Divaina - මිල සූත‍්‍රයෙන් ඉන්ධන මිල වැඩි වුවත් එහි මුළු බර ජනතාවට ලබා දුන්නේ නැහැ - මුදල් අමාත්‍ය මංගල සමරවීර

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

mangalaශ්‍යාම් නුවන් ගනේවත්ත
 
මිල සූත‍්‍රයෙන් ඉන්ධන මිල වැඩි වුවත් ජනතාවාදී ආණ්ඩුවක් ලෙස එහි මුළු බර ජනතාවට ලබා දුන්නේ නැතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (13දා) මුදල් අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
 
මිල සූත‍්‍රය අනුව පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 8 කින් සහ ඞීසල් ලීටරයක් රුපියල් 14 කින් ඉහළ නැංවිය යුතු වුව ද ජනතාවාදී ආණ්ඩුවක් ලෙස පෙට‍්‍රල් 3 කින් සහ ඞීසල් රුපියලකින් ඉහළ නංවමින් එළඹෙන උත්සව සමය වෙනුවෙන් ජනතාවට සහනයක් ලබා දුන් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප‍්‍රකාශ කළේය.
 
 නොඑසේ නම් පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 137 දක්වා ද ඞීසල් ලීටරයක නව මිල රුපියල් 117 දක්වා ද ඉහළ දැමිය යුතුව තිබූ බව අමාත්‍යවරයා කියා සිටියේය.
 
 ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල දිගින් දිගටම ඉහළ යමින් පවතින අතර පසුගිය දෙසැම්බර් මාසයේ ඇ.ඩො. 53.8 පැවැති බොර තෙල් බැරලයක මිල අද වන විට ඇ.ඩො 70.4 දක්වා 30.8% කින් ඉහළ ගොස් තිබෙනවා. රුපියලේ අගය මේ වන විට ස්ථාවර වෙමින් තිබෙනවා. ඒ නිසා මිල සූත‍්‍රයට අනුව අපි හැම මාසෙම තෙල් මිල සංශෝධනය කළත් ජනතාවට දරා ගන්න බැරි මට්ටමේ මිල වැඩිවීමක් වෙනව නම් අපි රජයක් විදියට ඒ සඳහා මැදිහත් වෙනවා. ළග එන උත්සව සමය පිළිබඳ සලකා බලල අපි තීරණය කළා ඉතාම සුළු ප‍්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ නංවන්නට.
 
 වතු කම්කරුවන්ගේ වැටුප් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අපි දෙමළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය ඇතුළු කණ්ඩායම් රැසක් එක්ක සාකච්ඡා කළා. ඒ අනුව අපි ඊට විසඳුමක් ලෙස වතු කම්කරුවන් වෙනුවෙන් රුපියල් 50ක දීමනාවක් වසරක කාලයක් සඳහා ලබා දෙන්න තීරණය කළා. මේ මුදලත් සමග ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 800ක් දක්වා ඉහළ යනවා. අපි බලාපොරොත්තු වෙනවා වතු ක්ෂේත‍්‍රය ප‍්‍රතිසංධානයකට ලක් කරන්න. විශේෂයෙන්ම වතු කම්කරුවන් වඩාත් නවීන පරිසරයක් තුළ ඔවුන්ගේ රැකියාව කරගෙන යා යුතුයි. එසේම මේ කම්කරුවන් අදාළ වතුවල කොටස්කරුවන් බවට පත් කිරීමේ ආකාරය පිළිබඳ අපි සාකච්ඡා පවත්වාගෙන යනවා.
 
 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්දය ඊයේ සම්මත වුණා. විවිධ කණ්ඩායම් ආණ්ඩු පෙරළියක් ගැන කතා කළත් ඉතා පැහැදිලිව අපි අයවැය දෙවැනිවර කියවීමේ ඡන්දය ජයගත්තේ එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ පළමු අයවැය ලේඛනය විදියටයි. අපි අයවැය මගින් විවිධ ජනකොටස්වලට ශක්තිය දුන්නා. කෑම වේලක් වෙනුවට බිලී පිත්තක් ලබා දෙන ආකාරයේ අයවැයක් මේක. මේක ඡන්ද අයවැයක් නෙවෙයි සංවේදී අයවැයක්. ජනතාව වෙනුවෙන් පෙනී සිටින අයවැයක්. ෆයිනෑන්ෂල් ටයිම්ස් සමීක්ෂණය අනුව මේ අය වැය සම්බන්ධයෙන් 60%ක් ලැබිල තියෙන්නෙ ධනාත්මක ප‍්‍රතිචාරයි.
 
 අයවැය සම්මත කර ගත් ආකාරයෙන්ම මේ යෝජනා ක‍්‍රියාත්මක කළ යුතුයි. මේ සඳහා කමිටු හයක් පත් කරන්න අප බලාපොරොත්තු වෙනවා.
 
 අයවැය සම්බන්ධයෙන් පැතිර යන වැරැදි අදහස් කිහිපයක් නිවැරැදි කළ යුතුයි.
 
 ළමා ඉතිරි කිරීමේ ගිණුම්වලින් අය කෙරෙන රඳවා
 
 ගැනීමේ බද්ද අය කෙරෙන්නෙ මාසිකව රුපියල් 5000ක් හෝ ඊට වැඩි පොලියක් එකතු වෙන ඉතුරුම් ගිණුම්වලින් පමණයි. ඒ කියන්නෙ රුපියල් 5000ක මාසික පොලියක් ලැබෙන්න නම් ඒ ළමා ගිණුමේ රුපියල් ලක්ෂ 12ක්වත් තැන්පත් කර තිබිය යුතුයි. එවැනි ගිණුමක් පවත්වාගෙන යන පොහොසත් බබාලා කුඩා කාලේ ඉඳල ම බදු ගෙවන්න පුරුදු වෙන එක හොඳයි.
 
 උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා සිසුන් වෙනුවෙන් විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබාදෙන වැඩපිළිවෙළ 2019 අගෝස්තු විභාග ප‍්‍රතිඵල සමග ක‍්‍රියාත්මක කරනවා. උසස් පෙළ ප‍්‍රධාන විෂය ධාරා 5න් වැඩිම ලකුණු ලබා ගන්නා සිසුන් පස් දෙනා සහ පළාත් 9න් වැඩි ම ලකුණු ලබා ගන්නා සිසුන් 9 දෙනා ඇතුළුව සිසුන් 14 දෙනෙකුට මෙම අවස්ථාව හිමි වෙනවා. මේ වෙනුවෙන් රජය සිසුවකුට එක් වසරක් සඳහා ඇ.ඩො 70,000ක පමණ මුදලක් වැය කරනවා. දළ වශයෙන් රුපියල් මිලියන 12ක් එක් වසරක් සඳහා වැය කළොත් රුපියල් මිලියන 50ක් පමණ වසර හතර සඳහා වැය කෙරෙනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 170ක් මේ වන විටත් වෙන් කරල තියෙනවා. මේ සඳහා අපි අදාළ සිසුන් සමග ගිවිසුමකට එලඹෙනවා. ඒ අනුව ඔවුන් අදාළ උපාධිය සම්පූර්ණ කර වසර තුනක් ඇතුළත ශ‍්‍රී ලංකාවට පැමිණිය යුතුයි. එසේ පැමිණ වසර 10ක් වත් ශ‍්‍රී ලංකාවේ සේවය කළ යුතුයි. නමුත් කිසියම් කෙනෙකුට අවශ්‍ය නම් විදේශගත වෙලා දිගට ම සේවය කරන්න ඔවුන් වෙනුවෙන් රජය වැය කළ මුදලින් 125%ක් ආපසු රජය වෙත ගෙවිය යුතුයි.
 
 අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් ඊයේ මගෙන් පාර්ලිමේන්තුවේ දිත් ප‍්‍රශ්න කළා. මම ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන්නම්. ඔක්තෝබර් 26 වෙනිදා සිදු වූ දේශපාලන කුමන්ත‍්‍රණය හේතුවෙන් අපි ජාත්‍යන්තර දර්ශකවල පහළට ගමන් කළා. දින 51ක් තිස්සේ අගමැති පුටුවේ විතරක් නෙවෙයි මගේ පුටුවෙත් වාඩි වෙලා හිටපු රාජපක්ෂ මහත්තයා නිසා රට ආපස්සට ගමන් කළා. බැඳුම්කර ලබා ගැනීමේ පොලී අනුපාත 3%කින් වගේ ඉහළ ගියා. නමුත් අපි බලයට ඇවිත් යළි රට සාමාන්‍ය මට්ටමට ගත්ත නිසා ඒ 3%ක් විතර අතිරේකව වැඩි වුණ පොලී අනුපාතය 1.5% වගේ මට්ටමට අඩු කර ගන්න අපට හැකි වුණා. ඒ 1.5%ක ඉහළ පොලී අනුපාතය නිසා රටට රුපියල් බිලියන 6.4 ක් විතර අහිමි වුණා. මට මතකයි ඒ දවස්වල විමල් වීරවංශ මන්ත‍්‍රීතුමා කියනවා ආර්ථික ඝාතකයන් ගැන. මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ඒ දින 51 දී ඔප්පු කළා ඔවුන් තවමත් ආර්ථික ඝාතකයන් බව.
 
 ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප‍්‍රිය, රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විමලේන්ද්‍ර රාජා, බදු උපදේශිකා තනුජා පෙරේරා සහ අමාත්‍ය උපදේශක දේශාල් ද මෙල් යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles