Divaina - පුතෙකු මිස දුවෙකු වෙන්නට වරම් නැති ඇෆ්ගන් දූවරු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

afgen1

පවුලකට පුතෙක්‌ ඉපදීම සමරන්නට තරම් ප්‍රීතිමත් කාරණයකි. දුවෙක්‌ ඉපදුණහොත් එය මහත් අවමානයකි. ඇෆ්ගනිස්‌ථානයේ පිළිගැනීම එහෙමය. ඉතින් පිට පිටම කෙල්ලන්ම හයක්‌ ඉපදුණ සෙතාර්ගේ පවුලට අවමානම හයකි. ආඩම්බර වෙන්නට එකම එක කාරණයක්‌වත්, එකම එක පුතෙක්‌වත් නැත. ඒ නිසා සෙතාර්ගේ දෙමාපියෝ තීරණයක්‌ ගත්හ. ඒ තීරණය ක්‍රියාත්මක කරන්නට ඔවුන් තෝරාගත්තේ සෙතාර්වය. අම්මාත් තාත්තාත් එක්‌ව සෙතාර්ගේ දිගු කෙස්‌ වැටිය කොල්ලෙකුගේ මෙන් කෙටි කර කැප්පවූහ. සාම්ප්‍රදායික ඇෆ්ගන් මුස්‌ලිම් පිරිමි දරුවෙකු අඳින ආකාරයේ බුරුල් කලිසමකුත්, ලොකු කමිසයකුත් කෙටි කබායකුත් ඇන්දවූහ. දැන් සියල්ලම හරිය. සෙතාර්ලාගේ පවුලටත් පුතෙකු සිටී. සෙතාර් දැන් තව දුරටත් දුවක නොවේ. පිරිමි දරුවෙකි.

ඇෆ්ගන් සමාජයේ ගැහැනු දරුවන්ට ඇති සීමා මායිම් බාධක දැන් සෙතාර්ට නැත. ඇයට දැන් ඉගෙනීම තහනම් නැත. පාරක තොටක බැස ගමන් යැම තහනම් නැත. එනිසා සෙතාර් පාසල් ගොස්‌ අනෙක්‌ පිරිමි ළමුන් අතරේ හිඳ ඉගෙන ගත්තාය. ඉන්පසු රැකියාවකටද ගියාය. ඒ. කේ. 47 තුවක්‌කුවක්‌ අත දරා සටන් පෙරමුණටද ගියාය.

ඇත්තටම ගැහැනු දරුවෙකු ලෙසින් උපන් දරුවෙකුව පිරිමි දරුවෙකු ලෙසින් වෙනස්‌ කරන්නට පුළුවන්ද.? ඔව්. ඇෆ්ගනිස්‌ථානයේ එහෙම කරන්නට පුළුවන. එය ඇෆ්ගනිස්‌ථානයේ සාමාන්‍ය සිදුවීමකි. චාරිත්‍රයකි. ඒ චාරිත්‍රයේ නම -'බාචා පෝෂ්'ය. බාචා පෝෂ් යන්නෙහි තේරුම -'කොල්ලෙකු ලෙසින් සැරසුණු' යන්නයි.

දූවරුන්ව පුතුන් බවට හරවා ගන්නට ක්‍රමයක්‌ තියෙන්නේ ඇෆ්ගනිස්‌ථානයට විතරයි 'බාචා පෝෂ්' ගැන අතිසාර්ථක ග්‍රන්ථයක්‌ වන The Pearl That Broke Its Shell පොත ලියූ ළමා වෛද්‍ය විශේෂඥවරියක වන නදියා හසිමි පවසයි. -"එකම එක පිරිමි දරුවෙකුවත් ලබන්න වාසනාව නැති පවුලකට මේක හොඳ නිර්මාණශීලී විසඳුමක්‌."

එහෙත් මට නම් සිතෙන්නේ එය පවුලකට පිරිමි දරුවෙකු ලබන්නට ඇති විසඳුමක්‌ ලෙස නොවේ. ඇෆ්ගනිස්‌ථානය වැනි රටක ගැහැනු දරුවෙකුට යන්තම් හෝ නිදහස අත් විඳින්නට මෙය හොඳ නිර්මාණශීලී විසඳුමක්‌ බවය.

තලේබාන් පාලනය එළඹෙන්නට පෙර ඇෆ්ගනිස්‌ථානයද අනෙක්‌ මුස්‌ලිම් රටවල්වලට සාපේක්‌ෂව නිදහස්‌ රටක්‌ විය. කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්‌වාම ඉහළට ඉගෙන ගන්නටද, උගත්කමට සරිලන රැකියාවක නිරත වෙන්නටද නිදහස තිබිණ. රටේ වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සියයට හතළිහක්‌ම කාන්තාවන් විය. ගුරු වෘත්තිකයන්ගෙන් 70%ක්‌ කාන්තාවන් විය. තලේබාන් සංවිධානය බලයට පැමිණි වහාම මේ නිදහස කාන්තාවන්ට අහිමි විය. කාන්තාවන්ගේ අයිතිවාසිකම් උදුරාගෙන ඔවුන්ව නිවෙස්‌ තුළට කොටු කරන්නට නීති සැකසිණ. ඉගෙන ගන්නට පාසලකට යනවා තියා නිවසින් එළියට එන්නටවත් අවසරයක්‌ ඔවුන්ට නොවීය.

තලේබාන් පාලනයෙන් ඇෆ්ගනිස්‌ථානය නිදහස්‌ වූ දා පටන් මේ දක්‌වා කාලය තුළ ඇෆ්ගනිස්‌ථාන කාන්තාවට යම් යම් ආකාරයෙන් නිදහස අත් විඳින්නට ලැබුණද, එය කිසි විටෙකත් ඔවුන්ට ලැබිය යුතු අයිතිවාසිකම් ලැබීමක්‌ වූයේ නම් නැත. තමන්ගේ නිදහස දිනාගන්නට ඇෆ්ගන් කාන්තාවෝ වරින්වර අරගල කළහ. එහෙත් තවමත් ඇෆ්ගන් කාන්තාවට ඒ නිදහස ලැබී නැත. පවුලේ නම ගෙනයන්නට, පවුලේ දේපළවලට හිමිකම් කියන්නට අයිතිය ඇත්තේ පිරිමි දරුවන්ටය. කාන්තාවට උරුම තම ස්‌වාමියාගේ පවුල තුළ සදහටම සැඟවී යන්නට පමණකි.

මේ නිසාම පුතෙකු නැති ඇෆ්ගන් පවුලකට ඉදිරියට යැමක්‌ නැති විය. එනිසා පුතෙකු නැති පවුලකට ඇෆ්ගන් සමාජයේ එතරම් පිළිගැනීමක්‌ද නැත.

afg3

මේ සියල්ලට විසඳුම ලෙස ඇෆ්ගන් සමාජය යොදා ගන්නේ බාචා පෝෂ් සම්ප්‍රදායයි. දැන් එය ඇෆ්ගන් සමාජය තුළ අතිශය සාමාන්‍ය දෙයක්‌ බවට පත් වී ඇත. පවුලේ ගැහැනු දරුවකු පිරිමි දරුවකු ලෙසට අන්දා වෙස්‌ ගන්වා ගත් පසුව කිසිදු විවාදයක්‌ නැතිව ඇය පිරිමි දරුවෙකු ලෙසින් පවුල විසින්ම පිළිගනී. එතැන් සිට පවුලේ අය ඇය ගැහැනියක්‌ය යන්න රහසක්‌ කොට රැක ගනී. යම් හෙයකින් ඒ රහස ඥාතීන් දැනගත්තත් ඔවුන්ද එහි රහස්‍ය බව ආරක්‌ෂා කරයි. බාහිර සමාජය විසින් ඇය පිරිමියෙකු නොවන බව දැනගත්තද ඔවුන් ඒ ගැන තැකීමක්‌ නොකර ඇයට පිරිමියකු ලෙසටම සලකයි.

බාචා පෝෂ් වෙන්නට තෝරාගත් ගැහැනු දරුවාට සමාජයේ ගෞරවය ලැබේ. පිරිමි දරුවෙකුට ලැබෙන හැම නිදහසක්‌ම, හැම වරප්‍රසාදයක්‌ම ඇයටත් ලැබෙයි. පිරිමි බවට වෙස්‌ ගැන්වුණු මේ ගැහැනු දරුවන්ට පිරිමි දරුවන්ට මෙන්ම නිදහසේ අධ්‍යාපනය ලබන්නට හැකිය. පාරතොටේ නිදහසේ ඇවිදින්නටත් හැකිය. එළිමහන් ක්‍රීඩාංගනවල ක්‍රීඩා කරන්නටත් හැකිය. පිරිමින්ට පමණක්‌ අවසර ඇති දෙයක්‌ වන -කෙනෙකුගේ මුහුණ දිහා එක එල්ලේ බලා කතා කිරීම ද ඔවුන්ට කරන්නට හැකිය.

පිරිමි වෙස්‌ ගන්නා මේ දරුවන්ගේ පවුල්වලටද සමාජ ගෞරවය හා පිළිගැනීම ලැබෙයි. දරුවාටද ඉගෙනීමේ, රැකියා කිරීමේ හා තීරණ ගැනීමේ අයිතිය ලැබෙයි. මෙය සියලු පාර්ශ්වයන්ට යහපතක්‌ සිදු වෙන ක්‍රමයකි. එහෙත් ඒ වාසිය ලබා ගන්නට නම් ඒ ගැහැණු දරුවා තම ගැහැණු ජීවිතය අත්හැරිය යුතුය.

බොහෝ විට 'බාචා පෝෂ්' ගැහැනු දරුවන්ට වැඩිවිය පැමිණීමෙන් පසුව, තව දුරටත් තම ශාරීරික වෙනස්‌කම් සඟවන්නට නොහැකි විට නැවතත් මවාගත් පිරිමි ආත්මයෙන් මිදී තම සැබෑ ආත්මය වෙත පිටමං වෙන්නට සිදුවෙයි. එහෙත් දිගින් දිගටම මේ ස්‌වරූපයෙන්ම රැඳී සිටින ගැහැනු දරුවන් සංඛ්‍යාවද ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙයි.

ඉගෙන ගැනීමේ නිදහස, රැකියාවක්‌ කිරීමේ නිදහස ආදී වරප්‍රසාද හැරෙන්නට 'බාචා පෝෂ්' නිසා තවත් යහපතක්‌ද සිදුවෙයි. ඒ ළමා විවාහවලට යම් තරමකින් වැට බැඳීමය. ඇෆ්ගනිස්‌ථානයේ ඇති දැඩි ආගමික පසුබිම නිසා ළමා විවාහ බහුලය. බොහෝ ගැහැනු දරුවන්ට වයස අවුරුදු 12 පමණ වන විටම විවාහ වන්නට සිදුවෙයි. -'බාචා පෝෂ්' ගැහැනු දරුවන්ට නම් යොවුන් විය දක්‌වාම පිරිමියකු ලෙසින් නිදහස්‌ව සිටින්නට හැකි නිසාම ඔවුන් 'ළමා විවාහ' අවදානමෙන් ගැලවෙයි.

යම් යම් අතින් කාන්තාවන්ට වාසිදායක ප්‍රතිඵල ලැබුණත් 'බාචා පෝෂ්' සම්ප්‍රදායෙන් සිදුවෙන්නේ ගැහැනු දරුවන්ට අවැඩක්‌ම බව ඇතැමුන්ගේ මතයයි. මේ කතිකාවත දැන් දැන් ඇෆ්ගන් සමාජය තුළ වැඩි වැඩියෙන් ඉස්‌මතු වෙයි. මේ මතධාරීන් පවසන අන්දමට දරුවකුගේ පෞරුෂ වර්ධනයට වැදගත්ම කාලසීමාව වනුයේ ළමා අවධිය හා නව යොවුන් අවධියයි. මේ කාලය තුළදී තමාගේ සැබෑ ස්‌ත්‍රී පුරුෂ භාවය පිළිබඳව අඩු තක්‌සේරුවක්‌, හීනමානයක්‌ දරුවා තුළ වර්ධනය වීම අහිතකර

තත්ත්වයක්‌ බවත්, ඔවුන් පෙන්වා දෙයි. සැබවින්ම කළ යුත්ත වනුයේ බාචා පෝෂ් බවට පත් වන ගැහැණු දරුවන්ට පමණක්‌ නොව රටේ සියලුම ගැහැණු දරුවන්ට සාධාරණ නිදහසක්‌ හා ඔවුන්ට ලැබිය යුතු අයිතිවාසිකම්ද භුක්‌ති විඳින්නට හැකි පසුබිමක්‌ රට තුළ නිර්මාණය කොට ඇෆ්ගන් කාන්තාවන්ට සාධාරණය ඉටු කිරීම මිසක ගැහැනු දරුවන්ට ඔවුන්ගේ ගැහැනු බව අහිමි කොට, පුරුෂයන්ට විශේෂ වරප්‍රසාද ඇති බව තහවුරු කොට දීම නොවන බව ඔවුහු පවසති.

කෙසේ වෙතත් කුමන ආකාරයේ මත භේද ඉදිරිපත්

වුණත්, වර්තමානයේ වැඩි වැඩියෙන් ඇෆ්ගන් ගැහැනු දරුවන්ව මේ ආකාරයේ වෙස්‌ ගැන්වූ පිරිමි දරුවන් බවට පත් කිරීම දිනෙන් දිනම වැඩි වෙයි. බොහෝ විට එයට බලපාන්නේ එකම හේතුවකි. ගැහැනු දරුවෙකු වුවත් පිරිමි දරුවෙකු දෙමාපියන්ට අවශ්‍ය තම දරුවා අධ්‍යාපනය ලැබ සමාජයේ යහපත් පුරවැසියෙකු වනු දැකීම වීමය.

නිම්මි මුදිතා හේරත්

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ලෝකයටම ගහන්න හදපු පුටින්ගේ මිසයිල

put2

රුසියාව විසින් නිපදවා ඇති නව මිසයිල් හා නවීනතම අවි ආයුධ සම්බන්ධයෙන් මේවනවිට ලොවපුරා දැඩි කතා බහක්‌ ඇතිවී තිබේ.

සාමාන්‍ය මිසයිල බොහෝමයක්‌ ද්‍රව ඉන්ධන හා පෙට්‍රල් එන්ජින් වලින් බල ගැන්වෙන ඒවා වූවද මෙම නව රුසියානු මිසයිලවල විශේෂත්වය ඒවා න්‍යෂ්ටික ශක්‌තියෙන් බල ගැන්වීමය.

එසේම යුද ගුවන්යානා රැගෙන යන නැව් වලට මෙන්ම ලොව ආරක්‍ෂිත පද්ධති වලින් ආරක්‍ෂා කර ඇති ප්‍රධාන නගර වලට පවා මේ මිසයිල මගින් පහරදිය හැකි බව සඳහන්ය.

රුසියානු ජනාධිපති වැලැඩ්මියර් පුටින් පසුගියදා රුසියානුවන් සතු නව මිසයිල ගණනාවක්‌ ගැන ප්‍රසිද්ධියේ අදහස්‌ පළ කළේය.

අන්තර් මහද්වීපික බැලස්‌ටික්‌ මිසයිල, දිගු දුර මිසයිල, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන කෲස්‌ මිසයිල, කින්සාල් හයිපර් සොනික්‌ මිසයිල ඒ අතර විය.

රුසියානු මිසයිල වලින් ආරක්‍ෂාවන්නට ඇමෙරිකාව පුරා ඇමෙරිකානු මිසයිල ආරක්‍ෂක පද්ධති පැවැතියද රුසියාවේ නව මිසයිල පද්ධති වලට එම ඇමරිකානු ආරක්‍ෂක පද්ධති අභිබවා යාහැකි බව පැවසේ. එම නිසා ඇමෙරිකාවට මෙම රුසියානු නව මිසයිල පද්ධතිවලට මුහුණ දිය හැකි නව මිසයිල ආරක්‍ෂණ පද්ධති නිර්මාණය කරන්නට සිදුව තිබේ.

put1

රුසියාව විසින් නිපදවා ඇති කින්සාල් හයිපර් සොනික්‌ මිසයිලය මිග් - 31 ප්‍රහාරක යානාවලින් නිකුත් කෙරෙන අතර සැතපුම් 1242 ක්‌ දුරකට ඒ මගින් ප්‍රහාර එල්ල කළ හැක. මෙම මිසයිලය පැයට කිලෝමීටර් 3069 වේගයෙන් ගමන් කරන බව සඳහන්ය. මේ වේගය හේතුවෙන් එවැනි මිසයිලයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම පහසු නැත.

put3

එසේම න්‍යෂ්ටික යුද්ධයකදී ඇමෙරිකාවට පහරදිය හැකි නව න්‍යෂ්ටික අවි රැසක්‌ද රුසියාව විසින් නිපදවා තිබේ.

අනෙක්‌ ප්‍රධානතම කරුණ නම් රුසියානු නව මිසයිල වලින් ඇමෙරිකාවේ ඕනෑම ස්‌ථානයකට ප්‍රහාර එල්ල කිරීමට රුසියාවට ඇති හැකියාවයි. මේ නිසා ඇමෙරිකාවේ සමස්‌ත ආරක්‍ෂාව බරපතල ගැටලුවකට මුහුණ පෑමය.

එපමණක්‌ නොව ලොව ඕනෑම ස්‌ථානයකට රුසියානු මිසයිල මගින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතී. මේ නිසා රුසියාවේ යුද ශක්‌තිය ලොව පුරා අලුතින් කතාබහට ලක්‌වන්නට පටන් ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙවර රුසියානු ජනාධිපතිවරණයද අතළඟය. මෙවර පුටින්හට ප්‍රතිවාදියකුද නොමැති තරම්ය. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාහට ජනාධිපතිවරණයට තරග කළ නොහැකි පරිදි පනවා ඇති නීතිමය බාධා නිසා පුටින්හට ජනාධිපතිවරණය පහසුවෙන් ජයගන්නට හැකිවනු ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස්‌කර මුළු ඇමෙරිකාවම උඩුයටිකුරු කළ පුටින් තම න්‍යෂ්ටික අවි හා මිසයිල පද්ධති හරහා ඇමෙරිකාවට කරන්නට හදන්නේ කුමක්‌දැයි ලොවම බලා සිටී.

ජනිත සෙනවිරත්න

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

hema250

දියග

jesof250i

මීවිත

gorki250

More Articles