Divaina - ජනපති සටන කලින් පටන්ගත්ත එක ගැන ආණ්ඩුවට ප‍්‍රශ්නයක්! බැසිල් - ගෝඨා අයිය මල්ලිලා හදිසියේ ගිය ගමන කුමක්ද... ජනාධිපති අපේක්ෂක රනිල්ට ලැබෙන හැඩ...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 poli
 
 බුලිත ප‍්‍රදීප් කුමාර
 
නොවිසඳුණු බරපතළ ප‍්‍රශ්න කිහිපයක් තවදුරටත් දේශපාලන කරලියේ සාකච්ඡාවට ලක්වූ තවත් සතියක් ලෙස පසුගිය දින කිහිපය ගෙවී ගියේය. ඒ නොවිසඳුණු ප‍්‍රශ්න අතර වඩාත්ම කැපී පෙනුණු කාරණාව වූයේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සටනයි. එජාපයේ ජනාධිපති අපේක්ෂකයා තමන් බව කියමින් සජිත් පේ‍්‍රමදාස රට පුරා රැස්වීම් පවත්වමින් කියා සිටියත්, සජිත්ට හිතවත් එජාපයේ පසුපෙළ තරැණ මන්ත‍්‍රීවරු ඒ වෙනුවෙන් කොපමණ හඬ නැගුවත් එජාප නායක රනිල් වික‍්‍රමසිංහගේ පාර්ශ්වයෙන් ඒ සඳහා කිසිදු අනුකූලතාවක් දක්නට ලැබුණේ නැත. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ පාර්ශ්වය නියෝජනය කරන සියලූම ප‍්‍රකාශකයන් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය තවමත් ඒ ගැන හරි තීන්දුවක් ගෙන නැති බවය.
 
 පක්ෂය එබඳු තීන්දුවක් ගෙන නොතිබෙන පරිසරයක සජිත් පේ‍්‍රමදාස හා ඔහුගේ ආධාරකරුවන් තනිවම ඉදිරිපත් වී, තමන් අපේක්ෂක බව කියමින් රට පුරා ගෙන යන ප‍්‍රචාරක ව්‍යාපාරය එජාප නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට බරපතළ ගැටලූවක් විය. රනිල් පාර්ශ්වය එය සැලකුවේ විනය විරෝධී කටයුත්තක් ලෙස ය... පක්ෂ නායකයා ඇතුළු පක්ෂයේ වගකිවයුතු නායකයන් මේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම සජිත් පේ‍්‍රමදාසට අවවාද කළේය. ඒ අනුව යළිත් එවැන්නක් සිදු නොවන්නට වගබලා ගන්නා බව කියමින් සජිත් එම විවේචන පිළිගත්තේය... එහෙත් ඊට පසුදාත් යළි එයම සිදුවන්නට ඉඩ හැර සජිත් නිහඬව සිටියේය.
 
 මෙම තත්ත්වය එක්සත් ජාතික පක්ෂ නායකයාට සහ ඔහු වටා සිටින කල්ලි කණ්ඩායමට මහත් හිසරදයක් විය. කොතරම් විනය ක‍්‍රියාමාර්ග ගන්නට උත්සාහ කළත් නීති රීති දැම්මාත් ඒ කිසිවකින් ඔවුන්ට සජිත් හා ඔහුගේ පිල පාලනය කළ හැකි නොවීය. එවිට රනිල් පිලේ ප‍්‍රකාශකයන් කරනු ලැබුවේ සජීත්ව දැඩි විවේචනයට ලක් කිරීමයි... අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙනුවෙන් රවි කරුණානායකත් සරත් ෆොන්සේකාත් එම කාර්යභාරය අකුරටම ඉටු කරන ආකාරය අපට පසුගිය සතියේ දැකගත හැකි විය.
 
 මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් ජනතා විමුක්ති පෙරමුණේ සිය ජනාධිපති අපේක්ෂකයන් වෙන වෙනම නම් කර ඇති බැවින්, ඔවුන්ගේ සංවිධාන කටයුතු ඉදිරියට කරගෙන යමින් සිටියහ. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කැපී පෙනෙන ගැටලූ කිසිත් නොවීය. එහෙත් එක්සත් ජාතික පක්ෂය සේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසුවූයේ බලවත් අර්බුදයකය.
 
 විපක්ෂ පුළුල් සංධානය
 පුස් වෙඩිල්ලක් වෙයි ද

 
 එක්සත් ජාතික පක්ෂයට එරෙහිව දේශපාලන ව්‍යාපාරයක් ගෙනයද්දී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව ජනාධිපති අපේක්ෂකත්වය හා අගමැති අපේක්ෂකත්වය පක්ෂ දෙක අතර බෙදා හදා ගනිමින් පුළුල් අවබෝධයකින් යුතුව ඉදිරියට යන්නට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තුව සිටියේය. ඒ සඳහා පක්ෂ දෙක අතර පැවති සාකච්ඡාවලදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු තොරතුරක් ශ‍්‍රීලනිපය සමඟ බෙදාහදා ගන්නට කැමැත්තක් පළ කළේ නැත. පක්ෂ දෙක අතර සාකච්ඡා අතරමඟ කඩා වැටුනේ එම ප‍්‍රශ්නය නිසාය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙක් නම් කරද්දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය සැලකිල්ලට ගත්තේ නැත. ඉන් පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ කළේ කණ්ඩායම් දෙක අතර එකඟතාවක් ඇතිකර ගැනීමට පවත්වනු ලැබූ රැස්වීම්වලදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට පුළුල් සංධානය තුළ හිමිවන ස්ථානය කුමක්ද කියා නිශ්චය කරග ගැනීමටය.
 
 ඔහුට අපි ඉතාමත් ගෞරවනීය සමුගැනීමක් ලබාදෙන්න කැමතියි..... කියා ඩලස් අලහප්පෙරුම කරන ලද ප‍්‍රකාශයෙන් පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානය පිළිබඳ බලාපොරොත්තු අත්හැර සිටියහ. ඉන්පසුව ඔවුන් කරනු ලැබුවේ මතුපිටින් සාකච්ඡාව ඉදිරියට ගෙන යන ආකාරය පෙන්නුම් කරමින්ම, පක්ෂය ඇතුළාන්තයේදී ජනාධිපතිවරණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත්පත් කිරීමේ වෑයම තව තවත් ශක්තිමත් කරන්නට උත්සාහ කිරීමයි.
 
 පසුගිය සතියේ බැසිල් රාජපක්ෂද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සහභාගි වූ අවසන් රැස්වීමේදී මෙම සාකච්ඡාව තීරණාත්මක තැනකට පැමිණියේය. එහිදීද ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි කීවේ ජනාධිපතිවරණයට තම පක්ෂය වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානම් බවයි....
 
 එහිදී බැසිල් රාජපක්ෂ අමු අමුවේම ඇසිය යුතු ප‍්‍රශ්නය කරලියට ගෙන ආවේය...
 
 හරි.... ඔයගොල්ල මට කියන්න ඒ අපේක්ෂකයා දිනන්න ඉදිරිපත් කරන අපේක්ෂකයෙක්ද? එහෙම නැත්තං පරදින්න ඉදිරිපත් කරන අපේක්ෂකයෙක්ද කියලා...? එම ප‍්‍රශ්නයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ට උත්තරයක් වූයේ නැත. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාත් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාත් ප‍්‍රබල සටනකට තරගවදින මෙම ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ විට එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ ඡුන්ද ගොඩ දෙකට බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට ජයග‍්‍රහණය සඳහා ලැබෙන අනපේක්ෂිත ආශිර්වාදය ගැන බැසිල් ඉතා මැනවින් පැහැදිලි කළේය. ඒ වන විට ඒ බැව් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෝ ද දැන නොසිටියා නොවේ... ඔවුන් නිරුත්තරව බලා සිටියා හැර ඒ ගැන වැඩිදුර කතා කරන්නට ගියේ නැත.
 
 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ගෙන් බහුතරයකට අවශ්‍ය වූයේ මෙම කණ්ඩායම් දෙක එකතු කිරීමටය... එහෙත් දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, ලසන්ත
 
 අලගියවන්න, දයාසිරි ජයසේකර ඇතුළු කිහිප දෙනකුට එබඳු සහයෝගීතාවක් අවශ්‍ය නොවීය. ඔවුන්ගේ අවසාන අරමුණ කුමක්ද යන්න පැහැදිලි නැති වුවත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සිටියදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද තවත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නට අවශ්‍ය යැයි කියන තර්කය ඔවුන් ඉදිරිපත් කර සිටියහ.
 
 බැසිල් - ගෝඨා අයිය මල්ලිලා
 හදිසියේ ගිය ගමන කුමක්ද...

 
 

poli2සඳුදා බැසිල් හදිසියේ ගෝඨාභයට දුරකථන ඇමතුමක් ගත්තේ එදින සවස වැඩක් තිබේද යන්න විමසීමටය.
 
 ගෝඨාභයගේ සියලූ කටයුතු භාරව සිටින බැසිල් එදින ඔහුට විශේෂ හමුවක් නොමැති බව දැන සිටියත් දුරකථනයෙන් ඇසුවේ මොනවා හරි වැඩක් දාගෙන තියෙනවාද කියාය.
 
 ගෝඨාභය එසේ වැඩක් නැතැයි කී විට බැසිල් අපි එහෙනම් ගමනක් යමු යැයි ආරාධනා කළේය.
 
 සවස ගෝඨාභය අයියාත් බැසිල් මල්ලිත් ගියේ විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේකරගේ නිවසටය. ඒ වන විට තවත් විශේෂඥ වෛද්‍යවරුන් සිවුදෙනෙක් එහි පැමිණ සිටි අතර මේ හත්දෙනා වෙනුවෙන් විශේෂ රාත‍්‍රි භෝජන සංග‍්‍රහයක් එම නිවසේ සූදානම් කර තිබුණි.
 
 ”මම දන්නවා ගෝඨා අයියා වැඩක් භාර ගත්තම කෑමක් බීමක් හොයන්නේ නැතුව ඒකට කැපවෙලා කරනවා කියලා. ඒ නිසයි මෙතැනට එක්කගෙන ආවේ. අපි මොන වැඬේ කළත් ශරීර සෞඛ්‍ය ගැනත් කල්පනා කරන්න ඕනේ. මේ විශේෂඥ වෛද්‍යතුමන්ලාත් කියන්නේ ඒකම තමයි” බැසිල් පැහැදිලි කළ අතර විශේෂඥ වෛද්‍යවරුන් ද එම අදහස් අනුමත කරමින් කියා සිටියේ ඉදිරියේ දී ලොකු වැඩ කොටසක් ඇති බැවින් සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය යොමු කිරීමේ වැදගත්කමය.
 
 ජනාධිපතිවරණය තවම ප‍්‍රකාශයට පත් කර නැතත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ දිනවල පූර්ණ අවධානය යොමු කර ඇත්තේ පූර්ව ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු සම්බන්ධයෙනි. බැසිල්ගේ සංවිධායකත්වයෙන් පසුගිය සෙනසුරාදා සිට සමාජයේ විවිධ වෘත්තිකයන්ගේ සමුළු මාලාවක් සංවිධාන කර තිබුණේද එම වැඩපිළිවෙළේ එක් පියවරක් වශයෙනි. මෙම සමුළු මාලාවක් පැවැත්වීම සඳහා කොළඹ ඞී ආර් විජයවර්ධන මාවතේ පිහිටි ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා සංකීර්ණය වෙනමම වෙන් කරගෙන තිබිණි.
 
 වෘත්තිය සමිති, නීතිඥයන්, පෙරපාසල් ගුරුවරියන්, සමෘද්ධි නිලධාරීන්, හෙදියන් ඇතුළු සියලූ ක්ෂේත‍්‍ර නියෝජනය වන පරිදි සංවිධාන කර තිබුණු මෙම සමුළු මාලාවට 70,000කට අධික පිරිසකගේ සහභාගිත්වය අපේක්ෂා කෙරුණු අතර පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සහ ඔහුගේ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් මතය එම පිරිස හරහා ගම්වලට යැවීම බැසිල්ගේ අරමුණ විය.
 
 මෙම සමුළු කෙරෙහි මහින්ද විශේෂ අවධානයක් යොමු කර තිබුණේ මෙම ක‍්‍රියාවලියෙහි වැදගත්කම වටහාගෙන තිබුණු නිසාය. සමුළු සඳහා ක්ෂේත‍්‍ර තෝරා ගැනීමේ දී මහින්ද පෞද්ගලිකවම මැදිහත් වූ අතර ජනාධිපතිවරණයේ පූර්ව මෙහෙයුම් කටයුතුවල දී අත්‍යාවශ්‍ය පාර්ශ්ව දැනුවත් කිරීමේ වැදගත්කම මහින්ද පෙන්වා දුන්නේය. සමුළුවල සාර්ථකත්වය නිරීක්ෂණය කිරීම සඳහා මහින්දට වෙනම වැඩපිළිවෙළක් තිබුණේය.
 
 ඒ අනුව සමුළුව ආරම්භ වීමට ප‍්‍රථම එතැනට පැමිණෙන මහින්ද සමුළුවට සහභාගි නොවී විශේෂ කාමරයක සිට එය නිරීක්ෂණය කළේය. සමුළුව සජීවීව නැරැඹීමේ පහසුකම් එම කාමරය තුළ සකස් කර තිබුණු අතර සමුළුවේ ආරම්භයේ සිටම මහින්ද එහි සිට සමුළුව සජීවීව නිරීක්ෂණය කළේය. සමුළුවට පැමිණෙන ජනතාවගේ ප‍්‍රතිචාර මෙන්ම සමුළුවේ ආරාධිත දේශකයන්ගේ කතා ද මහින්දගේ අවධානය යොමු විය.
 
 සමුළු කෙරෙහි නිරන්තර අවධානයෙන් සිටින මහින්ද ගෝඨාභය අමතන ආකාරය ද නිරීක්ෂණයට කළේය. මහින්ද සමුළුවට සහභාගි වනුයේ ගෝඨාභය අදහස් දැක්වීමෙන් අනතුරුවය. ඒ වන විට මහින්ද සමුළුවේ ක‍්‍රියාකාරීත්වය මෙන්ම ගෝඨාභයගේ අදහස් දැක්වීම ද මනාව අධ්‍යනය කර අවසන්ය. මහින්දට අවශ්‍ය වී තිබුණේ පූර්ව ප‍්‍රචාරක රැස්වීම්වලින් උපරිම ප‍්‍රයෝජනය ගැනීමට ජනාධිපති අපේක්ෂකයාට ඉඩ සලසා දීමටය.
 
 ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ සංගමයේ සම්මේලනය පසු ගිය 31 දා කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවැත්වූයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙනි.
 
 ”ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය හා ජාතික ආරක්ෂාව ”මැයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් නීති විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ෆයිසාන් මුස්තෆා මහතා මෙහි ආරාධිත දේශනය සිදු කළේය.
 
 සම්මේලනයේ කටයුතු අවසන් වීමෙන් පසු විපක්ෂ නායකවරයා සමඟ මහාචාර්ය ෆයිසාන් මුස්තෆා, මහාචාර්ය ජී. එල්. පීරිස් ගෝඨාභය හා බැසිල් ද හිටපු අග විනිසුරුවරුන් වන සරත් නන්ද සිල්වා මොහාන් පීරිස් ඇතුළු පිරිසක් හෝටලයේ විශේෂ අමුත්තන් සඳහා වෙන් කර තිබූ කාමරයකට ගියේ සුහද කතා බහකටය.
 
 ”ජනාධිපතිවරණ සටන අපි කලින් පටන් ගැනීම ආණ්ඩුවේ අයට ලොකු ප‍්‍රශ්නයක් වෙලා. අපේ මූලික වැඩ දැනටමත් ඉවරයි නේ ” විපක්ෂ නායක වරයා කියද්දී ,” සැලැස්මක් අනුව කරන ඕන වැඩක් අසාර්ථක වෙන්න බෑ . බැසිල් ඒ වැඬේට කල් ඇතිව අත ගහපු එක දැන් සාර්ථක වෙලා. හොඳ මැතිවරණ යාන්ත‍්‍රණයක් පොහොට්ටුවට තියෙන බව දැන් කවුරුත් දන්නවා. ගෝඨා ඔයත් සාර්ථක ගමනක් යනව නේ. අපට ඕන මේ වැටුණු රට ආයෙ කෙළින් කරල ගන්න. අපි රට ගැන හිතල වැඩ කරන්න ඕනෑ .” හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා කීවේය.
 
 ”ඔව් !... හොඳට වැඩ ටික නම් කෙරෙනව. නඩු පැටලීමෙන් අපේ ගමන නතර කරන්න පුළුවන් කියල සමහරු හිතුව. දැන් ඒවා හොඳට මට හුරු වෙලා. ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ සිනා සෙමිනි.
 
 ”ඔය එක නඩුවක්වත් පොලිසිය පදනමක් ඇතිව පවරපු ඒවා නෙවෙයි.” හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා කීවේය .”
 
 අපේ ආණ්ඩුව කාලෙ නීතියට එකඟව අපි වැඩ කළේ . හැබැයි දැන් ඒකෙ අනිත් පැත්ත සිද්ධ වෙන්නෙ. බැසිල් රාජපක්ෂ මහතා කියද්දී ,” මේ ආණ්ඩුව මුල ඉඳන්ම කළේ නීති විරෝධී වැඩ. ඒවා ගැන තවදුරටත් ජනතාව දැනුවත් කරන්න ඕනෑ. මහාචාර්ය ජී. එල්. පීරිස් කීවේ උදාහරණ ද දක්වමිනි.
 
 ”එෆ් සී අයි ඞී එක නීති විරෝධී කියල පවරපු නඩු කීපයක් දැනටමත් උසාවියේ තියෙනවා. අවුරුදු කීපයක් ගත වෙලත් තවම තීන්දුවක් නෑ.” කුමාරසිරි හෙට්ටිගේ කීවේය.
 
 ”නඩු ප‍්‍රමාදයට නම් විසදුමක් ඕනෑ. මේ අනවශ්‍ය ප‍්‍රමාදය නිසා මිනිස්සු ගොඩක් දුක් විඳිනවා .”හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා මහතා කියද්දී
 
 ”ආණ්ඩුවට ඕන මිනිස්සුන්ගෙ දුක් විඳීමට උත්තර හොයනවට වඩා අපිව හිරේ දා ගන්නේ කොහොමද කියල බලන එක. දැන් ඉතින් ඒවටත් කාලයක් නෑ නේ ” කියමින් විපක්ෂ නායකවරයා එතැනින් පිට වූයේ එතැන සිටි සැමට ආයුබෝවන් කියමිනි.
 
 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කවුරු කවර කතා කීවත් මෙවර පක්ෂයේ 68 වන සංවත්සරයට සහභාගි වූ අතිවිශාල ජනකාය පිළිබඳව අපේ දේශපාලන කතිකාව තුළ අලූත් සංවාදයක් ඇති විය... ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ රටේ ජනතාව නැතැයි කියා පසුගිය දිනවල රට පුරා පැතිර ගොස් තිබූ අපවාදය තුනී කර ගන්නට මෙම සමුළුව නිසා වත්මන් නිලධාරී මණ්ඩලයට හැකි වීම විශේෂත්වයකි...
 
 පසුගිය සතියට පෙර සතියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කීපදෙනෙක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්හ. එස් බී දිසානායක හා ඩිලාන් පෙරේරා මේ අතර කැපී පෙනිණී. මේ දෙදෙනා එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා අතර පක්ෂයේ නිල තලවලට අලූතින් තේරී පත්වූ නිලධාරි මණ්ඩලය තමන්ගේ ශක්තිය හා වැඩකිරීමේ හැකියාව පෙන්වන්නට වෙනම ක‍්‍රියාන්විතයක් සූදානම් කළේය.... 68 වන සංවත්සරය සඳහා කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණය පිරවීමට අතිවිශාල ජනකායක් කොළඹට කැඳවීම එම ක‍්‍රියාන්විත මුහුණුවරයි.
 
 නව මහලේකම් දයාසිරි ජයසේකර, නව භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, නව ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා මෑතකදී ශ‍්‍රීලනිපයට අලූතෙන් එක්වූ විවාදාත්මක චරිතයක් වන මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මෙම මෙහෙයුමේ පුරෝගාමීහු වූහ. බැලූ බැල්මටම උග‍්‍ර මහින්ද විරෝධීන් වන මොවුන් දිවා ? නොබලා වෙහෙස වී ඉතාමත් සීමිත දින ගණනාවකින් මෙම මෙහෙයුම සම්පූර්ණ කළේ වෙනදාටත් වඩා අති උත්කර්ෂවත් අන්දමින් මෙම සමුළුව පවත්වා ජනාධිපතිවරයාටත් ‍්‍රීශ‍්‍රීලනිපය ගත් යුතු දේශපාලන මඟ පිළිබඳව අලූත් විශ්වාසයක් ලබාදීම සඳහාය. පක්ෂයට හැට අටක් වන දින දිනයේම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ද 68 වන ජන්ම දිනය යෙදී තිබීම නිසා කාට කෙසේ වුවත් මෛත‍්‍රිපාල සිරිසේනට මෙම අවස්ථාව විශේෂ වන බව මේ සංවිධායකයෝ කීපදෙනා දැන සිටියහ. ඒ නිසා ඔවුන් මෙම දිනය සැලකුවේ ජනාධිපතිවරයා තුළින් ද රටට යම් තීරණාත්මක පණිවිඩිඩයක් ලබාදිය හැකි අවස්ථාවක් ලෙසයි.
 
 පසුගිය 3 වන අඟහරුවාදා හවස ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුව පැවැත්විණි. අති විශාල සෙනඟක් මේ සඳහා සහභාගී වී සිටියා යැයි කීම වරදක් නොවේ. සහභාගි වන්නට පැමිණි පාක්ෂිකයන්ගෙන් බොහෝ දෙනෙකුට ශාලාව ඇතුළට වත් යාකියාගන්නට නොහැකි වූයේ ඇතුළත පිරී ඉතිරී ගොස් සිටි නිසාය. ජනාධිපතිවරයා මෙම මහ සෙනඟ දැක අතිශයින් ප‍්‍රීති ප‍්‍රමෝදයට පත්ව සිටියේය.... ඔහු රැස්වීම පැවැත්වෙන අතරවාරයේම ඒ සඳහා දයාසිරි ජයසේකරට හා දුමින්ද දිසානායකට මුව නොසෑහෙන සේ ස්තුති කළේය.
 
 පක්ෂ සංවත්සර උත්සවයට සහභාගි වන්නට මේ රටේ දේශපාලන පක්ෂ තිස් 35 ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආරාධනා කර තිබිණි. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරුණුවිට අනිකුත් පක්ෂ සියල්ලන්ම පාහේ මේ සඳහා පැමිණ සිටීම විශේෂත්වයක් විය. පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවා මේ සඳහා පැමිණ සිටියේය. රිෂාඞ් බදුර්දීන් පැමිණි අවස්ථාවේ සභාවේ රැස්ව සිටි ජනතාව හූ කියන්නටත් ඔහුට එරෙහිව කෑගසන්නට පටන් ගත්හ. චම්පික රණවක, උදය ගම්මන්පිල, අර්ජුන රණතුංග ඇතුළු කිහිප දෙනෙක්ම එම අවස්ථාවෙහි රිෂාඞ්ගේ පැමිණීමට විරෝධය පාමින්දෝ නැගිට යන ආකාරයක් දැකගත හැකිවිය.
 
 ජනාධිපතිවරයා සමුළුව අමතා කරන ලද කතාවේදී විශේෂ කාරණා කිහිපයක් ඉස්මතු කළේය... ඔහු කීවේ 2020 ට කවුරු ජනාධිපති වුවත් ආණ්ඩුවක් හදන්නේ අපි බවය.... අපි අපේ ආණ්ඩුවක් හදන බවය. ඔහු තවත් කතාවක් කීවේය. පහුගිය කාලයේ රටේ සිදු වූ බරපතළ වංචා හා දූෂණ ගැන කතා කරමින් අර්ජුන මහේන්ද්‍රන් ගැන කතා කළ ජනපති අර්ජුන මහේන්ද්‍රන්ටත් වඩා එහා ගිය අපරාධකරුවන් නුදුරේදීම අල්ලා නීතිය ක‍්‍රියාත්මක කරන බවට අනතුරු ඇඟවූයේ කාහට දැයි ප‍්‍රශ්නයක් මතු විය. බොහෝ දෙනකුගේ අදහස් වූයේ ඒ කතාව ජනාධිපතිවරයා කීවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉලක්ක කර ගෙන බවයි.
 
 මේ අතර ජනාධිපතිවරයා, ජනාධිපති ධුරය ගැනද ඔහු අදහසක් පළ කළේය... ජනාධිපති ධුරය යනු තමන්ගෙන් පසුව කිසිදු බලයක් නැති වූ රූකඩ පදවියක් පමණක් වනු ඇතැයි කියා අනාවැකියක් ද පළ කළේය... කෙසේ වෙතත් මේ කතා සියල්ලෙන් කියැවුණේ ජනාධිපතිවරයා ඉදිරියේදී යම් දේශපාලන පියවර කීපයක් ගනු ඇති ඇති බවකි.
 
 විරුද්ධ දේශපාලන මත දරන උදවිය ජනාධිපතිගේ මෙම කතාව සැලකිල්ලට ගත්තේ මීට පෙර ඔහු විසින් යම් යම් අවස්ථාවන් වලදී කරනු ලැබූ කතාවන්ට දෙවැනි වන්නේ නැත, යන තක්සේරුව මතය. මෙතෙක් කලක් ජනාධිපතිවරයා කළ එකම දේ පසුගිය කාල වකවානුව තුළ ඔහු කියූ කිසිම දෙයක් ඉටු නොකළ එක පමණක් බව ඔවුන්ගේ මතය වූහ.
 
 ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඉතා සතුටෙන් 68 වෙනි සම්මේලනයේ වැඩ කටයුතු අවසන් කළේය... එදින ඔහුගේ 68 වන ජන්ම දිනය බැවින් ඒ වෙනුවෙන් පැවැත්වෙන ආගමික උත්සව කිහිපයක්ද කොළඹ විහාරස්ථාන වල පැවැත්වෙමින් තිබිණි. ජනාධිපතිවරයා ඉන්පසුව ගියේ ගංගාරාම විහාරස්ථානයේ අස්සජි හිමියන් විසින් සූදානම් කර තිබූ විශේෂ ආශීර්වාද පුණ්‍යොත්සවයට සහ සහභාගි වන්නටය.....
 
 ආශිර්වාද පුණ්‍යොත්සවය ඉතා ඉක්මනින් අවසන් විය. ඉන් පසුව ජනාධිපතිවරයා ඉතා සරල ගමනක් යන්නට සූදානම් වූයේය.. ඔහු ඒ අනුව කෙළින්ම ගියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරගේ නිවසටය. දයාසිරි ජයසේකරගේ නිවසේ මේ වනවිට සාදයක් පැවැත්වෙමින් තිබිණි... 68 වැනි සංවත්සර උත්සවය වෙනුවෙන් අප‍්‍රමාණ ලෙස වෙහෙස මහන්සි වී වැඩ රාජකාරි ඉටුකළ දේශපාලනඥයන්ටත් නිලධාරීන්ටත් අනිකුත් ශිල්පීන්ටත් කෘතගුණ දැක්වීම වෙනුවෙන් දයාසිරි මේ සාදය සූදානම් කර තිබිණි. සංරක්ෂණය සඳහා වෙහෙස වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන්ටත් සේවක සේවිකාවන්ට හිතවතුන්ටත් පාක්ෂිකයන්ටත් කොළඹ දිස්ත‍්‍රික්කයේ ආසන සංවිධායකයන්ටත් මේ සඳහා ආරාධනා කර තිබුණේ ඔවුන්ගේ උපරිම දායකත්වය මෙම උත්සවයට ලැබී තිබූ නිසාය..
 
 සාදය අතරතුර ජනාධිපතිවරයා පැමිණියේය.
 
 දයාසිරි ඇතුළු අනෙකුත් පිරිස 68 වන සංවත්සර උත්සවයට වෙහෙස මහන්සි වූ සියලූම දෙනා වෙන වෙනම හඳුන්වා දෙමින් ජනාධිපතිවරයාට ඔවුන්ගේ කාර්යභාරය ගැන ස්තුති කිරීමට අවස්ථාවක් ලබා දුන්නේය.
 
 බොහොම ලස්සනට වැඩ කටයුතු සිද්ධ වුණා... ඉතාමත් සාර්ථකයි... අපි ඉදිරියේදීත් අපේ පක්ෂයේ ඉදිරි වැඩකටයුතු මේ වගේ එකතුවෙලා වෙන් වෙන් වශයෙන් කාර්ය කටයුතු බෙදාගෙන හරියාකාරව ඉටු කරමු. එහෙම වැඩ කළොත් අපිට මේ අපේ පක්ෂය ජයග‍්‍රහණය කර අනාගත අපේ ආණ්ඩුව හදන කටයුත්ත අමාරු වෙන එකක් නෑ.... ජනාධිපති මෛත‍්‍රිපාල කීවේය.
 
 මාධ්‍ය මූණු කාරයන්ට
 බැසිල් පොල්ලක් දාලා...

 
 සමුළු සියල්ල නෙළුම් මාවතේ කාර්යාලයෙන් සංවිධාන කෙරුණු නමුත් ඒ ඒ ක්ෂේත‍්‍රවලට වෙනම පත් කර තිබුණු සංවිධායක කමිටු එහි ප‍්‍රධාන බරක් ඉසිලූවේය. සමුළු මාලාවේ පළමුව පැවැත්වුණු කාන්තා සමුළුව පවිත‍්‍රා ඇතුළු කණ්ඩායමක් විසින් සංවිධාන කරන ලද අතර සමුළුවට මොහොතකට පෙර පවිත‍්‍රා ඇමතූ මහින්ද විශේෂ උපදෙස් කිහිපයක් දුන්නේය.
 
 පොදුජන පෙරමුණට අනුබද්ධ නීතිඥ සංගමයේ සමුළුව පැවැත්වුණේ කින්ග්ස්බරි හෝටලයේදීය. අනුර යාපා සහ සුසිල් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන් මහින්ද සමඟ සාකච්ඡා කරමින් සිටියේ නීති ක්ෂේත‍්‍රයේ කරුණු කාරණා ගැනය.
 
 මෙම සමුළු ආරම්භ වීමට පෙරාතුරව සිකුරාදා නෙළුම් මාවතේ දී විශේෂ ප‍්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වුණේ බැසිල්ගේ ප‍්‍රධානත්වයෙනි. එහිදී බැසිල් විශේෂ අවධානයක් යොමු කර තිබුණේ සමුළු මාලාවේ ප‍්‍රචාරක කටයුතු සම්බන්ධයෙනි. මාධ්‍ය ආවරණ කටයුතු මෙන්ම ප‍්‍රචාරක කටයුතුද නිසි ලෙස සිදුවිය යුතු බවට බැසිල් සංවිධායකයන්ට උපදෙස් දුන්නේය.
 
 ”අපි විශේෂයෙන්ම මාධ්‍ය ආවරණ කටයුතු සම්බන්ධයෙන් හොයලා බලන්න ඕනේ. සමුළුවලට පැමිණෙන මාධ්‍යවේදීන්ට අපහසුතාවකින් තොරව මාධ්‍ය ආවරණ කටයුතු කරන්න සියලූ පහසුකම් දෙන්න ඕනේ. අපිට එක පාරක් වැරදීමක් වුණා. නැවත වරක් ඒ වැරැදීම වෙන්න ඉඩ තියන්න එපා. හැම තිස්සෙම ඒ අයගේ අවශ්‍යතා හොයලා බලන්න.
 
 අනෙක් කාරණය තමයි අනවශ්‍ය අයගේ මැදිහත්වීම. උදාහරණයක් විදියට කවුරු හරි කෙනෙක් මාධ්‍ය්‍යට වොයිස් කට් එකක් දෙනවා නම් එතැන බැක්ග‍්‍රවුන්ඞ් එකේ ඉන්න ඕනේ අදාළ අය විතරයි. බොරුවට මූණ දාගන්න දඟලන්නේ නැතුව ක්ෂේත‍්‍රයට අදාළ අයට ඒ අවස්ථාව ලබාදෙන්න. ඕක කියද්දි මට හොඳ කතාවක් මතක් වුණා. මේක ඞී. එස්. සේනානායක මහත්තයට වෙච්ච දෙයක්.
 
 එතුමා එක වතාවක් අනුරාධපුරයේ ගියාලූ. ඒ කාලේ ඉතින් මේ වගේ මාධ්‍ය නැහැනේ. තිබුණේ ලේක්හවුස් එක තමයි. ඬේලිනිවුස් එකේ ඡායාරූප ශිල්පියෙක් තමයි මේකේ මාධ්‍ය ආවරණ කටයුතුවලට ගිහින් තියෙන්නේ. මේ ඡායාරූප ශිල්පියාට ඕනේ වුණාලූ ඞී. එස්. ගේ ෆොටෝ එකක් ගන්න. ඡායාරූප ශිල්පියා කැමරාව සූදානම් කරගෙන ෆොටෝ එක ගන්න යනකොටම ඞී. එස් ළඟ හිටපු පියන් කෙනෙක් කිට්ටු වෙනවලූ.
 
 කිට්ටුවෙලා ඞී. එස්ගේ කනට කරලා අහනවාලූ සර් මොනවද බොන්නේ කියලා. ඡායාරූප ශිල්පියා කැමරාව පාත් කරලා අමනාපයෙන් වගේ ඉන්නවලූ. ආයෙත් වතාවක් කැමරාව අරගෙන ෆොටෝ එක ගහන්න යද්දිම පියන් ඞී. එස්ට කිට්ටු වෙලා අහනවලූ සර් තේ බොනවද තැඹිලි බොනවද කියලා. ජායාරූප ශිල්පියාට හොඳටම පැහැදිලියි මොකක්ද මේ පියන් කරන්න යන්නේ කියලා.
 
 ඊළඟ පාර ඡායාරූප ශිල්පියා කැමරාව අරගෙන සූදානම් වෙද්දිම පියන් ඞී. එස්ට කිට්ටු වුණාලූ. කැමරා ශිල්පියා ටක් ගාලා කැමරාව පහත දැම්මලූ. ඞී. එස්ට තේරුණාලූ වැඬේ මොකක්ද කියලා. පියන්ට ළඟට කතා කරලා කිව්වලූ පැත්තකට වෙලා ඉන්න කියලා. අන්න ඒ වගේ වැඩ වෙන්න ඉඩ තියන්න එපා” බැසිල් පැහැදිලි කළේය.
 
 සමුළුවලට සහභාගි වන අතර ගෝඨාභය පසුගිය සතියේ බන්දුලගේ නිවසේ හමුවකට සහභාගි විය. එම හමුවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 150ක පමණ පිරිසක් සහභාගී වී සිටි අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් වන මහාචාර්ය සම්පත් අමරතුංග සහ මහාචාර්ය ඞී. එම්. පේ‍්‍රමසිංහ ද ඊට එක්ව සිටීම කැපී පෙනුණි.
 
 ”රටක් විදියට භෞතික සම්පත් සංවර්ධනයට ණය ගත්තත් කිසිම රජයක් මානව සම්පත කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. අපි හදන ආණ්ඩුවේ පළමු තැන හිමිවෙන්නේ මානව සම්පත් සංවර්ධනයටයි. ඒ සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වන තමුන්නාන්සේලාගේ සහයෝගය මට ඕනේ වෙනවා” ගෝඨාභය පැවසීය.
 
 ඒ කාරණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විශේෂ ප‍්‍රතිචාරයක් හිමි වූ අතර අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඔවුහු ප‍්‍රතිඥා දුන්හ. අනතුරුව රාත‍්‍රී භෝජන සංග‍්‍රහය පැවැත්වුණේ බන්දුලගේ නිවසටම ආවේණික ජම්බෝ කොත්තුව ද සමඟිනි. ගෝඨාභය පමණක් ජම්බෝ කොත්තුව ආචාරශීලීව ප‍්‍රතික්ෂේප කළේ තමන් නිර්මාංශික බව කියමිනි.
 
 හමුවෙන් අනතුරුව බොහෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෝඨාභය සමඟ සෙල්ෆි ගැසීමට උනන්දු වූහ. එහිදී ගෝඨාභය විමසා සිටියේ ”ඔය ගන්න ෆොටෝ කාර්යාලවල එල්ල ගන්නවාද? කියාය. ”දැන්ම එල්ලන්නේ නැහැ සර්. හැබැයි ඉතින් තව මාස තුනකින් අපිට අනිවාර්යෙන්ම එල්ලන්න වෙයිනේ” ගෝඨාභයගේ විහිලූවට ආචාර්යවරුද විහිලූවෙන්ම උත්තර දුන්හ.
 
 ජනාධිපතිගේ දේශනාවට
 අනිත් අය මෙසේ කියලා...

 
poli3ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සම්මේලනයේදී කළ කතාවේ මතු කළ සමහර කාරණා සම්බන්ධයෙන් ඊට පසු රටේ විවිධ ප‍්‍රතිචාර එල්ල වන්නට පටන් ගත්තේය.
 
 ඔහුගෙන් පසු පත්වන ඕනෑම ජනාධිපති කෙනෙක් රටේ බලයක් නැති රූකඩ ජනාධිපතිවරු බව කියමින් ජනාධිපතිවරයා කිවූ කතාවට බොහෝ දෙනා අභියෝග කරන්නට විය.
 
 පසුගිය දිනක එක්තරා උත්සවයකට සහභාගි වී හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ ගැන කීවේ ‘‘අදක්ෂයන් ට මොන බලය තිබුණත් වැඩක් කළ නොහැකි‘‘ බවයි... ගෝඨාභය රාජපක්ෂ ‘‘දක්ෂයෙකු‘‘ නිසා ඔහුට රට වෙනුවෙන් වැඩ කිරීමට මේ තිබෙන බලතල හොඳටෝම ප‍්‍රමාණවත් බව මහින්ද කීවේය. ගෝඨාභය ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටිමින් පහුගිය ආණ්ඩුව කාලයේ වැඩ කළේ මොන ජනාධිපති බලයක් වත් නොමැතිව අමාත්‍යංශ ලේකම් කම පමණක් තබාගෙන බව ඔහු අවධාරණය කළේය. ජනාධිපති ධුරය ලැබුණු පසුව ඔහු කෙසේ වැඩ කරන්නේද කියා සිතාගත හැකි බව මහින්ද අවධාරණය කළේය.
 
 ඒත් සමගම ව්‍යවස්ථා නීතිය සම්බන්ධයෙන් යම් පරිචයක් ඇති කීප දෙනකුද ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ගැන නීතිය විමසමින් පසුගිය සතියේ කතා කරන්නට පටන් ගෙන තිබිණි. ඒ අතරින් එක් අයෙකි උදය ගම්මන්පිල. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට වැඩ කරන්නට නොහැකි රූකඩ තත්ත්වයක් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කියන අන්දමින් ඇති නොවෙන බව ඔහු අවධාරණය කළේය. තමන් ඒ සම්බන්ධයෙන් ඕනෑම අයෙකු සමඟ ප‍්‍රසිද්ධ වාදයකට වුව සූදානම් බව ඔහු ප‍්‍රකාශ කළේය.
 
 මේ අතර විමල් වීරවංශද ජනාධිපති ‘‘2020 දී අපේ රජයක් හදනවා‘‘ යැයි කී කතාව ගැන අපූරු අර්ථකතනයක් කළේය... එක්තරා පුවත්පත් සාකච්චාවකදී මාධ්‍යවේදියෙක් නැගූ ප‍්‍රශ්නෙකට උත්තර සපයමිනි.
 
 නෑ නෑ... ජනාධිපති ඒ කියලා තියෙන්නේ අපේ රජයක් හදනවා කියලයි. අපි වුණත් කියන්නෙ එහෙම තමයි. කවුරුවත් කියල නෑනෙ ඒ හදනවා කියන රජය රනිල්ට පක්ෂයි කියලා. ජනාධිපතිතුමා ඒ කිව්වේ අපි ඔක්කොම එකතු වෙලා හදන රජය ගැන තමයි... වෙන මොකක්වත් නෙවෙයි.
 
 ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට අදාළ ඉදිරිපත්ව තිබූ පෙත්සමේ තීන්දුව ලැබුණේද එම ඡුන්දය ඔක්තෝබර් 11 දාට නියම බවද අගමැතිවරයාට අරලිය ගහ මැඳුරෙන් දැන්වූයේ මාලදිවයිනේ සංචාරය අතරය. එහිදී ඇමැති වජිර සමග මෙන්ම සෙසු ඇමැතිවරු සමගද කතා කළ අගමැතිවරයා දුරකථන හරහා බෙන්තර - ඇල්පිටිය එජාප සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක සමගද ඊට අදාළව කතා කළේය.
 
 ”මේ ඡුන්දය ඉතා වැදගත් එකක්. අපි පක්ෂයක් ලෙස එකමුතු වෙලා ඊට මුහුණ දෙමු. මේක අපට ජය ගන්න පුළුවන්. මම ලංකාවට ආ විගස පක්ෂයේ සියලූ දෙනා හමුවෙලා කතා කරලා වැඩ පිළිවෙළක් හදමු. එතකම් ගයන්ත අවශ්‍ය කරන මූලික කටයුතු ටික කරන්න. කබීර්, අකිල, කිරිඇල්ල වගේ අය එක්ක කතා කරන්න.” අගමැතිවරයා ගයන්තට උපදෙස් දුන්නේය.
 
 බදාදා සියරට පැමිණි අගමැතිවරයා කෙළින්ම පාර්ලිමේන්තුවට ගියේ අගමැතිගෙන් සෘජු ප‍්‍රශ්න ඇසීමේ අවස්ථාවට එක්වීමටය.
 
 ”මේ වසර අග ජනාධිපතිවරණය නිසා අයවැයක් ගේන්නේ නෑ. ඒ කාලයට පරිපූරක ඇස්තමේන්තු ගේනවා” අගමැති කීවේ ජවිපෙ බිමල් රත්නායක විමසූ පැනයකට පිළිතුරු ලෙසය.
 
 කරුට නොලද ආරංචිය
 අමරවීරට ලැබුණු හැටි...

 
 එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මොනතරම් පීඩනයකින් පසු වුවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහට ඒ කිසිවක් ගණන් ගත යුතු කාරණා නොවීය. එජාප නායකයාට වඩාත් හිතවත් දේශපාලඥයෝ ඔහුට කීවේ මෙම සටනට ගෝඨාභය රාජපක්ෂට ප‍්‍රබල අභියෝගයක් ලබාදිය හැකි, ජාත්‍යන්තරය පිළිගන්නා එකම නායකයා රනිල් පමණක්මය. මේ නිසා ඔවුන් යෝජනා කළේ සටනට රනිල් ඉදිරිපත් වන ලෙසය. හැමතැනදීම කීවේ තමන්ට අවශ්‍ය වන්නේ විධායක බලයක් කිසිවක් නැති ජනාධිපතිවරයෙක් ලෙස සිය අනාගත දේශපාලනය සැලසුම් කිරීම නොව, පාර්ලිමේන්තු බලය හිමි බලගතු අගමැතිවරයෙකු ලෙස එම ආණ්ඩුවේ කටයුතු කිරීමට බවයි. එම නිසා කරු ජයසූරියව ජනාධිපති සටනට ඉදිරිපත් කර ඔහුට සහයෝගය ලබාදී ඊළඟට හදන ආණ්ඩුවේ අගමැතිවරයා වීමට රනිල් බලා සිටියේය....
 
 පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ එම බලාපොරොත්තුව ගැන හොඳට දැනුවත්ව සිටි කරුජයසූරිය තුළද ඒ පිළිබඳ විචිකිච්චාවක් වූයේ නැත. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට සහයෝගය ලබාදීමට ඔහු නිහඬ සූදානමක සිටියේය.... ඔහු නිතරම කීවේ තමන්ගෙ පක්ෂය ඒ පිළිබඳව ඉල්ලීමක් කරන්නේ නම් තමා එම යෝජනාව භාර ගැනීමේට සලකා බලන බවයි.
 
 ඒ කවරක් වුණත් කථානායක කරු ජයසූරිය සිටියේ පක්ෂය නිසැකවම එම වගකීම් තමන් වෙත පවරනු ඇත බලවත් විශ්වාසයකය. ඔහුද ටිකින් ටික එම වගකීම් දැරීම සඳහා පසුගිය කාලයේ සූදානම් වෙමින් සිටියේය.
 
 මේ අතර පසුගිය 31 වැනිදා කරු ජයසූරිය හදිසියේම මාලදිවයින බලා පිටත්ව ගියේය. ඒ සාර්ක් රටවල කථානායකවරුන්ගේ එකමුතුවේ සම්මේලන උත්සවයට සහභාගි වීම සඳහාය. සාක් රටවල කථානායකවරුන්ගේ සමුළුවේ සභාපතිවරයා ලෙස ඊට සහභාගි වූ කරු ජයසූරිය ඔහුගේ නිල දේශනය පවත්වනු ලැබුවාට පසු තවදුරටත් කාලය මිඩංගු නොකර පසුවදාම යළි ලංකාව බලා එන්නට ක‍්‍රියා කළේ මෙහි ඒ වන විට ගොඩ ගැසී තිබෙන දේශපාලන වැඩකටයුතු අධිකව පැවති නිසාය.
 
 කථානායකවරයා ආපසු ශ‍්‍රී ලංකාව බලා එමින් සිටියදී අගමැතිවරයාද මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණි. කෙසේ වෙතත්, මෙම ගමන් දෙක අතර කිසිදු සම්බන්ධයක් නොවීය. නමුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම ආරම්භයේ දී මහින්ද අමරවීර මන්ත‍්‍රීවරයා කථානායකවරයාට කීවේ ”අපට මාලදිවයිනෙන් ආරංචිය ලැබුනා, ඔබතුමා ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වීම ස්ථිරයි කියලා. අපි මුලින්ම ඒ ගැන සුබපතන්න කැමතියි” කියාය.
 
 කෙසේ වෙතත්, එයට සිනාවකින් සංග‍්‍රහ කල කථානායකවරයා කීවේ ”පුදුමෙයකට වගේ මටනම් එහෙම ආරංචියක් ලැබිලා නැහැ” කියාය.
 
 මේ අතර, ගෙවුණු සතියේ කොළඹ ප‍්‍රධානතම ද්‍රවිඩ ව්‍යාපාරික ප‍්‍රජාවගෙන් සැදුම්ලත් මුක්කලතෝර් සංගමය විසින් කථානායකවරයාට ඇරයුම් කෙරුණේ එම සංගමය මඟින් මෝදර ඉදිකළ දමිළ සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීම සඳහාය. එහිදී, කරු ජයසූරිය මහතාට ඔවුන්ගෙන් ලැබුණේ උණුසුම් ප‍්‍රතිචාරයකි.
 
 කොළඹ ද්‍රවිඩ ප‍්‍රභූවරුන් විසින් සම්ප‍්‍රදායික වර්ණ සළු පළඳවමින් කළ පිළිගැනීම හේතුවෙන් කථානායකවරයාගේ හිස දක්වාම සළුවලින් වැසී ගියේය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන රවි කරුණානායක හා මනෝ ගනේෂන් යන මහත්වරු ද මේ සඳහා එක්ව සිටියහ.
 
 මේ අතර, කොළඹ දිස්ත‍්‍රික්යේ ප‍්‍රධානතම මුස්ලිම් සංවිධානයක් වන මුවර්ස් ඉස්ලාමීය සංස්කෘතික සංගමයේ 75 සංවත්සරය සහ ශ‍්‍රීමත් රාසික් ෆරීඞ් සමරුව උදෙසා සංවිධාකය කළ උත්සවයේද ප‍්‍රධාන අමුත්තා ලෙස ඇරයුම් ලැබුණේ කථානායකවරයාටයි.
 
 එහිදීද ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර, බෝහෝ දෙනෙක් ජනාධිපතිවරණය ගැනද විමසූ නමුත් සිය දේශනයේදී ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොකොට සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සහෝදරත්වය ගැන අදහස් දැක්වීමට කරු ජයසූරිය මහතා වග බලා ගත්තේය.
 
 ලාන්සාගේ ගැහිල්ල ගැන
 සජිත් කරපු ඉල්ලීම...

 

poli4පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සෝපානය අසලදී ලන්සා සහ පියල්ට අහම්බෙන් සජිත් මුණගැසුණේය. සජිත් දුටු ලන්සා ”ආ අනාගත අපේක්ෂකතුමා කොහොමද? යැයි ඇසුවේය.
 
 ” ඕක පොඞ්ඩක් හයියෙන් අහන්නකෝ. මොකද මේ හෙමින් අහන්නේ? සජිත් ඇසුවේය.
 
 ”ඇයි සද්දෙ මදිද? ලන්සා ඇසුවේය.
 
 ”ඔව් ඕවා කියන කොට අපේ කට්ටියටත් ඇහෙන්න කියන්න ඕනේ” සජිත් පැවසුවේය.
 
 ”දැන්ම ඕනේ නැහැ. අපි ඔබතුමාට අපේක්ෂකත්වය ලැබුණම හයියෙන්ම අහන්නම්කෝ” පියල් පැවසීය.
 
 ”මට අපේක්ෂකත්වය ලැබෙනවා. ඒක ෂුවර්. ඒක නෙමේ මට වැඩිය ගහන්න එපා මේ දවස්වල” සජිත් ඉල්ලා සිටියේය.
 
 ”ලැබුණම බලමුකෝ. අපි තාම වැඩ පටන් ගත්තේ නැහැනේ” ලන්සා උත්තර දුන්නේය.
 
 සජිත් එතැනින් ගිය පසු ලන්සා සහ පියල් සිනාසෙන්නට පටන් ගත්තේ සජිත්ගේ හැසිරීම මතක් කරමිනි. හොඳට හිටිය මිනිහට ගිය කලක් කියමින් ලන්සලා මිනිත්තු පහකටත් වඩා සිනාසෙමින් සිටියේ ආ ගමනවත් මතක නැතිවය.
 
 ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පසුගිය අඟහරුවාදා සවස විජයරාමයේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී රැස්විය. මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයෝ ඊට එක්ව සිටියහ. ඒකාබද්ධ විපක්ෂය පක්ෂ නියෝජනය කරන පක්ෂ අතර සන්ධානයන් ගොඩනැගීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. මේ සඳහා පත්කෙරුණු කමිටුව ඊට අදාළ ව්‍යවස්ථා කෙටුම්පතක් පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කර තිබූ අතර ඔවුහු මේ පිළිබදව ගැඹුරින් සාකච්ඡා කළහ. වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙම ව්‍යවස්ථා කෙටුම්පතේ තිබූ ව්‍යාකරණ දෝෂයක් පෙන්වා දුන්නේය. මහාචාර්ය තිස්ස විතාරනද තවත් සුළු දෝෂයක් පෙන්වා දුන්නේය. ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ පක්ෂ නායකයෝ ඊට එකඟත්වය පළකළහ. පක්ෂ 12 කින් සමන්විත ශ‍්‍රී ලංකා පොදුජන සන්ධානය බිහිවන දිනය සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට මෙහිදී සියල්ලො එකඟ වූහ.
 
 පක්ෂ නායකයන්ගේ අවධානය මීළඟට යොමු වූයේ එදින සවස සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී කෙරුණු කථාබහ ගැනය. විශේෂයෙන්ම නිමල් සිරිපාලද සිල්වා සහ දයාසිරි ජයසේකර මෙම පක්ෂ සම්මේලනයේදී කළ ප‍්‍රකාශ පිළිබඳව විශේෂ සැලකිල්ල යොමු කළහ. විශේෂයෙන්ම නිමල් සිරිපාලගේ ප‍්‍රකාශය පිළිබඳව මෙහිදී සියල්ලෝම ප‍්‍රසාදයෙන් කථා කළහ. නිමල් මෙම සමුළුවේදී කීවේ රනිල් කරු සජිත් කවුරු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුවද පොදු සතුරාට එරෙහිව සිය පක්ෂයේ හදවතට සමීප අය සමග එකතුවිය යුතු බවය.
 
 දයාසිරි මේ සමුළුවේදී කීවේ ජනාධිපතිවරණයේදී කිසිවෙකුටත් ඡුන්ද 47% ඉක්මවිය නොහැකි බවය. 47%ට වඩා ගන්නා එක් ඡුන්දයක් හැම විටම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඡුන්දයක් බවද දයාසිරි කීවේය.
 
 ”මේක සම්පූර්ණයෙන්ම වැරදියි. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී අපි ඡුන්ද පනස්ලක්ෂ අසූදහසක් ගත්තා. ඹභඡු එක ගත්තේ ලක්ෂ තිස් හයයි. අතයි බුලත් කොළයයි දෙකම එකතුවෙලා මේකෙදි ගත්තේ ජන්ද ලක්ෂ 14 යි. ඒ හින්දා දයාසිරිගේ කථාව වැරදියි. අනික ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඒ ලක්ෂ 14 ගන්නකොට හිටපු අයගෙන් 16 ක් දැන් ඉන්නේ අපිත් එක්ක. ඩග්ලස්, තොන්ඩමන් වගේ අයත් අපි එක්ක. ඒ හින්දා ඔය ගෙනෙන තර්ක පිළිගන්න බැ. ” ඩලස් කීවේය.
 
 ඔය ප‍්‍රකාශ අපි එච්චර ගණන් ගන්න ඕනේ නෑ. මොකද ඕනෑම දේශපාලන පක්ෂයකට ස්වාධීන මතයක් තියෙනවා. ප‍්‍රතිපත්තිමය එකඟතාවකට ඇවිල්ලා සන්ධානයක් හැදෙන තුරු තම තමන්ගේ මත දරන්න ඒ අයට පුළුවන්. අනික ඒ අය මොනවා කිව්වත් මේ රටේ මිනිස්සු ඇත්ත දන්නවා. මහින්ද කීවේය. මේ අතර ජොන්ස්ටන් කීවේ සජිත්ලා හත්වෙනිදා සුගතදාස ක‍්‍රීඩාංගණයේ ලොකු සම්මේලනයක් කරන්න හදන බවය.
 
 ”එක්සත් ජාතික පක්ෂය විදියටද සජිත් පිල විදියටද ” දිනේෂ් ඇසුවේය. සජිත් කණ්ඩායම විදියට කරන්න හදන්නේ රනිල් විරෝධී කැරැල්ලක් තමයි පක්ෂය ඇතුළේ ආරම්භ වෙන්න යන්නේ. කුරුණෑගල රැස්වීමෙන් පස්සේ 06 වැනිදා අරලියගහ මන්දිරයේ ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ පළාත් සභා, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු කොළඹට ගෙනල්ලා රනිල් විරෝධී රැස්වීමක් තියන්නයි හදන්නේ. සජිත්ලා ට‍්‍රයි කරනවලූ කුරුණෑගල රැස්වීමට මන්ත‍්‍රීවරු 40 ක්වක් ගොඩකරගන්න. ජොනී තමන් දැනගත් තොරතුරු පක්ෂ නායකයන්ට කීවේය.
 
 ” රනිල් ද සජිත් ද කරු ද කියන එක අපිට වැදගත් නෑ. එයාලට ඕන කෙනෙක් තොරගත්තාවේ. අපේ මැතිවරණ ව්‍යාපාරයට ඕවා ප‍්‍රශ්න නෙමේ. අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළෙ ඉඳන් පක්ෂයට එරෙහිව කැරලි ගැහුවේ නෑ. අපි එළියට බැහැලා වෙනත් පක්ෂයක් හදාගත්තා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අය කරන්නේ ඇතුළේ ඉඳන් කැරලි ගහන එක. අපිට ඒක අදාළම නැහැ. අපි මැතිවරණයට ලෑස්තියි. කවුරු ආවත් අපේ ජයග‍්‍රණය ආපස්සට හරවන්නත් බැහැ. ” මහින්ද දැඩි විශ්වාසයෙන් කීවේය.
 
 ජනාධිපති අපේක්ෂක
 රනිල්ට ලැබෙන හැඩ...

 
 සජිත් පේ‍්‍රමදාස පළාතෙන් පළාතට යමින් ප‍්‍රාදේශීයව පවත්වනු ලබන රැස්වීම් මාලාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයෙන් ලොකු ලොකු ප‍්‍රශ්න ඇතිවිය... පසුගිය සතියට පෙර සතියෙත් අගමැති රනිල් මේ ගැන සජිත් හා කතා කළේය. පක්ෂය තීන්දුවක් ගන්නට පෙර තමන් ජනාධිපති අපේක්ෂකයා බව කියමින් රටේ හැම තැනම ගිහින් කරන කතා නවත්තන්න ඔහුට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ අවවාද කරන්නට වූහ.
 
 සජිත් ඒ මොහොතේ ඊට එකඟ වුවද රැස්වීම්වලදී ඒ ගැන වගේ වගක් නැතුව සිටින්නට වග බලා ගත්තේය.
 
 ඒ අතර කුරුණෑගල දිස්ත‍්‍රික් රැලිය සූදානම් කරන්නට සජිත් පිලේ ප‍්‍රබල තරුණ නායකයෝ වෙහෙස මහන්සි වන්නට වූහ.
 
 එජාප නායකත්වයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික් රනිල් පිලේ බලවතාට මේ වෙලාවේ ලොකු වැඩ කොටසක් පැවරිණි ... කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය මට්ටමේ නායකයන් සංවිධානය කර මෙම රැස්වීම් සඳහා සෙනඟ නොයවන්නට ඔහු ක‍්‍රියා කළ යුතු විය. ඔහු පක්ෂයේ කුමන තරාතිරමේ නිලයක් දැරුවත් මේ අභියෝගය ඔහුට පහසු වූයේ නැත. අවසානයේ ඔහුගේ වෑයම සාර්ථක විය. සජිත්ගේ රැස්වීම් සඳහා අතිවිශාල සෙනඟ කන්දරාවක් පැමිණ සිටියහ...
 
 මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ ගණනාවක්ම පසුගිය සිකුරාදා උදේ අගමැති රනිල් හමුවන්නට ගොස් සිටියහ.
 
 දැන් සිද්ධ වේගෙන යන දේවල් පක්ෂයට හොඳම නෑ... ඔක්කොටම ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ ඔබතුමා ඇයි ඡුන්දෙ ඉල්ලන්න ඉදිරිපත් නොවෙන්නේ යන එකයි. ඔබතුමා නායකයා. ඔබතුමා තමයි ඡුන්දය ඉල්ලිය යුත්තේ. ඔබතුමා බැහැයි කියලා කියනවා නම් වෙනත් කෙනෙක් ඉදිරිපත් වුණාට කමක් නෑ... ඉතින් මම කොතනකවත් බැහැයි කියල තියෙනවද...? එහෙම කියලා නැති නිසයි අපි කියන්නේ.... නායකයො ටික දැන් ඉදිරිපත් වෙලා ප‍්‍රසිද්ධ වෙලා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා මම කිය කිය රට පුපුරා යනවා. ජනතාවත් ඔහු වටේ එකතු වෙනවා. නමුත් නිල වශයෙන් තීරණය කරන්න... දැන් විවිධ අය මේ අවස්ථාව එනකම් බලා ඉන්නවා... එහෙම වුණොත් පක්ෂය කැඩිලා බිඳිලා යනවා... ඊට වඩා හොඳයි නේද ඔබතුමා මේ ඡුන්දෙට ඉදිරිපත් වෙන එක....
 
 සිකුරාදා උදේ පැවැති එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීම සඳහා සජිත් පේ‍්‍රමදාසට ද ආරාධනය කර තිබුණත් ඔහු පැමිණ සිටියේ නැත. සෙසු නායකයන්ගේ ඉල්ලීම් දෙස සාවධානව බලා කල්පනා කළ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් අමතා ප‍්‍රකාශයක් නිකුත් කරන්නට අවසර දුන්නේය..
 
 අගමැති කීවේ එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෝ විශාල පිරිසක් පැමිණ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට තමන් වෙත ආරාධනය කරන ලද බව රට හමුවේ හෙළිදරව් කරන ලෙසයි... ඉදිරි දින කිහිපය ඇතුළත අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ජ්‍යෙෂ්ඨයන්ගේ ඉල්ලීම් සලකා බලන්නට ඉඩ ඇතැයි කියා දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරන්නට වූයේ ඒ අනුවය.
 
 ඉදිරි දින කිහිපය ඇතුළත එම නිවේදනය රට පුරා පැතිර යනු ඇත. මේ වනවිට සජිත් පේ‍්‍රමදාස කරු ජයසූරිය අතර දෝලනය වෙමින් පැවැති පන්දුවක් ලෙස පෙනුන ජනාධිපති අපේක්ෂකත්වය ඉදිරි දින කිහිපය තුළ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අතට දේශපාලන උඩපන්දුවක් ලෙස පැමිණීමට නියමිතව ඇති බව එජාපයට සම්බන්ධ සමහර නිරීක්ෂකයන්ගේ මතය විය.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles