Divaina - නික්ම යෑමද වික‍්‍රමයක් කළ මහැඳුරු කාලෝ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 kalo
 
 වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි
 
kalo2සුන්දරම සුන්දර මිනිසුන් මුණ ගැසීම ද එලෙස මුණගැසුණු මිනිසුන් සමග සමීප සබඳතාවයකින් තවත් කාලයක් විසීම ද අසීරුම අසීරු කාරණයක් වන්නේ වර්තමානයටය. කලාතුරකින් එබඳු සුන්දර මිනිසකු හා වන සමීප සමාගමයට ලද ඉඩ අනිත්‍යය හමුවේ හෝ මඟ හැරීම දරා ගැනීමට අසීරු කාරණයක් වන්නේ ද අප ද මනුෂ්‍යයින් වන හෙයින්මය. සිය ජීවිතයේ වසර අසූහයහමාරක චාරිකාව අවසන්කොට අපේ ජීවිත කාලයේ අපට අමතක නොවන ගුරුවරයා මිත‍්‍රශීලී වැඩිහිටියා වූ කාලෝ පොන්සේකා මහාචාර්යවරයා අප හා වූ සමාගමය 2019 සැප්තැම්බර් 02වැනිදා පෙරවරුවේදී අත්හැර යන්නේ අපට නොදන්වාමය.
 
 එලෙස අපට නොදන්වාම අපේ සමාගමය අත් හළ කාලෝ පොන්සේකා මහාචාර්යතුමා ලෝකයටම සිය අවසන් කැමැත්ත හරහා දැන්වූ පණිවුඩය අති ප‍්‍රබලය. එවැනි පණිවුඩයක් රටට ලෝකයට අදට හා අනාගතයට ලබා දීම සඳහා ඔහු සතුව පැවැති යෝධ චිත්ත බලය ශක්තිය පුදුමාකාරය. එහෙත් ඔහු පිළිබඳ හොඳින් දන්නා කිසිවකුට ඒ ශක්තිය ඔහු සතුවීම විස්මය දනවන සුළු කාරණයක් වන්නේද නැත.
 
 පෙරවරුවේ සිය හුස්ම පොද වා තලයට මුසු කළ එතුමා සිය ඥාතීන් හා හිතවතුන්ගේ උර මතින් තමන් කාලයක් පීඨාධිපතිව සිටි උතුරු කොළඹ වෛද්‍ය පීඨයට එදින සන්ධ්‍යාවේදීම සැපත් වූයේ පොදු පරිහරණය සඳහා කයද කැප කරනු පිණිසය. ඒ සිය අන්තිම කැමැත්තේ සටහන් කළ පරිදිම,චාම් සුදු කලිසමකින්ද රතු කමිසයකින්ද සැරසී ගෙනය.
 
 මේ අවසන් සමුගැනීමේ වටිනාකමට අලගු තබන්නටවත් රාජ්‍ය ගෞරව සහිතව ජන සේනා පෙළ ගැසෙන දර්ශන සහිතව පැවැත්වෙන සමුගැනීමකට නොහැකි බව පැහැදිලිය. කාලෝ පොන්සේකා මහාචාර්යවරයාගේ මේ අති උත්කෘෂ්ටවත් සමුගැනීම පිළිබඳව අප සමග මහත් අභිමානයෙන් යුක්තව පසුදා විමසුමක යෙදුණේ අපගේද ගෞරවාදරයට පාත‍්‍ර වූ ගුරුවරයකු වන ඔහුගේ සමකාලීන නාරද වර්ණසූරිය මහාචාර්යවරයාය. එහිදී අපට සඳහන් කළ යුතුම කාරණයක් වන්නේ දෙදෙනාම පැරණි වාමාංශික ව්‍යාපාරය නියෝජනය කළ සමසමාජ කාරයින් වීමය.
 
1978 කොළඹ වෛද්‍ය පීඨයට නවක වෛද්‍ය සිසුන් ලෙස පිවිසීමේදී මේ මානවහිතවාදී ආචාර්යවරයා සමග ඇති කොට ගත් හැඳිනුම, මිත‍්‍රත්වය දශක හතරකට එපිට කාලයක් දක්වා වර්ධනය වූයේ ඔහු පිළිබඳව පවතින භක්තියද වර්ධනය කරමින්මය. විටෙක ඔහු හා වන හමුවකදී අපේ ජීවිතයටද එක් වන්නේ හැමදාටම ගළපා ගත හැකි අත්දැකීම්ය.
 
 පත පොත ඇසුරට දැඩි ඇල්මෙන් පසු වූ එතුමාගේ මතකය තුළ පැවැති ඒ ලිඛිත සටහන් නිර්මාණ විටෙක කට පාඩමක් ලෙස මතුවන්නේ එක් අකුරක හෝ අඩුවක් වැරැද්දක් රහිතවමය. කාය ශක්තිය ක‍්‍රමයෙන් අඩු වෙමින් පැවැති අවසාන වසර කිහිපය තුළ දී වුවද ඒ මතක ශක්තිය මඳකින් හෝ අඩු වූයේ නැත.
 
 සිය නිවහනේ ඉහළ මාලයේ කාමරය තුළද ඔහුට අවකාශය පැවැත්තේ වටපිටාවේ ලෝකය අහස් කුස දක්වා හිතේ හැටියට දෙනෙතින් නිරීක්‍ෂණය කරන්නටය. එහිදී ඔහු අත පුරා ගැවසෙන්නටද කට පුරා පවසන්නටද මාතෘකාවක් වන්නේ කාලයෙන් කාලයට ලෝකයේ අලූතින්ම නිර්මාණය වන විවිධ පොතපත පිළිබඳ වතගොතය.
 
 වසර කිහිපයක් තිස්සේ තමන් ලක්වී ඇති කායික රෝග කිහිපයක් පිළිබඳව දන්නා හඳුනන හිතවතකුට හෙළි කරන්නට ඔහු මැළි වූයේද නැත. දෛනිකව බොන බෙහෙත් ප‍්‍රමාණ පිළිබඳවද විටෙක පැවසෙන ඒ කතාබහ තුළදී සිය සිරුරට ප‍්‍රවේශ වූ මේ කායික රෝග සම්බන්ධයෙන් කනගාටුවක් පසුතැවීමක් පළ වූයේද නැත. කතාවෙන්ද ක‍්‍රියාවෙන්ද නිරතුරුව පැහැදිලි වූයේ මානසික ශක්තියෙන් ඉහළම මනුෂ්‍යයකුගේ යහපත් කල් ක‍්‍රියාවක සැබෑ ස්වරූපයමය.
 
 කායිකව තරමක් දුබලව ගත කළ වකවානුවේදී පවා යා යුතු තැන් නියෝජනය කළ යුතු තැන් ඔහුගෙන් කිසි විටෙකත් මඟ හැරුණේද නැත. ඔහු හුරු පුරුදුව සිටියේ එවැනි ස්ථානයකදී මොහොතකදී මුණ ගැසෙන දන්නා හඳුනන හිතවතකුගේ ගෝලයකුගේ බාහුවේ එල්ලී පියවර නැඟීමටය. එහෙත් කිසිවකු තමා ආරක්ෂිතව අල්ලා ගෙන යෑම ගැන නම් ඔහුගේ හිතේ කැමැත්තක් තිබුණේම නැත. පෞද්ගලිකව මා මේ අත්දැකීම ඔහු සමග විඳ ඇති වාර ගණන අප‍්‍රමාණය. මේ සියලූ සත්කාර පිළිබඳ සෙනෙහසින් එවැනි හමුවක අවසානයේ අප සිප සනසා සමු ගෙන යෑම අපට සුපුරුදු ඔහුගේ ප‍්‍රතිචාරය විය.
 
 රටේ වර්තමානය පිළිබඳ අප හා නිතරකළ එතුමාගේ කතාබහ තුළද වූයේ විය යුතු යහපත් වෙනසක් පිළිබඳ අපේක්ෂාවකි. ම විසින් 2019 මාර්තු 4වැනි දා කොළඹ නව නගර ශාලාවේ කළ පොත් එළි දැක්වීමේ උත්සවයේදීද මුලසුන හොබවමින්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඉදිරිපිට අපේක්ෂිත වෙනස පිළිබඳ සිය අදහස ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමට ඔහු මැළි වූයේ නැත.
 
 කාලෝ පොන්සේකා ඇඳුරුතුමනි! ඔබ නික්ම ගොස් ඇති බව හිතන්නට තවමත් හිත ඉඩ දෙන්නේ නැත. ඒ රටේ ලෝකයේ බොහෝ මිනිසුන් මෙන් ආවාගියෝ ගණයට වැටෙන්නට ඔබ ඉඩ සලසා නොගත් නිසාමය.
 
 ඇඳුරුතුමනි! ඔබට සුබ ගමන් !


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles