Divaina - නීතිඥ අජිත් ප්‍රසන්න රිමාන්ඩ්.... මාධ්‍ය ඉදිරියේ විනිසුරුවරුන් විවේචනය කිරීම අධිකරණයට කළ අපහාසයක්‌

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

විනිසුරු ගිහාන් කුලතුංගට එරෙහිව මා කළ පැමිණිලි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥයා කීවේ නෑ
 
ඒ. ඡේ. ඒ. අබේනායක
ඡායාරූපය - සුජාතා ජයරත්න
 

aji222
 මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ මේ වනවිටත් විභාගවෙමින් පවතින නඩු කටයුත්තක්‌ හා පෙර විභාග කළ නඩු කටයුතු සම්බන්ධයෙන් මෙන්ම එම විනිසුරුවරයා සම්බන්ධයෙන්ද මාධ්‍ය හමුවේදී විවේචන සිදු කළ විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ලබන 07 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඊයේ (24 දා) පස්‌වරුවේ නියෝග කළේය.
 
 
 නීතිඥ අජිත් ප්‍රසන්න මහතාගේ මානසික තත්ත්වය පිළිබඳ අධිකරණ වෛද්‍ය නිලධාරි මගින් මානසික වෛද්‍ය වාර්තාවක්‌ කැඳවන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා එහිදී බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය. ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ඉදිරි විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටද එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කළ විනිසුරු ධම්මික ගනේපොල මහතා වැඩිදුර විමර්ශනවලින් හෙළිවන තොරතුරු අනුව ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසට ද නියෝග කළේය.

මේ වනවිට ඉදිරිපත්වී ඇති කරුණු අනුව සහ අජිත් ප්‍රසන්න මහතා දිගින් දිගටම අනුගමනය කර ඇති ක්‍රියා කලාපය අනුව අධිකරණය හමුවේ පවතින නඩුවක සාක්‌ෂිවලට අහිතකර ලෙස බලපෑම් සිදුවී ඇති බවට මෙන්ම එමගින් යුක්‌තිය ඉෂ්ට කිරීමේ අධිකරණ ක්‍රියාදාමයට බැලූ බැල්මට බලපෑමක්‌ සිදුවී ඇති බව පෙනී යන්නේ යෑයි පැවසූ මහාධිකරණ විනිසුරුවරයා එම නියෝග කළේය.
 
 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකර ඉදිරිපත් කළ එම පැමිණිල්ල ඊයේ (24 දා) කැඳවූ අවස්‌ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ජනක බණ්‌ඩාර මහතා වාචිකව කරුණු දක්‌වමින් නීතිඥවරයකු යෑයි කියන එකී පුද්ගලයාගේ ක්‍රියාකලාපය අනුව සමස්‌ත අධිකරණ පද්ධතියේම ස්‌වාධිපත්‍ය හා ගෞරවයට බලවත් හානියක්‌ සිදුවී ඇති බව අධිකරණයට පැවසීය.
 
 කොළඹ මහාධිකරණය හමුවේ පවතින හිටපු මහෙස්‌ත්‍රාත් තිළිණ ගමගේ මහතා විත්තිකරුවකු වන නීති විරෝධී අන්දමින් අලි පැටවකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩු කටයුත්ත විභාග කරන මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සම්බන්ධයෙන් එකී නීතිඥවරයා කර ඇති විවේචන හා අභූත චෝදනා සමස්‌ත අධිකරණ ක්‍රියාවලියටම කළ අපහාසයක්‌ බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එහිදී අධිකරණයට පැවසීය.
 
 එම අභූත චෝදනා නිසා එකී විනිසුරුවරයාට පමණක්‌ නොව ඔහුගේ පවුලේ සාමාජිකයන්ටද බලවත් අපහසුතාවලට මුහුණදීමට සිදුවී ඇතැයිද පැවසූ ජනක බණ්‌ඩාර මහතා යහපත් මානසික තත්ත්වයකින් යුත් අයකුට එවැනි චෝදනාවක්‌ නැගීමේ හැකියාවක්‌ නොමැති බැවින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක්‌ කැඳවන ලෙසටද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 මෙවැනි මානසික තත්ත්වයකින් යුත් පුද්ගලයකු තවදුරටත් නිදහසේ සමාජය තුළ සැරිසැරීමට ඉඩහැරීම එවැනි වැරදි සිදුකිරීමට මගපැදීමක්‌ බවද එහිදී අධිකරණයට පැවසූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඔහුව රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාග කොට අවසන් කර මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පවතින නඩුවක්‌ හා තවත් එක්‌තරා ප්‍රකට පුද්ගලයකුට එරෙහිව පවරා ඇති නඩුවක්‌ සම්බන්ධයෙන් ද නීතිඥ අජිත් ප්‍රසන්න මහතා විවේචනය කර ඇති බව ද එහිදී මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතාට පැවසූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්‌ඩාර මහතා මේ ආකාරයෙන් විභාග වෙමින් පවතින නඩු කටයුතු හා විනිසුරුවරුන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ විවේචනය කිරීමට යාමෙන් අධිකරණ පද්ධතිය බිඳවැටීමකට ලක්‌විය හැකි බවද කීවේය.
 
 වෘත්තීය ආචාර ධර්ම හෝ නීතිඥ කබායේ ගෞරවය පිළිබඳ කිසිදු තැකීමක්‌ සිදු නොකරන එකී නීතිඥවරයා කොළඹ ප්‍රධාන මහසේත්‍රාත්වරිය සම්බන්ධයෙන්ද මාධ්‍ය හමුවේ අහිතකර අන්දමින් ප්‍රකාශ කර ඇතැයි ද රජයේ අධිනීතිඥවරයා පැවසීය. අධිකරණ ක්‍ෂේත්‍රය තුළ යම් අඩුපාඩුවක්‌ ඇති නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු ක්‍රමවේද රැසක්‌ පවතින බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට පැවසීය.
 
 තමා අධිකරණය හමුවේ පෙනී සිටියේ අධිකරණය විසින් නිකුත් කරන ලද නොතීසියට ගරු කරමින් වුවත් තමාට එරෙහිව නගා ඇති චෝදනා කුමක්‌දැයි නොදන්නා බැවින් නීතිඥ සහයක්‌ ලබා ගැනීමට නොහැකි වූ බව ද නීතිඥ සහයක්‌ ලබා ගැනීමට කරුණු දැක්‌වීමට නඩුව වෙනත් දිනයක කැඳවන ලෙසද නීතිඥ අජිත් ප්‍රසන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඔහුට එරෙහිව විමර්ශන වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ සංවිධාන පනතේ 18 වන වගන්තිය යටතේ බවත් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා මාධ්‍ය හමුවේ අධිකරණයට අපහාස වන අන්දමින් කළ ප්‍රකාශ ඇතුළත් පිටු 39 කින් යුත් වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්‌ඩාර මහතා අධිකරණයට පැවසීය.
 
 තමා එම චෝදනාවලට මුහුණදීමට සූදානම් බව එහිදී අධිකරණයට පැවසූ නීතිඥ අජිත් ප්‍රසන්න මහතා විනිසුරු ගිහාන් කුලතුංග මහතාට එරෙහිව තමන් අධිකරණ සේවා කොමිසම් සභාවට හා ජනාධිපතිවරයාට කළ පැමිණිලි සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පෙන්වා දී නැතැයි ද ප්‍රකාශ කළේය.
 
 නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතා ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ සමග රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්‌ඩාර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතර අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් නීතිඥ නියෝජනයක්‌ නොවීය.
 
 නීතිඥ අජිත් ප්‍රසන්න මහතා තමා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්‌වීය.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles