ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව පැවතියේ අවිනිශ්චිත භාවයක්. නමුත් මේ වනවිට ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට තීරණය වී තිබෙනවා. ඒ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස ඔබගේ අදහස කුමක්ද?
 
 පිළිතුර - පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනාවක් ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පවරපු නඩුවකදී තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. අධිකරණයෙන් දීලා තිබුණ තහනම් නියෝගය තමයි අවසන් තීන්දුව දෙනකම් එම ප‍්‍රාදේශීය සභාව සඳහා ඡුන්දය තියන්න එපැයි කියන එක. දැන් එම තහනම් නියෝගය ඉවත් කරලා අවසන් තීන්දුව ලබා දීලා තියෙනවා.
 
 එම නඩුව පවරපු පුද්ගලයා තහනම්
 
 නියෝගයක් ඉල්ලන අතරම ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සඳහා වෙන දිනයක් ඉල්ලා තිබෙනවා. ගරු අධිකරණය ඒ සඳහාත් අවසර ලබාදී තිබෙනවා.
 
 එතකොට තේරීම් භාර නිලධාරියාට නව දිනයක් ලබා දෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ඒ අනුව අදාළ තේරීම් භාර නිලධාරියා විසින් ඔක්තෝබර් 11 වන දිනය ලබා දීලා තිබෙනවා.
 
 උදාහරණයක් ලෙස සඳහන් කරනවා නම් රේල් ගෙට්ටුවක් වහලා තියෙන කොට රතු පාට ලයිට් එක දැල්වෙනවා. දුම්රිය එම ස්ථානයෙන් ගමන් කිරීමත් සමගම ගේට්ටුව යළි විවෘත කිරීමට සූදානම් වන විට කහ පාට ලයිට් එක දැල්වෙනවා. ඉන් අනතුරුව කොළ පාට ලයිට් එක දැල්වීමත් සමගම එම ස්ථානයෙන් රථ වාහන ගමන් කළ යුතු වනවා. කොළ පාට ලයිට් එක දැල්වුණු පසු වාහනය නතර කරගෙන ඉන්න බැහැ වගේ අධිකරණය විසින් තේරීම් භාර නිලධාරියාට නව දිනයක් ලබා දෙන්න කියලා නියෝග කළ පසු ඔහුට ඒක කරන්නම වෙනවා. වෙන විකල්පයක් නෑ.
 
 ප‍්‍රශ්නය - මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් එච්. හූල් මහතා ගාල්ලේ තේරීම් භාර නිලධාරියාට ඇල්පිටියේ මැතිවරණය ප‍්‍රමාද කරන ලෙසට බලපෑම් කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.
 
 එම චෝදනා පිළිබඳව ඔබගේ ප‍්‍රතිචාරය කුමක්ද?
 
 පිළිතුර - මෙහෙමයි. කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනකු සිටිනවා. සාමාන්‍යයෙන් මම මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳව ඉන් පිටතදී කතා කරන්නේ නැහැ. නමුත් මහාචාර්ය රත්නජීවන් එච්. හූල් මහතා පසුගියදා නිකුත් කළ ප‍්‍රකාශයක් පුවත්පත්වල පළ වී තිබුණා. එහි සඳහන් වී තිබුණා 11 වැනිදා මැතිවරණය පැවැත්වීම නුසුදුසු බව. ඒ පිළිබඳ පුවත්පතකින් විමසූ විට මා පළ කළ අදහසුත් එම පුවත්පතේ පළ වී තිබුණා.
 
 තේරීම් භාර නිලධාරි මහතා අපෙන් ලිඛිතව විමසා සිටියා එම මැතිවරණය ඔක්තෝබර් 05 සහ 15 යන දිනයන් ද ඇතුළුව එම කාලය තුළදී පැවැත්විය හැකි ද යන කාරණය. එම අවස්ථාවේදී අපි කොමිසම රැස්වෙන තුරු නොසිට දුරකථන ඔස්සේත් කොළඹ සිටින දෙදෙනා හමුවීත් ඒ පිළිබඳව සාකච්ඡා කළා. ඒ සාකච්ඡා අනුව අපි ඔහුව ලිඛිතව දැන්වූවා. ඔහු යෝජනා කළ දිනයක මැතිවරණ පැවැත්වීමට අපගේ එකඟතාවය ලබා දෙන බවත්, දිනය නියම කිරීම ඔහුගේ වගකීමක් වන බවත් උසාවිය ආඥාව නිකුත් කරලා තිබෙන්නේ තේරීම් භාර නිලධාරියාට. එයට ඇඟිලි ගහන්න අපට බෑ.
 
 එහෙත් මැතිවරණය පැවැත්වීමේ දිනය නියම කිරීමේ අයිතිය තේරීම් භාර නිලධාරියාට ලබාදීම පිළිබඳව මහාචාර්ය හූල් මහතා වෙනත් මතයක් දරනවා. මාත්, නලින් අබේසේකර මහතාත් එක මතයක් දරනවා. කොමිෂන් සභාවක් කටයුතු කිරීමේදී ඒකමතික විය යුතු නැහැ. බහුතර මතයට තමයි කටයුතු කිරීමට හැකි වන්නේ. එම නිසා තමයි තනි පුද්ගලයකුට වඩා කොමිසමකට මම කැමැති. එතකොට සියලූ දෙනාට සාකච්ඡා කරලා තමයි තීරණයක් ගන්නේ.
 
 ඒ වගේම මහාචාර්ය රත්නජීවන් එච්. හූල් මහතා සහ කොමිෂන් සභාව අතර මතබේදයක් තිබෙනවා කියලා කියනවා නම් ඒක වැරදියි. සමහර අවස්ථාවලදී මගේ මතයට අනිකුත් සාමාජිකයන් දෙදෙනා එකඟ නොවූ අවස්ථා තිබෙනවා. එබඳු අවස්ථාවලදී මම එම මතයට එකතු වී තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - දින 52 ආණ්ඩුව පැවති කාලයේදී මහාචාර්ය රත්නජීවන් එච්. හූල් මහතා මහමැතිවරණයක් පැවැත්වීමට එරෙහිව අධිකරණය හමුවට ගිය බවටත්, මේ අවස්ථාවේදී ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය ප‍්‍රමාද කිරීමට උත්සාහ දැරූ බවටත් චෝදනා එල්ල වනවා.
 
 එම චෝදනා එල්ල කරන පුද්ගලයන් ප‍්‍රකාශ කරනවා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ම මැතිවරණවලට එරෙහිව කටයුතු කරන බවට.
 
 පිළිතුර - මහාචාර්ය හූල් මහතා ජනතාවගේ ඡුන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඉදිරිපත් වන කෙනෙක්. ඔහු ඡුන්ද විමසීම් කල් දැමීම සඳහා කටයුතු කරන කෙනෙකු නොවෙයි.
 
 ප‍්‍රශ්නය - ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමෙන් දින කිහිපයකට පසුව ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම නිසා මෙම ප‍්‍රාදේශීය සභා මැතිවරණය ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් ව්‍යාපෘතියක් බවට පත් වීමට ඉඩ තිබෙනවා නේද?
 
 පිළිතුර - මේ ආකාරයේ ඡුන්ද විමසීම් මීට පෙරත් පවත්වා තිබෙනවා. 1988 ජනාධිපතිවරණයට සති තුනකට පමණ පෙර හොරොව්පොතානේ අතුරු මැතිවරණය පැවැත්වූවා. ඒ වගේම හරියටම මාසයකට කලින් නැගෙනහිර පළාතේ පළාත් සභා මැතිවරණය පැවැත්වූවා.
 
 එම නිසා ජනාධිපතිවරණය පවත්වනවා කියා ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය කල් දාන්නත් බෑ. ඒ වගේම මෙම මැතිවරණය සති 5 ක් සහ සති 7 ක් තුළ පැවැත්විය යුතු වනවා.
 
 අනික සමහරු මැතිවරණ කොමිසමට, මැතිවරණ නොතියන කොමිසම කියලත් කිව්වනේ. ඒක නිසා ඡුන්ද විමසීමක් පවත්වන්න පුළුවන් නම් එය පැවැත්විය යුතුයි.
 
 අනික් කාරණය තමයි මෙම මැතිවරණයේ ප‍්‍රතිඵලය ජනාධිපතිවරණයට බලපානවා කියලා කවුරු හරි කියනවා නම් අපිට කියන්න තියෙන්නේ එම බලපෑම හැම පක්ෂයකටම වෙනවා තියන එක තමයි. අනික ඒක අපිට නවත්වන්න පුළුවන් කමක් නෑ.
 
 ප‍්‍රශ්නය - ප‍්‍රාදේශීය සභා මැතිවරණය ඉලක්ක කරගෙන ආණ්ඩු පක්ෂය ඇල්පිටියව ප‍්‍රාදේශයේ ඉඩම් බෙදා දීම වැනි විශේෂ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරන බවට චෝදනා එල්ල වී තිබෙනවා.
 
 ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී තිබෙනවාද?
 
 පිළිතුර - මේ දිනවල අලූතින් ව්‍යාපෘති කි‍්‍රයාත්මක කළහොත් අපට ඒවා නම් නතර කිරීමට සිද්ධ වෙනවා. එසේ වුවත් මෙම ඡුන්ද විමසීම ප‍්‍රකාශයට පත් වීමට පෙර සැළසුම් කළ කටයුතු නිලධාරීන් විසින් කි‍්‍රයාත්මක කිරීම ගැටලූවක් නෑ.
 
 එහෙත් සමෘද්ධිය සහ ඉඩම් ලබාදීම සඳහා දැන් ඉල්ලූම්පත‍්‍ර ලබා දෙනවා නම් අපිට පුළුවන් ඒක නවත්වන්න කියලා කියන්න. ඇල්පිටියට විශේෂ ආධාරයක් දෙන්න යනවා නම් අපිට ඒකත් නවත්වන්න පුළුවන්. නමුත් කලින් යොදා ගෙන තිබුණ දිනයක පාසල් ගොඩනැඟිල්ලක් නිලධාරීන් විසින් විවෘත කරනවා නම් අපි එක මෙම මැතිවරණය නිසා නැවැත් වුවහොත් එම ගොඩනැඟිල්ල ජනාධිපතිවරණය අවසන් වන තුරු ළමයින්ට ලැබෙන්නේ නෑ. එම නිසා අපි එම කටයුතු නතර කරන්න යන්නේ නෑ. නමුත් අපි දැනුම් දීලා තිබෙනවා. එම කටයුතු රජයෙන් මිස ආණ්ඩුවෙන් නොකළ යුතු බව. රජය කියන්නේ කුමක්ද? රජය කියන්නේ නිලධාරීන්. එතකොට දේශපාලනඥයන්ට තමයි ආණ්ඩුව කියන්නේ.
 
 මෙම මැතිවරණයේදී රජයේ දේපළ පාවිච්චි කරලා කි‍්‍රයා මාර්ග පාවිච්චි කරලා කිසිදු අයුතු කටයුත්තක් කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ.
 
 ප‍්‍රශ්නය - පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබෙනවා. ඔබ ඒ පිළිබඳව දැනුවත්ද?
 
 පිළිතුර - ඒ පිළිබඳව නම් මට කියන්න තිබෙන්නේ දෙවියෝ දනී මම නොදනි කියන කතාව තමයි. ඒ සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තීන්දුව අපි දැක්කේ නෑ. නමුත් එම කටයුත්ත පාර්ලිමේන්තුව විසින් කළ යුතුයි කියන එකට යම් බලපෑමක් තිබෙනවා.
 
 පළාත් සභා ඡුන්ද විිමසීම නොපැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව එල්ල කරන ලද මරු පහරක්. ආණ්ඩුකාරවරු අට දෙනකු සහ නිලධාරි කණ්ඩායමක් දාගෙන කි‍්‍රයා කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. පළාත් පාලන මැතිවරණය ප‍්‍රමාද වීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. මහජන නියෝජිතයන්ගේ පාලනයක් වෙනුවට නිලධාරීන්ගේ පාලනයක් ආදේශ කිරීම සම්පූර්ණයෙන්ම වැරදි බව. එම අධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා පළාත් පාලන මැතිවරණය ප‍්‍රමාද කිරීම මගින් මූලික අයිතිය කඩ කිරීමක් සිදු කර ඇති බව. ඊට ආණ්ඩුව වගකිවයුතු බවත්, මැතිවරණ කොමිසමට ඊට වගකිව නොහැකි බවත් සඳහන් කරලා තිබුණා.
 
 පළාත් සභා ඡුන්ද විිමසීම ගැන කතා කරන කොට බොහෝ දෙනෙක් ඇහුවනේ ර්‍ණමැකෝ කෝ ඡුන්දය” කියලා. අන්න අධිකරණ තීන්දුවේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා ඡුන්දය පැවැත්විය යුත්තේ පාර්ලිමේන්තුව බව. දැන් කවුරු හරි පළාත් සභා ඡුන්ද විිමසීම නොපැවැත්වීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වෙන බව සඳහන් කර අධිකරණය හමුවේ නඩු දැමිය යුතුයි. අර්ථ නිරූපණ ආඥා යටතේ එම ඡුන්දය පවත්වන්න කියලා අපිට ලියුම් දීපු අයත් දැන් කියනවා පළාත් සභා පස්සේ තියමුයි කියලා. මේ පිළිබඳව දේශපාලනඥයන් විසින් කරපු වැරදි සම්බන්ධයෙන් පාවිච්චි කළ යුතු වචන පිළිබඳව මැතිවරණ කොමිසමේ සිටින තුරු පැහැදිලි කිරීමක් කිරීමට බැහැ. නමුත් දැනට ලියා ගෙන යන පොතේ ඒ පිළිබඳව කරුණු ඇතුළත් කිරීමට බලාපොරොත්තු වනවා.
 
 ප‍්‍රශ්නය - පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපතිතුමා අධිකරණයේ මතය විමසූ අවස්ථාවේදී විවිධ පාර්ශ්වයන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළත්, මැතිවරණ කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් නොකළ බව මහින්ද අමරවීර මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කරලා තිබුණා. එම චෝදනාව පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?
 
 පිළිතුර - අපි දේශපාලනඥයන්ගේ ප‍්‍රකාශවලට පිළිතුරු දෙන්නේ නැහැ. පළාත් සභා ඡුන්ද විිමසීම ප‍්‍රමාද වීම පිළිබඳව අධිකරණය හමුවේ නඩු 4 ක් තිබුණා. එම නඩුවලදී අගමැතිතුමා සහ කථානායකතුමා වගඋත්තරකරුවන් වී තිබුණ නිසා එම පාර්ශ්වයන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියා. එම නඩුවලදී අපත් වගඋත්තරකරුවන් කර තිබුණා. එහිදී අපගේ මතය වූයේ එම ඡුන්දය පැවැත්වීම සඳහා පියවර ගත යුතුය කියන එක තමයි. එම නිසා අපි නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරලා අපි වෙනුවෙන් පෞද්ගලික අංශයේ ජනාධිපති නීතිඥවරයකු ඉදිරිපත් කළා. එසේ වුවත් ජනාධිපතිතුමා විිසින් කළ මත විිමසීමේ දී අපේ මතය ඉදිරිපත් කරන ලෙස අප නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. නීතිපතිවරයා ඉදිරිපත් කළ ලිඛිත සටහන්වල අපි ඉදිරිපත් කළ කරුණු ඉදිරිපත් කරලා තිබුණා.
 
 අපේ මතය, එම මැතිවරණය පැවැත්විය හැකි ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ යුතුය කියන එක තමයි. අර්ථ නිරූපණ ආඥා පනත වලංගු ද නැද්ද කියන එක. ඒ පිළිබඳව එම නඩු විභාගයේදී වාද විවාද කළානේ.
 
 ප‍්‍රශ්නය - මෙම අධිකරණ තීන්දුව නිසා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැරණි මැතිවරණ ක‍්‍රමයට පැවැත්වීමට තිබූ අවස්ථාව අහිමි වී තිබෙනවාද?
 
 පිළිතුර - අපි නඩු තීන්දුව දැක්කේ නෑ. නමුත් පාර්ලිමේන්තුව ඒ සඳහා කි‍්‍රයා කළ යුතු බව සඳහන් කරලා තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීම මගින් පැරණි ඡුන්ද ක‍්‍රමයට එම ඡුන්ද විමසීම පැවැත්වීමේ හැකියාව තිබෙනවා.
 
 ඒ සඳහා සුමන්තිරන් මන්තී‍්‍රතුමා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. පරණ ක‍්‍රමයට හරි ඡුන්ද විමසීම පවත්වමු කියලා අපත් සමඟ කටයුතු කරපු පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රතුමන්ලා 100 කට අපි ලිඛිතව දැනුම් දීලා තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡුන්දය ජනාධිපතිවරණයේ කටයුතුවලට බාධාවක් වන්නේ නැද්ද?
 
 පිළිතුර - මොන හේතුවක් නිසාවත් ජනාධිපතිවරණය කල් යන්නේ නෑ. ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනය අවශ්‍ය නම් එම මැතිවරණයට දින 63 කට කලින් ප‍්‍රකාශ කිරීමට පුළුවන්. එහෙම බැලූවොත් මෙම සැප්තැම්බර් මාසයේ 10 15 පමණ වනවිට එම බලය අපට ලැබෙනවා. එම දිනවල ඡුන්ද විමසීම කැඳවීමේ නිවේදනය ප‍්‍රකාශයට පත් කළොත් ජනාධිපතිවරණය ළඟම දිනයට ගන්න වෙනවා. නමුත් එම මැතිවරණය ළඟම දිනයට ගන්නවාද අන්තිම දිනයට ගන්නවා ද කියන එක තවම මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරලා නෑ.
 
 කෙසේ වුවත් එම ඡුන්ද විමසීම පැවැත්විය හැකි ව්‍යවස්ථාපිත දිනය කුමක් ද කියන එක ප‍්‍රකාශ කිරීමට පුළුවන්. එහෙම බැලූවොත් ළඟම දිනය නොවැම්බර් 10 ය, අවසන් දිනය දෙසැම්බර් 8 එම ඡුන්ද විමසීම ඉරිදා දිනයක හෝ පෝය දිනයක පවත්වන්න බෑ. පෝය දිනයේ පමණක් නොවෙයි එදිනට පෙර සහ පසු දිනවලත් බෑ. ඒ අනුව කාටවත් අසාධාරණයක් නොවන මධ්‍යස්ථ දිනයක එම ඡුන්ද විමසීම පැවැත්වීමට කොමිෂන් සභාව තීරණය කරාවි.
 
 දැනට පවතින තත්ත්වය ඒක වුවත් විවිධ පුද්ගලයන් විවිධ දින නම් ප‍්‍රකාශයට පත් කරලා තිබෙනවා. මම දැක්කා ආණ්ඩුවට සම්බන්ධ එක් පුද්ගලයකු ප‍්‍රකාශ කරලා තිබෙනවා ජනාධිපතිවරණය නොවැම්බර් 16 වැනිදා පවත්වන බව. ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළා දෙසැම්බර් 07 කියලා. විපක්ෂයේ මන්තී‍්‍රවරයකු ප‍්‍රකාශ කරලා තිබුණා එම ඡුන්ද විමසීම 23 වැනිදා පවත්වන බව. තවත් එක් නායකයකු 30 වැනිදා ඡුන්ද විමසීම පවත්වන බවත් සඳහන් කරලා තිබුණා. එහෙම කියන්නේ ඡුන්ද විමසීම අනිවාර්යයෙන්ම සෙනසුරාදා දිනයක පවත්වාවි කියලා සිතන නිසා. ඡුන්ද විමසීම පැවැත්විය හැකි සෙනසුරාදා දින තිබෙන්නෙත් 4 ක් පමණයි. එම නිසා තමයි එහෙම කියන්නේ. සෙනසුරාදා දිනයකම තියන්න ඔින කියලා නීතියක් නැහැ. ඒ වගේම සමහර දේශපාලන පක්ෂ අපෙන් ඉල්ලලා තිබෙනවා ඡුන්ද විමසීම පුළුවන් තරම් පසු දිනයක කරන්න කියලා. ඒ වගේම තවත් සමහර පක්ෂ ඉල්ලලා තිබෙනවා එම ඡුන්ද විමසීම පුළුවන් තරම් ආසන්න දිනයකට ගන්න කියලා. තවත් සමහර අය ඉල්ලා තිබෙනවා අ. පො. ස. (සා/ පෙ) විභාගයට බාධාවක් නොවන ලෙස ඡුන්ද විමසීම පවත්වන්න කියලා. එම විභාගය ආරම්භ වන්නේ දෙසැම්බර් 02 වැනිදා.
 
 ඔය සියලූ කාරණා පිළිබඳව සලකා බලා කාලය, දීපය, දේශය සලකා බලලා, අපි ඡුන්ද විමසීම පවත්වන දිනය තීරණය කරනවා.
 
 ප‍්‍රශ්නය - මේ මොහොත වනවිට ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරලා නොතිබුණත්, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කිහිප දෙනකුම රාජ්‍ය මුදල් භාවිත කරමින් ප‍්‍රචාරක කටයුතුවල නිරත වන බව දැක ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් කොමිසම ගන්න පියවර කුමක්ද?
 
 පිළිතුර - නාම යෝජනා දැන්වීමත් සමග රාජ්‍ය දේපළ අයුතු පරිහරණය පිළිබඳ චක‍්‍රලේඛය බලාත්මක වනවා. ඒ කියන්නේ ස්ථාන මාරු ලබාදීම, දේශපාලන වාසි අත්වන විවෘත කිරීම් දේශපාලනඥයන්ට වාසි අත්වන වක‍්‍ර හෝ සෘජු ප‍්‍රචාරක කටයුතු රතු ලයිට් එක දාලා නැවැත්වීමට සිද්ධ වෙනවා.
 
 මේ වනවිට ලංකාවේ ආණ්ඩු තුනක් තිබෙනවා. එකක් තමයි කැබිනට් එක ප‍්‍රධාන ආණ්ඩුව. තවත් එකක් තමයි ආණ්ඩුකාරවරුන්ගේ ආණ්ඩුව, ඒ වගේම ඌව පළාතේ මහ ඇමැතිවරයාගේ ආණ්ඩුව. ඊට අමතරව මේ රටේ පළාත් පාලන ආණ්ඩුත් තිබෙනවා. මෙම ආයතන පාලනය වන්නේ බල කේන්ද්‍ර තුනකින්. ඒ සියලූ දෙනාටම රතු ලයිට් එක පත්තු වෙනවා. ඒ වගේම එම නීතිය එම ආයතනවල රාජකාරි කරන නිලධාරීන්ටත් අදාළ වෙනවා.
 
 එම රතු ලයිට් එක වැටෙන දිනය තවම නිශ්චිත නෑ. නමුත් අපි සිතමු මේ මාසයේ තුන් වැනි හෝ හතර වැනි සතියේ වගේ කියලා. නමුත් අපි ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදී දිනය යෙදී තිබෙන සැප්තැම්බර් 15 වැනිදා කහ ලයිට් එක පත්තු කරනවා. අපි දැනටමත් කහ ලයිට් එක ඉදිරියේදී පත්තු වනවා කියන නිවේදනය අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කර තිබෙනවා. ඒ වගේම එම නිවේදනය පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල ප‍්‍රධානීන්ටත් යොමු කර තිබෙනවා. අපි ඔවුන්ට දැනුම් දී තිබෙනවා සංවර්ධන කටයුතු හරහා දේශපාලනඥයන්ගේ ප‍්‍රතිරූප නැංවීමට කටයුතු කරන්න එපා කියලා. මම හිතන්නේ ඔබ සේවය කරන මාධ්‍ය ආයතනයටත් එම නිවේදනය ලැබෙන්න ඇති. අපි එම නිවේදනය මගින් නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා යම් අකටයුත්තක් සිද්ධ වුවහොත් ඔබටත් එයට වගකියන්න සිද්ධ වෙන බව. එම නිසා ඉදිරියේදී කහ ලයිට් එක පත්තු වෙන නිසා දැන්ම ඒ පිළිබඳව සැලකිලිමත් වන එක හොඳයි.
 
 ඒ වගේම මේ අන්තිම දවස් ටික කියලා එම දින කිහිපයේදී කරන්න හිටපු සියලූ වැඩ කරන්න ගියොත්. අපි ඒ ගැනත් සලකා බලනවා. කොළ ලයිට් තිබුණත් නීති කඩමිින් යන්න බැහැනේ. ඒ නිසා මේ කාලයේ දී වුණත් නීති කඩමිින් වැරදිදේ කරන්න බැහැනේ.
 
 ප‍්‍රශ්නය - ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බවට මත පළ වී තිබෙනවා. එය කරන්න පුළුවන්ද?
 
 පිළිතුර - අපේක්ෂකයකු පිළිබඳව ඔබට ප‍්‍රශ්න විමසීමට අයිතිය තිබුණත් මට අයිතියක් නැහැ, යම් අපේක්ෂකයකු පිළිබඳව සඳහන් කිරීමට.
 
 එහෙත් මට කියන්න පුළුවන් හිටපු හෝ දැනට සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු නොවන කෙනෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා නම් ඔහු පක්ෂයක සාමාජිකයකු ලෙස ඉදිරිපත් විය යුතු බව. ඒක තමයි දැනට තිබෙන නීතිය. එම නීතියේ වැරදි බව කියන පිරිසක් ඉන්නවා. ඒත් නීති වෙනස් කරන්න අපට බැහැ.
 
 
 සාකච්ඡා කළේ - එරික් ගාමිණී ජිනපි‍්‍රය


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles