Divaina - කෝප් එක මැජික් වෙලා තිබෙන්නේ නීතිය හරියට කි‍්‍රයාත්මක නොවන නිසයි - පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

poli1- හොරුන්ට දඬුවම් දෙන්න බලය අපට දෙන්න
 
 වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම තවත් කරුණු කාරණා කිහිපයක් පිළිබඳ විමසා බැලීමට ‘දිවයින’ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධ කර ගත්තෙමු.
 පහතින් පෙළගැසෙන්නේ ඒ මහතා සමඟ ‘දිවයින’ කළ සාකච්ඡාවයි.
 
 ප‍්‍රශ්නය - ජ.වි.පෙ. ජාතික ජන බලවේගය හරහා අලූත් සන්ධානයක් ගොඩනඟා ජනාධිපති අපේක්‍ෂකයකු ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මේ වන විට ඇහෙන්න තිබෙන දෙයක් තමයි එම අපේක්‍ෂකයා ඉදිරියේදී වෙනස් වෙන බව... ඇත්තටම අපේක්‍ෂකයා වෙනස් වෙනවාද?
 
 පිළිතුර - වෙන අය ඉදිරිපත් කර ඇති අපේක්‍ෂකයෝ ඉදිරියට ගෙන යන්න බැරිව මාරුවෙන්න පුළුවන් කම තිබෙනවා. සමහරවිට ඔවුන් මාරු වෙලා ලංකාව අතහැර යන්නත් පුළුවන්කම තිබෙනවා. නමුත් අපේ අපේක්‍ෂකයා කිසිසේත් ඉවත්වෙන්නේ හෝ මාරු වෙන්නේ නැහැ. මොකද අපට එහෙම කරන්න හේතුවක් නැහැ. මේ අනුර කුමාර සහෝදරයාට කරන මඩ ප‍්‍රචාර වෙන්න පුළුවන්. අවලාද, අපහාස වෙන්න පුළුවන්. අපි ජනතාවට කියන්නේ මේ බොරු බේගල්වලට නොරැුවටෙන ලෙසයි. මෙවැනි මඩ ප‍්‍රචාර ගෙනියන්නේ ‘‘අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා’’ වන අනුර සහෝදරයා අනිත් අපේක්‍ෂකයන්ට අභියෝගයක් වන නිසයි.
 
 ප‍්‍රශ්නය - සහෝදරයා මේ දවස්වල කියන තවත් කාරණයක් තමයි මෛත‍්‍රී - සජිත් ප‍්‍රමුඛව හැදෙන සන්ධානයකට ජාතික ජන බලවේගය එකතු වෙන්න යනවයි කියන කාරණය. මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේද?
 
 පිළිතුර - අපි කිසිවකු සමඟ කොහෙත්ම එකතු වන්නේ නැහැ. ජාතික ජන බලවේගය ගොඩනැඟුවේ අප රටේ ඉන්න උගතුන්. බුද්ධිමතුන්, කලාකරුවන් ඇතුළු රට හදන්න ඕන කියන අවංක හැඟීමක් ඇති පිරිසක් සමඟයි. ඒ සුජාත උවමනාව කිසිදු ආකාරයකින් කිළිටි කර ගන්න අපි සූදානම් නැහැ.. එය පැහැදිලිව කියන්න ඕනෑ.
 
 ප‍්‍රශ්නය - හොඳයි... පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා පසුගිය දිනක අප සහෝදර පුවත්පත වන ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙමින් සඳහන් කළේ රතු කොඩිය අපේ කම, දරාගෙන දේශපාලනයේ යෙදෙන්නේ එම පක්‍ෂය බවයි. ජ.වි.පෙ ඒ ගැන නැති බවට චෝදනාවක් කළා. ඔබලාගේ අපේක්‍ෂා වෙනස් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. සහෝදරයා ඇත්තටම රතු කොඩිය කා සතුද?
 
 පිළිතුර - මම ඒ ගැන කිසි උත්තරයක් දෙන්නෙ නැහැ. මොකද ඒ අය දේශපාලනිකව අවලංගු වූ පිරිසක්. ඔවුන් රතු කොඩියටත් කරන්නේ අවනම්බුවක්. රතු කොඩිය කියලා කියන්නේ ජනතාවගෙන් අයින් වූ ජනතාවගෙන් වෙන්වූ දෙයක් නෙමෙයිනේ. ලංකාවට අදාළ වෙන්නේ ලෝකයේ වෙන රටක සමාජවාදයක් හෝ වෙන රටක බිහිවූ සමාජවාදයක් නෙමෙයි.
 
 රෝහණ විජේවීර සහෝදරයා තමයි, අපේ අනන්‍යතාව. උරුමය, සංස්කෘතිය, ඉතිහාසය හා උරුමය. සියල්ල ඒකාබද්ධ කර ලංකාවට ගැලපෙන ලෙස සමාජවාදී සංකල්පයක් හා අදහස් සමාජගත කළේ. මේ නිසා තමයි, අවස්ථා ගණනාවකදී ආයුධවලින් පවා එහි කි‍්‍රයාකාරිත්වය මර්දනය කරන්න බැරිවුණේ. මට කියන්න තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ රටේ ජනතාවගේ සංස්කෘතියක්.
 
 ප‍්‍රශ්නය - ඔබ කොහොමද එහෙම කියන්නේ?
 
 පිළිතුර - වංචාව, දූෂණය, නාස්තිය, හොරකම ගැන කථාකරන විට අනෙකුත් දේශපාලන පක්‍ෂවලට වඩා විකල්පය ජ.වි.පෙරමුණයි. රට හැදීම ගැන කතා කළොත් කතා කරන්නේ අපි ගැනයි. අපේ අවසාන අරමුණු ඉලක්ක කිසිවක් වෙනස් වී නැහැ. සමාජවාදී රාජ්‍යයක් අප රටේ ගොඩනඟන්න ඕනනම් එය කළ හැක්කේ ජනතාවගෙන් ඈත්වී ජනතාවගෙන් වියෝවී නොව ජනතාව සමගයි. ඒ නිසා ඉතා පැහැදිලි කාරණාව තමයි. අපි මේ ගොඩනඟන පුළුල් ව්‍යාපාරය මේ රටේ රාජ්‍ය බලයත් ලබාගන්නවා. ඒ වගේම මේ රට හදනවා. මේ රට ගොඩනඟන වැඩපිළිවෙළේදී අපේ මූලධාර්මික පදනම වන්නේ සමාජවාදී අරමුණුයි. ජාතික විමුක්ති අරගලයන් අප රටේ තිබෙනවා. ඒ වගේම අධිරාජ්‍ය විරෝධී අරගලයක් අප රටේ තිබෙනවා. ඒ සඳහා සැබෑ ලෙසම සමාජවාදය අප කි‍්‍රයාත්මක කරනවා. ඒ අය කියනවා නම් ඒ අය තමයි, රතු කොඩිය සැබෑ ලෙසම අත දරාගෙන ඉන්නේ කියලා. ඒ අයට මේ වැඩපිළිවෙළ සමඟ එක්වෙන්න කිසි බාධාවක් නැහැ. මොකද අපි හදලා තිබෙන බලවේගේ වැඩපිළිවෙල වාමාංශික, ප‍්‍රගතිශීලී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී. මේ රටට ආදරය කරන සැමට එක්විය හැකි වැඩපිළිවෙළක්. මට කියන්න තියෙන්නේ ඒ රතු කොඩිය දැන් ඔවුන් වනන්නේ සමාජවාදය වෙනුවෙන් නොව සමාජවාදය පෙන්නා සමහර අයගෙන් ලැබෙන මුදල් වරප‍්‍රසාද නිසා කියලයි අපට හිතෙන්නේ.
 
 ප‍්‍රශ්නය - සමාජවාදය යල් පැනගිය අදහසක් නෙමෙයිද? එය නව ලෝකය සමඟ ගැලපිය යුතු නොවේද?
 
 පිළිතුර - සමාජවාදය කියන්නෙම වෙනස්වීම තමයි. මේ තියෙන ක‍්‍රමය වෙනස් කරන්නනේ අපි මේ උත්සාහ කරන්නේ. එතකොට ඒක සමාජවාදී අදහසක් නෙමෙයිද? සමාජවාදය යල්පැනගිය අදහසක් කියලා කියන්නේ ඇත්තටම සමාජවාදී අදහස් ගැන නොදන්න අයයි. වෙනස්වීම න්‍යායිකවම පිළිගන්න මතවාදයක් තමයි, සමාජවාදය. පැරණි සමාජයේ නටබුන් ඉවත් කරලා අලූත් සමාජයක් ගොඩනඟන්න ඕන කියලා අපි කියන්නේ ඒ නිසයි. නවීනත්වය හොඳින්ම පිළිගන්නේ අපියි. නවීනත්වය තුළ ජාතිවාදය, ආගම්වාදය, ගෝත‍්‍රවාදය, වැඩවසම්කම, හොරකම, මැරකම තියෙන්න බැහැ. නවීනත්වය කියන්නේ තාක්‍ෂණය සමග යන එකකුත් නෙමෙයි. අපි නවීන වෙන්න ඕනේ අදහස් වලින්.මේ පාලකයෝ නවීනත්වය යොදන්නේ විනාශයටයි. 1800 ගණන් වල පැරිසියේ 1917 සෝවියට් දේශයේ වූ දේ අපි සමාජවාදය යැයි හිතනවා නම් එය වැරදියි. සෝවියට් දේශයවත් චීනයවත් එය දැන් හිතන්නේ නැහැ. ලංකාව පොල්කට්ටෙන් වහන්න බැරි බව අපි පිළිගන්න ඕනෑ. අප රට ලෝකයත් සමඟ ඉදිරියට යා යුතුයි. අද අපේ නායකයෝ යැයි කියන පිරිස් අදහස් වලින් නවීනද? මේ අය අතේ පයේ යකඩ දම්වැල් ඔතාගෙන ඉන්නේ. ඡුන්දෙට නාමයෝජනා දීලා තිරුපති යන්නේ ඇයි.. මං අහන්නේ ඡුන්දෙට නාමයෝජනා දීලා තිරුපති යන එකද නවීනත්වය. නැත්නම් මිනිසුන් අතරට යන එකද කියලා..
 
 මිනිස්සු විශ්වාස නොකර තවම දෙයියෝ විශ්වාස කරන්නේ ඇයි.. ඔවුන් දෙයියෝ ගාවට ගිහින් රෙදි ගලෝගන්නවා. නවීන වෙන්න ඕන අදහස් වලින්.
 
 අප රටේ තියන ප‍්‍රශ්නය තමයි ජනතාවත් තවම වහල්ලූ විදිහට හිතන එක. කියමනක් තිබෙනවා ‘‘වහලාත් නටන වෙලාවට වහලෙක්’’ කියලා. ලේඛක ඉසබෙල් අයියන්දේ ගේ ‘මුහුද යට දිවයින’ යන පොතේ තියෙන්නේ එහෙමයි. අප රටේ ඡුන්ද කාලෙට එහෙම තමයි.
 
 ප‍්‍රශ්නය - රටේ ඡුන්ද දායකයෝ මැතිවරණ කාලයෙ කවුරුන් කියලද කියන්නේ.
 
 පිළිතුර - හහ් හහ් හා.... මිනිස්සු වෙනවා.
 
 ප‍්‍රශ්නය - මිනිස්සුද.... වහල්ලූද...
 
 පිළිතුර - මිනිස්සු වෙනවා... අනික් වෙලාවට වහල්ලූ වෙනවා. එහෙම නේද...
 
 ඡුන්දකාලෙදි දේශපාලනඥයෝ ගෙවල් ගාවට ඇවිත් වැන්දම හොඳ කාලයක් ආවේ කියලා මිනිස්සු චූන් වෙනවා. ඊට පස්සේ වහල්ලූ වෙනවා. ඡුන්දය දුන්න එක මෝඩ කමක් කියලා හිත හිත කියව කියවා පසුව වහල්ලූ වගේ වැඩ කරනවා. පාලකයෝ ජනතාව අතරට එන්නේ ඡුන්ද කාලෙදී විතරයි. ජනතාව වෙනස් නොවී රට හදන්න බැහැ.
 
 ප‍්‍රශ්නය - සහෝදරයා... මේ දවස්වල කෝප් කමිටුවේ කටයුතු මාධ්‍ය හරහා ප‍්‍රචාරය වෙනවා. කෝප් කමිටු සභාපති ලෙස සුනිල් හඳුන්නෙත්ති කියන චරිතයේ කාර්යභාරය පිළිබඳ ජනතාව ප‍්‍රශංසා මුඛයෙන් කථා කරන බවක් අපට අහන්න දකින්න තිබෙනවා. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණේ අවශ්‍යතාව පිළිබඳව. ජනතාව කතා වෙනවා අපට පේනවා.
 
 ඒ කියන්නේ ජනතාවට ජවිපෙ අවශ්‍යතාවක් ඇති බවයි. නමුත් ඡුන්දයක් අවසානයේ ජ.වි.පෙ. අපේක්‍ෂිත ජයග‍්‍රහණ හා ඉලක්ක ලබාගත් බවත් පසුගිය කාලය පුරා අපි දන්නේ නැහැ. ජනතාව දිනා ගැනීමේ කාර්යභාරයේදී ජ.වි.පෙ අසමත් නොවේද?
 
 පිළිතුර - ඔබගේ ප‍්‍රශ්නය ඇතුළේ උත්තරය තිබෙනවා. ජනතාවට කරදරයක් වුණහම ජ.වි.පෙ ඕනවෙනවා. ඒ කියන්නේ ජ.වි.පෙ. කරදරවලදී පිහිටවෙනවා කියලා දන්නා නිසානේ. සුනාමිය ආවම, ගංවතුර ආවම, අසාධාරණයකදී, හොරකමකදී, ආණ්ඩුවේ වැරැුද්දක් කියන්න ඕන වුනහම ජවිපෙ ජනතාවට ඕන වෙනවා. නමුත් ඡුන්දයකට ගියාම, ඡුන්දය ලබාදෙද්දී ජ.වි.පෙ ඕන වෙන්නේ නැහැ. තව දෙයක් කියන්න ඕනෑ. ජනතාවගෙන් අපි ඇහුවොත් ඇත්ත කතා කරන්නේ, වංචාව දූෂණය නැත්තේ හරියට වැඩ කරන්නේ විශ්වාස කළ හැකි අය ඉන්නේ, අසාධාරණයට විරුද්ධ වන්නේ කොයි පක්‍ෂයේද කියලා ඔවුන් කියන්නේ ජවිපෙ කියලයි. නමුත් ඡුන්දය දෙන්නේ කාටද කියලා ඇහුවොත් ඔවුන් කියන්නේ වෙන පක්‍ෂයක්.
 
 ප‍්‍රශ්නය - ඇයි එහෙම වෙලා තියෙන්නේ..?
 
 පිළිතුර - ඒක ඇත්තටම වෙලා තියෙන්නේ ජනතාවගෙන්. ජනතාව වහල් මානසිකත්වයෙන් ගැලවෙන්න ඕනෑ. පරම්පරාවෙන් ඡුන්දය දීම, අප්පොච්චි දුන්න නිසා ඡුන්දය දීම, ළමයා ඉස්කෝලෙට දාලා දුන්නු නිසා, බෝක්කු පාළම් හදලා දුන්න නිසා කියන සරල කාරණාවලට ඡුන්දය දීම දැන් නතර කරන්න ඕන. ජනතාව ඡුන්දය පාවිච්චි කිරීම සරල මානසිකත්වයකින් කළත් එය භාරධුර කටයුත්තක්. මොකක්ද ඒ. ඒ තමයි, පරමාධිපත්‍ය. පරමාධිපත්‍යයට ඒ කියන්නේ පාලන බලය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. නීති හැදීමේ බලය ජනතාවට ඇත්තේය.
 
 නීති කි‍්‍රයාත්මක කිරීමේ බලය ජනතාවට ඇත්තේය. අන්න ඒ සඳහායි, ජනතාව ඡුන්දය දෙන්නේ. ජනතාව ඡුන්දය දෙන්න ඕනේ තමන්ගේ පාලන බලය පාලනය කරන්න පුළුවන් එවුන්ටයි. එය මෝඩයින්ට භාරදීලා පාර්ලිමේන්තුවේ ඉන්නේ මෝඩයෝ කියලා. 225 ම එපා කියලා හරි යන්නේ නැහැ. මේ මෝඩයෝ පාර්ලිමේන්තුවට බලෙන් ගියේ නැහැනේ. ජනතාව තමයි වෙනස් වෙන්න ඕනෑ.
 
 අපෙන් තව වෙනස් වෙන්න ඕන මොනවද කියල කියන්නකෝ. අපි ලෑස්තියි එය වෙනස් කර ගන්න. හැබැයි හොරකම් කරන්න, දූෂණ වංචා කරන්න කියලා කිව්වොත් ඒ දේ අපි කරන්නේ නැහැ. එක දෙයක් කියන්නම් අපි වෙනස් වෙන්න ලෑස්තියි. අපි වෙනස් වෙලත් තිබෙනවා. හැබැයි අපි ප‍්‍රතිපත්ති වෙනස් කරගෙන නැහැ. අද අපිට එපාවෙන ජනතාවට හෙට අපව ඕන වේවි. අපි ඇති තරම් වෙනස්වෙලා ඉවරයි. දන් ජනතාව වෙනස් විය යුතුයි.
 
 සහෝදරයා තව දෙයක් කියන්න ඕනෑ. ඔබ මුලින් කීව කාරණය ගැන කෝප් කමිටුවේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාගේ කටයුතු ඔහුගේ පුද්ගලික ජයග‍්‍රහණයක් හෝ දක්‍ෂතාවක් නොවන බව. මම එ.ජා.පෙ. ශ‍්‍රී ලං.කා හෝ වෙන පක්‍ෂයක හිටියා නම් මමත් හොරු ආරක්‍ෂා කරන කෙනෙක් තමයි. මගේ ප‍්‍රතිඵලය මගේ දැනුමේ ප‍්‍රතිඵලයේ පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිඵලයක්. සමහරු ජනතා විමුක්ති පෙරමුණ හොඳ නැහැ. හඳුන්නෙත්ති හොඳයි කිව්වට වැඩක් නැහැ. ලියන්න මහත්තයෝ තේරෙන්නම හඳුන්නෙත්ති හොඳ වෙන්නේත් ජනතා විමුක්ති පෙරමුණ තුළ ඉන්න හඳුන්නෙත්ති නිසා.
 
 ප‍්‍රශ්නය - කෝප් කමිටුව හරහා සිදුවන වංචා දූෂණ හෙළිවීම් සමඟම එය සතු බලය ගැන ජනතාව කතා වෙනවා.
 
 පිළිතුර - එහි බලය ගැන කතා කරන්නේ කෝප් එකක් තිබුණද නැද්ද කියලා දන්නේ නැති රටක මිනිස්සුනේ. මම ඒ ගැන සතුටු වෙනවා. කෝප් එක සතු බලය මෙහෙමයි. කෝප් එක ජනතාවට රෙද්ද ඇරලා පෙන්නලා තිබෙනවා.
 
 හොරු කවුද කියලා අපි පෙන්නලා තිබෙනවා. අපට කරන්න පුළුවන් එපමණයි. අපෙන් නඩු අහන්න කියන්නවත් දඬුවම් දෙන්නවත් කියන්න එපා. එහෙම ඕනනම් ආණ්ඩු බලයයි අධිකරණ බලයයි අපට දෙන්න. අපිට ඒ දේ දුන්නොත් වසර පහක් යනකොට කෝප් කමිටු අපට ඕන වෙන්නේ නැහැ. නීති හරියට කි‍්‍රයාත්මක නොවන නිසයි, කෝප් එක මැජික් වෙලා තිබෙන්නේ.
 
 සාකච්ඡා කළේ -  සිරිමන්ත රත්නසේකර

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles