Divaina - මරණින් පසු කොතැනට ද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

 

deth
(උපනිෂද් ඇසුරින් කෙරෙන විමසීමකී)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්‌සර හිමි
කැලණිය විශ්වවිද්‍යාලයීය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

"මිනිසාගේ මරණින් පසු ඔහුගේ අධ්‍යාත්මය ගින්නට ද ඔහුගේ හුස්‌ම සුළඟට ද ඔහුගේ නෙත් සූර්යයාට ද ඔහුගේ සිත චන්ද්‍රයාට ද, ඔහුගේ සවන් ආකාශයේ දිශාවන්ට ද ඔහුගේ ශරීරය පෘථිවියට ද ඔහුගේ ආත්මය ආකාශ වස්‌තුවට ද ඔහුගේ සිරුරෙහි ලෝම පැලෑටිවලට ද ඔහුගේ හිසෙහි කෙස්‌ ගස්‌වලට ද ඔහුගේ ලේ සහ ශුක්‍ර ජලයට ද යන්නේ නම් ඊට පසු මිනිසාට සිදු වන්නේ කුමක්‌ ද?"

ආර්තභාග නම් තැනැත්තකු විසින් යාඥවල්ක්‍යගෙන් අසනු ලැබූ ප්‍රශ්නයක්‌ වශයෙන් බෘහදාරණ්‍යක උපනිෂදයෙහි ඉහත සඳහන් පාඨය අන්තර්ගත වී තිබේ. උපනිෂද් යුගය වන විට විදග්ධ මනස තුළ පැන නැගී තුබූ ප්‍රධාන ගැටලු අතුරින් එකකි, එය. එම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ දී යාඥවල්ක්‍ය ක්‍රියා කළ ආකාරය හා භාවිත කළ වචනවලින් තත් කාලීන පොදු ජන සමාජය තුළ මිනිසාගේ මරණින් පසු තත්ත්වය පිළිබඳ වූ ආකල්පයත් යාඥවල්ක්‍යාගේ ආකල්පයත් අතර කිසියම් පරතරයක්‌ තුබූ බවක්‌ වැටහෙයි.

ආර්තභාගගේ ප්‍රශ්නයෙන් ඉක්‌බිති යාඥවල්ක්‍ය ආර්තභාගගේ අතින් අල්වා, ඔහු කැඳවාගෙන ජනයාගෙන් වෙන් වූ හුදෙකලා තැනකට යයි. යාඥවල්ක්‍යට කියන්නට තුබූ දෙය ප්‍රසිද්ධියේ කියන්නට ඔහු අකැමති වූ සේ ය. ඔහු පැහැදිලි ව ම ආර්තභාගට කියනුයේ, "සොඳුරු ආර්තභාග, දෙන්න ඔබේ අත, අපි දෙදෙන පමණක්‌ ම මෙය දැනගනිමු. ජනයා ඉදිරියේ මෙය සාකච්ඡා නොකරමු" යනුවෙනි. ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාව පිළිබඳ ව උපනිෂදයේ සඳහන් විස්‌තරයට අනුව ඔවුන් දෙදෙනා හුදෙකලාව යමක්‌ සාකච්ඡා කළාහු ද එය කර්මය පිළිබඳ ව වූවක්‌ ම විය. සාකච්ඡා කොට එළඹි නිගමනය වූයේ "සැබවින් ම යමෙක්‌ හොඳ ක්‍රියා කිරීමෙන් හොඳ වෙයි. නරක ක්‍රියා කිරීමෙන් නරක වෙයි" යන්න ය. උපනිෂදය වාර්තා කරන අන්දමට මේ සාකච්ඡාව අවසානයේ දී ආර්තභාග නිහඬ විය.

"ආහර සෝම්‍ය හස්‌තම්, ආර්තභාග. ආවාමේවෛතස්‍ය වේදිස්‍යාවඃ, න නාවේතත් සජන ඉති. තෞ හෝත්ක්‍රම්‍ය මන්ත්‍රයාඤ්චක්‍රාතේ, තෞ හ යදූචතුඃ කර්ම හෛව තදූචතුඃ. අථ යත් ප්‍රශශංසතුඃ කර්ම හෛව තත්ප්‍රශශංසතුඃ. පුෙණ්‍යාa වෛ පුෙණ්‍යaන කර්මණා භවති, පාපඃ පාපේනේති" (බෘ.උ. ෂෂෂග 2ග13)

කර්මය පිළිබඳ වූ මේ අදහස්‌ පොදු ජනයා ඉදිරියේ සාකච්ඡා කරන්නට යාඥවල්ක්‍ය අකැමති වූයේ ඇයි ද යන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක්‌ දිය නොහැකි ය. කෙසේ වෙතත් මිනිසාගේ සුගති-දුර්ගති සඳහා සුකෘතදුෂ්කෘත කර්ම හේතු වන බව මෙයින් හෙළිදරව් කෙරෙයි.

මිනිසාගේ මරණින් පසු තත්ත්වය හෝ පැවැත්ම පිළිබඳ වූ ප්‍රශ්නය හදිසියේ ඇති වූවක්‌ නොවේ. එය කාලාන්තරයක්‌ තිස්‌සේ වර්ධනය වෙමින් ආ විමර්ශනශීලී චින්තන ධාරාවක ප්‍රතිඵලයකි. බ්‍රාහ්මණයන්ගේ ශ්‍රේෂ්ඨත්වයටත් යාගයේ බලයටත් විරුද්ධ ව නැගී ආ ප්‍රබල විප්ලවයක ප්‍රතිඵලයක්‌ වශයෙන් පුනරුත්පත්තිය පිළිබඳ අදහස්‌ ද උපනිෂද්හි අන්තර්ගත වේ යෑයි සැලකීම සුදුසු ය. පුනරුත්පත්තිය වැනි අලුත් ධර්මයක්‌ පිළිබඳ ව මුලින් අවබෝධ කරගෙන පසු ව අනෙක්‌ කුලවලට ද පතුරුවා හැරුණේ ක්‍ෂත්‍රියයන්ගේ මැදිහත් වීමෙන් බව පෙනේ. එබැවින් පුනරුත්පත්තිය ආදි දාර්ශනික එළඹුම් උපනිෂද් සමයේ පෙළ ගැස්‌වීම පිළිබඳ ගෞරවය හිමි විය යුත්තේ ක්‍ෂත්‍රියන්ට ය යන්න බොහෝ උගතුන්ගේ අදහස යි.

මුල් යුගයේ ආර්යයෝ මරණයට අතිශයින් ම බිය වූහ. එහෙයින් ඔවුහු සතතයෙන් ම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළහ. යාග පවත්වා දෙවියන් වෙතින් දීර්ඝායුෂ ඉල්ලා සිටියහ. එහෙත් ක්‍රම ක්‍රමයෙන් මරණයට වූ බිය පහවන්නට වූයේ මරණයෙන් පසු කිසියම් තත්ත්වයක්‌ ඇත යි යන්න ඔවුනගේ සිත් තුළ පැළපදියම් වන්නට වීමෙනි. ඒ සඳහා කදිම නිදසුනක්‌ සෘග්වේදයේ ං වැනි මණ්‌ඩලයේ 16 වැනි සූක්‌තයෙන් සපයා ගත හැකි ය. පශ්චාත් කාලීන රචනාවක්‌ වශයෙන් ං වැනි මණ්‌ඩලය සැලකුණ ද ප්‍රස්‌තුත විෂයෙහි ලා එය Rග්වේදයට දක්‌වන සම්බන්ධය වැදගත් වේ.

"අග්නි දේවයාණෙනි, ඔහු නොදවන්න. ඔහු පරිභෝග නොකරන්න. ඔහුගේ සිරුර හෝ සම හෝ විසිරී යා නොදුන මැනවි. ජාතවේදයෙනි (අග්නි දේවයාණෙනි), ඔබ විසින් වර්ධනය කරන ලද ඔහු පියවරුන් වෙත යවන්න.

ජාතවේදයෙනි, ඔබ විසින් ඔහු සූදානම් කරන ලද විට පියවරුනට බාර කළ මැනවි. ඔහු නිසි වයසට පැමිණි කල්හි හේ දෙවියන්ගේ පාලකයා බවට පත් විය යුතු ය.

හිරු ඔබගේ ඇස පිළිගනී. වාතය ඔබගේ ආත්මය (පිළිගනී). ඔබගේ පින අනුව අහසට හෝ පොළොවට යන්න. ඉදින් ඔබ කැමති නම් ජලයට හෝ යන්න. යන්න, ඔබගේ මුළු සිරුරින් ම පැලෑටි තුළ ඔබගේ නිවහන තනා ගන්න." (Rග්වේදය ඞග16ග1-3)

Rග්වේදයේ දහවැනි මණ්‌ඩලයේ එන ඉහත සඳහන් පාඨයෙන් දැක්‌වෙන පරිදි 'පිතෘ ලෝකය' පිළිබඳ මූලික සංකල්ප Rග්වේද කාලීන ජනයා අතර පැවතිණි. පසුකාලීන ව උපනිෂද්වල දක්‌නට ලැබෙන 'පිතෘයාන' නොපැතිය යුත්තක්‌ (ඡා.උ.ඪග10) වුව ද Rග්වේදයේ දැක්‌වෙන 'පිතෘලෝකය' ප්‍රීත්‍යාත්මක වූවක්‌ බව පෙනේ. තව ද මිනිසාගේ මරණින් පසු ඔහුගේ භෞතික ශරීරය ස්‌වභාව ධර්මය සමග සංයුක්‌ත වන බවක්‌ ද වෛදිකයෝ විශ්වාස කළහ.

ඒ හැරෙන්නට පිතෘන්ගේ හා දෙවියන්ගේ මාර්ග දෙක ගැන වේදයන්ගෙන් අපට අසන්නට ලැබේ. එමෙන් ම මිනිස්‌ ආත්ම ගස්‌වලට හා තිරිසනුන් වෙත සංක්‍රමණය වෙති යි යන අදහස ඉන්දියාවේ මුල් ගෝත්‍රිකයන්ගෙන් අපට ලැබිණ යි විශ්වාස කෙරේ. (රාධා ක්‍රිෂ්ණන් - 207 පිටුව)

බ්‍රාහ්මණ ග්‍රන්ථවල ද කර්මය - පුනරුත්පත්තිය ආදි සංකල්පවලට ආසන්න අදහස්‌ දක්‌නට ඇතත් ඒ සම්බන්ධයෙන් දියුණු සංකල්ප කර්මය හා පුනරුත්පත්තිය සම්බන්ධයෙන් ඒවායේ ඇති වී යෑයි කිව නොහැකි ය. එහෙත් ඒ සම්බන්ධයෙන් ඇති වූ කුතුහලය වේද කාලයට වඩා තියුණු විය. ආගමික ජීවිතයේ දී බලාපොරොත්තු විය යුතු පරමාර්ථ වශයෙන් සැලකුණේ අමෘතත්වය (නොමැරෙන සම්භවය) යි. එහෙයින් මරණය පිළිබඳ ව මේ වන විටත් මිනිසුන් තුළ පැවති බිය කොතරම් දැයි පැහැදිලි වේ. නරකයෙහි විඳින දුක්‌ සහ සුගතියෙහි විඳින සැප පිළිබඳ ව සඳහන් කරන ශතපථ බ්‍රාහ්මණය තමන්ගේ ක්‍රියාවන් අනුව මිනිසා පරලොව දුක්‌-සැප දෙක සාදාගනී යෑයි පවසයි. (ශපබ්‍රා 6.2.27)

මෙසේ උපනිෂද් යුගය වන විට මරණින් පසු තත්ත්වයක්‌ පිළිබඳ කාල්පනික චිත්තාවන් යම් තරමක හෝ වැඩෙමින් පැවතුණි. උපනිෂද් චින්තකයෝ ඒවා ඔප මට්‌ටම් කොට දාර්ශනික ස්‌වරූපයක්‌ ආරෝපණය කරමින් ඉදිරිපත් කළහ.

එහි දී ඊට බලපෑම් කළ ප්‍රබල සාධකයක්‌ වූයේ ඒ වන විට බ්‍රාහ්මණයන් අතර පවා යාගයේ බලය පිළිබඳ විශ්වාසය හීන වී තිබීම ය. යාගය ආශ්‍රිත ව පැවති ගූඪවාදය එක්‌වර ම අතුරුදන් වී නොගිය ද විශ්වය රඳා පැවැත්වීම සඳහා අනුබලයක්‌ වීමට වඩා ඒ වතාවතින් සිදුවනුයේ සෞභාග්‍යය, දීර්ඝායුෂ හා මතු ආත්මයේ දී දිව්‍ය සම්පත් ලබාදීම යෑයි විශ්වාසයක්‌ නැවත ඇති වීම දක්‌නට ලැබේ. එබැවින් මරණය වැළැක්‌වීම යාගයට නොහැකි වූයෙන් මරණයට මුහුණ දීම සඳහා නව සංකල්ප ගොඩනැගෙන්නට විය. එහි ලා මරණින් පසු උසස්‌ උපතක්‌ ලැබීම පිළිබඳ අදහසක්‌ ඇති කර ගන්නා ලදී. ඒ අනුව උසස්‌ උපතක්‌ සඳහා වූ ප්‍රාර්ථනා ඇති කරගැනීමත් ඒ අනුව ක්‍රියා කිරීමත් සදාචාර මාර්ගයේ අවශ්‍ය අංග බවට පත් විය.

උච්ඡේදවාදී අදහසක්‌ වූ මරණින් පසු ආත්මය විනාශයට පත් වේ ය යන අදහසට උපනිෂද් චින්තකයෝ එකඟ නොවූහ. මරණින් මතු නැවත උත්පත්තිය පිළිබඳ දැඩි ව විශ්වාස කළ ඔවුහු මරණින් නොමැරෙන යම් කිසිවක්‌ මිනිසා තුළ ඇත යි ද තදින් ම විශ්වාස කළහ. ජීවිතයක්‌ ඇරඹීමට අවශ්‍ය ශරීරය (භෞතික) ශුක්‍රාණු - බීජාණු සම්බන්ධයෙන් සිදු වේ. එහෙත් එය කිසිදු විධියකින් නව ජීවිතය හෙවත් ප්‍රාණය ඇති වීමට අවශ්‍ය කාරණා සම්පූර්ණ වීමක්‌ නොවේ. පෞද්ගලික ජීවාත්මය බීජයෙහි ප්‍රකට ව තමාට නියම ව ඇති ස්‌වරූපය ගන්නේ යෑයි උපනිෂද් චින්තකයන්ගේ විශ්වාසය විය. ඒ අනුව ළදරුවකු උපදින සෑම අවස්‌ථාවක දී ම ඊශ්වර විසින් අලුත් ආත්මයක්‌ මවනු ලැබේ ය යන දේවධර්මවාදී සංකල්පය ප්‍රතික්‌ෂේප වේ.

පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාසය මුලින් ම සඳහන් වන පාඨ ඡාන්දෝග්‍ය, බෘහදාරණ්‍යක උපනිෂද්වලට අයත් වෙයි. පුනරුත්පත්තිවාදයේ ආරම්භක අවස්‌ථාව පුනර්මෘත්‍යq සංකල්පය යි. පුනර් ජන්මයට පෙර ම මරණය ඔවුන් අවධාරණ කළේ ඔවුන්ගේ ආගම හා දර්ශනය නොමැරෙන තත්ත්වය හෙවත් අමෘතත්වය ගැන විශේෂ සැලකිල්ලක්‌ දැක්‌ වූ නිසා ය.

එහෙත් පුනරුත්පත්තිය මරණින් පසු තත්ත්වය පිළිබඳ ව මූලික උපනිෂද්වල කර ඇති විවරණවලින් පවා සෑහීමකට පත් නොවූ බවක්‌ පෙනෙන්නට තිබේ. එහෙයින් පශ්චාත් කාලීන උපනිෂදයක්‌ වන කඨෝපනිෂදයෙහි ද මරණයෙන් පසු මිනිසාට කුමක්‌ වන්නේ ද යන්න පිළිබඳ වූ සංéග්ධ ස්‌වභාවය නැවත ප්‍රශ්න කෙරී ඇත. නචිකේතස්‌ විසින් යමගෙන් ලබාගන්නා වරයක්‌ ලෙසින් එකරුණ ඉදිරිපත් වී ඇත.

"යේ'යං ප්‍රේතේ විචිකිත්සා මනුෙෙෂ්‍ය'ස්‌තීෙත්‍යaකේ නායමස්‌තීති චෛකේ,

එතද්විද්‍යාමනුශිෂ්ටස්‌ත්වයා'හං වරණාමේෂ වරස්‌තෘතීයම්."(lG. ෂග1ග20)

(මිනිසකු මැරුණු විට මෙවන් සැකයක්‌ ඇති වෙයි. 'ඔහු ඇත' යි එකෙක්‌ කියයි. 'ඔහු නැත' යි අනෙකෙක්‌ කියයි. ඔබ විසින් අනුශාසනය කරනු ලැබ මෙය දැන ගන්නෙමි. වර අතුරෙන් තෙවැන්න මෙය යි.)

උපනිෂද් ඉතිහාසයේ කඨෝපනිෂදයට හිමි ව අත්තේ අනෙකුත් (ජාන්දෝග්‍ය, බෘහදාරණ්‍යක ආදී) උපනිෂදයන්ට වඩා අඩු අතීතයකි. කඨෝපනිෂදයේ තැනින් තැන විසිරී ඇති, මරණය හා (නැවත) උත්පත්තිය පිළිබඳ වූ අදහස්‌ රාශිය විමසා බලන විට පැහැදිලි වන කරුණක්‌ නම් දීර්ඝ කාලයක්‌ පුරා විවිධ දාර්ශනිකයන් විසින් විවිධ වූ අදහස්‌ ඉදිරිපත් කරන ලද බව යි.

කර්මානුරූප ව ඊළඟ භවය ලැබෙන බව පෙන්වා දීම සඳහා භාවිත කළ පහත දැක්‌වෙන මනහර උපමාව තවදුරටත් තහවුරු කරන්නේ කර්මය හා පුනරුත්පත්තිය පිළිබඳ ව තත් කාලීන ව පැවති සංවාදයේ සමෘද්ධ භාවය යි.

"පීතෝදකා ජග්ධතෘණා දුග්ධදෝහා නිරින්ද්‍රියා,

අනන්දා නාම තේ ලෝකාස්‌තාන් ස ගච්ඡත තා දදත්." ( lGගෂග1ග2)

තණ කා, දිය බී, කිරි දොවා අවසන් කළ (පැටවුන් වැදීමෙහි ශක්‌තියෙන් තොර වූ පලක්‌ නැති) දෙනුන් දානය කරන්නාහු එබඳු ම වූ ප්‍රීතියෙන් තොර වූ ලෝක ලබන්නාහු ය.

මිනිසාගේ ජන්ම-මරණ පරම්පරාව සිදුවන ආකාරය පැහැදිලි කිරීම සඳහා භාවිත ධාන්‍ය උපමාව ද අවබෝධය බෙහෙවින් පුළුල් කරන්නකි. මිනිසා දිගින් දිගට ම මරණයටත් නැවත ඉපදීමටත් ගොදුරු වන බව කඨෝපනිෂදය පෙන්වා දෙයි. "පෙර වූවන් අනුව බලන්න, එසේ ම අනෙක්‌ (වර්තමානයේ) අය දෙස ද බලන්න. මිනිසා ධාන්‍ය මෙන් පැසෙයි, ධාන්‍ය මෙන් නැවත උපදියි." පරපුරින් පරපුරට පිය-පුතුන් වශයෙන් අවසන් වීමක්‌ නොමැති ව සසර ගමන් කරන අයුරු පෙන්වා දීමට භාවිත කෙරුණේ සස්‍ය උපමාව යි. සස්‍ය පැසීමට පත් වන අතර පැසුණු සස්‍ය වැපිරීමෙන් ඒවා රෝපණය වී නැවත සස්‍ය ඇති වෙයි. යළි ඒවා පැසෙයි.

"අනුපශ්‍ය යථා පූර්වේ - ප්‍රතිපශ්‍ය තථාපරේ,

සස්‍යමිව මර්ත්‍යඃ පච්‍යතේ - සස්‍යමිවාජායතේ පුනඃ." (lGගෂග1ග7)

කර්මය වෙනස්‌ වන අතර පරමාත්මය වෙනස්‌ නොවී පවත්නා බව උපනිෂද් චින්තකයන්ගේ අදහස යි. මරණයෙන් එය විනාශයට පත් නොවේ. මරණය තවත් ජීවිතයකට පිවිසීමක්‌ පමණි. මිනිසාගේ හැසිරීම (කර්ම) ඔහුගේ උත්පත්තිය සම්බන්ධයෙන් බලපාන බවට සාධක කොතෙකුත් ලබාගත හැකි ය. මේ එවන් එක්‌ ස්‌ථානයකි.

"තද් ය ඉහ රමණීයචරණාඃ අභ්‍යාශෝ හ යත් තේ රමණීයාම් යෝනිම් ආපෙද්‍යරන්, බ්‍රාහ්මණයෝනිම් වා ක්‍ෂත්‍රියයෝනිම් වා වෛශ්‍යයෝනිම් වා අථ ය ඉහ කපූයචරණඃ අභ්‍යාශෝ හ යත් තේ කපූයම්යෝනිම් ආපෙද්‍යරන් ශ්වයෝනිම් වා සූකරයෝනිම් වා චණ්‌ඩාලයෝනිම් වා." (ඡා.උ.ඪග10ග7)

(යහපත් හැසිරීමක්‌ ඇති තැනැත්තා ඉක්‌මනින් ම බ්‍රාහ්මණයකු ක්‍ෂත්‍රියකු හෝ වෛශ්‍යයකු ලෙස යහපතක්‌ උපත් ලබනු ඇත. එහෙත් හැසිරීම නරක වූයේ යම් අයගේ ද ඔවුන් ඉක්‌මනින් ම බල්ලකු ඌරකු හෝ චණ්‌ඩාලයකු වැනි අයහපත් උපතක්‌ ලබනු ඇත.)

එහෙත් මේ දෙක ම නොකරන තැනැත්තන් ක්‍ෂුද්‍ර ජීවීන් ලෙස සංසාරයෙහි ඉපදෙමින්, මැරෙමින් කරකැවෙන බව ඡාන්දෝග්‍ය උපනිෂදයේ ම තව දුරටත් දැක්‌වේ. ( ඡා.උ.ඞග10ග8)

කෞෂීතකී උපනිෂදයට අනුව අයහපත් හැසිරීම් ඇති අයට පහත් කුලවල ඉපදීම පමණක්‌ නොව තිරිසන් යෝනිවල ඉපදීමට පවා සිදුවන බව අවධාරණ කෙරෙයි. එමෙන් ම තමන් කරන ක්‍රියාවන් පමණක්‌ නොව එහි දී තමන්ගේ දැනීමේ ප්‍රමාණය ද මතු ජන්මය ඇති කරලීමට ඉවහල් වන බව කියෑවේ. (කෞ.උ.ෂග2ග)

මුණ්‌ඩක උපනිෂදයෙහි සඳහන් වන ආකාරයට ඥානයෙන් තොර ව අෂ්ටාදශශාස්‌ත්‍රයන් හැදෑරීමෙනුත් යාග කිරීමෙනුත් බ්‍රාහ්මණත්වය අවබෝධ කරගත හැකි යෑයි සිතන මෝඩයෝ නැවත නැවත ජරා මරණයට ම යති.

"ප්ලවා ෙහ්‍යaතේ අදෘඪා යඥරූපා අෂ්ටාදශෝක්‌තමවරම් යේෂු කර්ම,

එතච්ඡේ්‍රයෝ යේ'භිනන්දන්ති මූඪා ජරාමෘත්‍යqම් තේ පුනරේවාපි යාන්ති." (මු.උ.ෂග2ග7ග)

එසේ ම අවිද්‍යාවෙහි බහුල ව (ගැලී) සිටින්නා වූ බාලයන් 'අපි කළ කිස අත්තෙමු' යෑයි හඟින බවත් හුදෙක්‌ යාගය ආදි කොට ඇති කමර් පමණක්‌ කිරීමෙන් ඔවුන් රාගය නිසා (සත්‍යය) අවබෝධ නොකරන බවත් ඒ හේතුවෙන් ඔවුන් නරකයට යන බවත් තව දුරටත් මුණ්‌ඩක උපනිෂදයෙහි ම සඳහන් වී තිබේ. (මු.උ. ෂග2ග9)ග

මරණින් පසු මිනිසා මාර්ග දෙකකින් එකක ගමන් කරන්නේ ඔහුගේ කර්ම ශක්‌තිය අනුව ය. ඥානයෙන් (අවබෝධයෙන්) යුක්‌ත ව යහපත් කර්ම කළ උදවිය යන මග 'දේවයානය' (දෙවියන්ගේ යානය) වශයෙන් හැඳින්වේ. අනෙක අවබෝධයෙන් තොර ව යහපත් කටයුතු කළවුන් යන මග යි. එය පිතෘයානය නම් වේ. පිතෘයානයෙන් ගිය අය සිය කර්ම ශක්‌තීන් අවසන් වූ පසු හිටි තැනට ම ආපසු පැමිණෙති. මේ ද්විධ මාර්ගය පිළිබඳ විස්‌තරය එන්නේ ඡාන්දෝග්‍ය උපනිෂදයෙහි ය. (ඩ.10)

දේවයාන හෙවත් අර්චිමාර්ගය වැටී ඇත්තේ අග්නි වැනි තල ඔස්‌සේ බ්‍රහ්මගේ භවන හෙවත් සත්‍ය ලෝකයට ය. එහි සිට ආපසු ඒමක්‌ නැත. පිතෘයාන හෙවත් ධූම මාර්ගය (අඳුරු මාර්ගය) දුම, රාත්‍රිය යනාදී විවිධ වටයන් ඔස්‌සේ චන්ද්‍රලෝකය කරා වැටී ඇත. අන්ධකාරයෙන් අන්ධකාරයට පමුණුවන මාර්ගය වශයෙන් පිතෘයානය හඳුන්වනු ලබන අතර 'ආලෝකයෙන් ආලෝකය' (ජ්‍යෙdaතිෂාං ජ්‍යෙdaතිස්‌) නමින් දේවයානය හඳුන්වනු ලැබේ.

මරණින් පසු සියලු දෙනා ම චන්ද්‍ර ලෝකයට යන බවත් ඊට පසු එතැනින් සමහර දෙනෙක්‌ පිතෘමාර්ගය ඔස්‌සේ බ්‍රහ්ම කරා යන බවත් සඳහන් වේ. සෙසු අය තම තමන්ගේ ක්‍රියාවල ගුණය හා ඥාන ශක්‌තිය අනුව මිනිසාගේ සිට පණුවා දක්‌වා වූ ඒ ඒ ජීවිත කරා ආපසු පැමිණෙති. (කෞ.උ.ෂග2ග)

පුනරුත්පත්තිය සිදුවන ආකාරය ක්‍රම කීපයකින් විස්‌තර වී ඇත.

සග තණපතක්‌ මුදුනට බඩගා ඉන් පසු වෙනත් තණ පතකට ඇදෙන දළඹුවකු සේ මිනිසා ද තම සිරුර අත්හැර දැමීමෙන් පසු වෙනත් භවයකට ඇදී යයි. (තද්‍යථා තෘණජලායුකා තෘණස්‍යාන්තම් ගත්වා අන්‍යම් ආක්‍රමම් ආක්‍රම්‍ය ආත්මානම් උපසංහරති. ඒවම් ඒවායම් ආත්මා ඉදම් ශරීරම් නිහත්‍ය අවිදාම් ගමයිත්වා අන්‍යම් ආක්‍රමම් ආක්‍රම්‍ය ආත්මානම් උපසංහරති) (බෘ.උ. ෂඪග4ග3)

සසග රන්කරුවා රන් කැබැල්ලක්‌ ගෙන එය ඊට වඩා අලුත් සුදුසු ස්‌වරූපයකට පමුණුවන ආකාරයට ආත්මය තම සිරුර හැර දමා, තමා ලබා ඇති ඥාන තත්ත්වය ද රැකගෙන වඩා අලුත් වූ ද සුදුසු වූ ද ලොවට සරිලන්නා වූ ද ස්‌වරූපයක්‌ මවයි. (තද්‍යථා පේශස්‌කාරී පේශසෝ මාත්‍රාම් උපදාය අන්‍යම් නවතාරම් කල්‍යාණතරම් රූපම් තනුතේ ඒවම් ඒවායම් ආත්මා ඉදම් ශරීරම් නිහත්‍ය, අවිද්‍යාම් ගමයිත්වා අන්‍යම් නවතාරම් කල්‍යාණතරම් රූපම් කුරුතේ පිත්‍රHම් වා ගාන්ධර්වම් වා දෛවම් වා ප්‍රජාපත්‍යම් වා බ්‍රාහ්මණම් වා අෙන්‍යaෂාම් වා භූතානම්) (බෘ.උ.ෂඪග4ග4)

උපනිෂදයන්හි දැක්‌වෙන මිනිසාගේ මරණින් පසු තත්ත්වය (පුනර්ජන්මය) මෝක්‌ෂය (බ්‍රහ්මසහව්‍යතාව) ලබන තුරු අඛණ්‌ඩ ව සිදු වෙමින් යන උත්පත්තිය යි. අයහපත් දෑ කරන අයට පමණක්‌ නොව යහපත් දෑ වුව ද අනවබෝධයෙන් කරන අයට පවා මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවේ. මරණයට පත් වන හැම මිනිසකු ම ලබන අනන්තර ජන්මය තීරණය වන්නේ ඔහු විසින් කර ඇති කර්ම සමුදාය මගිනි. බුදුදහමෙහි ඉගැන්වෙන කර්ම පිළිබඳ ඉගැන්වීම මෙන් නොව මෙහි දී (උපනිෂද්වල දී) ඉගැන්වෙන කර්ම සිද්ධාන්තය නියතියකි. ඒ අනුව "සැප දුක්‌ දෙක මුසු හැම ජීවිතයක්‌ ම පසුගිය ජීවිතයක කර්මයන්ගේ අනිවාර්ය ප්‍රතිඵලයක්‌ වන අතර එම වර්තමාන කර්ම අනාගත ජීවිතයට හේතු වන බව" ඔවුනගේ විශ්වාසය විය. (හිරියන්න, 56 පිටුව) ඉහත දක්‌වන ලද යාඥවල්ක්‍ය හා ආර්තභාග අතර වූ සංවාදයේ දැක්‌වෙන පරිදි එක ජීවිතයක අවසානයත් ඊළඟ ජීවිතයේ ආරම්භයත් අතර විවේක කාලයක්‌ නැත.

කඨෝනිෂදයේ කාලය වන විට මිනිසා අනිවාර්යයෙන් ම මරණයට පත් වන බව දැන සිටිය ද (ïවිෂ්‍යාමෝ යාවදීශිෂ්‍යසි ත්වං-ඔබ (මාරයා) කැමති වන තාක්‌ ජීවත් වන්නෙමු.) "මරණින් පසු?" යන ප්‍රශ්නයට ලැබුණු පිළිතුරෙන් සෑහීමකට පත් වී නැති බවක්‌ පෙනේ.

එහෙයින් නචිකේතස්‌ තමන්ට ලැබුණු අවස්‌ථාවෙන්, එනම් යම (මාරයා) හමුවේ දී එම ප්‍රශ්නය නිරාකරණ කරගැනීමට සිය උපරි ම උත්සාහය දරයි. ඔහු වෙනතකට හරවන්නට යම දැරූ උත්සාහය නිෂ්ඵල වෙයි. නචිකේතස්‌ගේ ප්‍රශ්නය මග හැර යන්නට උත්සාහ කරන යම ඒ සඳහා හේතු වශයෙන් දක්‌වන්නේ "මේ ගැන පූර්වයෙහි දී දෙවියන් විසින් පවා සැක උපදවන ලදී. මේ ධර්මය වූ කලී ඉතා සියුම් ය, පහසුවෙන් වටහාගත හැකි නොවෙයි." ඉහත දක්‌වන ලද යාඥවල්ක්‍යගේ ක්‍රියාව තුළින් මතු වූ ප්‍රහේලිකාවට කිසියම් පිළිතුරක්‌ යමගේ පිළිතුරත් සමග ලැබෙයි. එහෙත් අවසානයේ දී යම විසින් කරන ලද පැහැදිලි කිරීම යාඥවල්ක්‍යගේ පැහැදිලි කිරීමට වඩා ඉදිරියට ගමන් කරන්නකි. ආත්මය රිය හිමියා ලෙසත් ශරීරය රථය ලෙසත් බුද්ධිය රථාචාර්යයා ලෙසත් සිත තෝන් ලනුව ලෙසත් උපමා මගින් පෙන්වා දෙන යම මනස සංවර කිරීමෙන් ඉන්ද්‍රිය සංවරය ලද හැකි බවත් ඒ මගින් 'ආත්මය' අවබෝධ කට හැකි බවත් පෙන්වා දෙයි. ආත්මාවබෝධය ලැබූ තැනැත්තා නැවත නොඋපදින බව යම පැහැදිලි කර දෙයි. එහෙත් නොදැමුණු සිත් ඇති ව අපරිශුද්ධ ව මනසින් (නුවණින්) තොර ව වාසය කරන තැනැත්තා සංසාරය ම ලබයි. (lG.ෂග3ග3-9)

ආශ්‍රිත ග්‍රන්ථ :

Rග්වේදම්, සංස්‌කෘතිසංස්‌ථාන, බරේලි (ඉන්දියා), 1996 (Rග්වේදය)

ශතපථබ්‍රාහ්මණම්, ආනන්දාශ්‍රමසංස්‌කෘතග්‍රන්ථමාලා, ඉන්දියාව, 1971 (ශපබ්‍රා)

බෘහදාරණ්‍යක උපනිෂද්, ශ්‍රී රාමකෘෂ්ණ මාත්, මදුරාසිය,1951 (බෘ.උ.)

ඡාන්දොග්‍ය උපනිෂද්, ශ්‍රී රාමකෘෂ්ණ මාත්, මදුරාසිය,1956 (ඡා.උ.)

කඨොපනිෂද්, (Eight Upanishads) අද්වෛත ආශ්‍රම්, කල්කටා, 1996 (lG)

මුණ්‌ඩකොපනිෂද්, (Eight Upanishads) අද්වෛත ආශ්‍රම්, කල්කටා, 1996 (මු.උ.)

කෞශීතකී උපනිෂද්, ශ්‍රී රාමකෘෂ්ණ මාත්, මදුරාසිය,1956 (කෞ.උ.)

කඨොපනිෂදය, සුමනලාල් කැකුළාවල, කොළඹ, 1961

රාධා ක්‍රිෂ්ණන්, එස්‌.( ඉන්දීය දර්ශනය 1. කාණ්‌ඩය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ, 1970

හිරියන්න, ඇම්.( සංක්‍ෂිප්ත ඉන්දීය දර්ශනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ, 1970

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles