Divaina - දැයක ඇස්‌ පෑදූ දෙවැනි මිහිඳු හාමුදුරුවෝ ටිබෙට්‌ ජාතික ඇස්‌. මහින්ද හිමි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

tibat135
 
 අද දිනට යෙදෙන ඇස්‌. මහින්ද හිමිගේ 68 වැනි ගුණ සමරුව වෙනුවෙනි.
 
 1914 වර්ෂය යනු ශ්‍රී ලංකාව සුදු අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට තැලී පොඩි වී මිරිකී ගිය කාලයකි. විශේෂයෙන් ම මෙකල සිංහල ජාතියට අතිමහත් පීඩාකාරී වූ පාලන ක්‍රමයක්‌ පැවැති අතර මේ යුගයේ ජාතියක්‌ අවදි කරන්නට අපගේ පිනට ම පහළ වී ඇති එස්‌. කේ. තෂිනම්ගල් කුමරුවා මෙම මාතෘ භූමියට පා තැබූ බව පැවසීම සාධාරණ යෑයි සිතේ.
 
 1901 වසරේ උපත ලබා ඇතැයි විශ්වාස කරන මේ කුමරුවා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ තම පැවිදි සොහොයුරා වූ සිකීම් පුණ්‌ණරී සහ ජර්මන් ජාතික ඤාණාතිලෝක හිමිවරුන් සමඟ ය. එහෙත් කුමන හේතුවක්‌ නිසා මේ පුංචි තෂිනම්ගල් ළදරුවා මෙරට පැමිණුනේ දැයි අපට හරිහැටි කිව නොහැකි ය, එහෙත් අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් කරමින් සමහර සිංහල මිනිසුන් සේ ම පාලකයන්ගේ තාඩන පීඩන එල්ල වෙමින් රාජ්‍ය බේර ගැනීමේ සටනෙහි නිරතව සිටි සිහලුන්ගේ දේශානුරාගය, ජාතික හැඟීම හදවත් තුළ ජනිත කරවීම සඳහා ඔහු මෙහි පැමිණි බව කිව හැකි ය. එය සිතාමතා ම නොකළ දෙයක්‌ වුවත් කරුණු අධ්‍යයනය කිරීමේ දී එසේ පැවසීම අසාධාරණ නොවේ.
 
 Ñලක්‌ වැසියන් කෙරෙහි නැමී - අරහත් මහ මිහිඳු හිමි
 
 පෙව්වෙ උතුම් සදහම් මී - පුත නුඹටත් පොවමි එමී
 
 ඇස්‌. මහින්ද හිමියන්ගේ මෙම පද්‍ය නිර්මාණයෙන් කියෑවෙන මිහිඳු මාහිමියන්ගේ වැඩමවීම තව තවත් අප හදවත් තුළට කාවද්දවමින් ඒ අයුරින්ම තමන් වහන්සේ ද හෙළ දීපයේ ජනතාවට දේශානුරාගය, ජාතිකාභිමානය හා අගමික චින්තනය පුරුදු පුහුණු කරවීමට ගත් උත්සාහය මැනැවින් පෙනී යයි.
 
 ශ්‍රී ලාංකික ඓතිහාසික ජාතික වීරයින්ගේ ප්‍රෙෘඪ නම් ලැයිස්‌තුවක්‌ අප සතුව පැවතුණ ද විජාතිකයකු වූ මහින්ද හිමි ඒ තරමට ම සිංහල ජාතිය අවදි කරවූ අයෙකු ලෙස ඉතාම භක්‌ත්‍යාදරයෙන් සඳහන් කළ හැකිය.
 
 'ජාතිය රන් විමනක්‌ වේ - ආගම මිණි පහනක්‌ වේ
 
 එය රැක ගැනුමට මෙලොවේ - සමත් වෙතොත් පුත නුඹ වේ'
 
 මේ අයුරින් ජාතික හැඟීම, දේශානුරාගය අපේ දරුවන් තුළ ජනිත කරවූයේ අපේම මව - පියා, ආච්චි - සීයා හෝ මුත්තා ද මිත්තණිය ද නැතිනම් නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා ද නොව ටිබෙට්‌ ජාතික ඇස්‌. මහින්ද හිමියෝ ම ය.
 
 ඇස්‌. මහින්ද හිමිගේ උපන් රට වන්නේ ටිබෙට්‌ රාජ්‍යයයි. එහි 1901 වසරේදී උපන් එතුමාණෝ නමින් එස්‌. කේ. තෂිනම්ගල් නම් වූවෝය. දොළොස්‌ විය අවසන් වත් ම මෙරටට පැමිණි තෂිනම්ගල් කුමරුවාගේ පළමු වාසස්‌ථානය වූයේ දකුණු පළාතේ දොඩන්දූව පොල්ගස්‌දූව ආරාමයයි. තම පැවිදි සොහොයුරා වූ සිකීම් පුණ්‌ණරී හිමියන් සමග අධ්‍යාපනය සඳහා කොළඹ විෙද්‍යාදය පිරිවෙනේ හා ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා මරදානේ මහාබෝධි විද්‍යාලයේත් කලක්‌ ගත කළ බව වාර්තාවල සඳහන් වේ.
 
 පසුව නැවත පොල්ගස්‌දූවේ ආරාමයට ගිය තෂිනම්ගල් කුමරුවා රත්ගම සිරි චූලරතන හිමියන්ගේ ශිෂ්‍යරත්නයක්‌ ලෙස දොඩන්දූවේ ශෛලබිම්බාරාමයේ දී සිකීම් මහින්ද නමින් පැවිදි බිමට ඇතුළත් වන්නේ අමරපුර නිකායේ ය. ඉන් පෙර පළමු ලෝක මහා සංග්‍රාමය වකවානුවේ ජර්මන් ජාතික ඤාණාතිලෝක හිමියන් ඇතුළු ස්‌වාමීන් වහන්සේලා යුද සිරකරුවන් ලෙස සිරගත කළ බවත්, අනතුරුව තම සොහොයුරු පුණ්‌ණරී හිමියන් ද ඤාණාතිලෝක හිමියන් සමඟම අපවත් වන්නට යෙදුණු බවත්, පසුව හුදෙකලා වූ තෂිනම්ගල් කුමරු පැවිදි කරන්නට යෙදුණු බවත් ඉතිහාසය සාක්‌ෂි දරයි.
 
 'කෙස්‌ ගස පවා වෙන රටවල මිනිසුන්නේ
 
 උස්‌ නිදහස පිණිස සටනට සැරසෙන්නේ
 
 හිස්‌ මොළ තිබෙද්දීත් මේ වග නොතකන්නේ
 
 ඇස්‌ගෙඩිවලට හෙණ වැදිල ද සිහලුන්නේ'
 
 මේ උන්වහන්සේගේ තවත් ඉතා වටිනා පද්‍යයකි. සිහළ ලේ රත් වී කැළැඹී එන්නට තරම් වූ වචන පෙළක්‌ මෙම පද්‍යයේ අපට දැකිය හැකිය. මෙවන් වූ කවිකමක්‌ උන්වහන්සේ ප්‍රගුණ කළේ උන්වහන්සේගේ අපරිමිත වූ ඉගෙනීමේ හා කියෑවීමේ ඇල්ම නිසාය. අලුත්ගම සිරි සීලක්‌ඛන්ධ හිමියන්ගේ ද, දොඩන්දූවේ ශ්‍රී ධර්මසේන විද්‍යාසාගර තර්ක පංචාණන පඬිතුමන්ගෙන් ද ශිල්ප සතර හැදෑරූ මහින්ද හිමි, ශෛලබිම්බාරාමයට යාබද ශිෂ්‍ය නිවාසයේ වැඩවිසූ දොඩන්දූවේ ශ්‍රී ජිනරතන නම් වූ අප්‍රකට කාව්‍යක්‌කාර ස්‌වාමීන් වහන්සේගේ ඇසුර නිසා සිය කාව්‍යකරණ දක්‌ෂතාව ප්‍රගුණ කර ඇති බවට ඇතැම් පඬිවරුන් පවසා ඇත.
 
 කෙසේ වෙතත් ලෝක යුද්ධ සමයේ දී මුන්වහන්සේ ද අත්අඩංගුවට පත්වී ඇති අතර පසුව 1930 වසරේ දී විද්‍යාලංකාර පරිවේනාධිපති ව වැඩවිසූ ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් යළි සියම් නිකායේ පැවිද්ද ලබා 1931 දී උපසම්පදාව ලබා ඇත. ජන්මයෙන් ම ශ්‍රී ලාංකිකයකුට හෝ සිංහලයකුට වඩා වැඩි දේශානුරාගයකින් ඔද වැඩී ගිය මහින්ද හිමියෝ වැඩි කලක්‌ යන්නට මත්තෙන් සැබෑ ම ශ්‍රී ලාංකිකයකු බවට පත්වූහ.
 
 කොළඹ යුගයේ පුරෝගාමී කවියකු ලෙස හැඳින්වෙන ඇස්‌. මහින්ද හිමියන් ඉතාම කෙටි කාලයක්‌ තුළ පළ කළ ගද්‍ය පද්‍ය කෘති සංඛ්‍යාව 40 කි. ඒවා අතරින් වැඩි ප්‍රමාණයක්‌ නිදහස හා ජාතිකාභිමානය පිළිබඳව ලියෑවුණු ඒවා වේ.Ñ'නිදහස්‌ දැහැන, ලංකා මාතා, සිරිලක්‌ අම්මා' කාව්‍ය සංග්‍රහ මෙන්ම දරු නැළැවිල්ල හෙවත් ජාතික තොටිල්ල මෙහිදී වෙසෙසින් සඳහන් කළ හැකිය. උන්වහන්සේගේ මුල්ම කෘතිය 'ඔවා මුතුදම' හා අවසන් කෘතිය 'ශ්‍රීපාද' ලෙස ද පොතපතේ සඳහන් වේ.
 
 1934 වසරේදී කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරු පත්වීමක්‌ ලැබීමෙන් පසු පාලි, බුද්ධ ධර්මය හා සිංහල ගුරුවරයකු ලෙස විශ්‍රාම යනතෙක්‌ ම සේවය කළ මහින්ද හිමියෝ 1936 වසරේදී පාණදුර, අළුබෝමුල්ල ශ්‍රී සුධර්මාරාමය තම නිත්‍ය වාසස්‌ථානය කරගන්නා ලදහ. එකල එම ගමට උන්වහන්සේ අතිවිශාල වැඩ කොටසක්‌ සිදුකර ඇති බව පෙනීයන්නේ අදටත් අපට දැකගත හැකි සංඝාවාසය, ධර්ම ශාලාව, ඉදිරිපස ප්‍රාකාරය හා නවලංකා ඉරු දින දහම් පාසල වැනි සජීවී සාධක නිසාය. ගමේ සියලුම පිරිස ඒකරාශීකොට සමගිය හා එකමුතුකම ගොඩනැංවෙන පරිදි තම නායකත්වයෙන් උන්වහන්සේ කටයුතු කර ඇති බව අදටත් ජීවත්වන පැරැන්නෝ සඳහන් කරති.
 
 ටිබෙට්‌ ජාතික ඇස්‌. මහින්ද හිමියන් පිළිබඳව මෙවැනි කෙටි ලිපියකින් ප්‍රමාණවත් පරිදි කරුණු සාකච්ඡා කිරීමට නොහැකිවීම කනගාටුවට කරුණකි. අප රටේ අභිවෘද්ධිය වෙනුවෙන් විවිධ කැපකිරීම් කළ වීරවරුන්, වීරවරියන් පිළිබඳ මතකය අවදි කරනවා වෙනුවට අද දක්‌නට ලැබෙන විවිධ විසූකදස්‌සන දරුවන්ගේ අහිංසක නොමේරූ සිත් වෙළාගනී. එසේ හෙයින් අපගේ යුතුකම හා වගකීම වන්නේ මෙවැනි වීරෝදාර චරිත පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක නියෑළීමයි. දරුවන්ට එසේ කිරීමට උපකාර කිරීම, අනුබල දීම දෙමාපියන්ගේ, ගුරු භවතුන්ගේ මෙන් ම රටකරවන සියලු අයගේත් මාධ්‍යයේත් පරම වගකීම බව සඳහන් කරනු කැමැත්තෙමි.
 
 එක්‌ රටක ඉපිද තවත් රටක සිරියෙන් හා අගයෙන් මත්ව දේශානුරාගයෙන් ඔදවැඩී එරටෙහි ජනයා අවදිකරන්නට සිදුකළා වූ අපරිමිත මෙහෙය කෙසේ නම් අගය කොට හමාර කළ හැකිදැයි තවමත් පැනයකි. එහෙත් කෙතරම් අපේ රට ජාතිය පිළිබඳව කටයුතු කළත් විවිධ කෙනෙහිලිකම්වලට උන්වහන්සේ ද ලක්‌වී ඇති බව මෙම අප්‍රකට කවියෙන් මොනවට පැහැදිලි වේ. එදා මෙන් අදටත් අපහට මෙය වලංගු වීම කෙතරම් සරදමක්‌ දැයි සියදහස්‌වර අපට සිතේ.
 
 'ගමරට නොදැන අහසින් වැටුණකු ලෙසම
 
 පිටරටකට ඇවිත් තනියම ඉඳ මෙහෙම
 
 මට යන කලදවස කොහොම ද සිතමි මම
 
 වැටහෙයි අනේ පිළිසරණක්‌ නැති බව ම'
 
 අප කාහටත් කිසි දිනෙක අමතක කළ නොහැකි තරම් වූ විශිෂ්ට සේවාවක්‌ සිදුකළ ඇස්‌.මහින්ද හිමියෝ වසර 50ක්‌ තරම් වූ කෙටි ජීවිත කාලයකින් අනතුරුව 1951 මාර්තු 16 වැනිදා අප අතරින් සදහටම සමුගත්හ.
 
 'මැරුණොත් යළි උපදින්නේ- අතරක නෑ නවතින්නේ
 
 එම මරණෙට ඉතකින්නේ- ඇයිද පුතේ බියවන්නේ'
 
 (ජාතික තොටිල්ල 60 වන පද්‍ය)
 
  සඳරුවන් ලියනාරච්චි
  ජාතික පුස්‌තකාලය,කොළඹ

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

hema250

දියග

jesof250i

මීවිත

gorki250

More Articles