Divaina - ඇමරිකන් ගිවිසුම පිළිබඳව යළි සිතා බැලිය යුත්තේ ඇයි?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

සිසිල් අතුකෝරාළ
 
 amarikaආණ්ඩුව විසින් ඇමරිකා එක්සත් ජනපදය සමග ඇති කර ගෙන ඇතැයි කියනු ලබන ආරක්‍ෂක ගිවිසුම බලාත්මක කිරීමට ආණ්ඩුවට නොහැකිව ඇත්තේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ඊට කිසිත් සහයක් නොලැබීම නිසා බව පවසමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මහතා දිවයින පුවත්පතට (19.05.29* සපයා තිබුණ තොරතුර අප කිසිවකුටත් සුළුකොට තැකිය හැකි කරුණක් නොවේ.
 
 චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේදී මුල්වරට ඇති කර ගත්තේ යැයි කියනු ලබන මෙම ආරක්‍ෂක ගිවිසුම පසු කලෙක ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින්ද දීර්ඝ කරන ලදුව කල් ඉකුත් වූ එකකි. එදා පැවැති ආණ්ඩු ඒ අන්දමට එවැනි ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කරන්ට ඇත්තේ එදා රට අභ්‍යන්තරයේ පැවැති කොටි ත‍්‍රස්තවාදය නිසා විය හැක. කොටි ත‍්‍රස්තවාදය පරාජය කොට වසර දහයක් ගෙවී ගිය පසු යළිත් එම පැරණි ආරක්‍ෂක ගිවිසුම අලූත් මුහුණුවරකින් බලගැන්වීමට ආණ්ඩුවට ඇති වුවමනාව රටවැසි අපට
 
 ගැටලූවකි. ඇමරිකා එක්සත් ජනපදය යුද්ධමය අතින් බලවත් රාජ්‍යයකි. නේටෝ යුද්ධ ගිවිසුම් සංවිධානයේ කටයුතු මෙහෙයවන්නේද ඇමරිකා එක්සත් ජනපදය විසිනි. ලෝකයේ ඇති බලකඳවුරුවලට නොබැඳී කටයුතු කිරීමේ වගකීමක් රජයට ඇත.
 
 ලංකාව භෞමික වශයෙන් වැදගත් යුද මධ්‍යස්ථානයක් බව බටහිර රටවල යුද්ධ විශේෂඥයන් හොඳින් වටහාගෙන ඇති කරුණකි. ඇමරිකාව සමග යුද්ධ ආරක්‍ෂක ගිවිසුම් ඇති කර ගැනීම යනු නැටෝ යුද්ධ කි‍්‍රයාකාරකම් අනියමින් ලංකාව තුළට ගෙන ඒමට මගපෑදීමකි. එය අපට පමණක් නොව, ඉන්දියානු සාගරය යු මුක්ත සාම කලාපයක් ලෙස පවත්වා ගැනීමට කටයුතු කරන අපේ අසල්වැසි රාජ්‍යයන්ටද ප‍්‍රශ්නයක් වීමට බැරි නැත. ආසියාවේ ප‍්‍රබල රාජ්‍යයක් ලෙස සැලකෙන චීනයත්, එසේම බටහිර ධනවත් රාජ්‍යයක් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයත් ඉන්දියානු සාගර කලාපය තුළ සිය යුද්ධ, ආර්ථික හා දේශපාලන බල ආධිපත්‍ය පවත්වා ගැනීම සඳහා විශාල අරගලයක යෙදී සිටී. 1948 ශී‍්‍ර ලංකාව බි‍්‍රතාන්‍ය පාලනයෙන් මිදී නිිදහස් ඩොමිනියන් පාලනයක් ලබාගත්තේය. ඊට සමගාමීව කි‍්‍රයාත්මක වූ යුද්ධ ආරක්‍ෂක ගිවිසුමකට යටත්වය. එහි ප‍්‍රතිඵලය වූයේ ලංකාව එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා අට අවුරුද්දක් බලා සිටීමය. බොහෝ රාජ්‍යයන් ශී‍්‍ර ලංකාව නිදහස් රාජ්‍යයක් ලෙස පිළිගැනීම ප‍්‍රතික්‍ෂේප කළේය. ශී‍්‍ර ලංකාවට එහි සාමාජිකත්වය ලබාගත හැකි වූයේ 1955 වසරේදීය. බි‍්‍රතාන්‍යයද නේටෝ යුද්ධ සාමාජික රටකි.
 
 ඉහත කී ආරක්‍ෂක ගිවිසුම යටතේ ලංකා රජය ති‍්‍රකුණාමල නාවික වරාය සහ කටුනායක ගුවන් කඳවුර එලෙස බි‍්‍රතාන්‍ය යුද්ධ අවශ්‍යතාවන් සඳහා පාවිච්චි කිරීමට ඉඩ අවසරදී තිබීම එදා මෙරට සිටි බොහෝ විචාරකයන්ගේ විවේචනයට ලක්වූ කරුණක් විය. 1957 වසරේදී එවකට ලංකාවේ අගමැති ධුරය දැරූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා විසින් එම කඳවුරු ඉවත් කර දෙන මෙන් බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා සිටීමට සිදුවූයේ එබැවිනි. එවකට බි‍්‍රතාන්‍ය අගමැතිවරයාව සිටි සර් ඇන්තනි ඊට ප‍්‍රතිචාර වශයෙන් කළේ ති‍්‍රකුණාමලය සහ කටුනායක තිබූ බි‍්‍රතාන්‍ය කඳවුරු ඉවත් කර ගැනීම පමණි. එම ආරක්‍ෂක ගිවිසුම අහෝසි කිරීමත් එතැනදී සිදු නොවින. අගමැති බණ්්ඩාරනායක හෝ අගමැති ඇන්තනි ඊඩන් ආරක්‍ෂක ගිවිසුම පිළිබඳව එහිදී කිසිදු පැහැදිලි කිරීමක් කර තිබුණේ නැත.
 
 1977 දී සිදුවූ ආණ්ඩු පෙරළියත් සමග බලයට පත් ජේ. ආර්. ජයවර්ධන මහතා කියා සිටියේ 1947 දී අත්සන් කරන ලද ආරක්‍ෂක ගිවිසුම එතෙක් බලයට ආ කිසිදු ආණ්ඩුවක් විසින් හෝ අහෝසි කර නැති බවය. 1977 සැප්තැම්බර් 26 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ඩිප්ලෝමා සහතික ප‍්‍රදානෝත්සවය අමතමින් ජේ. ආර්. ජයවර්ධන මහතා ඒ කරුණ පැහැදිලි කර තිබුණේ මෙසේය.
 
 ”1947 අපි නිදහස් රටක් බවට පත් වන විට අවුරුදු 140 කට ආසන්න කාලයක් අප මුහුණ දෙමින් සිටි ප‍්‍රශ්න ගැන දැන සිටියා. බණ්ඩාරනායක මහතාත් මමත් ඒ ගැන හොඳින් දැන සිටියා. අපට තිබුණේ නැහැ අපව ආරක්‍ෂා කරන්න සන්නද්ධ සේවාවක්. අපිව ආක‍්‍රමණය කරන්න එන ඕනෑම රටක් ඉදිරියේ අප අසරණවයි හිටියේ. එම නිසා ඞී. ඇස්. සේනානායක මහතා තීරණය කළා අපට ආරක්‍ෂාව අවශ්‍ය වුවහොත් අපට උදව්වට ආ හැකි පොදු රාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවන් වන එක්සත් රාජධානිය සමග රැුඳී සිටින්න. ඒ ගිවිසුම අදටත් වලංගුයි. 1947 සිට ආණ්ඩු ගණනාවක්ම බලයට පත්වී ඇතත් කිසිම ආණ්ඩුවක් අදටත් එය අහෝසි කිරීම සුදුසු යැයි කල්පනා කර නැහැ.’’
 
 1972 ඇති කළ 1 වැනි ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 සහ 14 වගන්තිවල සඳහන්ව ඇති කරුණු කියවා බලන විට අපට වැටහී යන්නේ 1947 ආරක්‍ෂක ගිවිසුම ගැන ජේ. ආර්. ජයවර්ධන මහතා ප‍්‍රකාශ කර තිබූ සියලූ කරුණු කිසියම් නෛතික පදනමක් මත කළ ඒවා බවය. එම ව්‍යවස්ථාවේ 13 සහ 14 වගන්තිවලින් ප‍්‍රකාශ කර තිබුණේ මෙයයි.
 
 13 වගන්තිය -
 
 ලංකාවේ මහා රාජණියවූද ස්වකීය වෙනත් රාජ්‍යයන්හි හා දේශයන්හි හා මහා රාජණීය වූද පොදු රාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා වූද, එළිසබෙත් මහා රාජනීය ලංකාවේ මහා රාජණීය වූද ස්වකීය වෙනත් රාජ්‍යයන්හි හා දේශයන්හි මහා රාජණීය වූද දෙවැනි එළිසබෙත් මහා රාජණීය විසින් කි‍්‍රයාත්මක කළ හැකි වූද බලතල සහ වරප‍්‍රසාද පරිහාර හා අයිතිවාසිකම් ද ඇතුළු සියලූ බලමහිමය ජාතික රාජ්‍ය සභාව වෙනත් නීති පැන වුවහොත් මිස ශී‍්‍ර ලංකා ජනරජයට හිමිවන්නේය. ශී‍්‍ර ලංකා රජය ඒ සියලූ බල මහිමය දරා කි‍්‍රයාත්මක කරන්නේය. තවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක වීම ආරම්භ වන තෙක් ලංකාවේ මහා රාජණීය වූ ද ස්වකීය වෙනත් රාජ්‍යයන්හි හා දේශයන්හි මහා රාජණීය වූද පොදු රාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා වූද දෙවැනි එළිසබෙත් මහා රාජණීය විසින් කවර වූ හෝ ආකාරයකින් ඇතිව ලංකාවේ ඉටු කළ යුතු වූ යුතුකම් හා බැඳීම් ජාතික රාජ්‍ය සභාව වෙනත් නීති පැනවුවහොත් මිස ශී‍්‍ර ලංකා ජනරජය වෙත පැවරෙන්නේය.
 
 14 වගන්තිය -
 
 කවර වූ හෝ ආකාරයකින් ඇතිව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක වන තෙක් ලංකාණ්ඩුවට අයත්ව තිබුණා වූ යම්කිසි අයිතිවාසිකමක් යුතුකමක් හෝ බැඳීමක් හෝ වේද, ඒ සියලූ අයිතිවාසිකම් යුතුකම් හා බැඳීම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ශී‍්‍ර ලංකා රජයට පැවරෙන්නේය.
 
 ඉහත දැක්වෙන වගන්තිවලින් කියැවෙන්නේ 1 වැනි ජනරජ ව්‍යවස්ථා කි‍්‍රයාත්මක වීමට පෙර ලංකාවට අයත්ව තිබුණා වූ යම්කිසි අයිතිවාසිකමක් යුතුකමක් හෝ බැඳීමක් වේද ඒ සියලූ අයිතිවාසිකම් යුතුකම් සහ බැඳීම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ශී‍්‍ර ලංකා රජයට පැවරී ඇති බවය. 1947 දී අත්සන් කරන ලද ආරක්‍ෂක ගිවිසුමේ දැක්වෙන කොන්දේසිවලට යටත්ව කටයුතු කිරීමට ලංකාව බැඳී ඇති සැටි ඉන් පැහැදිලිය. එය ද්විපාක්‍ෂික ගිවිසුමක් වන අතර එය ඒකපාක්‍ෂිකව අහෝසි කළ හැකි ගිවිසුමක් නොවන බව මෙහිලා කිව යුතුව ඇත. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේද එම ආරක්‍ෂක ගිවිසුම ගැන කිසිදු කරුණු පැහැදිලි කිරීමක් කර නැති බවද කිව යුතුය. එහෙත් එය එම ගිවිසුමේ නෛතික වලංගුභාවයට ප‍්‍රශ්නයක් නොවන බව අප මෙහිදී සිහි තබාගත යුතුව ඇත. එම ආරක්‍ෂක ගිවිසුම බි‍්‍රතාන්‍ය රජය සහ ලක් රජය එක්ව අත්සන් කොට ඇති ද්විපාර්ශ්වික එකඟතාවකි. එබැවින් ඒ පිළිබඳව ඇති ගැටලූව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පිටස්තරව විසඳා ගත යුතු කරුණකි.
 
 එය එසේ වුවත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ද සිය ධුර කාලය තුළ එම ආරක්‍ෂක ගිවිසුම වෙනස් කරන්නට හෝ අහෝසි කරන්නට කිසිදු පියවරක් ගෙන නොතිබීමද සුවිශේෂ කරුණකි. නේටෝ යුද්ධ සංවිධානයේ සාමාජික රටක් වූ මහා බි‍්‍රතාන්‍ය සමග ඇති කර ගෙන තිබුණ එම ආරක්‍ෂක ගිවිසුම ජේ. ආර්. ජයවර්ධන මහතාට පෙනෙන්ට ඇත්තේ එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්මට හිතකර දෙයක් ලෙසය. එතුමා ජනාධිපතිවරයාව සිටි අවධියේ රජයේ පාසල්වල 10 වැනි ශ්‍රේණියේ භාවිතය සඳහා වූ නවසමාජ අධ්‍යයන පොතෙහි 98 වැනි පිටුවෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කරුණු පහදා දී තිබුණේ මෙසේය.
 
 ‘‘වෝසෝ ගිවිසුමට ඇතුළු වී ඇති සමාජවාදී යැයි සම්මත රටවල් ද නැටෝ ගිවිසුමෙන් බැඳී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී යැයි සම්මත රටවල් ද පිල් දෙකකට බෙදී ඇත.’’
 
 මෙම කරුණ එවකට ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍රවරයාව සිටි අමරසිරි දොඩංගොඩ මහතා විසින් 1987 දෙසැම්බර් 15 දා පාර්ලිමේන්තුවේදී මතු කළ අතර එය එදින නිකුත් කළ පාර්ලිමේන්තු හැන්සාඞ් වාර්තාවේ 1618 පිටුවේ සඳහන්ව ඇත.
 
 බි‍්‍රතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් දෙකම නැටෝ යුද්ධ සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයන් වෙයි. පැරණි අධිරාජ්‍යවාදී රාජ්‍යයන් ලෙස සැලකෙන පෘතුගාලය, නෙදර්ලන්තය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය, බෙල්ජියම සහ ජර්මනියද ප‍්‍රජාතන්ත‍්‍රවාදි යැයි සම්මත බව කියැවෙන නැටෝ යුද්ධ ගිවිසුම් සංවිධානයේ සාමාජික රටවල්ය. ඒ අතරම අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හැඳින්වෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වශයෙනි. වෝසෝ යුද ගිවිසුම සෝවියට් දේශය කඩා වැටීමත් සමග අහෝසි වී ගොස් ඇත. නැටෝ යුද්ධ ගිවිසුම් සංවිධානය දැනට කි‍්‍රයාත්මකව පවතින එකකි. ප‍්‍රජතන්ත‍්‍රවාදය හා යුද ගිවිසුම් අතර ඇති සම්බන්ධය අපට ගැටලූවකි.
 
 ඇමරිකා එක්සත් ජනපදය සමගත් ආරක්‍ෂක ගිවිසුමක් ඇති කර ගැනීමට තරම් යුද බියක් ලංකාව තුළ අපට දක්නට නැත. නැටෝ යුද ගිවිසුම් සංවිධානයට අයත් බොහෝ සාමාජික රටවල් යටත් විජිතවාදය ලොව පුරා පවත්වාගෙන ගිය රටවල් බව අපි හොඳින් දනිමු. නැටෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අප කෙසේවත් පිළිගත යුතු නොවේ. අපේ පාසල්වල භාවිතය සඳහා යොදාගෙන ඇති සමාජ අධ්‍යයන පොතින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන වැරදි කරුණු සිසු මනසට දැමීම බලවත් වරදකි. 1987 දෙසැම්බර් 15 දින නිකුත් කළ හැන්සාඞ් වාර්තාවේ අමරසිරි දොඩංගොඩ මන්තී‍්‍රතුමා කර තිබූ
 
 ඉහත කී හෙළිදරව්ව ගැන එදා සිට අද දක්වාම හඬක් නැඟූ වෙනත් දේශපාලනඥයෙක් ගැන මෙතෙක් අප අසා නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී යැයි සම්මත රටවල් නැටෝ යුධ ගිවිසුම් සංවිධානයට අයත් යැයි පාසලින් උගන්වන විට අපේ දේශපාලනඥයන් සියලූ දෙනා ඇස් කන් පියාගෙන සිටියහ.
 
 එම බියකරු ඉගැන්වීම ගැන පාර්ලිමේන්තුව තුළ ප‍්‍රශ්නය මතු කළ වේලේ එහි සිටි කිසිදු මන්තී‍්‍රවරයකුට එය ඔවුන්ගේ ඇෙඟ් වැසූ මැස්සකු තරමටවත් ගණන් නොගත්තේය. නේටෝ යුධ ගිවිසුම් සංවිධානය ගැන අප කතා කළ යුතුව තිබුණේ එදාය. ආරක්‍ෂක ගිවිසුම් ගැන අද කරන කතා අශ්වයා ගිය පසු ඉස්ථාලය වැසීමක් වැනි බව දැඩි සංවේගයෙන් කිව යුතුව ඇත. දැන උගත් පුද්ගලයන් දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළ දක්නට නොසිටීම ජාතික ආරක්‍ෂාවට විශාල තර්ජනයකි.

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles