Divaina - ස්මාට් ලයිසන් එකෙන් ස්මාට් අලාභයක්... රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී හෙළිවේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


rmv

ජනිත සෙනවිරත්න


මහජන මුදල් අවභාවිතය ගැන අලූත්ම හෙළිදරව්ව පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් පසුගියදා හෙළිදරව් කරන ලද්දේ ස්මාර්ට් කාඞ් රියැදුරු බලපත‍්‍රය නිකුත් කිරීමේදී රජයට හිමිවිය යුතු රුපියල් ලක්ෂ හතලිස් දහසක මුදලක් විදේශ සමාගමකට ලබා ගන්නට ඉඩ දී ශ‍්‍රී ලංකා රජයට රුපියල් ලක්ෂ හතලිස් දහසක අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙනි.

රියදුරු බලපත‍්‍රය නිකුත් කිරීමේ වසර හතක ගිවිසුම් කාලය 2016 වසරේදී අවසන්ව තිබියදී එය නිකුත් කරන දකුණු අප‍්‍රිකානු සමාගමට අදාළ කොන්ත‍්‍රාත්තුව තවත් වසර දෙකක කාලයක් සඳහා ලබාදීම හේතුවෙන් රජයට මෙම රුපියල් ලක්ෂ හතලිස් දහසක අලාභය සිදුවී තිබේ.

මේ රජයේ මුදල් අවභාවිතාව පිළිබඳ හෙළිකිරීමෙන් නොනැවතුණු රාජ්‍ය ගිණුම් කාරක සභාව ස්මාර්ට් රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේ කාර්යය වහාම රජයට පවරා ගන්නා ලෙස මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට හා ප‍්‍රවාහන අමාත්‍යංශයට නියෝග කරන ලදී.

එසේම මෙහිදී මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් අදාළ දකුණු අප‍්‍රිකානු සමාගම වෙනුවෙන් ඊට වාසි දායක වන අන්දමට කරුණු දැක්වීම නිසා ඔවුන් රජයේ සේවකයන් ද නොඑසේ නම් අදාළ අප‍්‍රිකානු සමාගමේ සේවකයන්දැයි රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සාමාජිකයන් විසින් ප‍්‍රශ්න කරන ලදී. එසේම රජයේ සේවකයන් රටේ ජනතාව වෙනුවෙන් මිස පුද්ගලික සමාගම් වෙනුවෙන් පෙනී නොසිටිය යුතු බව කාරක සභා සාමාජිකයන් පෙන්වා දී තිබේ.

එසේම ගිවිසුමට අනුකූලව අදාළ සමාගම විසින් ඉටු කළ යුතු කාර්යයන් සිදුකර ඇත්ද, නොකළ කාර්යයන් මොනවාද යන්න පිළිබඳව වාර්තාවක් සති දෙකක් ඇතුළත රාජ්‍ය ගිණුම් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසට ද ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාට නියම කළේය.

එසේම රජයට අහිමි වූ මුදල පිළිබඳ වගකීම නව විගණන පනතට අනුව ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාට සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාට භාර ගැනීමට සිදුවනු ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා ලේකම්වරයාට සහ කොමසාරිස්වරයාට මෙහිදී දැනුම්දී තිබේ.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කටයුතු මේ වන විට මාධ්‍යයට විවෘත වීම නිසා රාජ්‍ය ආයතනවල දුෂණ වංචා මහජනතාවට සෘජුව දැනගැනීමට මේ වන විට හැකිව තිබේ.

රාජ්‍ය ගිණුම් කාරක සභාව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දොළොස් දෙනකුගෙන් සමන්විත වන අතර රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වනුයේ රජයේ, එහි අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, පළාත් සභාවල හා
පළාත් පාලන ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව හා මූල්‍ය විනය පිළිබඳ සොයා බැලීමයි.

ඕනෑම පුද්ගලයකු හෝ නිලධාරියකු තමන් ඉදිරියට කැඳවීමටත්, ඕනෑම ලියැවිල්ලක්, පොතක්, වාර්තාවක් හෝ වෙනත් ලේඛනයන් පරීක්ෂා කිරීමටත්, ගබඩා සහ දේපළවලට ප‍්‍රවේශ වීමටත් රාජ්‍ය ගිණුම් කාරක සභාවට බලය තිබේ. අමාත්‍යාංශවල ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් හා වගකිවයුතු අනෙකුත් නිලධාරීන් යන අයගෙන් සාක්ෂි ලබාගැනීම, කරුණු විමසීම, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය ගිණුම් හා ජාතික අයවැය යන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් කාරක සභාව හමුවට කැඳවීම සඳහා මෙන්ම ඔවුන් වෙත නියෝග ලබාදීම සඳහා ඊට බලය තිබේ.

එමගින් ලබාදෙන නියෝග ක‍්‍රියාත්මක කිරීමටත් අමාත්‍යාංශ ලේකම්වරු බැඳී සිටින අතර ඒවා පාර්ලිමේන්තුව විසින් නිකුත් කරනු ලබන නියෝග ලෙස සැලකේ.

රියැදුරු බලපත‍්‍රයක් සඳහා අයදුම්කරුවකුගෙන් රුපියල් 1700 ක් අයකර ගන්නා බවත්, ඉන් රුපියල් 1340 ක් අදාළ පෞද්ගලික සමාගමටත් ඉතිරි රුපියල් 360 රජයටත් බෙදී යන බව ද මෙහිදී අනාවරණය විය. මේ තරම් විශාල මුදලක් ගෙව්වද ඊට අදාළ පරීක්ෂා කිරීමේ උපකරණ මේ දක්වා අදාළ සමාගම විසින් මෙරට පොලිස් ස්ථානවලට ලබාදී නොමැත. එසේම කාඞ්පත අලූත් කිරීමට මුලින් අය කරන ගාස්තුවම අයකිරීම මහජනතාව ගසාකෑමක් බව කාරක සභාවේ අදහස විය.

ශ‍්‍රී ලංකා රජයට 2016 වසරේදී පවරා ගත යුතු වූ මෙරට රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතිය රජයට පවරා
ගන්නා ලෙස 2016 වසරේ සිට වසර තුනක් තිස්සේ රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් ප‍්‍රවාහන අමාත්‍යාංශයටත් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවටත් අවස්ථා ගණනාවකදී නියෝග ලබාදී තිබුණ ද එය ප‍්‍රවාහන බලධාරීන් විසින් දිගින් දිගටම කල්දමන ලදී. එසේම අදාළ යන්ත‍්‍ර සූත‍්‍ර වසර හතරකට පසු අලූත් කළ යුතු වුවද මේ දක්වා ඒවා අලූත් කරවීමට දෙපාර්තමේන්තු බලධාරීන් ක‍්‍රියා කර නොමැති බව මෙහිදී හෙළිවී තිබේ. එසේම අදාළ ස්මාර්ට් කාඞ් චිපයට නිසි තොරතුරු ඇතුළත් කර නැතැයිද ඒවා පරීක්ෂා කිරීමේ ක‍්‍රමවේදයක් නැතැයි ද මෙහිදී හෙළිවී තිබේ.

වසර හතකට අදාළ කොන්ත‍්‍රාත් කාලය අවසන් වීමෙන් පසුව ස්මාර්ට් රියැදුරු බලපත‍්‍ර සකස් කිරීමේ තාක්ෂණය අදාළ සමාගම විසින් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු අතර කොන්ත‍්‍රාත් ගිවිසුමට අනුව ඒ සඳහා දෙපාර්තමේන්තු සේවකයන් පුහුණු කළ යුතු වුවද වසර දෙකහමාරක් ගතවී තිබියදීත් එවැන්නක් සිදුවී නැති බව මෙහිදී හෙළි විණි.

එමෙන්ම එවැනි පුහුණුවක් ලබා ගැනීමට තරම් කාර්ය මණ්ඩලයක් දෙපාර්තමේන්තුව සතුව නැතැයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීහු මෙහිදී පැවසූහ. එය අමූලික අසත්‍යයක් වන අතර වරින් වර බඳවා ගත් උපාධිධාරීන් තුන්සිය පනහකට වැඩි පිරිසක් දෙපාර්තමේන්තුව තුළ සිටිති. ඒ අතර පරිගණක තාක්ෂණ උපාධිධාරීන් ද සිටින අතර එසේ නොවන අයට පවා යම් පුහුණු වීමක් ලබාදිය හැකිව තිබිණි. අනෙක් අතට මේ සියලූ ටෙන්ඩර් පිරිවිතර සාදන, මිලදී ගැනීම් සිදු කරන තොරතුරු තාක්ෂණ තීරණ ගන්නා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු අංශ ප‍්‍රධානියාට පවා ඇත්තේ සාමාන්‍ය විද්‍යා උපාධියක් පමණක් බැවින් සෙසු උපාධිධාරීන් ද ඒ සඳහා පුහුණු කිරීම හරහා ඔවුන්ට එය සාර්ථකව සිදු කළ හැක. එසේම දැනට ද මේ කටයුතුවල වැඩි කොටසක් සිදු කරන්නේ මේ උපාධිධාරීන් හා දෙපාර්තමේන්තුගත සේවකයන්ය.

මෙහිදී කාරක සභාව දෙපාර්තමේන්තුව විසින් පසුගිය අගෝස්තු මාසයේදී නිකුත් කළ රියදුරු බලපත‍්‍ර ප‍්‍රමාණය විමසන ලදී. අගෝස්තු මාසයේදී පමණක් රියැදුරු බලපත‍්‍ර 92000 ක් නිකුත් කර ඇති බවත් සාමාන්‍යයෙන් මාසයකට රියැදුරු බලපත‍්‍ර 60000 ත් - 70000 ත් අතර ප‍්‍රමාණයක් නිකුත් කරන බවත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් එහිදී කමිටුව හමුවේ ප‍්‍රකාශ කළේය.

ඒ සඳහා මාසයකට දකුණු අප‍්‍රිකානු සමාගමට ගෙවන ලද රුපියල් මිලියන 120 ක මුදලින් මාසයකට රුපියල් මිලියන තිහක් බැගින් වැය කර තොරතුරු තාක්ෂණ හා පරිගණක කටයුතු විශේෂ උපාධිධාරීන් බඳවා ගන්නා ලෙසට ද රියදුරු බලපත‍්‍රය නිකුත් කිරීමේ කාර්යය සඳහා මුළුමනින්ම රජයට අයත් පුද්ගලික සමාගමක් ආරම්භ කරන ලෙසට ද මෙහිදී රාජ්‍ය ගිණුම් කාරක සභාව ප‍්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන ලදී.

මෙය ඉතාම කාලෝචිත සාධාරණ තීන්දුවකි. ඒ හරහා රජයට ද නව ආදායමක් හිමිවේ. රජය මුහුණදී තිබෙන ආර්ථික ගැටලූ හමුවේ එය විශාල වාසියකි. එසේම විශාල වශයෙන් විදේශ විනිමය රටින් පිටතට ගලා යෑමක් ද ඒ මගින් නතර වනු ඇත.

මේ අතර රුපියල් ලක්ෂ හාරදහසක වියදමින් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ පැරණි ගොඩනැගිල්ල නවීකරණය සඳහා ගන්නා උත්සාහය බරපතල මහජන මුදල් නාස්තියක් බවටත් එම මුදලින් අංග සම්පූර්ණ නවීනතම මහල් ගොඩනැගිල්ලක් ඉදි කළ හැකි බවටත් එහි සේවකයෝ චෝදනා කරති.

එසේම එම දෙපාර්තමේන්තුවේ නවීකරණ කටයුතු උපදේශනය සඳහා තෝරා ගැනුණු රාජ්‍ය ආයතන දෙකක් තිබියදී ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ප‍්‍රතික්ෂේප වුණු පුද්ගලික ආයතනයක් පිළිගත් ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් තෝරා ගෙන තිබේ.

නව ඊ -මෝටරින් සේවාව ක‍්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ හාරදහසක වියදමින් අදාළ නවීකරණ කටයුතු සිදු කෙරෙන අතර ඒ සඳහා රජයේ ආයතන වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යංශය ඇතුළු ආයතන සහ තවත් පුද්ගලික සමාගම් නවයක් ඉදිරිපත් විය.

එහිදී අදාළ සුදුසුකම් සපුරා තිබුණේ ඉහත රාජ්‍ය ආයතන දෙක හා තවත් පුද්ගලික සමාගමක් පමණක් වන අතර එසේ තිබියදී අදාළ ටෙන්ඩරය නියමිත ඇගයීම් පටිපාටියෙන් බැහැරව මුල් වටයෙන්ම ප‍්‍රතික්ෂේප වුණු නිසි පළපුරුද්දක් නොමැති කුඩා ආයතනයකට පිරිනමා තිබේ.

මීට මාස කීපයකට පෙර පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ හා විපක්ෂ සියලූ දෙනා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව රටේ දූෂිතම දෙපාර්තමේන්තුව ලෙස හඳුන්වමින් එහි ප‍්‍රධානීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ප‍්‍රවාහන ඇමැතිවරයාගෙන් ඉල්ලූ ආකාරය අපට මතකය. එහෙත් මුළු පාර්ලිමේන්තුවත් රාජ්‍ය ගිණුම් කාරක සභාවත් රට හමුවේ විහිළුවට ලක්කරමින් අදාළ ප‍්‍රධානීන් අදටත් එම තනතුරුවලම සිටිති.

රාජ්‍ය ගිණුම් කාරක සභාව ලබාදුන් නියෝග ක‍්‍රියාත්මක නොකිරීම වෙනුවෙන් ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට විවිධ සමාගම්වලින් මාසිකව අතිවිශාල වරදාන ලැබෙන බවට චෝදනා රැසකි.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව ප‍්‍රවාහන අමාත්‍යාංශය යටතේ පාලනය වන්නකි. ශ‍්‍රී ලංකාවට ලෝක කුසලානය උරුම කරදුන් අර්ජුන රණතුංග වර්තමාන ප‍්‍රවාහන ඇමැතිවරයාය. ඔහු යටතේ ඇති දෙපාර්තමේන්තුවක සිදුවන මෙවැනි ක‍්‍රියා තම කීර්ති නාමයට සුදුසු නොවන බව ඔහු මතකයේ තබා ගත යුතුය. එම නිසා දැන්වත් නිසි පියවර ගන්නා ලෙසට අර්ජුන රණතුංග ප‍්‍රවාහන ඇමැතිවරයාගෙන් අපි ඉල්ලා සිටින්නෙමු.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ මෙම නියෝග ක‍්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මෙම කාරක සභාවට අවශ්‍ය නම් අධිකරණය හමුවේ නඩු පැවරීමට වුව ද බලය තිබේ.

එම නිසා මෙම කාරක සභා මාධ්‍ය වෙත විවෘත වීම වැදගත් සේම ඊටත් වඩා වැදගත් වන්නේ ඒවායේ නිර්දේශ හා නියෝග ක‍්‍රියාත්මක නොකරන අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ට එරෙහිව නඩු පැවරීමය. එපමණක් ද නොව අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුව අදාළ නියෝග ලබාදුන් දවසේ සිට මේ දක්වා සේවය කළ ප‍්‍රධානීන්ගෙන් රටට සිදු වූ පාඩුව ද අධිකරණ ක‍්‍රියාමාර්ග ඔස්සේ ආපසු අයකර ගත යුතුය. රාජ්‍ය ගිණුම් කාරක සභාව සම්බන්ධයෙන් හා මේ මහා ජනතා මුදල් අවභාවිතය මෙන්ම ඉන් රටට සිදු වූ අලාභය ගැන ගන්නා ක‍්‍රියාමාර්ග කෙරෙහි අපි බලාපොරොත්තු සහිතව බලාසිටින්නෙමු.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles