Divaina - ‘යක්ෂා දේශය’ වැද්දන්ටත් වඩා අශිෂ්ඨ වූ මිනිස් සමාජය ගැන කියන කතාවක්...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

 
yaksa1 ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගත් සමරකෝන්
 
 ‘විජය කුවේණි’, ‘ඇහැළේපොළ කුමාරිහාමි’, සහ ‘පටාචාරා’ නම් වූ ඵෙතිහාසික කතා වස්තූන් සිනමාවට නඟමින් මෙරට සිනමා ප්‍රේක්ෂකයාගේ බුද්ධියට ආමන්ත්‍රණය කරමින් අවසන ඔවුන් අමන්දානන්දයට පත් කෙරුමට සමත් වූ සම්මානනීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගත් සමරකෝන්ගේ නවතම ඵෙතිහාසික සිනමා සිත්තම මෙරට මානව සංහතියේ ඉතිහාසය පිළිබඳව විදාරණයක් වූ මහාවංශය නොකී අපේ වංශයේ කතාව ‘යක්ෂා දේශය’ නුදුරේදීම තිරගත වීමට නියමිත ය. මේ ඒ පිළිබදව විමසමින් ‘දිවයින සිනමා කලා’ ඔහු සමග පැවැත්වූ සංවාදයේ සංක්ෂිප්තයයි.
 
 ඔබේ සිනමා භාවිතය මේ දක්වා දිව ගියේ ඓතිහාසික කතා වස්තූන් පසුපස. ‘යක්ෂා දේශය’ එහි තවත් පැතිකඩක්ද...
 
 එහෙම කීවත් වරදක් නෑ. අපේ ඉතිහාසය සහ ඒ තුළ ගැබ්ව ඇති පෞඩත්වය පිළිබදව අපට එක නිර්මාණයකින් දෙකකින් විiාමාන කෙරුමට ඉතාමත් අපහසුයි. මගේ සිනමා භාවිතය හරහා මා යත්න දරන්නේ ඉන් අංශු මාත්‍රයක් හෝ අපේ සමාජයට දායාද කරන්න. ඒ වෙනුවෙන් මම කළ උත්සාහයන් මේ සමාජය ඉතාමත් හොඳින් පිළිගත්තා. ඒක නිර්මාණකරුවකු හැටියට මට ලොකු උත්තේජනයක් සැපයුවා. ‘යක්ෂා දේශය’ මා අතින් නිර්මාණය වෙන්නේ ඒ නිසාවෙන්.
 
 අපේ සනුහරේ කතාව... එසේත් නැතිනම් ‘යක්ෂා දේශය’ ඔබ අධ්‍යක්ෂණය කළ ඓතිහාසික කතා වස්තූන් අතරින් අපට බලපාන වෙනස්ම කතාවක් ගැන කියවෙන චිත්‍රපටයක් බව පැවසුවා...
 
 ලංකාවේ මානවයාගේ ඉතිහාසය. බළන්ගොඩ මානවයාගේ සිට එය ක්‍රි.පූ. 543 ආරම්භය දක්වාම දිව ගිය ආකාරයත් මගේ ‘යක්ෂා දේශය’ චිත්‍රපටයට පාදක වෙනවා. එදා විජය රජුගෙන් බැට කා වන වැදුණු යක්ෂ ගෝත්‍රිකයෝ වසර දහස් ගණනක් කැලයටම වී ජීවත් වුණා. ඔවුන්ගෙන් විශාල පිරිසක් එදා විජය රජුගේ පිරිස අතින් මැරුම් කෑවා. මේ ගැන මහවංශයේ අපුරුවට සඳහන් කර තිබෙනවා. යක්ෂ. නාග, රාක්ෂ සහ දේව කියන ගෝත්‍ර හතරට අයත් අපේ මුතුන් මිත්තන් ඒ විදිහට වසර දහස් ගණනක් වන වැදී සිටියා. අපේ රජවරු විටින් විට මේ ගෝත්‍ර සමඟ සම්බන්ධ වුණා. ඒ වගේම ඔවුන් ඉංග්‍රීසි ජාතිකයන් සමඟත් ගනුදෙනු කළා. 1980 කාලසීමාවේදී අපේ දේශපාලකයින්ගේ අමනෝඥ ක්‍රියා හේතුවෙන් මේ වැදි සමාජයට කැලයෙන් එළියට එන්නට සිදු වුණා. නමුත් ඔවුන් එළියට එන්නේ කැමැත්තෙන් නෙවී. ‘යක්ෂා දේශය’ චිත්‍රපටය පෙන්වන්නෙ ඒ සිද්ධි

yaksa555

දාමය සිදුවූ ආකාරයයි. වර්තමාන දේශපාලකයින් මේ මිනිස්සුන්ට සැලකූ විදිහ, අවසන ඔවුන් ගම්මාන ගතකර අන්ත අසරණ තත්ත්වයට පත් කෙරුම. මේ දේශපාලකයින් වැද්දන්ව වනයෙන් එළියට ගන්නේ ශිෂ්ට සම්පන්න ජාතියක් කිරීමට කියලා කියනවා. නමුත් අපේ සමාජය වැදි සමාජයට වඩා කොතරම් අශිෂ්ටසම්පන්නද කියලා ඔවුන්ට තේරුම් යන්නේ වනයෙන් එළියට පැමිණියාට පසු. ඒක හරිම ඛේදජනක තත්ත්වයක්. මේ සමාජයේ සිදුවන හොරකම්, මිනී මැරුම්, බාල අපරාධ, මත් පැනට දක්වන ලොල් බව බලකාමී කුණු දේශපාලනය වැද්දන්ට වඩා මොනතරම් අශිෂ්ටසම්පන්නද කියලා මේ ගෝත්‍රකයෝ දකින්නේ එවිටයි. වනජීවී, වන සංරක්ෂණ, සහ අභයභූමි බෝඞ් ගහලා කැලය කපලා නිධන් හොයලා මැණික් ගරලා වන සම්පත වනසලා මේ ශිෂ්ඨ යැයි කියන සමාජයේ හෙළුැව වැද්දෝ දකිනවා. ඔවුන් කවදාවත් එවැනි විනාශ නොකරපු පිරිසක්. ඔවුන් වනයේදී සතෙක් මැරුවේ කෑමට විතරයි. කෙදිනකවත් රංචු පිටින් සත්තු මැරුවේ නැහැ. ඒ අය සොබාදහමට ආදරය කළා. බොරු කිව්වේ නෑ. දූෂිත ක්‍රියාවන් කළේ නැහැ. මත් වතුර බිව්වේ නෑ. ගංජා හේන් වැව්වෙ නෑ. මේ විදිහට වන ගතව සිටි ශ්‍රේෂ්ඨ ජන කොට්ඨාසයක් තමයි මේ සමාජයට බලහත්කාරයෙන් අරගෙන ඇවිත් නූතන සමාජය විසින් විනාශය කරා ගෙන යන්නේ. එදා බුදුන්වහන්සේ පවා දේශනා කළා මේ දේශයේ සිටින බුද්ධිමත් මිනිසුන් පිළිබදව. උන්වහන්සේ අපේ ගෝත්‍රකයින්ට බණ තේරෙන ජාතියක් බව දේශනා කළා. ඒකයි මම කියන්නේ අප මහා දැවැන්ත ඉතිහාසයක් තියෙන දියුණු මනුෂ්‍ය කොට්ඨාසයක්ව සිට ගෝත්‍රකයින්ටත් වඩා පහළට වැටුණා කියලා. ඊට පස්සේ අපේ මිනිස්සු දුන්නටයි ඊතලයටයි සීමා වුණා. ඒ අය මේ සමාජය විසින් කොන් කළා. අසරණ කළා. මේ සියල්ල කළේ මේ පවතින ශිෂ්ට සමාජයේ මිනිසුන් විසින්. ‘යක්ෂා දේශය’ කියන්නේ වෛවර්ණ චිත්‍රපටයක් නෙවෙයි. මම මෙතැනදි කලු වර්ණය වැඩිපුර භාවිත කර තිබෙනවා. එහෙම කළේ ඇයි කියල චිත්‍රපටිය බලන කොට අපේ ප්‍රේක්ෂකයාට දැනෙයි.
 
 ඔබ කියන වැදි සමාජය අද මේ පවතින සමාජයේම පිරිසක් සමඟ බද්ධව කටයුතු කරනවා නේද...
 
 ඔව්. අද වැදි සමාජයේ සියයට විස්සක් පමණ මේ සමාජයේ දුෂ්චරිත සමඟ බද්ධ වෙලා ඉන්නවා. වැඩ කරනවා. නමුත් වැදි නායක වන්නිලෑ ඇත්තෝ තාම තමන්ගේ ආත්ම අභිමානය පවත්වාගෙන යෑම වෙනුවෙන් අරගලයක යෙදී සිටිනවා. මම චිත්‍රපටයේ පෙන්වන ආකාරයටම ඔවුන් පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් අශිෂ්ට මිනිස් සමාජය සමඟ අරගලයක නිරතව සිටිනවා.
 
 ‘යක්ෂා දේශය’ චිත්‍රපටය වෙනුවෙන් දායක වුණු පිරිස පිළිබදව පැවසුවොත්...
 
 රොජර් සෙනෙවිරත්න, බුද්ධදාස විතානාරච්චි, අනුර ධර්මසිරිවර්ධන, වසන්ත කුමාරවිල, සංජීව දිසානායක, රෝහිත බී පෙරේරා, විජිත මෙන්ඩිස් (නැසීගිය රංගන ශිල්පී පූජිත මෙන්ඩිස්ගේ සොයුරා) හරිනි කෞ්‍යාංජලී, කව්මිණි වර්ණා, කියන ප්‍රවීණ සහ නවක පිරිස රංගනයෙන් දායක වුණා. ප්‍රධාන නිෂ්පාදකවරයා ලෙස කුලසේකර කන්නන්ගර දායකත්වය දැක්වූවා. ඔහු සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතාගේ මුණුබුරෙක්. මගේ ‘හෙළ වුඞ් ඇක්ටින් ස්කූල්’ රංගායතනයේ සිසුන් තමයි නිෂ්පාදක දායකත්වයන් දැක්වූවේ. සංගීත අධ්‍යක්ෂණය ශාන් ගුණවර්ධන, කැමරාව ගාමිණී ප්‍රනාන්දු, කලා අධ්‍යක්ෂ සහ ඇඳුම් නිර්මාණය උපුල් කුමාර උපනන්ද, සංස්කරණය සහ ත්‍රිමාණ සජීවීකරණය තුෂාල් දසනායක, සහාය අධ්‍යක්ෂණය රොෂාන් කැටපෙආරච්චි, නවෝදා ආරියරත්න, කැමරා සහාය අධ්‍යක්ෂ මගේ පුතා සංජය සමරකෝන්.

 

yaksa444
 
 ඔබේ නිර්මාණකරණයන් හරහා නිෂ්පාදකයා ආරක්ෂා වුණාද...
 
 ඔව්. මම හැම අවස්ථාවකම ඒ වෙනුවෙන් බැඳි සිටියා. නමුත් මා වැඩකළ සමහර නිෂ්පාදකයන් නිසා මා අපහසුතාවයට ලක්වූ අවස්ථා තිබුණා. ඒ පිළිබදව දැන් කතා කරලා වැඩක් නෑ. ‘විජය කුවේණි’ චිත්‍රපටය සම්මාන විස්සක් පමණ ලබා ගත්තා. ඒ වගේම දින සියයකට වඩා සිනමා ශාලාවල තිරගත වුණා.
 
 ඔබ වේදිකාව වෙනුවෙන් නිර්මාණය කළ ‘උතුරේ රාහුල හිමි’ වැනි නාට්‍ය පිළිබදව එදා අපේ සමාජයේ හොඳ කතා බහක් ඇතිවුණා. ඒත් ඇයි සුගත් සමරකෝන් පුංචි තිරය වෙනුවෙන් නිර්මාණකරණයකට නෙයෙන්නේ..
 
 නැහැ. මම පුංචි තිරයට එනවා. ඒත් අද ටෙලි නාට්‍ය කලාවට අත්ව ඇති පිරීහීම පිළිබදව මමත් ලොකු කලකිරීමකින් ඉන්නේ.
 
 ඒ කලකිරීම පිළිබදව කතා නොකර සිටීම වරදක් කියලයි මා දකින්නේ...
 
 නැහැ. මම ඒ ගැන කතා කරන්න බියක් නැහැ. අපි නිර්මාණකරුවෝ හැටියට සෑම දෙයක් පිළිබඳවම දැක්මක් තිබිය යුතුයි. අද ටෙලි නාට්‍ය කලාව පිරිහිලා. හම සුදු කර ගත්ත පිරිසක් තමයි මේවායේ රංගනයේ යෙදෙන්නේ. අද තියන බොහෝ ටෙලි නාට්‍ය නිර්මාණ පවුලේ අයට එකට සිට නැරඹිය නොහැකි ඒවා. හරවත් ගුණවත් අන්තර්ගත නැහැ. සීනී බෝල කතා තේමාවන්. මේ කලාව සම්භාව්‍ය විය යුතුයි. සන්දර්භය, ගුණාත්මක බව ඉහළට ගෙන ආ යුතුයි. අද විකාශය වන විදේශීය ටෙලි නාට්‍ය ඉතාමත් ජනප්‍රිය වෙලා තිබෙන්නේ අපේ ‘ඩබ්’ කිරීමේ කලාව ඉතාමත් හොඳ නිසා. ඒ අය දක්ෂයි. ඒ නිසා ඕනෑම පහත් අවර ගණයේ විදේශ ටෙලි නාට්‍ය අපේ රටේ ජනප්‍රියව තිබෙනවා. නමුත් මෙතනදී අපට තිබෙන ප්‍රශ්නය තමයි අපේ විකාශන කාලය පිටරටකට ලබා දීමට සිදුවීම. එහෙම වුණත් කමක් නෑ එදා අපි දුටුව ‘ඔෂීන්’ වගේ කතාවක් බලන්නට තියනව නම්. මම කියන්නේ අපේ ටෙලි නාට්‍ය වෙනුවෙන් සම්මානනීය කෘති පාදක කර ගත යුතුයි කියලයි. අපේ ටෙලි නාට්‍ය කලාව බොළද ආදර කතා වෙනුවෙන් වෙන් කර ගනිමින් කැරපොතු සුද්දො දාගෙන රඟ දක්වලා වැඩක් නෑ.
 
 අභිනවයෙන් තේරී පත්වූ ජනපතිවරයාගෙන් අපේ සිනමාවේ උන්නතිය වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙන බව මේ කතා බහේදී ඔබ සඳහන් කළා...
 
 ඔව්. ‘සිව් හෙළ කලා හඬ’ සංවිධානයේ සභාපතිවරයා ලෙස මමත්. ලාල් වීරසිංහ, හර්ෂ උඩකන්ද ඇතුඵ අපේ සංවිධානයත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සිනමාවේ උන්නතිය වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළා. එතනදී ප්‍රධානතම ඉල්ලීම වුණේ සිනමාශාලා 450ක් සාදා ගැනීම. මේ ඉල්ලීම හිටපු ජනාධිපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ බන්දුල ගුණවර්ධන මහතාත් කළ යුතුව තිබෙන්නක් බවට ප්‍රකාශ කර සිටියා. ඇත්තටම මේක සිදුවුණොත් අපට ලොකු සහනයක්. චිත්‍රපට පෝලිම නැතිව යනවා. අපි ඒ ගැන අවධානයෙන් යුතුව ඉතා ඕනෑ කමින් බලාගෙන ඉන්නවා. ඒ වගේම විදේශ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිර්මාණ ගෙන්වීම සහ පෙන්වීම පිළිබඳවත් අප ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළා. ඒ වෙනුවෙන් නව නීති පනවන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටියා. මේ හැම දෙයක් ගැනම සාධනීය ලෙස එතුමාගේ අවධානය යොමු කරනු ඇතැයි අපි බලාපොරොත්තු දල්වා බලා සිටිනවා.
 
 සුජීව තත්සර

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles