Divaina - ලක්‌දිව මුල්බැසගත් භික්‌ෂුණි ශාසන සම්ප්‍රදාය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new


 sanga
 
 
 මාහාචාර්ය මල්ලිකා කරුණාරත්න
 

බුදුන්වහන්සේ අනුදැන වදාළ භික්‌ෂුණි ශාසනය පිළිබඳව වර්තමානය වනවිට අප සමාජයෙහි පවතින්නේ විවාදාපන්න ස්‌වරූපයකි" එය උභතෝකෝටියකි යි කීම ද අතිශයෝක්‌තියක්‌ නොවේ. එහෙත් දැන උගත්කමින් පිරිපුන් විචක්‌ෂණශීලී ප්‍රබුද්ධ පිරිස මෙන්ම දැන උගත්කමින් අඩු පොදු ජනයා නියෝජනය කෙරෙන වැඩිහිටි කාන්තා හා පිරිමි යන දෙපාර්ශවයම සඟමිත් තෙරණියගේ මූලිකත්වයෙන් මෙරට ප්‍රතිෂ්ඨාපනය වූ කාන්තා පැවිද්ද පිළිගැනීම පමණක්‌ නොව බුදුසසුනේ පැවිදි කාන්තාවට නැතහොත් භික්‌ෂුණියට ගෞරවපූර්වක අභිවන්දනය පෙරදැරිව ඇප උපස්‌ථාන කිරීම ද අද සමාජයේ සුලබව දැකිය හැකි දර්ශනයකි.
 
 බුදුසසුනේ සම කොටස්‌කරුවන් සිව් පිරිසකි. බුදුන්වහන්සේගේ දේශනා ඇතුළත් ත්‍රිපිටකයේ සූත්‍ර රාශියක මෙම සිව්පිරිස පිළිබඳව සඳහන් වන අතර, භික්‌ෂු-භික්‌ෂුණි දෙපිරිසකින් සමන්විත සඟ සසුනේ සාමාජිකයින් ව්‍යක්‌ත, විනීත, විශාරද, ධර්මධර, ධර්මානුධර්මපටිපන්න යන විශිෂ්ට වූ කුසලතාවන්ගෙන් පරිපූර්ණවනු දැකීම තමන්වහන්සේගේ අභිලාෂය වූ බව දීඝනිකායේ මහාපරිනිබ්බාන සූත්‍රයෙහි සුවිශේෂයෙන් සඳහන් කෙරෙන කරුණකි. එමෙන්ම භාරතීය බුද්ධකාලීන සමාජය නියෝජනය කරන ලද විශිෂ්ටයින් අතර භික්‌ෂු-භික්‌ෂුණි, උපාසක-උපාසිකා යන සිව්පිරිස ම ඇතුළත් වූ අතර, ඔවුන් විසින් අත්පත් කරගනු ලැබුවා වූ දෛනික ජීවිත පැවැත්මට අදාළ ඇවතුම්-පැවතුම් මෙන්ම උසස්‌ ධ්‍යානලාභී තත්ත්වයන් නියෝජනය කරන්නාවූ කුසලතාවන් ද බුදුන්වහන්සේගේ සුවිශේෂ ඇගයුමට ලක්‌ වූ බව අංගුත්තර නිකායේ ඒතදග්ගපාලියෙහි අසූමහාශ්‍රාවක චරිත විමසන විට පැහැදිලි වන කරුණකි. ලෞකික සැප සම්පතින් ආඪ්‍යවූ දානපතිනියක වශයෙන් විශාකා උපාසිකාව සහ සිහිය දියුණු කිරීමෙන් සෘදිප්‍රාතිහාර්ය පෑමේ ශක්‌තියෙන් අනූන වූ උප්පලවණ්‌ණා තෙරණිය බුදුන්වහන්සේගෙන් අග්‍රස්‌ථාන ලබමින් පැසසුමට ලක්‌ වූ බව මෙයට දැක්‌විය හැකි එක්‌ නිදසුනකි.
 
 ශිෂ්ට සමාජයක මිනිස්‌ අයිතිවාසිකම ලෙස පිළිගැනෙන විවාහප්‍රාප්තවීම හා දරුවන් බිහිකරමින් සමාජ ප්‍රගමනයේ කොටස්‌කරුවකු වීම කාන්තාවගෙන් අපේක්‌ෂිත සමාජ කාර්යභාරය බවට විවාදයක්‌ නොමැත. එහෙත් මෙම සාමාන්‍යකරණයෙන් බැහැර වූ සිදුවීම් අතීතය තුළ මෙන්ම වර්තමානයෙහි ද සුලබව නිරීක්‌ෂණය කළ හැකි වේ. ගිහිජීවිත බන්ධනයට යොමු නොවූ කාන්තාවන් අපිස්‌ ජීවිතයට යොමුවෙමින් සමාජ යුතුකම් හා වගකීම් ඉටුකිරීමට පෙළඹුණු බවට සාධක බොහෝ භාරතීය ඉතිහාසය හෙළිදරව් කරයි. ප්‍රාග් බෞද්ධ යුගයේ කාන්තාව සිය නිදහස උපරිම ලෙස භුක්‌ති විඳිමින් තව/පරිබ්‍රාජක ජීවිතයට යොමුවීමත් බහුශ්‍රැතභාවය ප්‍රකට කිරීමත් පිළිබඳව සාක්‌ෂි වෛදික යුගයේ පුවත් ඇසුරින් ද හෙළි කරගත හැකිය. මේ පිළිබඳව ඉන්දීය ඉතිහාසඥ බෂාම් පඬිවරයා විස්‌තර කරන්නේ මෙසේය:
 
 "සංස්‌කෘත සාහිත්‍යයෙහි රාජසභා විස්‌තරවල සඳහන් කාන්තාවෝ පොත්පත් කියවන, ගීත රචනා කරන ලේකාවෝ වෙති. තරුණ තරුණියන්ට ඔවුනොවුන් ආශ්‍රය සඳහාත්, විවාහක කාන්තාවන්ට අනෙක්‌ අය හා කතාබහ කිරීමත් තහනම් වූ නීති සෘග් වේදයෙහි දක්‌නට නැත" යනුවෙනි.
 
 වෛදික යුගයේ කාන්තාව ආගමික ජීවිතය ඇසුරෙහි අසීමිත නිදහසක්‌ භුක්‌තිවිඳි බව පෙනේ. යාගහෝම පැවැත්වීම, වේදමන්ත්‍ර ස-ඡ්ධායනය වැනි කටයුතුවල නිරතවීමට ඇයට අවසර තිබිණි. බුද්ධකාලීන සමාජය වනවිට ශ්‍රමණ පිරිස්‌ අතර ජෛන හා පරිබ්‍රාජක කාන්තාවන් සිටි බවට තොරතුරු ත්‍රිපිටකයෙහි ද අන්තර්ගතව තිබේ. ලෞකික සැප සම්පත් අත්හැර තවුස්‌ දිවියට පිරිස අල්පේච්ඡ ජීවිත ගත කළ තවුසියන් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයෙහි ද තොරතුරු සඳහන් වේ. බෞද්ධ ජාතක කතාවන්හි සඳහන් ඇතැම් තොරතුරු වෛදික යුගයේ සිට පැවත එන සමාජ ඇගයුම්, චාරිත්‍ර ආදියෙන් පෝෂණය වූ බව ද පෙනී යයි. නිදසුනක්‌ වශයෙන් වෙස්‌සන්තර ජාතකයෙහි සඳහන් වෙස්‌සන්තර රජතුමා පරිබ්‍රාජකයකුගේ ඉල්ලීමට අනුගත වෙමින් රජකම හැරදමා තවුස්‌දම් රැකීමට වනගත වූයේ සිය දේවියද සමඟිනි. මන්ද්‍රි බිසව දරුවන් සමග සිය ස්‌වාමිපුරුෂයාගේ තවුස්‌ ජීවිතය පවත්වාගෙන යාමට සහායවීම එකල ගරු කොට සැලකූ සමාජ සාරධර්මයක්‌ පමණක්‌ නොව සමාජ වගකීම ඉටුකිරීමේ පරමාදර්ශී පුවතක්‌ ලෙස ද සඳහන් කිරීම වඩාත් උචිත බව පෙනී යයි.
 
 පශ්චාත් වෛදික යුගයන්හිදී භාරතීය සමාජයෙහි බ්‍රාහ්මණ ආධිපත්‍යය ඉස්‌මතුවීම සමග ප්‍රචලිත වූ බ්‍රාහ්මණ ඉගැන්වීම්, සමාජ සම්ප්‍රදායන් හා බැඳුණු ඇවතුම්-පැවතුම් වලට අනුකූලව සමාජය හැඩගැස්‌වීමත්, එහි ප්‍රතිඵල වශයෙන් කාන්තා නිදහසට සීමා බන්ධන පැනවූ බවත් අනුමාන කළ හැකි ය. බ්‍රාහ්මණයින් විසින් ඒ සඳහා අවැසි සමාජ පසුබිම සකස්‌ කරන ලද අතර, එම අරමුණින් පොතපත රචනා කිරීම මෙන්ම නීති ග්‍රන්ථ සම්පාදනය ද සිදුවිණි. ඒවාහි සඳහන් පරිදි කාන්තාව විසින් පවත්වනු ලබන යාගහෝම පුද පූජාදිය දෙවියන්ට අප්‍රිය බවත්, අග්නිපූජා පවත්වන සෑම ගැහැණියකම අපාගත වන බවත් කියෑවෙන මනුනීති සංග්‍රහය (මනුස්‌මෘති) කාන්තාව සමාජයේ ඉතා නොවැදගත් චරිතයක්‌ ලෙස පහත් මට්‌ටමට හෙළා දැමීම අරමුණු කළ බව පෙනී යයි. එසේ වුවත් භාරතීය සමාජය තුළ විප්ලවීය වෙනසක්‌ සිදු කිරීමට බුදුන්වහන්සේ නායකත්වය ගෙන ක්‍රියාකළ අතර, කාන්තාවට පැවිදි උපසම්පදාව කැප යයි අනුදැන වැදෑරීම මගින් කාන්තාව ද පුරුෂ පක්‌ෂය හා සමාන නිදහසක්‌ භුක්‌ති විඳිමින් කාන්තාවගේ සමාජ වගකීම මෙන්ම ශාසනික උරුමය ද යළි තහවුරු කිරීම සඳහා සුදුසු පරිසරයක්‌ භාවිතය තුළ නිර්මාණය වූ බව අවධාරණයෙන් සටහන් කළ යුතු කරුණකි.
 
 බෞද්ධ ඓතිහාසික ලේඛනයන්හි සඳහන් තොරතුරුවලට අනුව මගධ දේශය කේන්ද්‍රකොටගත් සොළොස්‌ මහාජනපද රාජ්‍යයන්හි බුදු සසුනේ ව්‍යාප්තිය සීග්‍රයෙන් සිදුවුවද බුද්ධ පරිනිර්වාණයෙන් පසු සංඝ සමාජය තුළින් පැන නැගුණු ධර්ම-විනයට අදාළ වූ කාරණා පිළිබඳ මතභේදකාරී හේතු නිසා සංඝ සමාජය සීසීකඩ වීමක්‌ සිදු විණි. ක්‍රි.පූ.3 වැනි සියවසේ අශෝක රජු විසින් රාජ්‍ය බලය සිය ආධිපත්‍යයට නතුකර ගැනීමෙන් පසුව සංඝ සමාජය පිරිහීමට හේතු වූ කරුණු කාරණා සොයා බලා ඒවා නිවැරදි කිරීම සඳහා ගත් දූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් බුදුදහම යළි සංඝායනාවට ලක්‌ කරමින් සංඝ ශාසනයද ප්‍රතිෂ්ඨාපනයට ලක්‌ කරනු ලැබීය. එහි ප්‍රතිඵල වශයෙන් ක්‍රි.පූ.236 දී ත්‍රිපිටකය සහිත වූ බුදුදහමද, භික්‌ෂු-භික්‌ෂුණි යන දෙපිරිස සහිත වූ සංඝරත්නය ද භාරතයෙන් ලක්‌දිවට දායාද කරනු ලැබීමේ පුවත ඓතිහාසික වශයෙන් සිදු වූ අමිළ වූ රාජතාන්ත්‍රික ධර්මදූත සේවාවක්‌ බව ශ්‍රී ලාංකිකයන් වන අප විසින් මහත් වූ ආඩම්බරයෙන් සඳහන් කළ යුතු කරුණක්‌ වන්නේය.
 
 අරහත් මිහිඳු මාහිමියන් සහ අරහත් සඟමිත් තෙරණිය ලක්‌දිවට බුදුසසුන හඳුන්වා දුන්නා පමණක්‌ නොව ඔවුන් සිය පූර්ණ ජීවිතකාලයම ලක්‌දිවයින තුළ ගතකරමින් බුදුදහම සමාජගත කිරීම සඳහා නායකක්‌වය ලබාදුන් බවට බොහෝ සාධක පුරා විද්‍යා කැණිම් මගින් මෙන්ම දෙස්‌ විදෙස්‌ ඓතිහාසික ලේඛන ඇසුරින් ද සනාථ වී තිබේ.
 
 ලක්‌දිවයිනේ කාන්තා පැවිද්ද සඳහා මුල් වූයේ රාජකීය කාන්තාවක වූ අනුලා දේවියයි. බුදු සසුනෙහි චිර පැවැත්ම සඳහා භික්‌ෂුණින්ගෙන් මෙන්ම උපාසිකාවන්ගෙන් ද ලැබුණු අනුග්‍රහය හා සහයෝගය අපරිමිත බවට සනාථ කෙරෙන පුරාවිද්‍යාත්මක සාක්‌ෂි (ලංකා ශිලා ලේඛන සංග්‍රහයට අනුව) දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම හමුවී ඇත. සඟමිත් තෙරණිය ලක්‌දිවට වැඩමකිරීම සිදුවූයේ රාජතාන්ත්‍රික දූත මෙහෙවරක ප්‍රතිඵලයක්‌ වශයෙනි. දෙවනපෑතිස්‌ රජතුමා සිය සොහොයුරු මහානාග යුවරජුගේ මෙහෙසිය වූ අනුලා දේවියගේ ඉල්ලීම ඉටුකිරීම සඳහා රජතුමාගේ බෑණනුවන් වූ අරිට්‌ඨ තරුණ ඇමතිවරයා ප්‍රමුඛ දූත පිරිස පාඨලී පුත්‍ර නගරයට යෑවූහ. ඒ වනවිට රාජකීයන් ප්‍රමුඛ ප්‍රභූ මෙන්ම සාමාන්‍ය ජනයා අතරින් පැවිද්ද ලැබූයේ මෙරටෙහි පිරිමි පක්‌ෂය පමණි. "ලක්‌දිවෙහි බුදුදහම මුල්බැසගත්තේද" යන ප්‍රශ්නයෙන් රජුගේ සිත කණස්‌සල්ලට පත්වූ බවත්, මේ පිළිබඳව මිහිඳු හිමියන් විමසීමේදී ලැබුණු පිළිතුර වූයේ ලක්‌දිව උපත ලැබූ ලක්‌වැසි දූ පුතුන් පැවිදි උපසම්පදාව ලැබීමෙන් එය එසේ සිදුවන බවත් ය. මේ අනුව ලක්‌දිව බුදුසසුන මුල්බැසගැනීමේ ක්‍රියාවලියේ සමදායකත්වය භික්‌ෂුණියටද හිමිවන්නේ ය. සඟමිත් තෙරණිය සමග සාමනේරීන් දෙදෙනෙකුද සහිත එකළොස්‌ දෙනෙකුගෙන් යුත් ධර්මදූත කණ්‌ඩායම ලක්‌දිවට වැඩම වූයේ රාජතාන්ත්‍රික දූත සේවාවක්‌ ඉටු කිරීම පිණිසයි. ඉන්පසුව වරින්වර මෙරටට වැඩම කළ තෙරණින් පිළිබඳව නම් ගම් සහිත තොරතුරු මහාවංශයට සියවසකට පෙර රචනා කරන ලදැයි සැලකෙන දීපවංශය තුළ දීර්ඝ වශයෙන් විස්‌තර වී ඇත. ක්‍රි.පූ.4 වැනි සියවස වනවිට භික්‌ෂුණින්ගේ ශාසනික ජීවිතය පිළිබඳ බොහෝ කරුණු හෙළිකරන දීපවංශය ලංකා භික්‌ෂුණි ශාසනය පිළිබඳ ප්‍රාමාණික තොරතුරු ගවේෂණය සඳහා උපයෝගී කරගත යුතු ප්‍රධාන මූලාශ්‍ර ග්‍රන්ථයක්‌ ලෙස සැලකිය හැකි බව පඬිවරුන්ගේ මතයයි.
 
 19 වන සියවසේ මැද භාගයේ සිට බ්‍රිතාන්‍ය පාලන අධිකාරියේ උනන්දුව හා ආශිර්වාදය මත සිදු වූ ධර්ම ගවේශණයෙහි ප්‍රතිඵල වශයෙන් ලංකාවේ බොහෝ විහාරස්‌ථාන ආශ්‍රිතව පුස්‌කොළ පොත්හි ලියා සුරක්‌ෂිතව පවත්වාගෙන ආ ධර්ම ග්‍රන්ථ සංස්‌කරණය සහ මුද්‍රණය ඇරඹිණි. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් §Sදීපවංශයේ අත් පිටපත් ගණනාවක්‌ හමුවූ අතර, ඒවා සංස්‌කරණය සහ ජර්මන්, ලතින්, ප්‍රංශ යන භාෂාවන්ට පරිවර්තනය කිරීමද සිදුවිණි. 1879 බර්ලින් නුවරදී දීපවංශයේ ප්‍රථම ඉංශ්‍රීසි පරිවර්තනය මුද්‍රණය කොට පළකරනු ලැබ ඇත. තායිලන්ත භික්‌ෂුණි ශාසනය පිළිබඳ ප්‍රාථමික අධ්‍යයනයක්‌ සිදුකළ මහාචාර්ය ධම්මනන්දා භික්‌ෂුණිය දීපවංශය ගැන සඳහන් කරන්නේ භික්‌ෂුණි ශාසනය පිළිබඳ ඉතිහාසය හැදෑරීමේ ප්‍රමුඛ මූලාශයක්‌ වශයෙන් දීපවංශය ඉදිරියට පැමිණ තිබෙන බවයි.
 
 භික්‌ෂුණි ශාසනය පිළිබඳ ලංකා ඉතිහාසයේ වංශ කතාව වන මහාවංශයේ ඇතුළත් වන්නේ අල්ප මාත්‍ර තොරතුරකි. එහි 17-19 දක්‌වා පච්ඡේදයන්හි සඟමිත් තෙරණියගේ ආගමනය, ශ්‍රී මහා බෝධිය වැඩමවීම, අනුලාදේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු පැවිදිවීම, අනුරාධපුරයේ හත්ථාලවක මෙහෙණවර භික්‌ෂුණින්හට පූජා කිරීම, සංඝමිත්තා තෙරණියගේ පරිනිර්වානය යන සිදුවීම් ලේඛනගත වී ඇති ප්‍රධාන තොරතුරු වේ. ඉන්පසුව රටපුරා භික්‌ෂු ශාසනයේ ව්‍යාප්තිය සහ රජ, ඇමති, ප්‍රමුඛ ප්‍රභූ පිරිස්‌ මහා සංඝයා වෙනුවෙන් කරන ලද පුදපූජා පිළිබඳ විස්‌තරාත්මක තොරතුරු එහි ඇතුළත් වේ. අනුරාධපුර රාජධානී සමයේ අවසාන වසර කිහිපය එනම් ක්‍රි.ව.907-923 දක්‌වා රජකළ පස්‌වැනි කසුප් රජුගේ දේවිය භික්‌ෂුණින් උදෙසා ආරාම පූජාවක්‌ සිදු කරන ලද බව සඳහන් වේ. 11 වැනි සියවසේ පොළොන්නරු රාජධානි සමය ඇරඹෙන කාලය වන විටද භික්‌ෂුණි ආරාම පැවති බවට සාධක හමුවේ. "කුකුරුමහන්දමන" සෙල්ලිපියෙහි මහින්දාරාම නැමති ආරාමය ඉදිරිපසින් භික්‌ෂුණි ආරාමයක්‌ පැවැති බවත් ඊට ආසන්නයෙහි ආරෝග්‍යශාලාවක්‌ පැවති බවත් සඳහන් වේ. මෙම ආරාමයේ වැඩවිසූ භික්‌ෂුණින් ආරෝග්‍යශාලාවේ උවටැන් සඳහා සහාය වූ බවද විද්වතුන්ගේ නිගමනයයි.
 
 ඉන්දියාවේ ථෙරවාද මධ්‍යස්‌ථානයක්‌ වූ අමරාවතියෙහි සෙල්ලිපියකින් 11 වැනි සියවස ආසන්නය වනතෙක්‌ එහි භික්‌ෂුණි ශාසනය ආරක්‌ෂා වී පැවති බව සටහන් වී ඇත. එමෙන්ම ක්‍රි.ව.4 වැනි සියවසේ චීන දේශාටක ෆාහියන් භික්‌ෂූන්වහන්සේගේ වාර්තා අනුව මගධ දේශයේ ශ්‍රාවස්‌ති පුරයෙහි එකද භික්‌ෂුණියක හෝ නොසිටි බවත්, ඉන් තරමක්‌ දුරින් පිහිටි සංකස්‌ස පුරයෙහි දස දහස්‌ ගණනින් භික්‌ෂූන් මෙන්ම භික්‌ෂුණින්ද වැඩවාසය කළ බවත් සඳහන් වේ. මෙම තොරතුරු අනුව පෙනී යන්නේ ලංකා භික්‌ෂුණින් ඉන්දියාවේ ථෙරවාද බෞද්ධ විහාරස්‌ථාන සමග සමීප සම්බන්ධතාවක්‌ පැවැත්වූ අතර, ලංකා භික්‌ෂුණින් චීනය, කාම්බෝජය වැනි විදෙස්‌ රටවල ධර්ම ප්‍රචාරය සඳහා ඉදිරිපත්වීමත් මෙම සබැඳියාවන්හි ප්‍රතිඵල වශයෙන් සිදුවූ බව සැළකිය හැකි බවයි.
 
 කෙසේ වුවත් සංඝමිත්තා ආගමනයෙන් වසර 1300 කට අධික කාලයක්‌ පැවති අනුරාධපුර රාජධානි සමයෙහි ලක්‌දිව පුරා භික්‌ෂුණින් වැඩසිටි බව සහ උන්වහන්සේලාගෙන් මෙම දේශයෙහි පමණක්‌ නොව විදේශයන්හිද බුදුදහම ප්‍රචාරය සඳහා මනා පිටිවහලක්‌ ලැබුණු බවටත් තොරතුරු හමුවේ. මේ පිළිබඳ මහාවංශයේ සඳහන් වන්නේ අල්ප මාත්‍ර කරුණු වුවද, චීනය, ටිබෙටය සහ දකුණු ඉන්දියානු ශිලා ලේඛන ආදිය ඇසුරින් ලක්‌දිව භික්‌ෂුණීන් මෙන්ම භික්‌ෂූන් විසින්ද බුදු සසුනේ චිරස්‌ථිතිය උදෙසා අගනා මෙහෙවරක්‌ ඉටුකළ බව සනාථ කෙරෙන සාක්‌ෂි හමුවී ඇති බව සඳහන් කළ යුතුය.
 
 පොළොන්නරු රාජධානිය පිහිටුවන තෙක්‌ දශක 7 ක පමණ චෝළ බලයට යටත්වූ කාලය තුළ භික්‌ෂූන් මෙන්ම භික්‌ෂුණින් සහ විහාරාරාමද පරිහානියට ගොදුරුවූ අතර, බොහෝ භික්‌ෂුණින් උපැවිදිවීම හෝ ඉන්දියාවට පලායාම සිදුවිය. පොළොන්නරු රාජධානියේ ප්‍රථම රජු වූ මහා විජයබාහු (1070-1110) රාමඤ්ඤ දේශයෙන් උපසම්පදා භික්‌ෂුන් වැඩමවා පැවිදි උපසම්පදාව යළි පිහිටු වූවද භික්‌ෂුණි ශාසනය එසේ පිහිටුවීමට උත්සුක වූ බවක්‌ නොපෙන්. මහා පරාක්‍රමබාහු රජතුමා සංඝ කතිකාවක්‌ද සම්මත කරමින් භික්‌ෂූ උපසම්පදාව යළි පිහිටුවීමට ගත් ප්‍රයත්නය සාර්ථක වූ අතර, පොළොන්නරු රාජධානිය පිරිහීමත් සමග භික්‌ෂු ශාසනයට නැවත පරිහානි සමය උදාවිය. ඉන් සියවස්‌ පහකට පමණ පසු ක්‍රි.ව.1753 දී කන්ද උඩරට රාජධානියේ රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් බෞද්ධ භික්‌ෂූන් වහන්සේගේ මගපෙන්වීම අනුව සියම් දේශයෙන් භික්‌ෂූන් වහන්සේලා වැඩම කොට පැවිදි උපසම්පදාව යළි පිහිටුවන ලද අතර, එම නිකායාගත භික්‌ෂූ ශාසනය මෙරට ස්‌ථිරසාර ලෙස මුල් බැස ගැනීමට සමත් වූ බව පෙනේ. එසේ වුවද, පොළොන්නරු රාජධානි සමයෙන් පසු භික්‌ෂුණි සසුන යළි පිහිටුවීමට ලාංකීය රජවරුන් විසින් ප්‍රයත්න දැරූ බවට සාක්‌ෂි නොමැත.
 
 20 වැනි සියවසේ මෙරට ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් බ්‍රිතාන්‍ය පාලකයින් විසින් කාන්තා පැවිද්ද නැවත හඳුන්වාදීම සඳහා සහාය පළකරන ලද අතර, ඒ අනුව සියම් දේශයේ එවකට පැවතියා වූ සීලමාතා සම්ප්‍රදාය මෙරටටද හඳුන්වා දෙන ලදී. මෙයින් සෑහීමට පත් නොවූ පැවිදි දිවියට පිවිසි කාන්තාව ධර්ම විනයට අනුකූලව පැවිදි සහ උපසම්පදාව ලබා ගැනීමට සුදුසු මංපෙත් සෙවීමෙහි යෙදුනහ. ඔවුන් විසින් දක්‌වන ලද උනන්දුවේ ප්‍රතිඵලයක්‌ වශයෙන් 1998 වර්ෂයේදී සියම් නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉනාමලුවේ සුමංගල හිමිපාණන් වහන්සේ ලංකා භික්‌ෂුණි උපසම්පදාව යළි පිහිටුවීමට නායකත්වය දෙනු ලැබූහ. මෙම භික්‌ෂුණි උපසම්පදා වංශකතාවේ 20 වසර සැමරීම 2018 අගෝස්‌තු මාසයේ සිදුවූ අතර, වාර්ෂිකව උපසම්පදාලාභී භික්‌ෂුණින් 150 ක පමණ පිරිසක්‌ භික්‌ෂුණි ශාසනයට අලුතින් ඇතුළත් වීම බෙහෙවින් අගය කළ යුතු පුවතකි. එසේ වුවත් වියත්, බුද්ධිමත් සමාජ සේවාවට ලැදි කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ලබා ගැනීමට සහ රිසි සේ ධර්ම විනයානුකූලව බුදුන්වහන්සේ අනුදැන වදාළ වූ බොහෝ ජනයාගේ හිතසුව පිණිස දහම් චාරිකාවේ යෙදීම ට සුදුසු පරිසරය තවමත් ගොඩනැගී නොමැත.
 
 උපසම්පදා භික්‌ෂුණින් 3000 ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් සමස්‌ත ලංකා භික්‌ෂුණි බලමණ්‌ඩලය නමින් ජාතික සංවිධානයක්‌ 2019 අගෝස්‌තු මාසයේ පිහිටුවීම සහ සුඛා සංඝස්‌ස සාමග්ගී යන බුදුන්වහන්සේ අනුදැන වදාළ ශික්‌ෂණයට අනුකූලව සමාජ සේවය මෙන්ම බුදුදහමේ පරමාදර්ශී ඉලක්‌කය වන විමුක්‌ති සුවය අරමුණු කොට ක්‍රියාකිරීමට සපථ කිරීමේ පුවත ලක්‌වැසි ජනයාගේ ඉමහත් සතුටට හේතුවන කරුණක්‌ යෑයි කීම අතිශයෝක්‌තියක්‌ නොවේ. විශේෂයෙන්ම, බුදුදහම සුරක්‌ෂිතකොට ලෝක උරුමයක්‌ වශයෙන් ප්‍රකාශ කිරීමට තරම් ප්‍රෙෘඪත්වයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව, බුදු සසුනේ ර¹පැවැත්ම සඳහා භික්‌ෂුණිය සතු සුවිශේෂ කාර්යභාරය ඉටුකිරීමට මෙම බලමණ්‌ඩලය මගින් කටයුතු සම්පාදනයට පියවර ගැනීම සතුටට කරුණකි.
 
 දැඩි ලෝභය, ද්වේශය, මෝහය, මානය, ඊර්ෂ්‍යාව වැනි කෙලෙස්‌ බවින් ගිනිගත් හදවත් සහිත මිනිසුන්ගෙන් ගහන සමාජයක්‌ සිසිලනයට පත්කළ හැක්‌කේ ලෝකයේ හටගන්නාවූ සියලු දේ වෙනස්‌වන සහ නිත්‍ය නොවන බව අවබෝධයෙන් දැන ගැනීමට හා පිළිපැදීමට පොළඹවන දහමක්‌ ගුරු කොට ගත් බෞද්ධ සමාජයකටයි. එබැවින් බෞද්ධ පිළිවෙත් මත ගොඩ නැංවුණු අප සමාජයේ පැවිදි උපසම්පදාව පිළිබඳ ගෞරවනීය පිළිගැනීම කාන්තාවට ද නොඅඩුව ලබාදීම රජයේ බලවත් යුතුකමක්‌ මෙන්ම වගකීමක්‌ ලෙස ද අවධාරණය කළ යුතු වේ.
 
 සීලමාතා යන නමින් කාන්තා පැවිදි උපසම්පදාව හඳුන්වාදීම බුදුන්වහන්සේ විසින් අනුමත කරන ලද පිළිවෙත නොවේ. එමෙන්ම තුන් පිටකයෙහි කිසිදු තැනක සීලමාතාවන් පිළිබඳ සඳහන් වන්නේද නැත. 'භික්‌ඛුනී' යන පාලි වදනින් ත්‍රිපිටකයේ සඳහන් වන ගරු නාමය වන 'භික්‌ෂුණින් වහන්සේ' යන්න ලංකා පැවිදි උපසම්පදාලාභී කාන්තාවන්ට ප්‍රදානය කිරීමෙන් ඔවුන්ගේ අභිමානනීය සේවාව ලංකා සමාජයේ යහපත මෙන්ම තුවාල වූ හදවත් සුවපත් කිරීම සඳහා යොදා ගැනීම දූරදර්ශී ඥානාන්විත පියවරක්‌ වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
 
 භික්‌ෂුණි ශාසනයට නිසි පිළිගැනීම ලබාදීම පමණකින්ම අතීතයේදී මෙන් එය නැවත වරක්‌ ලක්‌දිව මුල්බැස ගැනීමට හේතුකාරක වනු ඇත. ගෝලීයකරණයෙන් එකිනෙකාට සමීපවූ ලෝකයට බුදුදහමේ සිසිලස විඳගැනීමට ඉඩහසර සැලසීමට භික්‌ෂුණිය සතු සුවිශේෂී හැකියාව අගය කළයුතු අතර, කාන්තා පැවිද්දට ආශිර්වාද කිරීම මගින් ලෝක සාමයේ දූතිකාවන් ලෙස බෞද්ධ භික්‌ෂුණිය සම්භාවනාවට පාත්‍රවන දිනය වැඩි ඈතක්‌ නොවන බව ප්‍රබුද්ධ කාන්තාව අපේක්‌ෂා දල්වා සිටින බව සටහන් කළ හැකි ය.
 
 රං තිට්‌ඨතු භික්‌ඛුනී සාසනං!
 
 මූලාශ්‍ර:
 
 දීපවංශය, ශ්‍රී ලාංකේය භික්‌ෂුණි වංශය, එදා සහ අද, මහාචාර්ය තායිලන්තයේ ධම්මනන්දා භික්‌ෂුණින්වහන්සේ භික්‌ෂුණි ශාසනය.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles