Divaina - ඉංග්‍රීසීන්ට රැවටී දළදා වහන්සේ භාර දුන් විත්තිය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

 


 
 මතුගම සෙනෙවිරුවන්
 

english

මෙයට වසර දෙසීයකට පෙර ගිවිසුමක්‌ මගින් ලංකාවේ පාලනය මහා බ්‍රිතාන්‍යට පවරා දීම මගින් සිංහල ජාතියේ ස්‌වාධීනත්වය අහිමි විය. ගිවිසුමකින් පවරා දුන්නද ධවල අධිරාජ්‍යවාදීන් අපට වඩා බලවත් හෙයින් සිංහල ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට එයින් නොහැකි විය. ඉංග්‍රීසීන් සමග ගිවිසුමකට යැමට පළමුව 1766 දී ලන්දේසීන් සමග අත්සන් කළ ගිවිසුම මගින් ලංකාවේ මුහුදු බඩ පළාත් වලින් ගව්වක පමණ ප්‍රමාණයක්‌ සිංහල පාලනයෙන් අත්හැර තිබුණි. 1796 දී ඉංග්‍රීසීන් විසින් ලන්දේසීන් ගෙන් මෙම මුහුදු බඩ පළාත් භාර ගත් පසු එකී ගිවිසුම ද එලෙසින්ම ක්‍රියාත්මක විය. මේ නිසා ඉංගී්‍රසි පාලන ප්‍රතිසංස්‌කරණ අනුව රට පළාත් පහකට බෙදා දැක්‌වීම සහ පසුව දිස්‌ත්‍රික්‌කයන්ට බෙදා දැක්‌වීමේ දී අනුගමනය කරන ලද්දේ 1766 ගිවිසුමේ දේශ සීමාවන්ය. 1815 දී අවසන් වරට පවරා දෙන ලද්දේ සිංහලේ රජු ගේ පාලන ප්‍රදේශයි. 1814 දී පමණ ලංකාවට පැමිණි වෙස්‌ලියන් මිෂනාරීන් මෙම දේශ සීමා සැලකිල්ලට ගනිමින් 1819 දී උතුර දෙමළ ප්‍රදේශයක්‌ ලෙසට ද දකුණ සිංහල ප්‍රදේශයක්‌ ලෙසටද වර්ග කළහ. මේ බෙදීම අද වන විට වෙනම රාජ්‍යයක්‌ ඇති කරලීමට ක්‍රියාත්මක කරන බෙදීමක්‌ ලෙසට ද වර්ධනය වී තිබේ.
 
 1766 ට ප්‍රථම මේ රට සිංහල රාජ්‍යයකි. එසේම බෞද්ධ රාජ්‍යයකි. ලංකාවේ සෑම තැනකම තිබෙන බෞද්ධ නෂ්ඨාවශේෂ ඊට සාක්‌ෂි සපයයි. දළදා වහන්සේ වෙනුවෙන් එකොළොස්‌ වතාවක්‌ පමණ මේ රට පූජා කරලීමෙන් පැරණි රජවරු බලාපොරොත්තු වන්නට ඇත්තේ රටේ ජාතියේ සුබ සිද්දිය උදෙසා බෞද්ධ රාජ්‍යයක පැවැත්ම අවශ්‍ය වූ බවයි. කිත්සිරිමෙවන් රජ දවස දී දළදා වහන්සේ මෙරටට වැඩම කරවීමට දායකත්වය දෙන ලද්දේ දන්ත හේමමාලා යුවළයි. ඔවුන් ගේ ආගමනයත් සමග ඇරඹි දඨා රක්‌ඛක තනතුර නොහොත් දළදාවේ ගිහි භාරකාරත්වය රජු හා සමාන බලතල හිමි තනතුරක්‌ බවට පත් විය. දන්ත හේමමාලා පරපුරෙන් පැවතෙන කුමරියක්‌ නිතරම රජු ගේ මෙහෙසිය බවට පත්කරන ලදහ. රජකම ලැබීමට නම් දළදා වහන්සේ ගේ භාරකාරත්වයද අවශ්‍ය වන බවට සම්ප්‍රදායක්‌ බිහිවන්නේ මෙලෙසයි. මේ නිසා දන්ත හේමමාලා යුවළ ලැගුම් ගෙන සිටි පුරවරය ජාතිග්‍රාම නමින් ද පසුව කීරවැලි පත්තුව ලෙසින් ද හඳුන්වන ලදහ.
 
 වර්ෂ 1814 දී ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කරන ලද්දේ ඇහැලේපොළ ගේ අනුග්‍රහය මතය. ඒ වන විටත් උඩරට රදළවරු එකිනෙකා බේද භින්න වෙමින් විරසක වෙමින් සිටීම ඉංග්‍රීසී ඔත්තු සේවා විසින් මහත් අභිරුචියෙන් වාර්තා කරවන ලද්දේ විය. සිංහලේ රජු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමටත් මහා බ්‍රිතාන්‍යයට මුළු රටම යටත් කර පාලනය කරලීමේ අරමුණින් කටයුතු කළ බැවින් මේ ඔත්තු සේවා ඉතා වැදගත් විය. උඩරට මෙන්ම පහතරට සිටි නායක ස්‌වාමීන් වහන්සේ ගේ හිත දිනා ගෙන සිටි ජෝන් ඩොයිලි නම් කපටි සූර රාජ්‍ය තාන්ත්‍රිකයා මෙම ඔත්තු සේවා මැනවින් හසුරුවන ලද්දේ විය.
 
 උඩරට ජය ගැනීමට පැමිණෙන කාලයේ දළදා වහන්සේගේ තේවාව බාරව සිටින ලද්දේ රඹුක්‌වැල්ලේ නම් ස්‌වාමීන් වහන්සේ නමකි. උන්වහන්සේ ගේ පරපුර කීරවැල්ලේ දන්ත හේමමාලා පරපුරට ලේ ඥාතිත්වයක්‌ දක්‌වයි. මෙවක දාඨා රක්‌ඛක තනතුර නොහොත් දිවන රාළ තනතුර පිළිබඳව ගිහි භාරකාරත්වයක්‌ තිබී නැත. එයට හේතුව නම් සෙනරත් ගේ පුත්‍රයා වන දෙවන රාජසිංහ විසින් ගිහි භාරකාර තනතුර අහෝසි කරලීමයි. පළමුවන විමලධර්මසූරිය රජු 1604 දී මිය ගිය පසු රාජ්‍ය උරුම කම් කියන කුමරවරුන් හට තමා ඉදිරියේ පෙනී සිටින ලෙසට කුසුමාසන දේවිය විසින් අණ කළ අවස්‌ථාවේ දී ඌවේ වීදිය බණ්‌ඩාර සහ දෙනවක මායාදුන්නේ යන කුමාරවරුන් දෙදෙන පෙනී සිටියහ. නමුත් පිටුපසින් පැමිණි සේනාරත්ත නොහොත් සෙනරත් කුමරු වීදිය බණ්‌ඩාරට කිරිච්චියෙන් ඇන මරා දැමීම නිසා දෙනවක කුමරු ද චෝල දේශයට පලා ගිය බව දැක්‌වේ. ඉන් පසු සෙනරත් රාජ්‍ය පාලනය සියතට ගෙන ආණ්‌ඩු කළද පසුව දෙනවක කුමරු සහ තම්මිට අන්තෝනි බරෙන්තු විසින් ඇති කළ කැරැල්ලෙන් පසු මහියංගනයට පලා ගිය බව සඳහන්ය. මේ රාජ්‍ය උරුම බල අරගලය නිසා සෙනරත් ගෙන් පසු රාජ්‍ය උරුමය කුසුමාසන දේවිගේ පුත්‍රයන්ට පමණක්‌ හිමි වන පරිදි පෘතුගීසින් සමග ගිවිස ගත්තේය. මේ නිසා හිරිපිටියේ දිවන රාළගෙන් පසුව දළදා භාරකාරත්වය පිළිබඳව ගැටලුවක්‌ ඇති විය. දෙනවක මායදුන්නේ කුමරු සමග රාජකීය ඥාතීන් සමනල කන්දේ ගිලීමලයේ සැඟවුණු අතර කීරවැල්ලේ පරපුර ද එලෙස සැඟවීමට පත් විය. සෙනරත් ගෙන් පසුව 1634 දී දෙවනි රාජසිංහයන් තමන් ගේ බිසව ලෙසට කීරවැල්ලේ කුමරියක්‌ පැතුව ද එය ඉටු කර දෙන්නට කීරවැල්ල ඥාතීන් ගේ තිබූ අකැමැත්ත නිසා කෝපාවිෂ්ට වූ රාජසිංහ දාඨා රක්‌ඛක තනතුර අහෝසි කොට කීරවැල්ලේ පරපුර සමග ඥාති සම්බන්ධයක්‌ තිබෙන භික්‌ෂූන් වහන්සේට දළදා භාරකාරත්වය පැවරීය. 1814 කාලවකවානුවේ දී රඹුක්‌වැල්ල හිමියන්ට දළදා භාරකාරත්වය හිමි වන්නේ එලෙසයි. රඹුක්‌වැල්ලේ පරපුර පිළිබඳව ලියෑවී තිබෙන රඹුක්‌වැල්ලේ විත්ති පොත මීට නිදර්ශන සපයයි. මේ නිසා දළදා වහන්සේ රැක ගැනීම පිළිබඳව රඹුක්‌වැල්ලේ හිමියන්ට තිබූ කැක්‌කුම සුවිශේෂී තැනක විය. ශ්‍රී ශකරාජ වර්ෂයෙන් එක්‌වා දහස්‌ සත්සිය තිස්‌හය නොහොත් ක්‍රිස්‌තු වර්ෂයෙන් 1814 වැන්නේ දී මෙම රඹුක්‌වැල්ලේ ස්‌වාමීන් වහන්සේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ රැගෙන මැද මහනුවරට ගිය බව පැවසේ. ඒ වන විටත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිය ආරක්‌ෂාව පතා මැදමහනුවර මාලිගයට පිටත්ව සිටියේය. නමුත් අධික වර්ෂාව නිසා එතුමාට ගල උඩ මාලිගයට ප්‍රවිශ්ට වීමට නොහැකි විය. ඒ නිසා බිසෝවරුන් සමග මැද මහනුවර බෝමුරේ ආරච්චිගේ ගෙදර නවාතැන් ගන්නට සිදු විය. මේ ස්‌ථානය පිළිබඳව ඔත්තු දැනගත් එක්‌නැලිගොඩ ඇතුළු නිළමේවරු කීප දෙනකු රජු ඇල්ලීමට ඉංග්‍රීසීන් සමග පිටත් විය. මේ තත්ත්වය ඉවෙන් මෙන් වටහා ගත් රඹුක්‌වැල්ලේ හිමියන් බඹරගල විහාරයේ සිට දළදා වහන්සේ රැගෙන යළි සැඟවුණේය. මේ එතැන් සිට 1815 වර්ෂය දක්‌වා දළදා වහන්සේ රැක ගැනීමට උන්වහන්සේ කළ ජීවිත පරිත්‍යාගමය උත්සාහය ගැන උන්වහන්සේ අතින්ම ලියෑවුණු පුස්‌කොළ ලේඛනයකි. එය මල්වත්තේ මහානායක හිමියන්ට ඔප්පු කරලීමට ලියන ලද්දකි..
 
 'ශ්‍රී ශක රාජ වර්ෂයෙන් එක්‌වා දහස්‌ තිස්‌හයට පැමිණි මෙම වර්ෂයෙහි දීම කර රවි විසි දෙභාග වූ ගුරු දින ගෙවී පාන් වන්නට දෙපහමාරට මහනුවරින් දළදා හාමුදුරුවන් බඹරගලේ විහාරෙට වැඩමවා මෙම සිකුරාදා පටන් රඹුක්‌වැල්ලේ භික්‌ෂුව වන මා විසින් මාගේ බන්ධු උපාසකවරු ලවා බුද්ධ පූජා පවත්වා මීට තුන් වෙනි සෙනසුරාදා මැදමහනුවර මාලිගාවට වැඩමවා දන්මුළු තැන් තේවාව සිද්ධ කොට මීට සතරවන ඉරිදා බලවර්ධන දිසාව බද තලගුණේ විහාරෙට දළදා හාමුදුරුවන් අප්‍රසිද්ධ ආකාරයෙන් වැඩමවාගෙන රඹුක්‌වැල්ල භික්‌ෂුව වන මා විසින් මාගේ බන්ධු උපාසකවරු ලවා මුර ජාම ප්‍රවේශම් කරවා මාලිගාවේ වැඩ පයින්ඩ කරන අයගෙන් එකම කෙනෙක්‌ වත් නැතිව දළදා හාමුදුරුවන් කෙරෙහි වැඩ රාජකාරිය අහර දැහැත් මල් පහන් ගිලන් පස බෙහෙත් බඩු ජාතියෙන් කිසිම අඩුවක්‌ නැතිව පුද පූජා කෙරෙමින් එම උපාසකවරු ලවා වාරණ තිරයක්‌ ද සියලුම පරිස්‌කාර ඇතිව පිරිකරක්‌ද පූජා කෙරෙමින් වටපුලුවේ නායක උන්නාන්සේද හුලංගමුවේ උන්නාන්සේ ද හෙණගැහුවල උන්නාන්සේ ද මේ සංඝයා තුන් නමක්‌ වඩිනා කැටුව ආ කීප දෙනකුවත් රඹුක්‌වැල්ලේ භික්‌ෂුව වන මා විසින් මාගේ බන්ධු උපාසකවරුන්ගේ සහායෙන් උපකාරි කරවමින් පසළොස්‌ දවසක්‌ මෙම තලගුණේ විහාරෙ පදිංචි වෙලා සිටලා කුම්භ රවි දශභාග වූ ඉරිදා මැදමහනුවරින් සංවැල්ල නුවරට සතුරු බය පැමිණි නිසා දළදා හාමුදුරුවන් අප්‍රසිද්ධ ආකාරයෙන් වැඩමවාගෙන මැදිවක විහාරෙ පස්‌ දවසක්‌ වැඩ සිට ප්‍රවේශම් කිරීමෙහිත් ප්‍රකාසවේදෝ යන සතුරු භයින් රඹුක්‌වැල්ලේ භික්‌ෂුව වන මා විසින් මාගේ බන්ධු නෑයන්ගේ සහායෙන් ගංහතටත් ගංදෙකටත් බින්තැන්නටත් තැම්මිටියාන කියන මහවනන්තරයට අඩුත්තුව තනි හේන් මඩිත්තේ ගල්තලක්‌ සමීපයෙහි දිග නව රියන් පුළුල තුන් රියන් සමාරෙ ගෙයක්‌ කරවා එහි බෞද්ධ මාලිගාවක්‌ කරවා දඬුවේ කත් බැද පිට තලකොළ පැළලි ලවා ආසන පනවා සුදු වියන් බැද සර දින්දු කුන්දු ධවල කිරණ ප්‍රර්භාවාදී ¶නවර ශ්‍රී දන්ත දළදා හාමුදරුවන් එහි වැඩමවා වටපුලුවේ නායක උන්වහන්සේ ඇතුළව සංඝයා තුන් නමටත් වඩිනා කැටුව ආ කීප දෙනෙකුටත් ආවාස පහසු කරවා දෙමින් දන් මුළුතැන් උදව් කිරීමට මුළුතැන් ගෙයක්‌ද තනවා සංඝයා වහන්සේටත් ශක්‌ති පමණින් ආවාස පහසු කරවා දෙමින් එම වනන්තරයෙහි මැසි මදුරු වැසි සුළං සීත පීඩාදියෙන් කර්කශක වූ මහ වන මැද සෙහිදි බොහෝ සේ උත්සාහ වීර්ය වඩමින් දන් මුළු තැන් තේවාව කළහ. දළදා හාමුදුරුවන්ට බොහෝ සේ ගවුරවාර වශයෙන් සිද්ධ වන හුං කිරි පූජාවද දවස අවුළු පත් තුන් වර්ගය සහිතව මුළු තැන තොවාව සිද්ධ වෙමින් සංඝයා වහන්සේට දානෙ පකාර වෙමින් එම තැන්නෙහි කිසිම උත්සවයක්‌ නැතිව රඹුක්‌වැල්ලේ භික්‌ෂුව වන මා විසින් මාගේ බන්ධු උපාසකවරු ලවා මාලිගාව සුරක්‌ෂිත කොට මුර ජාම කරවා ප්‍රවේශම් කරවා මින් තිසි එක්‌ දවසක්‌ වැඩ සිටලා මීන රවි දහඅට භාග වූ සිකුරාදා දළදා හාමුදුරුවන් මැදිවක විහාරෙට වැඩමවා එදා එහි වැඩ හිඳ මීට දෙවන සෙනසුරාදා වේඬරුවෙ විහාරෙට අප්‍රසිද්ධ ආකාරයෙන් දළදා හාමුදරුවන් වැඩමවා ගෙන එහි හිඳ මීට දෙවනි ඉරිදා හේවාහැටේ බද කිතුල්පේ ගමටද දළදා වහන්සේ අප්‍රසිද්ධ ලෙසින් වැඩමවා එහි වැඩ හිඳ මීට තුන් වෙනි සඳුදා දළදා හාමුදුරුවන් අප්‍රසිද්ධ ලෙසින් වැඩමවා ගෙන නායක උන්නාන්සේ සමග අති දුර වූ තුන් ගවු සමාරෙ මාර්ගයෙහි බොහෝ දුක්‌විඳ කොත්මලේ බද පුසුල් පිටිය විහාරෙට දළදා හාමුදරුවන් වැඩමවා වැඩ ඉඳලා සක වර්ෂයෙන් එක්‌වා දහස්‌ තිස්‌ හතට පැමිණි අවුරුද්දෙහිම බක්‌ මස පුර තෙලෙස්‌වක නම් තිථිය ලත් සිකුරාදා උත්‍රපල් ගුණේ නැකතින් පුසුල්පිටියෙහි විහාරෙට මාලිගාවෙ වැඩ පයින්ඩ කරන අයගෙන් කලුගොමුවෙ කාරියකරවන අයද කිතුල්පේ ගෙපළු කර කත් තියන අයද කැටුව මාලිගාවේ කීප දෙනෙකුත් සමග වැඩ පයින්ඩ කර ගෙන පුසුල් පිටියෙ විහාරෙට පැමිණි පෙරහර ලෙසින්ද දළදා හාමුදුරුවන් අටභාගෙ විහාරෙට වැඩමවා එදා එහි වැඩ සිටලා දන් මුළු තැන් තේවාව සිද්ධ කොට මීට දෙවනි සෙනසුරාදා දළදා හාමුදුරුවන් පෙරහැර ලෙසින් හිඳගල විහාරෙට වැඩමවා දෙදවසක්‌ එහි වැඩ සිටලා දන් මුළු තැන් තේවාව සිද්ධ කොට ශ්‍රී ඝන ශාසනාධාරො ජවලිත පූර්ණ චන්ද්‍රමතෙ විශේෂ වූ පුෂ්පාරාම විහාරාධිපති වූ මහානායක ස්‌වාමීන් වහන්සේ හිඳගල විහාරෙට වැඩමවා පෙරහර ලෙසින් දළදා හාමුදුරුවන් කුමාරහපුව ගාවට වැඩමවා සෙන්ඛණ්‌ඩ ශෛලාභිධාන වූ ශ්‍රී වර්ධන පුර ප්‍රවරයෙහි රැස්‌ව සිටි මහා සංඝයා වහන්සේට ඇතුළු අමාත්‍ය මණ්‌ඩලේ ධී ස්‌වර වූ සියල්ලද ලෝක ශාසන නිවෘධ වර්ධනය කරවන ජනරාල් උන්නාන්සේ ඇතුළු සියළු හේවාපන්නවළුත් යන මේ සියල්ල කුමාර හපුව ගාවට රැස්‌ කරවා ශ්‍රී භුවනෙක තිලක සකල ලන්කාය සාගර පර තථාගතයාශේෂ නෛක ගුණරත්න මන්දිරායාමාන වූ උතුම් සම්‍යක්‌ සම්බුද්ධ සර්ව රාජෝතමයාණන්ට පක්‌සත් උතුම් වී දන්ත දළදා හාමුරුවන්ට ඇතාපිට වැඩමවා පෙරහැර ලෙසින් ශ්‍රී දෂ්ඨා දළදා මන්දිරයට වැඩමවා මේ දළදා හාමුදුරුවන් වහන්සේ ඒ ඒ තැන් වල දී රඹුක්‌ වැල්ලේ භික්‌ෂුව වන මා විසින් බොහෝ දුක්‌ විඳ වැඩරාජකාරි මුර ජාම කරවමින් රක්‌ෂා කාලාය. එහි සියලු පුණ්‍ය සම්භාරයෙන් සකල ජනමන නයනාභිරාම ප්‍රවර විසුධ ජිනවර චරණ රවින්ද තිජ මධිත කාලාක්‍රත කොට ඇති අපේ නායක හාමුදුරුවො විසින් අනුමෝදන්ව වදාරණ බව යහපති.' ( ජාතික ලේඛනාගාරය 5/63/102/2 පුස්‌කොළ පොත )
 
 කොත්මලේ පුසුල් පිටිය යනු අනුරාධපුර සමයේ සිට ප්‍රසිද්ධ වූ විහාරයක්‌ විය. බොහෝ දුෂ්කර මගක්‌ ගෙවා එතැනට දළදා හාමුරුවන් වැඩම කරවන්නට ඇත්තේ යළි සිංහල රජෙකු පිළිබඳ බලාපොරොත්තුවෙන් විය යුතුය. නමුත් ජෝන් ඩොයිලි ප්‍රමුඛ ඉංග්‍රීසි ජනරාල් වරුන් ගේ චාටු බස්‌ පිළිගත් කපුවත්තේ නිලමේ ඇහැලේපොළ නිලමේ ඇතුළු රදළ වරු මහානායක හිමියන් ද එකඟකරවාගෙන යළි දළදා වහන්සේ මහනුවරට වැඩමවා ලීමට කටයුතු කළහ. පුසුල් පිටියේ සිට ගම්පළ අටභාගෙටත් එයින් පසු පැරණි රාජකීය මාර්ගයේ දුනුකේවුල්ල මැදිලිය හරහා මිල්ලගහ මුල පුස්‌සතැන්න දොළුව ගොඩ වෙල යන තැන් වල පිහිටි අම්බලම් වල නවාතැන් ගනිමින් හිඳගල රජමහා විහාරයට වැඩමවා තිබෙන බව පෙනේ. වර්ෂයක්‌ පමණ කල් ගත වූ මේ දළදා පෙරළිය ට සහභාගි වූ පිරිස පිටු දැකීමටද ඔවුන් ගෙන් පළි ගැනීමටද ඉංග්‍රීසීන් පසුව පෙළඹුණු බව පෙනේ. වර්ෂ 1847 දී දළදා වහන්සේ මහානායක හිමි දෙපළටත් දියවඩන නිලමේ වරයා ටත් ඉංග්‍රීසීන් විසින් භාර දෙන ලද්දේ පෙර අනුගමනය කරන ලද සම්ප්‍රදායයන් සියල්ල උඩු යටි කුරු කරමිනි. 1815 ගිවිසුම ප්‍රකාරව බුද්ධ ශාසනයට සහ දේවාගමට හිමි වරප්‍රසාදයන් අඛණ්‌ඩව පවත්වාගෙන යන බවට ඉංග්‍රීසීන් පොරොන්දු වුවද දළදා වහන්සේ ගේ භාරකාරත්වයද ලබා ගත්තද 1833 න් පසුව ඇති කළ මෙකී ප්‍රතිසංස්‌කරණ හමුවේ තත්ත්වය සහමුලින්ම වෙනස්‌ විය. මිෂනාරීන් ගේ බහට කන් දීමෙන් ද උතුරු පළාත වෙනම දෙමළ පළාතක්‌ ලෙසට සංවර්ධනය කිරීමට මිෂනාරීන් යෙදවීමත් නිසා බෞද්ධ රාජ්‍යයක පැවැත්ම ක්‍රමයෙන් අහෝසි විය. එසේම පුත්තලම මඩකලපුව මන්නාරම ආදී මුහුදු බඩ පළාත් වල මුස්‌ලිම්වරු පදිංචි කරලීමත් ඔවුන්ට වෙනමම වරප්‍රසාද හිමි කර දීමත් නිසා අද වන විට මුස්‌ලිම් අන්තවාදය රටේ ආරක්‌ෂාවට පවා තර්ජනයක්‌ ව අවසන්ය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles