Divaina - පාර්ලිමේන්තු යන්න බලාපොරොත්තු කලාකරුවන්... මෙගා ටෙලිනාට්‍ය - වේදිකා නාට්‍ය පිරිහිම ගැන... ජයලාල් රෝහණ සැරට කතාකරයි

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta


 
 තිස්ස ගුණතිලක - නිමල් ෆ‍්‍රැන්සිස්
 
 jaya222ඔහු ජයලාල් රෝහණ. ජයලාල් සම්මත සුකුමාර නළු ප‍්‍රතිරූපයෙන් සම්පූර්ණයෙන්ම පාහේ බැහැර වූ පෙනුමකින් යුත් රංගන ශිල්පියෙක්. එහෙත් ඔහු රංගනයට අවතීර්ණ වූ සැණින් සෙසු සුකුමාර නළුවන් හිරු අභිමුව කදෝපැණියන් බවට පත්වන්නට ගතවන්නේ සුළු මොහොතයි. වේදිකාවට පය තැබූ මොහොතේ පටන්ම ජයලාල් පේ‍්‍රක්ෂකයන් තමන් කෙරෙහි ඇද බැඳ තබාගන්නවා. එය ඔහු වුවමනාවෙන් කරන දෙයක් නොවෙයි. ඔහුගේ රංගනය හරිම සැහැල්ලූ එකක්. ඔහු ඕනෑම දෙබසක් උච්ඡුාරණය කළ විට එය පේ‍්‍රක්ෂකාගාරය වෙත ගලායන්නෙ ඔහුටම ආවේණික වෙනම හැඩයකින්. ආයාසයකින් තොරව ඔහු කියන දෙබසකින් හාස්‍යය මතු වෙන්නෙ නිරායාසයෙන්මයි.
 
 ඒ වගේම ඔහුගේ භූමිකාව රංගනයට පමණක් සීමාවෙන්නේ නැහැ. ඔහු හොඳ අංග රචනා ශිල්පියෙක්. එපමණක් නොවෙයි බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඔහු විෂයයන් කිහිපයක ප‍්‍රාමාණික විද්වතෙක්. සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව යන විෂයයන් පිළිබඳ එම්. ඒ. උපාධිධාරියෙක්. අභිපේ‍්‍රරණය එහෙම නැත්නම් සමාජ බලගැන්වීම :පදඑසඩ්එසදබ* පිළිබඳව දෙස් විදෙස් ආරාධිත දේශකයෙක්. කොස්සින්න හන්දියෙන් බසයක නැගී ගනේමුල්ල නගරයෙන් බැස දුම්රියෙන් කොළඹ යන එන එකත්, ඈත නගරයක නාට්‍ය දර්ශනයකට පසු මරදානෙන් හෝ කොටුවෙන් මහ රාත‍්‍රියේ නාට්‍ය බසයෙන් බැස පාන්දර තුනයි කාල රඹුක්කන දුම්රිය එනතුරු ස්ටේසමේ කට්ට කන එකත් ඔහුට මහ කජ්ජක් නෙමෙයි. ඔහුගෙ ජීවන රටාව එච්චරටම සරලයි. සමසමාජ පක්ෂයේ මුල් කාලීන අරටුවක් වූ සුප‍්‍රසිද්ධ අරනෝලිස් සහෝදරයා ඔහුගේ පියා. දේශපාලනය නිසාම අකාලයේ මියයන පියාගේ බර කරට ගන්නා දොළොස් හැවිරිදි ජයලාල් ජීවිතය ජයගන්න කට්ට කාපු හැටි අදහන්න බැරි තරමේ අපූරු කතාවක්. සුමානේ දවස් තුනක් පාසලේත් දවස් හතරක් ගොඩනැගිලි වැඩබිම්වල අත්වැඩ දෙමිනුත් අධ්‍යාපනයත් ජීවිතයත් හදාරා ගොඩනැගුණු ඔහු වෙනස් මිනිහෙක් වගේම ඔහුගේ අදහසුත් හුඟක් වෙනස්. අපි ඔහු හා පිළිසඳරකට යොමු වුණේ ඒ නිසාමයි.
 
 මුලින්ම ඔහු අපට කිව්වෙ ඔහුගෙ වර්තමාන තොරතුරු
 
 මේ දවස්වල මම ප‍්‍රංශයේ සිට පැමිණ සිටින අනුර පෙරේරා නාට්‍යකරුවාගේ ගැහැනු පිරිමි මල් පලතුරු කියන අලූත් නාට්‍යයේ පුහුණුවීම්වලට සහභාගි වෙනවා. ඒ හැරුණුකොට ජයන්ත චන්ද්‍රසිරිගේ හංකිති දහතුන, උදයසිරි වික‍්‍රමරත්නගේ ගරු කටානායකතුමනි, ශ‍්‍රියන්ත මෙන්ඩිස්ගේ සුදු සහ කළු ආදී නාට්‍යවලට සහභාගි වෙනවා. තවත් කිවයුතු කාරණයක් තිබෙනවා, අපි පටන්ගත්තනෙ නාට්‍ය පාඨමාලාවක් මීට අවුරුද්දකට පෙර. ඒකට නාට්‍ය පන්තියක් කියනවාට වඩා ජීවිතයට වෙනසක් කියනවාට තමයි මම වඩාත් කැමති. ඒක රඟපෑම පමණක් නොවෙයි නාට්‍ය කලාව හා බැඳුණු අනුෂාංග සියල්ලම
 
 ඉගැන්වෙනවා. සෑම මාසයකම පෝය දවසෙ සුදර්ශි ආයතනයේදී. ශාලා ගාස්තුව හා ආරාධිත දේශකයාගේ ගාස්තුව සඳහා පමණක් බොහෝම සුළු මුදලක් එක් අයෙක් ගෙවිය යුතු වෙනවා. එන අපේ‍්‍රල් මාසෙ පළමු කණ්ඩායමේ පාඨමාලාව අවසාන වෙනවා.
 
 අද කාලෙ බැලූවහම නොයෙකුත් කට්ටිය ඉන්නවනෙ. සිහින ලෝකවල කට්ටිය ඉන්නවා. දවසක වැඩමුළුවකට සහභාගි වෙලා ටෙලි තරුවක් වෙන්න බලන් එන කට්ටිය එනවා. ඉතිං මේ වගේ වෙන අරමුණුවලින් එන කට්ටිය හැලිලා සැබෑ වුවමනාවක් ආශාවක් තිබෙන අය ඉතුරු වෙනවා. පාඨමාලාව අවසන් කරපු ඒ අයගෙ දොරට වැඩුම අපේ‍්‍රල් මාසෙ පවත්වනවා. අපේ‍්‍රල් මාසෙම දෙවන කණ්ඩායම බඳවාගන්නත් බලාපොරොත්තු වෙනවා.
 
 අපේ ඊළඟ ප‍්‍රශ්නය වුණේ මේකයි. දැන් බිහිවෙන වේදිකා නාට්‍ය, ප‍්‍රවනතා දෙකකට වෙන් කරන්න පුළුවන් බවයි අපේ අදහස. පළමු වර්ගය බොළඳ හාස්‍යය මතු කරන, දේශපාලන සංසිද්ධි පමණක් අරගෙන මතුපිට පමණක් අතගාන හරසුන් විකට නාට්‍ය. අනෙක් වර්ගය පවත්නා දේශපාලන අර්බුදය ගැඹුරින් විග‍්‍රහ කිරීමට උත්සාහ කරන නාට්‍ය. මේ ගැන මොකක්ද ඔබේ අදහස? මේ නාට්‍ය දෙවර්ගයෙන් එම අරමුණු ඉෂ්ටවෙනවද?
 
 මේකට මෙහෙම කියන්න පුළුවන්. දැන් බක්කියක හැඩය අනුව ඒකෙ ඇතුළෙ තියෙන ජාති වෙනස් වෙනවනෙ. අපි බලමු කුස්සියක තියෙන බක්කියක් ඒකෙ තියෙන්නෙ පිළුණු බත්, එළවළු කෑලි ආදියනෙ. එහෙම ගත්තොත් බක්කිය තියෙන තැන අනුව වෙනස් වෙනව. මම මේ කියන්න යන්නෙ ලෝකයේ නොයෙකුත් රටවල් තියෙනවනෙ. ඒ ඒ රටේ තියෙන දේශපාලන ස්වභාවය සමාජ ස්වභාවය ආර්ථික තත්ත්වය අනුව ඒ රට ඇතුළෙ හැදෙන නාට්‍ය විවිධයි. දැන් ශ‍්‍රී ලංකාව ගත්තොත් මෙහෙමයි. එක, ආශාවට නාට්‍ය කරන අය. දෙක, දේශපාලනය උදෙසාම නාට්‍ය කරන අය. තුන, ගුණාත්මක නාට්‍ය කරන්න උත්සාහ කරන විද්වතුන්. හතර, අව්ව තියෙන වෙලාවෙ පිදුරු ගොඩ වේලගන්නව වාගෙ එක එක දේශපාලන හාස්‍යමය සිද්ධි අරගෙන හදන විහිළු. ඒවායෙ තියෙන්නෙ හාස්‍ය නෙමෙයි විහිළු. හාස්‍ය සහ විහිළු කියන්නෙ දෙකක්. ජෝක් සහ කොමඩි. චාලි චැප්ලින් විහිළුකාරයෙක් වශයෙන්නෙ අපේ අය හඳුන්වන්නෙ. නමුත් චැප්ලින් කියන්නෙ දේශපාලනික දාර්ශනිකයෙක්. ඔහුට සර් කියන නයිට් නාමය දෙන්නෙ ඒකෙන්. ඔහු දේශපාලනයේ තියෙන කුරිරු බව පෙන්නුවෙ හාස්‍ය මතු කරගෙන. ඔහුගෙ චිත‍්‍රපටවල තියෙන්නෙ පවතින ආර්ථික තත්ත්වයේ ජීවත්වෙන්න බැරිව මිනිහ ගහන කරණම්නෙ. මේක හරියට සීනි තැවරූ තිත්ත පෙත්තක්. මේක තමයි හොඳ හාස්‍යෝත්පාදක නාට්‍යකරුවකුගේ ලක්ෂණය වියයුත්තේ. මම ඔබේ ප‍්‍රශ්නයට ආවොත් දැන් වැඩිපුර හැදෙන්නෙ අර හතරවෙනි වර්ගයේ ඒවා. ආ! තව කට්ටියක් ඉන්නවනෙ. දැන් නම් මේ තත්ත්වය වැඩිපුර තියෙන්නෙ ටෙලිනාට්‍ය පැත්තෙ. ඉස්සර වේදිකා නාට්‍යවල තිබුණා. දැන් ඒ තරම් නෑ. දැන් ඒක ටෙලිනාට්‍යවලට ඇවිල්ල. ඒ කියන්නෙ ඔය කෙල්ලො කොල්ලො ටිකක් අල්ලගෙන පොඩි ආතල් එකක් ගන්න අය. ඒගොල්ල කියන්නෙ නාට්‍යයේ කතාව හෝ අර්ථය අපිට වැඩක් නෑ, ඔය ලස්සන කෙල්ලො කොල්ලො ටිකක් අල්ලගෙන ?ක් දෙකක් නිදාගෙන පොඩි ආතල් එකක් ගන්න කට්ටිය. එහෙම යන ටෙලිනාට්‍ය කලාවකුත් තියෙනව. ඕක සෑහෙන කල් ඉඳල තියෙනව. දැන් තමයි එළිවෙන්නෙ, ඔය ටෙලිෆෝන් කෝල් වලින් එහෙම. ඕක විහිළුවකට ගත්තට ඔය හෙළිවෙන්නෙ මේ රටේ කලාවේ ඛේදවාචකය. මේක දරුණු විදිහට තියෙනව මහත්තයො.
 
 ඔබේ ප‍්‍රශ්නෙට නැවත ගියොත්, දැන් පේ‍්‍රක්ෂකයෝ අතරමංවෙලා ඉන්නෙ, මොකක්ද කියලා හොයාගන්න බැරුව. බොහෝ පේ‍්‍රක්ෂකයෝ දැන් ආසා ඉළ කැඩෙනකං හිනාවෙලා යන්න. ඒගොල්ලො ආසා විනෝදවෙන්න.
 
 ඔබ කියන්නෙ මනමේ, සිංහබාහු පේ‍්‍රක්ෂකයො දැන් නෑ කියලද?
 
 නෑ නෑ ඒගොල්ල කොහෙද දැන්. දැන් සුගතපාල සිල්වාගෙ මරාසාද් පෙන්නුවොත් ගල් ගහයි, මොන මඟුලක්ද මේ කියලා. මෙලෝ සංසාරයක් තේරෙන්නෙ නෑ තම්බිට ග‍්‍රීක් වාගෙ. බෝඩිංකාරයෝ, ඇසළ සඳ එහෙම පෙන්නුවොත් හූ තියයි. තුරඟ සන්නිය පෙන්නුවොත් මොනව කොරයිද දන්නෙ නෑ. 56 න් පස්සෙ 60 දශකයේ සිටියනෙ සුන්දර පේ‍්‍රක්ෂක ප‍්‍රජාවක්. 70 දශකයෙ මුල ඔය ටික මළා නෙ. හිටපු බුද්ධිමත් තරුණයො හුඟක් නැති වුණානෙ. හාල්පාරුවො ටික ඉතුරු වුණා. සොක‍්‍රටීස්ගෙන් ශිෂ්‍යයෙක් අහනවා,‘ගුරුතුමනි, යුද්ධය යනු කුමක්ද?’ සොක‍්‍රටීස් කියනවා‘යුද්ධය ගැන නම් මම දන්නෙ නෑ, හැබැයි යුද්ධයෙන් පස්සෙ ඉතිරිවනුයේ වහල් මනසක් ඇති ජඩ පිරිසක්’. හරියට හරිනෙ, දැන් ඉතිරිවෙලා ඉන්නෙ එහෙම එවුන් තමයි. ඔක්කොම නෙමෙයි, බහුතරය. අසූවෙ දශකයෙ අගත් පිරිසක් නැති වුණානෙ. දැන් පෘට් සැලඞ් එකක් වගේ සංස්කෘතික වටපිටාවක්නෙ තියෙන්නෙ.
 
 රූපණය කියන්නෙ විද්‍යාවක්. ඒක හරියට හදාරල කළයුතු දෙයක්. දැන් අපි ටෙලි නාට්‍යයක් අරං බැලූවොත් ඒකෙත් ඉන්නව නළු නිළියො. රඟත්පානවා. හැම නාට්‍යයකම එකම විදිහයි. දෙබස් කියන්නෙ නෑ, දෙබස් පාඩම් දෙනවා. ඒවත් මිනිස්සුන්ට අල්ලල යනවා. ඇබ්බැහිවෙලා වගේ බලනවා. ඒවත් ජනප‍්‍රියයි. මොකක්ද මේ අවුල?
 
 දැන් හරි රූපණය නැතිවෙලාම ගිහිල්ලනෙ. මගෙ නාට්‍ය හා රංග කලා පන්තිවලට එන ළමයි ඉන්නව, මේව ඉගෙනගෙන උසස්පෙළ සමත් වෙනවට වැඩියෙ හොඳයි ටෙලිනාට්‍යයක රඟපාන්න යන එක කියල මාරුවෙලා ගිය අයත් ඉන්නවා. දැන් ඒ මිනිස්සු රඟපෑම ගැන පාඨමාලා කරනව පනස්දාහ හැටදාහ අරගෙන. මේව කරන අයත් නළු නිළියො වෙනවනෙ. මේවගෙ අලකලංචි නිසා මිනිස්සු අසරණ වෙලා තියෙනවා හොඳ මොකක්ද කියල තෝරගන්න බැරිව. දැන් මේ ළඟදි ඉඳල ජාතික රූපවාහිනියෙ පරණ ටෙලිනාට්‍ය ආයෙත් පෙන්නන්න පටන් අරං තියෙනවා. ඒවා බලලා මිනිස්සු අහනවා ඇයි දැන් මේ වගේ ඒවා හදන්නෙ නැත්තෙ කියලා. මිනිස්සු අරවට ඇබ්බැහි වෙලා නම් මේවා හොඳයි කියලා කියන්නෙ නෑනෙ. මේක දේශපාලනික කාරණාවක්. දේශපාලකයො කැමතියි මේ වගෙ මොට වෙච්ච ජනතාවක් ඉන්නවට. මං ඔබට කතාවක් කියන්නම්. ලූවී බ්රේල්ගෙන් අහනවා, ‘ඔබ බ්රේල් ක‍්‍රමය සොයාගත්තෙ අන්ධ ජනතාවටත් දැනුම සපයන්න නේද, ඔබ මහා නිර්මාණයක් කරලා තියෙන්නේ. ඇයි රටේ පාලකයන්ට එහෙම වුවමනාවක් නැත්තෙ?’ කියලා. ඔහු කියනවා,‘ජනතාව දැනුවත්වනවාට පාලකයා කිසිසේත් කැමති නැත. මන්දයත් දැනුවත් වූ ජනතාව මෝඩ පාලකයාව ප‍්‍රශ්න කරන බැවිනි.’
 
 අපේ රටේත් එවැනි තත්ත්වයක් තමයි මං දකින්නෙ. අපි බලමු තව ටිකක්. මොකද, මනුස්සයෙක් පත් වුණාට වැඩක් කරනව කියල, කරන්න දෙන්නෙ නෑ අර කාලකන්නි. අනිත් එවුන් ටික ඔක්කොම අදින්නෙ ආයිත් ජරාව කන පැත්තට. ඇත්ත කතාව ඒකනෙ. මේ කපටි දේශපාලකයො කැමති නෑ ජනතාව දැනුවත් වෙනවට. අධ්‍යාපනයෙ ඉඳන් ඒ වැඬේ හදල තියෙනව. අපේ අධ්‍යාපනය හැදිල තියෙන්නෙ අපිට අවශ්‍ය විදිහට නෙමෙයි ඇමරිකාවට අවශ්‍ය විදිහට. අන්න උන් ඉන්නකම් මේ රටට හරියන්නෙ නෑ. ඔය ඉන්න පාලක මඬුල්ලෙ ඉන්නවනෙ හැතිකරයක් මොන පක්ෂෙ වුණත්, උන් ටික ජනතාව දැනුවත් වෙනවට කැමති නෑ. දැන් ඔබ අහපු මුල් ප‍්‍රශ්නෙට එනවා, රූපවාහිනිය, අයි ටී එන් එක ඇතුළු පෞද්ගලික නාලිකාවලට ඔහේ හැසිරෙන්න ඉඩ දීල තියෙනවා. ඒවා කරන්නෙ අර අඳ බාල මැනේජ්මන්ට් කරන උන්.
 
 කොච්චර හොඳට තිබුණු රටක්ද මේ? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? දැන් බලන්න ඉස්සරහට මහ ජන්දයක් එනවනෙ. දැන් අර ටෙලිනාට්‍යවලයි පික්චර්වලයි නිකං කසිකබල් වැඩ කරපු එවුන් ටිකක් ජන්දෙ ඉල්ලනවා හැම පක්ෂයෙන්ම. මං කියන්නෙ ජනතාවට මොළේ තියනව කියල මේ සැරේවත් ඔප්පු කරන්න ඔය කසිකබල් නළු නිළියො කියන එවුන්ට ඡුන්දෙ දෙන්න එපා. දැන් එකෙක් කරපු හරිය හොඳටම ඇතිනෙ. අපොස සාමාන්‍ය පෙළවත් නෑනෙ. උසස් පෙළත් අසමත්නෙ මේ සැරේ, අඬහැරපෑවට. එතකොට අධ්‍යාපනය පැත්ත ඔහොමයි. මොළේ පැත්ත අන්තිම අක‍්‍රියයි කියල පේනවනෙ හැසිරෙන විදිහෙන්. ඉතිං ඔය වගේ එවුන් ආයෙත් පාර්ලිමේන්තුවට යවන්නෙ මොන ගොබ්බ ජාතියක්ද? අපි හොඳ ලාංකිකයො කියල ඔප්පු කරන්න නම් කරුණාකරල ගොබ්බයින්ට ඡුන්දෙ දීමෙන් වළකින්න. දැන් මෙහෙම දේකුත් තියෙනවා. උන්ට නොමිනේෂන් දෙන්නෙ දේශපාලන පක්ෂනෙ. බූරුවන්ව එවල අශ්වයො තෝරන්න කිව්වට වැඩක් නෑනෙ. ඒක හින්ද ඒ බූරුවන්ව එවපු දේශපාලන පක්ෂ ගැනත් හිතන්න. අව්ව තියෙන වෙලාවෙ පිදුරු වේලගන්නව වගේ රටේ බූරු ජනතාවක් ඉන්නව කියල හිතාගෙන ගොබ්බ ටෙලිනාට්‍ය කරපු උන් ටිකක් ඡුන්දෙට දානව කියන්නෙ මොන තරම් මෝඩද? හැබැයි මෝඩත් නෑ බලන කොට. පාර්ලිමේන්තුවෙ ඉන්න ඇට්ටරයින්ට ඕන එකක් කරන්ඩ පුළුවන්නෙ මුන් වගේ උන් ඉන්නකොට.
 
 තව දෙයක් කියන්න තියෙනවා. මේක නිකම් බෝම්බයක් ගැහුව වගේ තියෙයි. නමුත් මං මේ කියන්නෙ විශාල පිරිසක් වෙනුවෙන්. ජනාධිපතිවරණයට ඉස්සෙල්ල වටේ රොක් වුණ කලාකරුවො ටිකක් හිටියනෙ. මේගොල්ල මා එක්කත් කතා කළා. ‘ඔයගොල්ලො ඇයි මෙහෙම බලා ඉන්නෙ, මේ වගෙ වෙලාවක රට ගැන හිතන්න එපායැ’ ඔන්න ඔහොම මට කිව්වා. මම කිව්වා ඔයගොල්ලන්ගෙ එකමුතුවෙ ගෝඨාභය මහත්තය එක්ක කතා කරන වෙලාවට මටත් කතා කරන්න අවස්ථාවක් දෙන්න කියලා. අපෝ පුළුවන් අපි
 
 ගිහිල්ලා කතා කරමු කියලා කිව්වා. එච්චරයි ඊට පස්සෙ මීක් සද්දයක් නෑ. මොකද කට්ටිය දන්නවා මං ගියොත් ඇත්ත කියනව කියලා. මට ලබා ගන්න දෙයක් නෑ. නමුත් මං කියන ඇත්තට ඔය බොක්කෙ බිත්තර තියන එවුන් හරි බයයි. ඊළඟ එක තමයි, මට ආරාධනාවක් ආව ජනාධිපතිතුමා සමඟ රාත‍්‍රී භෝජනයකට එන්න කියලා. මං ගියා එතනදිවත් මට වචනයක් කතාකරන්න හම්බවෙයි කියලා. ඒ වෙලාවෙ ජනාධිපතිතුමා ටේබල් එකෙන් ටේබල් එකට යනවා. අපිට යන්න එපා ඕගොල්ලො ඉන්න, ජනාධිපතිතුමා එනවා ඔබ ගාවට කියලා. බලන්න ඒක හරි සුන්දරයිනෙ. ඉතින් මම මේ සුන්දර අත්දැකීම විඳගන්න බලා හිටියා. වැඩක් වුණේ නෑනෙ, එතුමා එනවා, එතුමා වටේට අර වටපඩයො ටික එනවා හිර කරගෙන. නිකම් ආයුබෝවන් කියන්න විතරයි, වචනයක් කතා කරන්න කට ඇරියාම,‘හරි අපි යනවා’ කියන්නෙ ජනාධිපතිතුමා නෙමෙයි වටේ ඉන්න එවුන්. එහෙම කියලා එක්කගෙන යනවා. මම බොහොම පලදායී දේවල් ටිකක් ලියාගෙන හිටියා එතුමා එක්ක කතා කරන්න. මං දන්නවා තව මේ වගේ කීපදෙනෙක් ඉන්නවා. මං මේ ළඟදිත් දෙන්නෙකුගෙන්ම ඇහුවා මට කතා කරන්න අවස්ථාවක් දෙන්න කියලා. එතකොට කියනවා ඉස්සෙල්ලා අපි එකතු වෙලා කතා කරමු. ඊටපස්සෙ යමු ජනාධිපතිතුමා ළඟට. මං දන්නවා ඒ මොකද කියලා. ඔය වටේ බොරුවට දරදිය ඇද්දා වගේ පේන්ඩ කෑගහපු එවුන්ට බඩු නෑ. ඇත්තටම උන්ගේ පැවැත්ම උදෙසා සටන් කළා විතරයි. උන් ගාව මුකුත් නෑ. ඔය ගෙයක් ගන්න වගේ දේවල් ඇති. ඒගොල්ල හදන්නෙ මා එක්ක කතා කරලා ඒ ටික අරගෙන ඒගොල්ලන්ගෙ දේවල් වගේ අරගෙන යන්න ජනාධිපතිතුමා ගාවට. මම ඉල්ලා සිටිනවා පොදුවේ මෙහෙම දෙයක්. ගරු ජනාධිපතිතුමනි, ඔබට කියන්නට වටිනා අදහස් කිහිපයක් මා ළඟ තිබෙනවා. එක පැය කාලක් දෙන්න. කරුණාකරල ඔබතුමන් වටේ ඉන්න ඔය සමහර තනතුරු ගත්ත මිනිස්සු ගැන පමණක් විශ්වාසය නොතබා ඔබට කියන්න හොඳ අදහස් තියන මිනිස්සු සමඟ කතා කරන්න.
 
 දැන් මේ වැඬේට අපිට දිනයක් දැනුම් දෙන්න කියලා අරගොල්ලන්ට කිව්වොත් මොකද දන්නවද වෙන්නෙ? හොඳට බලනවා අපිට වේදිකා නාට්‍යයක් තියෙන වෙලාවක්. බලලා හෙට නම් තියෙන්නෙ අද කියනවා. එහෙම කිව්වාම අපිට යන්ඩ විදිහක් නෑනෙ. එතකොට කියනවා කෝ ඕගොල්ලන්ට කිව්වා ආවෙ නෑනෙ කියලා. මෙහෙම කපටි වැඩ කරනවා ඔය වටේ ඉන්න මිනිස්සු.
 
 ඔය විදිහට ඇදිලා ගිය අපේ කතාබහ කලාව ඉක්මවලා ගිහින් දේශපාලනය පැත්තට ඇදිලා ගියා. එතනදී අපි දුටු කරණාවක් තමයි, ජයලාල් තමන් කියන දේ කෙළින්ම කියන හා ඒ වෙනුවෙන් නොපැකිලව පෙනී සිටින කෙනෙක් බව. මේ කතාව බොහොම ආන්දෝලනාත්මක එකක් වෙයි කියල කියපුවාම ඔහු කිව්වෙ තමන් පැවසූ සෑම වචනයක් වෙනුවෙන්ම වග කියනවා කියලා. ඔහු එහෙම කියපුවාම අපට හිතුනෙ එහෙම උපාධි කීපයක්ම තියාගෙන තනතුරු ගන්න එක එකාට නැවෙන්නෙ නැතුව උසස් පෙළට නාට්‍ය හා රංග කලා පන්ති කරගෙන පාඩුවෙ ඉන්නේ එහෙම කොන්දක් තියෙන නිසා කියලා.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles