Divaina - සීගිරි චිත්‍ර විනාශ කර වසර 52 යි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

 

seegiri


එච්.එම්. ජයන්ත විඡේරත්න

විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරි - සීගිරිය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සීගිරි බිතු සිතුවම් විනාශයට පත්කර ඔක්‌තෝබර් 14 වැනි දිනට වසර 52 ක්‌ සපිරේ.

1967 ඔක්‌තෝබර් මස 14 වන දින සුපුරුදු පරිදිම හිරු උදා වුණත්, අලුයම අහස වැහි බිත්තරවලින් බර වෙලා ය. කොයි මොහොතේ හෝ වැහි අල්ලක්‌ කඩා වැටෙනවා නොඅනුමාන ය. ඒ රජරට වැව් බැඳි රාජ්‍යයට මහ කන්නයේ මෝසම් වැහි වැටෙන සමය යි.

එවකට මම සීගිරිය මහා විද්‍යාලයයේ 08 වැනි ශ්‍රේණියේ ඉගණුම ලබමින් සිටි පාසල් සිසුවෙක්‌මි. මගේ අප්පච්චි රැකියාව කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීගිරිය වැඩබිමෙහි වන අතර, ප්‍රදේශයේ බොහෝ දෙනකු රැකියාව කළේ ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ය.

කේ. එස්‌. වික්‍රමසිංහ මහතා එවකට අපේ ඉස්‌කෝලේ විදුහල්පතිතුමා ය. පංති භාර ගුරුවරයා වූයේ, ප්‍රේමසර ඈපාසිංහ (සුප්‍රසිද්ධ ක්‍රිකට්‌ විචාරක) මහතා ය. ඒ මහතා අපේ විදුහලට පැමිණි පළමු උපාධිධාරි ගුරු මහතා මෙන්ම අපේ ඉස්‌කෝලෙට ක්‍රිකට්‌ ක්‍රීඩාව හඳුන්වා දුන්නේ ද ඒ මහතා ය.

පාසැල් පටන් ගන්නේ පෙරවරු 7.30 ට ය. සීගිරිය පුරාවිද්‍යා වැඩබිමෙහි වැඩ ආරම්භ කරන්නේ උදේ 7.00ට ය. ඉස්‌කෝලේ යන අතර මඟ දැක ගන්නට ලැබුණේ වෙනදා දැක ගන්නට නැති කලබලකාරී වාතාවරණයකි. පුරාවිද්‍යාවේ වැඩ කරන මාමලා (නෑ සබඳතාවයක්‌ නොතිබුණත්, වැඩිහිටි අයට අප ආමන්ත්‍රණය කළේ නැන්දම්මා සහ මාමා කියා ය. යම් කාන්තාවක ට 'නැන්දා' යන කෙටි ඇමතුම භාවිතා කළේ නම්, එයින් අදහස්‌ කළේ ඇය කුල හීන කාන්තාවක්‌ බව ය.) අපේ මේ නෑදෑයෝ තමන්ගේ බයිසිකල්වලින් එහෙට මෙහෙට පැද ගියේ බයිසිකල් තරගයකට පෙර පුහුණුවන තරගකරුවන් රැසක්‌ මෙනි.

පාසල් ගේට්‌ටුවෙන් ඇතුළුවෙත්ම දැක්‌කේ මගේ අප්පච්චි, කඩේ පියදාස මාමා, කිඹිස්‌සේ එල්.කේ.(ඩේවිඩ් පෙරේරා) බාසුන්නැහැ මාමා, තල්කොටේ ජන්ගරේ අත්තා ඇතුළු තවත් මාමලා කිහිප දෙනෙකුත් විදුහල්පති වික්‍රමසිංහ මහතාත්, තවත් ගුරු මහතුන් කිහිප දෙනකුත් සමග වැදගත් කතාබහක නිරත වෙන බව ය. අපි මේ දෙස බලා සිටියේ කුතුහලින් යුතුව ය. වැඩිහිටියන් පාසැලෙන් නික්‌ම යාමත් සමගම, විදුහල්පති තුමාම පාසැල ආරම්භ කිරීමේ සීනුව නාද කළේ වෙනදා එය හඬවන රිද්මයෙන් නොව මහත් කලබලයෙනි. එය ද පාසැල ඇරඹීමට විනාඩි 15කට පමණ කලින් ය. එමෙන්ම වෙනදා සීනුව නාද කරන්නේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුවත් අද එහි වෙනසක්‌ සිදු විය. මගේ මතකයට අනුව ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූයේ සමරකෝන් රාජපක්‍ෂ ය.

මේ අතරේ අපේ පංති භාර ගුරුතුමා වූ ඈපාසිංහ මහතාත්, තවත් ගුරුතුමෙකු වූ ගුණදාස වීරසිංහ මහතාත් කඩිමුඩියේ පාසලෙන් පිටව යනවා දැක ගන්නට හැකි විය.

පන්සිල් ගැනීමෙන් අනතුරුව විදුහල්පති තුමා හැඟුම්බර කතාවක්‌ කරමින් කියා සිටියේ ඊයේ රාත්‍රියේ සීගිරි චිත්‍රවල කවුදෝ තීන්ත වර්ගයක්‌ තවරා සහ චිත්‍ර කිහිපයක්‌ කඩා විනාශකර ඇති බව ය. ඉහළට ඇදගත් හුස්‌ම පහළට හෙළන්නට අමතක වූවා මෙන්ම, සියලු දෙනාගේ මුව ගොළු වී ගොසින් ය. එක්‌වරම බොහෝ දෙනකු මහ හයියෙන් අඬන්නට පටන් ගත් අතර, නොහැඬුවත් හැම දෙනාම කඳුළු සැලුවේ කියා ගන්නට බැරි දුකකින් ය. මම ද නිහඬවම ඉකිබිඳින් හැඬුවෙමි. සීගිරිය අපේ ජීවය යි. පාසල මළ ගෙයක්‌ මෙන් විය.

එකල ඈපාසිංහ මහතා 'ලේක්‌හවුස්‌' ආයතනයේත්, ගුණදාස වීරසිංහ මහතා 'දවස්‌ ආයතනයේත් සීගිරියේ වාර්තාකරුවන් වශයෙන් කටයුතු කළ නිසා ඔවුන් පිටව ගොස්‌ තිබුණේ මෙම අපරාධය සිය ආයතනවලට වාර්තා කිරීමට ය.

එදින පාසලේ ඉගැන්වූ බවක්‌ නම් මතක නැත. ගුරු මහත්ම මහත්මීන් මෙන්ම, සිසු සිසුවියන් ද තැන තැන රැස්‌ව සිටියේ මේ අපරාධය ගැන කතාබහ කරමින් ය. අපේ ඉස්‌කෝලේ සිට සීගිරි ගල පිහිටා තිබුණේ ඇසදුටු මානයේ ය. ඒ සැතපුම් කාලක්‌ වැනි කෙටි දුරකි. මා සමඟ තවත් කිහිප දෙනකුම පාසලේ කම්බි වැටෙන් රිංගා දුව ගොස්‌ නැවතුනේ චිත්‍රලෙනට පහළින් ඇති පොකුණු ගල අසල ය. ඒ වනවිටත් ප්‍රධාන ශිෂ්‍ය නායක සමරකෝන් රාජපක්‍ෂ සහ ස්‌කෝලේ ඉහළ පංතිවල අය්යලා කිහිප දෙනෙක්‌ ද පැමිණ සිටියහ. මේ අපරාධය ගැන කන වැටුණු ගම්වාසීන් සීයක්‌ එකසිය පනහක්‌ පමණ එතන නැවති චිත්‍ර ලෙන දෙස බලා සිටියේ එතැනින් එහාට යාමට ඉඩ නොදෙන නිසා ය. ඒ පිරිස අතර අපේ ගුරු මහතුන් දෙදෙනා නම් දැක ගන්නට නොසිටි අතර, ඔවුන් දෙදෙනාට සිය වාර්තා කටයුතු සඳහා එතැනින් එහාට යැමට හැකියාව ලැබෙන්නට ඇත.

අප යන විට පොලිසියෙන් පැමිණ නොසිටියත්, එවකට සීගිරියේ පුරාවිද්‍යා ස්‌ථාන භාර නිලධාරි වශයෙන් කටයුතු කළ ඕවසියර් (පරිපාලක) මහතා වෙනත් පුද්ගලයන්ට සීගිරියට යාමට නොහැකි පරිදි සෙසු නිලධාරි සහ සේවක මහතුන් යොදවා විශේෂ ආරක්‍ෂක සේවයක්‌ ක්‍රියාත්මක කර තිබුණි. එකල මෙම ප්‍රදේශය භාරව තිබුණේ දඹුල්ල පොලිසියට ය. අද මෙන් එකල දුරකථන පහසුකම් නොතිබුණ අතර, දුරකථන පහසුකම් තිබුණේ, සීගිරිය උප තැපැල් කන්තෝරුවට සහ සීගිරිය තානායමට ය.

මොන තරම් උත්සහ කළත් අපට සීගිරි චිත්‍ර ලෙන අසලට කිට්‌ටුවීමටවත් නොහැකි විය. තවත් ස්‌වල්ප වෙලාවකින් දඹුල්ල පොලිසියේ නිලධාරීන් කිහිප දෙනකු පැමිණි අතර, ඔවුන්ගේ පළමු රාජකාරිය වූයේ රැස්‌ව සිටි පිරිස එතනින් පලවා හැරීම ය. විශේෂයෙන්ම ඔවුන් පලවා හැරියේ එතනට පැමිණ සිටි පාසල් සිසුන් වූ අප කිහිප දෙනා ය. ඒ වනවිට අපේ ඉස්‌කෝලේ දෙකෙන් පංගුවකටත් වැඩි සිසු සිසුවියන් පිරිසක්‌ මෙතැනට පැමිණ සිටියහ.

පසු දින දිනමිණ පත්තරයේ මුල් පිටුවේ ප්‍රවෘත්තිය වූයේ, සීගිරි චිත්‍ර විනාශ කිරීමේ පුවත යි. එහි හෙඩිම, පොල් ගෙඩි අකුරෙන් 'සීගිරිය විනාශයි' යනුවෙන් පළකර තිබුණේ ය. ඈපාසිංහ මහතා සිටියේ කියා ගන්නට බැරි තරම් සතුටෙන් ය. ඒ සීගිරි චිත්‍ර විනාශ කිරීමේ පළමු ප්‍රවෘත්තිය ලෝකයටම ගියේ ඔහු ගෙන් නිසා ය. මගේ මතකයට අනුව, ගුණදාස මහතාගේ ප්‍රවෘත්තිය පළ වී තිබුණේ ඊට පසු දින ය. එකම බෝඩිමක නැවතී සිටි මේ අපේ මේ ගුරු මහතුන් දෙදෙනා අතර සිත් නොහොඳ නෝක්‌කාඩුවක්‌ ද මෙයින් පසු ඇති විය.

මාස තුන හතරක්‌ යන තුරු අපේ ගුරු මහතුන් දෙදෙනා අතර පැවතියේ සීතල යුද්ධය කි. ඒ එකිනෙකා පරයා, සීගිරි චිත්‍ර විනාශය ගැන ප්‍රවෘත්ති ලිවීම යි. මෙම සීතල යුද්ධය ගැන දැන සිටි සමහර ගුරු මහතුන් ඔවුන් දෙදෙනාට බොරු ප්‍රවෘත්ති ලබාදෙමින් ලැබුවේ සියුම් සතුට කි. එකල එක්‌ ප්‍රවෘත්තියක පළවූයේ, 'ලුසියානෝ මරන්සි මහතාගේ ඇඟට පළා පොළඟකු පැන අනූ නමයෙන් බේරුණ' බව යි. එහෙත් සිදුව තිබුණේ, මරන්සි, සහ රාජා ද සිල්වා යන මහත්වරුන් ඇතුළු රසායන සංරක්‍ෂණ කණ්‌ඩායම එදින සිය රාජකාරි කටයුතු නිමවා ආපසු පැමිණෙමින් සිටි අවස්‌ථාවේ පොකුණු ගල ආසන්නයේ තිබූ අශෝකා මල් ගසක සිටි ඇහැටුල්ලෙකු බිමට පැන පසෙකට ඇදී යාම යි. මේ අවස්‌ථාවේ අපේ වාර්තාකාර ගුරු මහතෙකු ද ඔවුන් සමග එතැන සිටි බව දැනගත හැකි විය.

කිසියම් පුද්ගලයකු හෝ පිරිසක්‌ විසින් සීගිරි චිත්‍ර මත කොළ පාට තීන්ත වර්ගයක්‌ ආලේප කර, තවත් චිත්‍ර 02ක්‌ තියුණු ආයුධයකින් ඇන විනාශ කර තිබුණි. සීගිරි චිත්‍රවලට හානි කළ උන් අදටත් අභිරහස කි. සිදුකරන ලද එම අපරාධය ගැන පරික්‍ෂා කිරීමට එකල කොමිෂමක්‌ ද පත් කළ බව මතකයට නැඟේ. එහි සභාපති වූයේ හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකි. (මගේ මතකයේ හැටියට එතුමා එස්‌. එෆ්. ද සිල්වා මහතා ය.) මේ අපරාධය ගැන විවිධ කතා අසන්නට ලැබුණේ ඒ දිනවලම ය. ඒ කතා, කටකතා පමණක්‌ම නොවුණත්, සිදුවුණ විනාශය සිදුවී හමාර ය. ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර මහතා එකල පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා ය. අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා, අධ්‍යාපන සහ සංස්‌කෘතික කටයුතු භාර ඇමැතිවරයා වූ අතර, ඩඩ්ලි සේනානායක මහතා අගමැතිවරයා ය. චිත්‍ර විනාශය සම්බන්ධයෙන් අමාත්‍ය, ඊරියගොල්ල මහතා ගොඩකුඹුර මහතාට සුද්ද සිංහලෙන් ඇමතූ ප්‍රවෘත්තියක්‌ එකල ප්‍රසිද්ධ රහසක්‌ විය.

ආචාර්ය ගොඩකුඹුර මහතා කඩිනමින්ම ඇමරිකානු තානාපති කාර්යාලයයට ගොස්‌, එවකට සංස්‌කෘතික නිලධාරි වශයෙන් කටයුතු කළ ඩබ්ලිව්. ඒ. සයිමන් මහතා සමග සාකච්ඡාකර අනතුරුව, ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලය හරහා දුරකථන මගින් ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන විද්‍යාඥයකු වූ ආචාර්ය බී. බී. ලාල් මහතා සමග ද මේ විනාශය ගැන සාකච්ඡා කළේය. එම සාකච්ඡාවලින් පසු ඇමරිකාවේ ස්‌මිත් සෝනියන් ආයතනයේ ද ආධාර මත ඉතාලියේ සිටින පැරණි චිත්‍ර සංරක්‍ෂණයේ ඉතාමත් දක්‍ෂ රසායන විද්‍යාඥයකු වූ ලුසියානෝ මරන්සි මහතා ගෙන්වා ගැනීමට තීරණය විය.

ඔක්‌තෝබර් 14 වැනි දින සිටම, සීගිරිය දේශීය සහ විදේශීය සංචාරකයන්ට තහනම් කළාපයක්‌ බවට පත්කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. එවකට මාතලේ දිසාපතිවරයා වශයෙන් කටයුතු කළේ, වර්තමාන පාර්ලිමේන්තුවේ ද මන්ත්‍රීවරයකු වන හිටපු අමාත්‍ය සරත් අමුණුගම මහතා ය.

තීන්ත තවරනු ලැබූ සිතුවම්වල තීන්ත ඉවත් කිරීමට ඇමරිකාවේ ස්‌මිත් සෝනියන් කෞතුකාගාරය ද විශාල සහයෝගයක්‌ දැක්‌වීය. බිතු සිතුවම් සංරක්‍ෂණය කිරීමට හැකියාවක්‌ ඇති හොඳම විශේෂඥයාගේ සේවය ලබා දෙන ලෙසට අමාත්‍ය ඊරියගොල්ල මහතා එම ආයතනයට කේබල් පණිවිඩයක්‌ යොමු කළේය. ඒ අනුව රෝමයේ පිහිටුවා ඇති 'සංස්‌කෘතික වස්‌තූන් හැදෑරීමේ හා සංරක්‍ෂණය කිරීමේ අන්තර්ජාතික මධ්‍යාස්‌ථානය' (ICCROM) විසින් තහවුරු කිරීම් පිළිබඳ විශේෂඥයකු වූ ඉතාලි ජාතික ලුෂානෝ (ලුසියානෝ) මරන්සි මහතා සීගිරි චිත්‍ර සංරක්‍ෂණය තෝරා ගත් අතර, ඒ මහතා 1967.10.22 දින ලංකාවට පැමිණියේ ය. (පුරාවිද්‍යා කොමසාරිස්‌ගේ 1967/68 වර්ෂය සඳහා වූ පාලන වාර්තාවේ G 23-26 පිටුවල මේ සම්බන්ධ වාර්තාව ඇත. එහි කොටස්‌ කිහිපයක්‌ මේ ලිපිය අවසානයේ පළ වේ.)

seegiri3ලුසියානෝ මරාන්සි මහතා ලංකාවට පැමිණෙන අවස්‌ථාව වන විටත් විනාශ කළ බිතු සිතුවම්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක තීන්ත ඉවත්කර පිරිසිදු කිරීමට, ආචාර්ය රාජා ද සිල්වා මහතා ඇතුළු එතුමන්ගේ රසායන සංරක්‍ෂණ කණ්‌ඩායම සමත් වූහ. රාජා ද සිල්වා මහතා එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාර අංශය භාර සහකාර කොමසාරිස්‌වරයා ය. සීගිරි ඛේදවාචකයෙන් අනතුරුව චාල්ස්‌ ගොඩකුඹුර මහතා විශ්‍රාම ගිය අතර, නව පුරාවිද්‍යා කොමසාරිස්‌ වශයෙන් පත් වූයේ, ආචාර්ය රාජා ද සිල්වා ශූරීන් ය. ඔහු දක්‍ෂ රසායන විද්‍යාඥයෙකි. එපමණක්‌ නොව පුරාවිද්‍යා කොමසාරිස්‌වරයෙක්‌ වශයෙන් ඉතාමත් දක්‍ෂ පරිපාලකයෙක්‌ ද විය.

සීගිරි චිත්‍රවලට සිදු කළ හානිය කන වැකූණු මහාචාර්ය පරණවිතාන සූරීන් හඬා වැළපුන බවත්, මියෙන තුරා නැවත සීගිරියට නොයන බවට ප්‍රකාශ කළ වග ඒ දිනවල අසන්නට ලැබුණු තවත් කනගාටුදායක පුවතක්‌ විය. එතුමා මියෙන තුරු සීගිරියට නැවත පැමිණියේ ද නැත. සීගිරිය එතුමාගේ ජීවිතය හා සම විය. සීගිරි චිත්‍ර විනාශය සම්බන්ධයෙන් ඒ දිනවල බොහෝ දෙනකුගෙන් ප්‍රශ්න කළ අතර, වැඩි දෙනකු පොලිසියෙන් ගුටි කෑ බවද අසන්නට ලැබුණු ප්‍රවෘත්තියක්‌ විය.

       මගේ මතකය අනුව මා දැනුවත්ව මිනිසකුගේ අතුරුදන්වීමක්‌ ගැන අසන්නට ලැබුණේ මේ සීගිරි ඛේදවාචකයත් සමගින් ය. එවකට සීගිරියේ පුරාවිද්‍යා වැඩබිමෙහි සේවය කළ මුරුගන් නැමති ද්‍රවිඩ ජාතික කම්කරුවාගේ අතුරුදන් වීමයි.

      ඔහු අවසන් වරට සේවයකර ඇත්තේ ඔක්‌තෝබර් 13 වැනි දින ය. ඉන්පසු ඔහුට සිදු වූයේ කුමක්‌දැයි අදටත් අභිරහසකි. සීගිරි සිද්ධිය සම්බන්ධයෙන් ඔහු යමක්‌ දැන සිටින්නට ඇතැයි ඒ දිනවල ප්‍රදේශයේ පැතිර ගිය ප්‍රසිද්ධ රහසකි. නොහඳුනන අමුත්තන් ඒ දිනවල දැක ගත හැකි වූ අතර ඔවුන් පරීක්‍ෂණ කටයුතුවලට පැමිණි රහස්‌ පොලිස්‌ නිලධාරීන් බව ප්‍රචාරය විය. නොහඳුනන අමුත්තන් සමග කතා කිරීමට බිය වූ අතර, එවැන්නන් සමග කතා නොකර සේ නිවෙස්‌වලින් තහංචි ද පනවා තිබුණේය.seegiri5

සීගිරි චිත්‍ර විනාශ කිරීම ද සීගිරියේ මෑත ඉතිහාසයට එකතුවන අතර, විනාශ කළ සීගිරි චිත්‍ර රසායන සංරක්‍ෂණය කර නැවත මහජනතාවට දැක බලා ගැනීමට අවස්‌ථාව සළසා දීම සඳහා පවත්වන ලද රාජ්‍ය උත්සවය ද ඉතිහාස ගතවේ. 1968.05.09 වන දින සීගිරි ගල පාමුල පිහිටි පැරණි රාජ සභා මණ්‌ඩපයේ දී (ආසන ගල) මහජනතාව වෙනුවෙන් රාජකීය උත්සවයක්‌ පැවැත් වූ අතර, සීගිරි චිත්‍ර ගුහාව යළි විවෘත කළේ අධ්‍යාපන සහ සංස්‌කෘතික කටයුතු භාර ඇමැති අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා ය. දකුණු දොරටුවේ සිට රාජ සභා මණ්‌ඩපයට ආරාධිත වූ විශේෂ අමුත්තන් කැඳවා ගෙන ආවේ පංච තූර්ය නාදයෙන් සහ උඩරට නැටුමෙන් සමලංකෘත වූ, අලංකාර දර්ශනීය පෙරහැරකින් ය. සීගිරි කාශ්‍යප රජ දවසින් පසු, මෙම රාජකීය සභා මණ්‌ඩපයේ පවත්වනු ලැබූ ප්‍රථම රාජකීය උත්සවය මෙය නිසා එය ද සීගිරි ඉතිහාසයට එක්‌වේ. මෙම නැටුම් කණ්‌ඩායමේ නායකයා වූයේ, ඒ වනවිටත් ලෝ ප්‍රසිද්ධ නර්තනාචාර්යවරයකු වූ පණීභාරත ගුරුතුමා ය.

පුරාවිද්‍යා කොමසාරිස්‌ගේ 1967 / 68 වර්ෂය සඳහා වූ පාලන වාර්තාවේ G 23 - 26 පිටුවල මේ සම්බන්ධ වාර්තාව ඇත. මේ එයින් කොටස්‌ කිහිපය කි.)

කලබල වුණු ඕවසියර් කෙනකුන් විසින් හරියට තේරුම් ගත නුහුණු ටැලිපෝන් පණිවිඩයක්‌ අනුව සීගිරියේ බිතුසිතුවම් ගුහා තුළ ඇති චිත්‍රයන් මත පසුගිය රාත්‍රියේදී කොළපාට ලියන තීන්තයක්‌ කව්දෝ විනාශකාරීන් විසින් ඉසිනු ලදැයි වැටහී ගියෙන් සීගිරියට වහා ගොස්‌ එම තීන්ත අස්‌ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස 1967 ඔක්‌තෝබර් මස 15 වැනිදා උදේ එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා විසින් මට දන්වන ලදී. (මෙම පාලන වාර්තාව ලියා ඇත්තේ, ආචාර්ය රාජා ද සිල්වා මහතා ය.

seegiri1ලියන තීන්ත අස්‌ කිරීම සඳහා විශාල ප්‍රමාණයක්‌ රසායන ද්‍රව්‍යයන් ද රැගෙන මගේ තැවරීමේ කණ්‌ඩායමක්‌ කැටුව එදා සවස සීගිරියට ළඟා වුණෙමි. මේ වනවිට ඒ පළාතම වර්ෂා කාලය එළැඹ තිබුණේය. එහි ගිය අපට දැන ගන්නට ලැබුණු අන්දමට එම මිල කළ නොහෙන බිතුසිතුවම් මත තවරා තිබුණේ ලියන තීන්ත නොව දැන් කාලයේ ජනෙල් දොරවල්වල යෙදීමට ගන්නා වර්ගයක කොළපාට තීන්තයකි. (xx.xxi වන ඡායාරූප) පෙර දින පරීක්‌ෂණයන්ට තදනන්තරව පොලිසිය විසින් බිතුසිතුවම් ගුහාවේ දොරට අලුත් ඉබ්බෙකු යොදා තිබුණෙන් පසුදින උදයේ පොලිසියත් සමග චිත්‍ර පරීක්‌ෂා කරන ලදී. පොලිසියේ අදහස වූයේ විනාශකාරීන් අගුලුලා තිබුණු දොරවල් දෙකකට උඩින් පැන බිතුසිතුවම් ගුහාවේ අවසාන දොර යතුරකින් අරින ලද බවය.

බෙල් මහතාගේ අංක යෙදීම අනුව, සංගසූරිය තරප්පුවෙන් ඇතුළු වන 'බී' අක්‌ෂරය දරන ලොකු ගුහාවේ චිත්‍ර 14කුත් -'ඒ' අක්‌ෂරය දරන උතුරු පැත්තේ ගුහාවේ චිත්‍ර 5 කුත් ඇත. 'ඒ' අක්‌ෂරය දරන කොටසේ අංක 3 හා 4 දරන අපැහැදිලි තත්ත්වයක තිබුණු චිත්‍ර දෙක මත තීන්ත උලා වනසා තිබුණේය. 'බී' අක්‌ෂරය දරන කොටසේ සැඟවුණ තැනක ඇති අංක 2 දරන චිත්‍රයත් දකුණු කෙළවරේ අංක 14 දරන චිත්‍රයත් හැර අනිත් චිත්‍ර සියල්ල මත සම්පූර්ණයෙන් තීන්ත උලා වසා තිබුණේය. 'බී' 3 සහ 4 දරන චිත්‍රවලට විශාල හානියක්‌ සිදුකොට තිබුණේය. අංක 3 දරන චිත්‍රයේ හිස කොටස කඩා දමා ඉතිරි කොටසට තීන්ත උලා තිබුණේය. ඊළඟ චිත්‍රයේ වම් අතින් ඉහළ කොටස කඩා බිම දමා තිබුණේය. මේ චිත්‍රවල කැඩුණු කොටස්‌ ගුහා බිමේ තිබුණේය. කඩා තිබුණු කොටස්‌වල ගලේ ද තීන්ත උලා තිබීම නිසා චිත්‍රයන් පළමුවෙන් කඩාදමා දෙවෙනුව තීන්ත උලා ඇති බව පැහැදිලිය. 'බී' 5 දරණ චිත්‍රයේ තීන්ත මත හරහට වැටී තිබුණු කඩතොලු නිසා එම චිත්‍රයේ තීන්ත ගෑ පසුද කඩා ඇති බව පෙනෙයි. seegiri2

ඔක්‌තෝබර් මස 16 වැනි දින කොළඹට පෙරළා පැමිණෙන්ට පෙර චිත්‍රවල තත්ත්වය සටහන් කර ගෙන තීන්ත සැම්පලුත් කැඩුණු චිත්‍රවල බිමවැටුණු කොටසුත් එකතුකරගෙන චිත්‍ර සම්පූර්ණ වශයෙන් ඡායාරූප ගත කරන ලදී. මේ ඡායාරූප කලු සුදු සහ වෛවර්ණ ඡායාරූප විය. විනාශකාරීන්ගේ තීන්ත රසායනාගාර පරීක්‌ෂණයට භාජනය කිරීමෙන් එය කහපාට ද්‍රව (කාබනික) පාටක්‌ ද කොළපාට ද්‍රව (කාබනික) පාටක්‌ ද, ප්‍රෂියන් බ්ලු නමින් හඳුන්වන ඉතා සියුම් නිල්පාට කුඩක්‌ ද සුදුපාටක්‌ ද වියලෙන තෙලක්‌ යෑයි සිතන කහපාට මාධ්‍යයක්‌ ද යන මේවායින් යුක්‌ත බව පෙනුනේය.

ප්‍රවෘත්ති පත්තරවලත්, ගුවන්විදුලියෙනුත් සීගිරියේ සිදු කරන ලද සාපරාධී විනාශකාරී ක්‍රියාවට දෙන ලද ප්‍රචාරයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඇතැම් ආයතනවලින් හා පුද්ගලයන්ගෙන් කාර්මික ආධාර දීමේ යෝජනා ලැබුණේය. කෙමිකල් ඉන්ඩස්‌ට්‍රීස්‌ (සිලෝන්) ආයතනයේ සභාපති ඇස්‌. කේ. වික්‍රමසිංහ මහතා තම සම්පූර්ණ සහයෝගය දුන්නේය. ද්‍රාවක සැම්පලයන් බොහෝ ගණනක්‌ සැපයුවේය. පැරණි චිත්‍රයන් මතවූ කොළපාට තීන්ත අස්‌කිරීමේදී ඇතිවන ප්‍රශ්නයන් පිළිබඳ සාකච්ඡාවන් සඳහා ඔහුගේ තීන්ත වර්ගයන් පිළිබඳ විශේෂඥයා වූ වයිස්‌ මහතාවත් කාර්මික නිලධාරීන් දෙදෙනෙකුත් එවුවේය. (කොළඹ) ලංකා විශ්වවිද්‍යාලයේ රසායන අංශයේ මහාචාර්ය පී.පී.ජී. ඇල්. සිරිවර්ධන මහතා සමග ප්‍රයෝජනවත් සාකච්ඡා පැවැත්වින. සීගිරියෙන් කොළඹට ගෙනා ද්‍රව්‍යයන් අත්හදා බැලීමට භාජනය කිරීමේ ප්‍රතිඵයක්‌ වශයෙන් 1967 ඔක්‌තෝබර් 18 වැනි දින ඇතුළත් සති අන්තයේදී තීන්ත අස්‌කිරීමේ ක්‍රමයක්‌ යොදා ගතහැකි විය. නැවතත් ස්‌ථානයට යා හැකි තත්ත්වයක අප සිටියෙමු.

seegiri4තහවුරු කිරීම් කණ්‌ඩායම නැවත සීගිරියට ගොස්‌ තීන්ත ගා වසා තිබුණු චිත්‍රයන්හිම අත්හදා බැලීම් පටන් ගත්තේය. මේ අත්හදාබැලීම් පළමුවෙන් චිත්‍රවල වැදගත් නොවූ කොටස්‌වලින් පටන්ගන්නා ලදී. මෙසේ හෙමින් වුවද තීන්ත අස්‌කිරීමේ සාර්ථක පිළිවෙළක්‌ යොදාගත් පසු බී අක්‌ෂරය දරණ කොටසේ චිත්‍රයක (අංක 10 දරණ චිත්‍රය) තීන්ත අස්‌කිරීමේ වැඩ ඇරඹින. රසායනාගාරයේත් සීගිරියේත් කරන ලද අත්හදා බැලීම් අනුව චිත්‍ර මත යොදා තිබුණු තීන්ත අස්‌ කිරීමට අපට ලැබිය හැක්‌කා වූ ඉතාමත් යෝග්‍යය ද්‍රාවකය ටි්‍රක්‌ලාරොඑතිලීන් නම් රසායනය බව පෙනී ගියේය. උගුර සුද්ධ කිරීමට යොදන්නාක්‌ මෙන් කොට වීදුරු කූරක කෙළවර කපු පුළුන් ඔතා එසේ පුළුන් එතූ කෙළවර ද්‍රාවකයේ බහා වැඩිපුර කොටස මිරිකා හැර වීදුරු කූර මහපටැඟිල්ලත් දබරැඟිල්ලත් අතර හරහට අල්ලා පුළුන් එතූ කෙළවර තීන්තෙන් වැසුණු පෙදෙසේ තබා කරකවා යවන ලදී. මෙබඳු වීදුරු කූරු බොහෝ විශාල ගණනක්‌ සකස්‌කර එකක්‌ එක්‌වර පමණක්‌ භාවිතාකර පාවිච්චිවුණු කපු පුළුන් ඉවත දමන ලදී. බී 10 දරන චිත්‍රයේ පහළ කොටස එක දිනකින් ශුද්ධ කරන ලදී. මේ වැඩය 1967 ඔක්‌තාaබර් 21 දින අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු පිළිබඳ ඇමැතිතුමාගේ ස්‌ථිර ලේකම් ඇම්. ජේ. පෙරේරා මහතා විසින් පරීක්‍ෂා කරන ලදී.

සීගිරියේ විනාශකාරී ක්‍රියාව ගැන අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට දැනගන්නට ලැබුණු වහාම අධ්‍යාපන ඇමති තැන්පත් ගරු අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මැතිතුමා විසින් බිතුසිතුවම් තහවුරු කිරීම පිළිබඳ ලැබිය හැකි හොඳම විශේෂඥයාගේ සේවය ලබා දෙන ලෙස ඉල්ලමින් යවන ලද කෙබල් පණිවුඩයක ප්‍රතිඵල වශයෙන් රෝමයේ පිහිටුවා ඇති සංස්‌කෘතික වස්‌තුන් හැදෑරීමේ හා සංරක්‌ෂණය කිරීමේ අන්තර් ජාතික මධ්‍යස්‌ථානය විසින් තහවුරු කිරීම පිළිබඳ ඉතාලිජාතික විශේෂඥයකු වූ ලුසියානෝ මරාන්සි මහතා, තෝරාගෙන නියුක්‌ත කරන ලදී. මරාන්සි මහතා සතිදෙකක වැඩ සඳහා ලංකාවට ඒමට සූදානම් විය. 1967 ඔක්‌තෝබර් මස 22 වැනි දින මරාන්සි මහතා ලංකාවට පැමිණ මේ රටේ තහවුරු කිරීමේ කණ්‌ඩායම සමඟ වහා සාකච්ඡා කරන්නට පටන් ගත්තේය.

පසු දිනම මේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සීගිරියට ගිය මරාන්සි මහතාට තමන් විසින් ගෙනෙන ලද ද්‍රව්‍යයන් හා ලංකාවෙන් ලබාගත හැකි ද්‍රව්‍යයන් යොදා අප විසින් යොදා ගන තිබුණාට වඩා ඉක්‌මන් වැඩ පිළිවෙළක්‌ තෝරා ගැනීමට සමත් විය. seegiri6

මේ පිළිබඳ වැඩවල පළමු කොටස අවසාන කොට මරන්සි මහතා 1967 නොවැම්බර් 4 වැනි දින ආපසු ගියේය. මෙම දෙපාර්තමේන්තුවේ තහවුරු කිරීමේ කණ්‌ඩායම චිත්‍ර ශුද්ධ කිරීමේ සහ තැහැවිරිමේ වැඩ තවදුරටත් කරගෙන යමින් දෙසැම්බර් අවසානයේ දී නිමාවට පැමිණ විය. ඉහත සඳහන් කළ පරිදි චිත්‍ර සකස්‌කිරීම ආදි වූ වැඩ ඇතුළත් වූ තැහැවිරීම් කටයුතුවල අවසාන කොටස තමාම කිරීම සඳහා මරන්සි මහතා නැවත වරක්‌ 1968 මාර්තු මස 4 වැනිදා නැවත ලංකාවට පැමිණියේය. ආරක්‌ෂාව සඳහා වූ ආලේපනය යෙදූ පසු, හුණුබදාමයක්‌ එලු ඇස්‌බස්‌ටෝස්‌ තහඩුමත නැතිවූ චිත්‍රයන් කලින් ගත් ඡායාරූප අනුව මරන්සි මහතා පිටපත් කළ පසු 1968 අප්‍රේල් මස 11 වැනිදා ඔහු මෙරටින් පිටව ගියේය. මරන්සි මහතා මෙහි පැමිණ චිත්‍ර ගුහාවල ලඳුන් ඔවුන්ගේ ප්‍රකෘති ලක්‌ෂණයට පැමිණෙන සේ පනගන්වා වර්මානයේත් අනාගතයේත් පරම්පරාවන්ගේ ආනන්දය පිණිස අප පුරාණ චිත්‍ර කලාවේ මේ නිදසුන් තබා පෙරළා සිය රටට ගියේය. ඔහුගේ සංරක්‌ෂණ වැඩවල අනර්ඝත්වය ගැන මේ රටේ ජනතාවත් අප දිවයිනන් පිටත වෙසෙන කලාරසිකයිනුත් ඔහුට ණය ගැතිය. (පුරාවිද්‍යා කොමසාරිස්‌ගේ 1967/68 වර්ෂය සඳහා වූ පාලන වාර්තාවේ G 23-26 පිටු )

එවකට සීගිරිය පුරාවිද්‍යා ස්‌ථානය භාර නිලධාරි වූයේ ෆ්‍රැන්සිස් ලුසේනා මහතා වන අතර, ඔහුගේ පුතෙක්‌ මා සමඟ එක පංතියේ සිටියා මතක ය.

20 වැනි සියවසේ ශ්‍රී ලංකාව තුළ සිදුවුණු මහා සංස්‌කෘතික ඛේදවාචකය වූ සීගිරි චිත්‍ර විනාශකර වසර 52 ක්‌ ගෙවී ගිය ද එම අපරාධය කළ උන් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීමට හෝ අතුරුදහන් වූ පුරාවිද්‍යා සේවක මුරුගන් හෝ සොයා ගැනීමට පොලිසියට නොහැකි විය. මේ සිද්ධිය අදටත් නොවිසඳුන අභිරහස කි.

විනාශ කළ සීගිරි චිත්‍ර සංරක්‍ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසු, මරන්සි මහතා ආපසු ඉතාලිය බලා ගිය අතර, ඉන්පසු රෝම වැසියන් එතුමා හඳුන්වා ඇත්තේ 'සීගිරි මහත්මයා' නමින් ය. එතුමා සීගිරියේ සිටි කාලය ඇතුළත මිතුරන් රාශියක්‌ ඇතිකර ගත්තේය. එකල සීගිරිය පුරාවිද්‍යා ස්‌ථානයේ සේවය කළ බොහෝ දෙනකු තනතුරු භේදයකින් තොරව ආශ්‍රය කිරීමට තරම් ඔහු නිහතමානි විය. වැඩබිමේ සේවකයන් සමඟ කුරහන් රොටී කෑමට ඔහු ඉමහත් කැමැත්තක්‌ දැක්‌වූ බවත්, එමෙන්ම අතින් බත් කෑමට ප්‍රිය කළ බව එකල අපේ වැඩිහිටියන් කියනවා මට මතක ය. වැඩබිම්වල සේවක සේවිකාවන් උදේ 10ටත්, සවස 03 ටත් විනාඩි 15ක පමණ සුළු තේ විවේකයක්‌ ගනිති. තේ උණුකර ගැනීමට ලිප් බැඳ ගැනීමක්‌ නැත. කරු දෙකක්‌ සිටුවා ඒ කරු දෙක අතරට හරස්‌ ලීයක්‌ දමා, එම හරස්‌ ලීයේ වතුර මුට්‌ටියක්‌ හෝ ටින් එකක්‌ එල්ලා ඒ යටින් ගින්දර දමා වතුර හොඳට රත්වෙන විට එයට තේ කොළ දමා තේ කහට සකස්‌කර ගනිති. තේ බොන්නේ පොල් කට්‌ටේ ය. මේ වෙලාවල්වලට මරන්සි මහතා ළඟම තිබෙන වැඩබිමට ගොස්‌ අල්ලට සීනි ගෙන කා කහට බීමට දැඩි කැමැත්තක්‌ දක්‌වා ඇත.

මෙයට වසර කිහිපයකට පෙර එතුමා, නිහඬවම ජීවිතයෙන් සමුගත් බව බව වාර්තා විය.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles