Divaina - ඉස්ප‍්‍රිතාල - OFF RECORD

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

offroad13විදේශීය චිත‍්‍රපට අප රටේ රූගත කිරීම සෑහෙන කාලයක සිට සිදුවෙමින් පවත්නා දෙයකි. ‘මවුන්ටන් ඉන් ද ජංගල්’ සිට මෑතක ගාල්ල ප‍්‍රදේශයේ රූගත කරන ලද ‘ගුඞ් කර්ම හොස්පිට්ල්’ දක්වා බොහෝ චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය නිෂ්පාදන මෙහි රූගත කොට තිබේ. අපේ බොහෝ නළු නිළියන් ඒවායේ සැළකිය යුතු චරිත නිරූපණය කළ අතර විශාල අතිරේක නළු නිළියන් සංඛ්‍යාවකට ද එම විදේශීය නිර්මාණවල රඟපෑමට අවස්ථාව හිමිවෙයි. එමෙන්ම ඊට අමතරව, ප‍්‍රධාන ශිල්පීන් හැරුණු කොට අනෙකුත් සහාය ශිල්පීන් සපයා ගන්නේ ද අපේ ක්ෂේත‍්‍රයේ කාර්මික ශිල්පීන් අතුරෙනි. මේ සඳහා සේවා සපයන නිෂ්පාදන ආයතන කිහිපයක් අප රටේ ක‍්‍රියාත්මක වන අතර ශිල්පි සම්බන්ධීකරණය සිදු කෙරෙනුයේ එකී ආයතන හරහාය. එසේම එම විදේශීය නිෂ්පාදකයන් තම නිර්මාණ වෙනත් රටකදී රූගත කරන අවස්ථාවල ඔවුන් සෑහීමකට පත්වන සේ වැඩ කළ අප රටේ ශිල්පීන්ව එකී නිෂ්පාදන කටයුතු සඳහා කැඳවා ගන්නා අවස්ථා බොහෝ වෙයි. එසේ වෙනත් රටවල ආගන්තුක ශිල්පීන් හා වැසියන් සමඟ කටයුතු කරන්නට වන අවස්ථාවල විවිධ හේතූන් කරණ කොටගෙන අපේ ශිල්පීන් මුහුණ දෙන සමහර සිද්ධීන් ඉතා රසවත් ඒවාය. මේ එවන් එක් සිද්ධියකි.
 
 මේ සිද්ධියට මුහුණ දෙන ලද්දේ අප රටේ ප‍්‍රකට ශිල්පීන් දෙදෙනෙකි. එක් අයෙක් නම් ශී‍්‍ර ලංකාවේ සම්භාව්‍ය ගනයේ චිත‍්‍රපට වැඩි ප‍්‍රමාණයක වේෂ නිරූපණ ශිල්පියා වූද එපමණක් නොව ප‍්‍රකට ඉන්දීය නළු කමලාසන් පවා වෙස් ගන්වා ඇති ප‍්‍රවීණ වේෂ නිරූපණ ශිල්පියෙකු වූ රංජිත් වික‍්‍රමසිංහ ය. අනෙක් පුද්ගලයා වනාහී චිත‍්‍රපට ගණනාවකට කලා අධ්‍යක්ෂණයෙන් හා ඇඳුම් නිර්මාණයෙන් දායක වී ඇති ප‍්‍රවීණ කලා අධ්‍යක්ෂ අතුල සුල්තානාගොඩ ය. එසේම මොවුන් දෙදෙනා ශී‍්‍ර ලංකාවේ රූගත කරන සෑම විදේශීය චිත‍්‍රපටයක් සඳහාම නොවරදවා ඇරයුම් ලබන ප‍්‍රවීණ ශිල්පීන් දෙපලකි. වරක් මේ දෙදෙනාට තවත් කණ්ඩායමක් සමඟ විදේශීය චිත‍්‍රපටයක රූගත කිරීමකට සහභාගි වනු පිණිස මැලේසියාවට යෑමට අවස්ථාවක් ලැබිණි. එම විදේශීය චිත‍්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා මාසයකට කිට්ටු කාලයක් මැලේසියාවේ ගත කරන්නට සැළසුම් කර තිබිණි. නිෂ්පාදකයන් විසින් චිත‍්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම සඳහා හෝටල්වල නවාතැන් පහසුකම් සපයා තිබූ අතර අපේ මිත‍්‍රයින් දෙදෙනා නවාතැන් ගත්තේ එකම කාමරයකය. හෝටලයේ සිට දර්ශනතලය දක්වා ගමන් කිරීමට ප‍්‍රවාහන පහසුකම් නිෂ්පාදකයන් විසින් සපයා තිබිණි. අපේ මිත‍්‍රයන් දෙදෙනා ද ශී‍්‍ර ලංකාවෙන් පැමිණ සිටි අනෙකුත් ශිල්පීන් හා විදේශීය ශිල්පීන් සමඟ හරි හරියට වැඩ කරමින් විනෝදයෙන් රූගත කිරීම්වල නිරත වූහ. මෙසේ ටික දිනක් ගත විය.
 
 දිනක් උදෑසන, චිත‍්‍රපටයේම යම්කිසි කාර්යයක් සඳහා නවාතැන් ගත් හෝටලයේ මඳක් ප‍්‍රමාද වන්නට සිදු වූ මිත‍්‍රයන් දෙදෙනාට නිතිපතා දර්ශනතලය වෙත ගමන්ගන්නා වෑන් රථය මඟ හැරිණි. පැයක් හමාරක් වූ ප‍්‍රමාදය නිසා දර්ශනතලය වෙත ධාවනය වන සියලූ වාහන පිටත්ව ගොස් තිබුණේය. නියමිත පටිපාටියකට නිෂ්පාදන ක‍්‍රියාවලිය සිදු වූ හෙයින් දර්ශනතලයේ සිට වෑන් රථයක් ගෙන්වා ගැනීමට ද ඔවුනට අවස්ථාවක් නොවීය. කරුණු එසේ හෙයින් දර්ශනතලය වෙත ගමන් කරන්නේ කෙසේදැයි දෙදෙනාට පැන නැඟුණු ගැටලූව විය. රූගත කිරීම් යෙදී තිබුණේ නගරයේ රෝහලේ බැවින් මැලේසියාවේ බහුලව ක‍්‍රියාත්මක වන ප‍්‍රවාහන ක‍්‍රමය වන ත‍්‍රිරෝද රථයකින් දර්ශනතලය වෙත යා හැකි නොවේදැයි දෙදෙනාට කල්පනා විය. ඒ අනුව හෝටලයෙන් පිටත්ව මඟට බැස ත‍්‍රිරෝද රථයක් නවත්වා ගත් දෙදෙනා තමන්ට නගරයේ රෝහලට යෑමට අවශ්‍ය බව ඉංග‍්‍රීසි භාෂාවෙන් රියැදුරාට පැවසූහ. රියැදුරා ගල්බීතව දෙදෙනා දෙස බලා සිටියේ මුල්වරට පිටසක්වල භාෂාවක් ඇසූවකු පරිද්දෙනි. ඉංග‍්‍රීසි මල පොතේ අකුරක්වත් නොදැන සිටි රියැදුරාට අපේ මිත‍්‍රයන් දෙදෙනා පවසන දෑ ග‍්‍රීක් මෙන් විය. ඒ බව වටහාගත් දෙදෙනා අධෛර්යයට පත් නොවී තමන් දන්නා ශිල්පය භාවිතා කොට තමන්ට යෑමට අවශ්‍ය තැන රියැදුරාට සන්නිවේදනය කළ යුතු බව තීරණය කළහ. ඒ වනාහී තමන්ගේ අදහස රඟපා පෙන්වීමය. ඒ අනුව සන්නිවේදන කාරියේ මුල් අවස්ථාව ලබා ගත්තේ අතුල ය. ඔහු දොස්තරවරයකු සේ රඟපෑවේ වෙද නලාව මෙන් අතක් රියැදුරාගේ පපුවට තබා පෙන්වීමෙනි. රියැදුරා තුෂ්ණිම්භූතව සිටියේ මූ අහවල් මඟුලක් කරන්නේදැයි වටහාගත නොහැකිවය. ඒ වෑයම අසාර්ථක වීමෙන් පසු නොපසුබට වූ අතුල මඳක් කල්පනා කොට තම දෑත කුරුසියක් සේ හරහට තබා රංජිත් හැඳ සිටි කමිසයේ රතු පාට පෙන්වූයේ ආරෝග්‍ය ශාලා සංකේතය වූ රතු කුරුසිය රියැදුරාට වටහා දෙන්නටය. නමුත් ඒ වෑයමද අපතේ ගිය බැව් දෙදෙනාට හැඟුණේ රියැදුරා පිටසක්වලයින් දෙදෙනෙකු දෙස මෙන් තමන් දෙස බලා සිටිනා බැල්මෙන්ය. චිත‍්‍රපට කිහිපයකම සැළකිය යුතු චරිත රඟපා සිටි රංජිත්, අතුලව පසෙකට කොට ඉදිරිපත් වූයේ තම රංගන හැකියාවෙන් රියැදුරාට කාරණය වටහාදීම සුළු දෙයක් බව සිතමිනි. ඒ අනුව හෙදියක් ලෙස රඟපාන්නට අදහස් කළ ඔහු හෙදියන්ගේ හිස් පළඳනාව අභිරූපණයෙන් හඟවා ලාලිත ගමනෙන් රියැදුරා අසලට ගොස් ඔහුගේ අත රැුගෙන ඉන්ජෙක්ෂන් එකක් විදීම අභිරූපණයෙන් රඟපා පෙන්වීය. රංජිත්ගේ අභිරූපණය කෙතරම් තාත්වික වුවද රියැදුරාට එය අවබෝධ වූ බවක් පෙනුනේ නැත. මේ දෙස බලා සිටින අතුලගේ ඉවසීමේ සීමාව ඉක්ම යමින් තිබුණි. ”මේ මගුල හරියන්නේ නෑ මචං. අපි දැන් හුඟක් ප‍්‍රමාද වෙලා ඉන්නේ. මෙතන මූට රඟපපා ඉන්න වෙලාවක් නෑ, ඉංග‍්‍රීසි දන්න ත‍්‍රීවීල් කාරයෝ ඇතිනෙ බං. වෙන එකෙක් බලමු’යි අතුල, රංජිත් අමතා පැවසුවේය. එහෙත් රංජිත් වික‍්‍රමසිංහ යනු ලෙහෙසියෙන් පරාජය භාරගන්නා චරිතයක් නොවේ. ඔහු නොපසුබටව තව චරිතයක් රඟපෑම ආරම්භ කළේය. ඒ අනුව ඔහු රෝගියෙකු මෙන් කෙඳිරිගාමින්, අපහසුවෙන් ඇවිදිමින් රියැදුරා ළඟට පැමිණ බෙහෙත් බොන ආකාරයක් රඟපා පෙන්වා උත්සාහ කළේ රියැදුරාට රෝහල මතක් කර දෙන්නටය. රියැදුරා ඇටිකෙහෙල් කෑ උගුඩුවෙකු මෙන් එදෙස බලා සිටිනවා දුටු අතුල මල පැන, ”මං කිව්වෙ බං, මූට මේක තේරුම් කරන්ඩ බෑ. තව ටිකක් වෙලා මෙතන හිටියොත් මට මූවයි ඉස්පිරිතාලෙ යවන්ඩ වෙන්නේ’යි කෑගසා කීවේය. ඒ ඇසූ රියැදුරා දත් තිස් දෙකම පා මහ හඬින් සිනාසී,”හාආආආ, ඉස්පි‍්‍රිතාල’යැයි පවසා වහා රියෙන් බිමට බැස රියට නගින ලෙස අපේ මිතුරන් දෙදෙනාට දෑත පා ගෞරවයෙන් ඇරයුම් කළේය. ඔවුන්ගේ භාෂාවෙන් ද රෝහල හැඳින්වීම පිණිස භාවිතා කරන වචනය ‘ඉස්ප‍්‍රිතාල’ බැව් රියට නැඟි අපේ මිත‍්‍රයන් දෙදෙනාට වැටහුණේ රෝහල් පරිශ‍්‍රයට පැමිණ ත‍්‍රිරෝද රිය නැවැත්වූ පසුය.
 
 
 
 නිමල් ෆ‍්‍රැන්සිස්

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles