Divaina - දස වසරකට පසු ත‍්‍රස්ත මර්දන නිලධාරී නිලබ්දීන් කොටි රහස් හෙළිකරයි... චන්ද්‍රිකාගේ දින පොත භාරව සිටි සුපිරි ව්‍යාපාරික කාන්තාව වෙත සමීප වීමට දියත්වූ මෙහෙයුම!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

nilab111

⋆ අරලියගහ මැඳුරට කොටි කමාන්ඩෝ ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළා

⋆ හිටපු ජනපතිනිය ඝාතනය නොකරන බව බාලසිංහම් පැවසූ බව වසන්ත රාජා පවසද්දී ඝාතන සැලසුම දියත් කළ මුහුන්දන් අසුවේ

⋆ එල්ලාලන් පඩෙයි නමින් තර්ජනාත්මක ලිපි එවූ කොටියා අල්ලා ගනී

⋆ එකවර තරු පහේ හෝටල් හතරක බෝම්බ පිපිරීම් සැලසුම්ද වළක්වයි


ජිනිවා බලායෑම සඳහා කටුනායක ගුවන්තොටුපළට පැමිණි මාහට කෙසඟ සිරුරක් ඇති පුද්ගලයෙක් මගී පර්යන්තයේ අසුනක වාඩිවී සිටින අයුරු දක්නට ලැබුණි. මේ පුද්ගලයා කවුදැයි ගුවන්තොටුපළේ සිටි පොලිස් සහ ආගමන නිලධාරීහු හඳුනා ගත්තේ නැත.

ඔහු වෙනින් කවුරුත් නොව ඉන්දීය රෝ බුද්ධි සේවාව පවා පැරදවූ හිටපු පොලිස් පරීක්‍ෂක නිලබ්දීන්ය. 1985 සිට 2010 දක්වා ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්ත කි‍්‍රයා විමර්ශනය කිරීමේ ප‍්‍රධාන ත‍්‍රස්ත මර්දන නිලධාරියා වූයේ ඔහුයි. එම කාලය තුළ ප‍්‍රභාකරන් හත්වතාවක් ඔහුව ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ විය. අවසානයේ කොටි නිලබ්දීන් රාජකාරිය කළ ගල්කිස්ස පොලිසියේ ත‍්‍රස්ත මර්දන ඒකකයට ලිපියක් එවා තිබුණි. එහි මෙලෙස සඳහන් විය. එම ලිපිය අන්බරසු නමැති කොටි බුද්ධි සේවා නායකයා එවා තිබුණේ නිලබ්දීන්ගේ සහායක ජෙයරත්නම්මාය.

‘සුළඟට ඕනෑම තැනකට රිංගීමට හැකිබව දැනගනු.

dasawasara2මේ ලිපිය ලත් විගස නිලබ්දීන්ට අවබෝධ වූයේ කොටි තමාව ඝාතනය කිරීමට සියලූ සැලසුම් සකස් කර ඇති බවයි. එසේ වූවත් සුළඟට තම කාර්යාලය වෙත ඒමට ඔහු ඉඩ තැබුවේ නැත. එහෙත් තොරතුරු ලබාදීමේ මුවාවෙන් කොටි බුද්ධි අංශය ද්‍රවිඩ තරුණයන් දෙදෙනකු ඔහු වෙත එවා තිබුණි. මේ කොටි තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙක් තමා රත්මලානේ පල්ලියට යන බව නිරීක්‍ෂණය කරන බවත් අනිත් තරුණයා ගමන් බිමන් ගැන සෙවීමේ යෙදී සිටින බවත් ඔහුට සොයාගැනීමට හැකිවිය.

dasawasara31996 මාර්තු 16 දා නිලබ්දීන් සුපුරුදු පරිදි තම නිවසේ සිට කාර්යාලයට යනවිට බිරිය පැවසුවේ දියණිය අසනීප නිසා කල්තියා නිවසට එන ලෙසයි.

මෙදින සවස් යාමයේ ඔහුට පොලිස් කාන්තාවක් පැවසුවේ දියණිය දැඩි අසනීප තත්ත්වයෙන් පසුවන බව බිරිය පවසා වහාම එන ලෙස කී බවයි. තමා පොලිසියෙන් පිටත්ව යන්නේ මරුවා වෙතට යයි නිලබ්දීන් සිතුවේ නැත. තම බිරිය දුන් දුරකථන පණිවුඩය කොටි බුද්ධි සේවයටද වාර්තාවී තිබුණි. සිය නිවසට යෑම සඳහා සිය රියැදුරා සමග ගාලූ පාරේ ගමන් කරන අවස්ථාවේ එකවරම විශාල ශබ්දයක් තමාට ඇසුණු බවත් ඉන්පසු සිහිවිසඥවූ බවත් නිලබ්දීන් කීවේය.

නිලබ්දීන් එනතුරු මග රැක සිටියේ පොට්ටු අම්මාන් එවූ දෙදෙනෙකි. ඉන් එක් අයෙක් සිනන්ය. අනික් තැනැත්තිය මේරි කුවින්ස්ය. සිනන්ට භාරවී තිබුණේ නිලබ්දීන් එන බවට මරාගෙන මැරෙන බෝම්බ කාරියට සංඥා කිරීමයි. මේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය ව්‍යර්ථ වුණි. බස් නැවතුම්පළක සිටි අයෙක් ද්‍රවිඩ තරුණයෙක් ද්‍රවිඩ තරුණියකට සංඥා කරන බව පොලිසියට පැවැසීමත් සමගම පොලිස් භටයන් කීපදෙනෙක් පැනයන සිනන් පසුපස හඹා ගියහ. ටික දුරක් දිවගිය සිතන් සයනයිඞ් කරලක් ගිලදමා බිම ඇද වැටුණි.

මේ අතර රෝහලට ගෙනයෑමෙන් පසු වෛද්‍යවරු පැවසුවේ නිලබ්දීන්ගේ මොළයට යකඩ කැබලි කීපයක් ඇතුල්වී ඇති බවත් ඔහුගේ දිවි ගැලවී ඇත්තේ අනූනවයෙන් බවත්ය.

ප‍්‍රභාකරන් විසින් නිලබ්දීන්ව ඝාතනය කිරීමට තීරණය කළේ ඔහු මුතුර්හි කොටි පාලන ප‍්‍රදේශයකට ගොස් තෑගි පෙට්ටියක තිබී ප‍්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ සොයාගැනීම නිසාය.

කොටුවේ මහ බැංකු බෝම්බයට ප‍්‍රභාකරන් සම්බන්ධ බවට තහවුරු වූයේ මේ ඇඟිලි සලකුණ නිසාය. මෙතෙක් කිසිදු අපරාධයකට ප‍්‍රභාකරන් සම්බන්ධ බවට සනාථවූයේ නැත. එහෙත් මහ බැංකු බෝම්බ ප‍්‍රහාරයට දියත් කළ රගුනාදන් එම ප‍්‍රහාරයෙන් පැන යද්දී පිටකොටුවේදී අසුවිය.

dasawasara4අත්අඩංගුවට ගැනීමෙන් පසු රගුව භාරදෙනු ලැබුවේ නිලබ්දීන්ටය. චතුර ලෙස ද්‍රවිඩ භාෂාව කතා කළහැකි නිලබ්දීන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී රගු පැවසුවේ ප‍්‍රභාකරන් තෑගිකළ තෑගි පෙට්ටිය මුතූර් වතු යායක පිහිටි තම පියාගේ නිවසේ ඇති බවයි.

මේ තෑගි පෙට්ටිය සොයාගැනීමට නිලබ්දීන් තවත් විමර්ශන නිලධාරි පහක් සමග මුතූර් හමුදා කඳවුරට ගිය අවස්ථාවේ කඳවුර භාර නිලධාරියා ඔහුට සහය වීම ප‍්‍රතික්‍ෂේප කළේය. රගුනාදන්ගේ මස්සිනාද නිලබ්දීන් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු නිවස පෙන්නුම් කිරීමට ඉදිරිපත් විය.

මරාගෙන මැරෙන කොටි ළඟ තිබූ තර්ජනාත්මක කාඞ්පත්

කොටි පාලන ප‍්‍රදේශයට ගියහොත් ආපසු එන්න ලැබෙන්නේ නැතැයි හමුදා නිලධාරියා අනතුරු ඇඟවීය.

එහෙත් මැරෙන්නේ එක වතාවයි යැයි පැවැසූ නිලබ්දීන් සහ ඔහුගේ පිරිස මුතූර් වතුයායට ගොස් රගුගේ තෑගි පෙට්ටිය සොයාගනු ලැබුවේ එය ට‍්‍රන්ක් පෙට්ටියක සඟවා තිබියදීය. එහෙත් ප‍්‍රභාකරන්ට මේ බව හෙළිවූයේ නැත.

nila2තමා මහ බැංකු බෝම්බ ප‍්‍රහාරයට වගකිවයුතු බව තහවුරු කිරීමට සමත්වූ එකම පොලිස් නිලධාරියා නිලබ්දීන් බව අනාවරණය වීම නිසා ප‍්‍රභාකරන් දැඩිලෙස කෝපාවිෂ්ට විය. වහාම මුතූර්හි කොටි බුද්ධි සේවා කි‍්‍රයාකාරීන් මරාදමන ලෙස නියෝග කළ ප‍්‍රභාකරන් විගස නිලබ්දීන් ඝාතනය කරන්නැයි බුද්ධි නායක පොට්ටු අම්මාන්ට නියෝග කරනු ලැබීය.

රගුනාදන්ට ප‍්‍රභාකරන් දුන් තෑගි පෙට්ටියේ තිබී සොයාගත් ඇඟිලි සලකුණු තමිල්නාඩුවේ පොලිසියේ ඇති ප‍්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සමග සැසඳිණි. එහි ප‍්‍රතිඵලය වූයේ මහ බැංකු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධව ප‍්‍රභාකරන් වරදකරුවී වසර 200 කට සිරයට නියම වීමයි.

ප‍්‍රභාකරන් ජීවත්ව සිටියදීම මහ බැංකු නඩුව හමුවේ සාක්කි දුන් නිලබ්දීන්ට පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිසි ආරක්‍ෂාව හෝ සහය ලැබුණේ නැත. මම දිවි නොතකා රට වෙනුවෙන් කැපවූවා. ප‍්‍රභාකරන් මගේ බිරිය සහ දියණිය පැහැරගෙන මාව ගෙන්වා ගැනීමටද සැලසුම් කර තිබුණා යැයි නිලබ්දීන් කීවේය.

අවසානයේ ඔහුට වැටුප් සහ විශ‍්‍රාම වැටුප් පවා ලබාගැනීමට හැකිවූයේ අධිකරණයේ නඩුවක් පැවරීමෙන් පසුවය. දිවි බේරා ගැනීමට මට රටින් පැනයාමට සිදුවුණා. සටන්විරාම ගිවිසුම නිසා මම දිවි බේරාගැනීමට දැඩි උත්සාහයක් ගැනීමට සිදුවුණා යැයි නිලබ්දීන් කියා සිටියේය.

ඔහු විසිවසරක් තුළ කොටි ත‍්‍රස්තවාදී ප‍්‍රහාර 2000 කට අධික සංඛ්‍යාවක් ගැන විමර්ශන පවත්වා ඇත. අත්අඩංගුවට ගනු ලැබූ කොටි සංඛ්‍යාව 1700 කට සමානය.

එහෙත් පොලිස් සේවයෙන් ඉල්ලා අස්වන විට ඔහු ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකයකු විය. ඊට එහා උසස්වීමක් ඔහුට නොලැබුණි.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අවිසාලිංගම් අමිතර්ලිංගම් හිටපු ආරක්‍ෂ රාජ්‍ය ඇමැති රන්ජන් විජේරත්න ඝාතනය, දළඳා මාළිගාවට එල්ලවූ ප‍්‍රහාරය, හිටපු නාවික හමුදාපති කැලැන්සි ප‍්‍රනාන්දු ඝාතනය, ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයට එල්ලවූ ප‍්‍රහාරය ජනාධිපති ආර්. පේ‍්‍රමදාස ඝාතනය, හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනය සඳහා තමිල්නාඩු රහස් පොලිසිය සහයවීම, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඝාතන සැලසුම විභාග කිරීම ඇතුළු කොටි ප‍්‍රහාර රැසක් ගැන විමර්ශනය කළ නිලබ්දීන්ට පොලිස් දෙපාර්තමේන්තුව තක්සේරු කර තිබුණේ රුපියල් ලක්‍ෂයකට පමණකි.

ඒ මහ බැංකු බෝම්බයට අදාළව ප‍්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ සොයාගැනීම නිසාය.

කොළඹ හැව්ලොක් පාරේදී රන්ජන් විජේරත්න ඝාතනය වීමෙන් පසු කොටි තරුණියක විසින් තමිල්නාඩුවේ කොටි බුද්ධි සේවාව වෙත ‘කුකුළා මළා. යන අන්වර්ථ නාමයකින් යවනු ලැබූ පණිවුඩය පවා සොයාගැනීමට නිලබ්දීන්ට හැකිවිය.

එසේම එල්ලාලන් පඩෙයි හෙවත් එල්ලාලන් බළකාය නමින් රජයේ සහ පුද්ගලික ආයතනවලට යවා තිබූ තර්ජනාත්මක ලිපි නිසා නිලධාරීන් මෙන්ම සේවක සේවිකාවන්ද බියට පත්වී තිබුණි.

එහෙත් උතුරේ සිට කොළඹට පැමිණි එල්ලාලන් පටෙයි ලිපි තැපැල් කිරීමට කි‍්‍රයාකළ සිවකුමාර් කොටහේනේදී අල්ලා ගැනීමට නිලබ්දීන්ට හැකිවීමෙන් කොටි තර්ජනය නතර විය.

මේ හැර ප‍්‍රභාකරන් කොළඹ තරු හෝටල්
කීපයක එකවර බෝම්බ පිපිරවීමටද සැලසුම් කළේය. එම සැලසුමට අදාලව රත්මලානේ නිවසක සඟවා තිබූ බෝම්බ කට්ටල රැසක් සොයාගත් නිලබ්දීන් එහි මහමොළකරුවන්ද අල්ලා ගත්තේය.

කොළඹ රහස් පොලිසියට කටුනායක ගුවන්තොටුපලට ප‍්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම සොයාගැනීමට හැකිවුණේ ඊට මුල්වූ කොටියා නිලබ්දීන් අල්ලා ගැනීමත් සමගය. එහෙත් නිලබ්දීන්ට ලැබුණේ රුපියල් 25000 කි. ඔහුට වඩා රහස් පොලිසියේ යතුරු ලියන්නියටද වැඩි මුදල් තෑගි හිමිවිය.

මේ පසුබිම මැද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග එවකට රූපවාහිනි සංස්ථාවේ ප‍්‍රධානියා ලෙස පත්කර සිටි වසන්ත රාජා නැමැත්තා අමතමින් කොටි මාව මරන්න සැලසුම් කර තිබේද යන්න ගැන විමසන ලෙස ඉල්ලා තිබුණි.

වසන්ත රාජා යාපනයට ගොස් ඒ බව කොටි න්‍යායචාර්ය ඇන්ටන් බාලසිංහම්ගෙන් විමසීය.

පිස්සුද? අපි ඇයව මරන්නේ නැහැ. ඇය අපේ මිත‍්‍ර විජය කුමාරතුංගගේ බිරියයි. ඇය සමග ප‍්‍රභාකරන් තරහ නැහැ යැයි බාලසිංහම් කියා සිටියේය.

බාලසිංහම්ගේ මේ ප‍්‍රකාශය වසන්ත රාජා නැමැත්තා වීරයකු සේ චන්ද්‍රිකා කුමාරතුංගට පවසා ඇත.

මෙම සිද්ධියෙන් කලකට පසු නිලබ්දීන් කොටහේනේදී මුහුන්දන් නමැත්තකු අල්ලා ගත්තේය. ප‍්‍රශ්න කිරීම්වලදී මුහුන්දන් පැවසුවේ චන්ද්‍රිකාගේ නිවසට කමාන්ඩෝ ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවයි. එහෙත් හිටපු ජනපතිනිය ඒ බව විශ්වාස කළේ නැත.

මාස කීපයකට පසු කොළඹ පුරහලේ දේශපාලන රැලියකට පැමිණි ඇයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල විය. චන්ද්‍රිකා කුමාරතුංග දිවිගලවාගනු ලැබුවේ ඇගේ වෙඩි නොවදින බෙන්ස් රියේ තිබූ කෙල්වර් ආවරණය නිසාය.

කොටි බුද්ධි සේවාව මෙහෙයවූ පොට්ටු අම්මාන් විසින් නිලබ්දීන්ගේ ත‍්‍රස්ත මර්දන ජාලය බිඳදැමීම සඳහා මුලින්ම ගත් පියවර වූයේ පොලිස් පරීක්‍ෂක ජයරත්නම් අල්ලාගෙන වන්නියට ගෙන ඒමයි.

 ජයරත්නම් විස්කි පානයට යොමුවී සිටියා. නුඹව කොටි අල්ලා ගනීවි යැයි මා කීපවිටක්ම ඔහුට අනතුරු ඇඟවූවා. එහෙත් ඊට සවන් දුන්නේ නැහැ. පොට්ටු අම්මාන් එවා තිබූ කල්ලියක් ජයරත්නම් සමග මිත‍්‍රවී ඔහුට ගල්කිස්ස හෝටලයට රැගෙන ගොස් මත්පැන් බොන්නදී වන්නියට ගෙන ගියා. වන්නියේදී කොටි ජයරත්නම්ගෙන් මගේ දුර්වලතා ගැන ප‍්‍රශ්න කර තිබුණා. පසුව ජයරත්නම්ට වෙඩිතබා මරා පුළුස්සා දමනු ලැබූ බව මට වාර්තා වුණා යැයි නිලබ්දීන් අනාවරණය කළේය.

කොටින්ගේ ටොසි බුද්ධි සේවය කෙතරම් සූක්‍ෂමව කි‍්‍රයාකළාද කිවහොත් ජාතික ඔත්තු සේවයට පවා ශංකර් නමැති කොටි චරපුරුෂයකු ඇතුළු කර තිබූ බව හෙළිකළ නිලබ්දීන් ජනාධිපති ආර්. පේ‍්‍රමදාස ඝාතනයට අදාළ මෙහෙයුම තමා සොයාගත් බව කියා සිටියේය.

ආර්. පේ‍්‍රමදාස ඝාතනය කිරීම සඳහා කොටි මුලින්ම සැලසුම් කර තිබුණේ ආමර්වීදිය මහල් නිවාසයක සිට පේ‍්‍රමදාස මහතා සිටින ස්ථානය වෙත පැනීම බව පැවසූ නිලබ්දීන් එහෙත් ඉලක්කය වැරදී යනු ඇති බවට සැකෙන් සැලසුම වෙනස්කළ බවද හෙළි කළේය.

මහනුවර දළදා මාලිගාවට එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ ප‍්‍රධාන මොළකරු අල්ලා ගත් තමා එහි සුලමුල සොයාගත් බවද කිවේය.

කොටි සංවිධානය කොළඹ ජනතාව බියට පත්කිරීමට තවත් උපක‍්‍රමයක් යෙදුවා. ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වෙත කහ පැහැති කාඞ්පතක් ලබාදීමයි.

එම කාඞ්පතේ මෙලෙස සඳහන් කර තිබුණි.

‘‘මගේ ශරීරයේ පුරා වෙඩි බෙහෙත් සවිකර ඇත. මගේ ගමනට අවහිර ඇතිවූවොත් වෙඩි වැදෙයි. මට යන්න දීපන්"

1996 මාර්තු 16 දා සවස් යාමයේ නිලබ්දීන් ඝාතනය කිරීමට පොට්ටු අම්මාන් විසින් නිලබ්දීන් මරාදැමීම සඳහා දියත් කළ මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් සිද්ධියවූ ස්ථානය අසල පිහිටි බස් නැවතුම්පළෙහි සිටි මගී කාන්තාවක්ද ති‍්‍රරෝද රථ රියැදුරෙක්ද ජීවිතක්‍ෂයට පත්වූහ.

මේ පොලිස් ත‍්‍රස්ත මර්දකයාගේ සොයාගැනීම් වලින් විශාලතම සොයාගැනීම වූයේ වැල්ලවත්තේ රාසවල්ලි පාරේ නිවසක තිබූ බෝම්බ ඩෙටනේටර් සහ වෙනත් අවි හමුවීමයි.

නිලබ්දීන් කොටි සංවිධානයට එරෙහිව සටන් වදින අවස්ථාවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔහුට සහයවූවත් බියගුලූ නිලධාරීන් ඊට අකැමැති විය.

ඇතමුන් නිලබ්දීන් කොටි සමග එක්ව කි‍්‍රයාකළ බවට බොරු ප‍්‍රචාරද ගෙන ගියහ. එහෙත් ඔහු නොසැලී සිටියේය.

ඊනියා සටන් විරාම ගිවිසුමක් සමගම ඔහුගේ ආරක්‍ෂාවද බිඳ වැටුණි. ගල්කිස්ස පොලිසියේ මුල්ලකට දමා සිටි නිලබ්දීන් එහි සේවය කළේ මරුවා පෙනි පෙනීය.

 එහෙත් පොට්ටු අම්මාන්ට නිලබ්දීන්ගේ නිසි ස්වරූපය හඳුනාගැනීමට නොහැකිවිය. කොටින්ට වැරදුණේ මම කල් තියා සතුරන් හඳුනාගෙන තිබූ නිසා යැයි ඔහු කීවේය.

දිවි බේරාගැනීම සඳහා මැද පෙරදිග රටකට පැනගිය නිලබ්දීන් චරිතය පොලිසිය හා ජනතාවට අමතක විය. රට වෙනුවෙන් කළ උදාර සේවාව උදෙසා ඔහුට රාජ්‍ය සම්මානයක් හිමිවූයේ නැත. එය අතිශය ඛේදනීය තත්ත්වයකි. අද ප‍්‍රභාකරන් හෝ පොට්ටු අම්මාන් නැත. එහෙත් මරාගෙන මැරෙන කොටි කාන්තාවකගෙන් දිවි ගලවාගත් නිලබ්දීන් ජීවතුන් අතරය.

ඔහු ප‍්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සොයාගැනීම සඳහා දිවි නොතකා මුතූර් කොටි අඩවියට ගිය කතාව හෙළි කළේ මා සමග පමණකි. ප‍්‍රභාකරන්ගේ ඇඟිලි සළකුණ නිසා වසර 200 කට නියමවීම නිසා කෝපයට පත් කොටි න්‍යායචාර්ය ඇන්ටන් බාලසිංහ කොළඹ ද්‍රවිඩ පුවත්පතකට කර තිබූ ප‍්‍රකාශයක්ද නිලබ්දීන් හෙළිකළේය.

‘අපි උඹලගේ නායකයන්ව අල්ලාගෙන වසර 1000 කට සිරයට යවනවා නිලබ්දීන්ටත් බරපතළ දඬුවමක් දෙනවා.

එහෙත් පිළිකා රෝගයට ලක්වී සිටි ඇන්ටන් ස්ටැනිස් ලාවුස් හෙවත් ඇන්ටන් බාලසිංහම් ලන්ඩනයේදී මියගියේය.

මෙවන් පසුබිමක් මැද නිලබ්දීන් කොටි රහස් හෙළිකිරීමට ඉදිරිපත්වූයේ ඔහු විශ‍්‍රාම යෑමෙන් පසුවය. අපි විසින් කළ විමර්ශනයේදී හෙලිවූයේ කොළඹ බ්ලූමැන්ඩල් නම්වූ නිවසක පදිංචිවී සිටි ඇඳුම් මසන්නියක්වූ මනි ඇන්ටිගේ සහ සුපිරි ව්‍යාපාරික කාන්තාවකගේ සහයෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වෙත සමීපවීමට මුහුන්දන් නමැති කොටි චරපුරුෂයා දියත් කළ සැලසුමද නිලබ්දීන්ට සොයාගත හැකිවිය.

මනි ඇන්ටි නමැත්තියගේ පුත‍්‍රයා සුවපත්කරදුන් කොළඹ පුද්ගලික රෝහලක ද්‍රවිඩ වෛද්‍යවරියක මාර්ගයෙන් චන්ද්‍රිකා කුමාරතුංග වෙත සමීපවීමට මුහුන්දන් දැඩි උත්සාහයක් ගනු ලැබීය. මනි ඇන්ටි පසුව අත්අඩංගුවට ගනු ලැබූ අතර කාරියපයර් නමැති වෛද්‍යවරියකගෙන්ද ප‍්‍රශ්න කරනු ලැබීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ දිනපොත භාරව සිටියේ මෙම ප‍්‍රබල ව්‍යාපාරික කාන්තාවකි. එසේම මුහුන්දන් කොළඹ ද්‍රවිඩ පුවත්පතක වාර්තාකරු කාඞ් පතක්ද සකස් කරගෙන චන්ද්‍රිකා කුමාරතුංගගේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවලටද සහභාගිවී
dasawasara5තිබුණි.

එසේම හිටපු ජනාධිපතිනිය නතර වී සිටි අරලියගහ මැඳුරට කොටි කමාන්ඩෝ ප‍්‍රහාරයක් එල්ල කර එම මැදුර අල්ලා ගැනීමටද මුහුන්දන් සැලසුම් කර තිබුණි.

මේ අතර කටුනායක ගුවන් තොටුපළට එල්ලවූ ප‍්‍රහාරයට වගකිවයුතු කොටි අල්ලා ගැනීමට රහස් පොලිසියට නොහැකිවී සිටියදී නිලබ්දීන් විසින් පාමංකඩදී අත්අඩංගුවට ගත් ආරාමුගනාදන් සුරේශ්ගෙන් කටුනායක ප‍්‍රහාරයේ සුලමුල හෙලිවිය.

මේ හැර ශ‍්‍රී දළදා මාලිගාවට එල්ලවූ ප‍්‍රහාරයේ මහමොළකරු ජීවන් මාස්ටර් නැමැත්තා මඩකලපුවේ සිට කොළඹට එන අතරේ අල්ලා ගැනීමටද නිලබ්දීන්ට හැකිවිය.

එසේම කොටි මරාගෙන මැරෙන බෝම්බයෙන් දිවිගලවා ගත් නිලබ්දීන් එම බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ කොටින්ට උදව් කළ වත්තල පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක පාරුක්වද අල්ලා ගත්තේය.

නිලබ්දීන් ඊශ‍්‍රායල් මොසෑඞ් සේවයේ සිටියානම් ඔහුට එරට රාජ්‍ය සම්මානය හිමිවනු ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles