Divaina - රාජ්‍යය සේවයට අලූත් සංකල්පයක්...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

fea8 1‘ගොවිතැන‘ රාජ්‍ය අංශයේ රැුකියාවක් කරමින් රාජ්‍යය සේවයට ‘ගොවි ව්‍යවසායකයන්‘ බඳවා ගැනීම කළ හැකි නම් එය ඉතාමත් අගනේය. එමගින් ගොවියාට තමන්ගේ අස්වැන්නට ලැබෙන මිල ගැන අනියත බියක් ඇති කරගත යුතු නොමැති අතර මාස් පතා වැටුපක් ලබාගත හැකිය. එමගින් තරුණ ව්‍යවසායකයන් කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කරගත හැකිය.

තවද අනෙක් ගොවීන්ගේ අස්වැන්නද රජයේ මැදිහත් වීමෙන් මිලදී ගෙන රාජ්‍ය අංශය කෙරෙහි ගොවීන් තුළ විශ්වාසයක් ඇති කරවිය හැකිය.

ශ‍්‍රී ලංකාව වූ කලි සොබා සෞන්දර්යෙන් හා මානුෂිය ගුණධර්මයන්ගෙන් පොහොසත් රටක් වූ අතර එහි ජාතික දේහය වූයේ කෘෂිකර්මාන්තයයි. ඒ නිසාම ඉන්දියන් සාගරයේ මුතු ඇටය, පෙරදිග ධාන්‍යාගාරය යන නාමයන්ගෙන් විවිධ වූ ජාතීන් අප අමතා ඇති අතරම සිංගප්පූරුවෙහි නිර්මාතෘ ලෙස සැලකෙන ලී ක්වාන් යූ මහත්මා එවකට නොදියුණු තත්ත්වයක පැවති තම රට එයින් මුදා ගැන්මට ආදර්ශය කරගත්තේද මෙම ලක් දෙරණයි. එසේ වුවද, අවාසනාවකට මෙන් දැන් දැන් එම සශ‍්‍රීකත්වය සේම මානුෂීය ගුණධර්මයන් අපෙන් ඈත්ව ගොස් ඇති බව කනගාටුවෙන් වුවද අපට පිළිගැනීමට සිදුව තිබේ. නිදහසෙන් පසු මෙරට පාලනය කළ ආණ්ඩු ශ‍්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් විවිධ වූ ප‍්‍රතිපත්තීන් රැුසක් කලින් කලට ගෙනහැර දැක්වුවද ඇතැම් විට ඒවායේ තිරසරභාවයක් නොමැතිවීම හේතුවෙන්ම ඉහත කී සශ‍්‍රීකත්වය සහ මානුෂීය ගුණධර්මයන් ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ගිලිහී යෑමට ඍජුවම හේතුවී ඇති බව මෙහිලා අවිවාදයෙන්ම සඳහන් කළ යුතුය.

රටක සංවර්ධනයෙහිලා එම රටෙහි වෙසෙන සියලූම පුරවැසියනට මෙන්ම රට කරවන්නන්හට මහත්වූ වගකීමක් පවතී. මන්දයත් ශ‍්‍රී ලාංකිකයන් ලෙස මෙරට වැසියන්ට ජීවත්වීම සඳහා සියලූම දෑ ලබාදෙන ජීවනාලිය මෙම මාතෘ භුමිය වන බැවිනි. මෙතෙක් කාලයක් අපෙන් විවිධ වූ වැරදීම්, අතපසුවීම් සිදුවන්නට ඇත. දේශපාලනමය වශයෙන් බෙදී තම තමන්ගේ බලය තහවුරු කරගැන්මට කුළල් කාගන්නට ද ඇත. එසේ වුවද අප කවුරුත් අමතක නොකොට වහා සිහි එල්බ ගතයුතු කාරණයක් පවතී. එනම්, සුන්දර වූ මෙම සිරිලක අප මේ මොහොතේ හෝ රැුක නොගතහොත් වැඩි කලක් යෑමට මත්තෙන් අපට අපවද නැතිවන බවය. අප සැමට අනන්‍ය වූ දේශපාලන මත තිබීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වූ රටක ලක්ෂණයකි. අප සැවොම එම මතයන්ට ගරුකළ යුතුය. සැබෑ දේශපාලනයකින් රටකට විය යුත්තේ එම රටෙහි හෙට දවස සුරක්ෂිත කිරීම මිස අනෙකක් නොවන බව අප සැවොම දැන්වත් මතකයට නගාගත යුතුය. ඒ අනුව පක්ෂ දේශපාලනයක් ගැන නොසිතා කුමන පක්ෂයක් විසින් ආණ්ඩුව කෙරවූවද එම පක්ෂයන් හොබවන දේශපාලන නායකයන් රටෙහි හෙට දවස වෙනුවෙන් ගන්නා වූ යහපත් තීන්දු තීරණ හා අනුකුලව කටයුතු කිරීමට අප අවංකව බැඳී සිටිය යුතුය.

රටක සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන ආණ්ඩුවක් හමුවේ විශාල අභියෝගයන් රැුසක් පවතී. මේ අතර රට වැසියන් සඳහා විවිධ වූ සම්පත් වෙන් කිරීම, ආදායම් විෂමතාව අඩු කිරීම මගින් ජනතාවගේ ක‍්‍රය ශක්තිය වැඩි කිරීම, සාර්ව ආර්ථිකය ස්ථායී කිරීම සේම තිරසර සංවර්ධනය මූලික වේ. මෙහිදී ජාතික නිෂ්පාදනය වැඩි කිරීම, සේවා වියුක්තිය අඩු කිරීම හා උද්ධමනය පාලනය කිරීම සාර්ව ආර්ථිකය ස්ථායී කිරීම යටතේ සිදු කරනු ලබයි. ජාතික නිෂ්පාදනයන් ගත්කල කෘෂි නිෂ්පාදනයන් එහි වැදගත්ම අංගයක් වේ. මෙරට ජනතාවගෙන් 74%ක් පමණ ඍජුව හෝ වක‍්‍රව කෘෂිකර්මාන්තය තම ජීවිකාව කරගනිමින් ජීවත් වන අතර ඒ වෙනුවෙන් ගෙවුණු දශක කිහිපයන්හිදීම රට කරවූ රජයන් වියදම් කරන ලද මුදල් සුළුපටු නොවේ. එසේ වුවද, වියදමට සාපේක්ෂව ලැබූ ආදායම ඉතා අඩු මට්ටමක පැවති බව ද්වීතික දත්ත පැහැදිලි කරයි.

ශ‍්‍රී ලංකාව මෙන් කෘෂි කර්මාන්තයට උචිත රටක් ලොව තවත් නැති තරම්ය. ඒ තරමටම කෘෂිකර්මාන්තය සඳහා අවැසි සෑම සාධකයකින්ම ශ‍්‍රී ලංකාව පොහොසත්ය. කෙසේ වෙතත්, ලොව ඇතැම් රටවල් ගත්කල ඔවුනට එම වරම් අහිමිව ගොස් තිබේ. උදාහරණයක් ලෙස ගත් කල මුළු ලොවටම චොකලට් නිෂ්පාදනය කර බෙදා හරින ස්විට්සර්ලන්තය කොකෝවා වගා නොකරන බව හොඳින් දන්නා කාරණයකි. අප මාතෘ භූමියේ සාරවත් භාවය මොන තරම්දැයි සඳහන් කළහොත් අහක දමන දඬුවක් පවා දලූලා වැඞීමට සමත්ය. මහත් පරිශ‍්‍රමයක් නොයොදා හොඳ අස්වැන්නක් ලෙහෙසියෙන් ලබාගත හැකිය. එහෙත්, විවිධ වූ හේතුන් නිසා කලක පටන් සහල් ඇතුළු මෙරට නිෂ්පාදනය කළ හැකි කෘෂි භාණ්ඩයන් පවා අසීමාන්තිකව අප රටට ආනයනය කරමින් පවතී. මෙයින් ගම්‍ය වන්නේ ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අපට කොහේ වැරදී ඇති බවය.

වර්තමානය වනවිට මුළු ලොවම දේශගුණ විපර්යාසයනට ලක්ව ඇති බව සැබෑය. මේ නිසාම පාරිසරික තිරසර භාවය ගැන වෙනදාටත් වඩා මුළු ලොවම අවදියෙන් සිට කටයුතු කිරීම ආරම්භ කොට ඇති අතර පාලකයන්ගේද වගකීම විය යුත්තේ ඒ වෙනුවෙන් දිවි හිමියෙන්ම කැපවී වැඩ කිරීමයි. ශ‍්‍රී ලංකාව යනු වැව් 35,000 කට අධිකව පැවති රටක් සේම විශාල වූ වන ගහනයකින් හෙබි රටකි. කෙසේ වුවද තිරසර සංකල්පයන් ගැන නොසිතා වැඩ කිරීමේ ප‍්‍රතිඵලයන් ලෙස වර්තමානය වන විට එම වැව් බොහොමයක් භාවිතයට ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති අතරම ඉවක් බවක් නැතිව වනාන්තර හා තෙත් බිම් විනාශ කිරීමේ ආදීනව හේතුවෙන් නොයෙක් වූ පාරිසරික හා කෘෂිකාර්මික ගැටලූ රැුසක් පැන නැගී ඇත. මේ අතර වන සත්ත්ව උවදුරු අධික වීම, නියං තත්ත්වයන් අධික වීම, නාය යෑම් අධික වීම, පස නිසරු වීම් හේතුවෙන් අධික ලෙස කෘතීම පොහොර භාවිතයට හුරු වීමට සිදු වීම, එහි ප‍්‍රතිඵලයක් ලෙස විශාල වූ ධනස්කන්දයක් විදෙස් රට වලට ඇදී යෑම, මානව සෞඛ්‍යයට අහිතකර විවිධාකාරයේ රෝගී තත්ත්වයන් ඇති වීම යනාදී දෑ සුලබව දක්නට ලැබේ. ශ‍්‍රී ලංකා භූමියේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් පවත්නා වූ බොහෝ නීතින් මෙතෙක් කලක් හරියාකාරව ක‍්‍රියාත්මක වූයේ නම් වර්තමානයේදී මෙවන් තත්ත්වයකට පත් නොවීමට ඉඩ තිබුණි.

ඒ අනුව මෙරට කෘෂිකර්මාන්තය සහ ජන ජීවිතය පොහොසත් කරමින් සංවර්ධනය කරා ඔසවා තැබීමට නම්, තිරසර සංවර්ධනය යන්න කිසි විටෙකත් අමතක නො කළ යුතුය. තවද විවිධ වූ පාරිසරික සම්පත් මතු පරම්පරාවට දායාද කරනු වස් පවතින නීතින් ඉතා දැඩිව ක‍්‍රියාත්මක කිරීමෙන්ම පමණක් මෙරටට සැබැවින්ම ආදරය කරන්නන්ට මෙම මාතෘ භූමිය මතු පරම්පරාව වෙනුවෙන් දායාද කරවිය හැකි බව මෙහිලා සඳහන් කළ යුතුය.

එසේම රටේ ආර්ථිකයට ජීවය දෙනු ලබන ගොවියා යනු අතිශය වැදගත් අයෙකු වුවද බොහෝ දෙනෙක්ට අද ඔහුගේ කාර්යය අමතකව ගොසිනි. ඔහුට අතීතයේදී පැවති වටිනාකම අද වන විට ඔහුගෙන් උදුරාගෙන ගොස් ඇති බව හොඳින් කරුණු අධ්‍යයනයේදී මනාව වැටහේ. මේ මොහොත වන විටත් ගොවිතැන හා සම්බන්ධයෙන් ගොවියාට අනේක වූ පාරිසරික අභියෝගයන් රැුසකට මුහුණ දීමට සිදුව තිබේ. එම අභියෝග තමන්ට හැකි අයුරින් ජය ගැනීමට වෙර දරන ගොවියාට අවසානයේදී තමන්ගේ අස්වැන්නට සාධාරණ මිලක් ද ලැබෙන්නේ කලාතුරකිනි.

එබැවින් අහිතකර වූ ඉහත කී පාරිසරික සාධක අසීරුවෙන් මැඬ ජය ගැනීමට වෙරදරන, ජාතියට ආහාර සපයන ගොවියාට අවසානයේදී සිදුව ඇත්තේ අසරණව සුසුම් හෙළන්නටය. ඊට හේතුව බොහෝවිට තමන් ගොවිතැන වෙනුවෙන් වියදම් කළ මුදලවත් පියවා ගැනීමට ඔවුන්ට නොහැකි වන බැවිනි. ඕනෑම පුද්ගලයකුගේ මූලික අවශ්‍යතාවන් අතර ආහාර, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන, පිරිසිදු වාතය, ජලය යනාදිය පවතින බව පැහැදිලි කාරණයකි. එසේ වුවද, සංවර්ධනය යන්න හරියාකාරව අපගේ ජීවිතයනට බද්ධකර නොගත්විට අපට සිදුවන්නේ මිරිඟුවන් පසුපස හඹා යෑමටය. එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ මූලික අවශ්‍යතාවන්වත් ඉෂ්ඨ සිද්ධ කරගත නොහැකිව අප සැමගේ සතුට අහිමිවී යෑමයි.

වර්තමානය වන විට අපගේ කෘෂිකර්මාන්තය යම් කඩා වැටීමකට ලක්ව ඇති බව කනගාටුවෙන් වුවද පිළිගැනීමට සිදුව ඇත. බොහොමයක් ගොවීහු ගොවිතැන ගැන කලකිරී සිටිති. රටක සංවර්ධනයෙහිලා ගොවීන්, ව්‍යවසායකයන් හා නිෂ්පාදකයන් මෙන්ම අතරමැදියන් සිටිය යුතුමය. එමෙන්ම, ඒ සියලූම දෙනා අධීක්ෂණය කරමින් නිසි පාලනයක් යටතේ තබා ගැන්ම පාලකයන් සතු සදාතනික වගකීමක් වේ. උදාහරණයක් ලෙස ගොවීන් විසින් වගාකරනු ලබන බෝගයන්හි අස්වැන්න බොහෝවිට අතරමැදි වෙළෙන්දන්/ව්‍යාපාරිකයන් හරහා ජනතාව අතරට පත්වීම සිදුවේ. මෙසේ ගොවීන්ගෙන් ලබා ගන්නා කෘෂි නිෂ්පාදනයන් අතරමැදියන් අතළොස්සක් මගින් පමණක් පාලනය කරනා විට හා ඔවුන් රජයේ අධීක්ෂණයෙන් තොර වූ විට නිතැතින්ම ඒකාධිකාරියක් ඇති වේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස අස්වැන්න සඳහා ගොවීන්ට සාධාරණ මිලක් නොලැබෙනවා සේම ජනතාවටටද එම නිෂ්පාදනයන් වෙනුවෙන් ඉතා අධික මුදලක් ගෙවීමට සිදුවේ. මෙම තත්ත්වය තුළ ගොවීන් වගාවෙන් ක‍්‍රමිකව ඈත් වෙමින් සිටින අතර එම නිෂ්පාදනයන් සඳහා ඉල්ලූමට සාපේක්ෂව සැපයුමක් නොමැතිවීම තුළ අධික ලෙස මිල ඉහළ යෑමත්, එතකින් නොනැවතී අවසානයේදී අධික මිල පාලනය කිරීම සඳහා එම නිෂ්පාදනයන් ආනයනය කරන තත්ත්වයට පත්වීමට රජයකට සිදුවේ. මෙය දිගින් දිගටම සිදුවූ විට ගොවියාට සදහටම ගොවිතැනින් සමු ගැනීමට වුවද හේතු සාධක ඇති විය හැකිය.

එම නිසා රටට සැබවින්ම ආදරය කරන්නවුන් ලෙස මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට අප කටයුතු කළ යුතුමය. කෘෂිකර්මාන්තය වෙනුවෙන් පවත්නා වූ සියලූම රාජ්‍යය මෙන්ම පුද්ගලික ආයතන මෙහි ඇති වැදගත්කම වහා තේරුම් ගෙන නොපසුබටව රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කළ යුතුය. විශේෂයෙන් රාජ්‍ය සේවය තුළ දැන් පවතින තත්ත්වයට වඩා පැහැදිලි පරිවර්තනයක් සිදුවිය යුතුය. මහජන මුදලින් වැටුප් ලබන පුද්ගලයන් ලෙස අපෙන් මේ මාතෘ භූමියට ඉටුවිය යුතු වගකීම් කිසිම විටෙකත් අප අතපසු නොකළ යුතුය.

ඉහත සඳහන් කළ නොයෙකුත් ගැටලූ හේතුවෙන් නිසාදෝ වගාකිරීමට විභවයක් පවතින කෘෂිකාර්මික ඉඩම් සියල්ලක්ම පවා වර්තමානය වනවිට වගාවට යොදා ගන්නේ නැත. කුඹුරු ඉඩම් මේ සඳහා හොඳම උදාහරණයකි. කුඹුරු ඉඩමක් යනු එක් අතකින් ගත් කල බත සපයන කෙත් භූමියක් සේම අනෙක් අතින් එය පාරිසරික සමතුලිතභාවය රකින තෙත් බිමකි.

කෘෂි නිෂ්පාදනයන් සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වකරුවන් විසින් එක් එක් අදහස් ඉදිරිපත් කරන අතරම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ඒ සඳහා පූර්ණ අයිතියක් පවතී. සෑම බෝගයකින්ම රටට ස්වයංපෝෂිත වීමට තරමක් අපහසු විය හැකිය. එසේ වුවද, හැකි අයුරින් සෑම කෘෂිකාර්මික භූමියක්ම වගා කළ හැකිනම් එමගින් ආහාර සුරක්ෂිතතාවය මෙන්ම රටේ සංවර්ධනය ද ළඟාකරගත හැකිවනවා නො අනුමානය. එසේ වුවද දැන් දැන් අපේ ගොවියා මඳක් අධෛර්යමත් වී ඇති අතර නැවත වතාවක් ඔවුනට ජීවය දියයුතු තත්ත්වයක් උදාවී ඇත. කෘෂි නිෂ්පාදනයන් වැඩි වැඩියෙන් නිපදවීමට ඔවුනට රාජ්‍ය අංශයේ වැඩි දායකත්වයක් වහාම ලබාදිය හැකිනම් නැවත වතාවක් අපගේ ගොවීනට ජීවය ලබාදිය හැකිය. තවද අපනයන වෙළෙඳපොළ දියුණු කිරීම මගින් විදේශ විනිමය ඉහළ නැංවිය හැකිය. එසේ නොමැතිව කුඹුරු ඉඩම් යනාදිය සංවර්ධන කටයුතු සඳහා යැයි පවසමින් විනාශකාරී දෙයකට යොදාගන්නේනම් විනාශ වෙන්නේ සමස්ත රටත් එහි ජනතාවත්ය. කුඹුරු ඉඩමක් බොහෝවිට වගාකිරීමට නොහැකි තත්ත්වයට පත්වන්නේ අපේම වරදින් මිස වෙන හේතුවක් නිසා නොවන බවද අප අමතක නොකළ යුතුය. එබැවින් වගා කළ හැකි සියලූම කුඹුරු ඉඩම් වී ගොවි තැන සඳහාම පමණක් යොදාගැනීම තිරසර තීරණයක් වන අතරම එසේ අපහසුම කුඹුරු ඉඩම් පමණක් වෙනත් බෝගයන් සඳහා යොදා ගැනීම කළ හැකිය. කෙසේ වුවද, අත්‍යවශ්‍යම හේතුවකට හැරුණුකොට එම ඉඩම් වෙනත් සංවර්ධන වැඩසටහන් සඳහා යොදා නොගත යුතු වන්නේ කුඹුරු ඉඩම් යනු තෙත් බිම් වන බැවිනි.

කෙසේ වුවද, ගොවීනට යළිත් කෘෂිකර්මාන්තය ගැන සුබවාදී බලාපොරොත්තුන් ලබාදිය හැක්කේද බලධරයන්ටම පමණක් හෙයින් මේ සඳහා ඉතාමත් හොඳ ආරම්භයක් ලබාදිය යුතුය. විකල්පයක් ලෙස, වගා නොකර පවත්නා වූ සියලූම කෘෂිකාර්මික ඉඩම් රාජ්‍ය අංශයේ අධීක්ෂණය යටතේ විධිමත් ලෙස පවරාගෙන වගා කිරීමට ඉඩ සැලැස්විය යුතුය. මේ සඳහා රාජ්‍ය සේවාවට කම්කරුවන් බඳවා ගැනීමේදී ගොවිතැන වෙනුවෙන්ම බඳවා ගැනීම් කළ හැකිය. එනම් ‘ගොවිතැන‘ රාජ්‍ය අංශයේ රැුකියාවක් කරමින් රාජ්‍යය සේවයට ‘ගොවි ව්‍යවසායකයන්‘ බඳවා ගැනීම කළ හැකි නම් එය ඉතාමත් අගනේය. එමගින් ගොවියාට තමන්ගේ අස්වැන්නට ලැබෙන මිල ගැන අනියත බියක් ඇති කරගත යුතු නොමැති අතර මාස් පතා වැටුපක් ලබාගත හැකිය. එමගින් තරුණ ව්‍යවසායකයන් කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කරගත හැකිය. තවද අනෙක් ගොවීන්ගේ අස්වැන්නද රජයේ මැදිහත් වීමෙන් මිලදී ගෙන රාජ්‍ය අංශය කෙරෙහි ගොවීන් තුළ විශ්වාසයක් ඇති කරවිය හැකිය. මේ හේතුවෙන් අසාධාරණ ලෙස මුදල් උපයන අතරමැදි ව්‍යාපාරිකයන්ගෙන් ද ගොවීන්ව ආරක්ෂා කරගත හැකිය. එම නිසා, ශ‍්‍රී ලාංකිකයන් ලෙස අපට වගකීම් සමුදායක් පවතී. තවදුරටත් එම වගකීම් පැහැර නොහැර ධරණී තලය වෙනුවෙන් ඉටු කළ යුතු මෙහෙය අපි ඉටු කරමු.

සංගීත් ප‍්‍රසාද් ප‍්‍රනාන්දු
සංඛ්‍යාන විද්‍යා පශ්චාත් උපාධිධාරී
කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles