Divaina - ඩිජිටල් ඉස්කෝලේ අභියෝගය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


digital
 
 නීතීඥ කපිල ආරියවංශ
 සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය)
 රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
 
 
අපි හැමෝම එදා කතා කළේ ගෝලීයකරණය ගැනයි. එනම් දේශසීමා රහිතව සංස්කෘතික බැමි කඩාගෙන ජාත්‍යන්තර වශයෙන් තාක්ෂණය, නිෂ්පාදන හා රැකියාවන් ආදිය වේගයෙන් රට රටවල් අතර ව්‍යාප්ත වීමයි. මෙය ආර්ථික දෘෂ්ටි කෝණයෙන් බැලූවොත් ජාතීන් අතර අනොන්‍ය සබඳතාවය ඇති කරන්නේ මේ නිදහස් වෙළෙදාම හරහායි. මේ ගෝලීයකරණයේ ප‍්‍රතිඵලයක් ලෙස අද ඩිජිටල්කරණය ලොවට පැමිණ ඇත.
 
 දැන් අපි බලමු මේ ඩිජිටල්කරණය කියන්නේ කුමක්ද? යන්න. බොහෝ දෙනෙක් ඩිජිටල් (Digital) යන වචනය නිවැරදිව තේරුම් ගෙන නැති බව වර්තමානයේදී දැකිය හැකිය. Oxford ශබ්ද කෝෂයට අනුව ඩිජිටල් යනු පරිගණක මාධ්‍යයක් හරහා binary digits ක‍්‍රමවේදයකින් (ඉලක්කම් දෙකක් හෙවත් 0 හා I ) අදාල තොරතුරු සංඛ්‍යාංක බවට පත් කිරීමයි. මෙමගින් ඡුායාරූප, වීඩියෝ, පෙළ (text) ආදිය ඩිජිටල් බවට පරිවර්තනය කරනු ලබයි. ඒ අනුව පසුගිය දශකයන්හි බිහි වූ පොත්පත්, චිත‍්‍රපට, වීඩියෝ, සංගීතය ආදිය වර්තමානයේ මේ ඩිජිටල් ආකෘතියට පරිවර්තනය කර ඇත.
 
 නමුත් ඩිජිටල්කරණය (Digitalization) යනු දෛනික ජීවිතයේ හමුවන සෑම දෙයක්ම පාහේ ඩිජිටල් තාක්ෂණය හා මුසුව ඇතිවන සංකලනයේ ප‍්‍රතිඵල ලෙස හැඳින්විය හැකිය. එනම් මෙහිදී සිදුවන්නේ මානව සාරධර්මයන් එකට මුසුකොට එහි ප‍්‍රතිලාභය වඩාත්ම පහසුවෙන් ලබාගත හැකි පරිසරයක් නිර්මාණය වීමයි. මෙය නිදසුනකින් මෙසේ පැහැදිලි කළ හැකියි. වර්තමානයේ ඩිජිටල්කරණය තුළ වඩාත්ම පෙරළිකාරයා වන්නේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයයි. එහි බැංකු ව්‍යාපාරය ගත් විට අතීතයේදී බැංකුව ලාභ ලැබූවේ තමන්ගේ මුදල් ණයට දීමෙන් ලැබෙන පොළිය මගින් පමණි. නමුත් වර්තමානයේ මෙම බැංකු ඩිජිටල්කරණය නිසා තම පාරිභෝගිකයන්ට විවිධ සේවා අන්තර්ජාලය මගින් ලබාදීම හරහා ඔවුන්ගේ ආර්ථිකය මේ වනවිට වඩාත් ඵලදායී ලෙස ශක්තිමත් කරගෙන තිබේ. එමගින් ඔවුන්ගේ ලාභාංශය ද වර්ධනය වී ඇත. මේ ආකාරයෙන් වර්තමානය වනවිට ලෝකයේ බොහෝ සේවාවන් ඩිජිටල්කරණයට ලක් වී ඇත. එමගින් වේගවත්ව කාර්යක්ෂමව මෙන්ම අවම පිරිවැයකින් තම සේවාව පාරිභෝගිකයාට පහසුවෙන් ලබාගත හැකිවීම විශේෂත්වයකි. ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය, මූල්‍ය සේවා, ව්‍යාපාරික, සංචාරක, ශ‍්‍රව්‍ය දෘෂ්‍ය කටයුතු ආදිය මේ හරහා විශාල දියුණුවක් ලබා ගනිමින් පවතී.
 
 ඩිජිටල්කරණය අප රටේ පාසල් පද්ධතියට ද වර්තමානයේ ඇතුළත් කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සකස් කරමින් පවතී. ඒ අනුව 2018 මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව 2018-2019 කාලය පදනම් කරගෙන තොරතුරු තාක්ෂණය හා ඩිජිටල් තාක්ෂණය පිළිබඳව ක‍්‍රියාකාරකම් අධ්‍යාපන විෂය නිර්දේශවලට ඇතුළත් කර ඇත.
 
 දැන් අපි අවධානය යොමු කරමු මෙම ඩිජිටල්කරණයට අපගේ අනාගත ළමා පරපුර සූදානම් කිරිමේදී පැන නඟින අභියෝගවලට මුහුණ දෙන්නේ කෙසේද යන්න. මේ සඳහා ශ‍්‍රී ලංකාව හා එංගලන්තය යන රටවල් දෙක සංසන්දනාත්මකව විමර්ශනය කිරීම වඩාත් ප‍්‍රායෝගික වේ.
 
 ඒ අනුව බි‍්‍රතාන්‍යයේ පාසල් පද්ධතියේ ඩිජිටල්කරණ ක‍්‍රමවේදයේ අභියෝග පිළිබඳව දළ අදහසක් පළමුවෙන් ලබා ගනිමු. එංගලන්තයේ දැනට පවත්නා අධ්‍යාපන ක‍්‍රමය යටතේ ගුරුවරුන් විසින් ළමුන්ට ඩිජිටල්කරණය පිළිබඳ ඉගැන්වීම කරනු ලබයි. මෙම ඩිජිටල්කරණ ඉගැන්වීම ගැන 2019 ජනවාරි එංගලන්තයේ Microsoft UK ආයතනය මගින් පරීක්ෂණයක් කළේය. එමගින් අනාවරණය කර ගත්තේ එංගලන්තයේ අධ්‍යාපන ආයතනවල උගන්වන ගුරුවරුන්ගෙන් භාගයක්ම (58%) පමණ පවසා තිබෙන්නේ දැනට පවත්නා අධ්‍යාපන ක‍්‍රමය හරහා අනාගත ඩිජිටල් ලෝකයට ළමුන්ව හුරු කිරීම අසමත් බවයි. එසේම 42% ක් පමණ ගුරුවරුන් කියා ඇත්තේ මෙම අනාගත ඩිජිටල් ලොවට සිසුන් යොමු කිරිම ටික ටික සිදු කරන බවයි. නමුත් එය කොතරම් දුරකට සාර්ථක දැයි අපැහැදිලිය.
 
 මේ අතර ලෝක ආර්ථික සමුළුව (World Economic Forum) දක්වන ආකාරයට වැඩ බිමට අවශ්‍ය වන්නේ යාවජීව දක්ෂ පුහුණුවන්නෙකි. ඒනිසා වර්තමාන අධ්‍යාපන ක‍්‍රමය මගින් එවන් දක්ෂ දරුවන් බිහිකිරීම අවම බවයි. ඔවුන් සඳහන් කරන්නේ ඒ අනුව එම රික්තකය පිරවීමට අදාළ අධ්‍යාපන ක‍්‍රමයන් හා ගුරුවරුන්ගේ දැනුම ඩිජිටල්කරණයට සරිලන ලෙස වෙනස් කිරීමට අදාළ රජයන් කටයුතු කිරීමට වග බලා ගත යුතු බවයි.
 
 Microsoft UK ආයතනය මගින් සිදුකළ අනාගත ඩිජිටල්කරණ අධ්‍යාපනයට අදාළ සමීක්ෂණය සඳහා එංගලන්තයේ අධ්‍යාපනය උගන්වන ගුරුවරුන් 755ක නියැදියක් තෝරාගෙන තිබුණා. එයින් 77% ම කාලය හා සම්පත් කළමනාකරණය කර ගනිමින් කාර්යක්ෂමව උසස් අන්දමින් ඩිජිටල්කරණයට අදාළ ඉගැන්වීම හා සේවා සැපයිම් කිරීමට අසමත් වී තිබෙනවා. එසේම ඔවුන් ළමුන්ගේ නිර්මාණශීලිත්වයට, නවෝත්පාදනයට ගැලපෙන ආකාරයෙන් දිනය පුරාම තම උද්යෝගිමත් අවධානය තම සිසුන් වෙත පෞද්ගලිකව යොමු කිරීමට ද අසමත් වී තිබෙනවා.
 
 මෙම පරීක්ෂණයේදී පෙන්නුම් කළ තව දෙයක් තමයි ඩිජිටල්කරණය ඉගැන්වීමේදී භාවිතා කරන උපකරණ ඊට නොගැළපීමයි. නිදසුන් ලෙස කළුලෑල්ල හා පෑන භාවිතය, පින්තූර කාඞ් භාවිතය, අතින් ක‍්‍රියාත්මක ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍ර භාවිතය (Over head projector), මුද්‍රිත නිබන්ධන භාවිතය ආදිය දැක්විය හැකිය. එසේම ළමුන්ගෙන් 54% ක් පමණ දෙනා ද අඩුපාඩු සහිතව ඩිජිටල් මාධ්‍ය පිළිබඳව ඉගෙනීම් කටයුතු කරනු ලබයි. මේ නිසා ළමුන් හා ගුරුවරුන් අතර ද යම් හිඩැසක් නිර්මාණය වේ. එමගින් යම් අවස්ථාවලදී දෙපාර්ශ්වයටම ඩිජිටල්කරණය පිළිබඳ ගැටලූ මතු වීම සිදු වේ. එයට ප‍්‍රතිකර්මයක් ලෙස ගුරුවරුන් හා සිසුන් එකතුව අනාගත ඩිජිටල් ලොව ජයගත හැකි ආකාරයෙන් කටයුතු කිරීම වැදගත් වේ. තවද බොහෝ පාසල්වල ඩිජිටල්කරණයට අදාළ උපකරණ භාවිතා නොකිරීමත් ඒ සඳහා ආයෝජනය නොකිරීමත් නිසා 1/3ක් පමණ ගුරු සිසු ප‍්‍රමාණයකට නිසි පරිදි තම පුහුණු වීම් කටයුතු සිදු කරගත නොහැකි බව එංගලන්තයෙන් පෙන්නුම් කරයි. ශ‍්‍රී ලංකාව ගත් විට මෙම තත්ත්වය තවත් වැඩි විය හැකියි. මෙහි අවාසිය වන්නේ ඩිජිටල් ලෝකයට ගැලපෙන දක්ෂතාවන් සහිත ළමුන්ගේ ඩිජිටල් දැනුම දුර්වල මට්ටමක පැවතීමයි.
 
 තවද අධ්‍යාපනය මෙන්ම පෞද්ගලික ජීවිතය ද සමබරව පවත්වාගෙන යෑමට ළමුන්ව හුරු කළ යුතුය. නැති නම් ඩිජිටල්කරණයට පමණක් යම් අයෙකු ඇබ්බැහි වුණොත් ඔහුට/ ඇයට අනාගතයේදී යම් යම් ගැටලූවලට ද මුහුණ දීමට සිදු වේ. ඒ නිසා ගුරුවරුන් හා දෙමාපියන් ද තම දරුවාගේ ඩිජිටල්කරණ ආකල්ප ගැන සැලකිල්ල දැක්වීම කළ යුතුයි. ඒ අනුව ගුරුවරුන් විසින් ඊට ගැළපෙන පාඩම් ළමුන්ට කියා දීම කළ යුතුය. එමගින් තම හැකියාවන් බලගැන්වීම හා කුසලතා සංවර්ධනය කර ගැනීමට රුකුලක් ලැබෙන බව සිසුන්ට හැඟී යා යුතුය. ඒ තුළින් සිසුවා වඩාත් ක‍්‍රියාශීලී පුද්ගලයෙකු ලෙස අනාගතයේදී ඩිජිටල්කරණ ලෝකයට පිය නඟනු ඇත. තව ද ගැටලූ නිරාකරණය පුද්ගල ධාරිතා සංවර්ධනය, විචාරාත්මක අවස්ථාවලදී මෙම තාක්ෂණය භාවිතය පිළිබඳව ගුරුවරුන් විසින් ළමුන්ට කියාදීම වැදගත් වේ. එමගින් ළමුන්ට සමබර අධ්‍යාපනයක්ද ලැබෙනු ඇත.
 
 ශ‍්‍රී ලංකාවේ ද ඩිජිටල් විෂය මාලා සංවර්ධනය කිරීම, යාවත්කාලීන කිරීම කළ යුතුය. මන්දයත් ඩිජිටල් ලෝකය තුළ වර්තමානයේදී ඉතා සීග‍්‍රයෙන් ඩිජිටල් දැනුම ව්‍යාප්ත වන හෙයිනි. මේ පිළිබඳව අදහස් දැක්වූ Microsoft UK හි අධ්‍යක්ෂ (අධ්‍යාපන) ක‍්‍රිස් රොක්වෙල්ට අනුව වර්තමාන අධ්‍යාපන ක‍්‍රමය ඩිජිටල්කරණය සඳහා කොහෙත්ම ප‍්‍රමාණවත් නොවන බව දක්වා ඇත. ඉක්මනින් වෙනස් වන ලෝකයේ ඊළඟ පරම්පරාවට ගැළපෙන අධ්‍යාපන ක‍්‍රමයක් සකස් කිරීම අප‍්‍රමාදව කළ යුත්තක්. ඒ හරහා අනාගත ඩිජිටල් ලෝකයට ගරු කරන සිසු පිරිසක් බිහි කිරීම ගුරුවරුන්ගේ ප‍්‍රධානම අරමුණ විය යුතුය. එසේම මේ සඳහා ළමුන් පුහුණු කිරීම සිදුකිරීම අදාළ පංති කාමරයේදීම ගුරුවරුන් විසින් නිවැරදිව සිදු කළ යුතුයි. ඒ අනුව පරිණාමය වන අධ්‍යාපන වෙනසක් තුළින් අනාගත ළමා පරපුර සාර්ථක ලෙස ඩිජිටල්කරණ පරිසරයකට හුරු කරගත හැකිවනු ඇත” යනුවෙනි.
 
 එසේම ඩිජිටල් අධ්‍යාපනය සංවර්ධනය කිරීමට විෂය මාලා සංවර්ධනය මෙන්ම ඒ සඳහා ගුරුවරුන්ට හා සිසුන්ට අවශ්‍ය ඩිජිටල් උපකරණ හා සේවා ද ලබාදීම වැදගත් වේ. දැන් අපි බලමු. ශ‍්‍රී ලංකාවේ අනාගතය සඳහා සිසු දරුවන්ට හා ගුරුවරුන්ට ඩිජිටල්කරණයට සූදානම් වන්නේ කෙසේද යන්න.
 
 2018 වසරේදී ශ‍්‍රී ලාංකික ජනතාවගේ සාක්ෂර හැකියාව 92.6% පමණ විය. එම වසරේදී රජය අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන 368 ක් පමණ වියදම් කළේය. මෙම ආයෝජනය අනාගත ළමා පරම්පරාව සඳහා කදිම අවස්ථාවක් විය. ඒ අනුව මෙම ආයෝජනය රජයේ පාසල්වල සිටින මිලියන 4.2 පිරිසට ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා තෘතීය පුහුණු අධ්‍යාපනය ලබන ලක්ෂ 2 ක පමණ වූ ප‍්‍රතිලාභීන්ට මහත් අස්වැසිල්ලක් විය.
 
 මෙම අධ්‍යාපන ආයෝජනය යටතේ 2018/2019 කාලය සඳහා ඩිජිටල් පංති කාමර 350 ක් රටපුරා ඇති කිරීමේ සැලසුමක් ක‍්‍රියාත්මක විය. එමගින් සිදු කිරීමට බලාපොරොත්තු වුණේ ග‍්‍රාමීය හා නාගරික ළමුන් එක ලෙසම ඩිජිටල්කරණයට යොමු කිරීමේ කාර්යය සඳහා යම් දිරිගැන්වීමක් ලබාදීමයි. එසේම පාසල්වල විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන හා තෘතීය පුහුණු ආයතන සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම ද වැඩි දියුණු කළා. එමගින් ගෝලීය වශයෙන් අත්දැකීම් ලබා ගැනීම සිසුන්ට අවස්ථාව වැඩි කළා.
 
 එසේම මේ අන්තර්ජාල පහසුකම් භාවිතා කිරීමේදී සයිබර් ආරක්ෂාව ගැන ද සැලකිලිමත් විය යුතුය. ඒ අනුව සයිබර් ආරක්ෂක පුහුණුකරුවන් 700 ක් දෙනා ඒ සඳහා රජය විසින් පුහුණු කරන ලදී. ඒ අනුව ලෝකයට බලපාන සමහර සයිබර් වෛරස්වලින් අප රටේ පරිඝනක පද්ධතිය ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබී තිබේ. මේ අතර අනාගත සිසු පරම්පරාව ඩිජිටල්කරණයේ සැරිසැරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය සඳහා ජාතික සැලැස්මක් හැදීමටද කටයුතු කර ඇත.
 
 මේ අනුව වර්තමානය වනවිට පාසල් ළමුන්ට ඩිජිටල් තාක්ෂණය කියාදීමට අවශ්‍ය යටිතල පහසුකම් යම් තරමක් හෝ දුරට ලංකාවේ රජයේ අධ්‍යාපන ආයතන වලට ලබා දී ඇත. නිදසුන් ලෙස ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක, ටැබ් යන්ත‍්‍ර අන්තර්ජාල සේවා යනාදිය පෙන්නුම් කළ හැකිය. නමුත් මෙහිදී අප අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් ඇත. එනම් මෙම උපකරණ හා සේවා භාවිතය පිළිබඳ ඉගැන්වීමට ඒ පිළිබඳ දැනුම ඇති ගුරුවරුන් ප‍්‍රමාණවත්ව සිටී ද යන්නයි.
 
 එසේම ලංකාව තුල 3G, 4G,5G යනාදී වේගවලින් යුක්තව අන්තර්ජාල පහසුකම් ව්‍යාප්ත වී ඇත. අප රටේ අන්තර්ජාල ඝනත්වය (පුද්ගලයන් 100ට ඇති අන්තර්ජාල සබඳතාවය) 2017 දී 27.5% ක් වූ අතර. එය 2018 දී 33.5% දක්වා වර්ධනය විය. ඒ අනුව අප රටේ ජනතාවගෙන් 1/3 ක් පමණ පිරිසක් මේ වන විට අන්තර්ජාලය භාවිතා කරන බව මහ බැංකු වාර්ෂික වාර්තාව 2018 අනුව පැහැදිලි වේ. නමුත් මෙම අන්තර්ජාල භාවිතය තව වසර කිහිපයකින් 60% ක් 70% ක් පමණ විය හැකිය. ඒ අනුව අප සැලකිලිමත් විය යුත්තේ ගුණාත්මකව හා ප‍්‍රමාණාත්සමකව මෙම ඩිජිටල්කරණයට අනාගත දරු පරපුර මෙහෙය වන්නේ කෙසේ ද යන්නය. එය ගුරුවරුන්ගේ ප‍්‍රධාන වගකීමක්ද වන්නේය. එසේ නොමැතිවුවහොත් සමාජ මාධ්‍ය හරහා අනවශ්‍ය ක‍්‍රියාකාරකම් සඳහා සිසුන් පෙළඹීම ද වැළැක්විය නොහැකි වන්නේය. මේ සඳහා දැන්ම අදාළ පිඹුරුපත් සකස් කිරීම රජයේ ප‍්‍රධාන වගකීමකි.
 
 මීට පිළියමක් ලෙස 2018 දී ඩිජිටල් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් සිසුන්ගේ හා ගුරුවරුන්ගේ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ. රජයේ සේවකයන්ගේ යනාදියගේ ඩිජිටල් සාක්ෂරතාවය නංවාලීම සඳහා වැඩසටහන් දියත් කළේය. නමුත් එය ප‍්‍රමාණාත්මකව පහළ මට්ටමක පවතී. එබැවින් එය ප‍්‍රායෝගිකව සාර්ථකත්වයට පත් කිරීමට අදාළ ආයතන හා මනා සම්බන්ධීකරණයකින් යුක්තව කටයුතු කිරීම වඩාත් වැදගත් වනු ඇත. එසේම ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය හරහා රජයේ ආයතන සඳහා පරිගණක ආරක්ෂණ ක‍්‍රමවේදයක් හඳුන්වා දුන්නේය. ඩිජිටල් පුස්තකාල හා e-parliament ව්‍යාපෘති ද ක‍්‍රියාත්මක විය. නමුත් මෙය පොදු ජනතාව අතර කෙතරම් ව්‍යාප්ත වූයේ ද යන්න සොයා බැලීම වටී. මනා නඩත්තු කිරීමක් හා ප‍්‍රතිෂෝෂණයක් (Feed back) නොමැති වුවහොත් මෙම ඩිජිටල්කරණ උත්සාහය අපතේ යෑම ද සිදුවිය හැකිය. කෙසේ වෙතත් ඩිජිටල්කරණයට අදාළ විෂය මනා කළමනාකාරිත්වයකින් යුතුව පාසල් පෙළ පොතට එක් කිරීම වැදගත් වේ. එසේම ඒ සඳහා අවශ්‍ය ඩිජිටල් උපකරණ ද පාසල්වලට හා අනෙකුත් අධ්‍යාපන ආයතනවලට ලබාදීමත් එම උපකරණ නිසි පරිදි නඩත්තු කිරීමත් මූලික වශයෙන් සිදු කළ යුතුය. එසේ නොමැති වුවහොත් අපේක්ෂිත අරමුණ ඉටුකරගෙන ඩිජිටල්ලොවට අනාගත ළමා පරපුර එකතු කර ගැනීම අපහසු වනු ඇත.
 
 අප රටේ සිටින බොහෝ දරු දැරියන්ට ජාත්‍යන්තරය ජය ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදි මඟ පෙන්වීමක් පමණි. එය සිදු කිරීම තුළින් ලංකාව අනාගතයේදී ඩිජිටල්කරණයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට හැකි වනු ඇත.
 
 මූලාශ‍්‍ර : මහ බැංකු වාර්ෂික වාර්තාවට 2018
 
 www.openaccessgovernment.org / Skills gap set to widen as schools fail to prepare students for a digital future

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles