Divaina - පොහොට්ටුවේ නායකයන් ගමට ගොස් ජනතාව හමුවෙනවා - බැසිල් රාජපක්‍ෂ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

pohottuwaඅනුර බාලසූරිය
 
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමට ගොස් ජනතාව මුණගැසීමේ ‘ගම සමඟ පිළිසඳරක්’’ වැඩසටහනේ දෙවැනි වටය මෙම මස 16, 17, 23, 24, 30, 31 යන සෙනසුරාදා, ඉරිදා දිනයන්හිදී දිස්ත‍්‍රික්ක 20 ක ග‍්‍රාම සේවා වසම් 12468 කදී ක‍්‍රියාත්මක වන බව හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
 
බත්තරමුල්ල නෙළුම් මාවත, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවැසීය.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්‍ෂ මහතා,
 
 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම් මට්ටමින් ගොඩනැඟුණු පක්‍ෂයක්. පක්‍ෂයට අවුරුද්දක් පිරුණු අවස්ථාවකයි පළාත් පාලන මැතිවරණයට මුහුණ දුන්නේ. ඒ වෙද්දී අපේ පක්‍ෂය ප‍්‍රතිපත්තියක් හෝ අනාගත වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබුණෙත් නෑ. අප පක්‍ෂයේ ප‍්‍රතිපත්ති මාලාව සහ අනාගත වැඩපිළිවෙළ ජනතා අදහස් යෝජනා මත සකස් කෙරෙන්නක්.
 
 ග‍්‍රාම නිලධාරි වසම් 14000 කට අයත් ගම් 25000 කට ගොස් ජනතාව මුණගැසීමට ගම සමග පිළිසඳරක් වැඩසටහන අප දැන් ආරම්භ කර තිබෙනවා. මේ වැඩසටහන දේශපාලනඥයන්ට ගමේ අපේ ක‍්‍රියාකාරීන්ට පමණක් සීමා නොකර ඔවුන්ගේ පහසුකාරිත්වයෙන් ගමේ සියලූ ජනතාව පක්‍ෂ බේදයකින් තොරව එකතු කරගෙන ඒ ජනතාවගේ අදහස් ලබා ගැනීමටයි අපේ බලාපොරොත්තුව.
 
 මේ වැඩසටහන තුළින් අපි හැම ගමකටම ගොස් ඔවුන්ට මුහුණ පෑමට තිබෙන සමාජ, ආර්ථික ප‍්‍රශ්න ආදී සියලූ ගැටලූ සොයා බලනවා.
 
 මේ විදියට අපි හැම ගමකටම ගිහින් ආකෘති පත් තුනක් පුරවනවා. පළමුවැනි ආකෘති පත‍්‍රය ගමේ සමාජයීය ආර්ථික භූගෝලීය පසුබිම, ජාතික අදහස් වගේම ගමේ දේශපාලන පසුබිම් වාර්තාවකුත් ගන්නවා. මේ විදියට ජනතා අදහස් ගන්න අතරේ රටේ වෘත්තීය සමිති නායකයන්, විද්වතුන්, පුද්ගලික අංශයේ අයගෙන් විශේෂඥ කමිටු පිහිටුවලා අදහස් ගන්නවා.
 
 ඉතිහාසයේ අපේ ගම පදනම්ව පැවැති සමාජයීය තත්ත්වයත් ආර්ථික තත්ත්වයත් බි‍්‍රතාන්‍ය යුගයේ සිට වෙනස් වුණා. වෙල්ලස්ස කැරැල්ලෙන් පස්සේ අපේ ආර්ථිකය විනාශ කළා. ඊට පස්සේ ඞී. එස්. සේනානායක කාලයේ ජනපද, බණ්ඩාරනායක මහත්තයාගේ කාලයේ ජනපද පුළුල් කිරීම, ගම්උදාව, අපේ ගම නැඟුම, මේ ආණ්ඩුවේ ගම්පෙරළිය වගේ දේවල් සිදුවුණා. අපි ගම දියුණු කිරීමටත් ජනතාවගේ අදහස් ගන්නවා වගේම ඉඩම් ප‍්‍රශ්නය විසඳන්න අවශ්‍යයි. වැවිලි කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ප‍්‍රශ්නත් විසඳන්න තියෙනවා. මේ සියල්ල සම්බන්ධයෙන් විශේෂඥ අදහස්
 
 ගන්නවා. මේ ප‍්‍රතිපත්තිය සැකසීමේදී අපේ පක්ෂය පහසුකම් සපයන්නා විදියට කටයුතු කරනවා වගේම පසුව අපේ ජනාධිපතිවරයෙක් හා රජයක් පිහිටුවීමෙන් පස්සේ එය ක‍්‍රියාත්මක කිරීමට අපේ පක්ෂය දේශපාලන නායකත්වය දෙනවා.
 
 මැතිවරණ ප‍්‍රකාශන ජනතාවට ඉදිරිපත් කළාට ආණ්ඩු බිහිවීමෙන් පස්සේ මැතිවරණ ප‍්‍රකාශන ක‍්‍රියාත්මක වුණේ නැහැ. ඒ අතින් මහින්ද චින්තන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ආඩම්බර විය හැකියි. සහෝදර පක්ෂ එක්ක එකතු වෙලයි ඒක හැදුවේ. මැතිවරණයෙන් පස්සේ රටේ ප‍්‍රතිපත්ති මාලාව ලෙස සලකලා මහින්ද චින්තනය ක‍්‍රියාත්මක කළා. අපිට සමහරක් ක‍්‍රියාත්මක කරන්න බැරිවුනා. නමුත් ප‍්‍රතිශතයක් ලෙස අපි වැඩි කොටසක් ක‍්‍රියාත්මක කළා.
 
 මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර මේ ක‍්‍රියාවලියට ජනතාව සම්බන්ධ කර ගැනීම අවශ්‍යයි. අපි පළමුවෙනි අදියර විදියට පළාත් පාලන හා පළාත් සභා මන්ත‍්‍රීවරු දැනුවත් කළා. ඊට පස්සේ අපේ වෘත්තීය සමිති අනු සංවිධාන දැනුම්වත් කළා. දෙවැනි වටය මේ මාසයේ 16,17,23,24,30,31 දිනවල යාපනය හා මඩකලපුව හැර දිවයිනේ සෙසු දිස්ත‍්‍රික්ක 20 පුරා පළාත් පාලන ආයතන 286ක අපේ ක‍්‍රියාකාරීන් දැනුවත් කරනවා. ඒ කියන්නේ ග‍්‍රාම සේවා වසම් 12468 අපේ ක‍්‍රියාකාරිකයන් දෙලක්‍ෂයක් පමණ දැනුවත් කරන්න රැස්වීම් 511ක් කරනවා. පළමුවෙනි සති අන්තයේ රැස්වීම් 126ක්, දෙවැනි සති අන්තයේ රැස්වීම් 195ක්, අවසන් සතියේ තවත් රැස්වීම් 134ක් පැවැත්වෙනවා. තවම දින නියම නොවුනු ස්ථාන 16කුත් තියෙනවා. අපේ ක‍්‍රියාදරයින් වගේම ග‍්‍රාමීය නායකයන්, පූජ්‍ය පක්ෂය, ගමේ ග‍්‍රාම නිලධාරී, කෘෂි පර්යේෂණ නිලධාරී වගේ නිලධාරින්වත් සහභාගි කර ගන්නවා.
 
 පුද්ගලික අංශය, වෘත්තීය අංශ, වෘත්තීයවේදීන් වැනි සියලූ කොටස් මෙයට සහභාගි කර ගැනීමට අවශ්‍යයි. සිවිල් සමාජයේ විවිධ විෂයන් ගැන, පරිසරය, සත්ව ආදී ක්ෂේත‍්‍ර ගැන විශේෂයෙන් අවධානය යොමු විය යුතු අංශ ගැන අවධානය යොමු කරන අංශවලටත් අපි හා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
 
 මාධ්‍ය - අයවැයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය ඡන්දය දුන්නා. නමුත් ශ‍්‍රීලනීපය ඡන්දය නොදී ඉවත් වෙලා හිටියා. මෙය පුළුල් සංධානයක් ගොඩනැඟීමට බාධාවක් නොවෙයිද?
 
 බැසිල් රාජපක්ෂ මහතා - ඡන්දය නොදී හිටිය අයගෙන් මේ සම්බන්ධව ඇසිය යුතුයි. මතවාදීව එකතු වීම තුළිනුයි සමගියක් ඇති වෙන්නේ.
 
 මාධ්‍ය - දෙපාර්ශ්වය අතර තවම එවැනි එකතුවීමක් සම්බන්ධයෙන් සාකච්ඡා වෙලා නැද්ද?
 
 බැසිල් රාජපක්ෂ මහතා - ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් 14 වැනිදා සාකච්ඡා අරඹනවා. ඒ සාකච්ඡා අරඹන්නේ විවෘත මනසකින්.
 
 මාධ්‍ය - ගම සමඟ පිළිසඳරක් වැඩපිළිවෙළෙන් බලාපොරොත්තු වන ඉලක්කය මොකක්ද?
 
 බැසිල් රාජපක්ෂ මහතා - මේ රටට, ජනතාවගෙන් හදපු ජාතික ප‍්‍රතිපත්ති මාලාවක් සකස්කර ගැනීමයි අපේ බලාපොරොත්තුව.
 
 මාධ්‍ය - මොනතරම් කාලයකින්ද මේ වැඩපිළිවෙළ අවසන් වෙන්නේ.
 
 බැසිල් රාජපක්ෂ මහතා - ඡන්දයක් ඉක්මනින් එන නිසා ජුනි මාසය වෙද්දි මෙය සකසන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ඡන්දයකට ජනතාව ඉදිරියට යන්නේ ප‍්‍රතිපත්තියත් එක්කයි. මැතිවරණ ප‍්‍රකාශයක් එළි දක්වන්නේ නම් මැතිවරණයකදියි. නමුත් අපේ ප‍්‍රතිපත්ති මාලාව රටේ ජාතික ප‍්‍රතිපත්තියක් විදියට පත්කර ගැනීමයි අවශ්‍ය.
 
 මාධ්‍ය - ඉකිමනින් ඡන්දයක් එන බව ඔබ කිව්වා මොන මැතිවරණයද එන්නේ?
 
 බැසිල් රාජපක්ෂ මහතා - නීත්‍යනුකූලව නම් පළාත් සභා මැතිවරණය ප‍්‍රථමයෙන් පැමිණිය යුතුයි. මේ වෙද්දී පළාත් සභා පවත්වන කාලය පසුවෙලා තියෙන්නේ. දෙසැම්බර් වෙන්න කලින් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය තියන්න වෙනවා. ඔක්තෝබර් 05 වෙද්දි මැතිවරණය ප‍්‍රකාශයට පත්කරන්න වෙනවා. ඒ අනුව පළාත් සභා මැතිවරණයට පස්සේ නීත්‍යනුකූලව තියන්න තියෙන්නේ ජනාධිපතිවරණය. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අනිවාර්යයෙන්ම තුනෙන් දෙකේ යෝජනාවක් සම්මත නොවුනොත් අන්තිමට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයයි. නීත්‍යනුකූලව පළාත් සභා මැතිවරණය තියන්න තිබුණත් මේ අය තියයි කියලා හිතන්නේ නැහැ. ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය අධීකරණය හරහා හරි ලබා ගන්න අපි උත්සාහ කරනවා. අපි හිතනවා අලූත් ජනවරමකින් පත්වන අපේ අලූත් ජනාධිපතිවරයා ජනතාව ඉදිරියට ජනමත විමසුම් කිහිපයක් ගෙන යයි කියලා. අපි අලූතින් පත්වන ජනාධිපතිවරයාගෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහා ඉල්ලීම් කිහිපයක් කරනවා. රටට ගැලපෙන ඡන්ද ක‍්‍රමය, පාලන ක‍්‍රමය, එය විධායක ජනාධිපති ක‍්‍රමයක්ද, පාර්ලිමේන්තු විධායක ක‍්‍රමයක්ද, බලය බෙදීමේ කේන්ද්‍රය විය යුත්තේ ගමද, දිස්ත‍්‍රික්කයද පළාතද වැනි ප‍්‍රශ්න ජනතාවට දීලා පසුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හැදීම සුදුසු බවයි අපි හිතන්නේ.
 
 මාධ්‍ය - අනෙක් පක්ෂවලින් ලැබෙන්නේ මොන වගේ සහායක්ද?
 
 බැසිල් රාජපක්ෂ මහතා - අපි මේ වැඩපිළිවෙළ කරන්නේ පක්ෂ විදියට නෙවෙයි. අපි පහසුකාරකයෙක් විදියටයි කටයුතු කරන්නේ. ගම සමග පිළිසඳරක් වැඩපිළිවෙළට සියලූ පක්ෂවලට ආරාධනා කරනවා. අපිත් එක්ක ඉන්න අනෙක් සහෝදර පක්ෂ සෑහෙන්න පැරණියි. ඒ පක්ෂවලට හදපු ප‍්‍රතිපත්ති තියෙනවා.
 
 මාධ්‍ය - එජාපය තමන්ගේ නායකයා ජනාධිපතිවරණයට එවන බව මේ වෙද්දි ප‍්‍රකාශ කරලා තියෙනවා. ඔබතුමන්ලාගෙන් කවුද?
 
 බැසිල් රාජපක්ෂ මහතා - අපි පක්ෂයක් විදියට තින්දු කළේ මහින්ද රාජපක්ෂ මහතාවයි. අපිට එතුමාව පත්කර ගන්න තිබුණා නම් හොඳයි. එතුමාට නීතියෙන් බාධාවක් තිබුණොත් එතුමා හොඳ කෙනෙක් පත්කරයි.
 
 මාධ්‍ය - මේ වෙද්දී රාජපක්ෂවරයෙක්ගේ නාමයක් යෝජනාවෙන්නේ නැති බවට රාවයක් තියෙනවා.
 
 බැසිල් රාජපක්ෂ මහතා - ඒත් ප‍්‍රශ්නයක් නැහැ. රාජපක්ෂවරු තීන්දු කළොත් ඒ රාජපක්ෂ කවුද කියන එකත් එතුමා තීන්දු කරලා තියෙන්නේ. රාජපක්ෂ නොවන කෙනෙක් දැම්මොත් එතුමා කියන කෙනෙක් වෙනුවෙන් අපි වැඩ කරනවා.
 
 මාධ්‍ය - වත්මන් ජනාධිපතිතුමාට නැවත අපේක්ෂකත්වයට එන්න බාධාවක් නැහැ නේද?
 
 බැසිල් රාජපක්ෂ මහතා- අපේ පක්ෂයේ සාමාජිකත්වය ලේසියෙන් ගන්න බැහැ. පළමුවෙනි වටයේ සාමාජිකත්වය බොහොම ලේසියෙන් දුන්නා. දැන් ලේසි නැහැ. ආරම්භක සාමාජික පෝරමය දැන්දෙන්නේ නැහැ. දැන් දෙන්නෙක්වත් නිර්දේශ කරන්න වෙනවා. එහෙම දෙන්නෙක් සොයා ගන්න පුලූවන් කමක් නැහැ.
 
 මාධ්‍ය - පහුගිය කාලයේ ඔබගේ නමත් යෝජනා වුණා.
 
 බැසිල් රාජපක්ෂ මහතා - මගේ නම කවදාවත් යෝජනා වුණේ නැහැ. නාමයෝජනා පත‍්‍රයේ අපේක්ෂකයාගේ කැමැත්ත දෙනවා කියලා අත්සන් කරන්න තැනක් තියෙනවා.
 
 මාධ්‍ය - මේ වෙද්දි ගොඩනැෙඟමින් තිබෙන සන්ධානය වත්මන් ජනාධිපතිවරයාව යෝජනා කළොත්
 
 බැසිල් රාජපක්ෂ මහතා - මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වොත් හා කියලා අපිට ප‍්‍රශ්නයක් නැහැ. අපි බලන්න අවශ්‍ය වෙන්නේ ජනතාව කියන දෙයයි. අවසානයේ අපි යන්නේ ඡන්දයකට නිසා දිනන්න පුලූවන් කෙනෙක් දාන්නත් වෙනවා.
 
 මාධ්‍ය - ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී මීළඟ ජනාධිපතිවරයා ගැනත් සාකච්ඡා වෙනවද
 
 බැසිල් රාජපක්ෂ මහතා - නැහැ. ඒක සාකච්ඡා කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමයි සුදුස්සා. එතුමාට එන්න බැරි නම් සුදුසු කෙනා එතුමාම තීරණය කරයි. තව සහෝදර පක්ෂ තියෙනවා. අපි පළාත් පාලන මැතිවරණයට ඉල්ලූවෙත් සන්ධානයෙන්. නිල වශයෙන් පක්ෂ 29ක් අපිත් එක්ක හිටියා. විශේෂයෙන් ලංකා සමසමාජ පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ වගේ පක්ෂත් එක්කයි අපි ඉල්ලූවේ. ඒවායේ නගරාධිපතිවරු පවා ඉන්නවා. නමුත් පොහොට්ටුවෙන් ඉල්ලූවේ.
 
 මාධ්‍ය - සන්ධානය ගොඩනැගීමට පැවැති සාකච්ඡා සඳහා ඔබතුමා සහභාගි වෙනවා අපි දැක්කේ නැහැ.
 
 බැසිල් රාජපක්ෂ මහතා - අපේ පක්ෂය නිල වශයෙන් සාකච්ඡා අරඹන්නේ 14 වැනිදා. අපේ පරමාදර්ශී නායකයාට සාමාජිකත්වය ගන්න බැරි වුණත් දේශපාලන වශයෙන් අපි එක්ක වැඩ කරනවා. පාර්ලිමේන්තුවේ අපේ මන්ත‍්‍රීවරු නැහැ. නමුත් අපිට උදව් කරනවා.
 
 මාධ්‍ය - දිගින් දිගටම මහින්ද රාජපක්‍ෂ මහතා ගන්න තීන්දුවට එකඟ බවයි ඔබලා කියන්නේ.
 
 බැසිල් රාජපක්ෂ මහතා - ඔව්. ජනතාව එතුමාවයි නායකත්වයට අවශ්‍ය බව කියන්නේ. මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසිකරලයි ජේ. ආර් ජයවර්ධන මහතා ජනාධිපතිවරණයට මුහුණ දුන්නේ. රේස් එකේ අනික් තරගකරුවා ඉවත් කරලා. ඒ නිසා අපි පිහිටුවන ආණ්ඩුවක් පිහිටුවන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. ජනතාවගේ බලාපොරොත්තුව ඒකයි.
 
 මාධ්‍ය - ඔබ ඉදිරියේදි පාර්ලිමේන්තුවට එනවාද?
 
 බැසිල් රාජපක්ෂ මහතා - එන්න විදියක් නැහැනේ. 19න් මාව එළියට දැම්මානේ. 19 කියන එක ගලෙන් හතරදෙනෙක්ට ගැහුවා.
 
 මාධ්‍ය - 2019 ජනාධිපතිවරණයෙන් ඔබ පාර්ශවය ජයගන්න නම් ශ‍්‍රීලනිප හා පොහොට්ටුව එකතු වෙන්න අවශ්‍යද.
 
 බැසිල් රාජපක්ෂ මහතා - මැතිවරණයකට යද්දී කිසිවෙක් දිනන්න බැරි බව කියන්නේ නැහැ. ස්වාධීනයි කියපු ආයතනයක් සහ පොලිසිය කරපු සමීක්ෂණයකින් පළාත් පාලන මැතිවරණයට පෙර කිව්වේ අපි දිනන්නේ ආයතන 40ක් බවයි. ඒ වගේ ඡන්දය කියන දේ ජනතාව අතේ තියෙන්නේ. නමුත් අපි දිනන කොට්ඨාස ගණනත් මම දින තුනකට පෙර කිව්වා. ඒ වගේ අපි විශ්වාසයෙන් කියනවා ජනතාව අපි කෙරෙහි විශ්වාසය තියයි කියලා.
 
 මාධ්‍ය - ජනාධිපතිවරණය තනිවම දිනන්න පුලූවන්ද?
 
 බැසිල් රාජපක්ෂ මහතා - දැන්ම කියන්න හොඳ නැහැ.
 
 මාධ්‍ය - ජනාධිපතිවරණය නොසලකා හැරලාද ඉන්නේ?
 
 බැසිල් රාජපක්ෂ මහතා - නැහැ. නැහැ. මේක තමයි ප‍්‍රධාන මැතිවරණය. මේක අපි අනිවාර්යයෙන්ම දිනනවා. අපි පිහිටුවන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක්.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles