Divaina - 1815 උඩරට ගිවිසුම කූට ලේඛනයක්‌

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

udarata
 
 ලලිත් ගුණවර්ධන
 හිටපු සහකාර අධ්‍යක්‌ෂ
 ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුව

 "ඉතිහාසඥයකුගේ කාර්යභාරය වන්නේ අතීතයේ සිදුවූ දෑ ඒ අනුසාරයෙන්ම පුනර් නිර්මාණය කිරීම නොවේ. එහි සත්‍ය හෝ අසත්‍ය බව වෙනත් කරුණු හා සංසන්දනය කර සත්‍ය කරුණු ඉදිරිපත් කිරීමයි." ලෝ පතළ ඉතිහාසඥයකු වූ ඊ.එච්. කර් සිය 'ඉතිහාසය යනු කුමක්‌ ද' යන ග්‍රන්ථයෙන් සඳහන් කරන ලදී.
 
 එහෙත් මෙරට ඉතිහාසඥයන් උඩරට ගිවිසුමේ සත්‍යතාවය සම්බන්ධයෙන් මේ සාධාරණත්වය ඉටුකළ බවක්‌ නොපෙනේ.
 
 සුප්‍රකට ඉතිහාසඥයකු වූ පෝල්.ඊ. පීරිස්‌ මහතා සිය Sinhala and Patriots ග්‍රන්ථයෙන් මෙසේ සඳහන් කරයි. -භාෂා දෙකෙන්ම පැහැදිලි පිටපත් දෙක බැගින් පිළියෙල කිරීමට සිදු වූ නිසා ලේඛනයට අත්සන් තැබීමට දින කිහිපයක්‌ම ගත විය. සිංහල අත්සන්කරුවන් වූයේ අතරතුර විශ්‍රාමයේදී බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයාගෙන් පත්වීම් ලැබු මහ දිසාපතිවරුන් හතර දෙනෙකුත් සුළු දිසාපතිවරු හයදෙනෙකුත් සහ මාර්තු 18 වන දින තම අත්සන ස්‌ථාපිත කළ ඇහැලේපොල දිසාවත් යන අය වෙති. යකඩ කුරක ආධාරයෙන් තල්පතක ලිවීමට පුරුදුව සිටි මේ පිරිසට පාත්තයකුගේ පිහාටුවක්‌ තීන්තවල ඔබා කොළයක ලිවීම නුහුරු අත්දැකීමක්‌ විය."
 
 මේ ඉතිහාසඥයා බ්‍රිතාන්‍යයන් හා ඔවුන්ගේ ක්‍රියා කලාපයන්ට සුදු හුණු ගාමින් පෑන වෙනස්‌ වූ නිසා අත්සන වෙනස්‌ වූ බව අපට සිතන්නට කියයි. උඩරට ගිවිසුම පැහැදිලි පිටපත් දෙක බැගින් යළි යළිත් සකස්‌ කිරීමට සිදු වූ නිසා අත්සන් කිරීම ප්‍රමාද වූ බව කියයි. එහෙත් මෙම ගිවිසුම භාෂා දෙකකින් පිළියෙල කළේ 1815 මාර්තු 2 දිනට පෙරාතුව අවස්‌ථා ගණනක දී ය. මෙම අත්සන්වල පවතින බරපතළ වෙනස්‌කම් ගැන ඔහුට අවබෝධයක්‌ ලබා ගැනීමට අවශ්‍ය අනෙක්‌ මූලාශ්‍ර නොලැබුණු බවක්‌ පෙනේ.
 
 මේ කරුණ සම්බන්ධයෙන් 'උඩරට ගිවිසුම' ග්‍රන්ථයෙන් නුවරඑළියේ හේමපාල මහතා මෙසේ සඳහන් කරයි. - ගිවිසුමේ දැක්‌වෙන ඇහැලේපොලගේ අත්සන රාජ්‍ය ලේඛනාගාරයේ වෙනත් ලේඛනවල ඇති ඇහැලේපොලගේ අත්සනට වඩා වෙනස්‌ය. ගිවිසුමෙහි එසේ අත්සන් කරන්නට ඇත්තේ තමා විසින් එසේ වැදගත් ලේඛනයක අත්සන් කිරීම නිසාත්, ආණ්‌ඩුකාර බ්‍රවුන්රිග්ගේ අත්සන ඇති පෙළේම තමා ද අත්සන් කරන නිසාත් විය හැකි යෑයි අදහස්‌ දැක්‌වීමට සිදුවනු ඇත.' මේ ඉතිහාසඥයා අපට සිතන්නට කියන්නේ ඇහැලේපොල බ්‍රවුන්රිග් ඉදිරියේ වෙව්ලවා ගිය බවයි. එහෙත් ඔහුගේ ක්‍රියා කලාපය විමසන්නෙකුට ඔහු නිර්භීත උඩරට ප්‍රධානියෙක්‌ බව පෙනී යයි.
 
 මේ අත්සන් වෙනස්‌වීම ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාත් දැන සිටියේය. එයට හේතු වශයෙන් දක්‌වන්නේ ඔහුගේ රජවීමේ බලාපොරොත්තු සුන් වීම නිසා මෙසේ වූ බවයි.
 
 ඉහතින් දැeක්‌ වූ ප්‍රකාශ අනුව පෙනී යන්නේ මෙම ඉතිහාසඥයන්ට මෙම අත්සන් සම්බන්ධව සැකයක්‌ ඇති වූ බවත් ඒ ඔස්‌සේ දිගින් දිගටම සෙවීමෙන් වැළකී සරල කාරණා ඉදිරිපත් කරමින් හේතු දැක්‌ වූ බවත්ය.
 
udarata2 උඩරට ගිවිසුම හා ඇහැලේපොලගේ ඉරණම' යනුවෙන් ඉරිදා ලංකාදීප පුවත්පතට ලිපියක්‌ සැපයූ මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කරයි.-උඩරට ගිවිසුමේ දැක්‌වෙන අත්සන් හා දින වකවානු ගැන සැලකීමේදී පෙනී යන වැදගත් කරුණු කිහිපයකි. එයින් පළමුවැන්න උඩරට මහ නිලමේ වශයෙන් ඇහැලේපොල නියත වශයෙන්ම උඩරට ගිවිසුමට අත්සන් කළේ ද යන්නයි. එම ගිවිසුමේ දැක්‌වෙන්නේ ඔහුගේ පුරුදු අත්සනම නොවන අතර රාජ්‍ය භාරය පැවරීම වැනි වැදගත් කරුණකදී එයට මුල් වූ සෙන්පතියාගේ අත්සන නොමැතිව අනෙකුත් නිලමේවරුන් අත්සන් කළේ ද යන්නත් ප්‍රශ්නයකි. ඇහැලේපොල මෙම ගිවිසුමට 18 දා අත්සන් කළ බව අපට ඇති එකම සාධකය වන්නේ ඩොයිලිගේ දින පොතයි. ඇහැලේපොලගේ නම සඳහන් වී ඇත්තේ වරහන් තුළ දී වීම සැකයට තවත් ප්‍රධාන හේතුවකි. මගේ වැටහීම නම් ඉංගී්‍රSසීන්ගේ උඩරට ගිවිසුම සම්පූර්ණ ප්‍රොaඩාවක්‌ පමණක්‌ නොව ඇහැලේපොල අත්සන් නොකළ හෝ ඔහු වෙනුවෙන් යමෙකු අත්සනක්‌ යෙදු හොර ලියවිල්ලක්‌ බවය. රට පාවා දීමට ඇහැලේපොලට අවශ්‍යතාවක්‌ නොතිබු අතර ඔහුගේ එකම පරමාර්ථය වූයේ දකුණු ඉන්දීය වඩිග ආක්‍රමණයෙන් රට මුදවා ගැනීමට ඉංගී්‍රසීන්ගේ සහයෝගය පැතීම පමණකි.
 
 ඔහු සඳහන් කළ මෙම කරුණු සත්‍යය. ඇහැලේපොල මෙම ගිවිසුමට අන්තිමයා හැටියට අත්සන් කිරීම පිළිගත නොහැක්‌කකි.
 
 ආචාර්ය මහ දිසාවේ බණ්‌ඩාර ඇටිපොල මහතා 'වීර මොනරවිල කැප්පෙටිපොල නිලමේ' යන සිය ග්‍රන්ථයෙන් උඩරට ගිවිසුමේ පස්‌වෙනුව ඇති කැප්පෙටිපොලගේ අත්සන ව්‍යාජ අත්සනක්‌ බව සාක්‌ෂි සහිතව සඳහන් කරයි. සබරගමු සන්නස්‌ වෙලුමේ ඇති කැප්පෙටිපෙල නිලමේ විසින් 1803 වර්ෂයේ අත්සන් කරන ලද සන්නසක පිටපතක්‌ ඉදිරිපත් කරමින් එය උඩරට ගිවිසුමේ අත්සනට ඉඳුරාම වෙනස්‌ බව සඳහන් කරයි.
 
 උඩරට ගිවිසුමේ අත්සන් පිළිබඳව සැකයක්‌ ඇති වී නම් ඉතිහාසඥයන් විසින් කළ යුතුව තිබුණේ සමකාලීන වකවානුවේ උඩරට ප්‍රධානීන්ගේ අත්සන් ඇති වෙනත් ලියවිලි සොයා ඒවා සමග සංසන්දනය කිරීමයි. ඔවුන් එසේ කළ බවක්‌ නොපෙනේ.
 
 මෙම ලියුම්කරුට මෙම අභියෝගය ඉදිරිපත් වූයේ දිසා අධිකරණ නඩුවක දී ඇහැලේපොල විසින් කරන ලද ඉඩම් ප්‍රදානයක්‌ සම්බන්ධ ලියවිල්ලක්‌ පැමිණිලි පක්‌ෂයෙන් ඉදිරිපත්වීම නිසාය. මෙම නඩුවේදී විත්ති පක්‌ෂයෙන් උඩරට ගිවිසුමේ පිටපතක්‌ ඉදිරිපත් කර උක්‌ත ලේඛනයේ දැක්‌වෙන ඇහැලේපොලගේ අත්සන ව්‍යාජ එකක්‌ යයි කියා සීටීම නිසා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු සොයා බැලීමට සිදු විය.
 
 සන්නසක නිරවද්‍යතාවය සොයා බලන කරුණු කිහිපයක්‌ තිබේ. 1. සන්නස ප්‍රදානයට හේතුවක්‌ තිබිය යුතුය. 2. දැනුම් දීමක්‌ තිබිය යුතුය. 3. ඉඩම ප්‍රදානය කරනු ලැබූ තැනැත්තා හා ලැබූ තැනැත්තා ගැන සඳහන් විය යුතුය. 4. රාජ මුද්‍රාව හෝ දේශීය ප්‍රධානියාගේ අත්සන තිබිය යුතුය. 5. ප්‍රදානය කළ කාල වකවානු ගැන සඳහන්ව තිබිය යුතුය (ශක වර්ෂවලින්) 6. තත්කාලීන භාෂා ව්‍යවහාරයට අයත් බැඳි අකුරුවලින් යුක්‌ත විය යුතුය.
 
 මෙකී කරුණු අනුව අධිකරණයට ඉදිරිපත් වූ සන්නස නිවැරදි එකක්‌ බව මවිසින් පෙන්වා දුන් අතර එය සනාථ කිරීම සඳහා ඇහැලේපොලගේ අත්සන ඇති වෙනත් මුල් සන්නසක්‌ ඉදිරිපත් කිරීමට සිදුවිය.
 
 මෙයින් ලැබුණු උත්තේජනය නිසා 1800-1815 අතර කාලයේ ලියෑවුණු වෙනත් සන්නස්‌ සොයා ඒවා උඩරට ගිවිසුමේ අත්සන් හා සැසඳීමේ ක්‍රියාදාමයක නිරත වූයෙමි. මෙම පැරණි සන්නස්‌ බැලීමට ඒවායේ අයිතිය ඇති ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ වත්මන් කොමසාරිස්‌ පී. එම්. එච්. ප්‍රියදර්ශනී මහත්මිය මට අවසර දුන්නාය. මෙම ග්‍රන්ථයේ මුල් පිටපත ඇයට පිළිගැන්වූයේ මෙම ඓතිහාසික කාර්යයට ඇය විසින් දෙන ලද දායකත්වය අගය කරමිනි.
 
 කූට ලේඛන පිළිබඳ සෙවීමේ නීතිමය අයිතිය ඇත්තේ රස පරීක්‌ෂක දෙපාර්තමේන්තුවේ සැක කටයුතු ලේඛන අංශයටය. එම අංශයට එම තීරණ ගැනීමට අදාළ පුද්ගලයන්ගේ අත්සන් ඇති වෙනත් ලේඛන අවශ්‍ය වේ. මා ගමන් කළේ ද එම අඩි පාරේය.
 
 සබරගමුවේ සන්නස්‌ හා නඩු තීන්දුවල ඇති අත්සන් හඳුනා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය සිවිල් සේවාවේ නිලධාරියෙකු වශයෙන් ඉඩම් රෙජිස්‌ට්‍රාර් තනතුර දැරූ එච්. ඩබ්ලිව්. කොඩ්රින්ටන් මහතා දේශීය නිලධාරීන්ගේ සහාය ඇතිව විශේෂ ලිපිගොනුවක්‌ සකසා තිබුණි. පුරාණ ලංකාවේ ඉඩම් භුක්‌තිය, පුරාණ ලංකාවේ කාසි හා සංක්‌ෂිප්ත ලංකා ඉතිහාසය ආදී ග්‍රන්ථ රචනා කරමින් රාජකීය ලංකා ආසියාතික සමිති කලාපයන්ට විවිධ ලිපි සපයමින් මොහු විසින් කරන ලද ශාස්‌ත්‍රීය සේවාව සුළුපටු නොවේ. මොහු විසින් පිළියෙල කරන ලද අංකයක්‌ නොදරන ලද ලිපිගොනුව මහනුවර ශාඛා කාර්යාලයේ තිබී එහි නිලධාරිණියක්‌ වූ සෞම්‍යා සෙනරත් මිය විසින් මා අතට පත් කරන ලදින් මගේ කාර්යය වඩාත් පහසු විය. කොඩ්රින්ටන් මහතා උඩරට ගිවිසුම දැකී නම් එය කූට ලේඛනයක්‌ හැටියට පළමුවෙන් හඳුනා ගන්නේ ඔහුය.
 
 1815 මාර්තු 02 දා මඟුල් මඩුවේ උත්සවයට නියමිත න්‍යාය පත්‍රය මෙසේ විය.
 
 1. දේශීය ප්‍රධානීන් මඟුල් මඩුවට සම්ප්‍රාප්ත වීම
 
 2. ආණ්‌ඩුකරුගේ සම්ප්‍රාප්තිය
 
 3. ආණ්‌ඩුකරු සියල්ලන් පිළිගනිමින් කතා කිරීම
 
 4. උඩරට ගිවිසුම ඉංගී්‍රසි බසින් කියවීම- ආණ්‌ඩුකරුගේ නියෝජ්‍ය
 
 ලේකම් ඡේම්ස්‌ සදර්ලන්ඩ්
 
 5. උඩරට ගිවිසුම සිංහල බසින් කියවීම-ඒබ්‍රහම් ද අල්විස්‌ වාසල මුදලි
 
 6. මඟුල් මඩුවේ දොරටුවේදී රැස්‌ව සිටි ජනතාව වෙනුවෙන් නැවතත් සිංහලෙන් කියවීම- ඒබ්‍රහම් ද අල්විස්‌ වාසල මුදලි
 
 7. උඩරට ගිවිසුමට දෙපාර්ශ්වය විසින් අත්සන් කිරීම
 
 8. ඉංගී්‍රසි ධජය එසවීම
 
 9. කාලතුවක්‌කු වෙඩි මුර ආචාරය
 
 10. උත්සවයේ සමාප්තිය.
 
udarata1 මඟුල් මඩුවේ දොරටුවේ දී මෙම ගිවිසුම සිංහලෙන් කියවීමෙන් පසු මෙය අත්සන් කිරීම සිංහල ප්‍රධානීන් විසින් වර්ජනය කරනු ලැබීය. ඊට හේතුව වූයේ මෙම රාජකීය අවස්‌ථාව මල්වතු අස්‌ගිරි නාහිමිවරුන්ට නොදැන්වීමයි. පැරැණි රාජාණ්‌ඩු ක්‍රමය පැවති කාලයේ මෙවැනි උත්සවයන් පැවැත්වූයේ ආගමික නායකයන්ගේ සහභාගිත්වය ඇතිවය. මෙම අවස්‌ථාවට ඔවුන්ට ආරාධනා කර නොතිබීම නිසා මෙම වර්ජනය ඇතිවිය. මෙම අවස්‌ථාවේදී ආණ්‌ඩුකරු ඊළඟට නියමිත වැඩ සටහන වූ ඉංගී්‍රසි කතිර කොඩිය ඔසවන ලෙස නියම කළේය. වාරියපොල හිමියෝ මෙම අවස්‌ථාවේ ඉදිරියට පැන ඉංගී්‍රසි කතිර කොඩිය පාගා උඩරට ගිවිසුමට අත්සන් කරන තෙක්‌ මෙය එසවීමට ඉඩ නොදෙන බව තර්ජනය කළ බව සඳහන් වේ.
 
 මහාචාර්ය අනුර මනතුංග මහතා සිය 'ඇහැලේපොල දෙවෙනි රඡ්ජුරුවෝ' ග්‍රන්ථයෙන් මේ සම්බන්ධව මෙසේ සඳහන් කරයි. ගිවිසුම අත්සන් නො කර තිබිය දී වුව ඒ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එදින මුල් වරට ආචාර වෙඩිමුර සමග ඉංගී්‍රසි කතිර කොඩිය මහනුවර ඓතිහාසික මඟුල් මඩුව අසල ඔසවනු ලැබීය. කිසිදු ඉංගී්‍රසි වාර්තාවක සඳහන් නොවුණද වාරියපොල සුමංගල හිමියන් ඉංග්‍රීසි කොඩිය බිම ඇද දමා පා ගා දමන්නට ඇත්තේ මේ අවස්‌ථාවේ දී විය යුතුය. (59 පිටුව)
 
 මෙම ක්‍රියාව කිසිදු ඉංගී්‍රසි මූලාශ්‍රයක නොතිබුණත් අධිනීතීඥ වෝල්ටර් විමලචන්ද්‍ර මහතාගේ පුස්‌තකාලයේ ඇති පුස්‌කොළ පොතක මෙය සඳහන් වන බව නුවරඑළියේ හේමපාල මහතා සිය ග්‍රන්ථයෙන් පවසයි.
 
 මෙම උඩරට ගිවිසුමට අදාළව පවතින ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ ඉංගී්‍රසි ආණ්‌ඩුවේ ප්‍රධානතම භාෂා පරිවර්තකයා වූ සර් ජෝන් ඩොයිලිගේ දින පොතයි. එහි සඳහන් වන අන්දමට 1815 මාර්තු 03 වැනි දින බ්‍රවුන්රිග් ආණ්‌ඩුකරු ප්‍රධාන පෙළේ දිසාවේ වරුන්ට අක්‌ත පත්‍ර භාර දී ඇත. මෙම දින පොතේ දැක්‌වෙන අන්දමට 1815 මාර්තු 10 දා ආණ්‌ඩුකරු දේශීය ප්‍රධානීන්ගේ අත්සන් ගැනීමේ ක්‍රියාදාමය නැවත ආරම්භ කරනු සඳහා ප්‍රථමයෙන් මල්වතු විහාරයේ අධිපති කොබ්බෑකඩුවේ සිරිනිවාස හිමියන් හා අස්‌ගිරි පාර්ශ්වයේ නායක යටවත්තේ හිමියන් හමුවී ඔවුන්ගේ එකඟත්වය ලබා ඇත. මෙම දිනයේ දී අධිකාරම්වරු දෙදෙනාත්, දිසාවේවරුත් අත්සන් තබා ඇත. එදින රාත්‍රියේ නැවතත් මෙම හිමිවරුන් මඟුල් මඩුවට පැමිණ ආණ්‌ඩුකරු මුණ ගැසුණේ මෙදිනත් කුමක්‌ හෝ අකරතැබ්බයක්‌ (වර්ජනයක්‌) සිදු වුණ හෙයිනි. නැවතත් මෙම දින පොතේ එන සටහනක්‌ අනුව ඇහැලේපොලත්, ගලගොඩ අධිකාරමත්, පිළිමතලාව දිසාවත් මාර්තු 18 වන දින අත්සන් තබා ඇත. එහෙත් මෙම දින පොතේ සඳහන් වන හැටියට බ්‍රවුන්රිග් ආණ්‌ඩුකරු මාර්තු 11-18 අතර කාලයේ අසනීපව රාජකාරි කටයුතුවලින් වැළකී ඇත. එවිට මෙම අත්සන් තැබීම ව්‍යාජ රංගනයක්‌ බවට පත්වෙයි. මෙම රංගනයේ ප්‍රධාන තැනක්‌ ගත් ඩොයිලි මාර්තු 03-09 අතර කාලය තුළ පාචනය සෑදී අසනීපවීමත්, ඇහැලේපොල මාර්තු 03-11 කාලය තුළ අසනීප වීමත් මෙම රංගනයේ තවත් අවස්‌ථා වේ.
 
 ඩොයිලිගේ දිනපොතේ අත්සන් තැබු වාර ගණන් ගණනය කළහොත් ප්‍රධානීන් 13 ක්‌ අත්සන් කර තිබේ. එහෙත් ගිවිසුමේ ඇත්තේ ප්‍රධානීන්ගේ අත්සන් 11කි. සියලුම දිසාවන් වෙනුවෙන් අත්සන් කරන ලද බව සඳහන් කළත් උඩපළාත වෙනුවෙන් කිසිවෙක්‌ අත්සන් කර නැත.
 
 උඩරට ගිවිසුමට අත්සන් තැබු වේලාවන් හා දිනයන් පිළිබඳ පවතින මෙම පරස්‌පරතාවලින් පෙනී යන්නේ එය කියවීමේ අවස්‌ථාවේ උද්ගත වූ විරෝධතා දිගින් දිගටම ගිය බවකි. එහෙත් මෙරට ඉතිහාසඥයන් සඳහන් කරන්නේ ගිවිසුම නැවත නැවත සංශෝධනය කිරීමටත් පිටපත් දෙකක්‌ භාෂා දෙකකින් පිළියෙළ කිරීමටත් සිදු වූ නිසා මෙම තත්ත්වය ඇති වූ බවය. එහෙත් 1815 මාර්තු 02 ට පෙර මෙම සියල්ල කර තිබූ බව පෙනේ.
 
 මෙම නාට්‍යයේ අවසාන ජවනිකාව වන්නේ මෙම කූට ලේඛනය අනාවරණය වෙනු වැලැක්‌වීම සඳහා අත්සන් තබන ලද චරිත මකා දැමීම ය. 1818 කැරැල්ලෙන් මේ සඳහා අවස්‌ථාවක්‌ උදාවිය. මෙම කැරැලිවලට නායකත්වය ගත් කැප්පෙටිපොල, පිළිමතලව්වේ හා මිල්ලව ඇතළු නායකයන් ඉංගී්‍රසීන්ගේ අත්අඩංගුවට පත්ව සමහරෙක්‌ හිස්‌ ගැසුම් කෑහ. සමහරෙක්‌ පිටුවාහල් කළහ. ඉතිරි වූ එකම සාක්‌ෂිය වූ ඇහැලේපොල මුරිසියට පිටුවාහල් කරන ලදී.
 
 ඉංගී්‍රසීහු තම මව් රටට මෙම ගිවිසුම ගැන දන්වා යෑව්වේ මුල් පිටපත රහිතවය. මෙම ගිවිසුමේ මුල් පිටපත සොයා එංගලන්තයේ රාජ්‍ය ලේඛන කාර්යාලය දෙවනත් කළ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතාට සමු වූයේ දෙවන පිටපත ය. මුල් පිටපත වසර 173 ක්‌ රාජ්‍ය ලේඛන අතර සැඟුවී තිබිය දී 1988 දී සොයා ගන්නා ලදී.
 
 ඉංගී්‍රසීන් මෙම ගිවිසුම සම්බන්ධව මව් ආණ්‌ඩුවට යෑව් වාර්තාවලින් පෙන්නුම් කරන ලද්දේ 1840 දී බ්‍රිතාන්‍ය රජයත් නවසීලන්තයේ මැඕරි ජාතිකයිනුත් අත්සන් කළ වයිටන්හි ගිවිසුම මෙන් මෙම ගිවිසුමත් ඔවුනොවුන් ඉදිරියේ අත්සන් කරන ලද බවකි. එය සත්‍යයක්‌ නොවන බව ඩොයිලිගේ දිනපොත සාක්‌ෂි දරයි.
 
 ඉංගී්‍රසි පාලන යුගයට අයත් වන 1900-1920 අතර කාලයේ මේ සම්බන්ධව නිකුත් වූ චිත්‍ර දෙකක්‌ මේ ලිපිය සමග ඇත. මෙමගින් පෙන්නුම් කරන්නේ ඉංගී්‍රසි සිංහල දෙපක්‌ෂය ඔවුනොවුන් ඉදිරියේ පෝලිමේ ගොස්‌ ගරු ගාම්භීරව මඟුල් මඩුවේ දී අත්සන් තබන ලද බවකි. මෙම රංගනය හරහා ඉංගී්‍රසීන් උඩරැටියනුත් මව් ආණ්‌ඩුවත් රවටා ඇති බව ඔප්පු කරන්නට තවත් අටුවා, ටීකා, ටිප්පනී අවශ්‍ය නැත.
 
 1915 දී පැවැත්වූ ගම්පොල වලහගොඩ දේවාලය පිළිබඳ නඩුවේදී මෙම ගිවිසුමේ පිටපතක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ බවත් එය පිළිගන්නා ලද බවත් සැලවේ. ඉතිහාසඥයන් පමණක්‌ නොව අධිකරණයත් මෙහි අත්සන් පසුපස නොගිය බව පෙනේ. නීතිය ඉදිරියේ කුඨ ලේඛනයක්‌ හැටියට හැඳින්විය හැකි මෙම ගිවිසුම තවදුරටත් වන්දනාමාන කිරීමේ අවශ්‍යතාවයක්‌ ඇත්තේ ඉතිහාසඥයන්ට ද?
 
 
  

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles