Divaina - දේවත්වයට පත් කෙරුණු රාජකීය පවුලක්‌

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 king
 හසිත චාමිකර ගුණසිංහ
 කථිකාචාර්ය ඉතිහාස අධ්‍යයන අංශය
 කැලණිය විශ්වවිද්‍යාලය
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
සිංහල බෞද්ධ ජනයා අතර වන්දනාවට පාත්‍රවන දෙවිවරුන් රාශියකි. ඒ අතර ජාතික මට්‌ටමෙන් මෙන්ම ප්‍රාදේශීය මට්‌ටමෙන්ද වන්දනාවට පාත්‍ර වූ දෙවිවරුන් බොහොමයක්‌ වන අතර සමස්‌ත දේව ජනගහණය තිස්‌තුන් කෝටියක්‌ යෑයි ජනසම්මතව පවතී. මෙම දෙවිවරුන් අතරින් ලාංකික ප්‍රභවයක්‌ සහිත දෙවිවරුන්ට හිමි වන්නේ විශේෂ වැදගත්කමකි. ඒ අතර රට දැය සමය වෙනුවෙන් උදාර මෙහෙවරක්‌ සිදු කළ රජවරුන් සහ ප්‍රාදේශීය මට්‌ටමෙන් සමාජ සේවයේ යෙදුණු පුද්ගලයන් ද සිටිනු දැකිය හැකිය.
 
 බෞද්ධ පිළිගැනීම අනුව තම ජීවිත කාලය තුළ යහපත් ක්‍රියා නොඑසේ නම් පින්කම් සිදු කළ පුද්ගලයන් මරණින් පසු සුගතිගාමී වන හෙයින් මෙම දේව වන්දනාවට අවශ්‍ය පදනම එමගින් සැකසෙන්නට ඇත. මේ හැරෙන්නට සමාජය තුළ අයහපත් අන්දමින් හෝ ප්‍රබල ස්‌මරණ රැඳ වූ පුද්ගලයන්වද දේවත්වයේ ලා සැලකෙන බවක්‌ පෙනෙන්නට තිබේ.
 
 ලංකාවේ දේවත්වයට පත් කෙරුණු රජවරුන් පිළිබ`ද පිරික්‌සීමේ දී මහසෙන් රජු ඉන් කැපී පෙනෙන අතර මින්නේරිය ඇතුළු වාරි කර්මාන්ත රැසක්‌ සිදු කරමින් කෘෂිකර්මාන්තය උදෙසා රජු ලබාදුන් දායකත්වය සිහිපත් කරමින් වර්තමානය දක්‌වාම 'මින්නේරි දෙවියෝ' නමින් ජනවන්දනයට පාත්‍රව ඇත. එසේම ලාංකේය සාහිත්‍ය මූලාශ්‍රය තුළ හමුවන රාවණ, විභීෂණ, සුමන සමන් සහ මහාසේන ආදී පාලකයන්ද දේවත්වයේලා වන්දනා කරනු දැකිය හැකිය.
 
 මේ අතර ජනතාව විසින් දේවත්වයේලා වන්දනා කරනු ලබන එක්‌ රාජකීය පවුලකට අයත් වූ සොයුරන්, ඔවුන්ගේ දරුවන් සහ මුණුපුරන් පිළිබඳ තොරතුරු රැසක්‌ සාහිත්‍ය මූලාශ්‍රය අධ්‍යයනයේදී දැකගත හැකිය. මෙහි විශේෂත්වය වන්නේ හින්දු, ගී්‍රක, මිසර ආදී දේව පුරාණයන්හිද ඥාතීත්වයෙන් බැඳී පවතින දේව පවුල් පිළිබඳ දැක්‌වුණද ඔවුන් සැබැවින් ජීවත් වූවන්ද යන ගැටලුව පැන නැඟුණ ද, මෙම රාජකීය පවුල සැබවින්ම ජීවත් වූ පිරිසක්‌ වීමයි.
 
 කෝට්‌ටේ රාජධානියේ ආරම්භක පාලකයා වන හයවැනි පරාක්‍රමබාහු රජුගේ පුත්‍රයකු වශයෙන් සැලකෙන අම්බුලුගල කුමරු මෙම දේව පවුලේ ආදි කර්තෘ වශයෙන් හඳුනාගත හැකිය. පියරජු යටතේ අම්බුලුගල ප්‍රදේශය මුල් කොටගෙන ප්‍රාදේශීය පාලකයකු වශයෙන් කටයුතු කළ කුමරු වර්ෂ 1484 දී සත්වන පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු සිහසුනෙන් පහකොට අටවන වීර පරාක්‍රමබාහු නමින් කෝට්‌ටේ සිංහාසනයට පත්විය.
 
 වීර පරාක්‍රමබාහු රජු විසින් එකම පවුලේ සොයුරියන් දෙදෙනකු තම බිසෝවරුන් වශයෙන් සරණ පාවාගෙන සිටි අතර රජුට දාව අගබිසවට ධර්ම පරාක්‍රමබාහු, ශ්‍රී රාජසිංහ සහ විජයබාහු යන කුමාරවරුන්ද, අනෙක්‌a බිසවට සකලකලාවල්ලභ හා තනියවල්ලභ යන කුමාරවරුන් හා දියණියක උපන් බව රාජාවලිය හා අලකේශ්වර යුද්ධය සඳහන් කරයි. තම පුතුන් පස්‌දෙනා සඳහා කෝට්‌ටේ රාජධානියේ විවිධ ප්‍රදේශ භාරදීමට පියරජු විසින් කටයුතු කරන ලද අතර ධර්ම පරාක්‍රමබාහු පියරජු වෙනුවෙන් අගනුවරත්, විජයබාහු රයිගමත්, ශ්‍රී රාජසිංහ මැණික්‌කඩවරත්, සකලකලාවල්ලභ උඩුගම්පොළත්, තනියවල්ලභ මාදම්පේ ප්‍රදේශයත් පාලනය කර තිබේ.
 
 මෙකී සහෝදරවරුන්ගෙන් සකලකලාවල්ලභ සහ තනියවල්ලභ දේවත්වයට පත් කරන දෙසොයුරන් වශයෙන් හඳුනාගත හැකිය. ඒ සඳහා හේතු වූයේ ඔවුන් විසින් රාජධානිය තුළ සිදු කරන ලද සුවිසල් කාර්යභාරයයි.
 
 කෝට්‌ටේ රාජධානිය දේශපාලනික ස්‌ථාවරත්වය වෙනුවෙන් ඔවුන් දෙදෙනා වැදගත් කාර්යභාරයක්‌ ඉටු කළ අතර ඒ පිළිබඳ කියෑවෙන ප්‍රධාන අවස්‌ථා දෙකක්‌ මූලාශ්‍රය දක්‌වයි. ඉන්දියාවේ කයාල්පටුන ප්‍රදේශයෙන් පැමිණි අදිරාසරායන් නම් මුදලි ප්‍රමුඛ මුස්‌ලිම් කණ්‌ඩායමක්‌ හලාවත ප්‍රදේශයේ රාජකීය මුතුපරවලින් මුතු ලබාගැනීම සහ අලි ඇතුන් ඇල්ලීම සිදු කරන බව කෝට්‌ටේ රජුට සැලවීමත් සමග එම පිරිස මර්දනය කිරීමට පිටත් කරනු ලැබුවේ සකලකලාවල්ලභ සහ තනියවල්ලභ දෙසොයුරන්වය. රාජකීය හමුදාව මෙහෙයවමින් ඉදිරියට ගිය ඔවුන් දෙදෙනා අදිරාසරායන් ඇතුළු මුස්‌ලිම් පිරිස සමූලඝාතනය කිරීමට සමත් වූ අතර එම ජයග්‍රහණ පිළිබඳ රාජාවලිය දක්‌වන්නේ '....ඇත්තු ගන්ඩ ආ යොනුන්ඩ බල්ලකු විචරත් බැ`ද ගන්ඩ නොදී නැවුත් පොඩි කොට මේ ආකාරයෙන් යුධ ජයගෙන...' යනුවෙනි.
 
 මේ කාලසීමාවේදීම උඩරට සාමන්ත පාලකයා විසින් කෝට්‌ටේ රජුට ගෙවිය යුතු වාර්ෂික දැකුම් නොගෙවා ඔටුන්නක්‌ නිර්මාණය කොටගෙන ස්‌වාධීනත්වයට පත්වන්නට යන බව සැලවීමත් සමග මැණික්‌කඩවර ප්‍රදේශය පාලනය කළ ශ්‍රී රාජසිංහ ඔහු මර්දනය කිරීමට සමත්ව තිබිණි. එහෙත් ටික කලකින් නැවතත් කෝට්‌ටේ රජුට එරෙහිව උඩරට කැරලි සහගත තත්ත්වයක්‌ ඇතිවූයෙන් එය මර්දනය සඳහා පිටත් වූ සකලකලාවල්ලභ විසින් උඩරට හමුදා පරදවා නැවතත් කෝට්‌ටේ බලය එහි තහවුරු කරන ලදී. ඒ බව අලකේශ්වර යුද්ධයේ සඳහන් වන්නේ '...සකලකලාවල්ලභ රජතෙමේ මහ සේනාව පිරිවරා නුවරින් පිටත්ව ගොස්‌ යටිනුවර මැද වාඩිලාපු තැන උඩරට රජතෙම ඉදිරියට අවුත් කුඩය හා සක්‌පලිස හා අරවා සකලකලාවල්ලභ රජු හට වඳිනා ආකාර දක්‌වා තමා කර පැළඳි දෙරිසනයත් එවූ කල සකලකලාවල්ලභ රජතෙම සිරිපතුලෙහි වීරක්‌කලයක්‌ මෙන් පැළ`ද... මතු මෙවැන්නක්‌ නොකොට අවනතව පවතින පනතට තරවුටු කරවා ගෙන...' යනුවෙනි.
 
 මෙම කාලසීමාවේදී සිදු වූ විශේෂිත සිදුවීමක්‌ ලෙස සකලකලාවල්ලභට සිහසුන සඳහා ආරාධනා කිරීම දැකගත හැකිවුවද, එකී ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරමින් සිහසුන සඳහා විජයබාහු කුමරු පත් කිරීමට ඔහු කටයුතු කිරීම පෙන්වාදිය හැකිය. අගබිසවගේ පුත්‍රයකු නොවන තමන් සිහසුන් පත්වීමෙන් රාජධානිය තුළ ඇතිවිය හැකි අර්බුදකාරී තත්ත්වය දූරදර්ශීව වටහාගත් සකලකලාවල්ලභ මෙම තීරණය ගත් බව පෙනේ. එකී සිදුවීම අලකේශ්වර යුද්ධයේ සඳහන් වන්නේ '...යුවරජ තනතුරු ලත් සකලකලාවල්ලභ රජු මහරජකමට සුදුසු හෙයින් මන්ත්‍රීවරුන් හා මහසේනාව ගොස්‌ ජයවර්ධන පුරයට වැඩමවාගෙන ඇවිත් සිංහාසනාප්‍රාප්ත වන ලෙසට සැළකළ තැන සකලකලාවල්ලභ රජ තෙම කාරණා කීපයක්‌ කල්පනාකොට වදාරා තමුන්ගේ මලනුවන් ගෙන්වා සිංහාසන ප්‍රාප්තකොට විජයබාහු නම් තබා මහ සේනාව හා රාජ්‍යය භාරකොට උඩුගම්පල නුවරට වැඩිසේක...' යනුවෙනි.
 
 මේ අන්දමින් සකලකලාවල්ලභ සහ තනියවල්ලභ යන දෙසොයුරන් කෝට්‌ටේ රාජධානියේ දේශපාලන ස්‌ථාවරත්වය සඳහා කටයුතු කළා පමණක්‌ නොව තම පාලන ප්‍රදේශ තුළ කෘෂිකාර්මික අංශයේ දියුණුව සඳහා ද සුවිශාල දායකත්වයක්‌ සපයා තිබිණි.
 
 එහිදී සකලකලාවල්ලභ විසින් අත්තනගලු ඔයේ අතු ගංගාවක්‌ වන කුඩාඔය මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේදී හරස්‌කොට වේල්ලක්‌ බැ`දීමෙන් උඩුගම්පොළ රාජධානියේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ජලය ලබා දෙන්නට කටයුතු සංවිධානය කර තිබිණි. මේ හැරෙන්නට උඩුගම්පොළ රාජධානියට අයත්ව තිබුණු රත්මලවිට, කිරිඳිවිට, මාකේවිට, අඹන්විට, තඹවිට, අක්‌කරවිට, උදම්මිට, කොස්‌ඕවිට, දික්‌ඕවිට සහ ඕපාත යන ප්‍රදේශවල ද ග්‍රාමීය මට්‌ටමින් වාරි කර්මාන්ත ඉදිකර තිබුණේද කෘෂිකර්මය සඳහා ජලය ලබා ගැනීමටය. වර්තමානයේ වගුරුබිමක්‌ බවට පත්වී තිබෙන මුතුරාජවෙල එකල රාජකීය වෙල්යායක්‌ව පැවති අතර සකලකලාවල්ලභගේ අධීක්‌ෂණයෙන් එයින් සුවිශාල වී අස්‌වැන්නක්‌ ලබාගත් බවද කියවේ.
 
 කෙසේ නමුත් මහජන සුබසාධනය සඳහා ඉමහත් කැපවීමක්‌ සිදු කළ සකලකලාවල්ලභ රජු ඝාතනය කිරීම සඳහා රජුගේම පුතුන් සත්දෙනා විසින් කුමන්ත්‍රණයක්‌ දියත් කළ අතර රජු ස්‌නානය කරන පොකුණේ උල් සිටුවා රජු පොකුණට බටවිට ඒවා ඇනී මරණයට පත් කරවීම ඔවුන්ගේ සැලසුම වී තිබිණි. එහෙත් පොකුණට බැසීමට පෙර දියේ කළු බඹරෙකු රැ`දී සිටින ආකාරය දුටු සකලකලාවල්ලභ ඒ පිළිබ`ද සැලකිලිමත් වීමෙන් තමාට එරෙහිව වූ කුමන්ත්‍රණය හෙළිදරව් කරගැනීමට හැකි වූයෙන් වහාම තම පුතුන් සත්දෙනා මරාදැමීමට නියෝග කර තිබේ. එහෙත් මව්බිසවගේ සහයෙන් මාලිගාවෙන් පලාගිය ඔවුන්ට අලගල, මහකන්ද නම් ප්‍රදේශයේ සැඟව දිවි ගෙවීමට සිදු වූ බව කියෑවේ.
 
 දිනක්‌ සැඟව ගත කරන දිවිය පිළිබඳ කළකිරුණු එක්‌ කුමරුවකු තමන්ට පුද සත්කාර කරන ජනතාවට පිහිට වෙමියි සිතා පර්වතයකින් පැන සියදිවි නසාගත් අතර ඔහු 'ක`ඵ කුමාර දේවතා බණ්‌ඩාර' නමින් ප්‍රකට විණි.
 
 මේ පිළිබඳ ඇති තවත් කතා පුවතකට අනුව මේ කුමරු සකලකලාවල්ලභට දාව රජක කුලයේ ස්‌ත්‍රියකට උපන් අයෙකි. කුඩාකල පටන් කළුකුමාර, කුමාර බණ්‌ඩාර, මැණික්‌සාමි සහ මල්මද කුමාර යන නම්වලින් ප්‍රකට වූ මේ කුමරු තරුණ වියට පැමිණි පසු පිය රජුගෙන් උඩුගම්පොළ රාජ්‍යය ඉල්ලා සිටිය ද පියරජු විසින් එය ප්‍රතික්‌ෂේප කළ හෙයින් පියා මැරවීමට කුමන්ත්‍රණය කර තිබේ. එහිදී රජුගේ නානතොටේ උල් සිටුවා රජු ඝාතනය කිරීමට සැලසුම් කළද රජුට එය සැළවීමෙන් කුමරු අමු සොහොනකලා මරා දැමීමට නියම කෙරිණි. ඒ බව කළුකුමාර දෙවි උපත පිළිබඳ කියෑවෙන පද්‍යවල ඇත්තේ මෙපරිද්දෙනි.
 
 නමින් පසිඳු උඩුගම්පළ පිය සා
 පියන් මරන ලෙස ඇවිදින වය සා
 දෙපන්සියක්‌ උල් සදලා පත සා
 කියන් වරුණ බල තෙද පෑ විල සා
 
 මේ බව පියරජතුම දැනගන් නේ
 උල් සෑදුවේ මට කවුද අසන් නේ
 මල්මද කුමරා සැදුව කියන් නේ
 අමු සොහොනක ලා මරව කියන් නේ
 

king2බියට පත් වූ කුමරු වීරා නම් වූ හිතෛෂී සේවකයා සමඟ සමනළ අඩවියට පලාගියද වනගතව දිවිරැක ගැනීමේ අපහසුතාව හේතුවෙන් සේවකයා සම`ග පර්වතයකින් පැන සියදිවි නසාගෙන තිබේ. එතැන් පටන් කුමරු 'කළුකුමාර දෙවි' මෙන්ම 'උඩුගම්පොළ මැණික්‌සාමි ක`ඵ බණ්‌ඩාර' වශයෙන්ද, සේවකයා 'වීරමුණ්‌ඩ' මෙන්ම 'සෙබළ දෙවියන්' වශයෙන්ද (වීරමුණ්‌ඩ දෙවියන්ගේ උපත පිළිබඳ වෙනත් කතා පුවත් ද දක්‌නට ලැබේ) ප්‍රකටව ජන වන්දනයට පාත්‍රවිණි. උඩුගම්පොළ ආශ්‍රිත ප්‍රදේශවලට අතිරේකව වයඹ පළාතේද වන්දනාවට පාත්‍රවන හත්කට්‌ටුවේ දෙවිවරුන්ට ද උඩුගම්පොළ මැණික්‌සාමි කළුකුමාර දෙවියන් ඇතුළත් වී තිබේ.
 
 කළු කුමාර බණ්‌ඩාර දෙවියන් වන්දනාවට පාත්‍රවන ප්‍රදේශවල වර්තමානයේදීද ගොයම් කපා වී අස්‌වැන්න නිවෙසට රැගෙන ඒමට පෙර කළු කුමාර බණ්‌ඩාර දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීමට 'කළු කුමාර දේවතා බණ්‌ඩාර යාදින්න' මෙසේ ගායනා කරනු ලැබේ.
 
 ....අවසර පස්‌වාන් දහසකට තිරහත් කාලයක්‌ කප්පන් තිරයක්‌ අහස පොළව පවතිනාතේකට ඉරහඳ පවතිනාතේකට කළු කුමාර දේවතා බණ්‌ඩාර දේවයන් වහන්ස, ඔබවහන්සේ සකලකලාවල්ලකබාහු ර-ජුරුවන්ගේ කුමාරයා බව සැබෑ සත්ත නම් පිය ර-ජුරුවන්ට හදිකං කරවා පතහේ උල් හිටෝලා සළු අපුල්ලන ඇමැත්තෙක්‌ එක්‌ක හිමේ හත් ගව්ව බලා වදාරාළා කුණුදිය පර්වතේ පල්ලේ පැන මියයත් වී වදාරළා මෙරට මහත් දෙවියන්ට තෙද කීර්තියක්‌ පාගෙන ඊරියගමට වැඩම කර වදාරාලා ඊරියගම යක්‌ෂයාට කොටා ඊරියගම මළුවේ තිබුණු තල්ගස්‌ දෙක එකට ලණු අඹරවාපු තෙද කීර්තියක්‌ පාගෙන අඩුක්‌කු මුරුතැන් මංගල්ලවල් ඔප්පු අරගෙන කළු කුමාර දෙවියන් වහන්සේගේත් වන්නාවූ යක්‌ෂ උපද්‍රව දුරු කරවලා ආයෙත් එන අවුරුද්දේ අ`ගුරු දුම්මල අතක්‌ අල්ලන තුරා කිසියම් යක්‌ෂ දෝෂයක්‌ දේව දෝෂයක්‌ පේන්ඩ ඉඩක්‌ තියන්නේ නැතිව සකල ශරීර පංචස්‌කන්ධවල් දේවාරක්‌ෂාව බන්දවා දෙන්ඩ කළු කුමාර දෙවියන් වහන්සේගෙන් අවසර කප්පාන් තිරයකටම ආයුබෝ වේවා....
 
 මෙම කුමාරවරුන්ගෙන් බාලම කුමරු ඒ වනවිට ළාබාල වියේ පසු වූ හෙයින් 'කිරිබොන ඈපා' නමින් ප්‍රකට වී තිබිණි. තරුණ වියට පත් මේ කුමරු මහකන්ද අසල ගමකින් තරුණියක සරණ පාවා ගැනීමට අදහස්‌කොට ඒ ස`දහා සූදානම් වුවද තරුණයාගේ වතගොත නොදත් හෙයින් තරුණියගේ දෙමාපියන් විවාහය සඳහා අකමැති වී තිබේ.
 
 ටික කලකට පසු ගම්මානයේ ගවයන් අතුරුදන් වන්නට පටන් ගැනුණු අතර රාත්‍රියේ නැඟුණු අද්භූත හඬකින් කියෑවුණේ අතුරුදන් වූ ගවයන් අවශ්‍ය නම් ගමේ කෙළවරක පිහිටි විශාල වෘක්‌ෂය පාමුලට බත් මුට්‌ටියක්‌ ගෙනැවිත් තැබිය යුතු බවයි. එය පිළිගත් ගැමියන් විසින් එකී වෘක්‌ෂය පාමුල බත් මුට්‌ටියක්‌ තැබීමත් සමඟ පසුදින අතුරුදන් වූ ගවයන් ගම්වාසීන්ට හමුවිණි. මේ කටයුතු සිදු කරන ලද්දේ කුමරු බව කියෑවෙන අතර අවසානයේ දී තම සිත ගත් තරුණිය හිමිකර ගැනීමට සිතූ කුමරු ඒ සඳහා ගමේ ළමයකු පැහැරගෙන පෙර පරිදි රාත්‍රියේ දී නැති වූ ළමයා අවශ්‍ය නම් සිත් ගත් තරුණියගේ නම කියා ඇගේ අත බත් මුට්‌ටියක්‌ කැලෑවට එවන්නැයි පවසා තිබේ.
 
 ගම්වැසියන් එම උපදෙස්‌ පරිදි කටයුතු කිරීමෙන් පසුදින අතුරුදන් වූ ළමයා හමු වූ අතර දිගින් දිගටම කුමරු විසින් මෙවැනි ක්‍රියා සිදුකළ හෙයින් අවසානයේදී ඔහු දේවත්වයෙන් සැලකීමට ගම්වැසියන් කටයුතු කර තිබේ. කුමරු විසින් මුල් දිනයේ දී තරුණියට ගෙනා මාලය තරුණියගේ නිවසේ දොරටුවේ එල්ලා තබා ආපසු පිටත් වූ හෙයින් එකී සිදුවීම පාදක කොටගෙන දුන්නුමාලේ යන නම එම ගමට ව්‍යවහාර වෙමින් පැවති අතර එය 'දුනුමාලේ' වශයෙන් බිඳී තිබේ. එනිසා දුනුමාලේ ගමින් බිහි වූ නව දෙවියන් 'දුනුමාලේ දේවතා බණ්‌ඩාර' ලෙස ප්‍රකට විණි.
 
 එහෙත් තවත් ජනප්‍රවාදයක දැක්‌වෙන අන්දමට මේ ප්‍රදේශය පාලනය කළ ප්‍රාදේශීය රජෙක්‌ වෙනුවෙන් පති භක්‌තිය මත දිවිපිදූ බිසෝවරුන් සත් දෙනෙකු 'දුනුමාලේ බිසෝ බණ්‌ඩාර දෙවියන්' නමින් වන්දනාවට පාත්‍රවන බව කියෑවේ. (මේ පිළිබඳ තවත් ජනප්‍රවාදයක්‌ පහතින් දක්‌වා තිබේ) මෙම බිසෝවරුන්ගෙන් එක්‌ බිසවකට ලත් පුත්‍රයකු වශයෙන්ද සකලකලාවල්ලභ හැ`දින්වෙන නමුත් එය සාවද්‍ය බව පෙනේ. දුනුමාලේ දෙවියන් වෙනුවෙන් වී අස්‌වනු නෙළන කාලයේදී වී කොටසක්‌ වෙන්කිරීම සේම බෝවෙන රෝග පැතිරෙන විට භාරහාර වීමද සිදු කරන බව කියෑවේ.
 
 පුත් කුමාරවරුන් මේ අන්දමින් දේවත්වයට පත්වන විට පියරජු වූ සකලකලාවල්ලභ ද දේවත්වයට පත් කිරීමට ජනතාව අමතකකොට නොතිබේ. කුඩා ඔය හරස්‌කොට වේල්ලක්‌ බැ`දීමෙන් සකලකලාවල්ලභ සිදු කළ වාරි කර්මාන්තය ඔහු විසින් සිදු කරන ලද විශාලතම වාරි කර්මාන්තය වශයෙන් සැලකුණු අතර ඔහුද ඒ සඳහා විශාල අවධානයක්‌ ලබා දී තිබිණි. කල්යත්ම මෙම වේල්ල අබලන් වීමත් සමඟ එය පිළිසකර කිරීමට සකලකලාවල්ලභ කළ උත්සාහය අසාර්ථකව වේල්ල කැඩී ගිය හෙයින් අධික කම්පාවට පත් වූ ඔහු එතැනට පැන සියදිවි නසාගෙන තිබේ. ඒ අවස්‌ථාවේදී රජුගේ බිසෝවරුන් සත්දෙනා ද පති භක්‌තිය ප්‍රකට කරමින් එතැනටම පැන සියදිවි නසාගත් බව කියෑවේ.
 
 සකලකලාවල්ලභයන්ගේ මරණය පිළිබඳ ඉහත පුවතට සමාන තවත් කතා පුවතක්‌ දක්‌නට ලැබෙන අතර එයට අනුව රජු විසින් කලවානේ ඉදිකළ වැවක වැව් බැම්මක්‌ බිඳීගිය අවස්‌ථාවේ රජුගේ සුළු බිසවක්‌ එයට බිලි කළද ඉන් ප්‍රයෝජනයක්‌ නොවූ හෙයින් රජු වැවට පැන සියදිවි නසාගෙන තිබේ.
 
 වේල්ල / වාන කැඩී ගිය නොහොත් වාන අස්‌වුණා යන අරුතෙන් 'අස්‌වාන' නමින් එතැන් පටන් වේල්ල බිඳුණු ප්‍රදේශය හැඳින්වුණු අතර දේවත්වයට පත් කෙරුණු රජුගේ දේවාලයද වේල්ල සමීපයේම ඉදිකොට රජුව 'අස්‌වානේ දෙවියන්' නමින් හැ`දින්වුණි. රජු අනුව යමින් ස්‌වාමියා වෙනුවෙන් දිවි පිදූ බිසෝවරුන් සත්දෙනා 'දුනුමාලේ බිසෝ බණ්‌ඩාර සත් දේවතා කට්‌ටුව' නමින් දේවත්වයට පත් කෙරුණු බවටද විශ්වාසයක්‌ පවතී.
 
 වර්තමානය දක්‌වා අස්‌වානේ දේව වන්දනාව පවතින ප්‍රදේශයේ තිබෙන පූජනීය ස්‌ථානවල සිදු කරන ආගමික කටයුතු අවසානයේ දී අස්‌වානේ දෙවියන්ට පිං පැමිණ වීමට කටයුතු කිරීම සිරිතක්‌ වන අතර සකලකලාවල්ලභ රජු විසින් සිදු කරන ලද සේවයට ජනතාව කෘතගුණ දක්‌වන්නේ එපරිද්දෙනි.
 
 තනියවල්ලභද සිය සොයුරා පරිද්දෙන්ම තම පාලන ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ දියුණුව උදෙසා වාරි කර්මාන්ත කිහිපයක්‌ම ඉදි කිරීමට කටයුතු කළ අතර ඉන් මහවැව ප්‍රමුඛත්වයේලා සැලකේ. තනියවල්ලභ රජුගේ මරණයද සොයුරාගේ පරිද්දෙන්ම ශෝචනීය එකක්‌ වූ බව පෙනේ. ඉහතින් සඳහන් කළ හලාවත ප්‍රදේශයේ දකුණු ඉන්දියානුවන්ගේ අනවසර මුතු කිමිදීම මර්දනය කිරීමට තනියවල්ලභ පිටත් වූ අවස්‌ථාවේ රජුගේ මහ ඇමති රජබිසව සමඟ අනියම් සබඳතාවේ ඇතිකර ගැනීමට උත්සහ ගෙන තිබේ. එය අසාර්ථක වූ තැන යුද්ධයෙන් රජු මියගිය බව දන්වා රජබිසව තමන්ට නම්මා ගැනීමට මහ ඇමති තැත්කළ අවස්‌ථාවේදී තම ස්‌වාමියා මියගිය බව විශ්වාස කළ රජබිසව සියදිවි නසාගන්නට යෙදුණි.
 
 යුද්ධය ජයගෙන මාදම්පේ බලා පැමිණෙමින් සිටි තනියවල්ලභට සිදුවූ දේ සැලවීමත් සමඟ යුද්ධයෙන් දිනාගත් වස්‌තුව ගල් අමුණ නම් ස්‌ථානයේ නිධන්කොට එහි ආරක්‌ෂාව පුත් කුමරුට පැවරූ රජු වහාම මාදම්පේ බලා ගොස්‌ තිබේ. කරුණු සොයා බලා දුෂ්ට මහ ඇමති හට මරණ දඬුවම නියම කළ තනියවල්ලභ විසින් තමා නිධන්කොට පැමිණි ධනය පුත් කුමරු විනාශ කරන බව සැලවූයෙන් පුත් කුමරුටද මරණ දඬුවම නියම කරන ලදී. මෙකී රජකුමරුද 'ගලගත් බණ්‌ඩාර දෙවියන්' නමින් දේවත්වයට පත් වූ බව ජනප්‍රවාදවල දැක්‌වේ. අවසානයේ දී තම සමීපතමයන් සියලු දෙනා මරණයට පත්ව ඇති හෙයින් තම දිවියෙන් ඵලක්‌ නොමැති බව තීරණය කළ තනියවල්ලභ රජු තනිපිටි වැව් පිටියේ මඟුල් කඩුව සිටුවා ඒ මතට පැන සියදිවි නසාගත් බව කියෑවේ. එතැන් පටන් එම ස්‌ථානය කඩුපිටි මාදම්පාය නමින් හඳුන්වන්නට විණි.
 
 එහෙත් මෙකී ජනප්‍රවාදය බැහැර කෙරෙන ඓතිහාසික මූලාශ්‍රය දක්‌වන පුවතක්‌ද දැකගත හැකි අතර එයට අනුව තනියවල්ලභ රජුට එක්‌ දියණියක්‌ වූ බවත්, ඇය සොළී කුමරකු හා විවාහ වීමෙන් ඔවුන්ට වීදිය බණ්‌ඩාර සහ තම්මිට සූරිය බණ්‌ඩාර නමින් පුත් කුමරුන් දෙදෙනෙකු උපන් බවත් සඳහන් වේ. වර්ෂ 1521 දී කෝට්‌ටේ රජු වූ සයවන විජයබාහු රජු ඝාතනයකොට රජුගේ පුතුන් සිහසුන හිමිකරගත් 'විජයබා කොල්ලය' නමින් හැඳින්වෙන සිදුවීම වන විටත් තනියවල්ලභ ජීවත්ව සිටි බවත්, තමාගේ මුණුපුරා වූ වීදිය බණ්‌ඩාර අතින් මියයැමට ඔහුට සිදු වූ බවත් දැක්‌වේ. කෝට්‌ටේ රාජධානිය සමඟ සටන් වදිමින් සිටි මායාදුන්නේ සහ රයිගම් බණ්‌ඩාර වෙනුවෙන් කැලිකට්‌හි සැමොරින් විසින් එවන ලද සේනාව සඳහා මාදම්පේ හරහා සීතාවක වෙත යාමට තනියවල්ලභ විසින් අවසර දීම පිළිබඳ කෝට්‌ටේ රාජධානියේ ප්‍රධාන සෙන්පති වීදිය බණ්‌ඩාරගේ කෝපයට හේතුවූවා විය යුතු ය.
 
 මරණයෙන් පසු දේවත්වයේලා සැලකුණු තනියවල්ලභ රජු 'තනිවැල්ලේ දෙවියන්' නමින් ජනතාව අතර ප්‍රකට වී තිබෙන අතර සුදු වස්‌ත්‍රයෙන් සැරසී රාජාභරණ පැළැඳ සුදු අශ්වයකු පිට නැ`ගී තනිවැල්ලේ දෙවියන් තම බල ප්‍රදේශයේ සැරිසරමින් ජනතාවට සෙත සලසන බව කියෑවේ. වර්තමානය දක්‌වා මාදම්පේ ප්‍රදේශයේ කුඹුරුවල අස්‌වැන්නෙන් අලුත් සහල් මංගල්‍යයක්‌ පවත්වා රජු වෙනුවෙන් කෘතගුණ පිදීමට ජනතාව අමතක නොකරයි.
 
 කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයට සමීපව මාදම්පේ ප්‍රදේශයේ පිහිටා තිබෙන තනියවැල්ලේ දෙවියන්ගේ ප්‍රධාන දේවාලය කෝට්‌ටේ රාජධානි සමයේදී ඉදිකෙරුණු බව පිළිගැනෙන අතර වර්තමානයේ දක්‌නට ලැබෙන දේවාලය ඉදිකොට ඇත්තේ වර්ෂ 1894 දී බව දේවාල ගොඩනැඟිල්ලේ සටහන් කර තිබේ. නමුත් දේවාල භූමියේ පිහිටි බෝධි වෘක්‌ෂය වසර 250 ක්‌ පමණ පැරැණි වන බව ජනතාවගේ පිළිගැනීමයි.
 
 ඉහත දැක්‌වූ තනියවල්ලභ රජුගේ මුණුපුරා වූ වීදිය බණ්‌ඩාර කෝට්‌ටේ රාජධානියේ ආන්දෝලනාත්මක භූමිකාවකට හිමිකම් කියූ පුද්ගලයකු වශයෙන් සැලකේ. කෝට්‌ටේ සයවන බුවනෙකබාහු රජුගේ දියණිය වූ සමුද්‍රදේවි සරණ පාවාගත් වීදිය බණ්‌ඩාර විසින් කෝට්‌ටේ රාජධානියේ ප්‍රධාන සෙන්පතියා වශයෙන් ද කටයුතු කරන ලදී. ඔහුගේ පුත්‍රයන් දෙදෙනා වූ ධර්මපාල සහ විෙ-පාල යන දෙදෙනාගෙන් වැඩිමහල් ධර්මපාල කෝට්‌ටේ මීළඟ රජු වශයෙන් ඔහුගේ මුත්තණුවන් වූ සයවන බුවනෙකබාහු රජුගේ ඇවෑමෙන් සිහසුනට පත්විණි.
 
 සමුද්‍ර දේවියගේ වියෝවෙන් පසු සීතාවක මායාදුන්නේ රජුගේ දියණිය වූ කුඩා ටිකිරි අදහසින් සරණ පාවාගත් වීදියේ බණ්‌ඩාර මුල් අවධියේදී කෝට්‌ටේ රාජධානියේ ස්‌ථාවරත්වය වෙනුවෙන් සටන් රාශියක්‌ සඳහා මුල් වුවද කෝට්‌ටේ රැ`දීහුන් පෘතුගීසීන්ගේ කොල්ලකාරී ක්‍රියා පසුව ඔහු පෘතුගීසි විරෝධියකු බවට පත්කරන්නට හේතු වූ බව පෙනේ. මේනිසා පෘතුගීසීන්ගේ සිරභාරයට පත් වූ වීදිය බණ්‌ඩාර උමඟක්‌ කැණීමෙන් බේරා ගැනීමට ඔහුගේ බිසව වූ කුඩා ටිකිරි අදහසින් සමත් වූ අතර පසුව වීදිය බණ්‌ඩාර පස්‌දුන් කෝරළයේ පැලෑඳ තම අගනුවර බවට පත්කොටගෙන පාලනය ගෙනයන්නට සමත් වූ බව කියෑවේ.
 
 එවන් පසුබිමක්‌ තුළ පෘතුගීසි සහ සීතාවක යන දෙපාර්ශවයේම සතුරෙකු බවට පත් වූ වීදිය බණ්‌ඩාර දෙපාර්ශවයේ ඒකාබද්ධ ප්‍රහාරයකින් සිරකරුවෙක්‌ බවට පත්කරගැනීමට හැකිවිණි. එහෙත් සිරගෙයින් පලාගිය වීදිය බණ්‌ඩාර නැවතත් සීතාවකට එල්ල කළ ප්‍රහාරය අසාර්ථක වීමෙන් මුණ්‌ඩකොණ්‌ඩපොළ ප්‍රදේශයේ එදිරිමාන්නසූරිය රජු මරා එහි බලය අල්ලාගෙන තිබේ. ක්‍රමයෙන් ජනතා විරෝධය සහ කෝට්‌ටේ, සීතාවක ප්‍රහාර හමුවේ මුණ්‌ඩකොණ්‌ඩපොළින් පලාගිය වීදිය බණ්‌ඩාර විසින් යාපනයේ පාලක සංකිලි රජුගෙන් ආධාර ලබා ගැනීමට කටයුතු කරන ලදී. සංකිලි රජු ද පෘතුගීසී විරෝධියකු වූ හෙයින් එකඟතාවකට එළැඹීමට හැකි වූ අතර දෙපාර්ශවය අතර එළඹි ගිවිසුම සපථ කිරීම සඳහා යාපන නල්ලූර් කෝවිලේ පැවති උත්සවයේදී සිදු වූ අනපේක්‌ෂිත සිදුවීමක්‌ තත්ත්වය සහමුලින්ම වෙනස්‌ කිරීමට සමත් වී තිබේ.
 
 හදිසියේ කෝවිල් බිමේ වෙඩි බෙහෙත් පිපිරීමක්‌ සිදුවීම තමාට එරෙහිව සිදුවන කුමන්ත්‍රණයක්‌ යෑයි සැක කළ වීදිය බණ්‌ඩාර සංකිලිගේ පිරිස සමඟ සටනට එළැඹුණි. බොහෝ වේලාවක්‌ සිදු වූ සටනකින් වීදිය බණ්‌ඩාර සහ ඔහුගේ පුත් විෙ-පාල මරා දැමීමට සංකිලිගේ භටයන්ට හැකි වූ අතර වීදිය බණ්‌ඩාරගේ වීරත්වයට ගරු කළ සංකිළි රජු විසින් නල්ලූර් කෝවිලේ වීදිය බණ්‌ඩාර වෙනුවෙන් කුටියක්‌ ඉදිකොට 'වෛතිය පංඩාර් දෙවියන්' නමින් ඔහු වන්දනාවට පාත්‍ර කරන්නට කටයුතු කළ බව කියවේ.
 
 ඒ හැරෙන්නට පාලින්ද නුවර ප්‍රදේශයේ දී ඔහු විසින් සිදු කරන ලද සේවය අගය කරමින් 'වීදිය බණ්‌ඩාර දෙවියෝ' නමින් වන්දනාවට පාත්‍ර වී තිබෙන අතර අතීතයේ සිට පැවත එන වීදිය බණ්‌ඩාර දෙවියන්ගේ දේවාල සතක්‌ පිළිබඳ කියෑවේ. ලත්පඳුර දේවාලය, අඹේගොඩ දේවාලය, බදුරලිය කෝවිලගොඩ දේවාලය, බොරළුගොඩ මකලවැල්ල දේවාලය, බෙල්ලන හුරුළුගෙදර දේවාලය, උඩවෙල හැළඹ දේවාලය සහ පැලෑඳ කපුගෙදර දේවාලය එම දේවාල සත ය.
 
 වීදිය බණ්‌ඩාර දෙවියන් වෙනුවෙන් කරන යාතිකාවක්‌ මෙසේ ය.
 
 ....උඩුවෙල නුවරින් කන්ද ශෛල උග්ගල්බඩට, උග්ගල්බඩින් සැඳලියට, සැඳලියෙන් සුදුවැල්ලට, සුදුවැල්ලෙන් තනිවැල්ලට, තනිවැල්ලෙන් මාගම් තොටට, මාගම් තොටින් සෙල්ලම් දූවට, සෙල්ලම් දූවෙන් දෙවිනුවරට, දෙවිනුවරින් මැදගල් නුවරට, මැදගල් නුවර හරහා පාලින්ද නුවරට අග්‍ර තේජවන්ත වූ ශ්‍රී වීදිය බණ්‌ඩාර එක්‌ හස්‌තයකින් පලිහක්‌ද, එක්‌ හස්‌තයකින් කඩුවක්‌ද රැගෙන පරෙවි පක්‌ෂියා වාහනාරූඪව වැඩ වාසය කරන්නා වූ පාලින්ද අධිරාජ්‍යයට අධිපති කෝට්‌ටේ රාජ්‍යයට අධිපති, සීතාවක ගඩලාදෙණිය යන්නා වූ රාජධානි කරා එක්‌සේසත් කළ මහානුභාව සම්පන්න තෙද වරන් නිලුපුල් දෑසින් සමන්විත වූ රත් වර්ණයෙන් සිරුර බබළන්නා වූ දෙපා බාහු දෑතට ආභරණයෙන් සැරසී දෙපසට ගිගිරි සිලම්බු යනාදියෙන් පැළඳ ගෙන තුන් වර්ණ මාලා තුනකින් සමන්විත වූ තේජ සම්පන්න වැඩ වාසය කරන්නා වූ පාලින්ද නුවරට අධිපති යහතින් බැල්ම හෙලන්නා වූ කීර්ති ශ්‍රී වික්‍රම පාලා වික්‍රම පූජිත වූ වීදිය බණ්‌ඩාර දෙවිතුමන් කීර්ති පස්‌වාන් දහසකට ආයු රක්‌ෂා කරන්නා වූ නර සත්වයන්ට වැළඳෙන්නා වූ ඇස්‌ වහකින් කට වහකින් හෝ වහකින් අණවින හූනියම් වධ බන්ධන වැල් පැන්නුම් ඉරි පැන්නුම් යක්‌ෂ ප්‍රේත පිසාච කුම්භාණ්‌ඩ ආදීන්ගෙන්ද දේව රෝග වසංගත රෝගයන්ගෙන් ද සියලු නර සත්වයන්ට ශාන්ති කරන්නා වූ යහතින් බැල්ම හෙලන නර සත්වයන්ට ශාන්ති කරන්නා වූ යහතින් බැල්ම හෙළන නර සත්වයාගේ දුක්‌ ගැන්විලි විමසා බලන්නා වූ දුකට පිහිට වන්නා වූ පිටලන්නා වූ මහානුභාව සම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනුහස්‌ තේජස්‌ ඇතිව වැඩ වසන්නා වූ මහා වීර වික්‍රම පෑ වීදිය බණ්‌ඩාර දෙවිතුමන් වෙත බැගෑපත්ව මල් පහන් සුවඳ විලවුන් යනාදිය තබා කරන්නා වූ කන්නලව් කෙරෙහි අසරණ වන්නා වූ මාගේ කන්නලව්ව දෑසින් දිෂ්ටි දෙවා සුරහල් පුර බලා වැඩ වදාරා සියලු දෝෂයන් අකා මකා ගෙන හැර පා ඇති මාගේ දුක්‌ගැනවිල්ල යහතින් බැල්ම හෙලා ශාන්ති ඇති කරවන්නා වූ බල පරාක්‍රමයෙන් පූජිත වූ ඔබවහන්සේගේ දිවැස්‌ නෙතින් බැල්ම හෙළා ශාන්තිය අභිවෘද්ධිය කර පිහිට වී පින් අනුමෝදන් වෙත්වා....
 
 අවසාන වශයෙන් මෙම දේව පවුලේ සාරාංශයක්‌ ගතහොත් සකලකලාවල්ලභ රජු අස්‌වානේ දෙවියන් ලෙසද, බිසෝවරුන් දුනුමාලේ දේවතා බණ්‌ඩාර සත් කට්‌ටුව ලෙස ද, පුතුන් දෙදෙනෙකු කළු කුමාර දේවතා බණ්‌ඩාර හා දුනුමාලේ දේවතා බණ්‌ඩාර වශයෙන් වැඳුම් ලබන අතර තනියවල්ලභ රජු තනියවැල්ලේ දෙවියන් ලෙසද, පුත්‍රයා ගලගත් බණ්‌ඩාර දෙවියන් ලෙසද, මුණුපුරා වීදිය බණ්‌ඩාර දෙවියන් නමින්ද වන්දනාවට පාත්‍ර කෙරේ. මේ අන්දමින් සහෝදරයන් සහ ඔවුන්ගේ දරු මුණුපුරන් දේවත්වයට පත් කිරීමක්‌ මින් පෙර ලංකා ඉතිහාසයේ සිදු නොවුණු අතර ඉන් මත්තටද සිදු වූ බවක්‌ නොපෙනේ. මෙනිසා මෙම සිදුවීම අතිශය දුර්ලභ සිදුවීමක්‌ වශයෙන් හැඳින්වීම වරදක්‌ නොවේ. වර්තමානය දක්‌වාම මෙම දෙවිවරුන් ඇදහීම පැවත ගෙන ඒම මගින් පිළිබිඹු වන්නේ සිංහලයා තුළ පවතින කෘතගුණ දැක්‌වීමේ චාරිත්‍රයයි. 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles