Divaina - දුටුගැමුණු රජ සමය තෙක්‌ දිවෙන ඓතිහාසික රිදීවිහාරේ පෙරහැර මංගල්‍යය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new


  dhutu
 
 ශාස්‌ත්‍රවේදී හෙම්මාතගම පියදස්‌සි හිමි
 මල්වතු මහාවිහාරවාසී සහ කුඹුරුලෙන ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙණේ පරිවෙණාචාර්ය
 
කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ රිදීගම පිහිටි ඓතිහාසික රිදී විහාරය පුරාවිද්‍යාත්මක මෙන්ම කලාත්මක ආදී අංශ කිහිපයකින්ම වැදගත්කමක්‌ උසුලන පුණ්‍ය භූමියකි. මේ දිනවල රිදී විහාරය සහ තදනුබද්ධ සත්පත්තිනි කුමාර බණ්‌ඩාර දේවාලයන්හි පෙරහැර මංගල්‍යය ආරම්භ වී තිබේ. මෙහිලා අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ රිදී විහාර ඇසළ පෙරහැර මංගල්‍යයේ ඓතිහාසික පසුබිම පිළිබඳව ය.
 
 දළදා පෙරහැර මෙන් අඛණ්‌ඩ ඉතිහාසයක්‌ නොපෙනෙන නමුත් රිදී විහාරෙ පෙරහැර දුටුගැමුණු රාජ්‍ය සමය (ක්‍රි.පූ. 161-137) දක්‌වා දුරාතීතයකට දිවෙන බව පෙනේ. ඒ අනුව මෙය ලක්‌දිව පැරණිතම පෙරහැර අතුරින් එකකි.
 
 රිදීවිහාරෙ ලක්‌දිව ප්‍රකට වී ඇත්තේ ස්‌වර්ණමාලි චෛත්‍ය කර්මාන්තයට රිදී ලැබීම හේතුවෙනි. මෙම පුවත සීහලවත්ථුව, දීපවංසය, මහාවංසය, ථූපවංසය සහ සංඝරාජ සාධුචරියාව ආදී සාහිත්‍ය මූලාශ්‍රය රැසක විස්‌තර වේ. මහසෑයට රිදී උපන් රිදී ලෙනට උපහාර පිණිස දුටුගැමුණු රජතුමා විසින් ස්‌වර්ණමය බුද්ධ ප්‍රතිමාවක්‌ කරවන ලද බවත්, එය අනුරාධපුරයේ සිට අම්බට්‌ඨකෝළ ජනපදයේ රිදී ලෙන වෙත මහපෙරහැරින් වැඩම කරවන ලද බවත් 'රිදී විහාර අස්‌න' සහ 'රිදී විහාරෙ කරවීම' යන තල්පත්වල දීර්ඝව විස්‌තර කෙරේ. 'රිදී විහාරෙ කරවීම' නමැති තල්පතෙහි දුටුගැමුණු රජතුමා විසින් රිදී විහාරෙ කරවීම හා ඊට රන් පිළිම වහන්සේ වැඩමවීම පිළිබඳ මෙසේ දැක්‌වේ.
 
 දුටුගැමුණු මහාරාජෝත්තමයාණෝ බුදුන් පිරිනිවි තුන්සිය අසූ එක්‌වෙනි වර්ෂයෙහි රුවන්වැලි ස්‌තූපය බඳවන කල රිදී පහළ වූ රිදීලෙන යන මෙම විහාරය කරවනු සඳහා සේනාධිපති නම් අමාත්‍යයාණන්ට විශ්වකර්ම ප්‍රතිරාජයා ඇතුළු වූ තුන්සියයක්‌ සෙල්වඩුවන් ද සත්සියයක්‌ කර්මාන්ත කාරයින් ද වියදම් පිණිස රත්ත්‍රන් තුන් භාරයක්‌ ද භාරකොටදී එවූ පසු ලෙන තිබූ රිදී අස්‌ කරවා දුරුතු මස පුර පසළොස්‌වකදා කර්මාන්ත පටන්ගෙන තුන් මස්‌ පසළොස්‌ දවසින් සියලු විහාර කර්මාන්ත නිමවා එපවත් දන්වා පින්වත් මහරාජෝත්තමයාණන්ට හසුන් යෑවූ කල්හි ඒ ඇසූ මහරජ චතුරංගනී සේනා සම`ග රථයානෙක්‌හි වැඩූ රන්පතින් වැසූ ශෙලපිළිම වහන්සේ ප්‍රමුඛ වූ රහත් පන්සියයක්‌ දෙනා වහන්සේ පෙරදැරි කොට වඩිනා සේක්‌ සලස්‌වා අනුරාධපුර නුවරින් නික්‌ම ශක්‍ර දේවේන්ද්‍ර ලීලාවෙන් අවුත් විහාර පූජාවට පටන් ගෙන...
 
 ඉහත තල්පතෙහි සඳහන් පුවත රිදී විහාර අස්‌න නමැති ලේඛනයෙහි තවදුරටත් විස්‌තර වී තිබේ. එහිලා රජු අනුරාධපුරයේ සිට රිදී විහාරය වෙත රන් පිළිම වහන්සේ වැඩම කර වූ පෙරහැර පිළිබඳ දීර්ඝ වර්ණනාවකින් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව එය වනාහි ලංකා ඉතිහාසයේ ප්‍රතිමා වහන්සේ නමක්‌ උදෙසා සිදු කරන ලද විශාලතම පෙරහැර බව පෙනීයයි.
 
 ඒ යටතේ සේනාධිපති ඇමැති තෙමේ විහාර කර්මාන්තය බැලීමට රජුට ඇරයුම්කොට ඒ සඳහා මහරහතන් වහන්සේලා හා රජු පිළිගැනීමට සුදුසු ලෙස රජ විමන, පෙති පිළිම, ගෙවල්, පොකුණු හා පතැස්‌ කරවීම යෙහෙකැයි සිතා දැදුරු ඔය අසබඩ මහා වීදියක්‌ මෙන් විසිතුරු කොට මංමාවත් සරසා සූදානම් කිරීම සිදු කරන ලදැයි කියෑවේ.
 
 රිදී විහාර අස්‌න රන් පිළිම වහන්සේ රිදී ලෙනට වැඩම කරවීමේ පෙරහැරට දුටුගැමුණු රජතුමා සහභාගි වූ අයුරු දීර්ඝ වර්ණනාවකින් ඉදිරිපත් කොට තිබේ.
 
 ඉක්‌බිති දුටුගැමුණු මහරජතුමා නැකැත් වේලාවට සළු වඩා සුවඳ සත මුද්දිකා, කෛයි පෝට්‌ටු, කෛයි සූත්‍ර, ඉන සුදන, උදර බන්ධන, අවුල් හැර උරමාල, මුක්‌තහාර, ඒකාවැල කේසුරාභරණ, මිණි වළලු,. නළල්පට, ඔටුනු මේ ආදී සූසැටක්‌ ආභරණයෙන් සැරසී දකුණතින් රන් කඩුව ගෙන පුරෝහිත බමුණන්, චාමර බමුණන්, වෙදවරුන්, කොත්මලේ වැද්දන් ඔටුනු පණ්‌ඩිතවරුන්, මෙකී අය පෙරටුව යන ලෙසට නියම කොට සර්වාලංකාරයෙන් සරසන ලද මඟුලැතු පිටත රන් හිනෙන් පැණනැඟී රන් අකුස්‌ස ගෙන ගම්භීරාකාරයෙන් සිටි කල මුදුනෙහි නඟන ලද ධවල ඡත්‍ර මුතු කුඩ කොඩි හිරු මඬල සඳ මඬල ආදියෙන් මනාවට අලංකාර කර දෙදෙව්ලොව දෙවියන් පිරිවරා නඳුන් උයනට නික්‌මුණ සක්‍රදේවේන්ද්‍ර විලාසයෙන් රජු සමඟ පෙරහැර අනුරාධපුරයෙන් පිටත්විය,
 
 දුටුගැමුණු රජතුමා ප්‍රධාන කොටගත් අමාත්‍ය මණ්‌ඩලය ද පංචතූර්ය නාද ආදියෙන් ද පරිපූර්ණ පෙරහැර රන් පිළිම වහන්සේ වැඩම කරවාගෙන පැමිණෙමින් සිටියදී එක්‌ මහත් ගල්තලාවක ඒ රථය එරා වැටුණි. රථය එරුණු තැන රථහිටියාව හෙවත් වර්තමානයේ රත්විට නමින් ව්‍යවහාර වේ. රජු වහා එතැනට පැමිණ ඇතුන් ලවා ද, අසුන් ලවා ද, මිනිසුන් ලවා ද එරුණු රථය ගොඩගැනීමට වෑයම් කළ ද, සියලූ වෑයම් නිෂ්ඵල විය. අවසානයේ රජු රන් පිළිම වහන්සේ ළඟ වැඳ වැටී සත්‍යක්‍රියා කළේ ය. රජුගේ සත්‍යක්‍රියාවෙන් ද, මහරහතුන්ගේ ආනුභාවයෙන් ද ඒ ඇසිල්ලෙහිම අහසට පැන නැගුණ රන් පිළිම වහන්සේ අහසින්ම වැඩමවා රිදී ලෙන රිදී ගොබය මත වැඩහුන් සේක. ඉක්‌බිති සහපිරිවරින් විහාරයට පැමිණි රජු අපමණ සතුටින් රන් පිළිම වහන්සේ වෙත අප්‍රමාණ පුද පූජා පැවැත්වීය.
 
 දෙවෙනි දවසේදී රිදී විහාරය වන්දනා කළ රජතුමා පන්දහසක්‌ කල් පවත්නා ලෙසට පුද පූජා පවත්වනු පිණිස අමාත්‍ය මණ්‌ඩලයේ සහය ඇතිව විහාරයේ සිට අටදිසාවට බලසම්පන්න පුරුෂන් අටදෙනෙක්‌ යවා පලින් පල සිටුවා විහාර මළුවෙහි සිටි ඇත් අස්‌ මිනිස්‌ සැමගේ හඬ නතර කළේ ය. ඉක්‌බිති විහාර මළුව අභ්‍යන්තරයෙහි සිටි සියල්ලෝම සාධුකාර දෙත්වයි කියා රජතුමා පළමුව සාධකාර දුණි. පසුව සියල්ලෝම දුන් සාධුකාර නාදය මහමුහුද ගිගුම් ගන්නා සේ විය. පසුව අටදිසාවට යෑවූ බලවතුන් අටදෙනා කැඳවා සාධු නාදය තොපට කොතැන්හිදී ඇසුනේදැයි විචාරා සාධු නාදය ඇසුණු හාත්පස ප්‍රදේශය රන් පිළිම වහන්සේ සහිත රිදී ලෙනට පූජා කළ බව කියෑවේ. තව ද රජතුමා විසින් ලෝක තම්මැට්‌ටම විහාරගල මුදුනේ සිට වාදනය කර වූ කල්හි ඒ හඬ ඇසුණු මානය රිදී විහාරයට පූජා කළ බවත් ජනප්‍රවාදගතව පවතී.
 
 මේ අනුව බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්‌ උදෙසා සිදු කරන ලද විශාලතම භූමි පූජාව මෙන්ම විශාලතම පෙරහැර ක්‍රි.පූ. දෙවන සියවසේදී දුටුගැමුණු රජතුමා විසින් සිදු කරන ලද රිදී විහාර පෙරහැර බව ඉහත මූලාශ්‍රය අනුව පෙනීයයි.
 
 රිදී විහාර අස්‌නේ දුටුගැමුණු රජුගේ රිදී විහාර පෙරහැර අලංකාරවත් කළ තූර්ය නාද උපකරණ, පෙරහැරේ ගමන් ගත් පිරිස්‌ පිළිබඳ දීර්ඝ විස්‌තරයක්‌ අන්තර්ගත වේ. ඒවා අතර සමහරක්‌ මෙසේ ය.
 
 ඇතු පිට තබා ගසන නිසාත්, තම්මැට්‌ටම්, ඇතු පිට තබා ගසන ගිගිරි තප්පු, ලෝහ දවුල්, හොරණෑ, සක්‌, දළහම්, අඩුක්‌කු, රිදී සක්‌, අකුණු සක්‌, රන්දාරා, රිදීදාරා, රන් සන්නන්, රිදී සන්නන්, වංගි වස්‌ කුළල් රේණු වීණා, දණ්‌ඩි, තන්තිරි, අලවර්ණා, සරමණ්‌ඩිබී, රන් මද්දලා, මොරහු දවුල්, තිම්බිලි, මන්ඩාරි, නාගතාලන්, මහබෙර, ලෝහ බෙර, එකැස්‌ බෙර, මිහිඟු බෙර, ද්‍රදඟු බෙර, ගැට බෙර, පොකුරු බෙර, පනා බෙර, දික්‌ බෙර, මල්ලාරිය, අතතය, විතතය, විතතාතය, ඝනය, සුසිරය යන පසඟතුරු නාදයෙන් ද දවුල්, මොරහු බෙර, දෙකැස්‌ බෙර, තඹ බෙර, රිදී බෙර, පිත්තල බෙර හා දෙකැස්‌ බෙර යනාදිය ඒ අතර වේ.
 
 පෙරහැරේ ගමන් කළ පිරිස්‌ අතර තුන්සියයක්‌ පුරෝහිත බමුණන්, හාරදහස්‌ අමාත්‍යයෝ, පටබැඳි බිසෝවරු එක්‌සියයක්‌ ද, රජකුමරුවෝ පස්‌දෙනෙක්‌ ද, නොයෙක්‌ ශිල්පයන්හි නිපුණ කුලවලට අයත් පිරිස්‌ සහ නොයෙක්‌ විදෙස්‌ රටවලින් පැමිණියා වූ පිරිස්‌ ද වන බව පෙනේ. එවැනි විදේශීය රාජ්‍ය රැසක නම් රිදී විහාර අස්‌නේ සඳහන්ව තිබේ. ගුඡ්ජර, ජාවක, උරුමුසි, බන්කාල, නේපාල, ඔඩ්ඩි, වඩිග, බඬුරු, සෞරාස්‌ට්‍ර, අරමන, කාම්බෝජ, කාශ්මීර, ජනපදක්‌කාර, මුත්තර, තෙලිංග, කයිමතිතාන්න, සින්ධුර, චීන මහාචීන එකී විදේශීය රාජ්‍ය අතර වේ.
 
 මෙමගින් පැහැදිලිවන වැදගත් කරුණක්‌ වනුයේ දුටුගැමුණු රාජ්‍ය සමයේදී අප රට විදේශ සම්බන්ධතා පැවැත් වූ ආකාරයයි. මහාසෑයේ ආරම්භක උත්සවයට ද විදේශීය රාජ්‍යවලින් වැඩම කළ භික්‌ෂූන් වහන්සේලාගේ ප්‍රමාණ මහාවංසයේ හා ථූපවංසයේ සඳහන් වේ.
 
 පෙරහැරක මූලික හරය තුනුරුවන් හා දෙවියන් උදෙසා කෙරෙන ආමිෂ පූජාමය පින්කමක්‌ වනමුත් එමගින් දේශපාලන, සමාජ, ආර්ථීක හා සංස්‌කෘතික අර්ථ රැසක්‌ ද ප්‍රකාශ කෙරෙයි. එමෙන්ම පෙරහැර සංස්‌කෘතිය මෙරට ප්‍රාදේශීය වශයෙන් විසිරී සිටින සාම්ප්‍රදායික භේරීවාදන හා නර්තන ශිල්පීන් ආදී සජීවී උරුමය පවත්වාගෙන යන්නා වූ කලාකරුවන්ට ද මහත් වූ පිටුවහලකි.
 
 මේ සියල්ල කැටිකරගත් රිදී විහාර ඇසළ පෙරහැර සාම්ප්‍රදායික අංග ලක්‌ෂණ ආරක්‌ෂා කරගනිමින් වසරින් වසර උද්දීප්තියට පත්වන්නා වූ දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද අවධානයට යොමුවන්නා වූ පෙරහැර මංගල්‍යයක්‌ වී තිබේ. ඒ සඳහා ඓතිහාසික රිදී විහාරාධිපති අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්‍යාමොපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශවයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයත්, ඓතිහාසික රිදී විහාරයේ භාරකාර ධුරන්දර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්‌ත නායක මාහිමිපාණන් වහන්සේගේ මගපෙන්වීමත්, පෙරහැර කමිටුවේ කැපවීමත් හේතු වී තිබේ. වත්මන් රිදී විහාර පෙරහැරේ සාම්ප්‍රදායික අංග ලක්‌ෂණ කිහිපයක්‌ මෙසේ ය.
 
 රිදී විහාරයේ සහ සත් පත්තිනි, කුමාර බණ්‌ඩාර දේවාලයන්හි පෙරහැර මංගල්‍යය ආරම්භ වන්නේ ඇසළ මහේ අමාවක දිනට පසු දින හිමිදිරියේ දේවාල භූමියේ කප් සිටුවීමෙනි. ගෙඩි හතකට වැඩි පොල් ඉත්තක්‌ පේ කර ඉහළ දේවාලයේ තබා පසුදා හිමිදිරියේ හේවිසි නාද කර තේවාව පවත්වා පේ කරගත් ස්‌ථානයක පොල් ඉත්ත සහිත කප සිටුවා දින 15 ක්‌ පුරා පැවැත්වෙන පෙරහැර මංගල්‍යයට දේවාශිර්වාදය සලසා දෙන ලෙසට දෙවියන්ගෙන් මෙන් අයෑද සිටිනු ලැබේ.
 
 රිදී විහාරයේ ඇසළ පෙරහැර කොටස්‌ හතරකින් සමන්විත වේ. එහිදී අභ්‍යන්තර පෙරහැර දේවාලය ඇතුළත දින හතරක්‌ පුරා හේවිසි ශබ්ද පූජා සහිතව මුරුතැන් පූජා පැවැත්වේ. අනතුරුව දේවාල පරිශ්‍රය තුළ දින පහක්‌ පුරා කුඹල් පෙරහැර පැවැත්වෙන අතර දින පහ තුළ ස්‌ථාන පහක්‌ කරා පෙරහැර ගමන් කරයි. ඒ දිග්ගෙය, සඳගල, මැද මළුව, සේරුගහවට හා පාර බැලීම යන ස්‌ථානවලටයි. කුඹල් පෙරහැර නිමාවීමෙන් පසුදා හිමිදිරියේ රන් දෝලි බහා රිදී විහාරේ විහාරාධිපති හිමියන් වෙතින් දේවාලයෙන් ලබාගත් පෞරාණික දේවාභරණ රන්දෝලි පෙරහැරේ වැඩම කරවනු ලැබේ. රන්දෝලි පෙරහැර දින පහක්‌ පැවැත්වෙන අතර මහ රන්දෝලි පෙරහැර ප්‍රදේශයේ අලි ඇතුන් සහ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අලි ඇතුන් ද සහිතව උත්කර්ෂවත් අන්දමට රිදීගම නගරය දක්‌වා වීදි සංචාරය කෙරේ. රිදී විහාරයේ ඇසළ පෙරහැර නිමාවට පත්වන්නේ සාම්ප්‍රදායික පෙරහැරවල මෙන්ම දිය කැපීමේ චාරිත්‍රයෙනි. ඒ අනුව අවසන් රන්දෝලි පෙරහැරට පසුදා අලුයම දැදුරු ඔයේ නිලන්තට්‌ටුව දියකැපුම්තොටින් දිය කපා දිය කඳ සහිත පෙරහැර දේවාලයට ගෙවැදීමේ ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වේ.
 
 මෙවර අවසන් රන්දෝලි මහ පෙරහැර 2019 අගෝස්‌තු මස 23 වන සිකුරාදා රාත්‍රියේ වීදි සංචාරය කෙරෙන අතර අගෝස්‌තු මස 24 වන සෙනසුරාදා හිමිදිරියේ දැදුරු ඔයේ නිලන්තට්‌ටුව තොටෙන් දිය කපා ගෙවැදීමට නියමිත ය. රිදී විහාරෙ රන් පිළිම වහන්සේගේ ආශිර්වාදයත්, කුමාර බණ්‌ඩාර සත් පත්තිනි දෙව් අනුහසත් කැටි වූ මේ අසිරිමත් පෙරහැර මංගල්‍යය නැරඹීමට ලක්‌වැසි ඔබ සැමට ආරාධනා කර සිටිමු.
 
 
 ආශ්‍රිත මූලාශ්‍රය
 
 පියදස්‌සි හිමි, හෙම්මාතගම (2019), 'පුස්‌කොළ ලේඛනයකින් හෙළිවන රිදී විහාරේ කරවීම පිළිබඳ ඓතිහාසික තොරතුරු කිහිපයක්‌', දිවයින, මැයි 22
 
 මහාවංසය (2004), බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය, දෙහිවල.
 
 'රිදී විහාර අස්‌න' (අප්‍රකාශිත ලේඛනය)
 
 සිංහල ථූපවංසය (2013), කරුණාතිලක, ඩබ්.එස්‌. (සංස්‌.), ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles