Divaina - විධායක බලය කාට තිබුණද, මේ දූෂිත කැබිනට් මණ්ඩලයෙන් රටට යහපතක් උදාවන්නේ නැත.... නිතිඥ සුමනදාස හපුහෙට්ටි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


 horss
 තවමත් මෙරට දේශපාලන කරළියෙහි කතාබහ වෙන්නේ මීළඟ ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් කවුරුන්ද යන්න ගැනය. එසේ වුවද ජනාධිපතිවරණයට තවමත් නිශ්චිත දින වකවානු නියම කර ගැසට්පත්‍රයක් ප්‍රකාශයට පත්කර නැත.
 
 වත්මන් ජනාධිපතිවරයා දිවුරුම් දුන් 2015 ජනවාරි 08 සිට පස් වසර ගත වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුව ව්‍යවස්ථානුකූලව බැඳී සිටින්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ වෙනත් අණ පනත් පිළිබඳව මෙරට සාමාන්‍ය ජනතාවට ඇති අවබෝධයක් නැත. එය එසේ වුවද වරදක් කිව නොහැක. මහ මැතිවරණයක් පවත්වා විශාල ධන සම්භාරයක් වියදම් කොට, පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගන්නා මහජන නියෝජිතයන් බොහෝ දෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘අ’ යන්නවත් නොදන්නා අය වේ. දේශපාලන කරළියේ සිදුවන කතා බහ අනුව ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයකට, මහජන නියෝජිතයන් ලෙස තේරීපත් වන අය, ඊට කොතරම් සුදුසු අයදැයි විමසා කතිරය ගැසීමටවත් අවම වශයෙන් ජනතාවට දැනුවත් භාවයක් තිබිය යුතුය.
 
 සමහර මහජන නියෝජිතයන් රටේ ඇමැතිකම් පවා ලබාගෙන දැන් උසස් පෙළ විභාගයට උත්තර ලිවීමට සැරසෙන බවත් පුවත්පත් මගින් හෙළිදරව් වේ. එය එසේ වුවද තවත් සමහර මහජන නියෝජිතයන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ උසස් සාමාර්ථයක්වත් නැත. ඔවුහු මැරකම් චණ්ඩිකම් පදක්කම් ලැබූවෝ මිස, ව්‍යවස්ථාදායකට තේරී පත්වීමට සුදුස්සෝ නොවෙති.
 
 අද රටේ දේශපාලනය, පරිපාලනය, ආගම, සංස්කෘතිය ගැන කතා බහ කරන්නට විශේෂයෙන් සෑදී පැහැදී සීමිත පිරිසක් සිටින්නේය. සමහර මහජන නියෝජිතයන් මාරාන්තික උපවාස කරන්නේය. තව සමහර අය ගස් නගින්නේය. තව සමහරු තේ කෝප්පයේ කුණාටු දකින්නේය. මොන පක්‍ෂයේ කවර ආණ්ඩුවක් ආවත් විරුද්ධ පක්‍ෂය එය පෙරළන්නට මාන බලන්නේය. පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය හෙවත් නීති සම්පාදනය කරන තැන වග, මහජන ඡන්දයෙන් තේරීපත් වන බහුතරයක් නොදන්නේය. මේවා ගැන කතා කරන්නට සිවිල් සමාජය ඉදිරියට එන්නේද නැත. ඇත්ත හෙළිදරව් කිරීමට අපේ ජනමාධ්‍යයෙන්ද පිටිවහලක් නොලැබෙන්නේය.
 
 අපට බොහෝ තැන්වල වැරදුණේය. එසේ වැරදුනේ සර්වජන ඡන්ද බලය නමැති කේක් ගෙඩියට ඉහවහා ගිය කපටි හිවල් පෝතකයන්ගේ ඉච්ඡා බස්වලට සමස්ත ජන සමාජයෙන් බහුතරයක් රැවටුණු නිසාය. එදත් එහෙමය, අදත් එහෙමය, හෙට සිදුවන දෙයද වෙනසක් ඇත්තේම නැත. 1948 සෝල්බරි ව්‍යවස්ථාව අනුව මෙරට බිහිවූ ආණ්ඩුක්‍රමය ගැන එදා විශ්වවිiාලවල, පාර්ලිමේන්තුව තුළ දීර්ඝ වාද විවාද සිදුවුණේය. ප්‍රශ්න ගත වූයේ සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වගන්තියේ විධිවිධාන අනුව ලංකා පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා පැනවීමේ අයිතිය සීමා කර තිබීමයි. එම වගන්තියට පටහැනි පනත් සම්මත කිරීමේ අයිතියක් ආණ්ඩුකාරවරයාටවත් හිමි නොවුණේය.
 
 මේ සියලු අඩු ලුහුඬුකම් සපුරා බි්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස්ව සෛ්වරී, ස්වාධීන ජනරජයක් 1972 දී සම්මත කර ගත්තේය. 1948 සිට 1972 දක්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් මගින් රාජ්‍ය සේවා නිලධාරීන්ගේ පත් කිරීම්, මාරු කිරීම්, උසස් කිරීම්, සේවයෙන් පහ කිරීම් ඉතා විනිවිධ භාවයෙන් සිදුකෙරුණේය. එවක සිවිල් සේවාවේ ඉහළම නිලධාරියාද රට වැසියාට එවන රාජකාරි ලිපිවල ‘ඔබගේ යටහත් කීකරු සේවක’ යන ආමන්ත්‍රණය වූයේය. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි රජයේ නිලධාරීන් පත් කිරීම්, මාරු කිරීම්, සේවයෙන් පහ කිරීම් සහ ඔවුන්ගේ හැසිරීම් ක්‍රියාදාමය අනුව සියලුම විනය කටයුතු සිදුකිරීමේ බලයද අමාත්‍ය මණ්ඩලයට පැවරුවේය. රාජ්‍ය සේවය දේශපාලනීකරණය වූයේය. අද දවසේ මේ රටේ රාජ්‍ය සේවය දූෂණයට යටවූයේ මේ වැරදි ව්‍යවස්ථා සම්පාදනය නිසා නොවේදැයි ජනතාව කල්පනා කළ යුත්තේය. ඉන්පසු 1978 ව්‍යවස්ථාවෙන්ද එයම අනුගමනය කළේය. අපට එදත් වැරදුණේය. වැරදුණා නොව ස්වදේශීය පාලකයන්, රටේ රාජ්‍ය දේපළ කොල්ලකෑමේ රට අගාධයට තල්ලු කිරීමේ මුල් අඩිතාලම දැම්මේය. රටවැසියා සේවකයා වී රාජ්‍ය සේවකයා ස්වාමියා වූයේය.
 
 1978 ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලය හිමිවූයේ විධායක ජනාධිපතිටය. ජනාධිපතිවරයකු වීමට ජනවරමක් නොමැතිව, 77 මැතිවරණයෙන් අග්‍රාමාත්‍යවරයා වූ ජේ. ආර්. ජයවර්ධන එක් රැයකින් විධායක ජනාධිපති වූයේය. එහි අනිෂ්ට ප්‍රතිඵල ඊයේත්, අදත් හෙටත් ශ්‍රී ලංකාවාසීන්ට අත්විඳින්නට සිදුවී ඇත්තේය. 2018 වන විට 19 වතාවක් සංශෝධනය කළ 78 ව්‍යවස්ථාව මුළු රටටම කොඩිවිනයක් වී ඇත.
 
 දැන් මුළු රටේම අවධානය යොමුකර ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩු පාඩු වෙනුවෙන්ය. 1978 සිට සංශෝධන 19 ක්ම ගෙනාවේ, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි අඩුපාඩුකම් නිවැරදි කරවා ගැනීමට, සම්පූර්ණ කර ගැනීම සඳහා නොවේ. කෙටියෙන් විමසා බැලුවහොත් ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ‘බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ජනාධිපති කොමිසමට බලයක් නැත’ යන අභියාචනාධිකරණ නියෝගය අවලංගු කරවා ගැනීමටය. දෙවන ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පිල් මාරු කිරීම පිළිබඳවය. එම සංශෝධනයට අනුව ප්‍රතිවාදී පක්‍ෂයේ මන්ත්‍රීවරයාද ආණ්ඩු පක්‍ෂයට පැමිණෙන විට ඔහුගේ මන්ත්‍රී ධුරය ආරක්‍ෂාවේ. එහෙත් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයකු විරුද්ධ පක්‍ෂයට යන විට මන්ත්‍රී ධුරය අහෝසිවේ. තුන්වන සංශෝධනය ගෙනාවේ විධායක ජනාධිපතිවරයාට තමන්ට හිමි ධුර කාලය ඉක්මවා යෑමට ප්‍රථමයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවස්ථාව සැලසීමටය. හතරවන සංශෝධනය ගෙනාවේ ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුවේ කාලය තවත් හය වසරකින් දීර්ඝ කරවා ගැනීමටය. පස්වන සංශෝධනය ගෙනාවේ ජනමත විචාරණයෙන් පරාජය වූ ආසන සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට අවකාශය ලබා ගැනීමටය. හයවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනාවේ ඒකීය රාජ්‍ය ප්‍රතික්‍ෂේප නොකරන රට දෙකඩ කිරීමට අර ඇඳීමෙන් වළකින ලෙස සහ එයට අනුබල නොදෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ගන්නටය. හත්වන සංශෝධනය ගෙනාවේ හදිසි නීතිය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී ඇති වන බාධක ලිහිල් කර ගැනීමටය. අටවන සංශෝධනයෙන් රජිව්-ජේ.ආර්. ඉන්දු ලංකා
 
 ගිවිසුමට අනුව බලය විමධ්‍යගත කිරීම සිදුවිය. නව වන සංශෝධනයෙන් පරිපාලන දිස්ත්‍රික්ක සංඛ්‍යාව 25 දක්වා වැඩි කළේය. දහවෙනි සංශෝධනයෙන් එතෙක් පැවති රාජ්‍ය නීතිඥ තනතුර ජනාධිපති නීතිඥ තනතුර ලෙස නැවත නම් කළේය. එකොළොස්වන සංශෝධනය අනුව මැතිවරණයන් සඳහා අපේක්‍ෂකත්වය ලබන රජයේ සේවකයන් පිළිබඳව සංශෝධනයන් විය. දොළොස්වන සංශෝධනය අභියාචනාධිකරණය සහ පිස්කල්වරයා සම්බන්ධ වූ සංශෝධනයකි. 13, 14, 15, 16, 17, 18 ව්‍යවස්ථා සංශෝධනද, රටේ උන්නතියට, පරිපාලනයට ආධාර උපකාර නොවූ හුදෙක් පාලක පක්‍ෂයේ පෝෂණය උදෙසා නිර්මාණය කළ සංශෝධන විය.
 
 2018 යහපාලන රජය පත්වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඡන්ද පොරොන්දුව සඵල කිරීමටය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට
 
 ගොස් විධායක ජනාධිපතිගේ බලතල අමාත්‍ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට විතැන් කරන කාර්යභාරය කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයකින් කළ නොහැකි බව, රාජ්‍ය පාලනාධිකාරියට සහ ව්‍යවස්ථා කෙටුම්පත් කළ නීති විශාරදයින්ට වැටහී ගියේ නැත. අපට වරදින්නේ එහෙමය. විධායක බලය කැබිනට් මණ්ඩලයට පවරන නව ආණ්ඩුක්‍රමයක් බිහි කළ හැක්කේ නව ව්‍යවස්ථාවක් මගින් මිස ව්‍යවස්ථා සංශෝධනයකින් නොවන බව නීති විශාරදයන්ට තේරී නැත.
 
 1978 ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ක්‍රමය තුළ විධායක ජනාධිපතිට පැවති බලතල 19 සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ සහ අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයට පැවරෙන්නේ නම් ඊළඟට පත්වන ජනාධිපතිවරයා නාම මාත්‍රික ජනාධිපතිවරයෙක් වන්නේය. නාම මාත්‍රික ජනාධිපතිවරයා පත්කරනු ලබන්නේ මහජන ඡන්දයෙනි. ඔහුගේ ධුර කාලය අවුරුදු පහක් වන්නේය. දැන් මෙය රටට අර්බුදයක් වී නැද්දැයි දේශපාලනයේ යෙදෙන ආණ්ඩුව පෙරළන්නට කැසකවන මහජන නියෝජිතයන්ගෙන් අසන්නට සිදු වේ.
 
 පවතින ආණ්ඩුවේ කාලය ඉකුත් වී ඊළඟට පත්වන ජනාධිපතිවරයාට විධායක බලතල නැත. එහෙව් නාම මාත්‍රික ජනාධිපතිවරයකු තෝරාපත් කරන ජනාධිපතිවරණයකට රුපියල් මිලියන 500 ත් 1000 ක් අතර විය පැහැදමක් දැරිය යුතුවේ. එසේනම් දේශපාලන අධිකාරිය ජනාධිපතිවරණයකට අර අඳින්නේ එක්කෝ ඔවුන්ගේ නොදැනුවත්කම නිසාද නැත්නම් රට වැසියන්ට මෙය නොතේරෙන විජ්ජාවක් යැයි ඔවුන් සිතන නිසාද.
 
 ආණ්ඩු පෙරළන්නට, ආණ්ඩු හදන්නට වලිකන ලංකාවේ දේශපාලන පක්‍ෂවල නායකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. පක්‍ෂ ඇතුළත නැති ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ ඇති කරන්නට බැරිය. ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ක්‍රමය අන්ත දූෂිත වූවා පමණක් නොව පාර්ලිමේන්තු ක්‍රමයද අන්ත දූෂිත කළේය. වත්මන් ජනාධිපතිවරයා එක රැයකින් රනිල් අගමැතිකමින් නෙරපා මහින්ද රාජපක්‍ෂ අගමැති කළ දින කිහිපයක කාල පරාසයේදී පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් හැසිරුණු ආකාරය ජුගුප්සාජනක වේ. දැන් විධායක බලතල දීමට සිදුව ඇත්තේ එහෙව් පාර්ලිමේන්තු නියෝජිතයන්ටය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, දූෂිත ලෙස ක්‍රියා කිරීමට ඇති ඉඩකඩ අහුරන විධිවිධාන ඇතුළත් කළ හැකිව තිබුණි. නමුත් ඒ කිසිවක් සිදුවී නොමැත.
 
 පාර්ලිමේන්තුවට තේරී පත්වන බහුතරයක් රට භාරදීමට නොව මරණාධාර සමිතියක් භාරදීමටවත් සුදුසු අය නොවේ. අද පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් ලෙස පත්වන බොහෝ දෙනෙක්, ආණ්ඩුක්‍රමය දේශපාලනය ගැන මෙලෝ හසරක් දන්නා අය නොවේ. මහජන දේපළ කොල්ලකෑමට, පවුල් වාදය ආරක්‍ෂාකර ගැනීමට ව්‍යවස්ථා සම්පාදනය කොට ඒවා ආරක්‍ෂා කිරීමට නොව එළිපිටම කඩා බිඳ දැමීමට ඔවුහු පෙළඹෙන්නේය.
 
 විධායක ජනාධිපතිගේ බලතල අහෝසිකොට සියලු බලතල පාර්ලිමේන්තුව ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරෙන්නේ නම් එකී පාර්ලිමේන්තු නියෝජිතයන්ට බලපාන දැඩි නීති රීති සමුදායක්ද ඇති විය යුතුය. ව්‍යවස්ථා සංශෝධන කරන්නන්, මහජන නියෝජිතයන්ගේ සමාජ දේශපාලන ජීවිතය අවංක තත්ත්වයක තබා ගැනීම සඳහා අවශ්‍ය වාතාවරණයක් ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ යුතුය. එහෙත් දැනට පවතින දූෂිත ක්‍රමය තුළ පාර්ලිමේන්තුවට විධායක බලතල දීමෙන් රට ව්‍යසනයෙන් ව්‍යසනයට ගමන් කිරීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. පාර්ලිමේන්තුවට තේරී පත්වන මහජන නියෝජිතයන් රජය සමග ව්‍යාපාර කිරීමෙන් රට දැනටම අන්ත දූෂිත තැනකට පැමිණ ඇත.
 
 රජයට හොඳම ආදායම ලැබෙන මාර්ග මහජන නියෝජිතයන්ට, ඔවුන්ගේ ගජ මිතුරන්ට, පවුල්වල සාමාජිකයන්ට, ලබාදෙන දැනට පවතින ක්‍රමයට තිත නොතැබුවහොත් ඉදිරි අනාගතයක් ගැන අපට සිතන්නටවත් බැරි වේ. මන්ත්‍රීවරුන් හරහා ලබාදී තිබෙන මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව 1200 ට වැඩිය. වැලි, ගල්, පස්, දැව වැනි බපත්‍රවල ඒකාධිපතිත්වය ඇත්තේ මහජන නියෝජිතයන් අතේය. කෙතරම් නීති පැවතියත් මන්ත්‍රීවරුන්ගේ වත්කම් හෙළිදරව් කරන්නේ නැත. ඉදිරි මැතිවරණවලදී එම වැරදි නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස වික්ටර් අයිවන් මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව පසුගිය දිනවල වාර්තා විය. එහෙත් තවමත් ඊට කිසිදු ක්‍රියා මාර්ගයක් ගත් බව පෙනෙන්නට නැත. දේශපාලනයේ නියැළෙන කෙස් පැළෙන තර්ක ගේන මන්ත්‍රී, ඇමැතිවරුන් පාර්ලිමේන්තුව හරහා මේ දූෂිත ක්‍රියාකාරකම්වලට වැට බැඳීමට කටයුතු නොකරන්නේ නම් විධායක බලතල ජනාධිපතිට තිබුණත්, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට තිබුණත් රටට නම් යහපතක් වන්නේ නැත.

 

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles