Divaina - ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු සංචාරක කර්මාන්තය ගොඩ ගැනීම...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

fea8 1පසුගිය පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාව හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය මේ වන විට මුළුමනින්ම පාහේ අඩපණ වී ඇත. සංචාරක කර්මාන්තයට අමතරව ආර්ථික කටයුතු පවා බොහෝ දුරට අඩපණ වී තිබේ. මේ නිසා ප‍්‍රශ්නය වී තිබෙන්නේ සංචාරක කර්මාන්තයට පමණක් නොවේ. අප ගිය සතියේ ‘ආර්ථිකයට පෙර ජාතික ආරක්ෂාව’ මැයෙන් ලියූ ලිපියෙන් කියා සිටියේ ද ප‍්‍රථමයෙන්ම ජාතික ආරක්ෂාව සුරක්ෂා කළ යුතු බවයි. එය මේ මොහොතේ වඩාත්ම වැදගත් දෙය බවයි. ලෝකයේ දියුණු සංවර්ධිත රටකට වුවත් සියයට සියයක් ආරක්ෂාව සහතික කළ හැකි යයි අපි නොකියමු. මෙලෙස රටක් සියයට සියයක් ආරක්ෂිත තත්ත්වයට පත් කිරීමට අපහසු විය හැකි නමුත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්වසනීය වැඩපිළිවෙළක් දියත් කරමින් රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් රටේ පුරවැසියන්ට මෙන්ම වෙනත් රටවලට ද ඒ බව තහවුරු කිරීමට අප සමත් විය යුතුය. එසේ නොකර සංචාරක පැමිණීම් පමණක් නොව සමස්තයක් ලෙස රටේ ආර්ථික කටයුතු පණ ගැන්විය හැකි යයි අපි නොසිතමු. ඒ නිසා දැන්වත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ප‍්‍රමුඛත්වය ලබා දී මේ ව්‍යසනයෙන් රට මුදා ගැනීමේ ස්ථිරසාර ප‍්‍රතිපත්තියක් දියත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ නැතහොත් සංචාරක ව්‍යාපාරය, රටේ ආර්ථිකය පමණක් නොව සාමාන්‍ය ජනජීවිතය ද බලවත් අනතුරකට පත් වනු ඇත. රට පුරාම සංචාරක හෝටල් සහ වෙනත් නිවාඩු නිකේතන සියල්ල පාහේ පාළුවට ගොස් තිබේ. අපේ‍්‍රල් 21 දින බෝම්බ ප‍්‍රහාරයෙන් පසු මෙරටට පැමිණ සිටි සංචාරකයන් ද රටින් වහාම පිටව ගියේය. මේ සිදු වීමෙන් පසු රටවල් 37ක් විසින් අපේ රටේ සංචාරය කිරීම සම්බන්ධයෙන් එරට වැසියන්ට සංචාරක මාර්ගෝපදේශන නිකුත් කර ඇති බව සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී කීවේය. රජය සහ සංචාරක බලධාරීන් මේවා ක‍්‍රමානුකූලව ඉවත් කර ගැනීමට සමත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරමින් සිටින බවක් අපට පෙනෙන්නට නැත. කිෂූ ගෝමස් මහතා නම් මේ සිදු වීමෙන් පසු දිගටම ඉතා හොඳ ජවයකින් මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා කටයුතු කරමින් සිටි බවක් පෙනෙන්නට තිබුණි. එහෙත් කවරෙක් කවර මහන්සියක් දැරුවද රජය පැත්තෙන් රටේ ආරක්ෂාව නිසි ලෙස සුරක්ෂිත නොකර ඒ ගැන විශ්වාසය තහවුරු නොකර සංචාරක පැමිණීම් ප‍්‍රවර්ධනය කර ගත හැකි යයි සිතීමට අපහසුය. එවැනි පසුබිමක දියත් කරන සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් ද ගඟට කැපූ ඉනි මෙන් නිරර්ථක ප‍්‍රයත්නයක් වනු ඇති බව අපට පෙනෙන්නට තිබේ.

අපේ‍්‍රල් 21 වැනිදා බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල වූයේ නැතත් රටේ තැනින් තැන නොයෙකුත් සිදු වීම් සිදු වෙමින් තිබේ. මේ සිදුවීම් උත්සන්න වීම නිසා ඉකුත් 13 වැනිදා මුළු රටටම යළිත් ඇඳිරි නීතිය පැනවීමට ද සිදුව තිබේ. ආරක්ෂක අංශ විසින් කරන පරීක්ෂා කිරීම්වලදී දිනපතාම පාහේ කඩු, කිණිසි, පුපුරන ද්‍රව්‍ය යනාදිය හමු වෙමින් තිබේ. මේ අය නිවෙස්වල සහ පල්ලිවල කඩු තබා ගනිමින් මේ සූදානම් වෙමින් සිටියේ කුමකටද? මේ කඩු තියා ගත්තේ සුසාන භූමිවල කැලේ සුද්ද කිරීමටද? එසේත් නැත්නම් කාන්තාවන්ගේ ආරක්ෂාවටද? කාන්තාවන්ගේ ආරක්ෂාවට නම් එහි අර්ථය කුමක්ද? ඔවුන් නීතිය අතට ගැනීමට සූදානමින් සිටින බව නොවේද? මේ කඩු තියාගෙන සිටින්නේ කොස් කොටන්නට නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ බව දැනගන්නා සෙසු නිරායුධ අහිංසක ජනයාට ඇති වන හැඟීම කුමක් විය හැකිද? ඔවුන්ට ඇති වනු ඇත්තේ ඉතා අනාරක්ෂිත හැඟීමක් නොවේද? මේ නිසා රජය වහාම රටේ සියලූ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුව තිබේ. රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව සුරක්ෂිත නොකර අපට කිසිසේත්ම විදෙස් සංචාරකයින් ගෙන්වා ගත නොහැකිය. මෙවැනි තත්ත්වයක් තිබුණත් දිනපතාම පාහේ කිසියම් සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණෙමින් සිටී. එහෙත් එය ප‍්‍රමාණවත් නොවේ. සංචාරක පැමිණීම් යළි යථා තත්ත්වයට පත් කරගෙන එය යළි වර්ධනය වන ප‍්‍රවණතාවකට පත් කර ගත යුතුව තිබේ. ඒ සඳහා පසුගිය ත‍්‍රස්ත ප‍්‍රහාරවලින් පසු රටේ ඇතිව තිබෙන නොසන්සුන්තා සමනය කරගත යුතුව තිබේ. ජාතිවාදී

ගිනිදැල් ඇවිළීමට ඉඩ දිය යුතු නොවේ. මේ සඳහා ආගමික නායකයන්ට ද විශාල කාර්යභාරයක් තිබේ. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් දිනපතාම පාහේ මේ ගින්න නිවීමට වෙහෙස වෙමින් සිටී. බෞද්ධයන්ගේ පැත්තෙන් මෙය ඒ තරමට ඉටු වන බවක් පෙනෙන්නට ද නැත. එහෙත් රජය පැත්තෙන් කළ යුත්තේ චෝදනා එල්ල වී ඇති ඇමැති මණ්ඩලයේ සිටින අයගෙන්ම ප‍්‍රශ්න කිරීම සහ නීතිය ක‍්‍රියාත්මක කිරීම පටන් ගැනීමයි. ඇමැති මණ්ඩලයේ සාමාජිකයාගේ සිට පහළට සෑම මට්ටමකටම තරාතිරම නොබලා මේ ප‍්‍රශ්න කිරීම්, අවශ්‍ය පරීක්ෂා කිරීම් සහ ඒ අනුව අවශ්‍ය නම් නීතිය ක‍්‍රියාත්මක කිරීම ද කළ යුතු වෙයි. එසේ නැතුව ජාතික ආරක්ෂාවට සීමාවන් පැනවීමට

ගියහොත් ඒ පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇත. අද එය සිදුව තිබේ.

පසුගිය සෙනසුරාදා (11 * උදේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම ඇඹිලිපිටිය ශ‍්‍රී බෝධිරාජ ධර්මායතනයේදී පැවැත්විණි. මෙහිදී දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් සාක්ෂි දුන් අතර මේ අවස්ථාවට හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා ද එක්ව සිටියේය. සාක්ෂි විභාගය අතරතුර මේ ලියුම්කරු, දිවයින ප‍්‍රාදේශීය මාධ්‍යවේදී ඕමල්පේ ප‍්‍රදීප් ජනක ඇතුළු මාධ්‍යවේදීන් අසන ලද ප‍්‍රශ්නවලට ද ජනරාල් රත්නායක පිළිතුරු දුන්නේය. ඔහු එහිදී මෙසේ කීවේය.

‘මේ වගේ තත්ත්වයකදී සාමාන්‍යයෙන් සමාජයක් වශයෙන් සීමාවන් සිදු වෙනවා. එහෙත් ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට අවස්ථානෝචිතව කළ යුතු සෑම දෙයක්ම කළ යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. ඒ වගේ දේවල්වලට සීමාවන් පැවතෙනවා නම්, ඒ වගේ දේවල්වලට යම් යම් දේශපාලන ඇඟිලි ගැසීම් වෙනවානම්, වෙනත් තහනම් කිරීම් හෝ ඒවා අඩු කිරීම් හෝ සිදු වෙනවා නම් එය සුදුසු නැහැ කියලයි අපට තේරෙන්නේ.’

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා බිඳ වැටී ඇති ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවතත් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රවර්ධන හා ප‍්‍රචාරක වැඩපිළිවෙළක් දියත් කිරීමට ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය තීරණය කර තිබේ. මේ වෙනුවෙන් ගෝලීය මහජන සබඳතා ප‍්‍රවර්ධන සමාගමක සහාය ලබා ගැනීමට යන බවත් ඒ සඳහා රුපියල් බිලියනයක මුදලක් වැය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බවත් ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් මහතා පසුගිය සිකුරාදා (10* කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසූ බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. රුපියල් බිලියනයක් යනු ඇති දැවැන්ත මුදලකි. මෙතරම් කඩිමුඩියේ මෙවන් ප‍්‍රවර්ධන වැඩපිළිවෙළක් කිරීමට යොමු වීම සැකයට තුඩු දෙන්නකි. තවමත් රට යථා තත්ත්වයට පත්ව නැති මොහොතක විදෙස් සංචාරකයන්ට මෙරටට එන්නැයි කීමෙන් ඵලක් තිබේද? රට කිසියම් මට්ටමකින් හෝ යථා තත්ත්වයට පත් කර ගැනීමෙන් පසුව එවැන්නක් අවශ්‍ය බව ඇත්තය. එහෙත් එවැන්නක් සිදු කිරීමට තවමත් ඉක්මන් වැඩි බව ඉතාමත්ම පැහැදිලි කරුණකි. සංචාරක කර්මාන්තයේ ඇතැම් පිරිස් ද මේ ලියුම්කරුට ඒ බව පෙන්වා දුන්නේය. මෙසේ රට තවමත් යථා තත්ත්වයට පත් වීමටත් පෙර එක්තරා ජාත්‍යන්තර ආයතනයක් හරහා ලංසු පවා කැඳවන්නේ නැතුව මෙතරම් විශාල මුදලක් වැය කරමින් සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් කිරීමට ඇති වූ හදිසිය කුමක්ද? මෙය කාගේ ඕනෑකමට කරන දෙයක්ද? උදාහරණයක් ලෙස විවිධ ප‍්‍රදේශවලට පමණක් සීමා වී තිබූ ඇඳිරි නීතිය නොයෙකුත් සිදු වීම් නිසා ඉකුත් 13 වැනිදා හදිසියේ රටටම පැනවූ නිසා වැඩට පැමිණි ජනයාට නිවසට යන්නටවත් කාලයක් නොවීය. කාර්යාලයීය දුම්රිය පවා අවලංගු කිරීමෙන් ජනයා අසරණ වී විරෝධය දක්වන පුවත් එදින රාත‍්‍රියේ රූපවාහිනී නාළිකා පුවත් මගින් විකාශය විය. ඊට පසු දිනයේද රටටම ඇඳිරි නීතිය පනවනු ලැබිණි. පාසල් විවෘත කර දින ගණනාවක් ගතව තිබුණත් ළමයින්ගේ පැමිණීම තිබෙන්නේ ඉතාමත් අවම මට්ටමකය. එසේ නම් රජය මොනවා කිව්වත් තවමත් රටේ ආරක්ෂක තත්ත්වය ගැන අපේ රටේ අතිමහත් බහුතර පුරවැසියන්ට පවා විශ්වාසය තහවුරු කිරීමට රජය අපොහොසත්ව ඇත. මෙසේ ආරක්ෂක තත්ත්වය ගැන අපේ ජනයා තුළත් විශ්වාසය තහවුරු වී නැත්නම් අපේ රට ආරක්ෂිත බව ලෝකයාට කියා සිටින්නේ කෙසේද? විදෙස් සංචාරකයාට මෙරටට එන්නැයි කියන්නේ කෙසේද? එසේ කියමින් අධික වියදම් දරමින් මේ මොහොතේ හදිසියේ දැවැන්ත සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමෙන් වැඩක් තිබේද? මේ හදන්නේ කල දුටු කල වළ ඉහ ගැනීමටද? මේ ප‍්‍රශ්න අපට අසන්නට තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගියදා විදෙස් තානාපතිවරුන් හමුවේ රටේ ආරක්ෂාව තහවුරු වී ඇතැයි ප‍්‍රකාශ කරමින් විදෙස් සංචාරකයින්ට මෙරටට පැමිණෙන්නැයි ආරාධනා කළ බව අපට මතකය. ඒ අනුව මෙරටට එන විදෙස් සංචාරකයාට මෙවැනි වාතාවරණයකට මුහුණ දීමට සිදු වෙනවා නම් ඔවුන් අසතුටට පත් වනු ඇත. ඒ නිසා මේ ලියුම්කරු නම් සිතන්නේ කොහොමත් මෙරටට එන සංචාරකයින් හැරෙන්නට අලූතින් මුදල් වියදම් කරමින් දැවැන්ත සංචාරක ප‍්‍රවර්ධන කටයුතු කිරීම තේරුමක් නැති බවය. එසේම රාජ්‍ය නායකයාගේ හුදු ප‍්‍රකාශයකින් පමණක් ලෝකයා, විදෙස් රටවල් අපේ රටේ ආරක්ෂක වාතාවරණය ගැන සෑහීමට පත් නොවනු ඇත. ඒ සඳහා විශ්වසනීය වැඩපිළිවෙළක් තිබිය යුතු අතරම ඒ ගැන ඔවුන්ට තහවුරු කිරීමටද සිදු වනු ඇත. ඒ සඳහා සුදුසු මොහොත තවමත් පැමිණ නැත. එසේ නැතිව විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වාගෙන ඔවුන් තවත් අපහසුවට සහ අසරණභාවයට පත් කිරීම් මගින් වන්නේ තවත් හානියක් පමණි. සංචාරක බලධාරීන් සූදානම් වන්නේ මේ හානිය කිරීමට ද යන ප‍්‍රශ්නය කාටත් මතුව තිබෙන්නකි. පසුගිය අපේ‍්‍රල් මාසයේ සංචාරක පැමිණීම් 7.5 % කින් අඩු වී තිබේ. මේ අනුව ගිය වසරේ (2018* අපේ‍්‍රල් මාසයේ මෙරටට පැමිණි 180,429 ක විදෙස් සංචාරකයන් ප‍්‍රමාණය පසුගිය අපේ‍්‍රල් මාසයේදී 166,975 දක්වා අඩු වී ඇතැයි ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉකුත් අපේ‍්‍රල් 21 දින සිදු වූ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා සෘජුවම මේ සංචාරක පැමිණීම් අඩු වී ඇතැයිද එම අධිකාරිය කියයි.

මේ අතරම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන කිෂූ ගෝමස් මහතා, තමන් දැරූ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ දී කිෂූ ගෝමස් මහතා ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සහ ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් වූ අතර පවතින තත්ත්වය තුළ සංචාරක ප‍්‍රවර්ධනය වෙනුවෙන් වැඩි වශයෙන් අවධානය යොමු කිරීමේ අරමුණින් කිෂූ ගෝමස් මහතා, තමන් දැරූ සංචාරක සංවර්ධන අධිකාරියේ මුල් පුටුවෙන් මෙලෙස ඉවත් වීමට තීරණය කර ඇති බව පැවසේ. මේ අතර ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් ජොහාන් ජයරත්න මහතා, සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් පත්කර තිබේ. ඔහු මීට පෙර සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරනු ලැබීය. කවර නිලධාරීන් පත් කළත් රට සහ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජය අසමත් වන්නේ නම් නිලධාරීන්ට මේ මොහොතේ කළ හැකි දේ ඉතා අවම බව ද පැහැදිලිය. මේ ව්‍යසනයෙන් ඉතාම කෙටි කාලයකින් රට මුදා ගත යුතුව තිබුණත් රජය ඒ සම්බන්ධයෙන් මහජනතාවට නිසි විශ්වසනීය වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට අසමත් වීම තුළ මේ ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීමට ගතවන කාලය වෙනස් විය හැකිය. ඒ තුළ මජනතාවගේ සාමාන්‍ය ජනජීවිතයට සහ රටේ ආර්ථිකයට ඇති වන අහිතකර බලපෑම්වල ප‍්‍රමාණය සහ බලපෑම් ද තීරණය වනු ඇත. සංචාරක ව්‍යාපාරයේ ඉරණම ද තීරණය වනු ඇත්තේ ඒ අනුවය.

ව්‍යාපාර කටයුතු පණ  ගැන්වීමට 25‍%‍ කින්වත් බදු අඩු කළ යුතුයි  - අජිත් නිවාඞ් කබ්රාල්- හිටපු මහ බැංකු අධිපති

fea8 2මේ අවස්ථාවේ රටේ ව්‍යාපාර කටයුතු පණ ගැන්වීම සඳහා වහාම සියයට 25 කින්වත් බදු කපා හැරීමක් සිදු කළ යුතුයි. එසේ බදු ප‍්‍රතිශත අඩු කර නැවත වරක් ව්‍යාපාර කටයුතු කිරීමට නව පණක් ලබා දිය යුතුව තිබෙනවා. එසේ දිරි ගැන්වීමක් නොදී ව්‍යාපාර කටයුතු පණ ගැන්වීමට අපහසු තත්ත්වයක් මතුව තිබෙනවා. මෙවැනි අවස්ථාවකදී කිසිම කෙනෙක් කිසිම ආයෝජනයක් නොකරන බවද ආයෝජන නැතිව රටක් ඉදිරියට ගෙන යෑමට අපහසු බවද කිව යුතුයි. එසේම මේ අවස්ථාවේ රජය බලෙන් පොලී අනුපාත අඩු කිරීමෙන් කිසිම ඵලක් නැහැ. එය මැරිච්ච මිනිහෙකුට ඔක්සිජන් දෙන්න යනවා වගේ වැඩක්.

බෝම්බ ප‍්‍රහාරවලින් පසු අපේ රටේ තියන සියලූම ආයතන වැටිලා, ව්‍යාපාර කටයුතු කඩාකප්පල් වෙලා ඉවරයි. හැමෝගෙම පාහේ ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා තියෙන්නේ. දැන් මේ තත්ත්වය හමුවේ පොලී අනුපාතය අඩු කළා කියල කිසිම ප‍්‍රයෝජනයක් නෑ. මේක කරන්න තිබුණේ හරි නම් මීට වසරකට පෙර අප කියපු වෙලාවේ. බැඳුම්කර වංචාව නිසා පොලී අනුපාතය වැඩි වුණා සියයට 3 කින්. ඊට පස්සේ දිගටම වසර හතරක් තිස්සේ මේ පොලී අනුපාතය මේ ගාණට තිබෙනවා. ඒක නිසා තමයි දැන් මේ ප‍්‍රශ්න වෙලා තියෙන්නේ.

 

 

ජාතිවාදී උගුලේ පැටලූණහොත්  ආර්ථිකය පසුබෑමකට ලක්වීම වැළැක්විය නොහැකියි  - ආචාර්ය හර්ෂ ද සිල්වා  - ආර්ථික ප‍්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය

fea8 3ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් යළි නැගිටින එක පහසු වුවත් ජාතිවාදී ප‍්‍රහාරයකින් යළි නැගිටින එක ඉතාමත් අපහසුයි. ශ‍්‍රී ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කර ගත හැක්කේ කෙසේදැයි ආර්ථික විශේෂඥයෙකු ලෙස මා නොයෙක් අවස්ථාවල ආර්ථික විග‍්‍රහ සිදුකර තිබේ. එම විග‍්‍රහයන් සමග සමහරුන් එකඟවන අතර සමහරුන් එකඟ නොවන බව මා දනිමි. පසුගියදා එල්ල කළ ම්ලේච්ඡු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් අහිංසක මිනිස් ජීවිත රැුසක් රටට අහිමි වූ අතර බොහෝ දෙනෙකු ඉන් තුවාල ලැබීය. මේ හේතුවෙන් මෙරට ජන ජීවිතය විශාල වශයෙන් අඩාල වූ අතර අප සියලූ දෙනාම මේ වනවිට සිටින්නේ දැඩි වේදනාවකින් සහ කනගාටුවකිනි. තොරතුරු ලැබී තිබියදීත් මෙම ම්ලේච්ඡු ප‍්‍රහාරය වළක්වා ගැනීමට රජයට නොහැකිවීම පිළිබඳව වත්මන් රජයේ නියෝජිතයෙකු ලෙස මා අවංකවම ලැජ්ජාවටත් කනගාටුවටත් පත්වෙමි.

ජනතාව තුළ මේ වනවිට තිබෙන වේදනාව සහ කනගාටුව අයුතු ලෙස භාවිතා කරමින් ජනතාව ප‍්‍රකෝප කිරීමටත් ඒ තුළින් ජාතිවාදී ගැටුම් නිර්මාණය කිරීමටත් ඇතැම් පිරිස් උත්සාහ කරන බව මේ දිනවල වර්ධනය වෙමින් තිබෙන සිදුවීම්වලින් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. අපි මේ ජාතිවාදී උගුලේ පැටලූණහොත් ඉතාමත් අසීරුවෙන් කළමනාකරණය කරමින් තිබෙන මෙරට ආර්ථිකය දැවැන්ත පසුබෑමකට ලක්වීම වැළැක්විය නොහැකි අතර ඒ තුළින් අපගේ පරම්පරා ගණනාවක් විඳවනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles