Divaina - මිනිසුන්ගේ හදවත්වල මගේ හඬත් රුවත් රැඳී තිබෙනවා...... - ප්‍රවීණ කලා ශිල්පිනි රම්‍යා වනිගසේකර

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

 සුජීව තත්සර

ramya1රම්‍යා වනිගසේකර කලා දිවියේ පස්‌වැනි දසකය අබිමුව.....
 
 
 වේදිකා පසුබිම් ගායිකාවක වෙමින් කලා ලොවට ප්‍රවිෂ්ඨ වූ ඇය ගුවන්විදුලි මහගෙදරදී ප්‍රවෘත්ති නිවේදිකාවක සහ හඬකැවීම් ශිල්පිනියක ද වෙමින් සිය ගැඹුරු මනෝහර හඬින් ශ්‍රාවක දෙසවන් පිනවන්නට වූවාය. රංගනයට ඇය තුළ තිබූ හැකියාවන් විද්‍යමාන කළ ඇය 'කන්දේ ගෙදර' ටෙලි නාටකයේදී ප්‍රේක්‌ෂක සිත් සොරා ගත් 'හාමිනේ' වෙමින් වේදිකාවේදී 'කැලණි පාලම' හැඩ ගැන්වූ 'මැටිල්ඩා' ද වෙමින් සිය ප්‍රතිභා පූර්ණ රංගන දක්‌ෂතා ගෙනහැර දැක්‌වූයේ සිය කලා දිවියේ සන්ධිස්‌ථානයන් සනිටුහන් කරමින් සුවහසක්‌ වූ රසික දනන්ගේ සිත් සතන් අමන්දානන්දයට පත් කරවමිනි. උක්‌ත කරුණු කාරණා හේතු කොට ගනිමින් අවස්‌ථා ගණනාවකදී සම්මානිත වූ ඇය අද සිය කලා දිවියේ දශක පහට ද ආසන්නව ඇති මොහොතක 'දිවයින සිනමා කලා' සමඟින් මෙලෙස දොඩමළු වූවාය. ඕ, ප්‍රවීණ කලා ශිල්පිනි රම්‍යා වනිගසේකර නම් වන්නීය.
 
 ඔබේ කලා දිවියට මූලාරම්භය ලබා දුන්නේ ඔබ සතු ගායන හැකියාව....
 
 ඇත්තෙන්ම ඒක බොරුවක්‌ නෙවී. 1974 දී තමයි පසුබිම් ගායිකාව වෙමින් මම වේදිකාවට එන්නේ. ඒ චන්දි ගුණතිලක මහතාගේ 'හේවායෝ' නාටකයට එක්‌වෙමින්. ඊට පස්‌සෙ ජයතිස්‌ස අලහකෝන් මහතාගේ වේදිකා නාට්‍ය රැසක මම පසුබිම් ගායිකාව වුණා.

ramya2ඔය අතරතුරදීම ඔබ රංගනයටත් ප්‍රවිශ්ඨය ලබනවා....
 
 ඔව්. ඒ 1976 දී. මම මුලින්ම රඟපෑවේ 'හස්‌තිරාජ මහත්තයා' කියන නාටකයේ. සුළු චරිතයක්‌ රඟපෑවත් ඒ ආරම්භය මාව බොහෝa දුර ගෙන ගියා. රංජිත් ධර්මකීර්ති මහත්තයා තමයි මේ නාට්‍යය අධ්‍යක්‌ෂණය කළේ. ඊට පස්‌සෙ රංජිත් මහතාගේම 'අංගාරා ගඟ ගලා බසී' වෙනුවෙන් පසුබිම් ගීත ගයන්න අවස්‌ථාව ලැබුවා. මෙහි ගීත 14 ක්‌ අන්තර්ගතව තිබුණා. සංගීතය අධ්‍යක්‌ෂණය කළේ ප්‍රවීණ සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන්. මම මෙතනදී මාස්‌ටර් යටතේ සංගීතය පිළිබඳව පුහුණුව වගේම මගේ ඉදිරිය වෙනුවෙන් පන්නරය ලබා ගැනීමත් සිදු කළා. මේ නාටකයේදී ඇතිවූ හදිසි අවස්‌aථාවලදී මම දෙවැනි චරිතයට ජීවය දෙමින් රඟපෑමත් කළා. කොහොමටත් මම වේදිකා නාටක 15 ක පමණ රඟපෑවා.
 
 ඔය කාල සීමාවේදී ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක වෙමින් මාධ්‍ය භූමිකාවට පණ පොවමින් රටේම අවධානය දිනා ගන්නට ඔබ සමත්කම් දක්‌වනවා...
 
 ඔව්. 1980 දී තමයි මම ගුවන්විදුලි මහගෙදරට ගොඩ වදින්නේ. ගුවන්විදුලියේ 'තක්‌ෂිලාව' වැඩසටහන තමයි මට ඒ සඳහා මඟ පෙන්වන්නේ. කවි, ගායනා, නාට්‍ය, ප්‍රවෘත්ති වගේ හැමදේම මෙයට අන්තර්ගතව තිබුණා. මම පොඩියට හරි මේ හැමදේම අතපත ගෑවා. පුරුදු පුහුණු වුණා. එදා 'තක්‌ෂිලාව' වෙනුවෙන් යුනෙස්‌කෝ ආයතනය අනුග්‍රහය දැක්‌වූවා. ඒ අය එවන ප්‍රවෘත්ති පිටපත කියවන්න මාව තෝරා ගත්තේ පියසේන ජයවීර කියන මහත්තයා. ඒ ලැබුණු අවස්‌ථාව මට ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට ලොකු පුහුණුවක්‌ වගේම ආභාෂයක්‌ ලැබීමටත් හේතු වුණා. මයික්‌ එක ඉදිරියේ හඬ පාලනය කරමින් මගේ 'බර හඬ' හදා ගන්න පුළුවන් වුණා. එදා මම මගේ වයසට වඩා ලොකු චරිත වෙනුවෙන් හඬකැව්වා. අදත් මට ඒaa දේවල් කරන්න පුළුවන්. 1981 සිට ස්‌ථිර ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස පත්වීම ලැබුවා. මම විශ්‍රාම ගියේ 2006 දී. 2008 දී කොන්ත්‍රාත් පදනම යටතේ වැඩ කළා. මම අදටත් සහන ප්‍රවෘත්ති නිවේදිකාවක වෙමින් ශ්‍රී ලංකා ගුවන්විදුලියේ රැඳී සිටිනවා.

ramya3

එදා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ කලාවක්‌ තිබුණු කතාවක්‌ ඔබෙන් කියවුණා. එය තවදුරටත් විග්‍රහ කළොත්....
 
 ඒ කාලේ ප්‍රවෘත්ති අහන්න තිබුණේ ගුවන්විදුලිය විතරයි. විශ්වාසවන්ත ගාම්භීර සේවාවක්‌ විදිහට තමයි එය පවත්වාගෙන ගියේ. රටේම අසන්නන් මේ වටා සිටි නිසා වැදගත්ව ප්‍රමිතිගතව රටාවකට අනුකූලව සහ ව්‍යාකරණානුකූලව ප්‍රවෘත්ති හැඩ ගස්‌වා තිබුණා. අසන්නන් එයට ගෞරවය දැක්‌වූවා. මේ තත්ත්වය වර්තමානයේදී සහමුලින්ම වෙනස්‌ වීමට ලක්‌ව තිබෙන්නේ එµa. එම්. නාලිකා විශාල සංඛ්‍යාවක්‌ ඇවිත් තියන නිසා. අසන්නන්ට කරන ගෞරවයක්‌ විදිහට නාලිකා විවෘත කරනවා නම් ප්‍රමිතිය ගැනත් සිතිය යුතුයි. මේ වෙනුවෙන් මැදිහත් විය යුත්තේ රටේ ඉහළම තැන්. භාෂාවට සහ සංස්‌කෘතියටත් එකම තැන පල් වෙන්න බැහැ. නමුත් ප්‍රමිතිය වැදගත්. තරගකාරිත්වයට යන ගමන් කලාව විනාශ කර ගන්නවා නම් ඒක විශාල අපරාධයක්‌. විශේෂයෙන්ම අපේ භාෂාව, සංස්‌කෘතිය සහ සභ්‍යත්වය නොමරා සිටීමට නාලිකාවන් දත යුතුයි. මම නිවේදකයන්ට දොස්‌ කියන්නේ නැහැ. සියල්ල නිවැරදිව කිරීමේ වගකීම තිබෙන්නේ පාලනාධිකාරියට. ඕනෑම වැඩසටහනක්‌ ඕනෑම විදිහකට ඉදිරිපත් කළ හැකියි. නමුත් අපේ ලිත භාෂාව සහ ව්‍යවහාර භාෂාව ප්‍රවෘත්ති කලාවේදී වැදගත්. ගුවන්විදුලියේ ප්‍රවෘත්ති හැමෝටම තේරුණේ ඒ නිසාවෙන්. ඒ ප්‍රවෘත්ති නීරස නැතිව සරලව ජනතාව අතරට ගෙන ගියා. අද එෆ්. එම්. නාලිකා අමුතු සංස්‌කෘතියක්‌ නිර්මාණය කරලා. අපේ මිනිස්‌සුත් මේවා පිළිගන්නවා. නමුත් විද්වත් සමාජයකට මේක සෝචනීය තත්ත්වයක්‌. මම විශ්වාස කරන්නේ මේ සියල්ලට මුල දේශපාලනීකරණය කියලයි. මගේ ගාම්භීරත්වය සහ අනන්‍යතාව තිබෙන්නේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස. මම ගමට ගියත්, පොළට ගියත් එය අත්විඳ තිබෙනවා. මිනිසුන්ගේ හදවත්වල මගේ හඬ රැඳී තිබෙනවා.
 
 හඬ වගේම රූපයත් ඒ හදවත්වල රැඳී තිබෙනවා කියා මා පැවසුවොත්....
 
 ඔව්. එහෙම කිව්වට වරදක්‌ නැහැනේ. මම මුලින්ම කැමරාව ඉදිරියේ හිට ගන්නේ 1983 දී. එදා බිහිවූ පළමු නාට්‍ය කණ්‌ඩායමේ මමත් සාමාජිකාවක්‌. මී මැස්‌මොරය රෝගය සම්බන්ධව ප්‍රවීණ කලා ශිල්පී ධර්මසේන පතිරාජයන් නිපද වූ 'ගඟුලෙන් එගොඩට' වාර්තාමය නාටකයේ තමයි මම මුල්වරට රඟපෑවේ. මේ නාට්‍යය ජර්මනියේ පැවැත් වූ වාර්තා වැඩසටහන් තරගයකදී රන් සම්මානය දිනා ගත්තා. අපේ නිර්මාණවේදීන් එදත් ලෝකය ජය ගත්තා. ඊට පසුව මම 'කන්දේ ගෙදර', 'පළිඟු මැණිකේ', 'මැණික්‌ නදිය ගලා බසී', 'දෙනුවර මැණිකේ', 'පබා', 'අලුත් ගෙදර' ඇතුළු අපේ රූපවාහිනි ප්‍රේක්‌ෂක මතකයේ විරාජමාන වූ ටෙලි නාටක රැසක රඟපෑවා. මට මේ වාර්තා හරියටම මතක නැතත් ටෙලිනාට්‍ය 350 කට වඩා රඟපෑ බව නම් මතකයෙහි තැන්පත්ව තිබෙනවා. මේ දිනවල විකාශය වන 'සල් සපු නා', 'පැහැසරා' සහ 'අම්මාවරුනේa' නිසා පැරණි ප්‍රේක්‌ෂක මතක අලුත් වෙමින් පවතිනවා.
 
 ඔබ සිනමාව වෙනුවෙනුත් යම් දායකත්වයක්‌ ලබා දුන්නා....
 
 ඔව්නේ. මම චිත්‍රපට කීපයකම රඟපෑවා. ඩී. බී. නිහාල්සිංහ මහතාගේ 'රිදී නිම්නය' වසන්ත ඔබේසේකර මහතාගේ 'මාරුතය' සුනිල් අරුණ වීරසිරි මහතාගේ 'ටිකිරි සුවඳ' සහ 'වීර්යා' ඒ අතුරින් කිහිපයක්‌.
 
 එදා ටෙලි නාටකයක තිබූ රුව ගුණ වරුණ වර්තමානයේදී ගිලිහී ගොස්‌ තිබීම ඔබ දකින්නේ කුමනාකාරයෙන්ද....?
 
 ඒ කාලේ නාට්‍ය කළේ භාරදූර කර්තව්‍යයක්‌ විදිහට. ඒවායේ මුල, මැද, අග ස්‌ථිර වශයෙන්ම අන්තර්ගතව තිබුණා. කොටස්‌ 20 කට හැමදේම සංක්‌ෂිප්ත වුණා. හොඳට සාකච්ඡා කළා. රචකයා සමඟ සහසම්බන්ධය ඇති කර ගත්තා. එවිට අපට නාට්‍ය ගැන හොඳට දැනෙන්න පටන් ගත්තා. අද වගේ 'ආප්ප තම්බන' නාට්‍ය කලාවක්‌ එදා අපි කළේ නැහැ. අපිට මානසික විවේකය ඕනෑ තරම් තිබුණා. ඉතිං.... සාර්ථක නිර්මාණ බිහි වුණා. අද යන්නේ එදා ගිය ගමන සම්පූර්ණයෙන්ම අනික්‌ පැත්තට. ඒක තමයි නාට්‍ය රසයේ විනාශයට මුල. අනික හැමදේටම මුදල ඉදිරියට දමා ගැනීම. අපි වැඩ කළේ කෘතියක්‌ එක්‌ක. එදා ශිල්පීන් අද කුලීකාරයෝ වෙලා. එදා අපිට වෙලාවක්‌ තිබුණේ නැහැ. අද ඒකත් වෙනස්‌ වෙලා. අද සමහර වෙලාවට අපිට අසනීප වුණාම අපි කරපු චරිතය වන්දනාවේ යවනවා. අපිව යවලා හරි නාට්‍ය පෙන්වීම තමයි කරන්නේ. නාලිකා තමයි නාට්‍ය පාලනය කරන්නේ. ඉස්‌සර ඒක කළේ කලාකරුවා. අද අපි රඟපානවද කියලා තීරණය කරන්නෙත් නාලිකා. ඔවුන් කලාකරුවාව යම් තැන්වලට කොටු කරන්න මාන බලනවා. එසේ කිරීමට ඔවුන්ට අයිතියක්‌ නැතත් මෙතනදී කලාකරුවා අසරණයි. නමුත් අපි කලාකරුවෝ නම් වැටකොටු සීමා මායිම් නොතිබිය යුතුයි. අද මේ සියල්ල ඇහිරිලා. මේ කර්මාන්තය 'කරුමාන්තයක්‌' වෙලා.
 
 වේදිකාව කියන්නේ ඔබේ ජීවිතය හා බද්ධ වූ ස්‌ථානයකට. අපි ඒ ගැන කතා කළා මදි නේද?
 
 1978 දී චූලා කාරියවසම් මහතා අධ්‍යක්‌ෂණය කළ 'මන රංජන වැඩ වර්ජන' නාටකය තමයි මම ප්‍රධාන චරිතයට ජීවය මුසු කළ වේදිකා නාටකය වුණේ. මේකෙදී මාව දැකපු කෘතහස්‌ත නාට්‍යවේදී ආර්. ආර්. සමරකෝන් මහතා මට කතා කළා. ඒ වෙන කොට මම 'අංගාරා ගඟේ' ගීත ගයනවා. නමුත් සමරකෝන් මහතා වැනි නාට්‍යවේදියකුගේ ආරාධනාව ඉවතලීම මහා මෝඩකමක්‌නේ. ඉතිං.... මම ගියා. ඒ කාලේ ප්‍රවීණ රංගන ශිල්පිනි චන්ද්‍රd කළුආරච්චි මහත්මියට අමා දුව ලැබෙන්න හිටියා. ඇය තමයි එතකොට සමරකෝන් මහතාගේ 'කැලණි පාලම' නාටකයේ ඒ චරිතය මැව්වේ. ඉතිං.... ඊට පස්‌සෙ මම කැලණි පාලමේ 'මැටිල්ඩා' වුණා. ඊටත් පස්‌සෙ සමරකෝන් මහතාගේම 'අහසින් වැටුණු මිනිස්‌සු', 'ඉඩම', 'ඡේලර් උන්නැහේ', 'දූවිලි', 'රජ කතාව' නාට්‍ය වෙනුවෙනුත් මම රංගගත වුණා. පසුව 'මුහුදු පුත්තු', 'මා හේනේ ඊරි යකා', 'ලියතඹරා', 'සිරි සඟබෝ', 'හිරු නැති ලොව' සහ ' අංගාරා ගඟ ගලා බසී' ඇතුළු නාටක රැසක රඟපෑවා.
 
 කැලණි පාලම උඩදී පටන් ගත් ආදර කතාවක්‌ නිසා පසු කලෙක ඔබ කෘතහස්‌ත නාට්‍යවේදී ආර්. ආර්. සමරකෝන් මහතාගේ ජීවන සහකාරිය බවට පත් වෙනවා.
 
 ඇත්තෙන්ම 'කැලණි පාලම' මගේ ජීවිතයේ කඩ ඉමක්‌ සනිටුහන් කළා කීවොත් එය නිවැරදියි. ඔව්, අපේ ආදර කතාව පටන් ගත්තේ කැලණි පාලම උඩදී තමයි. අපි ආදරය කළා. ඊට පස්‌සේ කසාද බැන්දා. අපේ දුව බුද්ධිකා මුදිතානි සමරකෝන්. දැන් ඇයත් විවාහකයි. ඇය නිසා මම දැන් මිණිපිරියකගේ සුරතල් දකින අත්තම්මා කෙනෙක්‌. 2010 දී සමරකෝන් මහත්තයා නැති වුණා. මගේ ජීවිතයට පාළුව වගේම තනිකම දැනෙන්න පටන් ගත්තා. නමුත් කලාව නිසා මම තෘප්තිමත් වුණා. මම කැමැතියි මගේ සැමියාගේ නිර්මාණ ඉදිරියට ගෙන යන්න. ඒ නිර්මාණයනට සුවහසක්‌ වූ ජනතාවගේ ආදරය තිබෙන බව මම දන්නවා. ඒ දර්ශනය ඉදිරියට ගෙන යමින් සමරකෝන් මහතාගේ නම නිතර ඇසීම මට ලොකු ශක්‌තියක්‌. 077-8222133 (මංගල ප්‍රනාන්දු) අමතා ආර්. ආර්. සමරකෝන් මහතාගේ නාට්‍ය පිළිබඳව විමසීම් කළ හැකියි.
 
 ඔබේ කලා දිවියේදී ලද ඇගයීම් සහ සම්මාන පිළිබඳව සිහිපත් කළොත්....
 
 1991 දී වේදිකා සහ ටෙලිනාට්‍ය ජනප්‍රිය කාන්තාව (කන්දේ ගෙදර) 1994 ජනප්‍රියම ටෙලි නිළිය (ඕ. සී. අයි. සී.) 1993 දීත් හොඳම ටෙලි නිළිය රාජ්‍ය සම්මාන 1995 දී හොඳම වේදිකා සහාය නිළිය ('ලිහිණි' නාටකයට) 1990 දී ජනප්‍රිය නිළිය (ලංකාදීප, විජය සම්මානය) 1994 - 1995 හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස ජනාධිපති සම්මාන 2003 දී සුමති සම්මානය, 2009 දී 'ලිය වරුණ' සම්මානය 2010 ස්‌වාධීන රූපවාහිනි සම්මානය සහ කලාභූෂණ 2013 දී රයිගම් ජාතියේ ප්‍රණාම සම්මානය ඇතුළු සම්මාන රැසක්‌ ලැබුවා. ඉදිරියේදී තවත් සම්මාන කිහිපයකට නිර්දේශ වී තිබීමත් තවත් සතුටක්‌.
 
 ඇයගේ වචනයට අනුව ඇය සැබෑ ජීවිතයේ බොහෝ සේ නිවුණු සෞම්‍ය චරිතයකි. සැබැවින්ම ඇය උස්‌ පහත් භේද නොසලකන, මේ පොළොවේ පය ගසා සිටින නිහතමානී සොඳුරු චරිතයකි. කලාවට ළබැදි බොහෝ මිනිසුන්ගේ සිත් සතන් සුවපත් කරන්නටත්, පෙරළා ඔවුන්ගේ ගෞරවාදරය ලබන්නටත් ඇය වාසනාවන්ත වූ බව නොරහසකි. අද සිය ජීවිතයේ සැඳ සමය ගෙවමින් පසු වන ඇය ජීවත් වන්නේ ද කලාව ජීවිතය කර ගනිමින්ය. රම්‍යා වනිගසේකර නම් වූ මේ ප්‍රවීණ කලා ශිල්පිනියට, අපි නිරෝගී සුවයත්, චීර ජීවනයත් පතමු.
 
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles