Divaina - කදුරුගොඩ වෙහෙර අනවසර පදිංචිකරුවන්ගෙ ග්‍රහණයෙන් මුදාගනිමු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


 
 pansala
 
 විස්‌තරය හා සේයාරූ -ගොකරැල්ල රණවීර මනුකුලසූරිය
 
යාපනයේ, චුන්නාකම්හි (හුණුගම) පිහිටි කන්දරෝඩේ හෙවත් කදුරුගොඩ විහාරයේ අතීතය බුදුරජාණන් වහන්සේගේ කාලය තෙක්‌ දිව යයි.
 
 ක්‍රි. පූ. 6 වැනි සියවසේ බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කොට චූලෝදර මහෝදර රජවරුන් අතර පැවති නොසන්සුන්තාවය සමථයකට පත්කිරීමෙන් අනතුරුව මෙම ස්‌ථානයට වැඩම කොට මොහොතක්‌ විවේක සුවයෙන් ගත කළ බැව් ජනප්‍රවාදයෙහි එයි.
 
 ඉංග්‍රීසි පාලන සමයේ 1917 දී එවකට යාපනයේ දිසා විනිසුරු වශයෙන් සේවය කළ ආචාර්ය පෝල් ඊ. පීරිස්‌ මහතා විසින් කදුරුගොඩ පුදබිමෙහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම සම්බන්ධයෙන් පුරාවිද්‍යා බලධාරීන් වෙත ලිතව දැනුම්දීමෙන් පසු 1917 සිට 1919 දක්‌වා මෙහි කැණීම් සිදුකර ඇත.
 
 එම කැණීම්වලදී සොයාගත් පුරාවස්‌තූන් අතර බුදුපිළිම, වර්ණාලේපිත උළු කැබෙලි හා කාසි තිබී ඇත. ඒවා අනුරාධපුර හා පොළොන්නරු යුගවලට අයත් බැව් අනාවරණය වී තිබේ. එසේම එම පුරාවස්‌තු 1 වැනි පැරකුම්බා, ලීලාවතී සහ බුවනෙකබාහු යන රජවරුන්ගේ යුගවලට අයත් බවද සොයාගෙන ඇත.
 
 මහනුවර යුගයේ ලියෑවුණු විහාර හා පුදබිම් නාමාවලිය වන 'නම් පොත' හෙවත් විහාර අස්‌නෙහි මෙම ස්‌ථානය කදුරුගොඩ විහාරය වශයෙන් දක්‌වා ඇත. මෙය පෘතුගීසි ලේඛනවල සඳහන්ව ඇත්තේ-කන්දරකුඩ්ඩෙයි - යනුවෙනි.
 
 ක්‍රි.ව. 9 වන සියවසෙහි 4 වන කාශ්‍යප රජු විසින් මෙම විහාරය වෙත කරන ලද ප්‍රදානයන් පිළිබඳව මෙම භූමිය තුළින් සොයාගනු ලැබූ ටැම් ලිපියක සඳහන් වේ. එමගින් තහවුරු වනුයේ ක්‍රි. ව. 9 වන සියවසේ සිට මෙම විහාරය පැවත එන බවයි.
 
 16 වන සියවසේ යාපනය පාලනය කළ සංගිලි නමැති ද්‍රවිඩ රජුගේ කෲර ක්‍රියා නිසා මෙම විහාරය විනාශයට පත් විය.
 
 පුවන්ග දිවයින හෙවත් පුංකුඩුතිව්හි රහතුන් වහන්සේලා හැට නමක්‌ අපවත්වූ බව හා එම භෂ්මාවශේෂ තැන්පත් කොට දාගැබ් හැටක්‌ කදුරුගොඩ විහාර භූමියේ ඉදි කළ බවත් ඉන් දාගැබ් පනස්‌ හයක නටබුන් 1917 දී සොයාගත් බවත් පැරණි ලේඛනවල සඳහන් වේ. එකම ආකෘතියකට අනුව විවිධ ප්‍රමාණයෙන් ගොඩනඟා ඇති මෙම දාගැබ් අද පවා දැකගත හැකිය. මෙම භූමිය මධ්‍යයේ වටදාගෙයක සාධක දක්‌නට ඇත. එසේම ආරාම ගෘහයක නටබුන්ද මතුපිට පොළොව මට්‌ටමින් ඉහළට එසැවුණු ගල්කණු සහිතව පෙනෙන්නට තිබේ. මෙම භූමියේ තවදුරටත් කැණීම් සිදුකළහොත් මෙම බෞද්ධාරාමයට අදාළ තවත් බොහෝ සාධක මතුකරගත හැකි වනු ඇත.
 
 තවද, දේවානම්පියතිස්‌ස රජු විසින් දඹකොළපටුනේ සිට අනුරාධපුර නගරයේ උතුරු දොරටුව දක්‌වා ගල්කණු යොදා අලංකාර මගක්‌ ඉදිකරනු ලැබූ බවත්, එම මගෙහි කදුරුගොඩ විහාරය පිහිටා තිබූ බවත් කියෑවේ. මෙම ස්‌ථානයෙන් සොයාගත් බුදු පිළිම හා අනෙකුත් පුරා වස්‌තූන් මහජන ප්‍රදර්ශනය සඳහා යාපනය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.
 
 1948දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් කරන ලද සොයාබැලීම්වලදී මෙම විහාරස්‌ථානය සතු භූමි ප්‍රමාණය අක්‌කර 7ක්‌ බව හෙළිවූ නමුත් අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණය නිසා අද එම ප්‍රමාණය අක්‌කර 2 දක්‌වා අඩුවී තිබෙන බැව් නොබෝදා අප එම විහාරස්‌ථානය කරා ගිය අවස්‌ථාවේ දැනගන්නට ලැබුණි. එකිනෙකට සමීප වනසේ ඉදිකරන ලද නිවාස සමූහයකට මැදිවී මෙම පුද බිම තිබෙන අයුරු දකින ඕනෑම අයෙකුගේ සිත තුළ මහත් සංවේගයක්‌ උපදී. ඒ නිවාස සියල්ලම පාහේ අනවසරයෙන් ඉදිකරන ලද ඒවාය. අනවසර පදිංචිකරුවන් විසින් එම භූමිය දෙකඩ වනසේ මාර්ගයක්‌ද ඉදිකර ඇත. මෙම විහාරස්‌ථානය භාරව ස්‌වාමීන් වහන්සේ නමක්‌ වැඩවාසය නොකරන අතර, හමුදා භටයින් විසින් පුදබිම ආරක්‌ෂා කරනු ලබයි. වන්දනාකරුවන්ට වන්දනාමාන කිරීම සඳහා මෙම පුද බිමෙහි ඇත්තේ කුඩා බුදු කුටියක්‌ පමණි.
 
 අතීත සිංහල බෞද්ධ ශ්‍රී විභූතිය ලොවට හඬගා කියන ඓතිහාසික කදුරුගොඩ විහාරය අනාගත පරපුර උදෙසා රැකගත යුතු ජාතික උරුමයකි.
 
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles