Divaina - නාගසාකී පරමාණුවෙන් බිහි වු සාමයේ සිහිවටන

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


nagasaki
අජිත් කල්‍යාණ අමරසිංහ
නාගසාකි පරමාණු බෝම්බයට වසර 74ක්‌ සපිරීම නිමිත්තෙනි .


ශිෂ්ට සම්පන්න ලෝකවාසීන් තුන් සිතින්ම ප්‍රාර්ථනා කළ අයුරින්ම අවසාන පරමාණු බෝම්බය ලෙස තවමත් ඉතිහාසයේ සටහන්ව ඇති අමෙරිකා එක්‌සත් ජනපද හමුදාව විසින් ජපානයේ නාගසාකියට හෙළන ලද දෙවන පරමාණු බෝම්බය 1945 අගෝස්‌තු 09 වන දින පෙ.ව. 11.02 ට නාගසාකී නගරයට ඉහළින් පුපුරා ගියේ පරමාණු බෝම්බයක අතිශය අහිතකර අමිහිරි ප්‍රතිපල සියල්ල සියල්ලන්ගේම සිත් තුළ නොමැකෙන ලෙස සටහන් කරවමිනි.

අදටත් ඒ සංවේගයේ කඳුළු හා සුසුම් ජපානයේaදීත් ඒ හා සබැඳුණු අනෙකුත් රටවලත් විටින්විට මතුවනු දැකිය හැකිය.

ඊට දින 03 කට පෙර එනම් 1945 අගෝස්‌තු 06 වැනිදා පෙරවරු 10. 10 ට මෙවැනිම වූ පළමුවැනි බෝම්බය ජපානයේ හිරෝෂිමා නගරයට හෙළන ලදී.

නාගසාකී නගරයේ විශාල කොටසක්‌ මුළුමනින්ම ද ඉතිරිය අඩ වශයෙන් ද විනාශ කළ අගෝස්‌තු 09 බෝම්බය අතිවිශාල ජීවිත සංඛ්‍යාවක්‌ ද උදුරාගන්නා ලදී. එපමණක පිරිසක්‌ සදාකාලික ආබාධිත තත්ත්වයට පත්කරවන ලදී.

මෙම පිපිරීමේදී නිදහස්‌ වූ ගැමා හා නියුට්‍රොaන කිරණ මගින් ඇති කරන ලද බරපතළ ආපදාවන් අද ද ජපන් වැසියන් අත්විඳිමින් සිටිති.

තවත් බොහෝ කාලයක්‌ න්‍යෂ්ටික කිරණ මගින් මිනිස්‌ ජාන තුළ ඇති කළ වෙනස්‌කම් ක්‍රියාත්මක වනු ඇත.

1945 අගෝස්‌තු වන විට නාගසාකියේ ජනගහණය ආසන්න වශයෙන් 240000 කි. එයින් 73884 කට අගෝස්‌තු 09 බෝම්බය ජීවිත අහිමි කරවන ලදී.

තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 74909ක්‌ විය. අනතුරට ලක්‌ නොවූවන් සේ හඳුනා ගත් පිරිස 60,000 කට ආසන්න වුවත් ඔවුන්ගේ පසු පරම්පරා ගැමා හා නියුට්‍රොaන කිරණවල තාඩන පීඩනවලට නිරන්තරයෙන්ම ලක්‌වෙමින්ම සිටිති. කෙසේ වෙතත් මේ සංඛ්‍යාලේඛන පරමාණු බෝම්බයේ විනාශ කිරීමේ ශක්‌තිය මොනවට හෙළි කරයි.

ඇත්තෙන්ම පරමාණු බෝම්බය අතිශය භයානක, විනාශකාරී, මාරක යුද අවියකි.

න්‍යෂ්ටික විඛණ්‌ඩනයට භාජනය කළ හැකි මූල ද්‍රව්‍යයන් පරමාණු බෝම්බ නිෂ්පාදනයේදී භාවිතා කෙරේ.

නාගසාකි බෝම්බය සඳහා භාවිතා කොට තිබුණේ ප්ලුටෝනියම් වූ අතර ලොව සුලභව භාවිතා කෙරෙන පුපුරන ද්‍රව්‍ය වන ට්‍රයි නයිට්‍රොටොලුයන් (TNT) සමග සසඳන කළ පරමාණු බෝම්බය අතිශයින් විනාශකාරී වේ.

වැදගත්ම කරුණ පරමාණු බෝම්බය පුපුරා යන මොහොතේ නිදහස්‌වන චාලක තාප ශක්‌තියට අමතරව නිදහස්‌ වන න්‍යෂ්ටික ශක්‌තියට (ගැමා හා නියුට්‍රොaන කිරණ) දිගු කලක්‌ වායු ගොලයේ රැඳී සිටිමින් ජීවීන්ට හානි කිරීමට හැකිවීමයි.

නාගසාකි පරමාණු බෝම්බය දිගින් මීටර් 3.25 ක. විශ්කම්භය මීටර් 1.5කි. බර ටොන් 4.5 කි. බෝම්බයේ හැඩය හා බර අනුව යමින් එය නම් කොට තිබුණේ FAT MAN (මහත මිනිහා) යන අන්වර්ත නාමයෙනි.

මේ බෝම්බය පිපිරීමේදී නිකුත් වූ ශක්‌තිය TNT ටොන් 21 ක්‌ පිපිරීමේදී නිකුත් වන ශක්‌තියට සමාන විය.

මෙම පිපිරීමේදී නිකුත් වූ ශක්‌තියෙන් 50% ක්‌ පිපිරීම් ලෙසින් ද 35% ක්‌ තාප කිරණ ලෙසින් ද 15% න්‍යෂ්ටික කිරණ ලෙසින් ද නිකුත් වූ බව පැවසේ. මේ සියල්ල නාගසාකි නගරයට මුදාහළ අතර එය නාගසාකියට ගෙනාවේ අතිශය බරපතළ හානියකි.

සිදුවීමෙන් වසර 74ක්‌ ගත වී ඇති අදවන විට මේ අතිශය අප්‍රසන්න සිදුවීම මිනිස්‌ සිත් වලින් මැකී යා නොදී රැකදෙන ස්‌මාරක කිහිපයක්‌ ජපානය ලෝක ප්‍රජාව ඉදිරියේ ලබා තිබේ.

1. නාගසාකි පරමාණු බෝම්බ කෞතුකාගාරය

2. නාගසාකි සාම උද්‍යානය

3. නාගසාකි පරමාණු බෝම්බය හා එහි අතිශය භයංකර අත්දැකීම් අත්විඳි පුද්ගලයන් 1017 කගේ ඇසින් දුටු සාක්‌ෂි ඇසුරෙන් සකස්‌ කළ වාර්තාව

4. එම පුද්ගලයන් සංවිධානගතවී පිහිටුවා ගත් ( The Nagasaki Atomic Bomb testimonial Society ) නාගසාකි පරමාණු බෝම්බ අත්විඳි ඇසින් දුටු සාක්‌ෂිකරුවන්ගේ එකමුතුව

01. නාගසාකි පරමාණු බෝම්බ කෞතුකාගාරය

ඉතා ආයාසයෙන් එක්‌ තැන් කර ගන්නා ලද හා නැවත ප්‍රතිෂ්ථාපනය කරන ලද නාගසාකි බෝම්බයේ අතිශය අඳුරු සිහිවටනවල දුර්ලභ එකතුවක්‌ මෙහි තබා තිබේ. මෙය අංශ 04 කින් සමන්විත වේ

(A) 1945 අගෝස්‌තු 09 දිනය සිහිපත් කරවන සෝචනීය සිහිවටනවලින් මෙම අංශය සමන්විත වේ. බෝම්බය පිපිරුණ කේන්ද්‍රීය ස්‌ථානයට (Hypo - Center) මීටර් 800ක්‌ දුරින් පිහිටි නිවසක සුන්බුන් අතර තිබී සොයා ගන්නා ලද හරියටම බෝම්බය පිපිරුණ වේලාව දක්‌වන බිත්ති ඔරලෝසුව - බෝම්බය පිපිරීමට පෙර නාගසාකි නගරයේ මනස්‌කාන්ත දර්ශන පෙන්වන ඡායාරූප බෝම්බය පිපිරෙන තත්පරයේ නාගසාකියට ඉහළින් අහසේ මැවෙන හතු හැඩැති වළාකුළු (Mushroom Clouds) වල ඡායාරූප බෝම්බය පිපිරීමෙන් පසු නගරයේ දර්ශනය අන්තර්ගත ඡායාරූප මගින් බෝම්බයේ ස්‌වභාවය අපූරුවට පෙන්නුම් කෙරේ.

(B) මෙම අංශයේදී බෝම්බය විසින් සිදුකරන ලද හානිය විස්‌තරාත්මකව හා හද කම්පා කරවන අයුරින් ප්‍රතිනිර්මාණය කොට හෝ තිබූ අයුරින්ම තබා තිබේ.

බෝම්බය පිපිරුණු තැනට මීටර් 800ක්‌ දුරින් පිහිටි පාසලක පාද ඇදවුණු රඳවනය සහිත වතුර ටැංකිය උණු වූ වීදුරු කැබැල්ලක්‌ තුළ මිනිස්‌ අතක ඇට කැබැල්ල තාපයෙන් උණු වී වැගිරුණ වීදුරු බෝතල් පාසල් දරුවන්ගේ උණූ වී ගිය දිවා ආහාර පෙට්‌ටි හිසක කොටසක්‌ද ඇතුළුව විනාශ වූ හිස්‌ ආරක්‌ෂණය (Heකපැඑ) ආදිය නරඹන්නා සංවේගයට පත් කරවයි. පරමාණු බෝම්බයට හිමි විය යුතු විශාල බිය සිත තුළ ඇති කරවයි.

එසේම විනාශ වූ ගොඩනැඟිලි කොටස්‌ ඒ අයුරින් නැවත නිර්මාණය කර තිබෙනු ද දැකිය හැකිය. යුරකාමී පල්ලියේ අලංකාර ඉදිරිපස කොටස නැවත ප්‍රතිෂ්ඨාපනය කළ සිහියේ රැඳෙන නිමවුමකි.

(C) මෙම කොටසින් න්‍යෂ්ටික අවි නිර්මාණය හා එහි විකාශය පුළුල්ව විස්‌තර කෙරේ. ආරම්භයේ සිට පරමාණු අවියේ අද නිමාවෙන නූතනම පරමාණු දිවිය දක්‌වා විකාශනය එහි නිරූපණය වේ.

(D) මෙම අංශය සම්පූර්ණයෙන්ම නාගසාකි බෝම්බය හා සම්බන්ධ තොරතුරු ඇතුළත් වීඩියෝ දර්ශන නැරඹීම සඳහාම වෙන් කොට තිබේ.

මෙම රුදුරු ආපදාවේදී ආපදා කළමනාකරණය උදෙසා දිවි නොතකා කටයුතු කළ ජපන් ජාතික වෛද්‍ය ටකාෂි නගාල් පිළිබඳ සටහන් පශ්චාත් පරමාණු බෝම්බ අවධියේ ගලවා ගැනීමේ හා ප්‍රතිකාර කිරීමේ සිහිවටන විකිරණශීලී කිරණ මගින් ශරීර ඉන්ද්‍රියනට වන හානි, සුවිසල් ගොඩනැඟිලිවලට සිදු වී ඇති හානි හා අවසාන වශයෙන් පරමාණු බෝම්බයෙන් අනූ නවයෙන් ගැලවුණු ඇසින් දුටු සාක්‌ෂිකරුවන්ගේ එකමුතුවේ සුප්‍රකට ආයාචනය ආදිය විශේෂය.

02. නාගසාකී සාම උද්‍යානය

මෙය හරියටම බෝම්බය පිපිරුණු ස්‌ථානය (Hypo - centre) කේන්ද්‍ර කොටගෙන නිර්මාණය කොට තිබේ.

ඒ වෙනුවෙන්ම නිර්මාණය කළ ලෝක සාම ප්‍රතිමාව රට රටවලින් සිහිවටන ලෙස ලැබුණු නිර්මාණශීලී ප්‍රතිමා හා ඒ හා සම්බන්ධ ප්‍රකාශන හා පණිවිඩ ආදිය මනරම් උද්‍යානයක තැන තැන සුන්දර සේ පෙළ ගස්‌වා ඇත. ප්‍රතිමා ඇත්තෙන් ම නිර්මාණශීලී වන අතර ඒ හැම එකක්‌ම අතිශය වැදගත් පණිවිඩයක්‌ ලෝකයට ලබා දෙයි.

පරමාණු බෝම්බය වැටෙන විට ඒ අසල තිබූ ජපාන බන්ධනාගාරයේ නාගසාකි ශාඛායෙහි පාදම බෝම්බය පිපිරුණු පසු තිබූ ලෙසින්ම සංරක්‌ෂණය කොට තිබේ.

1945 අගෝස්‌තු 09 දා බෝම්බයට බිලිවී සැනෙකින් මරණයට පත් නොවූවන්ගේ එකම ඉල්ලීම වූයේ පානීය ජලයයි. වතුර දෙන්න හඬ දසතින්ම ඇසුණු බව ඇසින් දුටුවෝ සෑම දෙනෙක්‌ම පවසා සිටිති. ඒ අයුරින් බොහෝ දෙනෙක්‌ මිය යන්නේ අධික තාපය නිසා සිරුරේ සම ඉවත්වී විජලනය වීම හේතුවෙනි. ඔවුනට අවසාන අවස්‌ථාවේ අවශ්‍ය වූ ජලය ලැබුණේම නැත. ඇත්තෙන්ම ඒ වන විට තිබූ ජලය බීමට සුදුසු තත්ත්වයක්‌ තිබුණේ ද නැත. ඔවුන් මිය යන්නේ ජලය බිඳක්‌ වත් නොලබාය.

මෙම සංවේගජනක සිද්ධිය සිහිපත් කරවමින් එම උද්‍යානයට පිවිසෙන තැන සුවිසල් අලංකාර වතුර මලක්‌ නිර්මාණය කොට තිබේ.

මෙය සාමයේ උල්පත (The Fountain of Peace) ලෙස හැඳින්වේ. විෂ්කම්භය මීටර් 18ක්‌ වූ මේ සුවිසල් නිමාවේ මීටර් 0.5 සිට මීටර් 8 ක්‌ දක්‌වා උසින් යුත් වතුර මල් රැසක්‌ නිර්මාණය කොට ඇත්තේ වතුර මල්වලින් වතුර වැටෙන විට සාමයේ සංකේතය පරෙවියා ගේ පියාපත් යුග්මය සිහිගන්වන අයුරිණි. (මෙම පිහිටීම ජපානයේ වරායේ හැඩරුවට සමාන වේ)

03. සාම පිළිරු - The Peace Statue

මෙය අති විශිෂ්ට කලා නිර්මාණයකි. සෙයිබෝ කිටමුරා නම් ජපන් ජාතික මූර්ති ශිල්පියකුගේ නිර්මාණයක්‌ වන මෙය මීටර් 10ක්‌ උස සම්පූර්ණයෙන්ම තඹ ලෝහයෙන් කළ නිමැවුමකි. පරමාණු බෝම්බයෙන් දසවසක්‌ ගෙවුණු 1955 අගෝස්‌තුවේදී ස්‌ථාපනය කරන ලදී. මෙහි මුල්‍යමය දායකත්වය දරණ ලද්දේ ජපන් රජය ප්‍රමුඛ හිතවත් රාජ්‍යයන් විසිනි. මෙහි ඒකායන අරමුණ 1945 අගෝස්‌තු 09 දා වූ සිදුවීම වැන්නක්‌ මින් මතු කිසිදින නොවීමට ලෝක ජනතාව වෙත ආයාචනය කිරීමයි.

ඉහළට එසවුණ සුරත න්‍යෂ්ටික අවි වෙත තර්ජනාංගුලිය එල්ල කරයි. දිගු කළ වමත ලෝක සාමය හා සංහිඳියාව සංකේතවත් කරයි. සිරුරේ ඉරියව් ආදරය හා සෙනෙහස නිරූපණය කරයි. වැසුණු දෑස්‌ යුද්ධයෙන් හානි වූ සියලු ආත්මයනට සමාදානය උදෙසා යාඥා කරයි. නැවුනු දකුණු පාදය නිහඬ භාවනාවක්‌ සංකේතවත් කරන අතර වම් පාදය මිනිස්‌ වර්ගය වෙනුවෙන් සේවා සැළසීමට සූදානම ක්‍රියාශීලිත්වයෙන් පෙන්නුම් කරයි.

සියල්ල එක්‌ වූ විට මැවෙන ප්‍රකාශනය අති ප්‍රබලය. ඒ ඉදිරියට යන අයකුට වේලාව නොසලකා හැරිය හැකි සාධකයක්‌ බවට පත්වන අතර, ඕනෑම කාලයක ඒ දෙස බලා දැහැනට සමවැදිය හැකිය.

ප්‍රධාන සාම ප්‍රතිමාවට අමතරව සාමය උදෙසා තැනුනු නොයෙකුත් රටවලින් පරිත්‍යාග කරන ලද නිර්මාණාත්මක ප්‍රතිමා තැන තැන පිහිටුවා තිබේ. මේ සියල්ලේම අපේක්‌ෂාව ලෝක සාමයයි.

ජර්මාණු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය චෙකොස්‌ලෝවැසියානු සමාජවාදී ජනරජය ඕස්‌aටේ්‍ර්‍රලියානු සාමය උදෙසා වූ එකමුතුව සෝවියට්‌ සමාජවාදී සමූහාණ්‌ඩුව, ආදී මිත්‍රයින් විසින් එවා ඇති සාම ප්‍රතිමා හා පණිවිඩ සුවිශේෂීය.

04. නාගසාකි පරමාණු බෝම්බය ඇසින් දුටුවන්ගේ හා වින්දිතයින්ගේ එකමුතුව හා එහි ක්‍රියාකාරකම්

1945 අගෝස්‌තු 09 පරමාණු බෝම්බය වැටෙන විට ජීවතුන් අතර සිට දිවි ගලවා 1017 දෙනෙකු එක්‌ව මෙම එකමුතුව නිර්මාණය කොටගෙන තිබේ.

The Nagasaki Atomic Bomb Testimonial Society


මෙම එකමුතුව පරමාණු අවි මෙලොවින් තුරන් කිරීම සඳහා ඓතිහාසික කාර්යභාරයක්‌ තවමත් ඉටුq කරමින් සිටියි. මේ සඳහා ඔවුන් විවිධ ක්‍රියාකාරකම් භාවිතා කරති. මෙම 1017 දෙනාගේ කට උත්තරවලින් තෝරාගත් 30 දෙනෙකුගේ සාක්‌ෂි ඇතුළත් කොට ඉංගි්‍රසි බසින් පළ කරන ලද Voices of the A bomb Survivors Nagasaki නම් කෘතිය මෙම ක්‍රියාවලියේ එක්‌ පියවරකි. පොතෙහි කාණ්‌ඩ 06 ක පුද්ගලයන් ගේ සාක්‌ෂි සටහන් වේ.

1. මිහිපිට අපාය, 1945.08.09 දින සිදු වූ දේ

2. පරමාණු බෝම්බයක අමානුෂික ප්‍රතිපල

3. ඕලන්ද යුධ සිරකරුවන්ගේ ප්‍රකාශ

4. සේවයේ යෙදී සිටි කොරියන් ජාතිකයන්ගේ ප්‍රකාශ

5. විකිරණශීලී කිරණවලට බියෙන් දිවි ගෙවීම

6. යුද්ධයෙන් පසු ඇමෙරිකාවේ අසීරු දිවිය

7. මෙම ඇසින් දුටු සාක්‌ෂි කියවන විට පොදුවේ අපට අසන්නට ලැබෙන්නේ එකම විලාපයකි. මේ බෝම්බය නිසා සියල්ල අහිමි වූ මිහිපිට දිවි ගෙවන පිරිසකගේ අවාසනාවේ වේදනාත්මක ස්‌වරය මෙහි නිර්මිතය.

දරු තිදෙනෙකු හා සැමියා අහිමි වූ බිරිඳ දරුවන් හා බිරිඳ අහිමි වූ ස්‌වාමියෙක්‌ මෙහෙවරට පැමිණි සදාකාලිකව රෝගීන් වූ පුද්ගලයන් අපට මෙහිදී හමුවේ. ජපාන සංචාරය සඳහා අපට ඇරයුම්කොට සියල්ල දෑසින් දැක ගන්නට ඉඩ හසර හා පහසුකම් සලසා දුන් නාගසාකි ඔමූරා (Omura) නගරයේ මට්‌සුවෝ සෙයිකි (Matsuo Seiki) ගේ ආදණීය බිරිඳ පරමාණු බෝම්බ වින්දිත කාන්තාවකි. ඇගේ මව, මට්‌සුවෝ උමේයෝ (Matsuo Umeyo) පරමාණු බෝම්බයේ Rජු වින්දිත කාන්තාවක්‌ වූ අතර අදටත් දරුණු හන්දි රෝගයකින් පීඩා විඳියි.

ජීවිතයේ බොහෝ දුක්‌ කම් කටොළු විඳ අවසාන බුදුන් වහන්සේ හමුවට පැමිණි විමුක්‌තිය ලබා උදාන ගී ගැයූ ථෙර ගාථා හා ථෙරි ගාථා ලියූ පරිදි මේ චරිතවලටද ලියන්නට සෝ ගීයක්‌ තිබේ.

සියලුම කටඋත්තරවලින් පැවසෙන එකම එක පණිවිඩයකි. ඒ නාගසාකි බෝම්බය ඒ ගනයේ රුදුරු අවි භාවිතයේ අවසානය විය හැකි බවයි.

එසේම මෙම පරමාණු බෝම්බය ජපානය අද ලබා ඇති සුවිසල් දියුණුවේ ප්‍රධාන සංධිස්‌ථානය බව සිහිපත් කරන විට එය එක්‌ අතකින් වෙස්‌ වළාගෙන පැමිණි ආශිර්වාදයක්‌ ලෙස කෙනෙකුට තර්ක කළ හැකිය.


Special Thanks to
Mr. Matsuo Seiki and Mrs. Matsuo Umeyo

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles