Divaina - දැරියක කෙළෙසූ අකුරැස්‌සේ හිටපු සභාපති වසර 15ක්‌ හිරේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

saruwa500
 එA. ඡේ. ඒ. අබේනායක
 
 තමන් යටතේ සේවය කළ අඹුසැමි යුවළකගේ 14 හැවිරිදි දියණියක රවටාගෙන තමන්ටම අයත් හෝටලයකට ගෙන ගොස්‌ බලහත්කාරයෙන් දූෂණය කිරීමේ අධිචෝදනාවට වරදකරු කරනු ලැබූ අකුරැස්‌ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවලියනගේ සුනිල් නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (17 දා) බරපතළ වැඩ සහිත වසර 15 ක සිරදඬුවම් නියම කළේය. දූෂණයට ලක්‌ වූ පාසල් සිසුවියට රුපියල් දෙලක්‍ෂ පනස්‌දහසක වන්දියක්‌ ගෙවන ලෙසට ද එහිදී නියම කළ විනිසුරුවරයා එකී වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක්‌ ලෙස අයකර ගැනීමටත් දඩය නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත අමතර වසර දෙකක සිරදඬුවම් ලබාදීමටත් නියම කළේය. එයට අමතරව රුපියල් විසිපන්දහසක දඩයක්‌ ද නියම කළ විනිසුරුවරයා එම දඩයත් නොගෙවන්නේ නම් තවත් බරපතළ වැඩ සහිත එක්‌ වසරක අමතර සිරදඬුවමක්‌ ලබාදීමටත් නියම කළේය.
 
 එවකට මහජන නියෝජිතයකු ලෙස කටයුතු කළ විත්තිකරුගේ එකී ක්‍රියාවෙන් මහජන නියෝජිතයන් කෙරෙහි මහජනතාව තුළ ඇති විශ්වාසයට ඉතා බරපතළ හානියක්‌ සිදු වී ඇති බැවින් විත්තියේ ඉල්ලීම පරිදි විත්තිකරු සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීමේ හැකියාවක්‌ තම අධිකරණයට නොමැති බව ද එකී තීන්දුව නිකුත් කරමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
 
 2012 වසරේදී විත්තිකරු සිදුකර ඇති එකී දූෂණය නිසා තමන්ගේ පාසල් ගමන කඩාකප්පල් වී අධ්‍යාපනය ලැබීමේ අවස්‌ථාව අහිමි වී ළමා වියේදීම රැකියාවක්‌ කිරීමේ තත්ත්වයට ඇද වැටුණ බව දූෂණයට ලක්‌ වූ දැරිය හැඬූ කඳුළෙන් අධිකරණය හමුවේදී සාක්‍ෂි ලබා දී ඇති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මාධව තෙන්නකෝන් මහතා එහිදී අධිකරණයට කීවේය.
 
 විත්තිකරුගේ එකී ක්‍රියාව නිසා එකී දැරියට සමාජයේදී දැඩි නින්දාවකට ලක්‌වීමට සිදුවී ඇති බව ද සිය දේශනය මගින් සඳහන් කරන ලද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා දැරියට කැමරා පහසුකම් සහිත දුරකථනයක්‌ පාපැදියක්‌ ඇතුළු වටිනා තෑගි ලබා දී ඉතා සූක්‍ෂම ලෙස ඇය රවටාගෙන එකී දූෂණය සිදුකර ඇත්තේ සැලසුම් සහගතව බව ද කීවේය.
 
 තමා පමණක්‌ එකී දැරිය දූෂණය කිරීමෙන් නොනැවතී සිය ඥතියකුට ඇය සමඟ එදිනම ලිංගිකව එක්‌වීමට සැලසීම මගින් විත්තිකරු සිදුකළ
 
 වැරැද්ද ඉතා බරපතළ තත්ත්වයක්‌ වී ඇති බව කියමින් දැඩි දඬුවම් නියම කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 අතවරයට ලක්‌ වූ දැරිය පසු අවස්‌ථාවකදී විවෘත අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදෙමින් විත්තිකරු තමන් එලෙස දූෂණයට ලක්‌ නොකළ බව ප්‍රකාශ කළත් ඇය විසින් දූෂණයට ලක්‌ වූ දිනයට ආසන්න දිනකදී ජාතික ළමාරක්‍ෂක අධිකාරියට ලබාදුන් ප්‍රකාශ ඇතුළත් වීඩියෝ දර්ශන අනුව මෙන්ම අධිකරණ වෛද්‍ය වාර්තා පරිවාස වාර්තා හා මානසික වෛද්‍ය වාර්තා වෙන් වෙන්ව සලකා බැලීමේදී එකී දූෂණයක්‌ සිදු වී ඇති බවට පැමිණිල්ල විසින් ඔප්පු කොට ඇතැයි ද සිය තීන්දුව මගින් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා පෙන්වා දුන්නේය.
 
 තමන් ප්‍රදේශයේ ජනප්‍රිය දේශපාලනඥයකු නිසා එකී අභූත චෝදනා නඟා ඇති බව විත්තිකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කොට ඇතත් එකී විත්තිවාචකය හුදෙක්‌ විත්තිකරු වරදකාරිත්වයෙන් මිදීම සඳහා ලබාදුන් විත්තිවාචකයක්‌ බව පෙනී යන්නේ යෑයි ද පෙන්වා දුන් විනිසුරුවරයා විත්තිකරුගේ එම විත්තිවාචකය තම අධිකරණය ප්‍රතික්‍ෂේප කිරීමට තීරණය කළ බව ද පෙන්වා දුන්නේය. එවකට එකී ප්‍රදේශයේ සේවය කළ පොලිස්‌ පරීක්‍ෂිකා වරුණි බෝගහවත්ත මහත්මිය විසින් පැමිණිලිකාර දැරියට හා ඇගේ දෙමාපියන්ට බලපෑම් හා තර්ජන සිදුකර එකී ප්‍රකාශය පටිගත කිරීමට සලස්‌වා ඇති බවට විත්තිය යෝජනා කර තිබූ නමුත් එවැනි බලපෑමක්‌ කළ බවට හෝ ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ නිලධාරිනියක්‌ එකී දැරිය සමඟ සුහදව සාකච්ඡා පවත්වමින් සිදුකර ඇති එකී ප්‍රකාශවලට එම නිලධාරිනිය කිසිසේත්ම සම්බන්ධ වී ඇති බව අනාවරණය නොවන බව ද මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේය.
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles