Divaina - ඩුබායි රටෙන් අපේ ආර්ථිකයට ගත හැකි ප‍්‍රතිලාභ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

fea8 1ඩුබායි ඇතුළු අරාබිකරය ගැන කිව් සැනින් අපට මතක් වන්නේ කාන්තාරය ගැනය. එසේම රටඉඳි ගැනය. එහෙත් අද වන විට මේ රටවල් විශාල දියුණුවක් ලබා තිබේ. විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය එනම් යූඒඊවලට අයත් ඩුබායි සහ සාජාවල සංචාරය කරන්නට මේ ලියුම්කරුට අවස්ථාව ලැබිණි. ඒ ඩුබායිහි ජේ.ඩබ්ලිව්. මැරියට් මාකිව්ස් හෝටලයේ දී පසුගිය පෙබරවාරි 24 දින සිට පෙබරවාරි 27 දින දක්වා ‘දකුණු ආසියාතික ආර්ථික ඒකාබද්ධතාවයේ ආර්ථික ප‍්‍රතිලාභ’ මැයෙන් පැවති සමුළුවකට සහභාගි වීමට ලද ආරාධනයකට අනුවය. එහි වෙසෙන ශ‍්‍රී ලාංකික ලේඛිකාවක් වන සුරංගි අතුකෝරල මහත්මියගේ සහ ඇයගේ ස්වාමියාගේ ආරාධනයෙන් ඩුබායි සහ සාජාවල විවිධ

ස්ථානවල සංචාරය කිරීමට මේ ලියුම්කරුට අවස්ථාව ලැබුණු අතර ඒ අතරතුර ඩුබායිහි පිහිටි ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට ද ගොස් එහි සිටින අපේ කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ මහතා ද හමු වී සංවාදයක යෙදීමට අවස්ථාව ලැබිණි. ඔහුට දෙරටේ ආර්ථික වෙළෙඳ සහ සංචාරක කටයුතු ගැන විශාල දැනුමක් ද තිබෙන බව එම කතාබහේදී පැහැදිලි වූ කරුණකි. ඒ අනුව මෙවර ‘ආර්ථික ඇසින්’ තීරුව වෙන් වන්නේ ඩුබායිහි සිටින ශ‍්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ මහතා සමග කළ ආර්ථිකමය සංවාදයකටය.

ප‍්‍රශ්නය - ඩුබායිවල දැනට ශ‍්‍රී ලාංකිකයන් කොපමණ ඉන්නවද?

පිළිතුර - රටක් විදියට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙන තැනක් මේක. මේ රටේ 250,000 ක් පමණ ඉන්නවා කියන එකයි දළ වශයෙන් ඇස්තමේන්තුව. එක්සත් අරාබි එමීර් රාජ්‍යය එනම් යූඒඊ හැදිලා තියෙන්නේ එමිරේට 7 කින්. එතකොට ඩුබායි කියන්නේ ඉන් එක එමිරේට් එකක්. ඩුබායිවල ලක්ෂ දෙකක් පමණ සහ මුළු රටම තුළ ලක්ෂ දෙකහමාරක් පමණත් ඉන්නවා කියල තමයි ඇස්තමේන්තු කරලා තියෙන්නේ. ඒ අනුව අබුඩාබිවල පනස් දහසකට වඩා අඩුවෙන් ඉන්නේ. මේ අයගේ සංයුතිය ගත්තොත් ඉහළ රැුකියා කරන අයගේ සිට පහළම දක්වා ඉන්නවා. ගෘහ සේවිකාවන් කරන සේවයත් අපි අගය කරනවා. ඔවුන් මේ පිරිසෙන් සියයට 25 ක් පමණ ඉන්නවා. ඒ අයට මෙහෙ ඉල්ලූමකුත් තියෙනවා. මෙහෙ ජනගහනය මිලියන 9.2 ක් විතර වෙනවා. ඒකෙන් ගොඩක් පිටරට අය ඉන්නේ. මේ රටේ ඉන්නේ මිලියන 1.4 ක් විතර එම ජනගහනයෙන්. ඒ අය වගේම වෙනත් පිටරටින් ආපු අයත් බොහොම ඉහළ ආදායම් ලබන අය. ඒ අයගේ කටයුතු කර ගන්න ගෘහ සේවිකාවන්ටත් ඉල්ලූමක් තියෙනවා. ලංකාවට අමතරව පිලිපීනය, ඉන්දියාව, බංගලිදේශය සහ ඉතියෝපියාව වගේ රටවල ගෘහ සේවිකාවන් මෙහෙ ඇවිත් වැඩ කරනවා. ඊට අමතරව ක්ලීනින් කරන අයත් ඉන්නවා.

විශේෂයන් කියන්න ඕන අපේ ඉහළ රැකියා කරන අයත් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. ප‍්‍රමාණ සමීක්ෂකවරු ඉන්නවා දහසකට වැඩි ප‍්‍රමාණයක්. ඒක තමයි අපේ ප‍්‍රධානතම වෘත්තීය රැුකියා කරන කොටස. ඒකෙ ගොඩක් ආදායමක් උපයන අය ඉන්නවා. තව අපේ ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරු, හෝටල් කර්මාන්තයේ නිරත අය සහ බැංකුකරුවන් වගේ වෘත්තිකයන් විශාල ප‍්‍රමාණයක් මේ රටට දායකත්වය සපයනවා. ඒ අය මේ රටේ (ඩුබායි* ආර්ථිකයට ලොකු දායකත්වයක් සපයනවා. එසේම ඒ අය ශ‍්‍රී ලංකාවට විදේශ විනිමය පේ‍්‍රෂණ යවල ලොකු දායකත්වයක් අපේ රටටත් සපයනවා.

fea8 2මෙතන සංඛ්‍යාලේඛන පැත්තෙන් පොඩි ගැටලූවක් තියෙනවා. එනම් ඒ අය ගාව නැහැ හරියට සංඛ්‍යාලේඛන මෙහෙන් පමණක් එන අය ගැන. ඒ අය දෙන්නේ කලාපයටම අදාළවයි. මම දන්නේ නෑ ඒකට හේතුව කුමක්ද කියල. ඒ අය කියන්නේ එහෙම ගණනය කරන්නේ නෑ කියලයි.

ප‍්‍රශ්නය - ඒ කියන්නේ මහ බැංකුව සංඛ්‍යාලේඛන දක්වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එනම් යූඒඊ කියලද?

පිළිතුර - නෑ, මැදපෙරදිග කලාපයටම. ඒ අය කියන්නේ වෙනම ගණනය කරන්නේ නෑ කියලයි. අපේ තිබුණු ඇමරිකානු ඩොලර් බිලියන 7.2 ක් පමණ වූ අපේ විදේශ විනිමය පේ‍්‍රෂණවලින් බිලියන 3.7 ක් ගිහින් තිබුණේ මැදපෙරදිග කලාපයෙන්. ඒ නිසා ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය පේ‍්‍රෂණ ලැබීම්වලට ලොකු දායකත්වයක් සපයනවා. ඒ අනුව මෙහෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් හෝ දෙකක් අතර ප‍්‍රමාණයක දායකත්වයක් ඇති. නමුත් ඒ සඳහා හරියටම ගණනක් කියන්න අපහසුයි. මහ බැංකුව එය ගණනය නොකරන නිසා. එහෙත් කලාපය ගත්තම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කුවේට්, කටාර් වගේ මැද පෙරදිග කලාපයට අයත්. ඒ නිසා මේ කලාපයෙන් යූඒඊ කියන එක ප‍්‍රධාන තැනක් උසුලනවා. මේ නිසා පහළ මට්ටමේ රැුකියා කරන අය මෙන්ම ඉතා ඉහළ වැටුප් ලබන ඉහළ රැුකියා කරන සැලකිය යුතු පිරිසකුත් මෙහෙ ඉන්නවා.

ප‍්‍රශ්නය - මින් ලාංකිකයන් වැඩි ප‍්‍රමාණයක් ඉන්නේ කොහේද?

පිළිතුර - මෙහෙ ඉන්න ශ‍්‍රී ලාංකිකයින්ගෙන් වැඩිම ප‍්‍රමාණයක් ඉන්නේ ඩුබායි සහ සාජාවල.

ප‍්‍රශ්නය - ඩුබායි ඉන්න අය ශ‍්‍රී ලංකාවේ සංචාරය සඳහා යනවද?

පිළිතුර - ඔව්. ඒත් මෙතන පොඩි ගැටලූවක් තියෙනවා. අපි රටක් විදියට සංචාරක දත්ත ගණනය කරන්නේ පාස්පෝට් එක පදනම් කරගෙන. මෙහෙ ඉන්න ඇමරිකන් කෙනෙක් ශ‍්‍රී ලංකාවට ගියත් එයා ගණනය වෙන්නේ ඇමරිකාවේ කෙනෙක් ලෙසයි. ඇත්තටම මේ රටේ ඉඳන් ඉතා විශාල ප‍්‍රමාණයක් ලංකාවට යනවා. දැනට අඩුම තරමේ එක දිනකට ගුවන් ගමන් දහයක් පමණ තියෙනවා ඩුබායි සහ සාජා සිට කොළඹට. මම මේ අබුඩාබි අයින් කරලා කිව්වේ. ඒකත් ආවම තවත් ලොකු ප‍්‍රමාණයක්. එමිරේට්ස්, ශ‍්‍රී ලන්කන්, එයාර් ඇරබියා, ෆ්ලයි ඩුබායි ඒ ඔක්කොම ගත්තම දිනකට විශාල ගුවන් ගමන් රැුසක් තියෙනවා කොළඹ සහ මෙහේ අතර. ඒ නිසා ඉතා විශාල විදේශිකයන් ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවට යනවා. මගේ අදහස ඒක ලක්ෂෙකට වඩා වැඩි වෙන්න ඕන කියන එකයි. නමුත් ඒ දත්ත ගණනය වෙන්නේ ඒ අයගේ ගුවන් ගමන් බලපත‍්‍රය අනුව. ඒ නිසා හරි සංඛ්‍යාලේඛන ගන්න බෑ. උදාහරණයක් ලෙස දැනට ලංකාවේ වැඩිම සංචාරක පැමිණීම් තියෙන්නේ ඉන්දියාවෙන්නේ. ඊට පස්සේ එක්සත් රාජධානියෙන් එන්නේ. දැන් මෙහෙ ඉන්දියානුවෝ ඉතා විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. ඒ අය මෙහෙ ඉන්නවා මිලියන 3.3 ක් විතර.

ප‍්‍රශ්නය - ඒ සියලූ දෙනා ඉන්දියානු ගුවන් ගමන් බලපත් හිමි අය?

පිළිතුර - ඔව්. ඒ අය ඉන්දියානු ගුවන්ගමන් බලපත් හිමියෝනේ. ඒ අයට මේ රටේ පාස්පෝට් ලැබෙන්නේ නෑනේ. මේ රටේ පාස්පෝට් ලැබෙන්නේ මෙහේ අයට විතරයි. මේ රටේ අය යන ප‍්‍රමාණය 10,000 කට වඩා අඩු ප‍්‍රමාණයක්. ඒ අයගේ ඉන්නේ මිලියන 1.4 ක් වගේ ජනගහනයක්නේ. ඒකත් වර්ධනය කර ගන්න නොයෙකුත් වැඩසටහන් කරනවා. මෙහෙ සියයට 85 කට වැඩි ප‍්‍රමාණයක් ඉන්නේ විදේශිකයින්. ඒ නිසා මේ රට විදේශ සංචාර පැත්තෙන් ඉතා වැදගත්. අනිත් එක මෙහෙ ඉන්නේ හොඳට ආදායම් උපයන අය. මෙහෙ ඉඳන් ලංකාවට යන්න ගත වෙන්නේ පැය හතරහමාරයිනේ. ලංකාවට ගුවන් ගමන් ඕන තරම් තියෙනවා. ඒ නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්න නේවාසිකයන්ගෙන් ඉතා ලොකු ඉල්ලූමක් තියෙනවා ලංකාවේ සංචාරය කරන්න. ඒ අය විවිධ ජාතිකයන්. ඒ අයට විවිධ රටවල පාස්පෝට් තියෙන්නේ. ඉන්දියන්, පකිස්තාන්, ඇමරිකන් සහ එක්සත් රාජධානියේ වගේ රටවල අය. මේ නිසා අපේ රටේ සංචාරක දත්තවල මේ රටවලින් ආවා කියල කියන අයගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නේවාසික මෙහෙන් ගිය අයත් සෑහෙන ප‍්‍රමාණයක් ඉන්නවා.

ප‍්‍රශ්නය - ඔබ කියන්නේ මෙහෙ සිට ලංකාවට යන අය ලංකාවේ සංචාරක දත්තවල සටහන් වෙන්නේ ඒ අයගේ පාස්පෝට් එක හිමි රට අනුව එම රටින් පැමිණියා කියලයි?

පිළිතුර - ඔව්. මෙහෙ පදිංචි වෙලා ඉන්න නේවාසිකයන් ලංකාවට ගියාට ඩුබායිවලින් ගියා කියල ගණනය වෙන්නේ නෑ. ඒක තමයි දැනට අපට තියන ලොකුම ප‍්‍රශ්නය මෙහෙ ඉඳන් කී දෙනක් ලංකාවට ගියාද කියන ප‍්‍රශ්නෙට උත්තර දෙන්න. මෙහෙ පාස්පෝට් තියන අය යන්නේ 10,000 කට අඩු පිරිසක් නිසා සමහරු හිතනවා මේක වැදගත් නෑ කියල. නමුත් මේක ශ‍්‍රී ලංකාවට ඉතාම වැදගත් සංචාරක වෙළෙඳපොළක්. හේතුව ගොඩක් ඉහළ ආදායම් ලබන පිරිසක් ඉන්නවා. එනිසා මෙතන අපේ සංචාරක ප‍්‍රවර්ධන කටයුතු නිතර කරන්න ඕන තැනක්. දැන් මම ආවට පස්සේ ගොඩක් සංචාරක ප‍්‍රවර්ධන කටයුතු කරන්න පටන් අරන් තියෙනවා.

ප‍්‍රශ්නය - අපේ සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය එක්ක එකතු වෙලාද ඒවා කළේ?

පිළිතුර - ඔව්. ඇත්තටම අපි ගිය අවුරුද්දේ ප‍්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් කළා. ගිය අවුරුද්දේ අපේ 25 වන සංවත්සරය සම්පූර්ණ කළා මේ කොන්සල් ජනරාල් කාර්යාලය ස්ථාපිත කරලා. ඒකටත් අපි ලොකු වැඩසටහනක් කළා ‘ශ‍්‍රී ලංකා දිනය’ (* කියලා. ඒක තමයි යූඒඊවල තිබුණු ලොකුම ශ‍්‍රීලංකන් ඉවෙන්ට් එක. 25,000 කට වඩා ශ‍්‍රී ලාංකික පිරිසක් එකට ඇවිත් හිටියා. එතැනදී විදේශිකයන් අතරත් අපේ රට ගැන ලොකු ප‍්‍රවර්ධනයකුත් සිදු වුණා. ඒ සඳහා අපි වැඩසටහන් ගණනාවක් කළා. ඊට අමතරව සංචාරක ප‍්‍රවර්ධනය පැත්තෙන්ම ගත්තම අර්මානි හොටෙල් එකේ වැඩසටහනක් කළා. මෙහෙ තියන ප‍්‍රධානම හොටෙල් එක බර්ජ් කලීෆාවල තියන. ඒක තමයි ලෝකේ උසම ගොඩනැගිල්ල. ඒකෙ තියෙනවා හොටෙල් එකක් අර්මානි කියලා පල්ලෙහාම. ඒකෙ තමයි අපි ජාතික දිනය කළේ. එහි ප‍්‍රමුඛ අවධානය අපි යොමු කළේ විදේශිකයන්ව. එනම් විදේශීය කොන්සල් ජනරාල්වරු, සංචාරක නියෝජිත ආයතනවල නියෝජිතයන් සහ ඉහළ ආදායම් ලබන ව්‍යාපාරික පිරිස් වගේ අය ඉලක්ක කරගෙන අපි ඒක කළේ. ඔක්කොම හාරසියයකට වඩා ඇවිත් හිටියා. ඒකේදී අපි ශ‍්‍රී ලංකාව ගැන ලොකු ප‍්‍රවර්ධනයක් කළා. චන්දන වික‍්‍රමසිංහ තමයි නැටුම් කළේ. ඒ නිසා ගොඩක් පිරිසක් ලංකාවට ගියා.

තව ඇරබියන් ට‍්‍රැවල් මාට් කියල එකක් තියෙනවා. ඒක තමයි මේ කලාපයේ තියන ලොකුම සංචාරක වෙළෙඳ ප‍්‍රදර්ශනය. මේකට ශ‍්‍රී ලාංකික සමාගම් 50 කට වැඩිය සහභාගි වෙනවා. ඒ අය වෙළෙඳ කුටි එහෙම දානවා ඔවුන්ගේ. ඒකේ වැදගත්කම තියෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එනම් යූඒඊවලට පමණක් නෙවෙයි මැදපෙරදිග කලාපයටම ඒක අදාළයි. ඒකට සමගාමීව අපි රද්ා ියදඅි කීපයකුත් කළා. එකක් සාජාවල එකක් ඩුබායිවල සහ තව එකක් අබුඩාබිවල කළා. තව ටෙස්ට් ඔෆ් ඩුබායි කියල පාරිභෝගික ප‍්‍රදර්ශනයක් තියෙනවා. ඒකටත් අපි ගිය වසරේ සංචාරක මණ්ඩලයත් එක්ක සහභාගි වුණා. මේ සැරෙත් සහභාගි වෙනවා. තව මෙහේ කරනවා රග්බි සෙවන්ස් කියල ඉතා ඉහළ මට්ටමේ වැඩසටහනක්. ඒක දෙසැම්බර් මාසේ තිබ්බේ එකට අපි සහභාගි වුණා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයත් එක්ක. ඒක හරි වැදගත් මොකද ඒකට ඔක්කොම ලක්ෂයක් විතර එනවා. ඒක දවස් තුනක් වගේ තියන කානිවල් වගේ එකක් රග්බිවලට. ඒකට සහභාගි වුණ හේතුව එතනට එන්නේ විශේෂිත පිරිසක් නිසා. ඔය වගේ සංචාරක ප‍්‍රවර්ධනය වෙනුවෙන් අපි වසර පුරාම වැඩසටහන් ගණනාවක් කරනවා. හේතුව මේක අපට ඉතා වැදගත් වෙළෙඳපොළක් සංචාරක පැත්තෙන්. මේ රටේ විශාල ප‍්‍රමාණයක් විදේශිකයෝ නේවාසිකව ඉන්න නිසා. මීළඟ අපේ‍්‍රල් මාසේ තියන ඇරබියන් ට‍්‍රැවල් මාට් එකට අපි සහභාගි වෙනවා. මේ පාරත් ශ‍්‍රී ලාංකික සමාගම් 50 කට වඩා එයි කියල අපි බලාපොරොත්තු වෙනවා. ඒක යූඒඊවලට පමණක් නෙවෙයි කලාපයටම තියන එකක් නිසා අපට ඉතා වැදගත්. එතැනදී සංචාරක නියෝජිත සහ ව්‍යාපාරික හමු තියෙනවා. ඒක අපේ සංචාරක කර්මාන්තය ඉස්සරහට දියුණු කරන්න ඉතා වැදගත්. මේ වසරේදී ඵෂක්‍ෑ සංචාරක වැඩසටහනකුත් කරන්න ඉඩ තියෙනවා. ඒ ගැන අපි දැනට සාකච්ජා කරගෙන යනවා.

ප‍්‍රශ්නය - ඩුබායිවල ආර්ථික ශක්තිය ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර - එක්සත් අරාබි එමීර් රාජ්‍යය එනම් යූඒඊ ගත්තම අබුඩාබිවල තමයි ප‍්‍රධාන වශයෙන් තෙල් තියෙන්නේ. මුළු දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් විතර තමයි තෙල් නියෝජනය කරන්නේ. මේකෙන් එමිරේටයක් ලෙස ඩුබායි ගත්තම ප‍්‍රධාන ආදායම් මාර්ගය තෙල් නෙවෙයි. ඩුබායි කියන්නේ තෙල් මත ගොඩනැගුනු ආර්ථිකයක් නෙවෙයි. ඩුබායි කියන්නේ මූලික වශයෙන් වාණිජමය කටයුතු මත ඇති වූ ආර්ථිකයක්. එයිනුත් සංචාරක කර්මාන්තය ඉතා වැදගත්. ඒ කියන්නේ ගිය අවුරුද්දේ (2018* මෙහෙ ඇවිත් තියෙනවා මිලියන 16 ක් විතර. ඊට අමතරව මෙහේ එයාර්පෝට් එකේ ගිය වසරේ සම්පූර්ණ කළා ඒ අයගේ බිලියනය වැනි ගුවන් මගියා. එනම් මෙහේ ගුවන් තොටුපොළ පටන් ගත්තට පස්සේ මේ ගුවන් තොටුපොළට පැමිණි බිලියනය වැනි ගුවන් මගියායි. සාමාන්‍යයෙන් මේ එයාර්පෝට් එක හරහා ගමන් කරනවා වසරකට මිලියන 90 ක් පමණ පිරිසක්. හිතන්නකෝ ආදායම කෙතරම්ද කියලා, ඊට අමතරව ව්‍යාපාරික කටයුතුවලට ඉතා හිතකර ආර්ථික ප‍්‍රතිපත්තියක් තමයි මේ රට අනුගමනය කරන්නේ. ඒ ආර්ථික ප‍්‍රතිපත්තියත් සමග මේ රටේ ආර්ථික වර්ධනයට ප‍්‍රධනතම හේතුව තෙල් නෙවෙයි. ඩුබායිවල දියුණුවට ප‍්‍රධානතම හේතුව වාණිජ ක්ෂේත‍්‍රයන්ගේ දියුණුවයි. ඒක පැහැදිලිවම කියන්න පුළුවන්. විවිධ රටවලින් ඇවිත් මෙහෙ ව්‍යාපාරික කටයුතු කරන්න පුළුවන්. ඒ බිස්නස් පටන් ගන්න දේශීය සහකරුවෙක් ඕන කරනවා. නමුත් මෙහෙ නිදහස් කලාප වගයක් තියෙනවා ඒවායේ ඕන කෙනෙකුට කිසිම කෙනෙක් නැතුව තමන්ට තමන්ගේ බිස්නස් පටන් ගන්න පුළුවන්. මේ නිසා ව්‍යාපාර කටයුතුවලට හිතකර පරිසරයක් තමයි ගොඩනගල තියෙන්නේ. ඒ කියන්නේ ආදායම් බදු නෑ. ගිය අවුරුද්දේ ජනවාරි 01 වැනිද ඉඳන් වැට් එකක් පටන් ගත්ත. ඒ හැරුණම වෙන ආදායම් බදු මොනවත් නෑ. ඒක ලොකු පිටිවහලක් වෙලා තියෙනවා මේ රටට කට්ටිය එන්නත්. ලෝකේ තියන ලොකුම සමාගම් මෙහෙ තියෙනවා.

ඒ වගේම සඳහන් කරන්න ඕන ඩුබායි ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානය ගැන. ඒකට අපි කියන්නේ ෘෂත්‍ක්‍ එක කියලා. ඒකට ලෝකේ තියෙන ලොකුම සමාගම් 500 කට වැඩි ප‍්‍රමාණයක් තියෙනවා. ඒක වෙනම කලාපයක් ලෙස තමයි ක‍්‍රියාත්මක වෙන්නේ. කලාපයක් විදිහට ඒ අයට පුළුවන් බැංකු කටයුතු කරන්න. හැබැයි ඒ අයට දේශීය සිල්ලර වෙළෙඳපොළට එන්න බෑ. ඒ අයට අන්තර්ජාතික වශයෙන් සියලූ කටයුතු කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය සියලූ පහසුකම් සපයල තියෙන්නේ. ලංකාවේ තියෙන පෝර්ට් සිටි එකෙත් ඔය කටයුතු කරන්න සූදානමක් තියෙනවා.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles