The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90

Divaina

සංවාදය - සුලෝචන වික්‍රමසිංහ
 
 badrageee134
 
 70 දශකයෙහි පටන් අද දක්‌වා නිර්මාණ කරණයෙහි නියෑළෙන භද්‍රජී මහින්ද ජයතිලක නවකතාකරුවෙකි. කෙටි කතාකරුවෙකි. සංගීතඥයෙකි. ඔහු අතින් රචනා වී ඇති ගුවන් විදුලි නාට්‍ය ප්‍රමාණයද විශාලය. ළමා නාට්‍ය පිළිබඳව ද ඔහු විශේෂඥයෙකි. විවිධ අංශයන් පිළිබඳ ලියවුණු කෘති අති විශාල ප්‍රමාණයක්‌ද ඔහු අතින් ලියවී ඇත. පරිවර්තන රාශියක්‌ ද ඒ අතර වේ. දිගු කලක්‌ එක්‌සත් ජනපදයෙහි වෙසෙන ඔහු "රාවණා නොකී පුරාවත" බැලේ ඔපරාවෙහි පෙළ රචකයා ද වේ. මෙහි පළවෙනුයේ ඔහු සමඟ සිදු කරන ලද සංවාදයෙහි සංක්‍ෂිප්තයයි.
 
ඔබගේ ලේඛන දිවිය දශක පහක්‌ පමණ ඉතිහාසයකට දිවයාම සම්බන්ධව ඔබට දැනෙන හැඟීම කෙබඳුද?
 
 ඒ ගැන මට සතුටුයි. නමුත් මේ කාලය පුරාවටම මම කිසි දෙයක්‌ ලියුවේ ලේඛකයෙක්‌ වීමේ පරමාර්ථයෙන් නෙමෙයි. නමුත් ලියපු දේවල්වල තිබුණ ගුණාත්මක භාවය නිසා මට නොදැනුවත්වම මාව ලේඛකයෙක්‌ විදියට ඉස්‌මතු වුණා. මම අවුරුදු හතේ වගේ ඉඳන් ලියනව. අවුරුදු 3 ඉඳල සිංදු හදල තියෙනවා. අවුරුදු හයේදී මම චිත්‍ර අඳිනවා. ඒ නිසා කුඩා කාලේ ඉඳලම මම මේ හැම දෙයකම සංකලනයක්‌. මම ඉස්‌කෝලේ යන කාලේ ඉඳන්ම නවකතා ලියනව. එක දවසකට මම පිටු දහයක්‌ අනිවාර්යයෙන්ම ලියනව. එතකොට දවස්‌ දහයක්‌ වෙනකොට පිටු සියයක නවකතාවක්‌ මා අත තියෙනවා. ඒ වගේ තමයි ඉස්‌කෝලෙ යන කාලේ ඉඳන්ම මම පරිවර්තනය කරන්න පටන් ගන්නවා. ඉංගී්‍රසි පොත බලාගෙන සිංහලට පරිවර්තනය කරනවා. සිංහල පොත බලාගෙන ඉංගී්‍රසියට පරිවර්තනය කරනව. ඒ හැකියාව මට ඉතා කුඩා කාලේ ඉඳලම තිබුණා. ඒක තමයි පසු කාලේදී වර්ධනය වුණේ. ඉස්‌කෝලේ යන කාලේදී මම කෙටිකතා ලියුව. ඒව 'නව යුගය', 'මිහිර' යන පත්තරවල වගේම වෙනත් ප්‍රසිද්ධ පුවත්පත්වල පළකෙරුණ.
 
 1973දී තමයි මම විදේශ ගත වෙන්නේ. ඊට ඉස්‌සෙල්ලා තමයි මම ලියන්න පටන් ගත්තේ. විදේශගත වුණාට පස්‌සෙත් මම මගේ නිර්මාණ කටයුතු අත හැරියේ නැහැ. තාම ඒ හැම දෙයක්‌ම කරනව. තාම ඒ හැම දෙයක්‌ම අගය කරන විශාල පිරිසකුත් ඉන්නව. ඒ පිරිස මට හරියට වටිනව. මම ලෝකෙ කොහෙ ඉඳල ලිව්වත් මම ලියන්නෙ ලංකාවේ පොළොවෙ පය තියාගෙනයි. මම ලියන්නෙ ලංකාවේ ඉන්න මගේ පාඨකයන්ට කියන වග මම කවදාවත් අමතක කරන්නේ නැහැ. මට ලිවීම සඳහා උත්තේජනය ලැබෙන්නෙ ලංකාවෙ මගේ රසිකයන්ගෙන්. ඒ නිසා ඔවුනට යම්කිසි ගුණාත්මක දෙයක්‌ ප්‍රදානය කිරීමට මම බැඳිල ඉන්නව. ඒ වගේම ලංකාවේ මගේ පාඨකයො ඒ වගේම රසිකයො මගේ නිර්මාණ කියවීමෙන් රස විඳීමෙන් උපරිම සතුටක්‌ ලබන බවද මම දන්නව.
 
 ඔබ විසින් රචනා කරන ලද 'සුදු හංසයෝ ඉගිල ගියහ' කෘතිය සිංහල නවකතාව තුළ එක්‌ සන්ධිස්‌ථානයක්‌ බව සමහරුන්ගේ මතයයි...
 
 ඒ නවකතාව මම රචනා කරන්නේ අවුරුදු 17දී. ඒක තමයි පළවෙනි බෞද්ධ නවකතාව. ඒ වන විටත් මාර්ටින් වික්‍රමසිංහ 'බවතරණය' ලියල තිබුණේ නැහැ. මගේ පොත පිටවෙලා ගොඩක්‌ කාලෙකට පස්‌සෙයි වික්‍රමසිංහයන් 'බවතරණය' ලියන්නෙ. ඒ අනුව පළමු වන බෞද්ධ නවකතාව ලියන්නෙ මා විසිනුයි.
 
 ඒ පොත ලියන්න මට දැඩි බලපෑමක්‌ කළේ ධම්ම පදයේ එන ගාථාවක්‌. එහි එක ගාථාවක තියෙනව "මේ මගේ විල, මේ මගේ මඩ, මේ මගේ රොන්" කියල කියන්නෙ නැතුව කිසිදු පියසටහනක්‌ තියන්නෙ නැතුව හංසයො ඉගිල යනව වගේ රහතන් වහන්සේලාත් නික්‌ම යනව කියල. ඒ ගාථාව පදනම් කරගෙන තමයි මම 'සුදුහංසයෝ ඉගිල ගියහ' කියල මගේ නවකතාව නම් කළේ. බෝධි සත්වයෝ ඉපදෙන දවසෙම හිඟන ළමයෙකුත් උපදිනව. එක්‌කෙනෙක්‌ තමන්ගෙ වෑයමෙන් අනිත් එක්‌කෙනා ගොඩක්‌ දුක්‌ විඳල සත්‍යය සොයා ගන්නව. මේ මූලික කතාව හරහා තමයි සමස්‌ත කතාවම ගොඩනැඟිල තියෙන්නෙ. ඒ නවකතාවෙ හැම පරිච්ඡේදයකටම මම චිත්‍ර ඇඳල තියෙනව. ඒ විධි ක්‍රමයත් ඒ කාලේ නවකතාවලට හුරු පුරුදු අංගයක්‌ නෙමෙයි. ඒ නිසා ඒ නවකතාව කිහිප අංශයකින්ම වැදගත් වෙනව. එහි මුද්‍රණවාර රාශියක්‌ මේ වන විට පිටවෙලා තියෙනවා. ඒ කාලේ ඒ කෘතිය ගැන බොහෝ දෙනෙක්‌ කතා කළා. මම පොත අච්චු ගහල ඉවර වුණාම මාර්ටින් වික්‍රමසිංහයන්ව හම්බවුණා. එතුමත් ඒ පොත ගැන දැනුවත්ව හිටිය. මේ පොත මම ලියන්නෙ 1970දී විතර. ඊට පස්‌සේ තමයි අනිකුත් බෞද්ධ නවකතා ලියවුණේ.
 
 මගේ සාහිත්‍ය ජීවිතය එවැනි කෘතියක්‌ මගින් ආරම්භ කිරීම ගැන මට තියෙන්නේ ඉතා විශාල සතුටක්‌. අපි පොඩි කාලේ ඉඳලම ධම්මපදය, සුභාෂිතය, ලෝවැඩ සඟරාව වැනි පොත්වලට ඉතාම ආස කළා. ඒ කැමැත්ත නිසා එහි ආභාසය අපේ හිත්වල තදින් පැල පැදියම් වෙලා තිබුණා. එහි දොaංකාරයක්‌ ලෙස තමයි ඒ බෞද්ධ නවකතාව බිහිවුණේ. අද වුණත් බෞද්ධ නවකතා කියවන්න පාඨකයන්ගේ දැඩි කැමැත්තක්‌ තියෙනව. මං හිතන්නෙ බෞද්ධ සාහිත්‍යය තරම් සමීප වෙනත් දෙයක්‌ අපට නැහැ.
 
 නමුත් ඔබ බෞද්ධ සාහිත්‍යයෙහි පමණක්‌ රැඳී සිටියේ නැහැ.
 
 ඔව්. මම විවිධ විවිධ අංශයන්වල ප්‍රස්‌තුත නවකතා සඳහා යොදා ගත්තා. අද්භූත නව කතා ලියුව. කුතුහලය දනවන නවකතා ලියුව. ප්‍රේමය මුල් කරගත් කතා ලියුව. සමාජ තත්ත්වයන් පිළිබඳ කතා ලියුව. මේ වගේ විශාල ප්‍රස්‌තුත ගණනාවක්‌ මගේ අතින් ලියවුණා. ඒ හැම කෘතියක්‌ම වගේ ඉතා විශාල වශයෙන් පාඨකයන් අතරට ගියා. ඒ නිසා නවකතාකරුවෙකු වශයෙන් මම සෑහෙන ජනප්‍රියත්වයකට පත්වුණා. අද නවකතා ලෝකයේ බොහෝ පෙරළිකරන නිර්මාණශීලී ලේඛක ලේකාවන්ගේ ජනප්‍රියම ලේඛකයා වුණේ මමයි. සුමිත්‍රා රාහුබද්ද කියන්නෙ අපේ නවකතා ක්‍ෂේත්‍රයේ ඉන්න විශාල චරිතයක්‌. ඇයගේ ජනප්‍රියම හා කැමතිම ලේඛකයා වෙලා හිටියේ මමයි. මම මේ කියන්නේ හැත්තෑව දශකය ගැනයි. ඇය මගේ ලේඛන කලාවට කොච්චර ආදරය කළාද කියනවනම් 'බුමුතුරුණු' කියන ඇයගේ පළමුවන නවකතාවේ පළවන මුද්‍රණයේ පළමු පොත පිළිගැන්වූයේ මටයි. මේ වගේ තව කිහිප දෙනෙකුම සිටිනව.
 
 කිසියම් කෘතියක තියෙන්න ඕන ප්‍රධානම දේ තමයි එය රස විඳින්නට හැකියාවක්‌ තිබිය යුතුවීම. සාහිත්‍ය නිර්මාණයකින් කිසියම් රසයක්‌ ලබන්න බැරි නම් එහි එතරම් වටිනාකමක්‌ නැහැ. රසවත් වුණොත් විතරයි එය දිගටම කියවගෙන යන්න පුළුවන් වෙන්නේ. කිසියම් කෘතියක්‌ කියවගෙන යද්දී එය අතරමග නවතා දමන්න සිදුවෙනව නම් ඒ නිර්මාණකරුවගෙ උත්සාහය අපතේ යනව. ඒ නිසා සෑම නිර්මාණකරුවෙක්‌ම තමන්ගේ කෘතිය තුළ පාඨකයා රඳවා තබා ගැනීමට උත්සාහ ගන්න ඕන. ඒ වගේම තමයි එහි ශෛලියක්‌ තියෙන්න ඕන. ඒ ශිල්පය ගැන දැනගන්න ඕන. එය ප්‍රගුණ කරන්න ඕන. එහෙම නැතුව නිර්මාණකරණය තුළ නියෑළෙන්න හොඳ නැහැ. කිසියම් කෙනෙක්‌ තමන්ගේ ආසාවට මුල් කාලයේ අත්දැකීම් නොමැතිව හෝ ඒ ශිල්පය ගැන දැන ගන්නෙ නැතුව යමක්‌ ලිව්වත් නිර්මාණ ලෝකය තුළ රැඳී සිටින්න නම් අනිවාර්යයෙන්ම එය අධ්‍යයනය කරන්න ඕන. ඒ සම්බන්ධව අභ්‍යාසයේ යෙදෙන්න ඕන. එහෙම වුණේ නැතිනම් ඒ නිර්මාණකරුවට ක්‍ෂේත්‍රය තුළ රැඳිල ඉන්න පුළුවන් කමක්‌ නැහැ. මම තවමත් ඉතා විශාල ප්‍රමාණයෙන් කියවන කෙනෙක්‌. හැම විෂයක්‌ වගේම මම කියවනව. ඒ වැදගත් දේවල් සමග නිරතුරුවම ගැවසෙනව. ඒ නිසා විවිධ පැතිකඩවලට මට යන්න පුළුවන්කම තියෙනව. කියවීම හා ලිවීම කියන එක වගාකර ගත්තොත් ඕනෑම කෙනෙකුට හොඳ මනුස්‌සයෙක්‌ වෙන්න පුළුවන්. හොඳ මනුස්‌සයෙක්‌ නොවන කෙනෙකුට හොඳ සාහිත්‍යකරුවෙක්‌ වෙන්න බැහැ. නවකතාව විඳින ගමන්ම ඒ තුළින් ජීවිතයද නිරූපණය විය යුතුයි.
 
 ඒක එහෙම වෙන්න ඕන. එහෙම නැත්නම් නවකතාවක්‌ කියවන එකේ කිසි අර්ථයක්‌ නැහැ.
 
 නවකතාවක එන්නේ මිනිස්‌ ජීවිතය. මිනිස්‌ ජීවිතය බලපාන සමාජය. ඒ සමාජ විවරණය අනිවාර්ය අංගයක්‌ විය යුතුයි. මගේ නිර්මාණ ජීවිතයේදී මම සමාජ විවරණය සංකල්පයට විශාල ඉඩක්‌ ලබා දෙනව. උදාහරණයක්‌ වශයෙන් මගේ 'තුංමාසෙ' කියන කෘතිය තුළ මම කතා කරන්නේ මිනිස්‌ ජීවිත තුළට සමාජයෙන් කෙරෙන තෙරපීම අභිsයස වුණත් මිනිසා සතා සිව්පාවා වෙනුවෙන් සංවේදී වෙන්නෙ කොහොමද කියල. ඒ කෘතියේදී සංකේත වශයෙන් මම ආගමික ස්‌ථාන දෙකක්‌ නිර්මාණය කළා. එ සංකේත ඒ කතාවට ප්‍රබල ආධාරකයක්‌ වුණා. හැබැයි සාමාන්‍ය කියවීම තියෙන කෙනෙකුට මෙම සංකේත එතරම් ප්‍රබල විදියට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. කෘතියක්‌ අවබෝධ කරගැනීම එකිනෙකාගේ වින්දන මට්‌ටම් අධ්‍යාපනික මට්‌ටම් අනුව තීරණය වන දෙයක්‌. නමුත් නිර්මාණකරුවා තමන්ගේ නිර්මාණ තුළ විවිධ සංකේත භාවිතා කරනව. ඒවා අවබෝධ කර ගැනීමට වෙහෙසීම පාඨකයාට අයත් කාර්ය භාරයක්‌. කිසියම් කෘතියක්‌ නිවැරදිව අවබෝධ කර ගැනීමට නම් පාඨකයාගෙන්ද යම් කාර්ය භාරයක්‌ සිදුවිය යුතුයි.
 
 නවකතාවක්‌ තුළ චරිත නිර්මාණයේදී ඔබ විසින් අවධානය යොමු කරනු ලබන විශේෂ කරුණු මොනවාද?
 
 නවකතාවක ඉතා ප්‍රබල වෙන්නේ චරිත නිරූපණයයි. ඒ නිසා සෑම ලේඛකයෙකුටම තමන්ගේ කෘතිය තුළ චරිත නිරූපණය කිරීමේදී පැහැදිලිව අවධානය යොමු කරන්න වෙනව. මම සලකා බලන ප්‍රධාන දේ වෙන්නෙ මා නිර්මාණය කරනු ලබන චරිත නියම තැන්වල ස්‌ථානගත වෙනවාද යන්නයි. ඒ වගේම මා විසින් නිර්මාණය කරන චරිත විශ්වාසනීයත්වයකින් යුක්‌තද යන්නයි. චරිත කොපමණ දුරකට විශ්වාසනීය වුණත් එම චරිත නිවැරදි ස්‌ථානවල රඳවා තැබුවේ නැත්නම් ඒ චරිතවල වටිනාකමක්‌ නැතිවෙලා යනව. එහෙම වුණාම නවකතාව නීරසවෙලා යනව. ඒ නිසා ඒ පිළිබඳව මම ඉතා සැලකිලිමත් වෙනව. අනිත් කරුණ තමයි ඒ චරිත හරහා මා ප්‍රකාශ කරන දෙය පාඨකයාට තේරෙනවද යන්න පිළිබඳ මම ඉතා සැලකිලිමත් වෙනව. මොකද එහෙම වුණේ නැතිනම් එය ප්‍රහේලිකාවක්‌ බවට පත්වෙනවා. නවකතාවක්‌ ප්‍රහේලිකාවක්‌ කරගන්න පාඨකයෝ කැමති නැහැ. ඒ නිසා නිර්මාණකරුවා මවන චරිත පාඨකයාට තේරුම් යන ආකාරයෙන් බිහිවිය යුතුයි. මෙතැනදී තේරුම් යන ආකාරය කියන්නෙ නවකතාව අවබෝධයෙන් කියවන පාඨකයා හට තේරුම් යැමයි. එහෙම නැතුව අපි කියන හැම දෙයක්‌ම හැම කෙනෙකුටම තේරුම් ගැනීමට බැරිවෙන්න පුළුවන්. නමුත් බුද්ධිමත් පාඨකයා හට ද එය දුරවබෝධ නම් ඒ චරිත නිර්මාණයෙහි සාර්ථක බවක්‌ ළඟා කර ගන්න බැහැ.
 
 කෙටිකතා නිර්මාණයෙහිද ඔබ විවිධ දස්‌කම් දැක්‌ වූ ලේඛකයෙක්‌...
 
 මම කෙටිකතා ලිව්වේ නවකතාවෙන් පස්‌සෙ. ඉස්‌සෙල්ලම කෙටි කතාවක්‌ ලිව්වේ අපේ ඉස්‌කෝලෙ සඟරාවට. ඊට පස්‌සෙ 'නවයුගය', 'මිහිර' වගේ පත්තරවලට කෙටිකතා ලියුවා. ඒව බොහොමයක්‌ ජනප්‍රිය වුණා.
 
 කෙටිකතාවෙ ශිල්පීය ක්‍රමය නවකතාවේ ශිල්පීය ක්‍රමයෙන් වෙනස්‌ වෙනවා. ඒ නිසා ඒ ශිල්පය හොඳට ඉගෙන ගන්න ඕන. කෙටිකතාවේ ශිල්පීය ක්‍රමය හරියට අවබෝධ කරගත්තෙ නැත්නම් සාර්ථක කෙටිකතා කරුවෙකු වෙන්න බැහැ. කුඩා කාලෙ ඉඳන්ම මම කියවන්න බොහොම ආස කරපු කෙනෙක්‌. ඒ නිසා ඉතා කුඩා කාලෙ පටන්ම මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක, ගුණදාස අමරසේකර වැනි අයගෙ කෙටිකතා එකක්‌ නෑර කියෙව්වා. ඩබ්. ඒ. සිල්වාත් මගේ ප්‍රියතම ලේඛකයෙක්‌. ජී. බී. සේනානායකගේ කෙටිකතාවලට මම හුඟක්‌ ආස කළා. ඒ වගේම තමයි අජිත් තිලකසේනගෙ 'සතුරෝ' කියන කෙටිකතා පොත මාව විශ්මයට පත් කළා. ඒ වගේම තමයි කේ. ජී. කරුණාතිලකගෙ පරිවර්තන ඔහු පරිවර්තනය කරන ලද රුසියානු කෙටි කතාද මම ඉතා ආසාවෙන් කියෙව්වා. ඒ කාලෙ කියවීමෙන් ලද ආනන්දය මතක්‌ කරනකොට තවමත් හිතට දැනෙන්නෙ විශාල සතුටක්‌. ඒ හැම දෙනාගෙම නවකතා කෙටිකතා තුළින් මා ලබපු ආනන්දය තමයි, මගේ ලේඛන කලාව ඉදිරියට රැගෙන ගියෙ.
 
 ගීතයද ඔබට ආධුනික වූවක්‌ නොවේ.
 
 මම නවකතා, කෙටිකතා ලිව්ව, චිත්‍ර ඇන්ද. මේ හැම එකකටම මා වටා රොක්‌ වෙච්ච පිරිසක්‌ හිටියා. මම ගීතයට එළඹුණාට පස්‌සෙ තවත් පිරිසක්‌ මා වටා රොක්‌ වුණා. මගේ ගීත රචනා කර ගන්නෙ මං විසින්මයි. ඒවට තනු නිර්මාණය වෙන්නෙත් මගේ අතින්. ගායනා කරන්නෙත් මමයි. මම ගීත සෑහෙන ප්‍රමාණයක්‌ නිර්මාණය කොට ගායනා කරල තියෙනවා. ඒ අතර 'හන්තාන කඳුපෙළ - හඳට ආවඩා' කියන ගීතය රසිකයන් අතර ඉතා ජනප්‍රියයි. ඒ ගීතය මම ගායනා කළේ දැනට දශක කීපයකට ප්‍රථමයි. නමුත් තාම ඒ ගීතයෙ ජනප්‍රියත්වය අඩුවෙලා නැහැ. ඒ ගීතය හැරුණු කොට 'දෙවැට අයිනේ මල් පිපෙන්නේ', 'කඩදාසි බෝනික්‌කෝ', 'ශාන්ත රාම්' වැනි ගීත රසිකයන් අතරේ ජනප්‍රියයි. බොහෝ ගීත දැන් ඇහෙන්නෙ නැහැ.
 
 මං හිතන්නෙ කවියට වඩා ගීතය ප්‍රබලයි. මොකද එහි පදමාලාව ඉක්‌මවා යමින් සංගීතකරුවට පුළුවන් අලුත්ම තැනකට එය රැගෙන යන්න. නමුත් කවියෙ එහෙම කරන්න පුළුවන් කමක්‌ නැහැ. අලුත් අලුත් ආකෘති මත නවීන කවි බොහොමයක්‌ ලියවුණත් කවිය තාම එක ආකෘතියක තමයි බොහෝ විට හිරවෙලා තියෙන්නෙ. නමුත් ගීතය සාම්ප්‍රදායික තත්ත්වය ඉක්‌මවා ගිහින් තියෙනවා. එය සංගීත නිර්මාණය හරහා සිදු වී ඇත්තක්‌. ගීතය කෙටිකතාවටත් වඩා සංක්‍ෂිප්ත නිසා ඒ වගේම එහි රිද්මයක්‌ද ඇති නිසා එය රසිකයො අතරට වේගයෙන් යනවා. ගීතයක තියෙන්න ඕන ප්‍රධානම දේ තමයි රිද්මය. රිද්මය හදවතට වැදුනෙ නැත්නම් එය රසිකයො වැළඳ ගන්නෙ නැහැ. ඒ නිසා ගීතයක්‌ නිර්මාණය කිරීමේදී මම එහි රිද්මය ගැන ලොකු අවධානයක්‌ යොමු කරනවා. මගේ ගීතවල තනු නිර්මාණය කරන්නෙ මා විසින්ම නිසා මට අවශ්‍ය විදියට පදමාලාවේ හැඩරුව වෙනස්‌ කරන්න මට හැකියාව තියෙනවා.
 
 ඔබ නිර්මාණයකට එළඹීමේදී අනුගමනය කරන යම් ක්‍රමවේදයක්‌ තියෙනවද?
 
 ඕනෑම දෙයක්‌ ලිවීමේදී මම එය රස විඳිනවා. ලිවීම කියන්නෙ රස විඳිමින් කරන්න ඕන දෙයක්‌. ඒ වගේම මගේ කිසියම් විශේෂිත සිදුවීමක්‌ ලේඛනගත කිරීමේදී ඒ සම්බන්ධව පර්යේෂණයක නිරත වනවා. උදාහරණයක්‌ වශයෙන් 'තීර්ථය' කියන මගේ නවකතාව රචනා කරන කොට මම ඒ සම්බන්ධව ගොඩක්‌ පර්යේෂණ කළා. ඒක ලියවෙන්නෙ අනේපිඬු සිටුතුමා ගැන. ඒ නිසා අනේපිඬු සිටුතුමා ජීවත් වූ කාලය, එහි දේශපාලන තත්ත්වය භූගෝලීය පරිසරය, මේ ආදී හැම දෙයක්‌ම මම පර්යේෂණ කළා. රතනසූත්‍රය ඇසුරින් මම කෘතියක්‌ රචනා කළා. එකේදී මම විසාලාවට ගිහින් තොරතුරු විමසා බැලුවා. 'දිනෙක කුසිනාරාවේ' කෘතිය රචනා කරද්දීත් එහෙමයි. ඒ නිසා ඒ කෘති සාර්ථක වුණා. 'දිනෙක කුසිනාරාවේ' කෘතියට ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් පිනැමෙන හොඳම බෞද්ධ නවකතාවට හිමි සම්මානය 2008 දී මට ලැබුණා. ඡේසුතුමා ගැන මම පොතක්‌ ලියුවා. එහෙම හොඳට ලියන්න නම් ජෙරුසෙලමට යන්න ඕන. එතකොට තමයි ඒ පිළිබඳ නිවැරදි අදහසක්‌ අපට ලබා ගන්න පුළුවන් වෙන්නෙ. එවැනි කතා පරිකල්පනයෙන් පමණක්‌ කරන්න බැහැ.
 
 ඔබ විදේශීය කෘති කිහිපයකුත් සිංහලට පරිවර්තනය කළා...
 
 මම කියවන විදේශීය කෘතියක්‌ මට හොඳට දැනුනොත් මම ඒ කෘතිය පරිවර්තනය කරනවා. එහෙම තමයි මම Dදජඑදර 'යසඩ්ටද කෘතිය සිංහලට පරිවර්තනය කළේ. 'ඇමරිකාවේ කසාවත' (Saරෛදබ Daහි ෂබ ඛ්)පරිවර්තනය සඳහා 2005දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය මට ලැබුණා. ජෝතිමය චාරිකා (Sදමසි Jදමරබැහ), පෙරදිග පහන (ඛසටයඑ දෙ Asස්‌), යෞවන පුරෝගාමියො (ශදමබට ඡසදබැeරි), සුවඳ පැන් (ඡැරමෙපැ) වැනි පරිවර්තන කෘති රාශියක්‌ මා අතින් බිහිවුණා. ඒ අතර ප්‍රකාශකයන්ගේ ඉල්ලීම මත සිදු කරන ලද පරිවර්තනද කිහිපයක්‌ තියෙනවා. 'ඡේසුතුමන් දඹදිව විසූ වගයි' (Jesමි ඛසඩැd ෂබ ෂබාස්‌) කෘතියත් මා අතින් රචනා වුණු සුවිශේෂී කෘතියක්‌. ඒ වගේම මා විසින් රචනා කරන ලද 'පවුරු බැඳි රාජ්‍යය' කෘතියට 1994 ඩී. ආර්. විඡේවර්ධන සම්මානය හිමිවුණා. එයට අමතරව 'ලිංගිකත්වය හා අධ්‍යාත්මය' වැනි කෘතිද මගේ ලියවිලි අතර තියෙනවා. 'කතලුගල අන්දරය', 'සුරදූතපුර' වැනි කෘති දශක ගණනාවක ඉඳන් තාම නැවත නැවත මුද්‍රණය වෙනවා.
 
 ගුවන් විදුලි නාට්‍ය සමඟ සම්බන්ධවීමටද මට ලැබුණු අවස්‌ථාව ඉතාම සුවිශේෂියි. 'ගුවන් විදුලි රඟමඩල' ට වගේම ළමා රංග පීඨයේ මගේ ගුවන් විදුලි නාට්‍ය සෑහෙන ප්‍රමාණයක්‌ ප්‍රචාරණය වුණ සුගතපාල ද සිල්වා, ලූෂන් බුලත්සිංහල, මහින්ද අල්ගම වැනි ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව වෙනුවෙන් එම ළමා නාට්‍ය පිටපත් නිෂ්පාදනය කළා. ඒ ගුවන් විදුලි නාට්‍ය ද ඉතා ජනප්‍රිය වුණා.
 
 කොළඹ විශ්වවිද්‍යාලය මගින් මෑතදී නිෂ්පාදනය කරන ලද 'රාවණ නොකී පුරාවත' බැලේ ඔපරාවෙහි පිටපත රචනා වෙන්නෙද ඔබ අතින්
 
 එයත් මා ලද භාග්‍යයක්‌. ඒ පිටපතට පදනම් වුණේ මා විසින් මීට කලකට ඉහත රචනා කරන ලද 'ශ්‍රී රාවණ්‌ණා පුවත' නම් කෘතියයි. ඒ කෘතිය පරිශීලනය කරපු විශ්වවිද්‍යාල මහාචාර්යවරු එම කර්තව්‍යය මට පැවරුවා. මම රාවණා පිළිබඳ කරුණු හොයමින් සිටිය කාලෙ මට හම්බ වුණා, මුදලි හාමි වර්ණසූරිය කියන හෙළ වෙදකමේ යෙදෙන මහත්තයා. ඔහු ළඟ පැරණි පුස්‌කොළ පොත් රාශියක්‌ තියෙනවා. ඒ පුස්‌කොළ පොත් පරිශීලනය කිරීමෙන් පුරාණ තොරතුරු රාශියක්‌ මම එකතු කර ගත්තා. පුංචි කාලෙ ඉඳලම රාවණ පුරාවෘත්තය පිළිබඳ මගේ හිතේ ලොකු කුහුලක්‌ තිබුණා. ඒ කුහුල මට මේ නිර්මාණ හරහා සංසිඳව ගන්න හැකි වුණා.
 
 ලේඛකයා හැම තිස්‌සේම තමන්ගෙ තෙලිතුඩ උල්කරගෙන තියා ගන්න ඕන. ඒ වගේම සන්සන්දනාත්මක දැනුමක්‌ ගොඩනඟාගන්න ඕන. වසර 7500කට පමණ පෙර විසූ රාවණ රජු වාල්මිකිගේ 'රාමායනය' කාව්‍යයේදී ඉතා නපුරු රජ කෙනෙකු ලෙස පෙන්නුම් කළත් අපේ ලක්‌දිව පුරා වෘත්තයෙහි එතුමා දස බල ඇති සක්‌විති රජෙකු ලෙස තමයි ඉදිරිපත් වෙන්නෙ. ඒක තමයි අපේ කතාව. මට ඕන කළේ, ඒ අපේ කතාව නැවත ප්‍රතිනිර්මාණය කරන්නයි. මම කොහේ හිටියත් මොන මාතෘකාව ගැන ලියුවත් අපේකම අමතක කරන්නෙ නැහැ. අපි ගැන අමතක කරල සාහිත්‍යය තුළදී අපට දිගු ගමනක්‌ යන්න බැහැ. මගේ මේ දිගු නිර්මාණ චාරිකාවේ රහසත් එයම විය හැකියි.
 


 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

cinema

නවලිය

malani250

දියග

diyaga250

මීවිත

roy250

More Articles