Divaina - සාගරයෙන් ආර්ථික ප‍්‍රතිලාභ ලැබීම...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

fea8 1ගොඩබිම ගැන අප දන්නා නමුත් සාගරය ගැන දන්නේ ඉතා අඩුවෙනි. අපේ රට සතර වටින්ම සාගරයෙන් වටවුණු දූපතක් නිසා අප සාගරය ගැන ඉතා හොඳින් දැන සිටීම ඉතා වැදගත්ය. එසේම අප රටක් වශයෙන් සාගරයෙන් අපේ රටේ ආර්ථිකයට ගත හැකිව තිබෙන උපරිම ප‍්‍රතිලාභ ලබා ගැනීමට සියලූ ප‍්‍රතිපත්ති සහ උපායමාර්ග සැලසුම් කළ යුතුව තිබේ. මත්ස්‍ය සම්පත මින් ප‍්‍රධාන තැනක් ගන්නා නමුත් සාගරයෙන් අපට ගත හැකි තවත් ප‍්‍රතිලාභ බොහෝමය. රටේ ගොඩබිමේ අනෙකුත් සම්පත්වලින් මෙන්ම ශ‍්‍රී ලංකාවට හිමි සාගර සම්පතින්ද අප ප‍්‍රයෝජන ගෙන ඇත්තේ ඉතා අඩුවෙනි. අපේ ආර්ථික ප‍්‍රතිපත්තිවල පවා මේ සාගර ආර්ථිකය ගැන ප‍්‍රමාණවත් අවධානයක් යොමුව නැත. මේ නිසා මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ සාගර ආර්ථිකයෙන් ප‍්‍රතිලාභ ගැනීම ගැනය. ඒ සඳහා මුලින්ම අවශ්‍ය කරන්නේ සාගරය සහ එහි සම්පත් ගැන අවබෝධයක් ලබා ගැනීමයි. මේ සඳහා මෙරට ප‍්‍රධාන මාධ්‍ය ආයතන රැසක මාධ්‍යවේදීන් කණ්ඩායමකට මහා සාගරයටම ගොස් ප‍්‍රායෝගික දැනුමක් ලබා ගැනීමේ මහඟු අවස්තාවක් පසුගියදා උදා විය. එනම් ඉකුත් ජුනි 08 වැනිදාට යෙදුණු ජගත් සාගර දිනය වෙනුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මාධ්‍යවේදීන් සඳහා තෙදින වැඩමුළුවක් ත‍්‍රිකුණාමලයේ සෝබර් දූපතේදී සංවිධානය කර තිබිණි. මේ සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් (විශ‍්‍රාමික* රෝහණ පෙරේරා මහතා සහ එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා ද එක්ව සිටියේය. දේශන මගින් දැනුම ලබා ගැනීමට අමතරව ත‍්‍රිකුණාමලයේ පරෙවි දූපතට ගොස් අපට මුහුදු පතුල නිරීක්ෂණය කිරීමට ද ඔවුන් අවස්ථාව උදා කර දුන්නේය. මේ පසුබිම තුළ සාගර ආර්ථිකයෙන් ගත හැකි ප‍්‍රතිලාභ ගැන අපි මේ ලිපියෙන් සාකච්ජා කරමු.

මුලින්ම අපට හිමි සාගර කලාපය ගැන අවධානය යොමු කරමු. සාගරය යනු පෘථිවියේ මතුපිට තිබෙන ලවණ ජල ස්කන්දයකි. එය පෘථිවියේ මතුපිට එකම ජල දේහයක් ලෙස තිබුණත් මේ මහා සාගරය පෘථිවියේ පිහිටා ඇති ආකාරය අනුව පැසිපික්, අත්ලාන්තික්, ඉන්දියන්, ඇන්ටාක්ටික් සහ ආක්ටික් ලෙස ලෙස වෙන් කර දක්වා ඇත. පරිමාවේ විශාලත්වය අනුව විශාලතම සාගරය පැසිෆික් සාගරයයි. ශ‍්‍රී ලංකාව පිහිටි ඉන්දියන් සාගරය පරිමාවෙන් තෙවන විශාලතම සාගරයයි. මේ ඉන්දියන් සාගරය තුළ ඉන්දියාවට ආසන්නයෙන් සුවිශේෂී ස්ථානයක ශ‍්‍රී ලංකාව ස්ථානගත වී ඇත්තේය. එක්සත් ජාතීන්ගේ සාගර නීති පිළිබඳ ප‍්‍රඥප්තියට අනුව 1976 සමුද්‍ර කලාප නීතියෙන් අප රටේ ගොඩබිම මෙන් අට ගුණයක් විශාල සාගර කලාපයක් අප රටට හිමිව ඇත. එම කලාපය අපට අනන්‍ය ආර්ථික කලාපය සහ දූෂණයෙන් තොරව පවත්වාගත යුතු කලාපයක් ලෙස ද ප‍්‍රකාශයට පත් කර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රෝහණ පෙරේරා මහතා පවසයි. ඔහු කියන පරිදි ශ‍්‍රී ලංකාව මෙන්ම 08 ගුණයක් විශාල එම කලාපය ශ‍්‍රී ලංකා මාතෘ භූමියේම කොටසක් බවත් එහි මුහුදු පතුලේ සියලූ සම්පත් සහ ජල කඳට ඉහළින් ඇති අවකාශයත් ශ‍්‍රී ලංකාවේම කොටසකි. ශ‍්‍රී ලංකාව වටා කිලෝමීටර් 1770 ක් පමණ වන සුන්දර වෙරළ තීරයක් තිබේ. මෙය අපේ සංචාරක කර්මාන්තයට මහඟු සම්පතකි. මෙරටට එන බටහිර සංචාරකයන් මුහුදේ නෑමට මෙන්ම මුහුදු වෙරළේ අව් රශ්මිය විඳීමට ද ඉමහත් කැමැත්තක් දක්වයි. එසේම විදෙස් සංචාරකයෝ මත්ස්‍ය ආහාරවලට ද පි‍්‍රය කරති. මේ නිසා අපේ ධීවර කර්මාන්තයට මෙන්ම අපේ සංචාරක කර්මාන්තයට ද සාගරය මෙන්ම අපේ රන්වන් වෙරළ තීරය ද ඉතා වැදගත්ය. මේ සමුද්‍රයද නොයෙකුත් මිනිස් ක‍්‍රියාකාරකම් නිසා දූෂණය වෙයි. අපවිත‍්‍ර වෙයි. මේ නිසා අපේ සාගර කලාපයෙන් උපරිම ප‍්‍රතිලාභ ලබා ගැනීමට නම් එය පිරිසිදුව දූෂණයට ලක් වන්නට නොදී ආරක්ෂා කර ගත යුතු වෙයි. එහෙත් කනගාටුවට කරුණ නම් සමුද්‍ර දූෂණය නිසා අපේ සංචාරක කර්මාන්තයට මෙන්ම ධීවර කර්මාන්තයට ද අහිතකර බලපෑම් එල්ල වෙමින් තිබීමයි. මේ නිසා මහඟු ආර්ථික වටිනාකමක් තිබෙන අපේ සමුද්‍ර කලාපය දූෂණය වීම වැළැක්වීමට සහ එය හැකිතාක් අවම කර ගැනීමට කටයුතු කළ යුතු අතර ඒ සඳහා රටේ සෑම පුරවැසියකුටම හැඟීමක්ද තිබිය යුතුය. මේ සඳහා පාසල් වියේ සිටම දැනුම ලබා දීම වැදගත්ය. මේ සඳහා පාසල් සමුද්‍ර පරිසර කණ්ඩායම් ද බිහි කර තිබේ. 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත මගින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නමින් වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවා ඇත්තේ මේ සමුද්‍ර දූෂණය වැළැක්වීම, අවම කිරීම සහ පාලනය කිරීම සඳහාය.

අපේ වෙරළ තීරය ශ‍්‍රී ලංකාවේ ජාතික, සමාජයීය, ආර්ථික සහ පාරිසරික සංවර්ධනය කෙරෙහි සෘජු බලපෑමක් කරයි. මේ වෙරළ කලාපය ලංකාවේ භුමි ප‍්‍රමාණයෙන් සියයක 24 ක ප‍්‍රමාණයක් වන අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ලේඛන අනුව රටේ මුළු ජනගහනයෙන් සියයට 32 ක් මේ වෙරළ කලාපයේ වාසය කරයි. මේ වෙරළ තීරය තුළ මෝය, අර්ධද්වීප, මුහුදු වෙරළ, දියඹ හා දූපත් රාශියක් පිහිටා ඇත. එසේම අපේ ධීවර කර්මාන්තයෙන් සියයට 90ක දායකත්වයක් සපයන මේ වෙරළ තීරය අපේ සංචාරක කර්මාන්තයටත් ඉතාමත්ම වැදගත්ය. එනම් සංචාරක හෝටල් ඇතුළු සංචාරක කර්මාන්තය ආශ‍්‍රිත කර්මාන්ත බොහොමයක් පිහිටා ඇත්තේ මේ කලාපයේය. එසේම කෘෂිකර්මාන්තය ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම් බොහොමයක් ද මේ වෙරළ කලාපයේ සිදු කෙරෙයි. එසේම රටේ ජෛව විවිධත්වයෙන් අනූන ප‍්‍රදේශ රැුසක් ද මේ වෙරළ කලාපය තුළ පිහිටා තිබේ. කොරල්පර, කඩොලාන, ගංගා මෝය කලපු, තෙත් බිම්, අභය භුමි මේවට උදාහරණ වේ. මේ හැම සම්පතකින්ම අපට වැඩ ගත හැකිය. එහෙත් ඒ සඳහා නිසි සැලසුම් සහ උපායමාර්ග තිබීම අත්‍යවශ්‍ය වෙයි.

fea8 2අප මේ ලෝකයේ කොතන ජීවත් වුවත් මහා සාගරය සමග අපේ සම්බන්ධයක් තිබේ. එය ඔබ නොදන්නවා විය හැකි නමුත් ඔබගේ ක‍්‍රියාකාරකම් සාගරයේ පැවැත්මට, සාගරයේ ජීවීන්ගේ පැවැත්මට ඉමහත් ලෙස බලපානු ලබයි. ඔබ විසි කරන ටොෆි කොළය හෝ සිලි බෑගය ඇතැම් විට ගංගා, ඇළ දොළ ඔස්සේ ගසාගෙන ගොස් අන්තිමට නතර වන්නේ ඇතැම් විට මහා සාගරයේය. ඒවා මුහුදේ ජීවින් ආහාරයට ගෙන ඇතැම් විට ඔබ ඉවතලන දේ නතර වන්නේ එම මුහුදු ජීවියාගේ කුස තුළ විය හැකිය. අප බොහෝ විට ගොඩ බිම පරිසර දූෂණය ගැන කතා කළත් සමුද්‍ර පරිසර දූෂණය ගැන කතා කරනවා අඩුය. එහෙත් ගොඩබිම දූෂණයේ අවසන් බලපෑම සමුද්‍ර දූෂණයට බලපානු ලබයි. මෙලෙස මිනිසා විසින් සෘජුව හෝ වක‍්‍රව සාගර පරිසරයට නොයෙකුත් අපද්‍රව්‍ය එකතු කරයි. මෙය මිනිසාට, සාගර පරිසරයට මෙන්ම ධීවර කර්මාන්තයට සහ සංචාරක කර්මාන්තයට ද අහිතකරය. දූෂණය වූ අපිරිසිදු වෙරළ තීරයක් දකින්නට මෙරටට එන විදෙස් සංචාරකයා කැමති නොවේ. එසේ වුවහොත් ඔවුන් අපේ රට වෙනුවට වෙනත් රටක් තම සංචාරය සඳහා තෝරා ගන්නට ඉඩ තිබේ. මත්ස්‍ය සම්පත ගතහොත් අපේ මත්ස්‍ය නිෂ්පාදනයෙන් වැඩිම දායකත්වය සපයන්නේ කරදිය ධීවර කර්මාන්තයෙනි. ඈත අතීතයේ සිටම ධීවර කර්මාන්තය මානව වර්ගයාගේ පැවැත්මට වැදගත් සාධකයක් වූ අතර ඒ ආශ‍්‍රිතව විශාල රැුකියා ප‍්‍රමාණයක් ද නිර්මාණය වී තිබේ. සෘජුවම මාළු ආහාරයට ගැනීමට අමතරව වෙනත් සකස් කළ මත්ස්‍ය ආශ‍්‍රිත නිෂ්පාදන එනම් කරවල, උම්බලකඩ, ජාඩි, මෝර වරල් සහ ටින් මාළු වැනි දේ මේ අතර වේ. එසේම මුහුදු පැලෑටි ද අපට අපනයනය කර විදේශ විනිමය ඉපයිය හැකිය. මේ සියලූ සාගර සම්පත්වලින් අපටත් අනාගත පරපුරටත් ප‍්‍රතිලාභ ලබා ගත හැකි පරිදි අප ප‍්‍රයෝජනයට ගත යුතු වේ. ඒ තුළින් අපේ ආර්ථිකයට විශාල දායකත්වයක් සාගර ආර්ථිකයෙන් ලබා ගත හැකිය. මේ කාලය අප වැඩි වැඩියෙන් අපනයන කර්මාන්ත ගැන සිත යොමු කළ යුතු කාලයක් වන නිසා මත්ස්‍ය ආශ‍්‍රිත සකස් කළ ආහාර අපනයනයට යොමු වීම ඊට හොඳ විසඳුමකි. එහෙත් එය තනි තනිව ධීවර ප‍්‍රජාවටම කිරීමට අපහසුය. ඒ සඳහා නවීන තාක්ෂණය ද අවශ්‍ය වේ. මේ නිසා ඊට රජයේ මැදිහත්වීම අවශ්‍ය වේ. අනාගත ආර්ථික ප‍්‍රතිපත්තියක් සැකසීමේදී එය අපේ සාගර කලාපය ගැන වැඩි අවධානයක් යොමු කර සකස් කිරීම අත්‍යවශ්‍ය දෙයක් බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා කියන අදහස ගැන සියලූ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු වීම අත්‍යවශ්‍ය වෙයි. මෙහිදී අපට නම් හැෙඟන්නේ ගොඩබිම් පරිසරය පමණක් නොව සමුද්‍ර පරිසරය ආරක්ෂා කිරීම සඳහා ද මහජන ආකල්ප වර්ධන පමණක් ප‍්‍රමාණවත් නොමැති බවයි. ඒ සඳහා නීති සම්පාදනය කිරීම ද අවශ්‍ය වෙයි.

සාගර ආර්ථිකය යන යෙදුම හා සංකල්පය ගැන අප වඩාත් අවධානය යොමු කිරීම වැදගත් වන්නේ අපගේ ආර්ථික ක‍්‍රියාකාරීත්වය ඉහළ නංවා ගැනීමට ඉන් ලබා ගත හැකිව තිබෙන ඉහළ දායකත්වය නිසාය. අපේ සාගර කලාපය භාවිතා කරමින් නාවික කටයුතු, අන්තර්ජාතික සබඳතා, ආනයන අපනයන කටයුතු වැනි ජාත්‍යන්තර වෙළෙඳාම උපයෝගි කරගෙන රට දියුණු කිරීම කළ හැකිය. අතීතයේ ද ශ‍්‍රී ලංකාව මෙබඳු සාගර ආර්ථික ගනුදෙනු පැවැති බව ඉතිහාසයෙන් හෙළිදරව් වන්නකි. දුර අතීතයේදී රෝමය, ඊජිප්තුව, පර්සියාව සහ අරාබි රටවල් සමඟ ශ‍්‍රී ලංකාව වෙළෙඳ කටයුතු සිදු කර තිබේ. ඒ සඳහා මූලික වශයෙන්ම නාවික ගමන් හා ශ‍්‍රී ලංකාවේ වරායවල් ය. පසු කාලයේ ඉහත රටවල්වලට අමතර ව පෘතුගාලය, ඕලන්දය, එංගලන්තය වැනි යුරෝපීය රටවල් අප සමඟ වෙළෙඳාමේ යෙදී ඇත. තවමත් බොහෝ භාණ්ඩ ප‍්‍රවාහන කටයුතු සිදු කරනුයේ මුහුදු මාර්ගයෙනි. අතීතයට වඩා අප දැන් වෙනත් සමුද්‍ර සම්පත් ගැන ද අවධානය යොමු කළ යුතුය. මත්ස්‍ය සම්පත, ඛනිජ වැලි, මුහුදු පැලෑටි, හුණු ගල්, රසායනික කර්මාන්ත, ඛනිජ තෙල් සහ ස්වභාවික වායු සහ සුන්දර වෙරළ තීරය මේ සමුද්‍ර සම්පත් අතර ප‍්‍රධාන වේ. මේ නිසා රට ආර්ථිකමය වශයෙන් සමෘද්ධියට පත් කළ හැකි ප‍්‍රධාන උපාය මාර්ගයක් ලෙස සාගර ආර්ථිකය පවතින බව නිසැක වශයෙන්ම පිළිගත හැකි කරුණකි.

සමුද්‍රීය ආරක්ෂණ කලාප ඇති නොකළොත් අනාගතයේදී ධීවර කර්මාන්තයක් නැති වේවි

- සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ
ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර

දූපත් රාජ්‍යයක් වශයෙන් ශ‍්‍රී ලංකාව සාගර පරිසර පද්ධතීන් රාශියකින් අනූන වූ රටක් වශයෙන් ලෝකය පුරා ප‍්‍රචලිත වී තිබෙනවා. මෙම සාගර පරිසර පද්ධතීන් අප රටට පරිසර විද්‍යාත්මක, ආර්ථික හා සමාජීය වශයෙන් ඉතාමත් ඉහළ දායකත්වයක් සහ සම්පත් සපයන ස්ථානයක්. මේ නිසා සාගර පරිසර පද්ධතීන් අපට ඉතා වැදගත් මෙන්ම අප නොදැනුවත්වම අපගේ ජීවිතවලට ඉතා සමීපව බැඳී පවතිනවා. මෙම සාගර කලාපයේ සුන්දර බව මෙන්ම පරිසරය විනාශ වී යා හැකි අනර්ථකාරී ක‍්‍රියාවන් රැුසකගේ බලපෑම්වලට මේ වන විට අපේ සාගර පරිසරය මුහුණ පා තිබෙනවා. ඒ නිසා සාගර පරිසරය ආරක්ෂා කිරීමට සහ දූෂණය අවම කර ගැනීමට අපට කළ හැකි ක‍්‍රියාමාර්ග බොහොමයි. මේ ගැන දැනුවත් වීම වර්තමාන පරපුරට මෙන්ම අනාගත පරපුරට මහඟු ආයෝජනයක් ද වෙනවා. මේ සඳහා අප පාසල් සිසුන් ද දැනුම්වත් කරනවා.

සාගර ආර්ථිකය අපට ඉතා වැදගත්. මේ නිසා මුහුදේ සම්පත් ගැන අප අවධානය යොමු කළ යුතුයි. දැනට ශ‍්‍රී ලංකාවේ භුමි ප‍්‍රමාණය මෙන් අට ගුණයක් විශාල සාගර කලාපයක් අප සතුයි. අප ඉල්ලීම් කර ඇති ආකාරය අනුව අනාගතයේදී අපේ භුමි ප‍්‍රමාණය මෙන් විසි තුන් ගුණයක සාගර කලාපයක් අපට හිමි වීමට නියමිතව තිබෙනවා. මේ නිසා අනාගතයේදී කවර ආර්ථික ප‍්‍රතිපත්තියක් අනුගමනය කළත් එය සාගරය පදනම් කර ගත් එකක් විය යුතුයි. අප මුහුද භාවිතා කළ යුත්තේ හෙට දවසටත් එය භාවිතා කළ හැකි ආකාරයටයි. එසේම අප රටේ ද සමුද්‍රීය ආරක්ෂණ කලාප ඇති නොකළොත් අනාගතයේදී අපට ධීවර කර්මාන්තයක් නැති තත්ත්වයක් ඇති වෙනවා.

(පසුගිය ජුනි 07 දින ත‍්‍රිකුණාමලයේ සෝබර් දූපතේ පැවති මාධ්‍ය වැඩමුළුවේදී.)

ශ්‍යාම් නුවන් ගනේවත්ත
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles