Divaina - ජනපතිගේ කැබිනට් වර්ජනය ඔක්තෝබර් කුමන්ත‍්‍රණය හා පාස්කු ප‍්‍රහාරයට වඩා දරුණුයි - ඇමැති පාඨලී චම්පික රණවක

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


 ජනාධිපති තම වගකීම තේරුම්ගත යුතුයි - නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන
 
 
 champikaසිරිමන්ත රත්නසේකර
 
 ඔක්තෝම්බර් විසිහය කුමන්ත‍්‍රණය හා පාස්කු ඉරිදා ප‍්‍රහාරය මගින් රටට ආර්ථිකය හා සමාජයට සිදුවූ මිල කළ නොහැකි හානිය මෙන් ව්‍යසනකාරී හානියක් කැබිනට් මණ්ඩලය නොකැඳවීමේ ජනාධිපතිවරයාගේ තීරණය මගින් සිදුවෙමින් ඇති බවට ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (12 වැනිදා) සඳහන් කළේය.
 
 ජනාධිපතිවරයාගේ හිතුවක්කාරී මෙන්ම ව්‍යවස්ථා විරෝධී මෙම කටයුත්තට එරෙහිව සමස්ත පාර්ලිමේන්තුව මෙන්ම රට වැසියාද නැඟී සිටිය යුතුව ඇතැයිද හෙතෙම පැවැසීය.
 
 ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ දින ජාතික හෙළ උරුමය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. මෙම අවස්ථාවට පස්සරමුල්ලේ දයාවංශ හිමි, ජාතික හෙළ උරුමයේ සම සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සහ නීතීඥ ටියුඩර් පෙරේරා මහතා ද සහභාගී විය.
 
 එහිදී අදහස් දැක්වූ ප‍්‍රධාන ලේකම්වරයා, ජනාධිපතිතුමා නැවත වතාවක් පාර්ලිමේන්තුවත් ආණ්ඩුවත් සමග ව්‍යවස්ථාමය ගැටුමකට, නීතිමය ගැටුමකට හා දේශපාලනමය ගැටුමකට යොමු වී තිබෙනවා. ඒකට හේතු හැටියට එතුමා දක්වා තිබෙන්නේ පවත්වාගෙන යන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් ජාතික ආරක්ෂාවට යම් යම් හානිකර දේවල් හෙළි දරව් කරනවා. එනිසා ඒ තේරීම් කාරක සභා කි‍්‍රයාවලිය නතර කළ යුතුයි කියන පදනමේ ඉඳගෙන කැබිනට් මණ්ඩලය කැඳවීම නතර කර තිබෙනවා. පළමුවෙන්ම සඳහන් කළ යුතුයි ජනාධිපතිතුමා මෙම ක‍්‍රියාදාමය මගින් චේතාන්විතව රාජ්‍ය විධායකය, ආණ්ඩුව අකර්මණ්‍ය කිරීමේ වගකීම් විරහිත කි‍්‍රයාවලියක නිරත වී සිටිනවා.
 
 අපේ ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව විධායකය සතු බලතල මොනවාද, ජනාධිපතිතුමා සතු බලතල මොනවාද ඒ වගේම පාර්ලිමේන්තුව සතු බලතල මොනවාද කියන එක වෙන් වෙන්ව පැහැදිලිව නිශ්චිතව දක්වලා තිබෙන ව්‍යවස්ථාවක්. මේ ව්‍යවස්ථාවේ වගන්ති පිළිබඳව යම් යම් සැක මුසු තැන් තිබුණා නම් පසුගිය දින 51 දී මේ රටේ ඇති වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය පැවතුණු කාලයේ මෙරට අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනලද නඩු තීන්දු මගින් ඉතාම පැහැදිලිව විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනය මගින් සිදුකරන ලද වෙනස්කම්වලට පැහැදිලිව ජනාධිපතිතුමාගේ බලතල මොනවාද? ඒවා නතර වෙන්නේ කොතැනද? ඔහුට අභිමතයෙන් සිදු කළ හැකි දේවල් මොනවද? ඒවා නතර වෙන්නේ කොතැනද, පාර්ලිමේන්තුව සතු බලතල මොනවාද? නතර වෙන්නේ කොතැන ද කියන එක පිළිබඳව නිශ්චිත විවරණයක් ලබා දුන්නා. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් හිතුමතේ විසුරුවාලීම, ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති පුද්ගලයෙක් අග‍්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම කියන මේ සියලූ කාරණාවලට අධිකරණය විසින් විවරණයක් ලබා දුන්නා.
 
 අපේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා රාජ්‍යයේ ප‍්‍රධානියා, ආණ්ඩුවේ - කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා, ඒ වගේම විධායකයේ ප‍්‍රධානියා. එනමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමෙන් බැඳී සිටිනවා. ඒ නිසා මේ රාජ්‍ය යන්ත‍්‍රණය විධායකය අඛණ්ඩව පවත්වාගෙන යෑම කවර තත්ත්වයන් යටතේ වුවත් ජනාධිපතිවරයාගේ පැහැදිලි, නිශ්චිත වගකීමක්. ඊයේ දින කැබිනට් මණ්ඩලයට ලැයිස්තු ගත කැබිනට් පති‍්‍රකා 51 ක් සහ අලූත් කැබිනට් පති‍්‍රකා 19 ක් සමග ඔක්කෝම 70 ක් එතන තිබෙනවා. ඒ වගේම ආයතන කමිටුව මගින්, විවිධ කැබිනට් අමාත්‍යවරු විසින් පුද්ගලයන් ආයතනවලට පත් කිරීම පිළිබඳව තිබෙන යෝජනා පිළිබඳ කැබිනට් පත‍්‍රිකා 34 ක් තිබෙනවා. ඔක්කොම 104 ක් වෙනවා. එතකොට රාජ්‍යයේ මේ කැබිනට් පති‍්‍රකා සාකච්ඡා කර අනුමත කර ගන්නේ නැතිව රාජ්‍ය අකර්මණ්‍ය කිරීම, හිතා මතාම, චේතනාන්විතව එතුමා බලය අයුතු ලෙස පාවිචිච් කිරීමක්.
 
 ඒ වගේම අනෙක් පැත්තෙන් එතුමාට දේශපාලන වරම 2015 දී ලබාදුන් ජනතාව බලාපොරොත්තු වුණේ එවකට තිබූ පාලනයටත් වඩා ඉතා හොඳ ප‍්‍රජාතාන්ත‍්‍රික යහ පැවැත්මකින් යුතු ක‍්‍රියාදාමයක්. ඒ ජනතාවට නැවත වතාවක් එල්ල කළ අතුල් පහරක්. ඒ වගේම එතුමාගේම පක්ෂයේ පිරිස් විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දෙනාට පාර්ලිමේන්තුවේ බලයෙන් පත්වූ කැබිනට් මණ්ඩලය නොසලකා හැරීම විසින් එල්ල කරන ලද විශාල අවමානයක්. අපි හිතන විදිහට මෙය පැහැදිලි ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙළක්. මෙය පැහැදිලිව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව අභියෝගයට ලක් කිරීමක්. තේරීම් කාරක සභාව කියන්නේ පාර්ලිමේන්තුවේ නායකයන් විසින් පාර්ලිමේන්තුව තුළ යෝජනා සම්මතයකින් ඇති කළ දෙයක්. ජනාධිපතිගේ අභිමතයන්ට අනුකූලව එය වෙනස් කරන්න බැහැ. එහි ජාතික ආරක්ෂාව පිළිබඳව යම් යම් ගැටලූ තිබෙනවා නම් ඒවා සාකච්ඡා කරන්න වෙනවා. ඒක නිසා අපි පළමුවෙන්ම මේ අර්බුදය ඉදිරියට ගෙන යාම මගින් භයානක ප‍්‍රතිවිපාක ලැබෙන්න පුළුවන්. ඔක්තෝබර් 26 දා ජනාධිපතිවරයා විසින් සිදුකළ එම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි වැඩපිළිවෙළ නිසා රටේ ආර්ථිකයට, රටේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපයට ඒ වගේම රටේ සමාජ දේහයට මිල කළ නොහැකි හානියක් සිදු කළා. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පත් වෙච්ච ආණ්ඩුවත් සමග ආරක්ෂක මණ්ඩලය කටයුතු කිරීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා අපේ‍්‍රල් 21 දා පාස්කු ඉරිදා සිදුවෙච්ච ඉස්ලාමීය ත‍්‍රස්තවාදී අන්තර් ජාතික අයිසීස් ප‍්‍රහාර විසින් රටේ ජාතික ආරක්ෂාවට, ඒ වගේම රටේ ආර්ථිකයට රටේ සමාජයට මිල කළ නොහැකි අපරාධයක් සිදුවුණා. දැන් මේ අනුගමනය කරන කි‍්‍රයාදාමය විසින් එවැනිම ව්‍යසනකාරීත්වයක් ආරාධනා කරලා කැඳවා ගැනීමක් තමයි මේ සිදුකර තිබෙන්නේ.
 
 ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මෙහි වගකීමක් තිබෙනවා. පාර්ලිමේන්තුව විසින් බහුතර මතයෙන් පත්කරන ලද අග‍්‍රාමාත්‍යවරයා හැටියට, ඒ වගේම කථානායකතුමාටත් වගකීමක් තිබෙනවා මේ තේරීම් කාරක සභාව ඇතුළු එම පාර්ලිමේන්තුවේ කටයුතු මෙහෙයවන ප‍්‍රධානියා හැටියට. එම තේරීම් කාරක සභාවටත් වගකීමක් තිබෙනවා එම තේරීම් කාරක සභාවේ සීමාවන් මොනවාද කියන එක පිළිබඳව. මේ සියලූ දෙනා වහාම මේ සතිය ඇතුළත මේ පිළිබඳව සාකච්ඡා කරලා සම්මුතියකට එළඹිලා ලබන අඟහරුවාදාට ප‍්‍රථම කැබිනට් මණ්ඩලය රැස්කර රට සාමාන්‍ය අතට පත් කරන්නැයි අප ඉල්ලා සිටිනවා.
 
 මෙහිදී අදහස් දැක්වූ ජාතික හෙළ උරුමයේ උප සභාපති නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා මෙසේ කීවේය.
 
 ජනාධිපතිතුමා ව්‍යවස්ථාවෙන් ලැබී ඇති වගකීමක් පැහැර හැර තිබෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිස්වන වගන්තිය අනුව සඳහන් වන්නේ ජනාධිපති විධායකයේ ප‍්‍රධානියා වන්නේය යන්නයි. ඉන් අර්ථ ගැන්වෙන්නේ කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස වැඩ කළ යුතුය යන්නයි. ඒ අනුව 44(3) වන වගන්තිය අනුව කැබිනට් මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම ජනාධිපතිවරයා තහවුරු කළ යුතු බව සඳහන් වෙනවා. දැන් මෙතුමාගේ කටයුතු අනුව ඔහුට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති වගකීම් පැහැර හැර තිබෙනවා.
 
 වැඩිහිටියන් හා වගකීමක් ඇති පුද්ගලයකු ලෙස ඔහුගේ අප ඉල්ලා සිටින්නේ මීට වඩා ප‍්‍රඥාවන්තව කටයුතු කර ඇතිවන්න යන අර්බුදය සමනය කරගෙන යන්නයි. තමන්ගේ වගකීම කුමක්ද යන්න තේරුම් ගන්න යැයි එතුමාගෙන් ඉල්ලා සිටිනවා.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles