Divaina - හිරගෙදරක් පිහිටි බිමක් වෙයි මනරම් උයනක්... බෝගම්බර හිරගෙදර පරිශ‍්‍රය සංස්කෘතික උද්‍යානයක් වන හැටි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 bogambara
 
 සමන්තී වීරසේකර
 
වසර පහකට පමණ පෙර මහනුවර බෝගම්බර බන්ධානාගාරය වෙත යා හැකි වූයේ, චෝදනාවක් මත වරදකරුවකු වුවහොත් පමණකි. නමුත් අද රජය රටේ සමස්ත රට වැසියන්ටම බෝගම්බර බන්ධනාගාර බිමට පාතැබිය හැකි වාතාවරණයක් සකසා ඇත්තේය.
 
 ඵෙතිහාසික මහනුවර බන්ධනාගාර පරිශ‍්‍රය මහනුවර බෝගම්බර ”සංස්කෘතික උද්‍යානය” ලෙසින් නම් කිරීම ඉකුත් දා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එදිනම පළමු අදියර ජනතාවගේ පරිහරණය වෙනුවෙන් ජනතා අයිතියට පත්කිරීමද සිදු විණි. දෙවන අදියර හෙවත් බෝගම්බර බන්ධනාගාර භූමියේ වූ දෙමහල් ගොඩනැගිල්ල නැවත සකස්කිරීමේ කටයුතු ද උත්සවශ‍්‍රීයෙන් ආරම්භ කෙරිණි. රුපියල් මිලියන නවසියයකට ආසන්න වියදමක් දරමින් රජය මේ සැරසෙන්නේ දේශීය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය ඇති කරගනිමින් සංස්කෘතිකමය වටිනාකමක් සහිත දේශීය නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන අලෙවි කර ගත හැකි වෙළෙඳ මධ්‍යස්ථානයක් ඇති කිරීමටය.
 
 ගම්වර බොහොමයක් සහිත වූ හෙවත් බොහෝ ගම්වර ඇත්තා වූ ප‍්‍රදේශය බෝගම්බර ලෙස නම් කෙරිණි. වී අමුණු දෙකයි, ලාස් දහසයක ඉඩක් හෙවත් අක්කර දොළහක් සහිත බෝගම්බර එදා මහනුවර නගරයේ පරිසරය අදට වඩා බොහෝ සේ වෙනස් ආකාරයෙන් පැවතියේය.
 
 අද දක්නට ලැබෙන බෝගම්බර බන්ධනාගාරය, බෝගම්බර කී‍්‍රඩාපිටිය පමණක් නොව මධ්‍යම වෙළෙඳපොළ ද එදා තිබී නැත. එම ප‍්‍රදේශය වසා ගෙන පැතිර තිබී ඇත්තේ බෝගම්බර වැවය. බොහෝ දෙනෙක් සිතා ගෙන සිටින්නේ බෝගම්බර බන්ධනාගාරය ඉදිකර ඇත්තේ ඇහැලේපොල කුමාරිහාමි ගිල්වා මරණයට පත් කරන ලද බෝගම්බර වැව ගොඩ කරන ලද භූමියේ බවය.
 
 එහෙත් එම මතය වැරදි බව පැරණි ලේඛන පිරික්සීමේදී පැහැදිලි වේ. බෝගම්බර කී‍්‍රඩා පිටිය සාදා ඇත්තේ බෝගම්බර වැව තිබූ ප‍්‍රදේශයේය. එහි වැව් තාවුල්ල බෝගම්බර බන්ධනාගාරයේ බෝගස තිබෙන ප‍්‍රදේශය දක්වා පැතිර ඇත. එදා බෝගම්බර වැවේ ගිල්වන ලද කුමාරිහාමිගේ මෘත දේහය මතුව ඇත්තේ බෝගම්බර බන්ධනාගාරයේ ඇති බෝගසට තරමක් ඈතිනි. මෙයින් පැහැදිලි වන්නේ වැව් තාවුල්ල එම ප‍්‍රදේශය දක්වා පැතිර තිබෙන්නට ඇති බවයි.
 
 හීල්පැන්කඳුර උල්පතින් හා දුනුමඬලාව ඔයෙහි ජල මූලාශ‍්‍රවලින් ගලා එන මහා ජල කඳක් දරා වුන් බෝගම්බර වැව් ඉහත්තෑවේ ඉංගී‍්‍රසින් විසින් ඉංග‍්‍රීසි හමුදා රෝහලක්ද ඉදිකොට තිබූ බව සඳහන් වේ.
 
 පසුව බෝගම්බර වැවේ ජලය සම්පූර්ණයෙන්ම ඉවත්කර පස් පුරවා කී‍්‍රඩා පිටියක් බවට පරිවර්තනය කර ඇත. වැව පිරවීම සඳහා පස් රැගෙන තිබෙන්නේ නැගෙනහිර ප‍්‍රදේශයේ තිබූ කඳු වලින් බව සඳහන්ය. ඒ වන විටත් එහි සිටි සිරකරුවන්ගේ ශ‍්‍රමය ප‍්‍රයෝජනයට ගෙන තිබූ බවද කියැවේ. කි‍්‍ර.ව 1887 දී රජයේ ඒජන්ත ලෙස කටයුතු කළ ඩබ්ලිව්. ඊ. ටී. ගෲප් මහතා බෝගම්බර කී‍්‍රඩාපිටිය විවෘත කර තිබේ.
 
 බෝගම්බර වැව් පිටියේ එක්දහස් අටසිය පනස් දෙකේදී බි‍්‍රතාන්‍ය මහ රැජිණගේ ඔටුන්නට සමාන හැඩයක් සහිතව  ගොඩනැඟිල්ලක් ඉදි කොට ඇත්තේ ඉංග‍්‍රීසින් හෙවත් බි‍්‍රතාන්‍ය ජාතිකයන් ඔවුන්ගේ අභිමානය ශ‍්‍රී ලාංකිකයන් හට දැනවීමට බවද සඳහන්ය. ඔවුන් ඒ ගොඩනැඟිල්ල තැනුවේ නීතියට අවනත නොවූවන් ඒ තුළ රඳවා තබන්නට සහ බි‍්‍රතාන්‍ය නීති රෙගුලාසි මේ සා ප‍්‍රබල බව දැනවීමට බවත් කියැවේ.
 
 හිස් පළඳනාව හෙවත් ඔටුන්නෙහි හැඩය විදහා පාමින් දිගින් අඩි පන්සිය පනස් හයක්ද, පළලින් අඩි එකසිය හතළිස් හතරක්ද, උසින් අඩි එකසිය දෙකක් ද වන එකම අත්තිවාරමේ තැනූ මේ මහා ප‍්‍රාසාදය, ආසියාවේම වූ දිගම අත්තිවාරම ලෙස නම් දරා තිබිණි.
 
 එංගලන්තයෙන් එවකට ගෙන්වන ලද දොරවල්, සොයිබ, ඇණ, තහඩු ඇසුරින් හා ඉංග‍්‍රීසීන්ගේ තාක්ෂණ ඥනයෙන් මෙය ඉදිකොට තිබේ. මෙවන් අපූරු ගෘහ නිර්මාණ ශිල්පයක් ඇසුරෙහි වූ මේ ගොඩනැඟිල්ලේ ඇත්තේ දොරටු දෙකකි.
 
 එම දොරටු දෙක ගොඩනැඟිල්ලේ වම්පස හා දකුණුපස ඉදිකොට ඇති හෙයින් එක්කෝ වම් පසින් ඇතුළු වී දකුණු පසින් පිටවිය හැකියි. නැතිනම් දකුණු පසින් ඇතුළුව වම් පසින් පිටව යා හැකිය. බෝගම්බර ප‍්‍රවිශ්ඨ දොරෙහි උස හරියටම අඩි පහකි. වරකට යා හැක්කේ එක් අයකුට පමණි. එවකට සිර මැදිරියකට දෙදෙනකු ගාල් කර නැත. එක්කෝ එක්කෙනෙකි. නැතිනම් තිදෙනෙකි. මේ සියල්ලක්ම සැලසුම් කර ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව පිණිසය. මෙහි පළමු බන්ධනාගාර පරීක්ෂක ජෙනරාල්වරයා ලෙස පත්ව ඇත්තේ ආර් සෝන්ඩර්ස් මහතාය. ඒ 1876 දී
 බන්ධනාගාරයත්, පොලිසියත් එක්ව පරිපාලනය කරන සමයේදීය.
 
 සිරිපාල හෙවත් මරුසිරා තිස්මඩ මිනී මැරුම සිදු කළ ඩබ්ලිව්. ඒ. රිචඞ් සහ ටී. එම්. ජයවර්ධන සුමතිපාල, කුඩු නවුෆර් එන්. එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන, විලියම් ද සිල්වා යන අය බෝගම්බර බන්ධනාගාරගතව සිට ඇත.
 
 ඵෙතිහාසික වටිනාකමකින් යුතු මෙම ගොඩනැගිලි සහ භූමි ප‍්‍රදේශය වසර දෙදහස් දහහතරේ ඔක්තොම්බර් මාසයේදී එවකට හුන් රජය විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භෞතික බුක්තිය හෙවත් නඩත්තු කිරීමේ අයිතිය පවරා දෙනු ලැබ තිබිණි. පාලන භුක්තිය ගඟවට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ විය. බෝගම්බර
 බන්ධනාගාර බිමෙහි තිබූ තාවකාලික ගොඩනැගිලි සියල්ල ඉවත් කර පැරණි ගොඩනැගිල්ලේ වහල අලූත්වැඩියා කොට වල් සුද්ධ කර තණකොල කපා, වැඩිදියුණු කරමින් ආරක්ෂාවද ලබා දී තිබිණි. ඒ සඳහා රුපියල් ලක්ෂ පහළොවක් වැය කර තිබිණි. යුදහමුදා අනුකණ්ඩ නිලධාරීන් විසින් සියලූ කටයුතු සිදු කොට තිබූ බැවින් රජයේ මුදල් අවම කර ගත හැකි තත්ත්වයක් තිබූ බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ, ව්‍යාපෘති කළමනාකාර
 ගැමුණු පේ‍්‍රමවර්ධන මහතා කියා සිටියේය.
 
 මෙම භූමිය පුරාවිද්‍යා වටිනාකමින් අනූන බිමක් බැවින් එහි කිසිදු ගොඩනැගිල්ලකට හෝ තාප්පයට හානියක් සිදු කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ලෝක උරුම නගරයේ මහනුවර අභිමානයට කැලලක් සිදු නොවිය යුතු බවත්, මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක ස්වාමින්වහන්සේ ජනපති සහ අගමැති දැනුවත් කොට තිබිණි. ඒ අනුව සෑම සංවර්ධන යෝජනා සහ සාකච්ඡා පවත්වන සෑම අවස්ථාවකදීම මල්වතු අස්ගිරි පාර්ශවයන්හි ස්වාමින්වහන්සේගේ සහභාගිත්වයද ලබා ගෙන තිබිණි.
 
 වසර දෙදහස් දහසයේදී, කැබිනට් අනුමැතිය අනුව, බෝගම්බර බන්ධනාගාර භූමියේ නඩත්තු සහ ආයෝජන ප‍්‍රවර්ධන කටයුතු ආයෝජන මණ්ඩලය වෙත පැවරීමට රජය පියවර ගෙන තිබිණි. ඒ වන විටත් නාගරික සංවර්ධන අධිකාරිය මෙම භූමිය සඳහා සැලසුම් ව්‍යාපෘති, සහ නඩත්තු පිළිබඳ වාර්තා සියල්ල සකස් කර තිබිණි. ඉදිරි සැලසුම් අනුව ලාභ උපයමින් සියලූ නඩත්තු සහ පවත්වාගෙන යෑමේ කටයුතු සිදුකළ යුතු බැවින් මෙය ආයෝජන මණ්ඩලය යටතට පැවරූ බව දැනගන්නට තිබේ.
 
 අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම භූමියේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ වන ගෘහනිර්මාණ ශිල්පීන් වෙත භාර දී තිබේ.
 
 බෝගම්බර නව සංවර්ධනය අනුව මහනුවර නගරයටත් මුළු රටටත් වැදගත් වන ආර්ථික වාසි අත්වන කටයුත්තක් සිදුවිය යුතු බවට යෝජනා ස්ථිර වී තිබිණි. පියවරින් පියවර සංවර්ධන කටයුතු සිදුකිරීමටත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නාගරික සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යංශය, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංය ආදී ආයතනවල අදහස් යෝජනා ද එක් කරමින් සංවර්ධන කටයුතු සිදු කිරීමට ආයෝජන මණ්ඩලය සැලසුම් කොට ඇත.
 
 අදියර තුනකින් ඉදිකිරිමට මෙය සැලසුම් කර ඇත. බන්ධනාගාර වට බැම්මට පිටපැත්තෙන් පිහිටි අක්කර 1.5 ක් පමණ වූ ප‍්‍රදේශය හෙවත් ඉදිරිපස අංගනය සංස්කෘතික ප‍්‍රසංග පවත්වන ස්ථානයක් ලෙස සැකසේ. සමරු තිලිණ සහ අනෙකුත් දේශීය නිෂ්පාදන භාණ්ඩ ප‍්‍රදර්ශනය සහ අලෙවි කරන ස්ථාන, සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යෝජිතය. තවද පොදු විනෝදාත්මක කටයුතු සඳහා වෙන් වූ මහජනතාවට නිදහසේ ගැවසිය හැකි පොදු අංගනයක්ද මේ වන විට ස්ථාපිත කොට ඇත. ඉදිරි අංගනයේ පිහිටා ඇති ඵෙතිහාසික ගොඩනැගිල්ලක් වන බන්ධනාගාර අධිකාරිගේ බංගලාව මේ වන විට මහජනතාව වෙනුවෙන් විවෘතය.
 
 මධ්‍යම ඉංජිනේරු පුද්ගලික සමාගමක් විසින් මහාභාණ්ඩාගාර ප‍්‍රතිපාදන යටතේ දැනටමත් එම වැඩ අවසන් කර ඇති අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන දෙසිය අනූහතයි දශම හතක් ලෙස ඉදිරියේ තනා ඇති විශාල පුවරුවේ දක්වා තිබේ. නමුත් ඒ සඳහා වියදම්ව ඇත්තේ රුපියල් මිලියන එකසිය අසූ පහක් බව නාගරික සංවර්ධන අධිකාරියේ දත්ත වල සඳහන් වෙයි..
 
 පැරණි බන්ධනාගාර වට බැම්මට ඇතුළතින් පිහිටා ඇති පරිශ‍්‍රය සංවර්ධන කිරීමේ කටයුතු දැන් සිදුවෙමින් පවතී. අක්කර හයයි දශම අටක පිහිටා ඇති මෙම භූමියේ ඇති රෝහල් පරිශ‍්‍රය අලූත්වැඩියා කොට සෙසු කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂිත බව පැවසේ. පරිශ‍්‍රයේ පෙර කොටසේ අලූතින් ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමට යෝජනා වී ඇත. මේ සඳහා රුපියල් මිලියන හත්සිය පනහක මුදලක් භාණ්ඩාගාරය මගින් අනුමත කර ඇත. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය විසින් මැදිහත්ව මෙම කටයුතු සිදුකරන බව සඳහන්ය.
 
 කන්ද උඩරට සංස්කෘතික සහ කලාව පිළිබිඹු කරන නිෂ්පාදන සහ සේවාවන් ලබා දීමටද සැලසුම් කර ඇත. කලා නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා ආසන එකසිය විස්සකින් යුතු රංග ශාලාවක් දේශන ශාලාවක් ඉදිකිරීමටද ඒ ඔස්සේ දේශීය විදේශීය සංචාරකයන් රඳවා ගත හැකි වාතාවරණයක් සැලසීමටද බලාපොරොත්තු වන බව ආයෝජන මණ්ඩල නියෝජිතයන් කියා සිටී.
 
 ආයෝජන මණ්ඩලය පවසන පරිදි මෙමගින් නව රැකියා සහ වෙළෙඳ හා වාණිජ අවස්ථා රැසක් මහනුවර වැසියන්ට ලැබෙන්නේය. සංචාරක හා ආයෝජන ආකර්ෂණය වර්ධනය කරමින් මහනුවර ජනතාවගේ ජීවන තත්ත්වයන් වැඩිදියුණු කිරීමට මග පෑදෙනු ඇත.
 
 බන්ධනාගාර පරිශ‍්‍රයේ ඉදිකිරීම් කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ උපදෙස් සහ පූර්ණ අධීක්ෂණය ලැබී තිබෙන බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ප‍්‍රශාන්ත මණ්ඩාවල මහතා පවසයි. ඉතා සුළුවෙන් සලකා කටයුතු කළ නොහැකි සංවර්ධන ව්‍යාපෘතියක් වන බෝගම්බර නව සංවර්ධන වැඩසටහන් සියල්ල පැරණි ඉදිකිරීම් කිසිවකට හානි නොවන පරිදි සිදුකරන බවද හෙතෙම කියා සිටියේය. ආයෝජන මණ්ඩල සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ජයලත් මොහොට්ටාල මහතා මධ්‍යම පළාත් සෙසු ආයතන සමග ඒකාබද්ධව බෝගම්බර නව සැලසුම් ක‍්‍රියාත්මක කරමින් සිටී.
 
 සියල්ලෙහි අගය හිමිවන්නේ ජනතාවට නම්, මෙය සාර්ථක ප‍්‍රතිසංස්කරණයක් වනු ඇත. උඩරට උරුමය ඇති කලා ශිල්පීන් තම තමන්ගේ නිර්මාණ එළිදක්වා ගත නොහැකිව, අද කනස්සල්ලෙන් කල් ගෙවති. ලාක්ෂා, සේසත් නිර්මාණ කරුවෝ, උණබට නිර්මාණ, බෙර දවුල් තම්මැට්ටම් නිෂ්පාදයෝ ද, පිත්තල වැඩ, ලී කැටයම්, ගල් කැටයම්, පන් නිර්මාණ ආදි නිර්මාණ ශිල්පීන් සඳහාද අද කොතනකවත් ඉඩකඩක් නැත. ඔවුන් සඳහා වන සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස මෙම බෝගම්බර නුදුරු අනාගතයේදී ජනතා අයිතියට පත් වන්නේ නම් මේසා වියදම් කරන මිලියන ගණන් මුදල් සැබෑ ආයෝජනයක් සඳහා යෙදවූයේ යැයි ආයෝජන මණ්ඩලයට සතුටු විය හැකිවනු ඇත.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles