Divaina - පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය පාවා දෙන්නේ නෑ සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් හමුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


 කැබිනට් මණ්ඩලය අහෝසි වෙලා නෑ
 
 හිස්බුල්ලාගේ කාත්තන්කුඩි කථාව තරයේ හෙළා දකිනවා
 
 දේශපාලනඥයන් ගැන ජනතාවගේ කළකිරීම අප පිළිගත යුතුයි

 
 
ranil ‘‘කැබිනට් මණ්ඩලයේ රැස්වීම් නොපැවැත්වූ පමණින් කැබිනට් මණ්ඩලය අහෝසි වන්නේ නැහැ. බහුතරයක් ඇති පක්ෂයේ නායකයා වශයෙන් අගමැති ධුරයට මා පත් වී තිබෙන්නේත්, මා විසින් කැබිනට් මණ්ඩලය පත් කොට තිබෙන්නේත් පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුවයි. එසේම තේරීම් කාරක සභාව පත් කර තිබෙන්නේද පාර්ලිමේන්තුව විසිනුයි. එබැවින්, තේරීම් කාරක සභාවේ කටයුතුවලට මැදිහත්වීමට කැබිනට් මණ්ඩලයට කිසිදු හැකියාවක් නැහැ’’ යයි ද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ දී සිවිල් සමාජ ක‍්‍රියාකාරින් හා වෘත්තීය සමිති නායකයන් සමඟ පෙරේදා (11දා) පැවැති සාකච්ඡාවේදී ප‍්‍රකාශ කළේය.
 
 තමා ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය පාවා දීමට කිසි විටෙකත් කටයුතු නොකරන බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.
 
 මෙහිදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික‍්‍රමසිංහ මහතා එම කාරක සභාව පත් කරන ලද්දේ පාර්ලිමේන්තුවේ සියලූම පක්ෂවල එකඟත්වය ඇති ව බව කීය.
 
 ‘‘අපි තේරීම් කාරක සභාවෙන් කාරණා දෙකක් ඉල්ලා සිටියා. පළමු වැන්න, රිෂාඞ් බදියුද්දීන් මහතාට විරුද්ධව ඇති චෝදනා විභාග කොට ඉක්මණින් තීරණයක් ලබා දෙන ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව ජුලි මාසයේදී විවාදයට ගන්නා නිසා එයට පෙර මේ පිළිබඳව තීරණයක් ලබා ගැනීම වැදගත් නිසයි එසේ ඉල්ලා සිටියේ. අප ඉල්ලා සිටි දෙවන කරුණ නම්, බුද්ධි අංශ නිලධාරීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙන විට මාධ්‍ය ඉවත් කර එහි සාක්ෂි විභාග කරන ලෙසයි.
 
 අපේ‍්‍රල් 21 දා සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත් වූ මලල්ගොඩ කොමිටියේ වාර්තාව දැන් බාර දී ඇති බවත්, එය ලැබුණු පසු එහි නිර්දේශ පිළිබඳව ඉදිරියේ දී කටයුතු කරන බවත්, අගමැතිවරයා තවදුරටත් කීය.
 
 ‘‘අපේ‍්‍රල් 21 දා ප‍්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන සිටින, එහෙත් එම සිදුවීම්වලට සම්බන්ධ නොමැති මුස්ලිම් ජාතිකයන් අධිකරණයට ඉදිරිපත් කොට නිදහස් කිරීමට උපදෙස් දී ඇති බවත් මෙහිදී වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකශ කළේය.
 
 නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා කාත්තන්කුඩියේ දී කර තිබු ප‍්‍රකාශ රජය තරයේ හෙළා දකින බව මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය. ජාතිවාදි කතා දැන්වත් නතර කළ යුතු බවත්, ඒවායින් සිදු වන්නේ විශාල හානියක් බවත් ඔහු පැවසීය. ‘‘අප කටයුතු කළ යුත්තේ, ශ‍්‍රී ලංකිකයන් වශයෙනුයි. මේ රටේ උපාධි ලබා දෙන ආයතන පිහිටුවීමේ බලය ඇත්තේ රජයට පමණයි. ඒ නිසා නැෙඟනහිර ආරම්භ කිරීමට යන විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නවා.’’ යැයි ද අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.
 
 ආගම් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා රජය විසින් ආගමික සංහිඳියා මණ්ඩලයක් පිහිටුවීමට යන බව ද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.
 
 ‘‘මේ සිදුවීමෙන් පස්සේ අපිට මුහුණු දෙන්න සිදුවුණා ජාතිවාදී ප‍්‍රශ්න ගණනාවකට. කුලියාපිටියේ සිදුවීමට සම්බන්ධ වූ පිරිස් ගැන අපි විභාග කරගෙන යනවා, ඉන් පස්සේ දළදා මාළිගාව ඉදිරිපිට තවත් විශාල සිදුවීමක් වුණා. මෙහිදී සිංහල-දමිළ අය එකතුවෙලා මුස්ලිම් අය වෙන්කිරීමක් සිදුවුණා, එම සිදුවීම ගැන බොහෝ දෙනෙක් ප‍්‍රකාශ කර තිබුණා, කෙසේ වෙතත් අපි ක‍්‍රියා කරන්නේ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ලබාදෙන උපදෙස් අනුවයි. මම ඒ ගැන වැඩිදුරටත් සංඝයා වහන්සේ සමඟත් අන්‍යාගමික පූජකවරුන් සමඟත් කථාකරලා තියෙනවා. ඒ අය යෝජනා කරන්නේ ආගමික සංහිඳියාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ස්වාධීන මණ්ඩලයක් ඇති කළ යුතුයි කියලා. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරමින් සිටිනවා, අද හැන්දෑවෙත් ඒ වෙනුවෙන් කටයුතු කරන්න නියමිතයි.
 
 අද දේශපාලනඥයන් ගැන ජනතාව කළකිරී සිටිනවා. මේ 225 දෙනාම ගෙදර යැවිය යුතු යැයි සමහරුන් කියනවා. ඒකත් මේ අවස්ථාවේ හොඳ නැහැ, එතකොට ඒ වෙනුවෙන් ඇති කරන්නේ කුමක්ද? ජනතාව දේශපාලඥයන් ගැන කළකිරී ඇති බව අප පළමුව පිළිගත යුතුයි. එය නැති කිරීමට අප වැඩ කළ යුතුයි’’ යනුවෙන්ද අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
 
 මෙම සාකච්ඡාවට පූජ්‍ය දඹර අමිල නා හිමි, ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය ජෙහාන් පෙරේරා, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප‍්‍රිය, පිලිප් දිසානායක ඇතුළු සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වූහ.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles