Divaina - සොඳුරු මනරම් බුදුරදුන් අදිටන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


සුගත් වීරසූරිය
 
 budmag134අකාලයේ පැමිණි මහා නියඟය විසින් කෝසල රාජ්‍යයේ ජන ජීවිතය බිලිගනු ලැබ තිබුණේය. උදැසන පියවි ලොවට ආ හිරු මුළු දවස තිස්‌සේම අකාරුණිකයකු මෙන් මහපොළොවට රවන්නට පටන්ගෙන තිබිණි. ඒ දැඩි හිරු රැසට හසුවූ සෑම ගසක්‌ කොළක්‌ම දවස දෙක යනවිට මුළුමනින්ම වේළී කේඬෑරී වී ගොස්‌ තිබුණේය. ගස්‌වල මල් නොපිපිණි. නොපිපුණු මල් නිසා ඒවායෙහි පලද හට නොගත්තෙන් පක්‌ෂි සිවුපාවුන් පවා ජීවිත ගත කළේ බොහෝ කොට ඇවිලුණු සා ගින්නෙන් යුතුවය. මිනිසුන්ට නා ගන්නට පවා හරි හමනකට වතුරක්‌ තිබුණේ නැත. ඇළ දොළ මෙන්ම වැව් හා පොකුණුද වියළී ගොස්‌ පාළුවී පැවතුණේය. මහ ගංගාවල පවා වතුර නොතිබූ අතර ඒවායේ තැන තැන ඉතිරිවී තිබුණේ කඳු ගැසුණු හා නොගැසුණු මහාවැලි ගොඩවල් පමණකි.
 
 කිසිවකුත් අපේක්‌ෂා නොකළ පරිද්දෙන් පැමිණි මේ මහා නියඟය නිසා වැඩියෙන්ම දුකට පත්වී සිටියේ කුඹුරුවලත්, අනෙක්‌ ජලාශ්‍රිත ප්‍රදේශවලත් ජීවත්වූ මත්ස්‍යයින්ය. නියඟයට හසුවූ හැම ජලාශ්‍රිත පෙදෙසකම වතුර හිඳී ගියෙන් ඔවුන්ට ජීවත්වෙන්නට තැනක්‌ නැතිවිය. දියකඩිතිවල සිටි ඇතැම් මත්ස්‍යයෝ බුරුතු පිටින්ම මියගොස්‌ සිටියෝය. තවත් බොහෝ මත්ස්‍යයන් මඩ යටට රිංගා ගෙන සිය ජීවිත රැක ගත්තේ ඉතා අමාරුවෙන්ය. අනෙකුත් පක්‌ෂීන් වැනි කුරිරු හා නපුරු සතුන්ට මෙය කල දුටු කල වල ඉහ ගැනීමට ඉතා හොඳ අවස්‌ථාවක්‌ බවට පත්විය. ඔවුහු නියඟයට හසුවී මියගිය මත්ස්‍යයින් පමණක්‌ නොව මඩ යට සැඟවී සිටි මත්ස්‍යයින් පවා සොයා සොයා කාදමන්නට පටන් ගත්හ.
 
 තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වනවිට වැඩ වාසය කළේ සැවැත්නුවර ඡේතවනාරාමයේය. අකලට ආ දරුණූ නියඟයෙන් මෙසේ මහා දුකකට මුහුණදී සිටින මත්ස්‍යයින් උන්වහන්සේගේ බුදු නෙත ගැටිණ. උන්වහන්සේගේ සිත තුළින් මහා කරුණා සයුරු දිය ගලා හැළුණේය. මේ නියඟය තවදුරටත් පැවැතිය යුතු නැත. අදින් මෙය අවසන් කළයුතු යෑයි බුදුපියාණන් වහන්සේ අධිෂ්ඨාන කළහ. හෑම සත්ත්වයින්ගේම යහපත පිණිස අද මහ වර්ෂාවක්‌ වැස්‌සවිය යුතු යෑයි මෙසේ අදිටන් කළ බුදුරජාණන් වහන්සේ පෙරවරුවෙහි සෙසු භික්‌ෂුන්ද සමඟ පිඬුසිඟා වඩින්නට පටන් ගත්හ. හෝරා කිහිපයකින් පිණ්‌ඩපාත චාරිකාව අවසන් විණි.
 
 බුදුරදුන් ඇතුළු භික්‌ෂුහු පිණ්‌ඩපාතය වැළ» අතර එයින් ඉක්‌බිති භික්‌ෂුන් වහන්සේලා තම කුටි තුළට වැඩම කළහ. එතැන ඉතිරි වූයේ ආනන්ද හාමුදුරුවෝත්, බුදුපියාණන් වහන්සේත් පමණකි. පෙරවරුව ගෙවී ගොස්‌ පස්‌වරුව එළඹෙමින් තිබුණේය. එහෙත් ගිනියම්ව තිබූ හිරුෙරැa රශ්මියෙහි නම් කිසිදු අඩුවක්‌ තිබුණේ නැත. එය එලෙසින්ම පැවැතුණු අතර මහ පොළොව රත්වී අඩියක්‌ තැබීමට පවා නොහැකි තත්ත්වයකට පත්වී තිබුණේය. බුදුරජාණන් වහන්සේ ස්‌වකීය වූ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්ම ස්‌වරය අවදි කළහ. එය අනන්ත සතුන්ගේ සවනගුල් සනස්‌වමින් ගව් ගණනක්‌ දුරට පැතිරීද ගියේය. 'ආනන්ද මා දැන් ටිකක්‌ දිය නා ගන්න ඡේතවන පොකුණට යන්න ඕනෑ. ඔබ ඉක්‌මනින් ලැගුම්ගෙයට ගොස්‌ මාගේ අඳනය ගෙන එන්න' යෑයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පවසා වදාළ සේක.
 
 ආනන්ද හාමුදුරුවන්ට මෙය මහත් ප්‍රහේළිකාවක්‌ වූයේය. මහා නියඟයට හසුවී තිබෙන ඡේතවන පොකුණ දිය බිඳක්‌වත් නැතිව වේළී ගොස්‌ තිබෙන්නේ මාස ගණනාවක පටන් නොවේද? එබඳු පොකුණක නාන්නට තබා කුහුඹුවකුට බොන්නට පවා ජල බිඳක්‌වත් ඉතිරිවී නැති අයුරු ආනන්ද හාමුදුරුවන්ට කල්පනා වූවේය.
 
 ''ස්‌වාමීනි, භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සá ඡේතවන පොකුණ සම්පූර්ණයෙන්ම සිඳී ගොස්‌ තිබෙනවා. එහි එක්‌ තැනෙක ඉතිරිවී තිබෙන්නේ මඩ වතුර ස්‌වල්පයක්‌ පමණයි'',
 
 ආනන්ද හාමුදුරුවෝ පැවැසූහ. එහෙත් උන්වහන්සේ ගණනකට නොගත්හ.
 
 ''ආනන්ද, ඔබ යන්න' බුදුහාමුදුරුවෝ තෙවැනි වරටත් ආනන්ද හිමියන් ආමන්ත්‍රණය කළසේක. ආනන්ද හිමියන්ට තවත් කිසිවක්‌ කීමට ඉඩක්‌ හෝ සිතක්‌ නොතිබිණි. වහා ලැගුම් ගෙය වෙත ගිය උන්වහන්සේ අඳනය රැගෙනවිත් බුදුපියාණන් වහන්සේට පිළිගැන්වූහ. එයින් ඉක්‌බිති බුදුරජාණන් වහන්සේ දිය නෑමට සූදානම් වූහ. තවත් මොහොතක්‌වත් ගෙවී නොගිය තරම්ය. එකෙණෙහිම ශක්‍ර දේවේන්ද්‍රයාගේ පඬුපුල් අසුන රත්විය. එයින් වහා කලබලයට පත්වූ සක්‌ දෙව් රජ තෙම මිනිස්‌ ලොව දෙස බැලුවේය. බුදුරජාණන් වහන්සේ ජල ස්‌නානය කිරීමට සූදානම් වන සැටිත් මහා නියඟය හා ඡේතවන පොකුණ වේළීS ගොස්‌ ඇති අයුරුත් එහිදී සක්‌ දෙව් රජ තෙම දුටුවේය. ඔහු වහා වැස්‌ස වළාහක දෙවියන්ට කතා කළේය. ඉක්‌මනින් මහ වැස්‌සක්‌ වස්‌සවන ලෙස කීවේය. තවත් වැඩි වේලාවක්‌ ගතවූයේ නැත. එක්‌වරම පරිසරය අඳුරුවී ගියේය. හැම පෙදෙසක සිටම ඇවිත් මුළු අහස වසාලූ මහකළු වැහි වලාකුළුවලට හසුවූ ගිනියම් හිරු කොහේ සැඟවුණිදැයි කිව නොහැකි විය. මොහොතින් මොහොත අඳුරට ආලෝකය එකතු කරමින් විදුලි කොටන්නට පටන් ගත්තේය. ගිගුරුම් හඬින් කොසොල් රට ළමයින් පමණක්‌ නොව වැඩිහිටියෝ පවා බිය වූහ. අද නම් මෙතෙක්‌ පැවැති හැම දුක්‌ තැවුල් හා බැරි අමාරුකම් හෝරාවක්‌ දෙකක්‌ තුළදීම නැතිවී යනු ඇතැයි ඇතැම්හු විශ්වාසය පළකළහ. හැම කුඹුරක්‌ම අස්‌වැද්දී නිලට නිලේ බැබළෙනු ගොවීන්ගේ සිත්වල මැවිණි. තවත් අය අක්‌කර ගණන් පුරා විවිධ එළවළු හා පළතුරු වවන්නටද කතිකා කරගත්හ. මේ හැම සිදුවීම් අතරතුර මහා ධාරානිපාත වර්ෂාවක්‌ අහස්‌ කුසින් මිහිමතට කඩා හැලෙන්න පටන් ගත්හ. එය මුළු මහත් කෝසල රාජ්‍යය පුරාවටම ඇද හැළුණු අතර හෝරා හතරක්‌ පහක්‌ පමණ ගෙවී යද්දී ඇළ දොළ ගංගා හා වැව් , පොකුණු ආදිය පිරිසිදු වැහි දියෙන් පිරී ඉතිරී ගියේය. බොහෝ වේලාවක්‌ වැහි දිය කෑ පොළොවද පෙඟුණු පාන්ගෙඩියක්‌ සේ මෙළෙක්‌ව එරෙන්නට විය. ජලාශවල මඩ යට සැඟවී සිටි මත්ස්‍යයෝ දිය මතුපිටට පැමිණ පිනුම් හා කරණම් ගසමින් ප්‍රීතියෙන් නැටූහ. ගස්‌ කොළන් සියල්ල අමුතු පණක්‌ ලබා කෙළින් නැගී සිටියේය. බුදුපියාණන් වහන්සේ වැස්‌සේම ඡේතවන පොකුණෙන් දිය නාන විටත් ඡේතවන පොකුණ වතුරෙන් පිරී එකම නිල්මිණි තලාවක්‌ මෙන් වූයේය. එහි තැන තැන රත් පියුම් ද පිපී තිබුණේය.
 
 ''අහෝ මේ කොතරම් නම් විසිතුරු වූ සම්මා සම්බුද්ධ ආශ්චර්යක්‌දැයි' පසෙක බලා සිටි ආනන්ද හාමුදුරුවෝ බුදුරදුන්ට නමස්‌කාර කරන්නට වූහ.
 
 එදින සැඳෑ අඳුර ගලා හැලෙද්දී මහවැස්‌ස මඳක්‌ තුරල් විය. එතෙකුදු වුවත් තවමත් වැටෙන කුඩු පොද වන් හීන් වැස්‌ස එලෙසින්ම පොළොවට වැටෙමින් තිබිණි. එදින සන්ධ්‍යාවෙහි ඡේතවනාරාමයට රැස්‌ව සිටි භික්‌ෂුන් වහන්සේලා ඇතුළු කවුරුනුත් කතාබහ් කළේ බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුද්ධ ආශ්චර්යය පිළිබඳවය. මේ අවස්‌ථාවේදී බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්‌ඩපයට වැඩම කළහ. දම් අසුනෙහි වැඩ හුන් උන්වහන්සේ කාගේත් කතාවට මූලික හේතුව විමසූහ. පස්‌වරුවෙහි සම්මා සම්බුද්ධ ආනුභාවයෙන් ඇතිවූ මහ වැස්‌ස පිළිබඳව කතා කළ බව ඔවුහු බුදුරදුන්ට කීහ.
 
 මහණෙනි, අද පමණක්‌ නොවෙයි. බුදුවන්නට පෙර පාරමී දම් පිරූ මහ බෝසතාණන් වහන්සේගේ අදිටන් බෙලෙන් පෙරත් මෙවැනිම මහා වර්ෂාවක්‌ වැස්‌සේ යෑයි බුදුරජාණන් වහන්සේ ඊට අදාළ වූ අතීත කතාව දේශනාකෙට වදාළහ.
 
 මහණෙනි, දුර ඈත අතීතයේත් මේ ඡේතවන පොකුණ මෙලෙසින්ම තිබුණා. එදා මා මේ පොකුණේ විසල් මාළුවකු වී ඉපදී සිටියා. එදත් මේ කොසොල් රටට මෙබඳුම නියඟයක්‌ උදාවුණා. මිනිසුන්ට බොහෝ දුක්‌ පීඩා ඇතිවුණා. පොකුණෙහි මෙන්ම සෙසු ජලාශවල සිටි මත්ස්‍යයෝත් බොහෝ මියගියා. මා ඒ වෙලාවේ සත්‍ය ක්‍රියා කළා. ඒ මා කිසිදාක ප්‍රාණඝාතාදී අකුසලයන් කර නැහැ. සතුන් මරා නැහැ. ඒ සත්‍යයේ ආනුභාවයෙන් මහා වර්ෂාවක්‌ වසීවායි සිතමින් මා කඳුළු පිරි දෙනෙතින් යුතුව අහස දෙස බැලුවා. ඒත් එක්‌කම මහා වර්ෂාවක්‌ කොසොල් රටට එදත් කඩා හැලුණා. එයින් ඇළ, දොළ, ගං, ළිං, පොකුණු පිරීගියා. සතුන් ඇතුළු සියලු මිනිසුන්ගේද දුක්‌ තැවුල් එයින් නිවී ගියා' යි දේශනා කළ බුදුරජාණන් වහන්සේ මේ මත්ස්‍ය ජාතක දේශනාව නිමවා වදාළ සේක. අවසානයෙහි භික්‌ෂුන් වහන්සේලා ඇතුළු බොහෝ පිරිස්‌ දහසක්‌ නයින් ප්‍රතිමණ්‌ඩිත සෝවාන් ඵලයෙහිද පිහිටියහ.

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles