Divaina - ශිවාජිලිංගම්ට කඩා වැටුණු පින

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

Thal1ජනාධිපතිවරණයේ උණුසුම වැඩිවත්ම එය උතුරු පළාතට ඉතා තදින්ම දැණෙමින් පවතී.
 
 දකුණේ දේශපාලන පක්‌ෂ හැසිරෙන ආකාරයට වඩා උතුරේ දේශපාලන පක්‌ෂ හැසිරෙන අන්දම ඉතාම වෙනස්‌ බැවින් කවර මැතිවරණයකදී වුව ද උතුරේ දේශපාලන පක්‌ෂ ගැන වැඩි වශයෙන් කතාබහට ලක්‌ වේ.
 
 උතුරේ දේශපාලනය තුළ දෙමළ ජාතික සන්ධානයට විශාල තැනක්‌ තිබුණු නමුත් ඒ තැන මේ වන විට ක්‍රම ක්‍රමයෙන් හීන වී වෙනත් වෙනත් පක්‌ෂ හා බලවේග වෙත උතුරේ ජනයා ඇදෙමින් සිටින නිසා මේ දිනවල උතුරේ දේශපාලන පිටියෙන් වරින් වර ඇසෙන්නේ විවිධ කතාබහය.
 
 ඒ කතාවන් කෙසේ වෙතත් උතුරේ ඡන්දදායකයන් බහුතරයකගේ ඡන්දය ප්‍රකාශ කිරීම මත දකුණේ දේශපාලන ප්‍රතිඵලය වෙනස්‌ වන නිසා දකුණේ දේශපාලනඥයෝ සියලු දෙනාම උතුරේ ජනතාව දිනාගැනීමට වෙහෙසෙති.
 
 මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්‌ෂකයන් අතරින් සියලු දෙනාම පාහේ මේ වනවිට උතුරු පළාතට පැමිණ හමාරය. ඔවුන් තම දේශපාලන ප්‍රතිපත්ති හරහා උතුරේ ජනතාවටත් මේ රටේ දෙමළ ජනතාව විසින් ඉල්ලා සිටින ජාතික ප්‍රශ්නයට ලබාදෙන විසඳුම් පිළිබඳවත් දේශපාලන වේදිකාවල කතා කරති.
 
 දෙමළ ජනතාවට ප්‍රශ්න හා ගැටලු ඇති බව සත්‍ය කරුණක්‌ වුවත් ඔවුන්ට ජාතික මට්‌ටමින් විශාල ගැටලුවක්‌ ඇති බව ඉතාම පැහැදිලිව පෙනෙන්නට නොමැත. ඔවුන් කියන ආකාරයට දෙමළ පළාත් දෙමළ ජන කොටසක්‌ විසින් පාලනය කළ යුතු බව මනෝමය තත්ත්වයක්‌ මිස අත්‍යවශ්‍ය කාරණයක්‌ නොවේ.
 
 උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කොට තනි පාලන ව්‍යqහයක්‌ වශයෙන් සලකා දෙමළ ජනතාවට එම ඒකකයේ පාලනය දෙමළ දේශපාලනඥයන් විසින් ඉල්ලා සිටිති. සෑම මැතිවරණයකදීම එවැනි ක්‍රමයක්‌ අප විසින් ලබාදෙන්නේ යෑයි කීමට දකුණේ දේශපාලනඥයෝ උතුර දේශපාලන වේදිකාවක්‌ කර ගනු ලබයි. මෙවර ජනාධිපතිවරණයෙදී ද උතුරේ සිදුවෙමින් පවතින්නේ එවැනිම තත්ත්වයකි.
 
 අනුරත් උතුරට
 
 ජනාධිපතිවරණය ඉතාම ආසන්නයේ තිබියදී උතුරු පළාතට පැමිණෙන්නේ ජාතික ජනබල පෙරමුණෙන් ජනාධිපති ධුරයට ඉදිරිපත් වී සිටින අනුර කුමාර දිසානායක මහතාය. ඔහු උතුරු පළාතට පැමිණ ජනතාව අමතා කියන දේ මේ කොළමේ සටහන් කරන්නට හැකියාවක්‌ නොමැත්තේ ඔහු උතුරේ ජනතාව ඇමතීමට යොදාගෙන තිබෙන කාලසටහනට පෙර මේ කොළම පළවන නිසාය.
 
 නමුත් අනුර කුමාර දිසානායක මහතා පැමිණීමට පෙර ටිල්වින් සිල්වා මහතාත් ලාල් කාන්ත මහතාත් උතුරු පළාතට පැමිණ දේශපාලන සාකච්ඡා හා රැස්‌වීම් කීපයක්‌ම පවත්වනු ලැබීය.
 
 මේ අවස්‌ථාවලදී දැකගන්නට ලැබුණේ උතුරේ ජනතාව තුළ පෙරට වඩා එම පක්‌ෂය කෙරෙහි යම් ආකර්ෂණීය බවක්‌ ඇති වී තිබෙන ආකාරය පිළිබඳවය. උතුරේ දෙමළ ජනතාවගේ විශාල සහයෝගයක්‌ අනුර කුමාර දිසානායක මහතා ඇතුළුව එම පක්‌ෂය කෙරෙහි ලැබෙමින් පවතී.
 
 ඔවුන් ද උතුරේ මේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක්‌ වශයෙන් සලකා ඊට යම් ආකාරයක විසඳුමක්‌ ලබාදීමට උත්සාහ කිරීම නිසා මෙවැනි ප්‍රවණතාවක්‌ වර්ධනය වෙමින් පවතින බව විශ්වාස කළ හැකිය.
 
 ජනතා විමුක්‌ති පෙරමුණ ඇතුළු ජාතික ජන බල පෙරමුණ ජාතිවාදය ප්‍රතික්‌ෂේප කළ ද උතුරේ දෙමළ ජනතාව අනාදිමත් කාලයක සිට පුරුදු පුහුණු කොට ඇත්තේ ජාතිවාදය කරපින්නා ගෙන ජීවත්වීමට නිසා ඔවුන්ට ආපසු හැරීමට ඇති අසීරුතාව ජනතා විමුක්‌ති පෙරමුණ සමග කටයුතු කිරීමට විශාල බාධාවක්‌ බව උතුරේ සිදුවන ඇතැම් සිද්ධීන් සමග පෙනී යයි.
 
 වාමාංශික දේශපාලනයට ලැදි උතුරේ වැසියන් බොහොමයක්‌ සිටිනවාට අමතරව වාමාංශිකත්වය මුල් කරගෙන බිහි වුණු දේශපාලන පක්‌ෂ ද උතුරේ පවතී. දකුණෙන් බිහි වූ එවැනි පක්‌ෂ වල අනුගාමික කොටස්‌ ද උතුරේදී හමු වේ. නමුත් ඔවුන්ගේ සහාය ජනතා විමුක්‌ති පෙරමුණ ඇතුළු ජන බල පෙරමුණට නොලැබෙන්නේ මන්දැයි යන්න ප්‍රශ්නයකි.
 
 ගෝඨා වෙනුවෙන් මහින්ද
 
 වරක්‌ උතුරේ සංචාරය කළ මහින්ද රාජපක්‌ෂ මහතා යළිත් වරක්‌ උතුරට පැමිණෙන්නේ ජනාධිපතිවරණයට දින හයක්‌ පමණ තිබියදීය.
 
 මුලින් වතාවේ ගෝඨාභය රාජපක්‌ෂ මහතා මහින්ද රාජපක්‌ෂ මහතා සමග පැමිණියේ වවුනියාවට හා යාපනයටය. මෙවර මහින්ද රාජපක්‌ෂ පැමිණියේ කිළිනොච්චි හා මුලතිව් ප්‍රදේශයටය.
 
 ගෝඨාභය රාජපක්‌ෂ මහතා උතුරු මැද පළාතේ ජනහමු හයක්‌ අමතද්දී මහින්ද රාජපක්‌ෂ මහතා කිළිනොච්චි හා මුලතිව් රැස්‌වීම් දෙකක්‌ ඇමතුවේය.
 
 වසර තිහක්‌ පැවති යුද්ධය හමාර කිරීමෙන් පසුව උතුරු ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයට ලබාදුන් රුපියල් මිලියන 3000 කට වඩා අති විශාල මුදලෙන් ඔවුන් කිසිදු සංවර්ධන ක්‍රියාදාමයක්‌ සිදු නොකළ බව විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතා එහිදී කියා සිටියේය.
 
 රජයකින් ඔවුන්ගේම ජනතාවට අවශ්‍ය දේ ලබාදීමට මුදල් ලබාදෙද්දී එම මුදල් වියදම් නොකොට දෙමළ ජාතික සන්ධානය ඒ රජය විවෙචනය කරමින් ජාත්‍යන්තරයට ව්‍යාජ තොරතුරු සපයමින් සිටි බව කී මහින්ද රාජපක්‌ෂ මහතා එවැනි පිරිසක්‌ කියන දේට මෙවරත් නොරැවටෙන ලෙස උතුරේ වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
 
 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ භාෂා තුනෙන් කරුණු විග්‍රහ කොට ඇත්තේ වෙනස්‌ වෙනස්‌ ආකාරයට බවත් ඔවුන් එසේ කරන ලද්දේ මේ රටේ සිංහල ජනතාවට එක්‌ අර්ථයක්‌ ලබාදීමටත් දෙමළ ජනතාවට තවත් අර්ථයක්‌ ලබාදීමටත් බව කියා සිටියේය.
 
 සජිත්ට යාපනයෙන්  පෝනි කරත්තයක්‌
 
 මුලින්ම මන්නාරමට ගිය සජිත් ප්‍රේමදාස මහතා එහි පැවති ජන හමුවකින් පසුව මන්නාරම රදගුරු හිමිපාණෝ බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
 
 මන්නාරමේ සියලු ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ නොකොට මෙවර ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස එක්‌තරා පිරිසක්‌ ගෙන ගිය කඩාකප්පල් ව්‍යාපාරය මන්නාරමේ ආගමික නායකයන් එකතු වී වෙනස්‌ කළ බව මන්නාරම රදගුරු ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණෝ ඒ අවස්‌ථාවේදී සජිත් ප්‍රේමදාස මහතාට පැවසූහ.
 
 මන්නාරමේ සිට යාපනයට ගිය සජිත් ප්‍රේමදාස මහතාව යාපනයේ පැවති රැස්‌වීම් භූමිය දක්‌වා ජනතාව විසින් රැගෙන ගියේ අශ්ව කරත්තයකිනි. රැස්‌වීම සංවිධානය වී තිබුණේ යාපනය සංගිලියන් උද්‍යාන ක්‍රීඩාංගණයේදීය.
 
 මේ රටේ ජීවත්වන සිංහල දෙමළ මුස්‌ලිම් යන සෑම ජන කොට්‌ඨාසයකටම එකම නීතියක්‌ යටතේ ජීවත්වීමට අවස්‌ථාව හිමිවන ඒකීය රටක්‌ තමන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඇතිකරන බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසුවේය.
 
 යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර වැසියන්ගේ ජීවිත සුත මුදිත කොට යහපත් ආර්ථික සංවර්ධනයක්‌ ඇති කිරීම සඳහාත් මේ පළාත් තුළ යෝධ සංවර්ධනයක්‌ ඇති කිරීම සඳහාත් තමන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ජාත්‍යන්තර රටවල සහභාගිත්වයෙන් ආධාර සමුළු දෙකක්‌ පවත්වන බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
 
 ශිවාජිලිංගම්ට කඩා වැටුණු පින
 
 යුද සමයේදී අතුරුදන් වූවන්ගේ ඥාති සංගම් සියල්ලක්‌ම මෙවර ජනාධිපතිවරණයේදී එම්. කේ. ශිවාජිලිංගම් මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමටත් ඔහුට සහාය දැක්‌වීමටත් තීරණය කළ බව එම සංගමයේ සභාපතිනි කාසිපිල්ලේ ජෙයවනිතා මහත්මිය වවුනියාවේදී පැවසුවාය.
 
 වවුනියාව නගරයේ ඔවුන් විසින් පුරා දින 993 ක කාලයක්‌ අඛණ්‌ඩ විරෝධතාවක්‌ පවත්වන ස්‌ථානයේදී දකුණෙන් ඉදිරිපත් වී සිටින සියලුම ජනාධිපති අපේක්‌ෂකයන්ට විරෝධය පළකරමින් විරෝධතාවක්‌ පවත්වා අනතුරුව මේ බව මාධ්‍යවේදීන්ට කියා සිටියහ.
 
 සභාපතිනිය කියා සිටියේ යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව ජිනීවා මානව හිමිකම් මණ්‌ඩලයට කරුණු ඉදිරිපත් කරන ලද්දේ සිවාජිලිංගම් මහතා පමණක්‌ බවයි.
 
 යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් සොයාගැනීමේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහනයක්‌ ලබාගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයටත් මෛත්‍රිපාල සිරිසේන මහතාටත් රනිල් වික්‍රමසිංහ මහතාටත් මහින්ද රාජපක්‌ෂ මහතාටත් වරින් වර තම සංගමය සහාය දක්‌වන ලද නමුත් ඔවුන්ගෙන් මේ දක්‌වා කිසිදු සහනයක්‌ නොලැබුණු බවයි.
 
 එම සංගමයේ උප ලේකම් එස්‌. අරුල්දේවන් මහතා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මහතා ඇතුළු පිරිස ජනතාවට නොදන්වා සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදෙන මෙන් ඉල්ලා ඇතත් තම සංගමය ඒ තීරණයට එකඟතාව පළ නොකරන බවයි.
 
 අපි ඡන්දෙට නෑ.... ඡන්දෙට අපි නෑ..
 
 මෙවර ජනාධිපතිවරණය වර්ජනය කරන මෙන් ඉල්ලා උතුරේ තවත් දේශපාලන පක්‌ෂ කීපයක්‌ වීදි බැස තිබේ.
 
 ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇතුළු එම පක්‌ෂයේ ක්‍රියාධරයෝ උතුරේ තැන් තැන්වල ඇවිදිමින් අත් පත්‍රිකා බෙදමින් සිටිති.
 
 ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා එම පත්‍රිකාවේ සඳහන් කොට ඇත්තේ මේ රටේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‌ෂා කිරීමටත් දේශපාලන විසඳුමක්‌ තුළින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීමට උත්සාහ නොකරන දකුණේ සිංහල පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමේ තේරුමක්‌ නොමැති බවයි.
 
 දෙමළ ජාතික සන්ධානය මේ තත්ත්වය තේරුම්ගෙන නොමැතිවා නොව ඔවුන්ට කාට හෝ මුක්‌කු ගසා තාන්න මාන්න මුදල් වාහන ඇතුළු දේ ලබාගැනීමේ අරමුණින් ඔවුන් මැතිවරණයෙන් මැතිවරණයට එක්‌ එක්‌ මාදිලියේ තීන්දු ගන්නා බව ද එම පත්‍රිකාවේ සඳහන් කොට තිබේ.
 
 මේ තත්ත්වය නිසා දෙමළ ජාතික සන්ධානය විශ්වාසයක්‌ තැබිය නොහැකි පක්‌ෂයක්‌ බවට පත් වී ඇති නිසා ජනතාව ඔවුන් ප්‍රකාශ කරන දේවල් විශ්වාස කොට ඔවුන් කියන පුද්ගලයන්ට මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකොට ඡන්දය වර්ජනය කොට දෙමළ ජනතාවගේ විරෝධය පෙන්වා සිටින ලෙස ද අත් පත්‍රිකා මගින් ඉල්ලා ඇත.
 
 එසේ නොමැතිව දෙමළ ජනතාව මැතිවරණයෙන් මැතිවරණයට එක්‌ එක්‌ අය ප්‍රකාශ කරන පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට යැම නිසා දෙමළ ජනතාව හෑල්ලු වන බව පෙන්වා දෙන දෙමළ ජාතික ජනතා පෙරමුණ දෙමළ ජාතික සන්ධානය මුළු ලෝකයා හමුවේ හෑල්ලූවට ලක්‌ වූවත් දෙමළ ජනතාව එසේ හෑල්ලුවීමට අවශ්‍යතාවක්‌ නොමැති බව ද අත් පත්‍රිකාවල සඳහන් කොට තිබේ.
 
 මේ අතරවාරයේ ඊ. පී. ආර්. එල්. එµa. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටින්නේ ද උතුරේ දෙමළ ජනතාව මෙවර ජනාධිපතිවරණය වර්ජනය කිරීම ඉතා වැදගත් බවයි.
 
 දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහායදීමට ගත් තීරණය දේශපාලනමය වශයෙන් ගත් මෝඩ තීන්දුවක්‌ බව ඔහු කියා සිටියි..
 
 සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා බවට පත්වන බව පවසන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටින්නේ මීට පෙර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් අතර ඇති වූ ගැටීම්වලට වඩා විශාල ගැටුම් ඇතිවන බවයි.
 
 මේ තත්ත්වය නිසා සජිත් ප්‍රේමදාස මහතා ජනාධි
පති වී රජයක්‌ බිහි වුවහොත් දෙමළ ජනතාවට කිසිවක්‌ නොලැබෙනවා සේම රටට යහපතක්‌ සිදු නොවන බව ද ඔහු සඳහන් කළේය.

p11 167

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles