Divaina - 2019 ජනාධිපතිවරණය හමුවේ එජාපය, ශී‍්‍රලනිපය සහ ජවිපෙ මුහුණ දෙන ඇල්පිටියේ අභියෝගය... ‘එයාර් ලංකා’ නැත්තටම නැති කළ මස්සිනා...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

  * ‘ගම් පෙරළිය’ සාර්ථක ද යන්න මැන ගැනීමට අවස්ථාවක්
 
 * ‘එයාර් ලංකා’ නැත්තටම නැති කළ මස්සිනා
 
 * වහල් මානසිකත්වයක් ඇති මාධ්‍යවේදීහු ද සිටිති
 
 * රිෂාඞ් බදුර්දීන් ශී‍්‍රලනිප සම්මේලනයේ
 
 
 ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ
 
raja2019 ජනාධිපතිවරණය එජාපයට සහ ශී‍්‍රලනිපයට බියකරු සිහිනයක් බවට පත් වී ඇත. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තම ජනපති අපේක්ෂකයා අගෝස්තු 11 දින සුගතදාස ජාත්‍යන්තර ගෘහස්ත පිටියේදී හෙළි කළේය. පළාත් සභාවක් වත් නියෝජනය කර නොමැති ගෝඨාභය රාජපක්ෂ එම අපේක්ෂකයා විය.
 
 අගෝස්තු මස 05 දින සුගතදාස ජාත්‍යන්තර ගෘහස්ත කී‍්‍රඩා පිටියේම එජාප ප‍්‍රමුඛ සන්ධානය බිහි කිරීමට නියමිතව තිබිණි. නමුත් එම සන්ධානයවත් පිහිටුවා ගැනීම හෝ තම අපේක්ෂකයා නම් කිරීමට එජාප නායකත්වය දෙන කණ්්ඩායමට අදටත් නොහැකි වී ඇත. ගෝඨාභය රාජපක්ෂට අභියෝගයක් වෙනුවට එජාපය තුළ මාරාන්තික සටනක් ආරම්භ වී ඇත. සජිත් පේ‍්‍රමදාස නායකත්වය දෙනු ලබන කණ්ඩායම බදුල්ලේ, මාතර සහ කුරුණෑගල මහා රැලි පවත්වමින් එජාප නායක රනිල් වික‍්‍රමසිංහට බලපෑම් කරමින් සිටී. රනිල් වික‍්‍රමසිංහ සුපුරුදු ලෙස කල් මරමින් සිටී. එජාප නායකයා සිතන ආකාරයට සජිත් පේ‍්‍රමදාස සටන අත්හරිනු ඇත. සජිත් පේ‍්‍රමදාස සටන අත් නොහරිනු ඇති බවට විශ්වාසයක් ඔහුට සහයෝගය දෙනු ලබන පාර්ලිමේන්තු කණ්ඩායමේ සහ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් අතර ඇත.
 
 එජාප නායකයා අනුගමනය කරනු ලබන කල් මරණ ප‍්‍රතිපත්තිය මත පිහිටා එම පක්ෂයේ නීති උපදේශක සහ මහජන බැංකුවේ සභාපති නිශ්ශංක නානායක්කාර මහතා තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම නාම යෝජනා කැඳවීම දින දක්වා කල් දමා ඇත. එජාපය අවුලෙන් අවුලට පත් වෙමින් ඇත. නායක වික‍්‍රමසිංහ මාලදිවයිනේ නිල සංචාරයකට සහභාගි වීම ඇත්ත වශයෙන් පුදුමයකි. විදේශ සංචාරය නිමවා නැවත ශී‍්‍ර ලංකාවට පැමිණෙන විට ප‍්‍රශ්නය නිරාකරණය විය හැකි බවට අදහස් පළ කළ එජාප සාමාජිකයෝ ද වෙති.
 
 ගෝඨාභය රාජපක්ෂට අභියෝග කිරීමට ඉදිරිපත් වන අපේක්ෂකයා අද වනවිටත් (සැප්තැම්බර් 08) පැහැදිලි නැත. නාම යෝජනා කැඳවන තෙක් අපේක්ෂකයා නම් කිරීම කල් දමා ඇති තත්ත්වයක් තුළ සජිත් ප‍්‍රමුඛ කණ්ඩායමට තම සටන තීව‍්‍ර කරනවා හැරෙන්නට වෙන විකල්පයක් නැත. එජාපය මෙවැනි අර්බුදයකට කිසිදා මුහුණදී නැත. දේශපාලන අර්බුද එජාපයට හෝ ශී‍්‍රලනිපයට ආගන්තුක නොවේ. නමුත් වසර 70 ක පමණ අතීතයක් ඇති එම පක්ෂ ජනාධිපතිවරණයක් ඉදිරියේ මෙවැනි අසරණ තත්ත්වයකට පත් වී නැත.
 
 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වුවහොත් ශී‍්‍රලනිපය අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා යැයි මහින්ද අමරවීර කිහිප විටකදී පැවසීය. එම පක්ෂයේ 68 වැනි සම්මේලනය සැප්තැම්බර් 03 අවසන් වූයේ තනි අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ ශක්තියක් හෝ අවශ්‍යතාවක් ශී‍්‍රලනිපයට නැති බව ජනතාවට පෙන්නා දෙමිනි. මහින්ද රාජපක්ෂ අගෝස්තු 11 දින ශී‍්‍රලනිපය හැර ගියේය.
 
 ගෝ්ඨාභය රාජපක්ෂ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට පෙර එදිනම මහින්ද රාජපක්ෂ එම පක්ෂයේ නායකත්වය ගත්තේය. ගෝඨාභය රාජපක්ෂ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට වඩා මහින්ද රාජපක්ෂ ශී‍්‍රලනිපය අතහැර යෑම එම පක්ෂයට මරු පහරකි.
 
 යුද්ධයට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ශී‍්‍රලනිපයට අහිමි වීම එම පක්ෂයට දරාගත නොහැක. එම පක්ෂයේ 68 වැනි සංවත්සර උළෙල ශී‍්‍රලනිපය පත් වී ඇති අන්ත අසරණ බව හෙළිදරව් කළේය. 2015 අගෝස්තු මහ මැතිවරණයේදී ආසන 95 ක් දිනාගත් ශී‍්‍රලනිප ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ශී‍්‍රලනිපයට ඉතාමත් අවාසිදායක ලෙස බෙදී ඇත. ජනාධිපති සහ වර්තමාන ශී‍්‍රලනිප නායක මෛති‍්‍රපාල සිරිසේන 68 වැනි සංවත්සර උත්සව සභාවේ දෙපසින් සිටි මන්තී‍්‍රවරු සංඛ්‍යාව අතළොස්සකි. එම දර්ශනය ඇත්ත වශයෙන්ම කනගාටුදායකය.
 
 2018 පෙබරවාරි පළාත් පාලන ඡුන්දය එජාපය සහ ශී‍්‍රලනිප අසරණ කළේය. ජාතික හෙළ උරුමයේ නායක ඇමැති පාඨලී චම්පික රණවක ‘හිරු’ නාලිකාව සමඟ පැවති සජීවී දේශපාලන වැඩසටහනකදී එජාපය සහ ශී‍්‍රලනිපය පත් වී ඇති තත්ත්වය පැහැදිලි කළේය. අමාත්‍යවරයා පැවසූ පරිදිම එම පක්ෂ දෙක පහතටම වැටී ඇත. එජාප ප‍්‍රමුඛ රජයේ ප‍්‍රබල කොටස්කරුවකු වන එතුමාගේ පක්ෂය ද බරපතළ අර්බුදයක බව පැහැදිලිය.
 
 2019 ජනාධිපතිවරණයේදී ‘පාවෙන’ ඡුන්ද මත ජයග‍්‍රාහී පක්ෂය තීරණය වනු ඇත. එජාප පාර්ලිමේන්තු කණ්ඩායම මාරාන්තික සටනකය. තම අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගැනීමට නොහැකි එජාපයට ‘පාවෙන’ ඡුන්ද ලබා
 ගැනීමේ අවස්ථාවක් තිබිය නොහැක.
 
 ‘ශී‍්‍රලනිපය සුරැකීමේ සංවිධානය’ ලේකම් නීතිඥ රාජිත කොඩිතුවක්කු මෑතකදී පවසා තිබුණේ ශී‍්‍රලනිපය ගෝඨාභය රාජපක්ෂට එක්වුණොත් තම කණ්ඩායම වෙනම අපේක්ෂකයකුට සහයෝගය දීමට සූදානම් බවය. මෙවැනි තත්ත්වයකට අවස්ථාවක් තිබේද? යථාර්ථය කුමක්ද?
 
 ශී‍්‍රලනිප නායකත්වය කටයුතු කරනු ලබන ආකාරය පුදුමයකි. එජාපය ද එසේමය. පසුගිය පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර 07 ක් එල්ල කළ ත‍්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනාවට ලක්වූ වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් 68 වැනි ශී‍්‍රලනිපයේ ආරාධිතයෙකි. ජනාධිපති සිරිසේන සිටි ආසනයට කිට්ටුවෙන් බදුර්දීන් පළමුවැනි ආසන පේළියේ සිටියේය. බදුර්දීන් කිසිදු උසාවියකින් ත‍්‍රස්තවාදීන්ට අනුබල දුන්නා යැයි වරදකරු කර නොමැත. එම අපරාධය පිළිබඳව විමසීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව ද තවමත් ඉදිරිපත් වී නැත. නමුත් ශී‍්‍ර ලංකා මක්කල් කොන්ග‍්‍රස් නායක බදුර්දීන් ජනතාවගේ බලවත් විරෝධතාවට ලක් විය. එවැනි තත්ත්වයක් තුළ එම මන්තී‍්‍රවරයා ශී‍්‍රලනිප උත්සවයට ආරාධනා ලැබීම පුදුමයකි.
 
 බදුර්දීන් ශාලාවට ඇතුළු වීමත් සම`ගම ශ‍්‍රී. ල.නිප පාක්‍ෂිකයෝ ඔහුට බලවත් විරෝධතාව එල්ල කළේ හූ කියමින්ය. ඔහුව ඉවත් කිරීමට බලපෑම් කළේය. පැයක් පමණ එහි සිටි අමාත්‍යවරයා සවස 5 පිටව ගියේය.
 
 බදුර්දීන් මෑතකදී එජාප නායක වික‍්‍රමසිංහ සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමඟ උත්සවවලට සහභාගි විය. බදුර්දීන් එජාපය සහ ශී‍්‍රලනිපය සමඟ තවදුරටත් කටයුතු කිරීම 2019 ඡුන්දයට කෙලෙස බලපෑම් එල්ල කරාවිද?
 
 2019 ජනපතිවරණයට පෙර එජාපයට සහ ශී‍්‍රලනිපයට ‘ඇල්පිටියේ අභියෝගයට’ මුහුණ දීමට සිදුවනු ඇත. රණසිංහ පේ‍්‍රමදාස පාලන සමයේදී එජාපයෙන් වෙන්වූ ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක අමාත්‍යවරුන්ගේ නායකත්වයෙන් පිහිටුවා ගන්නා ලද ‘රාජාලියා’ පක්ෂය ඉදිරිපත් කළ නාම යෝජනා ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පළාත් පාලන ඡුන්දය ඇල්පිටිය ප‍්‍රාදේශීය බල සභා ප‍්‍රදේශයේ පැවැත්වීමට නොහැකි විය. අගතියට පත් පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීය. 2018 පෙබරවාරි 10 දින පළාත් සභා ඡුන්දය පැවැත්වූ අතර එජාපය සහ ශී‍්‍රලනිපය දිය විය. ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡුන්දයට ඔක්තෝබර් 11 දින නියම වී ඇත. මුළු රටේම මාධ්‍ය අවධානය ඇල්පිටියට බව පැහැදිලිය. 2018 පෙබරවාරි 10 පැවැති පළාත් පාලන ආයතන සඳහා පැවැති ඡුන්දය සහ 2019 දෙසැම්බර් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අතර පැවැත්වීමට නියමිත ඇල්පිටිය ඡුන්දය ජනාධිපතිවරණයට ප‍්‍රබල බලපෑමක් කරනු ඇත. ඇල්පිටිය ඡුන්දයේදී ජයග‍්‍රහණය ලබා ගන්නා පක්ෂයට ජනාධිපතිවරණ තරගයේදී වඩා වාසි දායක තත්ත්වයක් බහුතර සිංහල ජනතාවක් ජීවත් වන දිස්ති‍්‍රක්කවල හිමි වීමට පැහැදිලි ඉඩකඩක් ඇත.
 
 එජාපය ප‍්‍රමුඛ කණ්ඩායම ඇල්පිටිය ඡුන්දය දිනා ගැනීමේ සටන එජාප නායක වික‍්‍රමසිංහට පවරයිද? එහෙත් නැතහොත් නියෝජ්‍ය නායක පේ‍්‍රමදාසට එම අවස්ථාව ලබා දෙයිද? කෙසේ වෙතත් ඇල්පිටිය ඡුන්දය ජනාධිපතිවරණ සටන වඩාත් උණුසුම් කර ඇත. ඇල්පිටිය ඡුන්දය ඇත්ත වශයෙන්ම ගල උඩ සටනකි. 2018 පෙබරවාරි සමස්ත ඡුන්ද ප‍්‍රතිඵලය අනුව ඇල්පිටියේ ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට බව පැහැදිලිය. නමුත් දේශපාලනය අතිශයින්ම අවිනිශ්චිතය.
 
 ඇල්පිටිය ඡුන්දයට ඔක්තෝබර් 11 දින නියම කිරීමත් සමගම එජාප නායකත්ව අර්බුදය විසඳා ගැනීමට එම පක්ෂයට ප‍්‍රබල බලපෑමක් වනු ඇත. ආසන 28 කින් සමන්විත ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට තරගයෙන් 17 දෙනකු පත් වීමට නියමිතය. 11 දෙනකු දෙවැනි ලැයිස්තුවෙන් පත් වේ. ශී‍්‍රලනිපය, එජාපය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ජවිපෙ ඇල්පිටිය ජය ගැනීමට සටන් බිමට අවතීර්ණ වී ඇත. තම නාම යෝජනා ප‍්‍රතික්ෂේප වීම නිසා අගතියට පත්වූ ‘රාජාලියා’ ලකුණෙන් තරග කරන පක්ෂය ද සටනේ සිටී.
 
 ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් එජාපය මෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති ජවිපෙට සහ තමන්ගේ්්ම ජයග‍්‍රාහී අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නොහැකි වී සිටින ශී‍්‍රලනිපයට බලවත් බලපෑමක් ඇත.
 
 ඇල්පිටිය ඡුන්දය පරාජය වීම අදාළ පක්ෂ ‘මල්ටි බැරල් රොකට්’ ප‍්‍රහාරයකට ලක් වීමට සමාන කළාට වරදක් නැත. ඇල්පිටියේ ජයග‍්‍රහණය කාටද? යම් ආකාරයකින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ශී‍්‍රලනිප කණ්ඩායම් ඇල්පිටියේදී යම්කිසි එකඟතාවකට පැමිණීමේ හැකියාවක් තිබේද? පක්ෂ දෙකම ඇල්පිටිය තම වාසියට යොදා ගැනීමට උත්සාහ කරනු ඇත. අප පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත්ම පළාත් පාලන ඡුන්දය ඇල්පිටියේ පැවැත්වෙන බව පැහැදිලිය.
 
 2018 පෙබරවාරි පළාත් පාලන ඡුන්දයෙන් එජාපය පරාජය විය. බලයේ සිටි පක්ෂයක් පළාත් පාලන ඡුන්දයක් පරාජය වීමේ එකම අවස්ථාව එය විය. එවැනි පරාජයක් පළාත් පාලන සටනකදී නැවතත් අත්කර ගැනීම එම පක්ෂයට මරු පහරකි. 2018 පෙබරවාරි පළාත් පාලන ඡුන්දයේ සහ 2019 ඔක්තෝබර් 11 ඇල්පිටිය සටන ප‍්‍රධාන ලෙස වෙනස් වන හේතුව යහපාලන රජය බිඳ වැටීමයි. ජනාධිපති සිරිසේන 2018 ඔක්තෝබර් 26 දා ශී‍්‍රලනිප ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය එජාප රජයෙන් ඉවත් කර ගත්තේය. සටන තීරණාත්මකය.
 
 2018 පෙබරවාරි පළාත් පාලන ඡුන්ද පරාජයෙන් පසු එජාපය ‘ගම් පෙරළිය’ සහ ‘එන්ටර්ප‍්‍රයිසස් ශී‍්‍ර ලංකා’ කි‍්‍රයාත්මක කළේය. ඉතාමත් ආඩම්බරයෙන් එජාපය පවසන්නේ ‘ගම්පෙරළිය’ යටතේ් දැනටමත් රුපියල් මිලියන 300 ක් සෑම මැතිවරණ කොට්ඨාසයකටම ලබාදී ඇති බවත් 2019 සැප්තැම්බර් මස ඊට අමතරව රුපියල් මිලියන 100 ක් ලබා දෙන බවත්ය. ‘ගම් පෙරළිය’ සාර්ථකව කි‍්‍රයාත්මක වූවාදැයි බලා ගැනීමට අවස්ථාවක් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට පැවැත්වෙන ඡුන්ද මුළු රටටම ලබා දෙනු ඇත.
 
 ගම උඩුයටිකුරු කිරීමට කි‍්‍රයාත්මක කළ ‘ගම් පෙරළිය’ සහ නව ව්‍යාපාරික ප‍්‍රජාව ශක්තිමත් කිරීමට හඳුන්වාදුන් ‘එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා’ මත එජාපයේ ඉරණම රඳා පවතියි. එම පක්ෂයට ආඩම්බරයෙන් කතා කළ හැකි ව්‍යාපෘති දෙක 2018 අගෝස්තු - සැප්තැම්බර් කි‍්‍රයාත්මක විය. එහි සාර්ථකත්වය ඇල්පිටියේදී සහ ජනපතිවරණයේදී බලාගත හැක. එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස කි‍්‍රයාත්මක කළ නිවාස ව්‍යාපෘති එජාප කෙලෙස ශක්තිමත් කර ඇත්දැයි ළඟ එන මැතිවරණයේදී බලාගත හැක.
 
 කෙසේ වෙතත් මුදල් ඇමැති මංගල සමරවීර ‘ගම් පෙරළිය’ සහ ‘එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා’ එජාපයේ ශක්තිය රඳා ඇති බව පවසයි.
 
 පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී සමරවීර අමාත්‍යවරයා පුන පුනා පැවසුවේ 2015 ට පෙර පැවති රාජපක්ෂ රජය යටතේ පැවතියාට වඩා රටේ ආර්ථිකය ඉතාමත් යහපත් බවයි.
 
 පසුගිය වසර හතරකට වඩා වැඩි කාලයක් තුළ එවැනි තත්ත්වයක් ඇති වී ඇත්නම් එහි ගෞරවය අගමැති රනිල් වික‍්‍රමසිංහට හිමි විය යුතුය. එම ගෞරවය වික‍්‍රමසිංහට නොදී සිටීමට හැකියාවක් නැත.
 
 සමරවීර අමාත්‍යවරයාගෙන් ලියුම්කරු විමසා සිටියේ ආර්ථිකය යහපත් වී ඇති අවස්ථාවක බලයේ සිටින එජාප අගමැති වික‍්‍රමසිංහ 2019 ජනපතිවරණයට ඉදිරිපත් නොකර ඒ පිළිබඳව පක්ෂයේ අර්බුදයක් ඇති වූයේ කෙසේද යන්නයි.
 
 අමාත්‍යවරයා පවසා සිටියේ ලියුම්කරු ඇතුළු යම් මාධ්‍යවේදීන්ට වහල් මානසිකත්වයක් ඇති බවත් එවැනි වාතාවරණයක් තුළ මෙවැනි ප‍්‍රශ්න නඟන බවත්ය. සමරවීර අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න රටේ හෝ පක්ෂයේ කිසිදු අර්බුදයක් නැති බවත් ආර්ථිකය යහපත් බවත් පවසන විට එම කි‍්‍රයාවලියට නායකත්වය දුන් රජයේ නායක වික‍්‍රමසිංහ ජනපතිවරණයට ඉදිරිපත් නොකිරීමට හේතුවක් තිබිය නොහැක. එසේත් නැතහොත් ආර්ථිකය රාජපක්ෂ සමයට සාපේක්ෂව යහපත් කතාව බේගලයකි. ඡුන්ද උප්පරවැට්ටියකි.
 
 ‘ගම් පෙරළිය’ සාර්ථක නම් එජාපයට ප‍්‍රශ්නයක් තිබිය නොහැක. ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව පමණක් නොව මුළු රටම එක මැතිවරණ කොට්ඨාසයක් ලෙස සලකන ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමට ද හැකිය.
 
 එජාප පාර්ලිමේන්තු කණ්ඩායම තම ජනපති අපේක්ෂකයා තෝරා ගැනීමට නොහැකිව කරන විගඩම පුදුමාකාරය. එජාප නායක වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස සහ කථානායක කරු ජයසූරියට අමතරව තවත් කිහිප දෙනකුම ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව අදහස් පළ කළේය. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ලක්ෂ්මන් කිරිඇල්ල, වෛi රාජිත සේනාරත්න සහ දයා ගමගේ ඒ අතර විය. 2006 එජාපය හැර ගොස් 2008 නැවත පක්ෂයට පැමිණි කරු ජයසූරිය 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්පූර්ණයෙන්ම රඳා පැවතියේ 2018 ඔක්තෝ්බර් ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය ව්‍යර්ථ කිරීමට ඔහු ගත් කි‍්‍රයාමාර්ග මතය. මෛති‍්‍රපාල සිරිසේන කි‍්‍රයාත්මක කළ එම මෙහෙයුමට එරෙහි වීම හේතුවෙන් කරු ජයසූරිය වීරයෙක් විය. බටහිර තානාපති ප‍්‍රජාව ඔහු ඉහළින්ම පිළිගත්තේය. සිවිල් සමාජයට කරු ජයසූරිය නැතුවම බැරි මහජන නියෝජිතයකු විය. කෙසේ වෙතත් සැප්තැම්බර් පළමුවැනි සතිය වනවිට තරගය වික‍්‍රමසිංහ සහ පේ‍්‍රමදාස අතර බව පැහැදිලිය.
 
 එජාපය අවසන් වරට ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළේ 2005 දීය. එම ඡුන්දයේදී වික‍්‍රමසිංහ මහින්ද රාජපක්ෂ අතින් පරාජයට පත් විය. එයට ද ප‍්‍රබල හේතුවක් ඇත. කොටි ත‍්‍රස්තවාදීන් සහ අද වික‍්‍රමසිංහ සමඟ සිටින ද්‍රවිඩ ජාතික සන්ධානය උතුරේ ජනතාවට නිදහසේ ඡුන්දය දීමට අවස්ථාවක් ලබා දුන්නේ නම් වික‍්‍රමසිංහ අනිවාර්යයෙන්ම එම ඡුන්දය ජය ගැනීමට තිබිණි.
 
 කොටි - ද්‍රවිඩ ජාතික සන්ධාන හවුල වික‍්‍රමසිංහ පැරදවීය. මහින්ද රාජපක්ෂ සහ වික‍්‍රමසිංහ අතර ඡුන්ද පරතරය 190,000 ක් විය. වික‍්‍රමසිංහව පරාජය කිරීමෙන් ත‍්‍රස්තවාදීන් සහ ද්‍රවිඩ ජාතික සන්ධානය බලාපොරොත්තු වූයේ වඩාත් දුර්වල චරිතයක් ලෙස ඔවුන් හඳුනාගෙන තිබූ මහින්ද රාජපක්ෂ පරාජය කර දැමීමයි. කුරුමානම වැරදිණි.
 
 රාජපක්ෂවරු සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක යන හමුදාපතිවරු සමඟ එකතු වී මෙහෙයවපු යුද්ධය වසර දෙකක් සහ මාස 10 න් අවසන් කොට රට එක්සේසත් කළේය.
 
 රාජපක්ෂ රජය මහ බැංකුව කොල්ල නොකෑවට අති දූෂිත ගනුදෙනු රාශියකට වගකිව යුතුය. එයාර් ලංකා ගුවන් සමාගම හිටපු ජනාධිපතිවරයාගේ මස්සිනා නිශාන්ත වික‍්‍රමසිංහ නැත්තටම නැති කළේය. එයාර් ලංකා ආයතනය විනාශ කිරීමම එම රජය පරාජය කිරීමට හේතුවක් විය යුතුය. පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමේ අවස්ථාව ලබා ගැනීමට රාජපක්ෂ රජය කළ මුදල් නාස්තිය අදහා ගැනීමටත් බැරිය. බටහිර ප‍්‍රජාව එම අවස්ථාව අප රටට ලබා දුන්නා නම් ඇත්ත වශයෙන්ම අප රට බංකොළොත් වීමට තිබිණි. 2015 රාජපක්ෂ රජය පරාජය වීම පිළිබඳව පුදුම විය යුතු නැත. පුදුමය එම දූෂණ කළ කණ්ඩායම කම්මුතු කිරීමට පැමිණි යහපාලන නඩය මහ බැංකුව දෙවරක් (2015 පෙබරවාරි 27, 2016 මාර්තු 29) කොල්ල කෑවේය. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව සහ ගිණුම් කාරක සභාව හෙළි කර ඇති දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා පිළිබඳව ජනතාව දැනුවත් නම් වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින බොහෝ මහජන නියෝජිතයන් 2020 මහ මැතිවරණයේදී පරාජයට පත් කරනු ඇත.
 
 2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනතාව බුද්ධිමත් ලෙස කටයුතු කළ යුතුය. 19 වැනි සංශෝධනය 2015 කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් ජනාධිපතිවරයාගේ බලතල යම්තාක් දුරට කප්පාදු විය. ජනාධිපති සහ පාර්ලිමේන්තුව (අගමැති) බල කේන්ද්‍රස්ථාන දෙක බවට පත් විය. එවැනි තත්ත්වයක් තුළ 2019 ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරන පාර්ශ්්වයට පාර්ලිමේන්තුවේ බලය හිමි නොවුණහොත් පවතින දේශපාලන අස්ථාවරභාවය දිගටම කි‍්‍රයාත්මක වනු ඇත.
 
 කම්මුතුකරුවෙක් අවශ්‍යද? යන ශීර්ෂ පාඨය යටතේ 2019 අගෝස්තු 25 ඉරිදා මෙම ලියුම්කරු පළ කළ ලිපියට ‘ඉරිදා දිවයින’ පාඨකයන්ගෙන් ලිපි ලැබිණි. වෙන්නප්පුවේ පදිංචි එඞී ප‍්‍රනාන්දුගෙන් ලැබුණ ලිපිය පහත පළ වේ.
 
 "TERMINATOR"
 
 වචනයේ අර්ථය නොදැන නන්දොඩවන රනිල් වික‍්‍රමසිංහ!!! Oxford ශබ්ද කෝෂයේ 1104 පිටුවේ ''TERMINATER" වචනය විග‍්‍රහ කර ඇත්තේ Bound, Limit ලෙසයි. (‘‘අවසන් කිරීම’’, නැවැත්වීම’’, ‘‘සීමා පැනවීම’’)
 
 එනම්; 1. පාලකයා විසින් සේවකයකුගේ රැකියාව ‘අවසන් කිරීම.’’
 
 2. දුම්රියක් ගමනාන්තයට පෙර විශේෂ හේතුවක් මත බලධාරීන් විසින් අතරමඟ ‘‘නැවැත්වීම.’’
 
 3. කුමන හෝ ප‍්‍රතිලාභවලට ‘‘සීමා පැනවීම.’’ ‘‘කම්මුතුකිරීම’’ ලෙස විග‍්‍රහයක් නැත.
 
 ‘‘කාඞ්බෝඞ් වීරයෙක් ‘‘විනාශකාරී’’ කි‍්‍රයා කරන ගැලරියට නිපදවූ තුට්ටු දෙකේ ‘‘බයිස්කෝප්’’ එකකට ''TERMINATOR" නම යෙදූ පමණින් (චිත‍්‍රපටවල ඒවා නැත. ඒවා ඇත්තේ ‘‘බයිස්කෝප්’’ වල පමණයි.) හෝ OXFORD ශබ්ද කෝෂය නොදැක සිංහල ශබ්ද කෝෂයක එය ‘‘විනාශකාරයා’’, ‘‘කුඩුපට්ටං කරන්නා’’ ‘‘කම්මුතු කරන්නා’’ ලෙස විග‍්‍රහ කළත්, ''TERMINATOR" වචනයේ අර්ථය කිසිසේත් වෙනස් වන්නේ නැත.
 
 සේවකයකු රැකියාවෙන් පහකරන පාලකයකු හෝ විනාශයක් වළක්වා ගැනීමට දුම්රියක ගමන නවත්වන දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරියා හෝ ‘‘විනාශකාරයෙක්’’ ‘‘කම්මුතු කරන්නෙක්’’ ‘‘කුඩුපට්ටංකරන්නෙක්’’ වන්නේද? (රනිල් වික‍්‍රමසිංහගේ නොදැනුවත් කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පිණිස මෙය ඉදිරිපත් කරමි.)


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles