Divaina - කොළඹ ඩී. එස්‌. සේනානායක විදුහල අනතුරේ -දෙමව්පියෝ ළතැවෙති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 
dsඅප රටට ඉමහත් සේවාවක්‌ ඉටු කරමින් මෙලොවින් සමුගත් ආර්.අයි.ටී. අලස්‌ ගුරුපියාණන්ගේ නික්‌ම යැමේ උණුසුම තවමත් පහව ගොස්‌ නැත. නමුත් ඒ උණුසුම මැකීයැමටත් මත්තෙන් එතුමාගේ මූලිකත්වයෙන්, එතුමාගේ දහඩිය මහන්සියෙන්, කොළඹ 07, කූඹි කැලේ එළි පෙහෙළි කර ඉතාමත් අසීරුවෙන් 1967 වර්ෂයේදී ආරම්භ කළ කොළඹ 07 ඩී.එස්‌.සේනානායක විද්‍යාලයට කණකොකා හඬන්නට පටන් ගෙන ඇත.
 
 1967 වර්ෂයෙන් ආරම්භ කර වසර 50ක්‌ වැනි කාලයකදී දිවයිනේ ප්‍රමුඛතම ජාතික පාසලක්‌ බවට ඩී.එස්‌.සේනානායක විද්‍යාලය පත්වූයේ අලස්‌ ගුරු පියාණන් එම පාසල තුළ ගොඩනැඟූ සංකල්ප ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යැමට එතුමාගෙන් පසුව පාසලට පැමිණි විදුහල්පතිවරුන්ද, ගුරුවරුන්ද, ශිෂ්‍යයන්ද, ආදි ශිෂ්‍යයන් හා දෙමාපියන්ද කටයුතු කළ හෙයිනි.
 
 ඩී.එස්‌. සේනානායක විද්‍යාලය තුළ පැවතියේ එයටම ආවේණික වූ සම්ප්‍රදායයන් සහිත පරිසරයකි. මුළු පාසලම ඩී.එස්‌. පවුලක්‌ විය. එහි සිටියේ ගුරු මෑණිවරු, පියවරු හා පුතාලා පමණි. ඩී.එස්‌. කියූ පමණින්ම පාසලේ ආදර්ශ පාඨය වන "තමාට පෙර රට" පරිදිම ක්‍රියාත්මක වන ඩී.එස්‌. පුතුන් අපට දැකගත හැකි විය. කොළඹ හා තදාසන්නයේ පිහිටි වෙනත් ජනප්‍රිය පාසල්වල ශිෂ්‍යයන්ගේ හෝ ශිෂ්‍යාවන්ගේ නොවූ විනයක්‌, කීකරුකමක්‌, නිහතමානීකමක්‌, ආචාරශීලීකමක්‌ ඩී. එස්‌. පුතාලා සතුවිය. ඩී.එස්‌. සේනානායක විද්‍යාලයේ පුතුන් අධ්‍යාපන වැඩකටයුතුවලින් හා ක්‍රීඩා කටයුතුවලින් දැක්‌වූ දක්‌ෂතාවන් නිසා විදුහලේ නාමය ලංකාවේ පමණක්‌ නොව දේශ දේශාන්තරවලද ප්‍රචලිත විය.
 
 මෙසේ දිනෙන් දින ගොඩනැඟෙමින් තිබූ කොළඹ 07 ඩී.එස්‌.සේනානායක විද්‍යාලයට කණකොකා හැමට වැඩි කාලයක්‌ ගතවූයේ නැත. දැනට වසර කිහිපයක සිටම පාසල ටිකෙන් ටික පරිහානිය කරා ගමන් කරමින් තිබුණි. එවකට සිටි විදුහල්පතිවරුන් ද ඒ ගැන එතරම් තැකීමක්‌ කළේ නැත.
 
 පාසලේ අන්තිම විදුහල්පතිවරයා ලෙස සේවය කළ ගුරුපියාණන්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්‌ ලෙස උසස්‌ වීමක්‌ ලැබ පාසලෙන් නික්‌මගොස්‌ මාස දෙකකටත් වැඩි කාලයක්‌ ගත වී තිබේ. තවමත් ඩී.එස්‌.සේනානායක විදුහලට විදුහල්පතිතුමෙක්‌ පත්කර නැත. අධ්‍යාපන ඇමතිතුමා, ලේකම් තුමා, අධ්‍යාපන අමාත්‍යාංශයේ විදුහල්පති ශාඛාව ඇතුළු සියලුම වගකිවයුත්තෝ මේ පිළිබඳව දැනුවත්භාවයකින්ද යුක්‌තය.
 
 ඔහුගේ නික්‌මයැමත් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා පාසල කබලෙන් ලිපට වැටුණු තතත්වයකට පත්විය. පාසලේ පරිපාලනයක්‌ නොමැති තරම්ය. සැවොම එකිනෙකාට අභිමත දේ පමණක්‌ කරති. අවශ්‍ය දේ නොකරති. පාසලේ කාලච්ඡේද අනුව ඉගැන්වීම් කටයුතු කරන්නේ ද නැත. ගුරුවරු තමන්ට අවැසි දේ පමණක්‌ කරති. ශිෂ්‍යයෝ මුළු පාසල් කාලය තුළම පාසල පුරාම ඇවිදිමින් කාලය ගත කරති. ගුරුවරුන්ගේ හා ශිෂ්‍යයන්ගේ විනය පිරිහෙමින් පවතී.
 
 ක්‍රීඩා කටයුතු ද නිසි පිළිවෙළකට සිදු නොවේ. දක්‌ෂයන් පසෙක සිටියදී දක්‌ෂතාවයෙන් අඩු ආදි ශිෂ්‍යයන්ගේ දරුවන්ට මුල්තැන ලබාදී කටයුතු කෙරේ.
 
 පාසලට අලුතින් ගුරුවරු 60කට ආසන්න ප්‍රමාණයක්‌ පැමිණ ඇති අතර ඔවුන් නිසි පරිදි කළමණාකරණය කර ඔවුන්ගෙන් නිසි ප්‍රයෝජන ලබා ගැනීමේ කටයුත්තට මුල පිරීමට ද කිසිවෙක්‌ නැත. බොහෝ දෙනෙක්‌ බොර දියේ මාළු බෑමේ කටයුත්තේ නිරත වෙමින් සිටිති.
 
 මේ ආකාරයට මුළු පාසලම පිළිවෙළක්‌ නැති අවුලෙන් අවුලටම පත්වූ තැනක්‌ බවට පත්වෙමින් තිබේ. කෙටියෙන් කියන්නේ නම් ඩී. එස්‌. සේනානායක විදුහල කෙමෙන් කෙමෙන් පරිහානිය කරා ගමන් කරමින් සිටී.
 
 පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී සිටින බවට පුරසාරම් දොඩන ආදි ශිෂ්‍යයෝ පාසලේ දැන් උද්ගත වී ඇති තත්ත්වය ගැන එතරම් තැකීමක්‌ නොකර නිසොල්මන්ව බලා සිටිති. ඔවුන්ට අවශ්‍ය වන්නේ පාසලට සේවය කිරීම නොව තනතුරු ලබාගැනීම සහ ඔවුන්ගේ පුද්ගලික මඩිස්‌ස තර කර ගැනීම පමණි. පාසලට සිදුවන විනාශය ඔවුනට නොපෙනේ. පාසලේ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සේවය කරන, පාසලට ආදරය කරන ගුරුවරු කරකියා ගත නොහැකිව බලා සිටිති. දහසක්‌ බලාපොරාත්තු පොදි බැඳගෙන තම දරුවා ඩී. එස්‌. සේනානායක විදුහලට ඇතුළත් කළ දෙමාපියෝ තමන් කරගත්තේ කුමන අනුවණ කමක්‌දැයි සිතමින් ළතවෙති.
 
 කෙසේ වෙතත් "තමාට පෙර රට" යන උදාර ආදර්ශ පාඨය යටතේ අප රටේ කීර්තිමත් අධාපනඥයකු වන ආර්.අයි.ටී. අලස්‌ ගුරු පියාණන් අප රටට දායාද කළ ඔහුගේ සැබෑවූ සිහිනයක්‌ වූ ඩී.එස්‌. සේනානායක විදුහල, බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සහ ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරගැනීමට යැමෙන් විනාශයට ලක්‌ වෙමින් තිබේ. අධ්‍යාපන ඇමතිතුමා ඇතුළු සියලු බලධාරීන්ගේ අවධානය වහාම මේ සඳහා යොමුකර පාසල නැවත ගොඩනංවා පෙර තත්ත්වයට පත්කිරීමට හැකි ශක්‌තිමත්, පාසලට ආදරය කරන විදුහල්පතිවරයෙක්‌ පත් කරන ලෙසත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂයෙන් ඉහතකී නිලධාරීන්ගේ අල්ලේ නැටවීමට පුළුවන් හෙංචයියෙක්‌ පත් නොකරන ලෙසත්, ඉල්ලා සිටිමු. එසේ නොවන්නේ නම්, ආර්. අයි. ටී. අලස්‌ ගුරුපියාණන් මෙලොවින් සමුගත් ලෙසම ඔහු මෙලොව ඉතිරිකර ගිය ඔහුගේ සිහිනය, ඩී.එස්‌. සේනානායක විදුහල ද මතකයක්‌ පමණක්‌ ඉතිරි කර ළඟදී ම විනාශ වී යනු ඇත.
 
 දෙමාපියෝ පිරිසක්‌ 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles