Divaina - කීර්තිට මහින්දගෙන් ලැබුණු දුරකථන ඇමතුම..... කාදිනල්තුමා දුන් පණිවුඩය... පාර්ලිමේන්තු කණ්‌ඩායමේ ජර්මන් සංචාරය..... කාදිනල්තුමා ඇමරිකානු තානාපතිතුමියට කී කතාව.....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

කාදිනල්තුමා දුන් පණිවුඩය
 
 maagam135ගාලු කඩවත් සතර හා තල්පපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මතුගම ගුණරතන හිමියන් ආගමික සහජීවනය වෙනුවෙන් නිරතුරුව පෙනී සිටින හිමි නමකි. ඒ විතරක්‌ නොව උන්වහන්සේ අලුත් අලුත් දේවල් කිරීමට සිතන පතන හිමිනමකි. ඒ විතරක්‌ නොව අක්‌මීමන තල්ගස්‌යාය සිරිපවරකිත්ති දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය දරනු ලබන්නේද මතුගම ගුණරතන හිමියන් විසිනි. ඒ නිසාවෙන් මෙකී දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය සඳහා මෙවර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සම්බන්ධ කරගනු ලැබුවේ කොළඹ අග්‍ර රාජගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් ප්‍රසාදීන් වහන්සේය.. මතුගම ගුණරතන නාහිමියන් විසින් මැල්කම් රංජිත් කාදිනල් ප්‍රසාදීන් වහන්සේ වෙත මෙකී උත්සවය සඳහා පැමිණෙන ලෙස ආරාධනා කොට තිබුණේ පාස්‌කු ඉරිදා වූ බෝම්බ ප්‍රහාරය වීමට පෙරය. මතුගම නාහිමියන් විසින් මැල්කම් රංජිත් කාදිනල් ප්‍රසාදීන් වහන්සේගේ නිල නිවස වෙත ගොස්‌ මෙකී ආරාධනාව කළහ. කාදිනල්තුමා ද ඉතා කැමැත්තෙන් මෙකී ආරාධනාව භාර ගත්තේය. මැල්කම් රංජිත් කාදිනල්තුමා දකුණු පළාතේ මෙවැනි උත්සවයකට සහභාගි වූයේ පළමුවතාවටය. කාදිනල්තුමාට දහම් පාසල් දරු දැරියන්ගෙන් හා දෙමවුපියන්ගෙන්ද හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. මටවත් තාම අපේ උත්සවයකට කාදිනල්තුමා ගෙන්වා ගැනීමට බැරිවුණා නමුත් ඔබවහන්සේ කොහොමහරි කාදිනල්තුමා ගෙන්වා ගත්තා. දකුණු පළාත් කතෝලික සභාවේ රදගුරු අති උතුම් දේව ධර්මාචාර්ය රේමන් කිංන්ස්‌ලි පියතුමා මතුගම ගුණරතන හිමියන්ට සිනහවෙමින් කීවේය.
 
 කාදිනල්තුමා ඇමරිකානු තානාපති තුමියට කී කතාව
 
 මෙකී දහම් හමුව අමතා කාදිනල්තුමා ඉතා වැදගත් පණිවුඩ කිහිපයක්‌ම ලබා දුන්නේය. පාස්‌කු ඉරිදා වූ ප්‍රහාරයේ පරීක්‌ෂණ කටයුතු ගැන මෙන්ම අපේ සංස්‌කෘතිය, මෙන්ම බුදුදහම ගැනද කථා කළේය. මේ රටේ ජීවන පැවැත්මේ මේ රටේ සංස්‌කෘතියේ කොඳු නාරටිය බවට පත්වෙලා තියෙන බෞද්ධ දර්ශනය ආරක්‌ෂා කළ යුතුයි. අපේ රටේ හැම තැනකම වෙහෙර විහාර පන්සල් තියෙනවා. වැවයි දාගැබයි එක්‌ක කුඹුරු යායක්‌ තියෙනවා. පන්සලක්‌ තියෙනවා. මාව හමුවෙන්න ආපු ඇමරිකානු තානාපතිතුමියට කීවා මේක බෞද්ධ රටක්‌ කියලා. අපේ සංස්‌කෘතියේ තියෙන බෞද්ධ පසුබිම හොඳටම බලාගන්න පුළුවන් යෑයි අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් ප්‍රසාදීන් වහන්සේ කීහ. ඒ විතරක්‌ නොව කාදිනල්තුමා කොමිස්‌ ගැහිල්ල ගැනද කථා කළේය. මෙකී දහම් හමුවේදී කාදිනල්තුමා මෙරට දේශපාලනඥයන්ට ඉතා වැදගත් පණිවුඩ කිහිපයක්‌ම ලබා දෙනු ලැබීය. හෝරා දෙකකටත් වඩා වැඩි කාලයක්‌ සිරිපවරකිත්ති දහම් පාසලේ දරු දැරියන් සමග කාදිනල්තුමා ගතකරනු ලැබීය. මෙහිදී පාසල් සිසුවකු විසින් සිත්තම් කරනු ලැබූ කාදිනල්තුමාගේ රුව සහිත ඡයාරූපයක්‌ කාදිනල්තුමා වෙත පිරිනැමූ අතර එම ඡායාරූපය දැකීමෙන් කාදිනල්තුමා දැඩි සතුටට පත්ව සිටියේය. මෙකී දහම් හමුවෙන් පසු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා අපවත්වී වදාළ දක්‌ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්‌ඩිත මහෝපාධ්‍යාය පූජ්‍ය පල්ලත්තර සුමනජෝති නාහිමියන්ගේ ශ්‍රීS දේහයට අවසන් ගෞරව දැක්‌වීම සඳහා මලිගස්‌සේ ශ්‍රී සුභද්‍රdරාම පුරාණ විහාරස්‌ථානය වෙත ගියහ.
 
 ෂාන් සද්ද බද්ද නැතිව වැඩ අරඹයි
 
 දකුණු පළාතේ හිටපු මහ ඇමති ෂාන් විඡේලාල්ද සිල්වාට ආණ්‌ඩුකාර ධුරයක්‌ ලැබෙන බවට ඉකුත් සතියේ මාගම්පුර තිරයෙන් අපි අනාවරණය කළේය. ජනාධිපතිවරයා විසින් නැගෙනහිර පළාතේ ආණ්‌ඩුකාර ධුරයට ෂාන් විඡේලාල්ද සිල්වා පත්කරනු ලැබීය. ෂාන් ආණ්‌ඩුකාර ධුරයට පත්වීමත් සමග සිය හිතවතුන්ගෙන් සුභපැතුම් ගලා එන්නට වූයේය. ඉකුත් සඳුදා දින 10.10ට යෙදී තිබූ සුභ නැකතින් ෂාන් නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාර ධුරයේ වැඩභාරගනු ලැබීය. ෂාන් වැඩ භාරගැනීමට පෙර ආණ්‌ඩුකාර ලේකම්වරයාට හා පළාත් ප්‍රධාන ලේකම්වරයාට කථා කළේය. මා වෙනුවෙන් ලොකුවට උත්සවයක්‌ සංවිධානය කරන්න එපා. අවශ්‍යම නිලධාරීන් පමණක්‌ කැඳවන්න ෂාන් අදාල නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය. ඒ අනුව වැඩභාරගැනීමේ උත්සවය ඉතා චාම් අයුරින් සංවිධානය කොට තිබුණේය. තුන් වතාවක්‌ දකුණු පළාතේ මහ ඇමතිවරයා වශයෙන් කටයුතු කර ඇති ෂාන්ට පළාත් සභා ක්‍රමය පිළිබඳ හොඳ පළපුරුද්දක්‌ ඇති දේශපාලනඥයෙකි. ඔහු සිය දේශපාලන ගමන්මග පිළිබඳව මෙන්ම පළාත් සභා ක්‍රමය පිළිබඳවද කථා කළේය. පළාත් සභා ඡන්දය පැවැත්වීමේ අවශ්‍යතාවද ෂාන් මෙහිදී අවධාරණය කළේය. මේ අතර නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවති ගලප්පත්ති ද ෂාන් නැගෙනහිර ආණ්‌ඩුකාර ධුරයට පත්විම ගැන දැඩි සතුටට පත්ව සිටින්නීය. ඇය දකුණු පළාතට සම්බන්ධ තැනැත්තියක්‌ නිසාවෙනි.
 
 කීර්තිට මහින්දගෙන් ලැබුණු දුරකථන ඇමතුම
 
 දකුණු පළාත් ආණ්‌ඩුකාර කිර්ති තෙන්නකෝන්ට ඉරිදා උදෑසනින්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් දුරකථන ඇමතුමක්‌ ලබා දුන්නේය. කීර්ති පල්ලත්තර නායක හාමුදුරුවෝ අපවත්වෙලා ඒ ගැන සොයා බලන්න හිටපු ජනාධිපතිවරයා කීවේය. ඒ වනවිට ආණ්‌ඩුකාරවරයා ඉන්දීය අගමැතිවරයා සමග පැවත්වෙන භෝජන සංග්‍රහයට සහභාගිවීමට යාම සඳහා සූදානමින් සිටියේය. හිටපු ජනාධිපතිවරයා කථා කොට සුළු වෙලාවකට පසු සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ද ආණ්‌ඩුකාරවරයාට කථා කළේය. පල්ලත්තර නාහිමියන්ගේ අපවත්වීම ගැන මෙන්ම ආදාහන උත්සවයේ සංවිධාන කටයුතු ගැන දෙදෙනා කථා බස්‌ කළේය. ආණ්‌ඩුකාරතුමා අවශ්‍ය කටයුතු සඳහා රුපියල් ලක්‌ෂ 05ක මුදලක්‌ මම බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ලබා දෙන්නම් සජිත් ආණ්‌ඩුකාරවරයාට කීවේය. ඉන්පසු ආණ්‌ඩුකාරවරයා මලිගස්‌පේ ශ්‍රී සුභද්‍රdරාම පුරාණ විහාරස්‌ථානය වෙත ගොස්‌ අවශ්‍ය කටයුතු සොයා බැලුවේය. එදින රාත්‍රියේ පැවති ආදාහන උත්සව කමිටුවටද ආණ්‌ඩුකාරවරයා සම්බන්ධ විය. වජිර ,ගයන්ත, හා බන්දුල බණ්‌ඩාරිගොඩ, ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු ඒ සඳහා එක්‌ව සිටියහ. මෙහිදී ආණ්‌ඩුකාරවරයා නාහිමියන්ගේ අපවත්වීම ගැන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ද දැනුවත් කොට ආදාහන උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට අවශ්‍ය කටයුතු කළේය.
 
 හුළංන්දාව දෙමළ විද්‍යාලයේ දරුවන්ගේ දුක
 
 ආණ්‌ඩුකාරවරයා ඉකුත් සතියේ අකුරැස්‌ස කළාපයේ ඇති එකම දෙමළ විද්‍යාලය වන හුළංන්දාව පාසලට ගියේය. එම පාසලේ පළමු, දෙවැනි හා තුන්වැනි ශේ්‍රණි සඳහා 2017 වර්ෂයෙන් පසු ඉගැන්වීමේ කටයුතු සඳහා කිසිදු ගුරුවරයෙක්‌ නොවීය. එම පංතිවල ඉගැන්වීම් කටයුතු කරමින් සිටියේ උසස්‌ පෙළ සමත් අයෙකි. පාසල තුළ පැවතියේ අවිදිමත් ඉගැන්වීමේ ක්‍රමයකි. මේ පාසල් සඳහා ගුරුවරුන් 06 දෙනකුගේ හි`ගයක්‌ පැවතුණි. ඒ විතරක්‌ නොව මෙකී පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගෙන් දරුවන් 40 දෙනකුම මවුපිය සෙනෙහස අහිමිවූ දරුවන් වූහ. ඉතාම ඉක්‌මනින් දෙමළ ගුරුවරුන් බඳවාගෙන මෙම ගැටලුවලට විසඳුම් ලබාදෙන බව ආණ්‌ඩුකාරවරයා මෙහිදී පැවසීය. මේ අතර දකුණු පළාත් ආණ්‌ඩුකාරවරයා සිය පුතු හා දියණිය ගාල්ල රිච්මන්ඩ් හා සවුත්ලන්ඩ්ස්‌ යන විද්‍යාලවලට ඇතුළත් කිරීමට කටයුතු කළේය. මීට පෙර අවස්‌ථාවකදී ආණ්‌ඩුකාරවරයා සවුත්ලන්ඩ්ස්‌ විද්‍යාලයේ විදුහල්පතිතුමිය සමග මතගැටුමක්‌ ඇතිකරගෙන තිබුණි. තම දියණිය පාසලට ඇතුළත් කිරීම සඳහා ආණ්‌ඩුකාරවරයා සවුත්ලන්ඩ්ස්‌ විද්‍යාලයට ගියේය. එහිදී විදුහල්පතිතුමිය ආණ්‌ඩුකාරවරයා ඉතා සුහදව පිළිගනු ලැබීය. දෙදෙනා ඉතා සුහදව කථා බස්‌ කළේය. මේ අතර ආණ්‌ඩුකාරවරයා ගාල්ලේ ස්‌ථිර පදිංචිය සඳහා නිවසක්‌ සොයන බවද දැන ගන්නට තිබේ. ආණ්‌ඩුකාරවරයා ගාල්ලේ පදිංචිව සිටියද මාතර දිස්‌ත්‍රික්‌කය තුළ වැඩිපුර ගැවසෙන අතර මාතර දිස්‌ත්‍රික්‌කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක්‌ ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර මාතර දිස්‌ත්‍රික්‌කයේ සියලුම පළාත් පාලන ආයතන වලට ආණ්‌ඩුකාරවරයා පසුගිය දිනවල ගියේය. විශේෂයෙන් කඹුරුපිටිය ප්‍රදේශයේ රෝහල්වල කටයුතු ගැන ආණ්‌ඩුකාරවරයා සොයා බැලුවේය. ඔහු ඌරුබොක්‌ක රෝහලින් පිටත්වන විට රාත්‍රි 9.00ද පසුවී තිබුණි.
 
 ජර්මන් සංචාරය
 
 කුමාර වෙල්ගම, සුනිල් හඳුන්නෙත්ති, විඡේපාල හෙට්‌ටිආරච්චි, මරික්‌කාර්, ලක්‌ෂමන් යාපා අබේවර්ධන ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්‌ ඉකුත් සති අන්තයේ ජර්මනියේ සංචාරයක නිරතවූහ. එම පාර්ලිමේන්තු කණ්‌ඩායමේ නායකත්වය දරනු ලැබුවේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාය. ජර්මනියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අධ්‍යයනය කිරීම මෙකී චාරිකාවේ අරමුණ විය. මන්ත්‍රී කණ්‌ඩායම ජර්මන් පාර්ලිමේන්තුවට ද ගොස්‌ එහි කටයුතු සොයා බැලුවේය. ඊට අමතරව එරට උප ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළේය. ජර්මන් ණය ආධාර යටතේ කරාපිටියේ ඉදිවන මෘතෘ රෝහල පිළිබඳව ද සාකච්ඡා කළ අතර විඡේපාල හෙට්‌ටිආරච්චි මන්ත්‍රීවරයා එහි පවතින අඩුපාඩුකම් පිළිබඳවද මෙහිදී අදාල පාර්ශවයන් දැනුවත් කිරීමට කටයුතු කළේය.
 
 ලලිත් චාමින්ද

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles