Divaina - රාජ්‍ය ආයතනවල පාඩුව ජනතාවගේ බදු මුදලින් පියවන කාලය අවසන් කළ යුතුයි අනුර කුමාර දිසානායක

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

re13 1- සාධාරණ බදු ප‍්‍රතිපත්තියක් ගෙන එන්නට අපට පුළුවන්

- සතොස පාඩුව කෝටි 200 යි

- ඒවායේ වංචාව දූෂණය නාස්තිය ඔඩුදුවලා

හැත්තෑ එක් වසරක් පාලකයන් විනාශ කළ රාජ්‍ය ආයතනවල පාඩුව ජනතාවගේ බදු මුදල්වලින් පියවන ක‍්‍රමවේදය නවතා දැමීමට කාලය හරි බව සීනි කිලෝවටත් බදු ගෙවන ජනතාව තේරුම් ගත යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (15 වැනිදා) කියා සිටියේය.

ජාතික ජන බලවේගය විසින් පිහිටුවන නව රජයක් යටතේ මෙම වංචාව - දූෂණය නතර කරන බවත් ජනතාවගේ බදු සල්ලි ඉතාමත් හොඳින් පරෙස්සම් කරන රාජ්‍යයක් අපි නිර්මාණය කරන බවත් හෙතෙම පැවසීය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පළ කළේ  කිරිබත්ගොඩ නගරයේදී පැවති මහජන රැුස්වීමක දී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කියා සිටියේය.

1994 රටේ ආණ්ඩුවේ ආදායම දළ ජාතික නිෂ්පාදිතයෙන් ප‍්‍රතිශතයක් හැටියට 23%යි. එනම් රටේ සමස්ත ධන නිෂ්පාදනයෙන් 23%ක් භාණ්ඩාගාරයට. 2014 වන විට ආණ්ඩුවේ ආදායම 11.5% දක්වා හරි අඩකින් කඩා වැටුණා. ඒ නිසා ආණ්ඩුවේ ආදායම හීන වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව තම ආදායම වැඩිකර ගන්න හදපු සැලසුම මොකක්ද? ඒක තමයි 11.5% වෙච්ච ආදායම දළ ජාතික නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් ලෙස 15% දක්වා වැඩිකරන්න සැලසුම් කළා. ඒක කළේ කොහොමද විවිධ වර්ගයේ බදු හඳුන්වා දෙමින්. කාබන් බද්ද ගහනවා, කාබන් පරීක්ෂා කරන්න යනකොට බද්දක් ගන්නවා. විවාහ ගාස්තු වැඩි කළා. මෝටර් සයිකලයක් ලියාපදිංචි කිරීමේ ගාස්තු වැඩි කළා. එතන රෙජිස්ට‍්‍රාර් ගාස්තු වැඩි කළා. ව්‍යාපාර මහතුන්ගෙන් ගන්න ආදායම් බදු ප‍්‍රමාණය විශාල වශයෙන් වැඩිකළා. ඇයි ඒ? ආර්ථිකයක් පළල් වෙන්නේ නැත්නම්, ඉදිරියට යන්නේ නැත්නම්, ආණ්ඩුවේ ආදායම වැඩිකර

ගන්න වෙන්නේ නැවත නැවත බදු ගහලා. ආර්ථිකය ප‍්‍රසාරණය වෙන්නේ නැහැ. එකතැන පල්වෙනවා. සංවර්ධනය වෙන්නේ නැහැ. ආර්ථිකය සංවර්ධනය නොවී ආණ්ඩුවේ ආදායම වැඩි කරන්න යාමේදී මොකද වෙන්නේ. විවිධ වර්ගයේ බදු හඳුන්වා දෙනවා. අධික බදු පීඩනයකට අද ජනතාව පත්කරලා තිබෙනවා. ඒ නිසා තමයි අද රුපියල් 100ක රීලෝඞ් එකක් ගත්තොත් 40ක් තියෙන්නේ බදු. පෙට‍්‍රල් ලීටරයක් 138කට ගන්නා විට රුපියල් 70කට වඩා තිබෙන්නේ බදු. දැන් මොකද සිද්ධවෙලා තියෙන්නේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත අධික ලෙස බදු පනවන්න සිදුවෙලා. ඒක ජනතාවට බරක්, ව්‍යාපාරිකයන්ට බරක්; රාජ්‍ය සේවකයන්ට බරක්; ඒක පෞද්ගලික අංශයේ

රැුකියාව කරන සේවකයාට බරක්. අපි කියන්නේ බදු මුළුමනින්ම ඉවත් කරනවා කියන එක නොවෙයි.

සාධාරණ බදු ප‍්‍රතිපත්තියක් හැදෙන්න ඕන. ලෝකයේ තිබෙන සාධාරණ බදු නිර්ණායකය කුමක්ද? ඍජු බදු 80%ක් වෙන්න ඕන. වක‍්‍ර බදු 20%ක් වෙන්න ඕනෑ. වක‍්‍ර බදු කියන්නේ සියලූ පුරවැසියන්ට ගහන බදු. වැට් කියන්නෙ වක‍්‍ර බද්දක්. අපි සීනි කිලෝ එකක් ගත්තොත් සීනි කිලෝ එකකට රුපියල් 15/-ක බද්දක් තියෙනවා නම්, ගමේ අහිංසක ගොවියා ගිහිල්ලා සීනි කිලෝ එකක් ගන්න විට රුපියල් 15/-ක බද්දක් ගහලා. ටි‍්‍රලියනපතියා සීනි කිලෝ එකක් ගන්නත් රුපියල් 15යි බද්ද. ඒ තමයි වක‍්‍ර බදුවල හැටි. ආදායමේ විෂමතාවය. ආදායම් බෙදීයෑම ගැන කිසිදු භේදයකින් තොරව ධනවත් දුප්පත් හැම දෙනාටම ඒ බද්ද වදිනවා. ආදායම් බදු කියන්නේ යම් ඉහළ ආදායමක් ලබන අයට ඒ ආදායමට අනුව ගහන බදු. නමුත් සිද්ධවෙලා තියෙන්නේ මොකක්ද? ලෝකයේ පිළිගත් නිර්ණායකය තමයි පොදු ජනතාවට ගහන බදු 20%ක් වෙන්න ඕනෑ, ඍජු බදු 80%ක් වෙන්න ඕනෑ, කියන එක. අපේ රටේ මොකක්ද සිද්ධවෙලා තියෙන්නේ. පොදු ජනතාවට ගහන බදු 82%යි. ඍජු බදු 18%යි. ඒ නිසා බදු වෙළඳපොළේ විශාල විකෘතියක් අද නිර්මාණය වෙලා තිබෙනවා.

අපේ ආර්ථික ප‍්‍රතිපත්තියේ බදු සම්බන්ධයෙන් මේ විකෘතිය ඉවත් කරන එක තමයි පළමු පියවර. ඊළඟ පියවර රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම. අද රාජ්‍ය ව්‍යවසායයන් විශාල පාඩුවක් ලබනවා. ඒ පාඩුව පියවා ගන්න හදන්නේ ජනතාව මත බදු බර පටවලා. ‘එයාර් ලංකා’ ආයතනය පවරා ගන්නේ 2008 අවුරුද්දේ. ඒක පවරා ගන්නේ ව්‍යාපාරයක් හැටියට නොවෙයි. ගුවන් සේවය දියුණු කරන සැලැස්මක් හදලා නොවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා එංගලන්තේ ගියා. හදිසියේ එන්න වුණා. එයාර් ලංකා එකෙන් ෂීට් ඉල්ලූවා. එතකොට ‘එයාර් ලංකා’ එක පාලනය කළේ ‘එමිරේට්ස්’ ආයතනයෙන්. ඒකේ ප‍්‍රධානියා කිව්ව ඔබතුමාටයි තව හතර දෙනෙකුටයි ෂීට් දෙන්නම්. ඔක්කෝටම දෙන්න බෑ කියලා. අනෙක් කට්ටිය ඊළඟ ගුවන් යානයේ ගේන්නම් කිව්වා.

මහින්ද මහත්තයාට ඒකට හොඳටම කේන්ති ගියා. එයා ලංකාවට ඇවිල්ලා ‘එමිරේට්ස්’ ආයතනයට කිව්වා අර ප‍්‍රධාන නිලධාරියාව මාරුකරන්න කියලා. ‘එමිරේට්ස්’ ආයතනය කිව්වා අපේ ප‍්‍රතිපත්තිය ඒකයි, ටිකට් වෙන්කරලා තිබෙන ගුවන් යානයක එකපාරම ටිකට් වෙන්කරන්න බැහැ. එහෙම කළොත් ගුවන් සමාගමට නඩු පැවරෙනවා. ඒ නිසා ඒක කරන්න බැහැ කියලා. ඊට පස්සේ ප‍්‍රධාන විධායක නිලධාරියාට ලංකාවෙන් යන්න කියලා කිව්වා. ඊට පස්සේ එමිරේට්ස් ආයතනය කිව්වා අපි එයාව යවන්නේ නැහැ. ඕන නම් එමිරේට්ස් ආයතනය ගන්න කියලා. ඒ නිසා එයාර් ලංකා එක පවරා ගත්තේ ආර්ථික ප‍්‍රතිපත්තියක් ඇතිව නොවෙයි. වෙළෙඳ දැක්මක් ඇතිව නොවෙයි. සංවර්ධන ඉලක්කයක් සහිතව නොවෙයි. දැන් සිද්ධවෙලා තියෙන්නේ මොකක් ද? 2009 අවුරුද්දෙ පාඩුව බිලියන 9.3යි. 2012 දී 24.9%යි. 2014 දී බිලියන 32යි. 2016 දී බිලියන 16යි. 2016 දී බිලියන 12යි. 2017 දී බිලියන 28යි. 2018 දී බිලියන 17යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් මේ අවුරුදු 6කම පාඩුව බිලියන 142යි. කෝටි 14,200යි. අපේ රටේ ඉස්පිරිතාල ආසන්න වශයෙන් 650යි තියෙන්නේ. මේ සෑම ඉස්පිරිතාලයකටම කෝටි 25 ගාණේ දෙන්න පුළුවන් ධනය. මේ ධනය නාස්ති කරනවා. ඒ නාස්ති කරන ධනය එකතු කර ගන්නේ කොහොමද? ජනතාවට බදු ගහල. අන්න බදු වැඩිවීමට එක හේතුවක්. විදුලි බල මණ්ඩලයේ පාඩුව කෝටි 2900යි. සිපෙට්කෝ එකේ පාඩුව කෝටි 10,400යි. ජලසම්පාදනයේ පාඩුව මිලියන 568යි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පාඩුව මිලියන 1024යි.

සතොසෙ පාඩුව බිලියන 02යි. ෆුඞ්සිටියත් බඩු විකුණනවා. සතොසත් විකුණනවා. කාගිල්ස් එක ලාභ ලබනවා. සතොස පාඩු ලබනවා. සතොස 2018 පාඩුව කෝටි 200යි. ඒවායේ වංචාව, දූෂණය, නාස්තිය ඔඩු දුවලා. මේ විනාශ කළ ආයතනයන්වල පාඩුව ජනතාවගේ බදු මුදල්වලින් පියවන්න හදනවා. ඒකතමයි සිද්ධ වෙන්නේ. ජනතාවට හොඳ ජීවිතයක් ගතකළ හැකි වන්නේ, ආදායමට සරිලන බද්දක් වැදීමෙන්. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සාධාරණ මිලකට ලැබීමෙන්. රාජ්‍ය ආයතනවල පාඩුව අවම කිරීමෙන්. එම ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමෙන්.

අපි මේ වංචාව - දූෂණය නතර කරනවා. ජනතාවගේ බදු සල්ලි ඉතාමත් හොඳින් පරෙස්සම් කරන රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. ඒ හරහා තමුන්නාන්සේලාගේ බදු බර අඩු කළ හැකියි කියන දැඩි විශ්වාසය අපිට තියෙනවා.

අද අපේ රටේ ආදායම් බදු ෆයිල් තිබෙන්නෙ දෙලක්ෂ හැත්තෑදහසයි. හැම අයවැය ලේඛනයකින්ම මේ දෙලක්ෂ හැත්තෑදහස පට්ටා ගහන්න තමයි හදන්නේ. මේ ෆයිල් ප‍්‍රමාණය වැඩිකර ගන්න නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගන්වලා ඔවුන්ගේ ප‍්‍රමාණය වැඩිකරන්න ඕනෑ. මල්වගාවෙන්, අන්නාසි වගාවෙන් මැණික් වෙළඳාමෙන්, කුරුඳු වගාවෙන්. අපි කුරුඳු පටවනවා වෙනුවට කර්මාන්තයක් හැටියට සංවර්ධනය කරලා විශාල විදේශ වෙළඳපොළ කොටසකට අලෙවි කරලා විශාල ආදායමක් රටට ගේන්න පුළුවන් ක්ෂේත‍්‍ර. මේ ක්ෂේත‍්‍රවලට නව ආයෝජනයන් කැඳවන්න ඕනෑ.

අපි මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ආරාධනය කරනවා, අපේ පාලනයක් යටතේ ඔබලාගේ ධනය ආයෝජනය කරන්න. අපි නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරනවා. ඒවාට අදාළව රැුකියා නිර්මාණය වෙනවා. රටේ ජාතික ධනය වැඩිවෙනවා. රටේ ආදායම වැඩිවෙනවා. අන්න එතනට බද්දක් ගහනවා. බද්දක් අයකර ගැනීමට පුළුවන් අන්දමේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නිර්මාණය කරන්න ඕනෑ.

මෙහිදී අදහස් දක්වමින් ප‍්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා මෙසේද පැවසීය.

මේ දිනවල අපේ කුඩා මුණුපුරා මගෙන් නිතරම ප‍්‍රශ්න අහන තත්ත්වයට පත්වෙලා ඉන්නවා. මම මේ දිනවල රූපවාහිනියේ බලන්නේ ප‍්‍රවෘත්ති විතරයි. අර පොඩි දරුව මගේ ළඟට ඇවිල්ලා අහනවා ‘‘සීයෙ ඔයා වෙනදාට ටී.වී. බලන්නේ නෑනේ. දැන් මොකද ටී.වී. බලන්නේ කියලා.” මම කිව්වා ”පුතා මං බලන්නේ ප‍්‍රවෘත්ති කියලා.” එයා එතකොට අහනවා ”ඒ ඇයි ?” කියලා. ඊට පස්සේ මං කිව්වා ”පුතේ ඒවයේ තමයි මේ දවස්වල වැඩියෙන්ම විහිළු වැඩසටහන් තියෙන්නේ” කියලා. ”ඉතිං මං විහිළුවලට කැමති නිසා රූපවාහිනි චැනල්වල ප‍්‍රවෘත්ති බලනවා” කිව්වා.

”අර දෙන්නෙක් හැමදාම පන්සල් යන එක ප‍්‍රවෘත්තිවලට පෙන්වෙන්නේ ඇයි සීයේ?”

”පුතේ මේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේක ජනාධිපතිවරණ තරගයක් කියලා. නමුත් අර දෙන්න හිතාගෙන ඉන්නේ මේක ලංකාවෙ ලොකුම උපාසකයා තෝරන තරගය කියලා. හැබැයි ටෙලිවිෂන් කැමරා නැත්නම් ඒගොල්ලො පන්සල් යන්නේ නැහැ.”කියලා මම කිව්වා.

මේ අවුරුදු 71 තුළ, වළපල්ලට යවල තියෙන රට ගොඩ ගන්නයි ජනාධිපති කෙනෙක් ඕන. මේ ගොල්ලෝ මේ කරන්නේ රටේ ජනතාවගේ ආගමික භක්තිය කොල්ලකන එක. මේවා පොඩි ළමයින්ට පවා තේරෙන විහිළු.

අන්තිමට පොඩි එකා මගෙන් අහනව ”සීයෙ මේ ඡුන්දෙන් කවුරු දිනයිද?” ”මම කිව්ව අනුර කුමාර දිසානායකනෙ” කියල. පොඩි එකා මගෙන් අහනවා ”කොහොමද සීයෙ එයා දිනන්නෙ” කියල. ”එයා වැඳ වැඳ යන්නෙ නෑනෙ” සීයෙ.

අපේ රටේ ජනතාව ඉන්නෙ මහා අගාධයක ගැට්ටෙ. අපි විශ්වාස කරනවා දැන් මේ ජනතාව අවුරුදු 71 ක් තිස්සේ තමන්ව මෙතනට තල්ලූ කරන් ආපු එවුන්ට එරෙහිව හැරෙනවා. හැරිලා ඔවුන්ව පරාජය කරලා මේ රට

ගොඩනඟන්න පුළුවන් මිනිහෙකුට මෙවර රට භාර දෙනවා.

අපි හදනව රටක් සජිත්ට හදන්න බැරි රටක්. ගෝඨාභයට හදන්න බැරි රටක්. අපි හදන රට වෙනස්. අපේ ආර්ථික ප‍්‍රතිපත්තිය වෙනස්. සංස්කෘතිය, දේශපාලනය වෙනස්. ඒක මිරිස් කුඩු සංස්කෘතිය නොවෙයි. අපේ සදාචාරය වෙනස්. ඒක පාරපුරා රතිඤ්ඤා පත්තු කර කර, කිරිබත් උයාගෙන කන සංස්කෘතිය නොවෙයි. ජාතික ජන බලවේගය ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒ හැම එකකටම වෙනස් රටක් හදන්නයි.

අද මම මේ වේදිකාවෙ වාඩිවෙලා ඉන්නේ බරපතළ සන්තෝෂයකින්. මෙතන කුඩු බිස්නස්කාරයෝ නැහැ. මහජන මුදල් ගසාකාපු උදවිය නැහැ. වංචාකාරයෝ, ස්ත‍්‍රී දූෂකයෝ නැහැ. මෙතන ඉන්නේ බුද්ධිමතුන්, කලාකරුවන් ඇතුළු මේ රටට ඇත්තටම ආදරය කරන මිනිස්සු. ඒ නිසා මේ වාගේ වේදිකාවක වාඩිවෙලා හිටියත් නම්බුවක්. රට හදන්න පුළුවන් මිනිස්සු මෙතන ඉන්නේ. ඒ රට හැදීමේ කර්තව්‍යයට ඔබ සියලූදෙනාම එක්වන්න කියලා මම ඉල්ලනවා.

ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් සභාපති මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය මෙසේද කීවාය.

ජාතික විද්වත් සංවිධානය ලංකාවේ දිස්ත‍්‍රික්ක 20ක පමණ ගොඩනඟා තියෙනවා. ඇයි අපි ඔබ හමුවට ආවේ? මේ සමාජය මුහුණදී තිබෙන සමාජ අර්බුදයෙන් ගොඩඑන්න ක‍්‍රමයක් තිබෙනවාද කියලා අවුරුදු ගණනක් තිස්සේ අපි සොයා බැලූවා. මේ ප‍්‍රශ්නය හරි සංකීර්ණයි. හේතු ප‍්‍රතිඵල සංකීර්ණයි.

මේ රට විෂමතාවලින් පුරවලා. ආගම් ලෙස අපව වෙන්කරලා. අපේ ආදායම් අඩුකරලා. අපිව දුප්පත් කරලා. පසුගිය අවුරුදු 71 ඇතුලේ අපට බැරිවෙලා තියෙනවා අල්පෙනෙත්තක්වත් නිපදවන්න. මේ තත්ත්වයට හේතු හඳුනාගන්න ප‍්‍රධාන කාරණා දෙකක් මම දකින විදියට තිබෙනවා.

එකක් තමයි අපි වෙලාගෙන තිබෙන ආර්ථික පරිහානිය. අනෙක් කාරණාව අප වෙලාගෙන තිබෙන සමාජ පරිහානිය. මෙතෙක් කල් රට පාලනය කරපු පාලකයන් අපට ඉතිරි කළේ මේ දෙක පමණයි.

අපේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් 3351යි. මාලදිවයිනේ මේ වන විට ඇමෙරිකානු ඩොලර් 6541 ඉක්මවලා තියෙනවා. කිසිදු ස්වාභාවික සම්පතක් නැති සිංගප්පූරුව එය ඇමෙරිකානු ඩොලර් 55,000 දක්වා ඉහළ දාලා තිබෙනවා.

අපට නැත්තේ මොනවාද? ස්වභාවික සම්පත්ද? මානව සම්පත්ද? අපේ රට ගොඩනගන්න පුළුවන් හොඳ නායකයෙක් මෙතෙක් අපට බිහිවෙලා නැහැ. ලෝකයේ ගොඩනඟපු හැම රටකම හොඳ නායකයෙක් ඉඳලා තිබෙනවා. ඉතිරි සම්පත් සියල්ල පෙළගැස්සුවේ ඊට පස්සේ.

අපේ රට කොපමණ දුප්පත්ද කිව්වොත් දැනට සමෘද්ධිය ලබා ගන්නා පවුල් ලක්ෂ 14ක් ඉන්නවා. රට ගොඩනැඟුවා නම්, එම පවුල්වල සංඛ්‍යාව ක‍්‍රමයෙන් අඩුවෙලා ඔවුන්ට ස්වශක්තියෙන් නැගී ඉන්න පුළුවන් විධියට ඔවුන්ගේ ආර්ථික ශක්තිය වැඩි දියුණු වෙන්න ඕන. නමුත් තිබෙන ඛේදවාචකය තමයි තවත් පවුල් ලක්ෂ 20ක් සමෘද්ධි පවුල් වෙලා තිබෙනවා. මේකද රටේ දියුණුව. මේ රටේ සියලූ පවුල් ලක්ෂ 60කින් පමණ තුනෙන් එකක් අන්ත දුගී දුප්පත්.

මේ දුෂ්ට, දූෂිත හොර පාලකයෝ රට ඒ තරමට ඇද වට්ටලා. ආර්ථික ප‍්‍රපාතයට සරිලන විධියටම අපේ සමාජයේ මානව සබඳතා ද, බිඳ වට්ටවලා අඩියටම. ඒක කළේ මේ රට මෙතෙක් පාලනය කළ හා කරන දේශපාලූවෝ. හයියෙන් බුරන බල්ලව පුච්චලා මරණ, අම්ම, තාත්තා පාරට ඇදලා දාන, මේ සමාජය අපට හදල දුන්නේ කවුද?

මත්ද්‍රව්‍යවලින් මුළු සමාජයම වනසල දරු පරපුර විනාශ වෙනවා. අපේ රටේ මිනිස්සු අවුරුද්දකට 4000කට වඩා සියදිවි නසා ගන්නවා. ජීවන දුෂ්කරතාවය; සමාජ විෂමතාවය; මේවාට හේතුවෙලා තිබෙනවා. අවුරුදු 15 - 44 අතර තමයි වැඩිපුරම සිය දිවි නසා ගන්නේ.

ඒ කියන්නේ තරුණ ප‍්‍රජාව පැත්තකින්, මානසික රෝගීන් සංඛ්‍යාව ඉහළ යනවා. මේවාට ප‍්‍රධාන ලෙස බලපාල තිබෙන්නේ දුප්පත්කම හා නූගත්කම. මේ සියල්ල පරාජය කරන සැලසුම් ජාතික ජන බලවේගය සතුව තිබෙනවා.

සිරිමන්ත රත්නසේකර
 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles