Divaina - සියලූ ජනතාවට අභිමානයකින් සිටගත හැකි එකම තැන ජාතික ජනබලවේගයයි - පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

nalin

ප‍්‍රශ්නය:- ජාතික ජන බලවේගයේ මැතිවරණ සූදානම කොහොමද?

පිළිතුර:- පසුගිය 07වෙනිදා නාමයෝජනා භාරදුන්නට පස්සේ අපේ පළමු රැලිය අනුර කුමාර සහෝදරයා උපන් ගම වන තඹුත්තේගමදි ඉතාම සාර්ථකව පවත්වල අපි ජනාධිපතිවරණ සටන ආරම්භ කළා. ඒ වගේම දිස්ති‍්‍රක් මට්ටමේ මෙන්ම ගම් මට්ටමෙන් ද මේ වනවිට අපි ජනහමු පවත්වමින් යනවා. ඒ වගේම ගොවි, කම්කරු, වතුකම්කරු බලවේග කැඳවා සමුළු තබා අවසන්. මහනුවරදී මහා සඟ සමුළුවක් කළා. ඉදිරියේදී ධීවර, කාන්තා, තරුණ, වෘත්තීයවේදීන් කැඳවා නියෝජිත සමුළු පවත්වනවා.

ඔක්තෝබර් 26 වන විට අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ජනගත කරනවා. මේ රට වෙනස් කිරීමට සමත් බලයක් වෙනුවෙන් පුළුල් මැතිවරණ යාන්ත‍්‍රණයක් මේ වන විට අපි දියත් කර තියෙනවා.

ප‍්‍රශ්නය:- ජාතික ජන බලවේගයට ඉදිරියේදී තවත් කණ්ඩායම් එකතුවීමට නියමිත බව පැවසෙනවා. ඊට එකතුවීම සඳහා ඔබලා යම් යම් කොන්දේසි දමා තිබේද?

පිළිතුර :- ජාතික ජන බලවේගය කියන සංවිධානය අපි එළිදැක්වූයේ පසුගිය ජූලි මස 14 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ උත්සවයකින්. ඊට සංවිධාන 28ක් ඒ වනවිට එකතුවී තිබුණා. ඒ වගේම තවත් විවිධ වර්ගයේ ජාතික මට්ටමේ හා ප‍්‍රදේශීය මට්ටමේ සංවිධානද සිංහල, දෙමළ, මුස්ලිම් සංවිධාන විද්වතුන් ඇතුළු පිරිස් දැනටමත් අපි සමග සාකච්ඡා අරඹා තිබෙනවා. අපි සමග එකතුවීමට නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කරන රට ගොඩනැගීමට අවංකව දායක වන දූෂණයට විරුද්ධවීම, ජාතිවාදයෙන් තොරවීම වගේ දේවල් තමයි මූලික කොන්දේසි වෙන්නේ.

ප‍්‍රශ්නය:- මේ පිරිහුණු දේශපාලන සංස්කෘතිය වෙනස්කිරීම සඳහා ඔබලාගේ වැඩපිළිවෙලේ අඩංගු මූලික යෝජනා මොනවාද?

පිළිතුර:- රටේ ජනතාවට මේ පවතින ජඩ දේශපාලන සංස්කෘතිය ගැන කලකිරීමක් ඇතිවෙලා තියෙන බව අද ප‍්‍රසිද්ධ කාරණයක්. ඒකට ප‍්‍රධාන හේතු දෙකක් තිබෙනවා. එකක් මේ දේශපාලන ක‍්‍රමවේදය ඇතුළේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු නොකිරීම. දෙක, බලයේ හිටපු හා සිටිනා පක්ෂවල දේශපාලනඥයන්ගේ සදාචාර විරෝධී, නීති විරෝධී කි‍්‍රයා.

2018 පළාත් පාලන ඡුන්දෙන් පසු මේ ප‍්‍රධානයයි කියන දේශපාලන පක්ෂ දෙකේ ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ හැසිරීම ගැන පොඞ්ඩක් හිතල බලන්න. රටක සැබෑ දේශපාලනඥයෝ නම් ඔවුන් ජනතාවට වගකියන්න ඕන. ජාතික ජන බලවේගයේ අපි ඊට සූදානම්. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නම් එහි මුදුන සුද්දකිරීම අනිවාර්යයි. එතැනින් තමයි පටන්ගන්න ඕන. දැන් බලන්න රටේ ජනාධිපතිවරයාට තිබෙන වරප‍්‍රසාද? දිස්ති‍්‍රක්ක හත අටකම මාලිගා හදලා. කොළඹ ඉඳන් පැයක් ඇතුළත ගුවනින් යන්න පුළුවන් තැන්වලත් ජනාධිපති මන්දිර හදලා. සමහර මන්දිරවල පැය දෙකක් වත් ඔහු ගතකරන්නේ නැහැ. කෝටි ප‍්‍රකෝටි ගණන් මහජන මුදල් ඒවාට යටකරලා. අපි වගකීමෙන් කියනවා අපි බලයට ආවොත් ඒ අනවශ්‍ය මන්දිර එක්කෝ කෞතුකාගාර බවට පත්කරනවා. නැත්නම් සංචාරක මධ්‍යස්ථාන බවට පත්කරලා රටට ආදායම් උපදවා ගන්නවා. මේ රටේ විශ‍්‍රාම ගිය කිසිම ජනාධිපතිවරයෙක් හිඟමනට වැටී නැහැ. ඉතින් ඔවුන්ට විශ‍්‍රාම වැටුප් මොකටද? ඔහුගේ විශාල කාර්ය මණ්ඩලය නඩත්තු කරන්න මෙතරම් විශාල මුදලක් මොකටද? මෙතරම් කාර්ය මණ්ඩලයක් මොකටද? මේ වනකොට ජනාධිපතිවරයා සඳහා දිනකට කෝටි 7ක් වැය කරනවා. අපි බලයට ආවොත් අනිවාර්යයෙන්ම එය කපාහරිනවා. එම මුදල් රටේ පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යොදවනවා.

මෙච්චර ඇමති මණ්ඩලයක් රටකට මොකටද? ව්‍යවස්ථාවට අනුව කැබිනට් ඇමති ධුර 30ට සීමා කළ යුතුයි. නමුත් අද තත්වය කුමක්ද? ඇමති මණඩලයේ ප‍්‍රමාණය ව්‍යවස්ථාවට ඇතුළු කළ යුතු මෙන්ම එය වෙනස් කිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට අපි නීති සම්පාදනය කරනවා. ඇමතිවරුන් හා ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීම සඳහා අමාත්‍යාංශ වලින් වියදම් කරන මුදල් අපි අනිවාර්යෙන්ම කපාහරිනවා. එම මුදල් ජනතාවගේ ජීවන තත්වය නැංවීමටත් රටේ සංවර්ධනයටත් යොදවනවා.

දේශපාලනඥයන්ගේ සියලූ වත්කම් බැරකම් ජනතාව දැනගත යුතුයි. ඒව හෙළිකරන්න බැරි අය දේශපාලනයට නොආයුතුයි. අපේ පාලනයක් යටතේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රගේ සිට ජනාධිපතිවරයා දක්වා ජනතාවට වගකියන විනිවිද භාවයක් සහිත මූල්‍ය ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා.

නීතිය ඉදිරියේ සියලූ පුරවැසියන් සමාන විය යුතු වගේම, ඒක ජනතාවට පෙනිය යුතුයි. දැනිය යුතුයි. ආදර්ශයෙනුත්, නීතියෙනුත් ජනතාව සමග බැඳෙන සම්මුතියකින් අපි ජනතාවට වගකියන දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා. ඒ වගේම අපි අවධාරණයෙන් කියනවා සියලූ මැති ඇමති වරුන්ගේ විශ‍්‍රාම වැටුප් අහෝසිකරනවා කියලා.

ප‍්‍රශ්නය:- දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර ඔබ සංවිධානයේ ප‍්‍රචාරක කටයුතු සහ ඒ සඳහා එම ජනතාවගේ ප‍්‍රතිචාර කෙබඳුද?

පිළිතුර:- මේ වනවිට අපේ රටේ ජනාධිපතිවරණ 07ක් පවත්වලා තියෙනවා. මේ ජනාධිපතිවරණය කලින් ඒවාට වඩා වෙනස් එකක්. මීට කලින් දෙමළ සහ මුස්ලිම් පක්ෂවල නායකයෝ ජනාධිපතිවරණයේදී තම ඡන්ද කුට්ටිය පෙන්න පෙන්නා යුඇන්පී, ශී‍්‍රලංකා පක්ෂ ඉදිරියේ කේවල් කරමින් විවිධ වරදාන වරප‍්‍රසාද ගත්තා. ප‍්‍රබල ඇමතිකම් ගත්තා. ඒ සඳහා ඔවුන්ට ඡන්දය දුන් දෙමළ, මුස්ලිම් ජනතාවන්ගේ අපේක්ෂාවන් සහ අභිලාෂයන් පාවලා දුන්නා. ඒවාට අභියෝග කරන තත්වයක් එම ජනතාවන්ගෙන් එල්ලවෙනවා පසුගිය කාලවලදී අපි වැඩිපුර දුටුවේ නැහැ. නමුත් ඉතිහාසයේ පළමු වතාවට අරකියන පක්ෂවලට හා නායකයන්ට අවනත නොවී ස්වාධීනව තීන්දු ගතහැකි මුස්ලිම් හා දෙමළ ජනප‍්‍රජාව අතර දේශපාලනය ගැන හිතන කි‍්‍රයාකරන පිරිස් හා කණ්ඩායම් මතුවෙමින් තිබෙනවා. ඒක සාධනීය ලක්ෂණයක්. මෙතෙක් කල් අර ප‍්‍රධාන යැයි කියන පක්ෂ දෙකේ දේශපාලකයින් සාමාන්‍ය ජනතාව බිය ගැන්වීමට යොදාගත් තුරුම්පුව තමයි, ඒ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නය. නමුත් ජනතාවට අවශ්‍ය සුරක්ෂිත රටක් බිහිකරන්න මේ පාලකයන් අසමත්වෙලා තියෙනවා. බේරුවල සිට මිනුවන්ගොඩ දක්වා ප‍්‍රහාර වලින් මුස්ලිම් ජනයාගේ ජීවිත රැකගැනීමට පැවති රාජපක්ෂ ආණ්ඩුවටත් මේ ආණ්ඩුවටත් බැරිවුණා. ඒ නිසා තම ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් පස්සේ ගිහිල්ලා වැඩක් නැති බව ඒ ජනතාව දැන් තේරුම් ගනිමින් ඉන්නවා. ඒ වගේම තමන් මේ රටේ පුරවැසියන් කියල හිතන, රට ගොඩනැගීමට දායක වන ඒ සඳහා අවංක වුවමනාවක් තියෙන මුස්ලිම්, දෙමළ සැලකිය යුතු ජනතාවක් මේ වනවිටත් අප වටා පෙළගැසෙමින් ඉන්නවා. එම තත්වය වේගයෙන් වර්ධනය වන බවකුත් අපිට පෙනෙන්නට තියෙනවා. ඒක රටටම සුභවාදී පණිවුඩයක්.

මුස්ලිම් ජනතාව අතර හොඳ පිළිගැනීමක් සහිත දේශපාලන පක්ෂයක් වන යහ පාලනය සඳහා ජාතික පෙරමුණ මේ වනවිටත් ජාතික ජන බලවේගය නියෝජනය කරනවා. ඉතිහාසයේ සිට කවර දුෂ්කර කාලවලදී වුවත් දෙමළ, මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී හිටපු ප‍්‍රගතිශීලී වාමාංශික කණ්ඩායම් දැන් අපිත් එක්ක ඉන්නවා. සිංහල ජනයාට වගේම දෙමළ මුස්ලිම් ජනයාට විශ්වාසය තැබිය හැකි අභිමානයක් ඇතිව කටයුතු කරන්න පුළුවන් ඉතිහාසයේ බිහිවන පුළුල්තම මහජන ව්‍යාපාරය සඳහා මූලික පදනම අපි දැන් දමල තියෙනවා. ඒ තමයි ජාතික ජන බලවේගය.

ප‍්‍රශ්නය:- ප‍්‍රධානයයි කියා ගන්නා පක්ෂ දෙකේම ජනාධිපති අපේක්ෂකයන්ගේ මතය නම් රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නය ජාතික ආරක්ෂාව බවයි. ඔබ සංවිධානයත් එම මතයම දරනවාද?

පිළිතුර:- පොහොට්ටුවෙන් හෝ එජාපයෙන් අඩුම ගණනේ අලූත් චරිත දෙකක්වත් ආවා නම් ඔය ගැන පොඞ්ඩක් හරි කථාකරන්න තිබුණා. අද ඔවුන් ජාතික ආරක්ෂාව කියන තමන්ට පහසුවෙන් එල්ලිය හැකි එකම හුයේ එල්ලී ඉන්නේ ඇයි? රටට වෙන කියන්න දෙයක් නැති නිසා. රට ගොඩනගන වැඩපිළිවෙලක් ඔවුන්ට නැති නිසා.

2005 තිබුණු රුපියල් බිලියන 2,222ක ණය ප‍්‍රමාණය 2015 වන කොට රු. බිලියන 8,500 දක්වා ණය කන්දක් බවට රාජපක්ෂලා පත්කළා. 7% තිබූ වාණිජ සහ සහනදායි නොවන ණය ප‍්‍රමාණය 60% දක්වා වැඩිකරල ගියේ රාජපක්ෂලා. 10% කොමිස් වෙනුවට 90% ක් කොමිස් ගහල ඉතිරි 10% ක සොච්චම වැඩට යෙදෙව්වෙ ඔවුන්. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන කියන විදියට අධිවේගී මාර්ගයේ ඉඳල නෙළුම් කුළුණ දක්වා ඔවුන් ගසාකාලා. ඉතින් ඔවුන්ට රටේ ආර්ථිකය ගැන හෝ වංචා දූෂණ ගැන හෝ රටේ ආරක්ෂාව ගැන හෝ කට අරින්න බැහැ. තමන්ගේ අම්ම, තාත්තගෙ සොහොන් කොත් හදන්න රටේ ජනතාවගේ මුදල් හොරකම් කළ අය කොහොමද රටට ආරක්ෂාව දෙන්නේ.

රට කරපු යුඇන්පී එකත් මීට දෙවැනිද? නැහැ. රජයේ පොල් ඉඩම් අක්කරය ශත 70 ගණනේ ගත්තු විජේපාල මැඩිස්ලගේ ඉඳල බැඳුම්කරයෙන් ගසාකාපු රනිල්ල දක්වා දූෂණයේ ලොකු ඉතිහාසයක් එජාපයට තියෙනවා. පසුගිය අවුරුදු හතර පුරා රටේ බරපතළ යුදමය තත්වයක් නොතිබියදීත් රුපියල් බිලියන 4,500ක ණය කන්දක් අලූතෙන් එකතු කළේ එජාපයයි. මේ සියල්ලටම රනිල් හා සමානව සජිත්ද වගකියන්න ඕන. මේ දෙගොලන්ටම වංචාව දූෂණය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථාකරන්න බැහැ. ඒ නිසා රටේ ආරක්ෂාව ගැන කථා කරන්නත් බැහැ. වංචාව දූෂණය ඉහවහාගිය රටක කොහෙද ආරක්ෂාවක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති රටක කොහෙද ආරක්ෂාවක්. ලසන්ත, එක්නැලිගොඩ, පෝද්දල ජයන්ත, රතුපස්වල, හලාවත, කටුනායක වෙඩිතැබීම, තාජුඞීන් මේ සියලූම සාක්ෂි හඬගා කියන්නේ එක පැත්තකින් රාජපක්ෂලාට රටේ ආරක්ෂාව ගැන කියන්න තියෙන්නේ කුමන කථාද කියා නොවෙයිද?

මේ රටේ බලය අයුතු ලෙස පාවිච්චි කරන්න ප‍්‍රථම වරට ඉගැන්වූවේ එක්සත් ජාතික පක්ෂයයි. 2015දී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙනෙනවා කියල කියපු සජිත්ලා ඒක කළාද? මහපරිමාණ දේශපාලන හොරු නොවෙයිද අද රටේ හොඳින්ම සුරක්ෂිතවෙලා ඉන්නේ. ඔවුන්ව සුරක්ෂිත කළේ කවුද? මේ ආණ්ඩුව නොවෙයිද? ඔවුන් සුරක්ෂිත වෙන්න වෙන්න ජනතාව අනාරක්ෂිත වන්නේ නැද්ද? එනිසා පේ‍්‍රමදාසලගේ හා ගෝඨාභයලගේ රටේ ආරක්ෂාව ගැන, ජනතාවගේ ආරක්ෂාව ගැන කියන සුරංගනා කතාවලට රැවටුනා දැන් ඇති. මේ රටේ මේ මොහොතේ තිබෙන ප‍්‍රශ්නය මහජන ආරක්ෂාවයි. ඒකට ප‍්‍රධාන හේතුව වන්නේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ජාතික සමගිය පළුදුවීමයි. එයට වගකිවයුතු වන්නේ ඔවුන් එතැනට ඇද දැම්ම මේ දේශපාලන පක්ෂ දෙකයි. අද ජාතික ආරක්ෂාවට ප‍්‍රධානම තර්ජනයවී ඇත්තේ ඇක්සා සහ සෝෆා වැනි ගිවිසුම්. ඒවා අත්සන් කළේ ගොඨාභය සහ වික‍්‍රමසිංහලා. අපේ රටට දැන් අවශ්‍ය කරන්නේ ජාතික සමගිය තහවුරු කරමින් ජාතික ආර්ථිකය සහතික කරමින්, ජාතික ආරක්ෂාව හදන්න පුළුවන් පාලනයක්.

ඊළාම් යුද්ධය පටන්ගන්න කොටම අතේ රයිපලය බිමදාල, පෙන්ෂන් එක එපා කියලා, මරබියේ ඇමරිකාවට පැනල ගියපු කෙනෙකුට පුළුවන්ද රටේ ආරක්ෂාව තහවුරු කරන්න. ජනාධිපති ධුරයට පත්විය යුත්තේ ආර්ථිකය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, ජාතික සමගිය, ජාතික ආරක්ෂාව, තිරසාර සංවර්ධනය වැනි සියලූ පැති ගැන සංයුක්ත අවබෝධයක් තියෙන කෙනෙකු පමණයි. එවැනි ජනාධිපතිවරයෙක් යටතේ ආරක්ෂාව ගැන දන්න කෙනෙක් ආරක්ෂක ඇමති ලෙස පත්කර ගමු.

ප‍්‍රශ්නය:- මෙම ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය රටට දෙන මූලිකම පණිවුඩය කුමක්ද?

පිළිතුර :- වසර 71 තිස්සේ විනාශ කරන ලද රට ගොඩනැගීමේ අපේක්ෂාවෙන්, අපේක්ෂාවේ අපේක්ෂකයා ලෙස අපි අනුර කුමාර සහෝදරයාව ඉදිරිපත් කර තියෙනවා. අපි සියලූ දෙනාටම සතුටින්, නිදහසින් සිටිය හැකි සෞභාග්‍යමත් රටක් අපි හදනවා. රට ගොඩනැගීමට හැකි ප‍්‍රතිපත්තිය හා ඒ කි‍්‍රයාවට නැගිය හැකි උගත්, බුද්ධිමත්, අදූෂිත ජන සමූහයක් සහ ඊට අවශ්‍ය කැපවීම කළ හැකි දේශපාලන නායකත්වය ජාතික ජනබලවේගය සතුයි. අවුරුදු පහකට අපිට රට භාරදෙන්න. අපි මේ රට හදල පෙන්වන්නම්.

සාකච්ඡා කළේ
සිරිමන්ත රත්නසේකර

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles