Divaina - සිංහල ජාතිය වඳ වෙන බවට තහවුරු වූ කරුණක් - පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new


gammanpilaඑරික් ගාමිණී ජිනප‍්‍රිය
 
 2012 ජන සංගණනයේ තොරතුරු අනුව සිංහල ජාතිය මේ වන විට වඳවෙමින් පවතින ජාතියක් බවට තහවුරු වී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ දින (ජූනි 19) පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුව හා එක්වෙමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
 
 මුස්ලිම් ළමා ජනගහනය පිළිබඳ විවිධ කටකතා යනවා. සමහරු කියනවා ළමා ජනගහනයේ මුස්ලිම් ප‍්‍රතිශතය 42%යි කියලා. නමුත් මේ කතා කියන්නේ මූලාශ‍්‍ර පදනම් කරගෙන නොවේ. මුස්ලිම් ජනගහනයේ සීඝ‍්‍ර වර්ධනයක් තිබෙන බවත් ඇත්තක්. නමුත් ජන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ළමා ජනගහනය ජනවර්ග අනුව වාර්තා කරන්නේ නැති නිසා මේ පිළිබඳ විශ්වාසනීය තොරතුරු සමාජයේ නෑ. මේ නිසා 2012 ජන සංගණනයේ තොරතුරු පදනම් කරගෙන ළමා ජනගහනයේ ජනවාර්ගික සංයුතිය සකසා දෙන්න කියා මම ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්දු බණ්ඩාර මහත්මියගෙන් ඉල්ලීමක් කළා. මගේ ඉල්ලීමට අනුව එතුමියගේ ප‍්‍රතිචාරය දක්වා තිබෙනවා. එම ලිපි දෙකම මා ඔබ හමුවේ තබනවා.
 
 2012 දී සමස්ත ජනගහනයෙන් 75%ක් සිංහල, 11%ක් ලංකා දෙමළ, 4%ක් ඉන්දියානු දෙමළ සහ 9%ක් මුස්ලිම්. ඒ වසරේ දීම ළමා ජනගහනයෙන් 71%ක් සිංහල, 12%ක් ලංකා දෙමළ, 5%ක් ඉන්දියානු දෙමළ සහ 12%ක් මුස්ලිම්. සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ සහ මුස්ලිම් කියන ජනවර්ගවල ප‍්‍රතිශතය ඉහළ ගිහින්. නමුත් සිංහල පමණක් 75% සිට 71% දක්වා 4%කින් අඩු වෙලා. වැඩිම වර්ධන වේගයක් පෙන්වන්නේ මුස්ලිම්. මුස්ලිම් ජනගහනය 9% සිට 12% දක්වා වැඩි වෙලා. 9 සහ 12 කුඩා ඉලක්කම් ලෙස පෙනුනත් එය බරපතල වර්ධනයක්. 33% වඩා වැඩි වර්ධනයක්.
 
 අවුරුදු 5 සිට 9 දක්වා වයස් කාණ්ඩයට සාපේක්ෂව අවුරුදු 0 සිට 4 දක්වා වයස් කාණ්ඩය තුළ සිංහල ජනගහනය වැඩි වී ඇත්තේ 0.5%කින්. නමුත් මුස්ලිම් ජනගහනය 1.4%කින් නැතිනම් තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා. මෙය අද තත්ත්වය නෙමෙයි. 2012 තත්වයයි. වත්මන් තත්ත්වය දැනගන්න වෙන්නේ 2021 පවත්වන ජන සංඝනනයෙන් පසුවයි. මෑත කාලයේ මුස්ලිම් ජනගහනයේ සීඝ‍්‍ර වර්ධනය දශක ගණනාවක් පුරා දකින්න ලැබෙන දෙයක්. 1953 දී 6%ක් වූ මුස්ලිම් ජනගහනය අවුරුදු 28කට පස්සේ 1981 දී වර්ධනය වී තිබුණේ 7% දක්වා පමණයි. නමුත් එයින් අවුරුදු 30කට පස්සේ 9% දක්වා වර්ධනය වෙලා. ළමා ජනගහනයේ ප‍්‍රවණතා සලකා බලන විට ඉදිරි වසර දහය තුළ මුස්ලිම් ජනගහනය 12% ඉක්මවා යනවා.
 
 ඒ වගේම නිදහසින් පසු ප‍්‍රථම වතාවට 2012 දී ළමා ජනගහනය තුළ සිංහල ප‍්‍රතිශතය අඩුවීමක් පෙන්නුම් කරනවා. ලංකාවට ආවේණික වූ සිංහල ජාතිය වඳවීම ආරම්භ වී ඇති බවයි මෙයින් පෙන්නුම් කරන්නේ. අපි මේ දත්ත ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවෙන් අරගෙන විද්‍යාත්මකව විග‍්‍රහ කරලා ප‍්‍රථම වතාවට හෙළි කරනවා 2012 ජන සංගණන වාර්තාව අනුව සිංහල ජාතිය වඳ වෙමින් පවතින ජාතියක් බව මේ වන විට නිල වශයෙන් තහවුරු වී ඇති බව.
 
 හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මාස 11ක් වයසැති මලිත් මිහිරංග නමැති දරුවෙකු කන්න නැතුව හාමතේ මිය ගියා කියලා ඊයේ මාධ්‍ය වාර්තා කළා. ලංකාව කියන්නේ නිදහසින් පසු ලොව බිහි වූ සුවිශේෂී සුබසාධක රාජ්‍යයක්. නොමිලේ හාල් දුන්නු රටක්. 1989 වසරේ සිට අඛණ්ඩව දිළිඳු ජනතාවට මාස් පතා මුදලින් ආධාර කරන රටක්. කලින් ඒ ව්‍යාපෘතියට ජනසවිය කිව්වා. දැන් කියන්නේ සමෘද්ධි. එහෙව් රටක දරුවෙකු කන්න නැතුව මැරෙන්න බෑ. එහෙම මැරුණා නම් ඒක මිනීමැරුමක්. සමෘද්ධි දීමනාව අවශ්‍ය ජනතාවට වෙනුවට දේශපාලන හිතවතුන්ට බෙදනවා කියන ප‍්‍රබල චෝදනාව පසුගිය දිනවල නැගුණා. වාහන තිබෙන රැකියා තිබෙන අයට සමෘද්ධි ලබා දෙනවා කියන චෝදනාව එල්ල වුණා. සමෘද්ධි ලැබිය යුතු මලිත්ගේ පවුලට එය ලබා නොදී ඔහු මැරෙන්න ඇරියා නම් ඒක මිනීමැරුමක්. මලිත්ගේ දෙමව්පියන්ට සමෘද්ධි ලැබුණා ද නොලැබුණේ නම් ඒ ඇයි කියන එක සොයන්න වහාම පරීක්ෂණයක් අරඹන්න කියා මම ඉල්ලා සිටිනවා.
 
 මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ නියෝජ්‍ය නායක මධු මාදව අරවින්ද මහතා සහ හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී චමින්ද හෙට්ටිආරච්චි යන මහත්වරුද එක් විය.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles