The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

m(ඊ. එල්. බී. හුරුල්ලේ මහතා අභාවප්‍රාප්ත වී වසර 09 ක්‌ ගතවීම නිමිත්තෙන් සකස්‌ කරන ලද ලිපියකි.)

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක්‌ පරිදි, ලංකාවේ ගම්බද පන්සල් 10,000 ක්‌ සඳහා මධ්‍යම සංස්‌කෘතික අරමුදලෙන්, (සංස්‌කෘතික ත්‍රිකෝණ) මූල්‍යමය ආධාර ලබාදීමේ වැඩසටහනක්‌, වත්මන් ආණ්‌ඩුව යටතේ ක්‍රියාත්මක කරමින් එහි ආරම්භක උත්සවය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් පසුගිය දිනක පවත්වන ලදි. එය ඉතා හොඳ ප්‍රශංසා කළ යුතු කටයුත්තකි. එහෙත් එහිදී සංස්‌කෘතික ත්‍රිකෝණ අරමුදල පිළිබඳ කථිකයන් විවිධාකාරයෙන් විස්‌තර කළත් මෙකී සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩසටහන ආරම්භ කළ එකල්හි සංස්‌කෘතික අමාත්‍ය අභාවප්‍රාප්ත ඊ. එල්. බී. හුරුල්ලේ මැතිතුමා පිළිබඳ මතක්‌ කිරීමක්‌ සිදු නොවීම කනගාටුවට කරුණකි.

ලෝක සංස්‌කෘතික ස්‌මාරක හඳුන්වාදීමේ හා එකී උරුමයන් රැක ගැනීමේ මහා වැඩපිළිවෙලක්‌ UNESCO යුනෙස්‌කෝ සංවිධානය විසින් දියත්කර තිබූ එකල්හි 1977 සංස්‌කෘතික අමාත්‍ය ධුරයට පත්වූ හුරුල්ලේ ඇමැතිතුමා විසින් 'සංස්‌කෘතික ත්‍රිකෝණය' නමැති තම අදහස එම සංවිධානයේ මහා සමුළුවට ප්‍රංශයේ පැරිස්‌ නගරයේදී ඉදිරිපත් කර එකී සංවිධානයේ ලෝක ව්‍යාපෘති ලේඛනයේ 19 වැනි ව්‍යාපෘතිය ලෙස පිළිගැනීමට කටයුතු කරන ලදි. ඒ අනුව අනුරාධපුරය, පොළොන්නරුව හා මහනුවර යන නගර 3 යා කරන සැතපුම් සියයකට ආසන්න ත්‍රිකෝණය ඇතුළත ව්‍යාපෘති 6 ක්‌ ක්‍රියාත්මක කිරීමට යුනෙස්‌කෝ සංවිධානයේ අනුමැතිය ලබාගැනීමට හුරුල්ලේ ඇමැතිතුමාට හැකි විය.

අනුරාධපුර ඡේතවනය ස්‌ථූපය, අභයගිරි ආශ්‍රමය, සීගිරිය ජල උද්‍යානය, පොළොන්නරු ආලාහන පිරිවෙන, දඹුල්ල ලෙන් විහාරය හා මහනුවර එකී ව්‍යාපෘති 6 වේ. මෙකී ස්‌ථානවල කැණීම් කර යටව තිබූ ඓතිහාසික වටිනාකම් ගොඩගෙන, ප්‍රතිසංස්‌කරණය කර අද දකින්නට තිබෙන තත්ත්වයට ගෙන ඒමටත් මධ්‍යම සංස්‌කෘතික අරමුදලට ලැබෙන ආදායම වැඩි වීමෙන් රට පුරා ඇති පන්සල්වල ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා ආධාර කිරීමටත් හැකි වූයේ හුරුල්ලේ ඇමැතිතුමාගේ මෙකී සංස්‌කෘතික ත්‍රිකෝණ සංකල්පය නිසාවෙනි.

1919 ජනවාරි 19 දින අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ හොරොව්පොතාන මොරකෑව ග්‍රාමයේදී දිවංගත ටී. බී. හුරුල්ලේ මැතිතුමා සහ ඇලිස්‌ බුලන්කුලම හුරුල්ලේ මැතිනියගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය ලෙස ඊ. එල්. බී. හුරුල්ලේ මැතිතුමාගේ උත්පත්තිය සිදුවිය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, යාපනය ශාන්ත පැට්‌රික්‌ විද්‍යාලය යන විද්‍යාලවලින් අධ්‍යාපනය ලද මෙතුමා 1938 දී මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ ආදායම් පාලක නිලධාරියකු ලෙසින් රාජ්‍ය සේවයට එක්‌විය. පසුව උතුරු වව්නියාව, උතුරු මාතලේ ද, අනතුරුව කහටගස්‌දිලිය හුරුළු පළාතේ ද මෙතුමා සේවය කරන ලදි. 1956 වසරේ දේශපාලනයට පිවිසි හුරුල්ලේ මැතිතුමා ආසන 8 දක්‌වා තම එක්‌සත් ජාතික පක්‍ෂය පරාජය ලබද්දී නවක මන්ත්‍රීවරයකු ලෙසින් හොරොව්පොතාන ආසනය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට හැකි විය. 1960 මාර්තු, ජූලි 1965 මාර්තු මැතිවරණවලින් ද ජයගත් මෙතුමා 1965 ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ රජයේ ප්‍රවාහන ඇමැතිවරයා ලෙස පත්ව (Air Ceylon) එයාර් සිලෝන් ආයතනයට (Tridant) ට්‍රයිඩන්ට්‌ ජෙට්‌ ගුවන් යානයක්‌ ප්‍රථම වතාවට ලබාදීමට කටයුතු කරන ලදි. 1977 මහ මැතිවරණයෙන් ඉතා පහසුවෙන්ම ජයගත් මෙතුමා සංස්‌කෘතික ඇමැතිවරයා ලෙසින් ඡේ. ආර්. ජයවර්ධන රජය යටතේ පත් කරන ලදි. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මෙරටට වැඩම කළ අවස්‌ථාවේ පැමිණි පරිවාර රාජකීය පිරිස අතරින් පැවත ආ පරපුරකට ඊ. එල්. බී, හුරුල්ලේ මහතා අයත් වීමෙන් බෞද්ධ සංස්‌කෘතිය කෙරේ සැබෑ ආදරයක්‌ ඇත්තකු වන්නට ඇත.

දඹදිව සිට කපිලවස්‌තු සර්වඥධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවට වඩම්මා එම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වලදී දින 60 ක්‌ තිස්‌සේ මහජනයාට වන්දනාමාන කිරීමට අවස්‌ථාව සලසා දුන්නේ එසේ පත්වූ ඊ. එල්. බී. හුරුල්ලේ හිටපු සංස්‌කෘතික ඇමැතිතුමා විසිනි. මිහින්තලාවේදී ත්‍රිපිටක ස-Cධායනාවක්‌ පැවැත්වීම, දඹදිව ලුම්බිණියේ බෞද්ධයන්ට වන්දනාමාන කිරීමට අවශ්‍ය අංගෝපාංග සකස්‌කරලීම, බෞද්ධ ශාසනික කටයුතු විධිමත්ව කරගෙන යැම සඳහා 1981 ජුනි 01 දින බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ආරම්භ කිරීම, දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ද නොමිලේ පොත් ලබාදීම, දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග සඳහා වූ සහතික පිළිගත හැකි වන පරිද්දෙන් එකී විභාග, විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට හා සහතිකපත් දීමට කටයුතු කිරීම, පොත් මුද්‍රණය කර ගැනීමට තරම් ආර්ථික තත්ත්වය සතුටුදායක නොවූ බෞද්ධ පොත්පත් කරන ලේඛකයන් හට ආධාර දීම, එතුමා කළ ශාසනික සේවාවන්ය. තවද නේපාලයට යැමට වන්දනාකරුවන්ට වූ අවහිරතා මගහරිමින් වීසා ලබා ගැනීමටත්, අඩු වියදමින් දඹදිව වන්දනා කිරීමට අවස්‌ථාව සැලසීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් දඹදිව වන්දනා ගමන් සංවිධානය කිරීමත් ඉටුකරන ලදි. අනුරාධපුර, ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩවාසනා ස්‌ථානයෙන් ලබාගත් බෝධි අංකුර සෑහෙන සංඛ්‍යාවක්‌ ලෝක බෞද්ධ ජනතාවගේ හිතසුව පිණිස විවිධ රටවලට ලබාදීමට ද මෙතුමා විසින් කටයුතු කරනු ලැබීය. විහාර දේවාලගම් පනත සංශෝධනය කරමින් විහාර දේවාල සතු දේවාලවලින් ලැබෙන ආදායම වැඩිකර ගැනීමට විහාර දේවාලවලට අවස්‌ථාව සැලැස්‌විය. දසසිල් මාතාවන් ලේඛනගත කර, හැඳුනුම්පත් ලබාදීම ද දහම් දැනුම ලබාදීමට පංති හා දේශන මාලා පැවැත්වීම ද, ආරම්භ කිරීමෙන් දසසිල් මාතාවන්ට ද විශාල සේවාවක්‌ සිදුවිය. 1980 දී තායිලන්තයේ පැවැත්වූ ලෝක බෞද්ධ සම්මේලනයේ 13 වැනි සැසිවාරයේදී මෙතුමා විසින් කරන ලද යෝජනාවක්‌ පරිදි ලෝක බෞද්ධ නායකයන්ගේ හා විද්වතුන්ගේ සංවිධානයක්‌ පිහිටුවා ගන්නා ලදි. එහි පළමු සැසිවාරය 1982 ශ්‍රී ලංකාවේදීම පැවැත්වීමට හැකි විය. 1984 දී ලෝක බෞද්ධ සම්මේලනයක්‌ මෙරටදී පවත්වනු ලැබුවේ මෙතුමාගේ උත්සාහය නිසාය.

හොරොව්පොතාන, අනුරාධපුර, ගලගෙදර, තෝලංගමුව, දියතලාව යනාදී මධ්‍ය මහ විදුහල්වල පාසල්හි විද්‍යා කෞතුකාගාර ආරම්භ කිරීම, දිවයිනේ දුර බැහැර පාසල් සිසුන් ඇතුළු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ප්‍රදර්ශන ලාච්චු 58 කින් යුක්‌ත වන පරිදි අලංකාර බස්‌රථයක ජංගම කෞතුකාගාරයක්‌ සකස්‌කර ක්‍රියාත්මක කිරීම, අබලන්ව තිබූ අනුරාධපුර හැමි කෞතුකාගාරය ප්‍රතිසංස්‌කරණය කිරීම, කොළඹ ස්‌වභාවික විද්‍යා කෞතුකාගාරයේ වැඩ නිම කිරීම, රූකඩ කෞතුකාගාරයක්‌ හා කොළඹ පිටකොටුවේ ඕලන්ද යුග කෞතුකාගාරය ආරම්භ කිරීම, දෙස්‌ විදෙස්‌ විද්වතුන් ලියූ සංස්‌කෘතික හා විද්‍යාත්මක ග්‍රන්ථ සහ වටිනා දුර්ලභ ග්‍රන්ථ රාශියක්‌ නැවත මුද්‍රණය කර, කෞතුකාගාර පුස්‌තකාලයේ තැන්පත් කිරීම ද, කරන ලද්දේ අභාවප්‍රාප්ත හුරුල්ලේ ඇමැතිතුමා සංස්‌කෘතික ඇමැතිවරයා ලෙසින් කටයුතු කරමිනි.

මෙතෙක්‌ මෙම ලිපියේ සඳහන් කළේ හුරුල්ලේ මැතිතුමා සංස්‌කෘතික ඇමැතිවරයා ලෙසින් අප රටට කළ සේවාවන්වලින් බිඳකි. එතුමා හොරොව්පොතාන ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් ද විශාල සේවාවක්‌ කරන ලදි.

හොරොව්පොතාන ආසන්නයේ පිහිටි විශාලම ගොවි ජනපදය ගලෙන්බිඳුනුවැව හුරුළුවැව පිහිටි ගොවි ජනපදයයි. මාඝ ආක්‍රමණයෙන් පසුව වැව් බැම්ම කඩා දැමීමෙන් පසුව වනගතව පැවති හුරුළුවැව දිවංගත අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානායක මැතිඳු විසින් ප්‍රතිසංස්‌කරණය කරවා ගොවි ජනතාව පදිංචි කර 1952 වසරේදී ගොවි ජනතාවට භාර දෙන අවස්‌ථාවේදී අප හුරුල්ලේ මැතිතුමා හුරුලු පළාතේ ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරි වශයෙනුත්, එතුමාගේ සොහොයුරෙකු හුරුලුවැව වාරිමාර්ග ඉංජිනේරු ලෙසිනුත් උත්සව කටයුතු සංවිධානය කරන ලදි. ඉන් වසර 25 කට පමණ පසු හොරොව්පොතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසින් ලෝකබැංකු ආධාර යටතේ මහා වාරිමාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය මගින් හුරුළුවැව ව්‍යාපාරයේ සියලුම ඇළ වේලි සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්‌කරණය කිරීමට එතුමා කටයුතු කරන ලදි.

එපමණක්‌ නොව හොරොව්පොතාන ආසනය පුරා ඇති සුළු හා මධ්‍යම ප්‍රමාණයේ වැව් 765 න් ඉතා වැඩි ප්‍රමාණයක්‌ ආසියානු සංවර්ධන බැංකු ආධාර මත ක්‍රියාත්මක කළ වියලි කලාපීය සංවර්ධන යෝජනා ක්‍රමය හා ග්‍රාමීය වාරිමාර්ග පුරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්‌කරණය කරවීමට මෙතුමාට හැකි විය.

1977 ඡේ. ආර්. ජයවර්ධන අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එ.ජා.ප. රජයක්‌ පිහිටුවන අවස්‌ථාව වන විටත් ගලෙන්බිඳුනුවැව නගරයට පවා විදුලිය සැපයුවේ ජෙනරේටරයක්‌ මගින් රාත්‍රියට පමණි. එහෙත් හුරුල්ලේ ඇමැතිතුමාගේ කාර්යශූරත්වය නිසා එම නගරයට පමණක්‌ නොව හුරුළුවැව ජනපදයටත්, මුළු ආසනය පුරා ග්‍රාමීය ප්‍රදේශවලටත් ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබාදීමට හැකි විය.

මෙතුමා සංස්‌කෘතික ඇමැතිතුමා ලෙස පත්වන විට ආසනයේ වූ සමහර රෝහල් වෛද්‍යවරුන් නැතිව වැසී තිබුණි. වෛද්‍ය හිඟයට තාවකාලික පිළියමක්‌ ලෙස එදා රජය විදේශවලින් වෛද්‍යවරුන් ගෙන්වන ලදි. ඒ අනුව බුරුමයෙන් පැමිණි වෛද්‍යවරයකු යකල්ල රෝහලට (හුරුළුවැව පරියන්ත ඒකකය) අනුයුක්‌ත කළ අතර එතුමා මගින් සර්ප විෂට ද ප්‍රතිකාර ලබා දෙමින් ජීවිත රැසක්‌ බේරා ගැනීමට ද කටයුතු කරන ලදි. මෙම රෝහල පමණක්‌ නොව ආසනය පුරා පිහිටි රෝහල් දියුණු කිරීමට අප ඇමැතිතුමා කටයුතු කරන ලදි.

සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාණයට දෙතුන් ගුණයකින් ඇස්‌තමේන්තු සකස්‌කරවා තම සාක්‌කුවට දමා ගන්නා දේශපාලනඥයන් මෙන් කටයුතු නොකළ මෙතුමා තම ආසනයේ ගම්බද පාරවල්, කුඩා වැව් යනාදිය ශ්‍රමදාන මගින් ප්‍රතිසංස්‌කරණය කරවා රජයට මුදල් ඉතිරි කර දීමට කටයුතු කර ඇත.

අල්ලස, දූෂණය පිටුදැකී, සාමකාමී, ජාති කුල ආගම් භේදය නොසැලකූ කරුණාභරිත දයානුකම්පාවෙන් පිරි හදවතක්‌ තිබූ අවංක දේශපාලනඥයකු වූ ඊ. එල්. බී. හුරුල්ලේ ඇමැතිතුමා මංමාවත්, නළ ලිං, වගා ලිං, පන්සල්, පල්ලි, මැදි විදුහල්, විද්‍යාගාර, කර්මාන්තශාලා, වැව් අමුණු, විදුලිය යනාදිය ලබාදෙමින් හා ප්‍රතිසංස්‌කරණය කිරීමෙන් හොරොව්පොතාන ආසනයට ආලෝකයක්‌ ලබාදෙන ලදි.

එතුමාට නිවන් සුව පතමි.

එච්. එම්. විමලරත්න

යකල්ල

මෙගොඩවැව

ගලෙන්බිඳුනුවැව

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

dul250

නවලිය

nava250

දියග

kimb1new

මීවිත

waligama250

More Articles