Divaina - ජාතික ආරක්ෂාව පසෙකළා හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ - ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

re10 1යම් පාර්ශ්වයක ප‍්‍රකාශයක් අනුව ජාතික ආරක්ෂාව ඉවත හෙළමින් යුද හමුදා කඳවුරු කිසිදු අයුරකින් ඉවත් නොකරන බව ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ප‍්‍රකාශ කළේය.

දේශපාලන පක්ෂවලට විවිධ ප‍්‍රකාශ කළ හැකි නමුත් එම පක්ෂවල ප‍්‍රකාශ අනුව ජාතික ආරක්ෂාව ඉවත හෙළීමට සූදානම් නැතැයි පෙරේදා (30* ශ‍්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ඒ මහතා ප‍්‍රකාශ කළේය.

නව ධුරයට පත්වීමෙන් පසු දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා ශ‍්‍රී දළදා මාලිගාවට පැමිණි ඒ මහතා දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගන්නා ලදී.

අනතුරුව ඒ මහතා අස්ගිරි මහා විහාරයට පැමිණ එම පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර පසුව මල්වතු මහා විහාරයට පැමිණ එහිදී මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමින්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය ප‍්‍රකාශ කර තිබෙනවා. නව රජයක් යටතේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ද විශාල සංවර්ධන කාර්යභාරයක් සිදු කෙරෙන අතර ඒ සඳහා දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ හැකියාව අනුව දායකත්වයක් ලබාදීම ඉතාමත්ම උචිත පියවරක් යැයි තමන් විශ්වාස කරනවා යැයි කී ආරක්ෂක ලේකම්වරයා මෙසේ ද ප‍්‍රකාශ කළේය.

රටේ සංවර්ධන කාර්යභාරය නිසිලෙස ඉටු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෙසු පාර්ශ්වයන්ගේ සහයෝගය ලබාගැනීමට සුදුසුයි. ඔවුන්ගේ සහයෝගය ලැබෙනවා නම් එම කාර්යභාරය ඉටුකිරීම වඩාත් පහසුයි. උතුරු නැගෙනහිර ඇතුළුව ඒ ඒ ප‍්‍රදේශවල සිටින ප‍්‍රාදේශීය නායකයන් ජනාධිපතිවරයාට අග‍්‍රාමාත්‍යවරයාට සහ රජයට සහයෝගය දක්වනවා නම් ඒ තුළින් සමස්ත රට සංවර්ධනය කිරීමේ කාර්යභාරය වඩාත් කඩිනමින් සිදු කළ හැකි. යුද සමයේ ඉතාමත්ම පීඩනයෙන් සිටි ජනතාවට වඩාත් සුදුසු ජීවන තත්ත්වයක් ලබා ගැනීමට සුදුසු තීරණයක් වශයෙන් එය සලකන්න පුළුවන්.

නමුත් කිසිදු අයුරකින් හමුදා කඳවුරු ඉවත් වන්නේ නැහැ. රජයේ ස්ථාවරත්වය වන්නේ ජාතික ආරක්ෂාව සඳහා හමුදා කඳවුරු ඒ අයුරින්ම පැවතිය යුතු බවයි. රටේ ආරක්ෂාව සඳහා අවශ්‍ය තැන්වල හමුදාව සිටිය යුතුයි. කාගෙවත් ඉල්ලීමකට කන් දෙමින් ජාතික ආරක්ෂාව පසෙකලා හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ. ප‍්‍රදේශයක හමුදා කඳවුරක් තිබුණා කියලා ඉන් කාටවත් හානියක් සිදු වන්නේ නැහැ. ඉන් සිදුවන්නේ හානියක් නොව මහජනතාවට සේවයකි.

යුද සමයේදී පවා උතුරු නැගෙනහිර රෝගියෙකු රෝහල්ගත කිරීමට පවා ඉදිරිපත් වුණේ යුද හමුදා කඳවුරුවල සිටි සෙබළුන් මිස වෙන කවුරුවත් නොවෙයි.

යුද සමයේදී උතුරු නැගෙනහිර සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවන්ට අධ්‍යාපන කටයුතු පහසු කරගැනීමට විවිධාකාරයෙන් ආරක්ෂක අංශ විසින් උපකාර කළා. යුද්ධයෙන් පීඩාවට පත් ප‍්‍රදේශවල දරුවන්ට ඉදිරියේදීත් ඒ අයුරින්ම උපකාර කිරීමට අප සූදානම්. ජාති ආගම් සහ කුලභේද අප ළඟ නැහැ. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ජාති භේදයෙන් තොරව බෞද්ධ හින්දු ක‍්‍රිස්තියානි ඉස්ලාම් ආගම් භේදයෙන් තොරව මෙරට වයස්ගත ම පුද්ගලයාගේ සිට ළාබාලතම දරුවා දක්වා සියලූ දෙනාට අපෙන් සිදුවිය යුතු සේවාව ඉටු කිරීමට අප සූදානමින් ඉන්නවා.

කුමන ආගමකට අයත් වුවත් පුරාවස්තු ආරක්ෂා කිරීම පරම යුතුකමක් බව ජනාධිපතිවරයා විශ්වාස කරනවා. පුරාවස්තු ආරක්ෂා විය යුතු අතර ඒවාට හිමි විය යුතු ප‍්‍රමුඛස්ථානය ඒ අයුරින්ම හිමිවිය යුතුමයි. ඒ සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග අප ඉදිරියේ දී ගන්නවා.

යමෙකු අන්තවාදී ප‍්‍රකාශ කරන්නේ ඇතැම් විට ඔහුගේ දේශපාලන දර්ශනය අනුව සිදු වෙන්න පුළුවන්. නමුත් අන්තවාදී ප‍්‍රකාශ හේතුවෙන් යම් ආගමකට යම් ජන පිරිසකට හානියක් සිදුවන්නේ නම් එය සුදුසු නොවන බවයි අපේ හැඟීම. තමන් අදහන ආගම ඇදහීමටත් තමන්ගේ සංස්කෘතිය වටිනාකම් අනුව ජීවත් වීමටත් අවශ්‍ය අයිතිය අපි ලබාදෙනවා. නමුත් එහිදී සෑම පුද්ගලයෙක්ම අනිත් පාර්ශ්වයකට හානියක් නොවන වශයෙන් ජීවත් විය යුතුය.

අපි කරන සෑම කාර්යභාරයක්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වශයෙන් එරට නීති පද්ධතියට යටත් විය යුතුයි. අසාධාරණ අයුරින් අත්අඩංගුවට ගෙන සිර ගෙවල්වල සිරගත කර සිටින රණවිරුවන් පිළිබඳව සොයා බලා ඔවුන් නිදහස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර ඇතැයිද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

සමන්තී වීරසේකර

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles